Friday, May 31, 2019

පාස්කු ප්‍රහාරය ගැන කලින් දැනුවත්කළ බවට පළවන පුවත් බොරුලු-ජනාධිපති මාධ්‍ය අංශය








පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විවිධ පාර්ශ්ව විසින් තමන් දැනුවත් කර තිබුණායි පළවන දේශීය හා විදේශීය මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

 පසුගිය අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයක් එල්ල විය හැකි  බවට විදේශීය මිත්‍ර රටකින් ලබාදී තිබූ තොරතුරු පිළිබඳ ආරක්‍ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා හෝ වෙනත් කිසිදු නිලධාරියෙකු විසින් ජනාධිපතිවරයා දැනුවත් කර නැතැයිද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි.

පසුගිය පෙබරවාරි මාසයෙන් පසු ජාතික ආරක්‍ෂක මණ්ඩලය රැස් නොවූ බවට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ජාතික බුද්ධි ප්‍රධානියා පවසා තිබුණද, ජාතික ආරක්ෂක මණ්ඩලයට වඩා වෙනස් ව්‍යුහයකින් යුත් "ජාතික ආරක්‍ෂක කමිටුව" පිහිටුවා එම කමිටුව සති දෙකකට වරක් අඛණ්ඩව රැස්වූ බව අදාළ නිවේදනයේ සඳහන් කර ඇත‍.

ගෙවීගිය වසරකට අධික කාලයක් ජාතික ආරක්‍ෂක මණ්ඩලය තුළ සිදුකෙරුණු සාකච්ඡා නිල නොවන ලෙස මාධ්‍ය මගින් පළවීමට පටන් ගැනීම හේතුවෙන් ජාතික ආරක්‍ෂක කමිට්ටුව පිහිටුවීමට  පියවර ගත් බවත්, ඇතැම් අවස්ථාවල ජනාධිපතිවරයා විසින් සතියකට වරක් එහි රැස්වීම් කැදවීමට පියවර ගත් බවත් ජනාධිපති මාධ්‍ය අතශය  සඳහන් කරයි.

පසුගිය අප්‍රේල් 08 වැනිදා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මාසික රැස්වීමද ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ බවත්, පැය දෙකකට අධික කාලයක් පැවැති එම සාකච්ඡාවේදී  මෙවැනි ත්‍රස්ත සැලැස්මක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවට කිසිදු නිලධාරියකු ජනාධිපතිවරයා දැනුවත් කර  නොමැති බවත් ජනාධිපති  මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

රේල් පාරේ අඩි ගහපු අයියා මලෝ දුම්රියේ ගැටෙයි-අයියා මරුට










දුම්රිය මාර්ගයේ වාඩිවි මත්පැන් පානය කරමින් සිටි බව කියන අයිය මලෝ දෙදෙනකු කොළඹ සිට බදුල්ල බලා යමින් තිබූ ශීඝ්‍රගාමි තැපැල් දුමිරියේ ගැටිමෙන් අයියා මරණයට පත්වී මල්ලී කෙසේ හෝ දිවි බේරාගෙන ඇතැයි මීරිගම පොලිසිය කියයි.

පෙරේදා (29) රාත්‍රියේ අඹේපුස්ස ප්‍රදේශයේ දි මෙසේ අනතුරට ලක්ව මියගොස් ඇත්තේ මීරිගම පොලිස් වසමේ බෝතලේ පහලගම අඩුපේ පදිංචිකරුවකු වූ එම්.පී. සමන්ත පත්මසිරි 37 නමැති දෙදරු පියති.

මියගිය අය ඔහුගේ මල්ලී සමග පෙරේදා (29) රාත්‍රී දුම්රිය මාර්ගයට වී සිටින අවස්ථාවේ බදුල්ල බලා යන තැපැල් දුමිරියේ ගැටී අයියා මරණයට පත්වී ඇතැයි ද මල්ලි දුම්රිය මාර්ගයෙන් ඉවතට පනින අවස්ථාවේ ඔහුගේ අතක් දුමිරියේ වැදී තුවාල ලබා ඇතැයි ද හෙළිවී ඇත.

දුම්රිය එන බව ඇසුණු මියගිය අය ඒ බව මල්ලීට කියා ඇති අතර ඒ අනුව මල්ලී දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන ඇතත් අයියා මාර්ගයත් ඉවතට පැන ගැනීමට හැකිවී නැතැයි පරික්ෂණයේදී හෙළිවී  ඇත.   මරණ පරීක්ෂණය ඊයේ (30) සවස වතුපිටිවල මූලික රෝහලදි බෙම්මුල්ල  කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා ඉදිරියේ පැවැත්විමට නියමිතව තිබිණි.

ආදි මානවයින්ගේ තොරතුරු ඇතුළත් මෙගලිතික සොහොන් කිහිපයක් ත්‍රිකුණාමලෙන් හමු වෙයි







ආදි මානවයින්ගේ ශිෂ්ටාචාරයක් සහිත මෙගලිතික සොහොන් කිහිපයක් පසුගියදා (26දා) ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වල්ලූවර් කෝට්ටම් ප්‍රදේශයෙන් හමු වූ බව පුරාවිද
දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශයේ නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක් සිදු කරමින් සිටින අතරතුරදී මෙම සොහාන් හමුවී ඇත.

මෙම සොහොන් වසර 3000කට වඩා පැරණි බවට අනාවරණය වී ඇති බවත් මේ වනවිට සොහොන් 12ක නටබුන් මතුවී ඇති බවත් නිවාස ඉදිකිරීමට නොදැනුවත් කමින් සොහාන් පහක ගල් ගලවා ඉවත්
කර පසෙක ගොඩ ගසා ඇති බවද ත්‍රිකුණාමලය ප්‍රාදේශීය පුරාවිද අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස මහතා පැවසීය.

ඇතැම් සොහොන්වලට නිධන් හොරු හානි කර ඇති බව කී අධ්‍යක්ෂවරයා සමහර සොහොන් තවමත් සුරක්ෂිතව පවතින බවට දක්නට ඇතැයිද පවසා සිටියේය.

මෙගලිතික සොහොන් යනුවෙන් හඳුන ආදි මානවයාගේ මෙවැනි සොහොන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ යාංඔය, මහින්දාපුර ආදී ප්‍රදේශවලින් මුලින් හමු වී ඇති අතර වල්ලුවර් කෝට්ටම්වලින් හමු වු තුන්වැනි ස්ථානය මෙය වේ.

මෙම සිදුවීමත් සමග අදාළ ප්‍රදේශයේ ඉදිකිරීම් නැවැත්වීමට පියවර ගත් බවත් මෙවැනි ඉදිකිරීම් සිදු කිරීමේදී පුරාවිද්‍යා වාර්තාවක් කැඳවිය යුතු වුවත් එම නීති රාමුවෙන් පිට මෙම කටයුතු සිදුකර තිබීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවද, සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

කෝටි 02ක් වැය කරලා නිල නිවස හදන්නේ මගේ පුද්ගලික පරිහරණයට නෙමෙයි


කොළඹ නගරාධිපති නිල නිවෙසහි හදිසි අලුත්වැඩියාවන් සඳහා ඉකුත් වසර දෙක තුළ නගර සභා බදු මුදල් රුපියල් කෝටි 6කට වැඩියෙන් වැයකර ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම ඓතිහාසික ගොඩනැගිල්ලේ පෞරාණික බවට හානිවන අයුරින් ආරක්‍ෂක හේතුන් මත කියමින් ඒ වටා තිබූ කෙටි ආරක්ෂක තාප්පය උස්කර තිබේ.

මෙම නිල නිවෙස නගරාධිපතිවරු 10 දෙනකු පමණ පරිහරණය කර ඇතත් මේ තරම් විශාල මුදලක් මිට පෙර වැයකර නැතැයිද දැනගන්නට තිබේ.

අවසන්වරට එහි විසු හිටපු නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා එහි සුළු ප්‍රතිසංස්කරණයක් සිදුකර තිබුණු අතර ඊට වැසිකිළි පද්ධතිය ද ඇතුළත් කර ඇතැයිද මන්ත්‍රිවරු සඳහන් කරයි.

එහෙත් නව නගරාධිපතිනිය පත්වූ පසුව වසර දෙකක් තිස්සේම මෙම ගොඩනැගිල්ලේ වැසිකිළි 7ක් නවීකරණය සඳහා භාණ්ඩවලට රුපියල් ලක්‍ෂ 57ක්
වැයකළ බවට ජවිපෙ මන්ත්‍රී සුමින් පස්සපෙරුම මහතා චෝදනා කළේය. මම වනවිට ඒ සඳහා වැයකර ඇති මුළු මුදල රුපියල් කෝටි දෙකකට ආසන්න බව නිලධාරීහු පවසති.

 මීට අමතරව සීසීටීවී කැමරා 17ක්, වායු සමීකරණ යන්ත්‍රයක්, රෙදි සෝදන යන්ත්‍ර,රෙදි වේලන යන්ත්‍ර, අවන්, ශීතකරණ, විදුලි  පංකා ඇතුළු විදුලි උපකරණ ද මුළුතැන්ගෙට පීරිසි 200 ක් කෝප්ප 200ක්ද, මිලදී ගැනීමේ සූදානමක් පවතින බව ද වාර්තා වේ.

 මෙම නිල නිවෙසේ පිරිසුදු කිරීම් කටයුතු පෞද්ගලික සමාගමක් විසින් කොන්ත්‍රාත් පදනම යටතේ  සිදුකරන බවද ඒ සඳහා මාසිකව රුපියල් ලක්ෂයක් පමණ නගර සභාව වැයකරන බවද පැවැසේ.

මේ පිළිබඳව නරගාධිපතිනියගෙන් විමසූවිට කීවේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු ප්‍රාදේශීය නියෝජිතයන් රැසක් නගර සභාවට පැමිණෙන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව මෙන්ම සුව පහසුව සඳහා අවශ්‍ය පරිදි  නිල නිවෙස සකස්කරන බවය.

තමන්ට ද සියලු පහසුකම් සහිත පෞද්ගලික නිවෙසක් ඇති බවද මෙම නිල නිවස කිසි විටෙකත් පරිහරණය නොකරන බව ද ඇය කීවාය.

හිටපු ඇමැතිවරුන් 20ක් නිල නිවාස තවම භාරදීලා නෑ



හිටපු ඇමැතිවරුන් විසිදෙනකුට ආසන්න පිරිසක් ඔවුන්ට දුන් නිල නිවාස තවමත් ආපසු භාර නොදී බලහත්කාරයෙන් ඒවායේ රැඳී සිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහ ලේකම් පා.ම. දයාසිරි ජයසේකර (ගේගරි පාර අංක C- 78), පා.ම. දුමින්ද දිසානායක (ස්කෙල්ටන් මාවත අංක E 1), පා.ම. ආර්. සම්පන්දන් (ස්ටැමෝර් චන්ද්‍රවංකය B -12), ලසන්ත අලගියවන්න (විජේරාම මාවත 110-3), රංජිත් සියඹලාපිටිය (විජේරාම මාවත, 110-5), ටී.බී. ඒකනායක (විජේරාම මාවත 110-6), මහින්ද අමරවිර (ස්ටැමෝර් චන්ද්‍රවංකය B-63), එල්.ඒ.එම්. හිස්බුල්ලා (කැප්පෙටිපොළ මාවත -40), ෆයිසර් මුස්තාපා (කැප්පෙටිපොළ මාවත C-51),ඒ.එච්.එම්. පවුසි (බෞද්ධාලෝක මාවත C-76), එස්.බී. නාවින්න (ග්‍රෙගරි පාර, CD- 89), සුමේධා ජී. ජයසේන (ලෝරිස් පාර 6-2), ඩුලිප් විජේසේකර (ලෝරිස් පාර7-1), දුනේෂ් ගන්කන්ද (ලෝරිස් පාර 8-2) සහ චන්දිම වීරක්කොඩි (විජේරාම මාවත 110-2) යන මන්ත්‍රිවරුද ඒ අතර සිටිති.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් කිහිප දෙනකුගෙන් මේ පිළිබඳ විමසා සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ තමා පදිංචි අදාළ නිල නිවෙසට මන්ත්‍රි වැටුපෙන් කුලිය ගෙවන බවයි. එය කැබිනට් ඇමැතිවරුන්ට දෙනු ලබන නිල නිවෙසක් නොවන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඒ පිළිබඳ පරීක්ෂා කරගත හැකි බව කිය. නමුත් ඇතැම් මන්ත්‍රිවරු තාමත් නිවාස ආපසු ලබා නොදී බලහත්කාරයෙන් රැඳී සිටින බව සත්‍යයක් බවත් චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේය.

-ශිරාන් රණසිංහ-

ප්‍රහාරය ගැන සොයන්න ඉන්දීය විමර්ශන කණ්ඩායමක් ලංකාවට පැණිමේ සුදානමක්



කේරළ ප්‍රාන්තයේ සිදුවූ අයි. එස්. ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ඉන්දියාවේ ජාතික විමර්ශන ආයතනයේ විමර්ශන නිලධාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ විමර්ශනය කිරීමේ සූදානමක් පවතින බව ඉන්දියාවේ ඉකොනමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත. ඉන්දීය ජාතික විමර්ශන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් වයි. කේ. මෝදි ඇතුළු කණ්ඩායමක් මෙම විමර්ශන සිදු කරනු ලැබේ.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයද අදාළ විමර්ශන කටයුතු සඳහා අවසර ලබා දී ඇති අතර ශ්‍රී ලංකා රජයේ අවසරය ඔවුන් මේවන විට බලාපොරොත්තුවෙන් සිටින බව ඉකොනක් ටයිම්ස් පුවත්පත පසුගිය 28 වැනිදා මෙම තොරතුරු වාර්තා කර සිටියේය. එසේම ඉන්දියාවේ ජාතික විමර්ශන ආයතනය සතුව පවතින මීට අදාළ ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධ තොරතුරුද ශ්‍රී ලංකාව සමග හුවමාරු කර ගැනීමට අපේක්‍ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමේ පිරිස් දකුණු ඉන්දියාවේ අන්තවාදී කණ්ඩායම් සමග සබඳතා පැවැති බවට තොරතුරු අනාවරණය වී තිබේ. පසුගිය මාසයේ දී කේරළ ප්‍රාන්තයේ දී ජාතික විමර්ශන ආයතනයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති 29 හැවිරිදි රියාස් අබුබකර් නැමැති සැකකරුගෙන් මේවන විට රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු වේ.

එහිදී ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ නායකයා වන සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ බවය. එසේම කේරළ ප්‍රාන්තයේ ද එවැනි මරාගෙන මැරෙන ප්‍රහාරක් සැලසුම් කර තිබූ බව පවසා ඇත.

අසාද් සාලි රුස්වීමට එද්දි පළාත් පාලන සභාපතිවරු නැගිට යති-පිරිසක් ''හූ''ත් කියලා










කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ ඊයේ (30) උදේ පැවැති කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැමිණි අවස්ථාවේදී රැස්වීමට සහභාගි වී සිටි කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සභාපතිවරු රැස්වීමෙන් පිටවී ගියහ.

කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතාගේ  ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.

රැස්වීම ආරම්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න හා කළුතර දිසා ලේකම් යූ.ඩී.සී. ජයලාල් යන මහත්වරුන්ද සභාව අමතමින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුවේ සම සභාපතිවරයා ලෙස බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා මැයි මස 28 වැනිදා සිට පත්කර ඇති බව දැනුම් දුන්හ.

රැස්වීම පැවැත්වෙමින් තිබියදී අසාද් සාලි මහතා පැමිණ අසුන් ගැනීමත් සමග කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල  සභාපතිවරු රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ.  ඒ සමගම පිටතට පැමිණි මාධ්‍යවේදීන් සභාපතිවරුන් හමුවී රැස්වීමෙන් පිටවී යන්නේ මක්නිසාදැයි විමසු විට ඊට පිළිතුරු දුන් වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල මහතා පැවසුවේ රැස්වීම් ශාලාවේ තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති නිසා පිටව යන බවය.

පළාත් සභාව විසුරුවා ඇති බැවින්  නිලධාරින් හිතුමතේ කටයුතු කරන බව කී  අතුකෝරල මහතා ඉක්මනින් පළාත් සහා මැතිවරණය පැවැත්විය යුතු බවද ප්‍රකාශ කළේය.

මේ අතර හෙට්ටිපොල සීවලී සහ  මස්පන්නේ ගුණසේකර යන හිමිවරුන් ඇතුළු හිමිවරු හා තවත් පිරිසක්ද අසාද් සාලි මහතාට එරෙහිව දිසා ලේකම් කාර්යාලයේ ගේට්ටුව අසල විරෝධතාවයක යෙදී සිටියහ.

අසාද් සාලි මහතා රැස්වීම අවසානයේ පිටුපස දොරටුවෙන් පිටතට යැවීමේදී එහි  ගිය භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ඔහුට විරෝධය පළ කළ අතර පිරිසක් "හූ" කියමින්ද වීරෝධය පළ කළහ.
(කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)

බෝම්බකරුවන් 09 දෙනා දුන් දුරකතන ඇමතුම් 1,800 ක් අරන්








අප්‍රේල් 21 වැනිදා මරාගෙන මැරුණු බෝම්බකරුවන්   නවදෙනා ලබාගෙන තිබූ සහ ඔවුන්ට ලැබී තිබූ ජංගම දුරකතන ඇමතුම්වලට අදාළ අංක 1,800ක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වාගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  විසින් සිදු කරන ලද විමර්ශනයේ දී මෙම අංක සංඛ්‍යාව හඳුනාගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම අංක සම්බන්ධයෙන් සිදුකෙරෙන විශ්ලේෂණයේ දී මෙම බෝම්බකරුවන් සමග සම්බන්ධකම් පැවැත් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට හැකි වනු ඇතැයි ඔහු පැවසීය.

එම අංක අනුව දැනටමත් කීපදෙනකු හඳුනාගෙන ඇති බව ද කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා. ඔවුන්ගෙන් ප්‍රශ්න කර ත්‍රස්තවාදීන් සමග පැවැත් වූ සම්බන්ධකම් සම්බන්ධයෙන් හෙළිකර ගැනීමට කටයුතු කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

මියන්මාරයේදී ඇල්ලු අයි එස් ත්‍රස්තවාදියා ගැන රාජ තාන්ත්‍රික මට්ටමින් පරීක්ෂණ




පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයකු මියන්මාර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පරික්ෂණ කටයුතු සිදු කරනු ලබන බවත් ඒ පිළිබඳව ඉදිරියේදී රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමින් ඉදිරි කටයුතු සිදු කරන බවත් වාර්තා වේ. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති නන්දිමිත්‍ර ඒකනායක මහතා පසුගිය අගහරුවාදා (28) මේ බව කියා සිටියේය. මෙම පිරිස සමග සබදතා පැවැත්වූ බව කියන අබ්දුල් සලාම් ඉෂාද් මහමුද් නමැති 39 හැවිරිදි පුද්ගලයකු පසුගියදා මියන්මාර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සංචාරක වීසා මත එරට රැඳී සිට ඇති අතර වීසා අවසන් වී වසරකුත් මාස දෙකක් පමණ මියන්මාරයේ නීති විරෝධී අන්දමින් රැදී සිට ඇති බව මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇතැයි තානාපතිවරයා පැවසීය. හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ සිදු කරන පරික්ෂණ සඳහා එරට පොලිසියට පුර්ණ සහාය තානාපති කාර්යාල හරහා ලබා දෙන බවයි.


-ඉන්දික අරුණ කුමාර-

පාස්කු ඉරිදා ප්‍රහාරයේ දුරකථන අංක 1,800ක් ගැන CID පරීක්ෂණ



පස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ සැකකටයුතු දුරකථන අංක 1,800ක් පමණ හදුනාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරික්ෂණ ආරම්භ කර ඇති බවත් ඊයේ (30) කොළඹ පැවති ආරක්ෂක තත්වය පිළිබද දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් අධිකාරි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේස්කර මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනාට අදාළ දුරකථන සහ ඒ වෙත වරින්වර ලැබුණු දුරකථන ඇමතුම් පිළිබද දීර්ඝ ලෙස පරික්ෂණ සිදු කරමින් පවතී. එම පරීක්ෂණවලදී අනාවරණය වී ඇති කරුණු මත පදනම්ව මෙම දුරකථන අංක  1,800 පිළිබද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  විසින් දීර්ඝ වශයෙන් පරික්ෂණ ආරම්භ කර තිබේ.

මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සිදු කරනු ලබන විමර්ෂන කටයුතු ඉතා සාර්ථකව සිදු කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත්  කියා සිටියේය. ඒ අනුව බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් සැකකාරියන් 7 ක් ඇතුළු සැකකරුවන් 66 දෙනකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ හා සැකකාරියන් 2ක් ඇතුළු සැකකරුවන් 21ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරයේ රදවා ගෙන විමර්ශන කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

-උපුලි ජයරත්න-

කුවේට් ශ්‍රමිකයින්ට රක්ෂණ ක්‍රමයක්



කුවේට් රාජ්‍යයේ ගෘහස්ථ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා ජුනි මස 03 වැනිදා සිට එරට තුළ ක්‍රියාත්මක වන රක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වා දී තිබේ. මෙම රක්ෂණාවරණය විදේශ රැකියා ඒජන්සියක් මගින් හෝ ස්වයං මාර්ගයෙන් කුවේට්හි ගෘහාශ්‍රිත රැකියා සදහා යන ශ්‍රමිකයින් සදහා අනිවාර්ය වන අතර අදාළ සේවකයා බඳවාගනු ලබන එරට හාම්පුතා විසින් ගල්ෆ් ඉන්ෂුවරන්ස් සහ රිඉන්ෂුවරන්ස්  (Gulf Insurance and Reinsurance) රක්ෂණ සමාගම මගින් මෙම රක්ෂණාවරණය ලබාගත යුතුය.

මෙමගින් කුවේට් රටේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයාට සිදු වන පුද්ගල අනතුරු, අසනීප තත්වයන්, නැවත හරවා එවීම් හා මරණය වැනි අවස්ථාවලදී රක්ෂණ  ප්‍රතිලාභ හිමි වේ. ශ්‍රමිකයින් රැකියාව සඳහා යෑමට පෙර කුවේට් තානාපති කාර්යාලයේදී රැකියා ගිවිසුම අත්සන් කරන විට මෙම රක්ෂණය තිබීම අනිවාර්ය වන අතර විදේශ රැකියාවට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී රැකියා ගිවිසුම සමඟ මෙම රක්ෂණ ඔප්පුව ඉදිරිපත් කිරීමද අනිවාර්ය වේ.  මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ සියලුම විදේශ ගතවන්නන් සඳහා දැනට ක්‍රියාත්මක 'සහන' රක්ෂණාවරණයට අමතරවය.

-දිනුක මලින්ද හේරත්-

Thursday, May 30, 2019

අංක තහඩු නැති කෝටි 2ක ජීප් එකක් පානදුරේ හංගලා පාස්කු ප්‍රහාරවලට සම්බන්ධදැයි සැකයක්



රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් අංක තහඩු නොමැති අති සුඛෝපභෝගී ජීප් රථයක් පානදුර ස්ටීරං ෆුල් වත්ත තාප්පයකින් වට කරන ලද නිවෙසක් අසල සඟවා තිබියදී සොයා ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි. කළු පාටට හුරු ජීප් රථයක් දින ගණනාවක් තිස්සේ සැකසහිත අයුරින් නිවෙසක් අසල නවතා තිබෙන බවත් එහි අංක තහඩු නොමැති බවට පානදුර පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතාට ලද තොරතුරකට අනුව එම ජීප් රථය සොයාගත් බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරින් එම නිවෙස සොයා යෑමේදී තාප්පයකින් වට කරන ලද නිවෙස වසා තිබී ඇත. නිවෙස ඉදිරිපිට ගේට්ටුවද වසා තිබූ බව පොලිසිය කියයි. අසල්වාසීන්ගෙන් නිවෙස් හිමිකරු පිළිබඳ විමසීමේදී ඔහු රාත්‍රි කාලයට පමණක් නිවෙසට පැමිණෙන බවත් තාප්පයෙන් පැන නිවෙසට ඇතුළු වන බවත් පිටවන අවස්ථාවේදිද තාපයෙන් පැන පිට වී යෑම පුරුද්දක් කරගෙන තිබූ බවත් එම මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි.

එම පුද්ගලයාගේ බව පවසමින් අසල්වැසියකු ලබා දුන් ජංගම දුරකථන අංකයට පොලිස් නිලධාරීන් ඇමතුම් රැසක් ගෙන ඇතත් ඔහු ඉක්මනට පැමිණෙන බවට පවසමින් දවස පුරාම පොලිස් නිලධාරීන් නොමඟ යවමින් කල් ගෙවූ බව පොලිසිය කියයි. සුඛෝපභෝගී ජීප් රථයේ විදුරු සියල්ල වසා අත් තිරිංග ක්‍රියාත්මක කර තිබූ හෙයින් එම ස්ථානයෙන් පිටතට ගැනීම සඳහා ප්‍රධාන දොරටුව අසල තාප්පය මෙන්ම ජීප් රථයේ ඉදිරියේ දකුණු පස වීදුරුවටද අලාභහානි කිරීමට සිදුවූ බව පොලිස් නිලධාරියකු පැවැසිය.

පොලිස් භාරයට ගත් ජීප් රථය ආපදා රථයකින් පොලිසියට රැගෙන ගොස් ඇත. වාහනය කොටස් එක්කර තනන ලද එකක් බවට බොහෝ දුරට සැක කළ හැකි බව පොලිසිය කියයි.

-එම්.සී.පෙරේරා-

පාර්ලිමේන්තු පාරේ මහ රෑ අලුත් පන්නයේ මංකොල්ලයක්



ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක ජේයෂ්ඨ නිලධාරියකු පසුගිය 25 වැනිදා රාත්‍රියේ කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට යාබද ජපන් මිත්‍රත්ව පාරේදි කුඩා දරුවකුද සමඟ සිටි යුවළකගේ ගැටයකට හසුවී මංකොල්ලකෑමේ වෑයමකට මුහුණ දී නූලෙන් දිවි ගලවාගෙන තිබේ. එම නිලධාරියා විස්තර කරන ආකාරයට ඔහු මුහුණ පෑ අකරතැබ්බය මෙසේය.

“ඒ වෙලාවේ රෑ දහයට විතර ඇති. මම ආවේ මහරගම පමුණුව පැත්තෙ ඉඳලා. ජපන් මිත්‍රත්ව පාරට හැරිලා ටික දුරක් එනකොට තරුණ ජෝඩුවක් පොඩි දරුවකුත් වඩාගෙන මගෙ කාර් එකට අත දැම්මා. මම පොඩි දුරක් නවත්වන්නේ නැතිව ගිහිල්ලා ආපහු රිවස් කරලා විදුරුව පහත් කරලා ඇයි කියලා ඇහුවා.”

"අපිව පොඩ්ඩක් දාගෙන යන්න පුළුවන් දැයි” මෙම තරුණ ජෝඩුව විමසා සිටියේය. මහ රෑ මහමග අතරමංව සිටින මොවුන් දෙදෙනා මඳ දුරක් මෝටර් රථයේ දමාගෙන ඔවුන්ට පිහිටක් වීමට මෙම නිලධාරියා සංවේදී විය.  “හරි... යමු. නහින්න” යැයි කියමින් මෙම නිලධාරියා තරුණ යුවළ, දරුවා සමඟ සිය මෝටර් රථයට නංවා ගත්තේය. ඔවුන්ගේ අවුරුදු 1 1/2ක් පමණ වන කුඩා දරුවා තරුණියගේ කර මත නිදාගෙන සිටිනු මෙම නිලධාරියා දුටු විට ඔහුගේ දියණියද සිහියට ආවේය.

මහ මහමග තනිව සිටි මෙම යුවළ මෝටර් රථයට නංවා ගත් මෙම නිලධාරියා නැවත ගමන් ඇරඹීය. මිටර් සියයක් පමණ දුර යනවිට “අයියේ පොඩ්ඩක් වාහනය නතර කරනවාද?" යැයි තරුණයා විමසීය.  “නෑ මේ දෙන්නා මෙතැනින් බහිනවා. මාව නයිට් කඩයක් ළඟින් දාන්න. මෙයාලට කෑම එකක් ගන්න ඕනෑ” යැයි එම තරුණයා කිවේය. ඒ මොහොතේ යම් සැකයක් හිතට නැගුණද කුඩා දරුවකුගේ බඩගින්නට අහරක් ගැනීමට අවශ්‍ය යැයි කියූ නිසා ඉන් එහා යමක් විමසිමට මේ නිලධාරියා කටයුතු කළේ නැත. මීටර් සියයක් පමණ දුර ගිය පසු තමාට මෙවන් අකරතැබ්බයකට මුහුණ දිමට සිදුවනු ඇතැයි මෙම නිලධාරියා සිහිනයකින් වත් සිතුවේ නැත.

“පොඩ්ඩක් නතර කරනවා වාහනය" යැයි මෙම තරුණයා දැඩි ස්වරයෙන් කීවේය. ඒ මොහොතේ මෙම නිලධාරියා තරමක් කලබලයට පත්විය. මෝටර් රථය නතර කරනවාත් සමගම මෙම තරුණයා සිය වම් පස සාක්කුවේ තිබූ අඟල් 15ක් පමණ දිග පිහියක් අතට ගෙන මෙම නිලධාරියාගේ බෙල්ලට තිබ්බේය. ඔහුට කර කියාගත හැකි දෙයක් නොමැති විය.

"දැන් කෑ ගහන්නේ නැතුව ෆෝන්, පර්ස් එළියට ගනින්” මෙම තරුණයා කීවේය. ඒ මොහොතේ නිලධාරියා සිය මෝටර් රථයේ නළාව අතින් තදකර ගනිමින් දිගටම නාද කළේ එහි ගමන් ගන්නා වෙනත් වාහනයකින්වත් මෙය දැක නතර කරනු ඇතැයි අපේක්ශාවෙනි. නමුත් කිසිදු වාහනයක් නතර කළේ නැත. අනතුරුව මෙම නිලධාරියා දැඩි වෙහෙසක් ගෙන ඔහුගේ අසුන පැත්තේ ඇති දොර විවෘත කර ගත්තේය.

ඒ මොහොතේ දැඩි කලබලයට පත්වූ මංකොල්ලකරු මෝටර් රථයෙන් එළියට පැන ගත්තේය. ඒ නිකම්ම නොවේ. මෙම නිලධාරියාගේ දකුණු අතට අනිමින්ය. අනතුරුව මෙම මංකොල්ලකරු පාරෙන් පැන දිව ගියේය. ඒ මොහොතේම සිය දොර තදින් වසාගත් නිලධාරියා මෝටර් රථය පණගන්වා වේගයෙන් ඉදිරියට ගියේය.  “ටික දුරක් යනකොට තමයි මම දැක්කේ මගේ අතේ මස් එළියට පැනලා ලේ ගලනවා කියලා. මට එකවරම මතක් වුණේ පන්නිපිටියේ තියෙන පෞද්ගලික රෝහල. මම එතනට ගියා. තුවාලෙ දැක්කම ඒ අය භාරගන්න බෑ කිව්වා. ඊට පස්සේ මම කොළඹ ජාතික රෝහලට ගියා. මැහුම් 13ක් දැම්මා" යැයි නිලධාරියා කීවේය.

මෙම මංකොල්ලකාර යුවළ තලවතුගොඩ-හෝකන්දර පාර, ජපන් මිත්‍රත්ව පාලම වැනි ප්‍රදේශවල පාළු ස්ථානවල සැරිසරමින් මාර්ගයේ එන වාහන නතර කර ඒවාට නැගිමෙන් පසු මෙම මංකොල්ලකෑම පුරුද්දකට කරගෙන යන බවද වාර්තා වේ. "ඒ අය දිහා දැක්කම හිතන්නවත් බෑ හොරු කියලා. වැදගත් පාටට ඇඳගෙන හිටියේ. ඒ තරුණිය ජින්ස් එකකුයි ටී ෂර්ට් එකකුයි ඇඳලා හිටියේ. පිරිමියාත් එහෙමයි. පොඩි දරුවාත් ලස්සනයි. දැක්කොත් නම් මට අඳුර ගන්න පුළුවන්. මුහුණ මතකයි. මම ජාතික රෝහලේ පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. ඒ වෙලාවෙම තලංගම පොලිසියට කතා කරලා මොබයිල් එක යැව්වා. නමුත් අහුවෙලා නම් නෑ යැයිද මෙම නිලධාරියා සිය අත්දැකීම් විස්තර කළේය.

මෙම මංකොල්ලකාර යුවළ දිර්ඝ කාලයක සිට මෙම කොල්ලකෑම් සිදුකරන බවට තොරතුරු වාර්තා වන අතර මෙම නිලධාරියාගේ කාර්යාලයේ තවත් නිලධාරියකුට තලවතුගොඩ ප්‍රදේශයේදී මෙවැනි යුවළක් හමුවී ඇත. කෙසේ හෝ එදින ඔවුන් සිය මෝටර් රථය නොනවත්වාම ධාවනය කර ඇති බවද මෙම නිලධාරියා විස්තර කළේය. රාත්‍රියේ වාහනවල යන පුද්ගලයනට මෙවැනි නොසිතූ විරූ බියකරු අත්දැකීම්වලට හසුවීමට සිදුවන බැවින් ඒ ගැන දැඩි අවධානයකින් පසුවිය යුතු බවද මෙම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.


-රුචිර දිලාන් මධුසංඛ-

සංචාරය නංවන්න මාස 6ක මෙහෙයුමක්




පාස්කු ඉරිදා මෙරට සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් සංචාරක ක්ෂේත්‍රයට එල්ල වූ අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. මෙම සංචාරක ක්ෂේත්‍රය තුළින් උපයන ආදායම හා එම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වර්ධනය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා සංචාරක උපාය මාර්ගික සැලැසුම  2017- 2019 ක්‍රියාත්මකුට පැවැති කාලය අතරතුර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් එම අරමුණු ඉටු කර ගැනීම අභියෝගයක්ව ඇත.

ඒ අනුව ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත ගෝලීය නියෝජිතායතනයක් මගින් දින 45ක කාලයක් සඳහා කෙටිකාලින මහජන සම්බන්ධතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකාවේ සංචාරක සන්නාමය යළි ප්‍රචලිත කර ගැනීම සදහා මාස 6ක කාලයක් පුරා දැන්වීම් ප්‍රවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් මෙම යෝජනා ඉදිරිපත් කර තිබේ.

-දිනුක මලින්ද හේරත්-

ආසියානු සංවර්ධන බැංකුවේ 2021 මහා සභාවාරය ලංකාවේදී




ආසියානු සංවර්ධන බැංකුවේ 54 වැනි පාලක මණ්ඩල මහා සභා රැස්වීම 2021 වසරේ මැයි මාසයේ කොළඹ දී පැවැත්වීමට තීරණය කර ඇති බව ඊයේ (29) නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය කියා සිටියේය. ආසියානු සංවර්ධන බැංකුවේ සේවකයන්, රාජ්‍ය නොවන සංවිධාන, නිරීක්ෂණ රටවල සාමාජිකයන්, අන්තර්ජාතික සංවිධාන සහ පුද්ගලික අංශය සමග සබදතා තරකර ගැනීමට ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය දරන රටවල රජයයන්ට මෙම හමුව හරහා මහගු අවස්ථාවක් උදා වේ.

සාමාජික රටවල් 67ක් නියෝජනය කරමින් 3,000කට අධික පිරිසක් මෙම හමුවට සහභාගි වීමට නියමිතය. වාර්ෂික මහා සභාවට සහාභාගී වන පුද්ගලයන් හට නවාතැන් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් වූ මූලික වටයේ සාකච්ඡාවක් පෙරේදා (28) කොළඹ හෝටල් කළමනාකාරිත්වයන් සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර පැවැත්විණි.


-උපුලි ජයරත්න-

මා මාරු කළේ අසාද් සාලිගේ නීති විරෝධී නියෝග නොපළිගත් නිසයි-හිටපු නාගරික කොමසාරිස්ගෙන් රාජ්‍ය සේවා කොමිසමට ඇපෑලක්


බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ නීති විරෝධි නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා තමා කොළඹ නාගරික කොමසාරිස් ධූරයෙන් මාරු කරනු ලැබූ බවට වී.කේ.ඒ. අනුර මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කරමින් සඳහන් ඇත.

සිය ස්ථාන මාරුවට ආණ්ඩුකාරවරයා කෙළින්ම මැදිහත්වූ බව ඊට මුල්වූ රාජ්‍ය නිලධාරින් සඳහන් කර ඇතැයි ද ආණ්ඩුකාරවරයා එම තනතුරට පත්වූ දා පටන්ම නීති විරෝධී ක්‍රියාවන් ඉටුකර ගැනීම සඳහා තමාට විවිධ බලපෑම් කළ බවද  අනුර මහතා කියා සිටී.

ආණ්ඩුකාරවරයාගේ මෙම නීති විරෝධි ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම නිසා තමා අසාධාරණ ලෙස මාරුකර යවා ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. මෙම ආර්ථික කටයුතු හා පොදු සැපයිම් අමාත්‍යංශයට තමාට ලබාදී ඇති ස්ථාන මාරුව පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත් නොවන බවද තමාට වඩා ජ්‍යෙෂ්ඨත්වයන් අඩු නිලධාරීන් රැසක් එහි ඉහළ නිලතල හොබවන බැවින් එම ස්ථාන මාරුවීම
නොපිළිගන්නා බවද අනුර මහතා කියා සිටියේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්ගේ ස්ථාන මාරු අභියෝගයට අනුව බස්නාහිර පළාත් සභා ලේකම්වරයාගේ (CSWP/PTR/2-2/F1/6G) දරන 2016.05.28 දිනැති ලිපියෙන් කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා ආර්ථික කටයුතු සහ පොදු සැපයීම් අමාත්‍යංශයට වහාම ක්‍රියාත්මක  වන පරිදි ස්ථාන මාරුකර තිබුණි.

යහපාලන ආණ්ඩුව බලයට ගෙන ආවාට මහාචර්ය සරත් විජේසූරිය ශාප කරගනී






මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත් කිරීමට දායකවීමේ වරදටත් රනිල් වික්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා ඊයේ (20) තමාටම ශාප කරගත්තේය.

ඔහු මෙසේ ශාපකරගත්තේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති  මාදුලුවාවේ සෝභිත හිමිගේ 77 වන ජන්ම දින උත්සවයට සහභාහි වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද පැවසීය.

''මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස තෝරාගැනීමට අපට හේතු ලෙස චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය අපට පෙන්වා දුන්නේ ඔහු දූෂිතයෙක් නොවීමත්, ජාතිවාදියෙක් නොවීමත්, අත්දැකීම් ඇති අවංක පුද්ගලයෙක් වීමත් යන කරුණුය. එහෙත් ඒ සියල්ල සාවද්‍ය බව අද රටම දන්නවා.

ගුවන්යානා පුරෝගෙන මහජන මුදල් නාස්ති කරමින් රට  සිරි යන බවට අප මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා  කළා. එහෙත් අද වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා හැම  වැඩකින්ම මහින්ද රාජපක්ෂව පරදවා ඇති බව ඔප්පුකර හමාරයි. මහින්ද රාජපක්ෂ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ නිසා ව්‍යවස්ථා සභාවක අවශ්‍යතාවය මතු වුණා. සිරිසේන මහතා තමන්ට අවශ්‍ය ලෙස විනිසුරුවන් පත් කර ගැනීමට නොහැකි වූ නිසා ව්‍යවස්ථා සභාවේ අවජාතකක දරුවෙක් ලෙස ගබ්සාවට ලක් කළා.

මේ සෑම දේකින්ම විෂධ කළේ විධායක බලයෙන් රටට විනාශයක් නොවේද? ජනතාව එක් පුද්ගලයෙකු මත  විශ්වාසය තබා බලයට ගෙනාවත් ඔහු බලයට පත්වූ පසු කල්පනා කරන්නේ තමන්මගේ දරුවන්ට හා පරම්පරාවට ධනවත් වීමට මාර්ගය සකස් කිරිමයි.

දරුවන්ට ප්‍රභූ ආරක්ෂාව සැපයීම කෙබදු විහිළුවක්ද? සිරිසේන මහතා ජනාධිපති බවට පත්කිරීමට දායක වීම අප කළ වරදක් නම් ඒ වෙනුවෙන්  අපට සාප වේවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා. මහින්ද රාජපක්ෂ මහතා බලයෙන්  පහකිරීමට රටට අවශ්‍ය වූයේ පටු අරමුණුවලින් වියුක්තව බව කා හෝ තේරුම් ගැනීමට හැකි නම් අප සෝභිත හිමි මග යමින් හෘද සාක්ශියක් ඇති පුරවැසියන්ගේ ජීවිතවලට වගකියන නීතිය මත පාලනයට කැපවන නායකයෙක් වෙනුවෙන් යළි බලාපොරොත්තු දල්වා ගනිමු. සෝභිත හිමි නාමයෙන් සිරබත් කන්නට වුව සුදානම් සාධාරණ සමාජයක් වෙනුවෙන් කැපවී කටයුතු කරන්නෙමු.

සහරාන් ගන මුලින්ම සාකච්ඡා වුණේ 2015දි-ජාතික බුද්ධි ප්‍රධානී සිසර මෙන්ඩිස්













ජාතික ආරක්ෂක මණ්ඩලය පසුගිය පෙබරවාරි මස 19 වැනිදායින් පසුව පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන තුරුම මාස දෙකක් තිසේ රැස්වී නැතැයි ජාතික බුද්ධි ප්‍රධානී  හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා එම ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ (29) සාක්කි දෙමින් ප්‍රකාශ කළේය.

ආරක්ෂක බුද්ධි මණ්ඩලය ඉකුත් අප්‍රේල් මස 09 වැනිදා අඟහරුවාදා රැස්වූ අවස්ථාවේදි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව කල්තියා ලැබුණු තොරතුරු සාකච්ඡාවට ගත යුතු බව තමා පැවසුවත් එහිදී ඊට අවධානයක් යොමු නොවුණු බව පැවසු සිසිර මෙන්ඩිස් මහතා ඊට පසුව ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරය එල්ල වනතුරුම බුද්ධි මණ්ඩලයේදී ඒ කාරණය ගැන සාකච්ඡා නොකෙරුණු බවද සඳහන් කළේය.

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳව කරුණු  සොයා බැලීමට පත් කරුණු පාලිමේන්තු විශේෂ කාරක සභාවේ රැස්වීම එහි වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයපත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා 4 හිදී ඊයේ (29) දවස පුරා පැවැත්විණි.

විශේෂ කාරක සභාව හමුවේ වැඩිදුරටත් සාක්ෂි දුන් සිසිර මෙන්ඩිස් මහතා පැවසුවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ තර්ජන ගැන ආරක්ෂක මණ්ඩලයේදී අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ බවය.

ත්‍රස්ත කල්ලි නායක මොහොමඩ් සහරාන්  හෂිම් ගැනද ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡා කෙරුණු බවත් ආරක්ෂක මණ්ඩලයේදී පළමු වරට ඔහු ගැන සාකච්ඡා කෙරුණේ 2015 ඕක්තෝබර් 06 වැනිදා බවත් ඔහු අනාවරණය කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු ජාතික පොලිස් බුද්ධි ඒකකයේ ප්‍රධානියා විසින් අප්‍රේල් මස 08 වැනිදා තමා වෙතද යොමු කර තිබිණි යැයී කී සිසිර මෙන්ඩිස් මහතා එම තොරතුරු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පතිවරයාට යොමු කළ බව අදහස්  කළේය.

 එම බුද්ධි තොරතුරු ලැබුණේ කාගෙන්දැයි තමා නොදන්නා බවත් එය ලැබුණේ කාගෙදැයි බුද්ධි මණ්ඩල රැස්වීමකදී පවා කරුණු විමසීම් නොකෙරුණු බවත් ඔහු කීවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තමා හිටපු පොලිස්පතිවරයාට චෝදනා නොකරන බවත් බුද්ධි තොරතුරු විශේලේෂණය කර ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා යාත්ත්‍රණයක් සකස් කිරීම පොලිස්පතිවරයාගේ වගකීම බවත් පැවසූ සිසිර මෙන්ඩිස් මහතා සියලුම බුද්ධි අංශවල ඒකාබද්ධතාවක් කිරීම වැදගත් බවද කමිටුව හමුවේ පිළි ගත්තේය.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්වීමට එහි සාමාජිකයන් වන අමාත්‍යවරුන් වන රවී කරුණානායක, රවුෆ් හකීම්. හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ, වෛද්‍ය නලින්ද ජයතිස්ස (ජවිපෙ) හා පාර්ලිමේන්තු සහකාර ලේකම් ටිකිරි ජයතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

මෙවර සා.පෙළ ලියන්න සිටි අරලගංවිල සිසුන් සිව් දෙනෙක් පාසල් වැසිකිළියේ බෝතල් පාටි දාලා






දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසයේ අරලගංවිල ප්‍රසිද්ධ පාසලක සාමාන්‍ය පෙළ සිසුන් සිවු දෙනෙකු පෙරේදා (28) එහි වැසිකිළියක් තුළ මත්වතුර බීමට සූදානම් වෙද්දී අරක්කු බෝතල් දෙකක් සමග සිය බාරයට ගත් බව ගුරුවරු පවසති.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග යට පෙනී සිටීමට සූදානම් එම සිසුන් සිවුදෙනා අරලගන්විල පොලිසියට බාර දුන් බව ද පාසල් ප්‍රකාශකයෙක් කීය.

මවුපියන් පාසලට ඇතුළු වන සිසුන්ගේ බෑග් පරික්ෂා කළ ද මෙම අරක්කු බෝතල් අසුවී නොමැත. පසුව කළ විමර්ශනවලදී සැකකාර සිසුන් දෙදෙනකු සිය කළිසම් සාක්කුවේ දමාගෙන අරක්කු බෝතල් දෙක පාසලට රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

එසේ  රැගෙන ගිය අරක්කු බීමට තවත් සිසුන් දෙදෙනකු සමග පාසලේ වැසිකිළියට ගිය අවස්ථාවේ ගුරුවරුන්ට මෙම සිසුන් සම්බන්ධයෙන්  සැකසිතී සොයා බැලීමේදී  අරක්කු බෝතල් සමග මෙම සිසුන් ගුරුවරුන්  බාරයට ගෙන ඇත.

මෙම සිසුන් සිවුදෙනාගේ මවුපියන් සහ  ගුරුවරුන් පොලිසිය  ගෙන්වා දැඩි ලෙස අවවාද කළ බව අරලගංවිල පොලිසිය කියයි.

 මීට පෙර අවස්ථා කීපයකදී මෙවැනි සිද්ධි කීපයක් පොලිසියට වාර්තා වූ බව අරලගංවිල පොලිසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා චන්දමාලි වාසලමුදලි මහත්මියගෙන් අප කළ විමසුමකදී කීවේ මේ පිළිබඳව තවමත් තමන්ට වාර්තා වී නොමැති බවත් වහාම මේ සම්බන්ධයෙන් සොයා බලන බවය.

අත්අඩංගුවට ගැනීමට ගිය කොස්තාපල්ට ආයුධයකින් පහරදී කුඩ්ඩා පැන ගිහින්







මත්කුඩු පානය කරමින් සිටි පුද්ගලයකු විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට ගිය කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බව වැලිකඩ පොලීසිය පවසයි.

මෙලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ ලාල් ජයතිලක නමැති කොස්තාපල්වරයෙකි. ඔබේසේකරපුර සර්වෝදය මාවත නිවසක් තුළ පුද්ගලයෙකු මක්කුඩු පානය කරන බවට ලද තොරතුරක් මත වැලිකඩ පොලීසියේ විෂ මන්ද්‍රව්‍ය හා වැටලීම් ඒකකය සැරයන්වරයකුගෙන් යුතු කණ්ඩායමක් එම නිවස සොයා ගොස් ඇති අතර, එහිදී පොලිස් කණ්ඩායමේ සෙසු නිලධාරීන් එම නිවස ආසන්නයේ රැකවල්ලා සිටියදී තුවාල ලද කොස්තාපල්වරයා නිවස තුළට ගොස් සැකකරු අල්ලා ගැනීමට උත්සාහ කළ බවත්, එහිදී සැකකරු කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බවත් පොලීසිය පවසයි.

 එම අවස්ථාවේ සැකකරුට පලා යෑම සදහා ආධාර අනුබල දීම සම්බන්ධයියන් එහි සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මහවැලි ගඟේ වැලි ගොඩදමමින් සිටි අය හමුදා ඇඳුම්වලට බිය වී ගඟට පැනලා-එක් අයෙක් මරුට


මූතුර් රාල්කුලි ප්‍රදේශයේදී මහවැලි ගඟේ පෙරේදා (28දා) දහවල් නීතිවිරෝධී ලෙස වැලි ගොඩදමමින් සිටි සිවුදෙනෙකු හමුදා කැලෑ ඇඳුම්වලට සමාන ටී ෂර්ට් පැලඳ සිටි පිරිසකට බිය වී මහවැලි ගඟට පැන්න අවස්ථාවේදී ඉන් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි මූතුර් පොලීසිය පවසයි.

 මූතුර් පෙරියපාලම් හාදියාර් මාවතේ පදිංචි ලතීෆ් මොහාමදු සහරාන් (24) නමැත්තෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

සෙසු තිදෙනා පිහිනා ගොඩට විත් ඇති අතර අනතුරුව කැලෑ ඇඳුම්වලට සමාන ටී ෂර්ට් පැලඳ සිටි පිරිස දක්නට. නොලැබුණු බව පොලීසියට පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දිවි බේරා ගත් තිදෙනාගෙන් ප්‍රශ්න කරගෙන යන අතර  මළ සිරුර මූතුර් රෝහලේ තැන්පත් කර තිබේ.

මුතුර් පොලීසිය සිද්ධිය පිළිබඳ  වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ත්‍රිකුණාමලය - චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව

Wednesday, May 29, 2019

විශ්වාසභංගයේදී ජවිපෙ බදුයුදීන්ට එරෙහි වෙයි.








විශ්වාසභංග යෝජනාවේදී රිෂාඩ් බදීයුදීන් අමාත්‍යවරයාට එරෙහිව කටයුතු කරන බවත්, ආණ්ඩුවේ කිසිදු අමාත්‍යවරයෙකු ආරක්ෂා නොකරන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදය ප්‍රථමයෙන් පැමිණෙන බවත්, එහි ඡන්ද විමසීමෙන් පසු තම පක්‍ෂය විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා බවත් එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා බේරා ගැනීමට ආණ්ඩුවට එරෙහිව වීශ්වාසභංග යෝජනාවක් ගෙන ආ බවට ඇතැම් පිරිස් චෝදනා කළද ජනතා විමුක්ති පෙරමුණට කිසිදු අමාත්‍යවරයකු අදාළ නොවන බව හෙතෙම පවසා සිටියේය.

එම පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (27)දා දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ ප්‍රචාරක ලේකම්වරයා, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබෙන බවත්, එම කරුණු පදනම්ව විශ්වාසභංග යෝජනාව ගෙන ආ බවත් ප්‍රකාශ කළේය.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග‍්‍රහණය කළද, මැතිවරණයක් නොපැවැත්වෙන බවත්, සිදුවනුයේ පාර්ලිමේන්තුව තුළ වෙනත් ආණ්ඩුවක් නිර්මාණය වීම බවත් ඔහු පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ බැවින් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුව තිබූ බවත්, ආණ්ඩුව ඉල්ලා අස්වනු ඇති බවට මාසයක් බලා සිටි බවත් පැවසූ ප්‍රචාරක ලේකම්වරයා, අනතුරුව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ බවද පවසා සිටියේය.

-එච්.අයි. තුෂාර-

දැනටත් වෙඩි නොවදින රථ 03ක් දී තිබෙන මහින්දට තවත් වෙඩි නොවදින රථයක් දීම ගැන තීන්දුවක් නෑ

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඊයේ (28දා) සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාව සම්බන්ධයෙන් ඇමතිවරුන් පක්ෂව හා විපක්ෂව අදහස් පළ කර තිබෙන බවද වාර්තා වෙයි.

මහින්ද රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපතිවරයා වශයෙන් සහ විපක්ෂනායකවරයා වශයෙන් දැනට වෙඩි නොවදින මෝටර් රථ තුනක් ලබාදී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සඳහන් කර තිබේ.

ඉන්පසුව ඇමතිවරුන්ගේ අදහස් දැක්වීම් සිදුව තිබෙන බවත්, වෙඩි නොවදින නිල රථ යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී තිබෙන බවත් වාර්තා වෙයි.

ගුරුවරුන්ට නොමිලේ දෙන අත්පොත ළමයින්ටත් මුදල් දී ගන්න කියලා







රජයෙන් පොත් නොමිලේ ලබාදෙන අතරතුර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේත්තුවට පොත් විකිණිමේ ව්‍යාපාරයක් පටන්ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං මහතා  පැවැසීය.

මෙලෙස ඔවුන් විකුණනු ලබන්නේ  බස්නාහිර පළාතේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වන සිසු සිසුවියන්ට අවශ්‍ය ප්‍රශ්නෝත්තර පොතකි.

මෙම පොතක් ගුරුවරුන්ට ලබාදී ඇති  අතර පසුව ළමුන්ටද රුපියල් 130 බැගින් වූ මිලකට ලබාගන්නා ලෙසද ගුරුවරුන්ට දැනුම් දී ඇතැයි ඔහු පැවැසීය. ඒ අනුව සිසුන්ගෙන්  මුදල් එකතු කරගෙන ගුරුවරු මෙම පොත මිලදී ගන්නා බවද ඔහු පැවැසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පී.ශ්‍රීලාල් නෝනිස් මහතා මෙසේ පැවැසීය.

මෙවැනි පොතක් අපි සෑම වසරකම මුද්‍රණය කරනවා. ඒක ලබාදෙන්නේ ගුරු අත්පොතක් ලෙසයි. ඒක කිසිම කෙනෙකුට විකුණන්න කියලා කියා නැහැ. ඒ පොත කවුරුන් හරි කාව හරි විකුණා තිබෙනවා නම් ඒක සපුර්ණයෙන්ම වැරැදියි.

අපි දුන්නේ මේක ගුරුවරුන්ට අත් පොතක් හැටියටයි. එය සිසුන්ට අවශ්‍යය බව කියන්නේ නම් ඒ සදහා ඡායා පිටපත් කළ  පොතක් ලබාදිය හැකියි.

-මුදිතා දයානන්ද-

මුස්ලිම් සිසු සිසුවියන්ට සහරාන්ගේ දේශන පැවැත්වූ ගුරුවරයා රිමාන්ඩ්



ආගම් හා ආගමික කණ්ඩායම් අතර වෛරය පැතිරවීම සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දේශන පැවැත්වූ අයකු මැයි මස 31දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාවනැල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රියන්ත විජේකෝන් මහතා නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මාවනැල්ල පොලිස් වසමේ හිඟුල දෙල්ගහගොඩ ග්‍රාමයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක  ගුරුවරයෙකි.මෙම ගුරුවරයා කුරුණෑගල කැකුණුගොල්ල ග්‍රාමයේ ඉස්ලාමීය මුස්ලිම් පාසලේ ගුරුවරයකු ලෙස සේවය කරන අතර සැකකරු කැකුණුගොල්ල ප්‍රදේශයේ තාවකාලිකව නිවෙසක පදිංචිව සිටියි.

සැකකාර ගුරුවරයා කැකුණුගොල්ල මුස්ලිම් පාසලේ අධ්‍යාපනය  ලබන දරු දැරියන් හට ජාතික ආගම් ආගමික කණ්ඩායම් අතර වෛරය පැතිරවීම සඳහා තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන්ගේ දේශන ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට පවත්වා ඇත. පසුව මෙම දේශන සිදුකිරිම සම්බන්ධයෙන් විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම මවුපියන්ට දැනුම් දීමෙන් පසු මවුපියන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් කෑගල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට  අවස්ථා කිහිපයකදී පැමිණිලි කර තිබිණි.

පසුව කෑගල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් මේ ගුරුවරයා ඉකුත් 25දා මාවනැල්ල පොලිස් වසමේ හිඟුල දෙල්ගහගොඩ සිය නිවෙසට නිවාඩුවට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු සහරාන් සමඟ ගනුදෙනු කර  ඇති අතර ඊට සම්බන්ධ තොරතුරු ඇතුළත් සිඩි තැටියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබිණි. ඊට අමතරව සැකකරුගේ නිවෙසේ තිබී උපදෙස් මාලා පොත් කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පසුගියදා (26දා) මාවනැල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රියන්ත විජේකෝන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 31 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අතුල අබේරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක රණසිංහ සැකකරු මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


-චමින්ද ජයලත්-

වෙරළේ පෙම්සුව විඳිමින් සිටි තරුණියගේ මාලය කඩාගෙන ගිය සැකකරු අත්අඩංගුවට





කළුතර කටුකුරුන්ද මුහුදු වෙරළේ  පෙම් යුවළක් පෙම් සුව විඳිමින් සිටියදී පැමිණ පෙම්වතියගේ මාලය කඩාගෙන  ගිය බව කියන සැකකරුවකු ඊට දින  තුනකට පසු පෙම්වතා විසින් හඳුනාගෙන
පොලිසියට දැන්විමෙන් පසු දකුණු  කළුතර පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

පෙම්වතිය සමග ඉකුත් 24 වැනිදා තමා වෙරළේ සිටියදී දෙදෙනකු පැමිණ දෙදෙනා දෙපසට ඇදගෙන ගිය බවත් පසුව පෙම්වතිය පැලඳ සිටි රන් මාලය කඩාගෙන පලා ගිය බවත් පෙම්වතා පොලිසියට ප්‍රකාශ කොට ඇත.

මින් එක් සැකකරුවකු පෙරේදා (27) කළුතර කටුකුරුන්ද අයිලප්පෙරුම හන්දියේ සිටිනවා දුටු පෙම්වතා ඒ පිළිබඳව දකුණු කළුතර පොලිසියට දැන්වීමෙන් පසු පොලිස් නිලධාරින් පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොල්ලකන ලද රන් මාලය පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබියදී සොයාගෙන ඇත.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

(කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)

විල්පත්තු නඩුව විභාග කළ විනිසුරු තීන්දුව දීමෙන් වැළකෙයි








විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචිකිරීම් හා අනවසර ඉදිකිරීම් සිදුකරන  පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු බලධාරින්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ නඩුව විභාග කළ අභියාවනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙම නඩුව ජුලි 31 වැනි සිට යළි මුල සිටම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (27) දින නියම කළේය.

මෙම නියෝගය නිකුත් කෙරුණේ මෙම නඩුව ජනක් ද සිල්වා සහ බන්දුල නිශ්ශංක කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් හමුවේ ඊයේ (28) කැඳවනු ලැබූ අවස්ථාවේදිය.

නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් වැළකෙන බව විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අහියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ මහතාට පෙරේදා (27) දැනුම් දී තිබූ අතර, අභියාචනාධිකරණ සභාපති විසින් නඩුව යළි විභාගයට ගැනීමට දින නියම කිරීම් සඳහා එය ජනක් ද සිල්වා සහ බන්දුල නිශ්ශංක කරුණාරත්න යන මහත්වරුන්ගෙන් යුත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල වෙත යොමු කර තිබිණි.

ඒ අනුව මෙම නඩුව එම අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුව ජුලි 31 වැනිදා සිට යළි මුල සිටම විභාගයට ගැනීමට දින නියම කෙරිණි.

2015 වසරේ අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම තුන්වරක් කල් තැබූ අතර, අවසන් වරට අගෝස්තු 06 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට දින නියම කර තිබිණි.

පාරිසරික යුක්ති කේන්ද්‍රයෙන් ගොනු කර තිබූ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්. මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම්. කර්මාන්ත හා වානිජ අමාත්‍ය රීෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදුකෙරෙන එළිපෙහෙළි කිරීම නිසා එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කාර යුක්ති කේන්ද්‍රය සඳහන් කර සිටී.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් විණි. ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන වලින් එකක් වන විල්පත්තු වනෝද්‍යානයේ අධිරක්ෂිත කලාපයට අයත් අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කොට නීතිවිරෝධී ලෙස පුද්ගලයින් පදිංචි කර තිබේ. වගඋත්තරකාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මැදිහත්වීමෙන් සිදුකරන මෙම නැවත පදිංචි කිරීම යටතේ පවුල් 1500 ක් මේවනවිට එම වන රක්ෂිතයේ නැවත පදිංචිකරවා ඇතැයිද පෙත්සමේ සඳහන් වේ.

මම නැවත පදිංචිකිරිම් ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් සිදුකර ඇති බව ද පෙත්සමේ දැක්වේ.
පාරිසරික පනතට සහ පවතින නීතියට පටහැනි ලෙස මෙම වන එළිපෙහෙළි කිරීම, නැවත පදිංචිකිරීම් හා අනවසර ඉදිකිරීම් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන්ට නියෝග නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය අධිකරණයෙන් ඉල්ලා සිටී.

පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටින අතර නීතීපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මනෝහාර ජයසිංහ මහතා පෙනී සිටියේය.

(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)

ටී.එන්.ඒ. මන්ත්‍රි 4ක් රිෂාඩ්ට එරෙහි වෙති


අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනවාට මේ වනවිට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානයේ තමා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිවුදෙනකු තීරණය කර ඇති බවත් ලබන මස 06දා, 07දා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදි මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවිය යුතු බවට යෝජනාවක් තමා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මලනාදන් මහතා  ප්‍රකාශ කළේය.

ලබන මස 06දා, 07දා මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසකගේ සහාය විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා ගත හැකි වෙතැයි කියා තමා අපේක්ෂා කරන බවත් නිර්මලනාදන් මන්ත්‍රිවරයා සඳහන් කරයි. දෙමළ ජාතික සන්ධානය මේ සම්බන්ධයෙන් කුමන ස්ථාවරයක් ගත්තද තමා අනිවාර්යයෙන්ම මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමට ඡන්දය ලබාදෙන බව ඒ මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තව්හිද් ජමාත් සංවිධානය සමඟ ඉතා සමීප සබඳතා පැවැත්වූ බවට තහවුරු කළ හැකි සාක්ෂි සහිත තොරතුරු රැසක් මන්නාරමේ දෙමළ ජාතික සන්ධානයේ දිස්ත්‍රික් කමිටුව වෙත ලැබි තිබෙන බවද නිර්මලනාදන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

-ඩබ්ලිව්.කේ.ප්‍රසාද් මංජු-

කුමන්ත්‍රණයේ හවුල්කරුවන් වාසු හෙළි කරයි




ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය මලින්ද මොරගොඩ සහ ගී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ. බ්ලෙක් වැනි පාර්ශව එක්ව බරපතළ සැකසංකා මතු කරන දේශපාලන ප්‍රවණතාවක් ඇති කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. පෙරේදා (27) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම දේශපාලන ප්‍රවණතාව පිළිබදව කරුණු හෙළි කළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ජන සමාජයේ ඇති වූ කඩාවැටීම හරහා 'තවදුරටත් දේශපාලනඥයන් එපා, පාර්ලිමේන්තුව එපා, මැතිවරණ එපා, පක්ෂ දේශපාලනය එපා' වැනි මනෝභාවයක් නිර්මාණය වූ බවත් මේ වන විට එම මනෝභාවය දේශපාලන ප්‍රවණතාවක් බවට පත් කිරීමේ සංවිධානාත්මක  ක්‍රියාවලියක් දියත්ව ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

 පාට - පක්ෂ භේද එපා කියන සටන් පාඨය එක්සත් ජාතික පෙරමුණ නිර්මාණය කළ නමුත් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඉතා සූක්ෂ්මව එම සටන් පාඨය අධිරාජ්‍යවාදීන්ගේ බල වුවමනාව වෙනුවෙන් පෝෂණය කරන බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ දේශපාලන ව්‍යාපෘතිය තුළ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ 2020 ජනාධිපතිවරණය සදහා අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ. බ්ලේක්ද සිටින බව වාසුදේව නානායක්කාර මහතා මෙහිදී සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ලංකාවට පැමිණි රොබට් ඕ. බ්ලේක්, කොළඹ විශේෂ දේශනයක් පවත්වමින් මතුව ඇති තත්වයට විකල්පය ලෙස "ගෝඨාහය වැන්නෙකු නිර්දේශ කිරීම" සහ රොබට් බ්ලේක්ගේ මෙරට සංචාරය සංවිධානය කළ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයන් ප්‍රතික්ෂේප කිරීමේ මතවාදය පෝෂණය කිරීම තුළ මේ සැකසහිත අධිරාජ්‍යවාදී බලවේගවල මැදිහත්වීම තහවුරු වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

-උපුලි ජයරත්න-

එයාර් බෑග රහිත වාහන අලෙවියට වැට




එයාර් බෑග් නොමැති මරුටි ඇල්ටෝ හා ඩිමෝ බට්ටා යන වාහන අලෙවි කරන්නන්ට විරුද්ධව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසයි. කුඩා වාහනයක් අනතුරකට ලක්වුවහොත් අනිවාර්යෙන් වාහනයේ ගමන් කරන්නන්ගේ ජීවිත දැඩි අවදානමටකට ලක් වන බැවින් මින් ඉදිරියට එයා බෑග් නොමැති වාහන අලෙවිය තහනම් කර ඇතැයිද මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සහාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවැසීය.

පිටරටින් ආනයනය කරන වාහන සදහා ශ්‍රී ලංකාවේදී එයාර් බෑග් සවි කළද ඒ සඳහා කිසිදු වගකීමක් ලබා නොදෙන බවත් ආනයනික වාහන සඳහා එයාර් බෑග් සවි කර ඇත්තේ පූර්ණ පරීක්ෂාවකින් බවත් පෙන්වා දෙන සභාපතිවරයා, ඉදිරියේදී එයාර් බෑග් නොමැති වාහන සඳහා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කරයි.

-නිමල් රාජපක්ෂ-

සේවය හැර ගිය පොලිසියේ 6,500ක් නැවත එන්න සුදනම්


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සලකා රාජ්‍ය ආයතන සහ පාසල් ඇතුළු වැදගත් ස්ථාන ආරක්ෂා කිරීම සඳහා සේවය හැරගිය පොලිස් නිලධාරින් නැවත සේවයට එක් වීමට සූදානම් බව ඊයේ (28) කළ විමසීමකදී සේවය හැරයෑමේ නියෝග ලබා සිටි පොලිස් නිලධාරින්ගේ එකමුතුවේ කැදවුම්කරු ඩී.එම්.ආර්.ඩී. දිසානායක මහතා සදහන් කළේය.

මේ වනවිට දිවයින පුරා සේවය හැරයාමේ නියෝග ලබා  සිටින පොලිස් නිලධාරින් 6,500ක් පමණ සිටින බවත් ඔවුන් සියලු දෙනා හදිසි තත්වය මත නැවත සේවයට එක්වීමට කැමති බවත් ඒ මහතා පැවසීය. එසේම මෙම පිරීස සේවය හැරගියේ පොලිස් දෙපාර්තමේන්තුවේ යම් යම් ආකාරක්ෂමතාව හේතුවෙන් බවත් නොඑසේව විනය විරෝධී ක්‍රියාවන්වල නිරත නොවී බවත් එහෙයින් පවතින තත්වය මත ඔවුන් නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කරන ලෙසත් වැඩිදුරටත් අදහස් දක්වමින් සේවය හැරයෑමේ නියෝග ලබා සිටි පොලිස් නිලධාරින්ගේ එකමුතුවේ කැඳවුම්කරු ඩී.එම්.ආර්.ඩී. දිසානායක මහතා සඳහන් කළේය.

-දිනුක මලින්ද හේරත්-

Tuesday, May 28, 2019

රුපියල් 1,122 ක් වටිනා ඖෂධ කල් ඉකුත්වීම නිසා අයින් කරල




ඖෂධ සම්බන්ධයෙන් නිසි ලෙස කටයුත නොකිරීම  නිසා 2015 හා 2016, 2017 යත වසර තුන තුළදී රුපියල් මිලියන එක්දහස් එකසිය විසිදෙකක ඖෂධ කල් ඉකුත්වීම හේත්තුවෙන් ඉවත් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එසේම 2015 වසරේදී හා 2016 වසරේදී ඖෂධ මිලදී ගැනීමේදී හා අලුතින් ඖෂධ ලියාපදිංචි කිරීමේදී බරපතළ විෂමතාවක් සිදු වී තිබෙන බවට මේ වනවිට නිකුත් කර තිබෙන විගණන වාර්තාවකින් හෙළි වී තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. මේ නිසා වහාම මේ පිළිබඳ පරීක්ෂණයක්පවත්වා වැරදිකරුවන්ට දඩුවම් ලබාදිය යුතු බවද ඒ මහතා පවසා සිටියේය.

අලුතින් ඖෂධ ලියාපදිංචි කිරීම යටතේ 2016 වසරේදී අලුතින් ඖෂධ වර්ග තුන්දහසක් නව සමාගම හරහා ලියාපදිංචි කර තිබෙන බවත්,
මෙය ඉතිහාසයේ එක් වසරක් තුළ ලියාපදිංචි කළ වැඩිම ඖෂධ ප්‍රමාණය බවත් ලේකම්වරයා පවසා සිටියේය.

2015 වසරේදී ඔෂධ හිඟයක් නිර්මාණය කර රුපියල් මිලියන 4,310ක හා 2016 වසරේදී රුපියල්ලි යන 4,065ක, ඖෂධ ක්ෂණිකව මිලදී ගැනීම යටතේ මිලදී ගෙන තිබෙන
මේ සියලු දේවල් පිළිබඳ විගණන වාර්තාව තුළත් එළිදක්වා තිබෙන බවද හරි අලුන්ගේ මහතා සඳහන් කළේය.

- එච්.අයි. කුමාර-

බේරුවල සෝදිසි මෙහෙයුමකින් 10ක් අත්අඩංගුවට



බේරුවල පොලිස් බලප්‍රදේශයට අයත් වෙමිරාප්පුර, මත, මාලිගා , මිලාගාධ, හයිඩාගොඩ, පැලස් පාක්, කෝපියාවත සහගොරකාදුව යන ප්‍රදේශ කිහිපයක සිඳුකළ සෝදිසි මෙහෙයුමේදී ඊයේ (27)  සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි.
යුද හමුදා, ගුවන් හමූදාව හා පොලීසිය ඒකාබද්ධව සිදුකළ  මෙම  මෙහෙයුම්වලදී  නිවාස කිහිපයක තිබි යුද හමුදා නිල ඇදුම්වලට  සමාන ඇදුම් තොගයක්, කඩු දෙකක්, දුරදක්න  දෙකත්, හැඳුනුම්පත් කිහිපයක් අත්අඩංගුවට ගෙන්න තිබීණ.
 මේ අතර වෙස්ටිරොප්පුර ප්‍රදේශයේ අක්කර ගණනාවක්  ආරක්ෂෂක කඳවුරක් ආකාරයෙන් ආරක්ෂක බාධක සහිත කම්බි රෝල් යොදා තිබූ භූමියක් සහිත පරිශ්‍රයක්  දැඩි පරික්ෂාවට ලක් කළ අතර, විමර්ශනවලින් අනතුරුව අනාවරණය වූයේ විදේශිකයෙකුට අයත් සංචාරක නිකේතනයක් බවත්, එහි මාස කිහිපයකට පෙර විදෙස් සංචාරකයන් පිරිසක්  ලැගුම් ගෙන සිටි බවත්ය.

ආරක්ෂක හමුදා එම  පර්ශ්‍රයට ගිය අවස්ථාවේ එහි  සිටි පුද්ගලයන් තිදෙනකුගෙන් තොරතුරු සටහන් කරගෙන එම පරිශ්‍රය  පොලීසිය විසින් මුදා තබා ඇත. එමෙලෙස මුද්‍රා තැබූ පරිශ්‍රය  අද (28දා) දින නැවත  පරීක්ෂා කරන බවද පොලීසිය සඳහන් කරයි.

-ඒ අලුගෝව - කුමාර ද සිල්වා-

රටේ ආරක්ෂාව ගැන ජනපතිගෙන් විදෙස් තානාපතිවරුන්ට සහතිකයක්



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ  විදෙස් තානාපතිවරුන් අතර හමුවක් ඊයේ (27) උදෑසන ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

ත්‍රස්ත අභියෝගයට එරෙහි  සාර්ථක මෙහෙයුම්  පිළිබඳ එහිදී ජනාධිපතිවරයා  දැනුවත් කළ ජනාධිපතිවරයා මේ වන විට රටේ වත්මන් තත්ත්වය සියයට අනූවක් වහපත් බවට තමන්ට සහතික විය හැකි බව පවසා සිටියේය‍.

ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විසින් සිදු කරන ලද සාර්ථක මෙහෙයුම් ඊට හේතු වු බව සඳහන් කළ ජනාධිපතිවරයා , විදෙස් බුද්ධි අංහවලින්ද මෙරට ආරක්ෂක අංශ වෙත ලැබුණු  සහය ඇගයීමට ලක් කළේය .

සංවර්ධනය සඳහා ලබාදෙන සහයද අඛණ්ඩවම අපේක්ෂා කරන බව බව සඳහනස් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා සිදුවීමත් සමඟින් සංචාරකයන් සඳහා පනවා  ඇති බාධක කඩිනමින් ඉවත් කර ගැනීමට සහය වන ලෙස තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය .

 රටේ වත්මන් ආරක්ෂක තත්ත්වයට අදාළ කරුණු පැහැදිලි කිරීම පිළිබඳව එහිදී ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළකළ තානාපතිවරුන් , ශ්‍රී ලංකාවට පැමිණීමේ දී තම රටවල සංචාරකයන් සඳහා ඇති බාධා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවද පැවසුවා .

හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ආරක්ෂක අංශවල සාර්ථක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම පියවර ගත්තද , නැවත වරක් හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය .

ආරක්ෂක මෙහෙයුම් පිලිබඳව එහිදී වැඩිදුරටත් අදහස්  දැක්වු ජනාධිපතිවරයා පුද්ගලයන් , පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධ අත්අඩංගුවට ගැනීම පිළිබඳව විස්තර කළේය .

මෙවැනි සාහසික ප්‍රහාර යළි ඇති නොවීම සහතික කිරීම සඳහා ආරක්ෂක සේවාවල ප්‍රතිසංවිධානයක් සිදු කරමින් පවතින බවත් , නව නීති සම්ප්‍රදානය සහ නව ආයතන ව්‍යුහයක් ස්ථාපනය කිරීමට කටයුතු කරගෙන යන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ .

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර් . සෙනෙවිරත්න , විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආරියසිංහ , ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ .




හිස්බුල්ලා විසින් නැගෙනහිර ගුරුවරුන්ට දුන් මාරුවීම් අවලංගුයි


 පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ නියෝගයක් මත නැගෙනහිර පළාතේ   දෙමළ පාසල්වලින් ස්ථාන මාරු කර යැවූ   සියලු මුස්ලිම් ගුරුවරුන්ගේ ස්ථාන මාරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගය අනුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අවලංගු කර ඇත .

මේ පිළිඛඳ ලිඛිත නියෝගය පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ මන්සූර් මහතා විසින් මාරුවීම් සිදුවූ විදුහල්වල විදුහල්පතිවරුන්ට ඉකුත් 24 වැනිදා දැනුම් දී ඇති අතර මාරුවිම් ලැබූ ගුරුවරුන් කලින් සේවය කළ පාසල රාජකාරි සඳහා අනිවාර්යයෙන්ම වාර්තා කළ යුතු බවට ද නියෝග කර ඇත.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සිය බලතල අනිසි ලෙස භාවිත කරමින් නැගෙනහිර පළාතේ දෙමළ පාසල්වල සේවය කරන මුස්ලිම් ගුරුවරුන් මුස්ලිම් පාසලට මාරු කරමින් සිටිනබවටත් කාත්තන්කුඩියේ මුස්ලිම් සිසුන් වෙනුවෙන් වෙනම අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට සැරසෙන බවටත් මඩකළපු දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්. වියාලේන්ද්‍ර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැමිණිලි කර තිබිණි.

මේ පිළිබඳ අවධානය යොමුකර ඇති ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරයා දුරකතන මගින් සම්බන්ධ කර ගනිමින් එම ස්ථාන මාරු වහාම අවලංගු කරන ලෙසට නියෝග කර ඇත.

මේ අනුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා විසින් මෙකී මාරු කිරීම් සියල්ල අවලංගු කර ඇති අතර ඒ පිළිබඳ ලිපි විදුහල්පතිවරුන් වෙත යවා තිබේ.

මාරුවිම් ලද මෙම ගුරුවරුන් කලින් රාජකාරි කළ විදුහල්වල රාජකාරියට වාර්තා නොකළොත් ඔවුන්ට වැටුප් රහිත නිවාඩු ලබාදෙන ලෙස ද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.
මේ අතර මුස්ලිම් පාසල් 30ක් එක්කරමින් කාත්තන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට හිස්බුල්ලා මහතා ගත් උත්සාහය ද ව්‍යර්ථ වී ඇතැයි වාර්තා වේ.

-එෆ්. අස්ලම් -

ඩී.එන්.ඒ පරීක්ෂණවලට එවා ඇති මිනිස් කොටස් නරක්වෙලා



ඩී.එන්.ඒ. පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට එවා ඇතී මිනීස් කොටස් සම්පල් රැසක් කුණුවී විනාශ වී ඇතැයී වාර්තා වේ.  බෝමිබ ප්‍රහාරවලින් මියගිය ඇතැම් පුද්ගලයන්ට අදාළව ඩි.එන්.ඒ. පරික්ෂණ පැවැත්විම මේ තත්තවය යටතේ කළ නොහැකි වී ඇතැයි රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් පැවැසේ.

මිනිස් කොටස් සාම්පල් රැසක් කුණු වී ඇත්තේ බෝම්බ ප්‍රහාර සිදුවී සතියකට වැඩි කාලයක් ප්‍රමාද වී පැමිණීම නිසා යැයි කියති.  මෙම මිනිස් කොටස් සාම්පල් එවනු ලැබ තිබුණේ ඒ ඒ ප්‍රදේශවල අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාල මගිනි. එම කාර්යාලවලින් යළිත් සාම්පල් ලබා ගැනීමට කටයුතු කරගෙන යන බව කියන රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරිහු, මාංශ කොටස් පමණක් නොව අස්ථි කොටස් ද ඩී.එන්.ඒ. පරීක්ෂණ කටයුතු සඳහා යොදා ගත හැකි බව ප්‍රකාශ කරති.

මේ අතර පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහරවලට අදාළව තවත් වාර්තා කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව පවසයි. මෙම බෝම්බ ප්‍රහාර සිදුවූ ස්ථානවලට ගොස් ලබාගත් නිරික්ෂණ වාර්තතා ද මේ දිනවල අධ්‍යයනය කරගෙන යන බව එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මෙම සියලු පරික්ෂණ කටයුතු කරන ලද්දේ දෙපාර්තමේන්තුව සතු පහසුකම් හා තාක්ෂණය  පමණක් යොදාගෙන විම විශේෂයකැයි එහි නිලධාරීහු පවසති.

දික්හේන විදුහලේ බෝම්බ සැකකරුගේ බාල මල්ලිත් වෙඩි බෙහෙත් එක්ක දැලේ



බදුරලිය දික්හේන විදුහලේ ගොඩනැගිල්ලක් අසල අත් බෝම්බ 13ක් තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුගේ සොහොයුරා වෙඩි බෙහෙත් සමග බදුරලිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි අයකු බව පොලිසිය කියයි. දික්හේන විදුහලේ තිබි බෝමිබ සොයා ගැනීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිසිය එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී  මෙම වෙඩි බෙහෙත් සොයාගෙන ඇත.

එහිදී වෙඩි බෙහෙත් ග්‍රෑම් 900 ක්, බැටරි කෑලි කිහිපයක් සහ යුද හමුදා කෑම බඳුන් කීපයක් අඩංගුවට ගත් සැකකරුගේ නිවසින් සොයාගෙන ඇත. මෙම සැකකරු දික්හෙන විදුහලේ සිදුවීමට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුගේ බාල සොහොයුරා වන අතර තේ වගාවේ නිරතව සිටින ඔහු මීට පෙර ආරක්ෂක අංශවලට සම්බන්ධව සිටියේ දැයි පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි. බදුරලිය දික්හේන විදුහලේ ගොඩනැගිල්ලක් අසල අත් බෝඛ 13ක් තැබිමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් මධුසංක හපුආරච්චි මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාස බාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙමින් පවතී.

-බන්දුල තඹවිට-

කුර්ආන් මද්‍රාසා පාසල් 1,680ක් ලියාපදිංචි වෙලා



අරාබි විදුහල් හා කුර්ආන් මද්‍රාසා පාසල් 1680ක් ලියාපදිංචි කර ඇති බවත් එම පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා විදේශයන්හි සිට පැමිණෙන ගුරුවරුන්ට සහ දේවස්ථාන කටයුතු සඳහා පැමිණෙන පූජකවරුන්ට මෙරට ගතකරන කාලසීමාව සඳහා පසුගිය වසරේ (2018) මුල් මාස 07 තුළ ඇතුළත් වීමේ වීසා 130ක් නිකුත් කළ බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. එම කාලය තුළදී නේවාසික වීසා දීර්ඝ කිරීම් 305ක් සිදුකර තිබෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කුර්ආන් මද්‍රාසා පාසල් 1,680ක් තම දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි කර තිබෙන බවත්, ඉන් 05ක් 2018 වසරේදී ලියාපදිංචි කර ඇති බවත් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. දුෂ්කර ප්‍රදේශවල පිහිටි කුර්ආන් මද්‍රාසා පාසල් 200ක පරිපාලන වියදම් පියවා ගැනීම සඳහා රුපියල් 6,000 බැගින් ආධාර ලබාදෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම පසුගිය වසරේදී (2018) මුස්ලිම් පල්ලි 99ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 14.14ක් වැය කළ බවත්, ඊට අමතරව අරාබි විදුහල් 06ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2.7ක්ද, අහදියා දහම් පාසල් හා හිෆ්ලුල් කුර්ආන් මද්‍රාසා පාසල් 07ක් සංවර්ධන සඳහා රුපියල් මිලියන 1.3ක්ද වැය කළ බවත් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

පසුගිය වසරේදී දිවයින පුරා ඉස්ලාම් ආගමික පූජකවරුන් 230ක් සදහා හැඳුනුම්පත් නිකුත් කර තිබෙන බවත්, නව ඉස්ලාම් පල්ලි 62ක් හා පුණ්‍යභාර 05ක් ලියාපදිංචි කර අභිනවයෙන් පත් වූ භාරකරුවන් 414කට පත්වීම් ලබාදී තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම වකුෆ් සභාව විසින් විභාග කර ලබාදුන් තීරණයන්ට එරෙහිව වකුෆ් විනිශ්චය සභාවට නඩු 10ක් ඉදිරිපත් වී තිබෙන බවත්, තීන්දු නොදුන් දැනට විභාග වෙමින් පවතින නඩු 34ක්ද, මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ නඩු 02ක්ද, දිස්ත්‍රික් උසාවියට ඉදිරීපත් කළ නඩු 07ක්ද පවතින බවත් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු සිදපාර්තමේත්තුව පවසයි.

-අමිත් මධුරංග-

පාසල් දරුවන්ට යකඩ හා ෆොලික් ඇසිඩ්



පාසල් සිසුන්ගේ යකඩ ඌනතාව තුරන් කිරීම සඳහා පාසල් සිසුන්ට ලබාදෙන දිවා ආහාරය සමග යකඩ හා ෆෝලික් ඇසිඩ් ලබා දීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. දිවා ආහාරය සකස් කිරීමට ගන්නා සහල් සමග මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර පාසල් සිසුන්ගේ දිවා ආහාරය සකස් කරන පුද්ගලයන්ට නොමිලේ මෙම සහල් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

ඇමතිවරයා මේ අදහස් පළ කළේ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික පාසල් දරුවන්ගේ දිවා ආහාරය සදහා නොමිලේ සබලකරණය කරන ලද සහල් බෙදා දීමේ උත්සවයකට එක්වෙමිනි. තිරසාර සංවර්ධිත රටක් උදා කිරීමට රටේ දරු  පරපුර සෞඛ්‍යාරක්ෂිත විය යුතු බවත් ඒ සදහා නිසි  පෝෂණයක් තිබිය යුතු බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.


-චානක ඉනොජ්-

මාස දෙකකින් භික්ෂුන්ට ලක්ෂ 10ක රක්ෂණයක්


හික්ෂූන් වහන්සේලාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා භික්ෂු රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමට බුද්ධශාසන  අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ජුනි මස අග හෝ ජූලි මුල් සතියේ මෙම රක්ෂණ ක්‍රමය  ආරම්භ කෙරෙන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඊයේ (27)මල්වතු, අස්ගිරි හා රාමාඤ්ඤ නිකායන්ගේ මහානාහිමිවරුන් දැනුවත් කිරීම සදහා මහනුවරට පැමිණි අවස්ථාවේදී පැවසීය.  මෙම ක්‍රමය හරහා රුපියල් ලක්ෂ දහය දක්වා භික්ෂු ප්‍රතිකාර සදහා රක්ෂණය ලබාදෙන බවත් එමගින්
අවශ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් රෝහල් ගත විය හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම මෙම රක්ෂණ ක්‍රමය  තුළින් ගිලන් වන භික්ෂුන් වහන්සේ නමකට දෛනික ප්‍රතිකාර කටයුතු සදහා දෛනිකව රුපියල් තුන්දහස් පන්සියයක මුදලක් ලබා දෙන බවත් ඈත ප්‍රදේශයන්හි භික්ෂුන් වහන්සේලාට එම මුදල ආසන්නම තැපැල්  කාර්යාලයෙන් ලබාගත හැකි බවත් හෙතෙම පැවසීය. මෙම රක්ෂණ ක්‍රමය වෙනම පාලක මණ්ඩලයක් හරහා ක්‍රියාත්මක වන බවත් රක්ෂණ සමාගම් සදහා මෙමගින්  අනවශ්‍ය ලෙස මුදල් බැර නොකෙරන බවත් ඒ මහතා පැවසීය.

-ඉන්දික පොල්කොටුව-

තඹ කම්හලේ සේවකයා සහරාන් සමඟ සම්බන්ධතා පවත්වලා



කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයදි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් බව කියන, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කළ කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැති සැකකරු ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) නියම කළේය. මෙම පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී මීට පෙර අධිකරණය මගින් නිකුත් කළ නොතීසියකට අනුව ඇප මත මුදාහැර සිටින සෙසු සැකකරුවන් 08 දෙනාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කරුණු දැක්වූ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය නිලධාරියා කියා සිටියේ වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මෙම සිද්ධිය පිළිබදව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින් පරික්ෂණ ආරහ කර ඇති බවයි. කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නමැති සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් ඒ අනුව ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරික්ෂණ කටයුතු කරන බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියා කියා සිටියේය.

ඒ අනුව අදාළ සැකකරු තවදුරටත් ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස ත්‍රස්ත මර්දන කාර්යාංශයේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සෙසු සැකකරුවන් නවදෙනා ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව සදහන් කළ ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නිලධාරින් ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරන බවද කියා සිටියේය. ඒ අනුව අදාළ සැකකරුවන්ට අද (28) සිට ජුනි 1 වැනිදා තෙක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (27) නියම කළේය.

Monday, May 27, 2019

සහරාගේ දේශන වලට ආ අයට 10,000 ගානේ දීලා-ගවයොත් දීලා

 තවුහිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ හොරොව්පතාන හා කැබිතිගොල්ලෑව සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ බව කියන අබුබකර් නමැත්තා මැදපෙරදිග රටකට පලාගොස් ඇති බව පොලිසිය කියයි.

පාස්කු ඉරිඳා බෝම්බ පිපිරිම සිදු වූ දිනට දින දෙකකට  පමණ ඉහතදී මොහු මෙසේ මැදපෙරදිග රකටට පලාගොස් ඇති බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්   පැවසීය.

මොහු හොරොව්පතාන මුක්කන්වැල්ල ප්‍රදේශයට පදිංචිකරුවෙකි.

කැබිතිගොල්ලෑව හා හොරොව්පතාන ප්‍රදේශවලදී ඉකුත් දා  අත්අඩංගුවට ගත් හොරොව්පතාන, වීරසෝල් විද්‍යාලයේ උපගුරුවෙරයකු වූ ලෙබ්බේ තම්බි ජස්මින්, සිරාජ් නගර් අරාබි විද්‍යාලයේ ගුරුවරයකු වූ සෙසුනුල් ආබ්දීන්,

හොරොව්පතාන ප්‍රදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ ආර්ථික සංවර්ධන නිලධාරි මොහිදීන් බාවා  නවුෆර් හා කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගොවියකු වූ සකිරියා  යන පිරිස රැඳවුම් නියෝග මත රඳවාගත වැඩිදුරත් ප්‍රශ්න
කිරීමේදී මේ අබුබකර් නමැත්තා ගැන තොරතුරු පොලිසිය හෙළිකරගෙන ඇත.

මොහු අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ දී ඉකුත් 19 වැනිදා රටින් පලාගොස් ඇති බව දැන ගැනීමට ලැබිණි යැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

හොරොව්පතාන හා කැබිතිගොල්ලෑව ප්‍රදේශවල සහරාන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අන්තවාදී දේශන පසුගිය කාලයේ වරින්වර සංවිධානය කර ඇත්තේ මොහු බව පරික්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

මෙම ප්‍රදේශවල එම වකවානුවේ වරින්වර පැවති දේශනවලට හාරසිය දෙනකු පමණ සහභාගි වී ඇති බවත් පොලිසිය පවසයි.

මෙම දේශන සඳහා සහරාන් අබුබකර්ගේ සහාය ඇතිව කාතාන්කුඩියේ සිට තරුණ පිරිස් බස් රථවලින්
ගෙන්වාගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.  මෙම දේශන සඳහා සහභාගි වන සෑම අයෙකුටම රුපියල් 10,000ක් පමණ වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ද පිරිනමා ඇතැයි හෙළි වී තිබේ.  මීට අමතරව තවුහිත් ජමාත් සංවිධානයට ක්‍රියාකාරිව දායකත්වය ලබා දෙන පවුල් 40ක සාමාජිකයන් තෝරාගෙන  ඔවුනට වියළි ආහාර ද්‍රව්‍යවලට අමතරව එසේ තෝරාගත්  පවුල් හතළිහේ මූලිකයන් දෙදෙනකුට එක් ගවයෙක් බැගින්
ගවයන් විසි දෙනකු මස් පිණිස නොමිලේ පරිත්‍යාග කර ඇති බවට පොලිස් පරික්ෂණවලින් කරුණු අනාවරණය වී ඇතැයි කියති.

මෙසේ අවස්ථා කිහිපයකදීම ගවයන් පරිත්‍යාග කිරීම් සිදුකර ඇති බවට පොලීසියට දැනගැනීමට ඇත.


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අවිස්සාවේල්ල කිරිවන්දලදී මගීන් 40ක් රැගත් බසයක් හසිදියේ ගිනීගනී




කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ අවිස්සාවේල්ල, කිරිවන්දල ප්‍රදේශයේදී මගීන් සමඟ මාර්ගයේ ධාවනය වෙමින් පැවැති බස්රථයක් 25දා හදිසියේ ගිනී ගෙන ඇති බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි. මෙසේ ගිනිගෙන විනාශයට පත්වී ඇත්තේ රත්නපුර සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වන අතර මෙම අනතුර සිදුවන අවස්ථාව වන මගීන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් බස් රථයේ ගමන් කර ඇති අතර බස් රථයේ ගමන් කරමින් සිටියදී එකවර දුමක් මතු වී ඇත.

පසුව ජනතාව කඩිනමින් බස් රථයෙන් බැස ඇති අතර ඉන්පසු බර ගිනි ගත් බව ජනතාව පවති. බස්රථයේ රාක්කවල තබා තිබූ ගමන් මලුද හදිසියේ ගැනීමට නොහැකි වීමෙන් දැවීගොස් ඇත. බස් රථයෙන් කඩිනමින් බැසීමට නොහැකි වූවා නම් විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බවත් මෙම සිදුවෙන් කිසිවකුට අනතුරක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි. සිද්ධිය පිළිබඳව අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණය පවත්වයි.

-අරන්දර දිසානායක-

දර්ගා ටවුමෙන් ඇල්ලුවේ සහරාන්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක්




කොළඔ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති අලුත්ගම දර්ගා නගරයේදී අප්‍රේල් 27දා අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියදුරු දිවයිනේ කුමන ප්‍රදේශයක හෝ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට සූදානමින් සිටි අයකු බවට තොරතුරු අනාවරණය වූ බැව් අලුත්ගම පොලිසිය කියයි. ඒ අනුව අදාළ සැකකරු වන මොහොමඩ් බසීර් මොහොමඩ් නමැත්තා වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදුන් බව පොලිස් නිලධාරියෙක් පැවසිය.

විසිපස් වැනි වියේ පසුවන අවිවාහකයකු වන සැකකරු අලුත්ගම, දර්ගා නගරයේ, එස්.එම්. පාරේ අංක 93 දරන නිවෙසේ රැඳී සිටියදී අත්අඩංගුවට ගනු ලැබිමෙන් පසු දින 21ක් රඳවාගෙන ප්‍රශ්න කර තිබේ. සැකකරු පාවිච්චි කරන ත්‍රිරෝද රථය 2018 වර්ශයේදි සහරාන් විසින් මිලදීගෙන ලබාදී ඇති බවත් මරාගෙන මැරුණ බෝම්බකරු සහරාන් කුරුණෑගල ප්‍රදේශයේදි ඔහු හමුවී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා මොහොතේ ඔහු සතුව තිබී ජංගම දුරකථන තුනක් සහ සහරාන් දුන්නේ යැයි සඳහන් ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගනු ලැබීය.

-සුමිත් රණවක-

කුරුණෑගල දොස්තර කළ සැත්කමින් පසු හානියක් ඇත්නම් වහාම පැමිණිළි කරන්න










කුරුණෑගල  ශික්ෂණ රෝහලේ සේවය කරන ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු විසින් සිදු කළ සිසේරියන් සහ නාරිවේද සැත්කම්වලින් පසුව තමන්ට කිසියම් ශාරිරික හානියක් සිදුවුයේ යැයි සැකකරන කාන්තාවන් සිටිත් නම් වහාම රෝහලට පැමිණ ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි.

ඔහු මෙම ඉල්ලීම කළේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ පෙරේදා (25) පැවති මාධ්‍ය හමුවකදීය.

වඳ සැත්කම් සිදු කළ බවට රෝහල් සේවය කරන ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකුට එරෙහිව චෝදනාවක් එල්ල වී ඇතැයි කී වෛද්‍ය වීරබණ්ඩාර මහතා, සැකකටයුතු ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාවක් උඩ ඔහු ඔහු මේ වන විට පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින බව ද කීය.

වඳ සැත්කම් කිරීමක් සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාට  එරෙහිව නැගී ඇති චෝදනා සොයා බැලීම සඳහා මේ වන විට රෝහල් මට්ටමෙන් පරීක්ෂණයක් අරඹා ඇති බැවින් සැකයක් පවතින කාන්තාවන් සිටීනම් ඉක්මනින් රෝහල වෙත ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටින බව ද රෝහල් අධ්‍යක්ෂවරයා කීය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී එම වෛද්‍යවරයා අතින්  සැත්කවලට ලක්වූ කාන්තාවන් එසේ වඳ භාවයට පත්කර ඇත්දැයි යන්න විවාහක කාන්තාවක් ගැබ් ගැනීමට ඇති සරුභාවය සොයා බැලෙන "Usg" නමැති පරීක්ෂණය මහින් තහවුරු කර ගැනීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.

සිසේරියන් සැත්කමකින් පසුව නැවත දරු පිළිසිඳගැනීමක් ගැනීමක් සිදුනොවීම සම්බන්ධයෙන් සැකයක් පවතින කාන්තාවන් මෙම Hsg පරික්ෂාවට ලක්කිරීමෙන් පසුව එම වෛද්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගත හැකි වන බව ද වීරබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.


කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසුවේ, චෝදනාවට ලක්ව සිටින වෛද්‍යවරයාගෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබු කාන්තාවන් පිළිබඳ තොරතුරු රෝහලේ තොරතුරු ලේඛන මගින් සොයාබලමින් සිටින බවයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් කරුණු දන්නා වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සිටිත් නම් ඔවුන්ට ද මෙම පරීක්ෂණය සඳහා තොරතුරු ලබාදීමට අවස්ථාව තිබෙන බව
කඳන්ගමුව මහතා සඳහන් කළේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහත්වරු හමුවී පරික්ෂාවට යොමු විය හැකි බව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කෙරිණි.

මෙම වන්ධකරණ චෝදනාවට අතර පසුගිය අප්‍රේල් මාසයේදී කුරුණෑගල ශික්ෂණ රෝහලට දරු ප්‍රසුතියකට ඇතුළත් වූ මවක බිහි කළ ගැහැනු දරුව වෙනත් කාන්තාවකට නීත්‍යනුකූල නොවන අයුරින් ලබාදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද ඉහත කී ප්‍රසව සහ නාරි වෛද්‍යාවරයාට එරෙහිව චෝදනාවක් තිබෙන අතර,මේ වන විට ඒ පිළිබඳව ද පරික්ෂණයක් සිදු කරන බව වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මෙම චෝදනාවට අනුව වෛද්‍යවරයා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටත්, පොදුවේ රාජ්‍ය මගින් අපකීර්තියට පත් කළේ දැයි යන්න පිළිබඳව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා එම චෝදනා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත
යොමු කළ බව ද ඔහු කියයි.

මේ වන විට මෙම  වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලේම සේවය කරන වෛද්‍ය නිළධාරිනියකගෙන් සහ සුළු සේවිකාවකගෙන් ද පැමිණිලි ලැබී ඇති බැවින් එම පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

(පුෂ්පකුමාර ජයරත සහ කුරුණෑගල අතුල පී. බණ්ඩාරනයක)

කුරුණෑගල නාරිවේද ‍දොස්තර CIDට



උපයා ගත් ආකාරය සනාථ කළ නොහැකි ලෙස අධික වත්කම් ප්‍රමාණයක් රැස්කරගෙන සිටීමේ චෝදනාව යටතේ කුරුණෑගල පොලිසිය මගින් ඉකුත් 25 වැනිදා අලුයම අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජේෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් ෂාෆි සිහාබ්ඩින් නමැත්තා පිළිබඳව සිදුකළ මූලික පොලිස් පරික්ෂණවලින් අනතුරුව වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා එදින රාත්‍රියේම සැකකරු අපරාධ පරීක්ෂණ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අසීමාන්තිකව මුදල් ඉපයීමේ චෝදනාවට අමතරව කාන්තාවන් හාරදහසකට ආසන්න පිරිසකට ඔවුන්ගේ අනුදැනුමක් නොමැතිව වඳ සැත්කම් සිදුකර ඇති බවට සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව පිළිබඳව පරික්ෂා කිරීම සඳහා ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ. කුරුණෑගල, දඹුල්ල හා ගලේවෙල යන රෝහල්වල ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා ලෙස සේවය කරමින් සිටියදී සැකකරු එම රෝහල්වලදී ගැබිනි කාන්තාවන් සඳහා සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව එම කාන්තාවන්ගේ අනුදැනුමකින් තොරව ඔවුන් වඳ භාවයට පත් කොට ඇති බව කියමින් මෙම චෝදනාව එල්ල කොට තිබේ. සැකකාර වෛද්‍යවරයා කුරුණෑගල - නුවර පාරේ ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු 2015 මහ මැතිවරණයේදි රිෂාඩ් බදියුදින් අමාත්‍යවරයා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය  නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කර පරාජයට පත්වූවෙකි. එම මැතිවරණයෙන් අනතුරුව නැවත වෛද්‍ය සේවයට එක්ව ඇති මොහු වෛද්‍යවරයකුට උපයාගත නොහැකි ආකාරයට සැකකටයුතු ලෙස ඉතා ඉහළ වත්කම් රැසක් උපයාගෙන සිටීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කීපයකට අනුව විමර්ශන සඳහා සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි වසන්ත ජයලත් මහතා පැවැසීය.

සැක සහිත ලෙස කෝටි 40ක් පමණ වත්කම් උපයා ගැනීම හා වෙනත් අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධව චෝදනා එල්ල වී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ෂිහාබ්ඩින් මොහොමඩ් ෂාෆි නමැති වෛද්‍යවරයා සම්බන්ධව පොලිසිය සිදුකළ විමර්ශනවලින් පසුව ඉකුත් 4 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේ කුරුණෑගල - නුවර පාර ගැට්ටුවාන පදිංචි නිවෙසේදිය. පොලිසිය සිදුකළ පරීක්ෂණ අනුව සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාට අයත් දේපොළ අතර වෛද්‍යවරයා පදිංචි ගැට්ටුවාන වීරසිංහ මාවතේ මහල් දෙකකින් යුත් සුඛෝපභෝගි නිවෙසක්, කුරුණෑගල නගර මධ්‍යයේ පර්චස් 15ක ඉඩමක්, ගැට්ටුවාන නිවෙසට යාබදව පර්වස් 44ක ඉඩමක් හා කුරුණෑගල මැදලන්දවත්තේ සුඛෝපභෝගී නිවෙසක් හා ඉඩමක් තිබෙන බව අනාවරණය කරගෙන තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පසුගිය කාලයේ කෝටි 40ක පමණ දේපොළ උපයාගත්තේ කෙසේද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි. එකී වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාතෘ හා කාන්තා රෝග අංශයේ කලක් සේවය කර වෙනත් රෝහලකට මාරු වී නැවතත් එම අංශයට පැමිණ වසර තුනහමාරක් ගතවී ඇති බවත් මෙම කාලය තුළදි සිසේරියන් සැත්කම් සිදුකිරීමේදි අක්‍රමිකතා සිදුකර ඇද්ද යන්න විශේෂ පරීක්ෂණයක් සිදුකරගෙන යන බව පොලිසිය කියයි.

සැකකාර වෛද්‍යවරයා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් පසුගිය මහ  මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ අපේක්ෂකයකු බවත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අයකු බවත් කළ පරික්ෂණවලදී හෙළි වී ඇත. සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පෙරේදා (25දා) කොළඹ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරින්ට භාර දුන් බව කුරුණෑගල පොලිසිය කියයි.

වයඹ, උතුරුමැද දිසාව භාර ජේයෂ්ඨ පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත කුරුණෑගල ජේයෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක, සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂාක කපිල අධිකාරි මහතාගේ මෙහෙයවීමෙන් කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරික්ෂක ගංගානාත් මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පුෂ්පලාල්, උප පොලිස් පරික්ෂක සිසිර, පොලිස් සැරයන් ප්‍රසන්න (39539), පොලිස් කොස්තාපල් ධනංජය (95889), පොලිස් කොස්තාපල් ක්‍රිඩා (57171), පොලිස් කොස්තාපල් රියැදුරු ජයසිරි (18712) යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර කාන්තාවන් හාරදහසකට ආසන්න ප්‍රමාණයකට බලහත්කාරයෙන් ඔවුන්ගේ අනුදැනුමක් නොමැතිව වඳ සැත්කම් සිදුකර ඇති බවට හා තවත් චෝදනා කිපයක් සම්බන්ධයෙන් සැකපිට පෙරේදා (25දා) රාත්‍රි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවෝ පස්දෙනෙක් ඊයේ (26දා) කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය වෙත සිය පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

අදාළ සැකකාර වෛද්‍යවරයාගෙන් සිසේරියන් සැත්කම් සිදුකරගත් මවුවරුන්, ඔවුන්ට එම දරු ප්‍රසූතියෙන් පසුව නැවත පිළිසිඳ ගැනීමේ කිසියම් ගැටලුකාරි තත්වයකට මුහුණදුන් පිරිස් සිටි නම් ඒ පිළිබඳව සිය පැමිණිලි කුරුණෑගල ශික්ෂණ රෝහල් පාලනාධිකාරියට දැනුම් දෙන ලෙස කළ නිවේදනයකට අනුව ඊයේ මෙම පැමිණිලි ලැබී තිබේ. කුරුණෑගල හා වාරියපොළ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු විසි ගණන්වල හා තිස් ගණන්වල විවාහක කාන්තාවන් පස්දෙනකු මෙසේ සිය පැමිණිලි ඉදිරිපත් කළ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂි වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවැසිය.

තමන් විවාහ වී කෙටි කාලයදී ගැබ් ගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලේදි කළ පළමු දරුවා බිහි කිරීමේ සිසේරියන් සැත්කමින් පසුව යළිත් ගැබ් ගැනීමක් සිදු නොවූ බවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේද්දී තමන්ට මෙම සිසේරියන් සැත්කම් සිදු කළේ මේ වනවිට අත්අඩංගුවේ පසු වන ශාෆි පියාබ්දීන් නමැති වෛද්‍යවරයා බැවින් තමන් නැවත ගැබ් ගැනීමකට ලක් නොවූයේ එම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමේදී තමන් වන්ධ්‍යාකරණයකට ලක්කර ඇතැයි සැක කරන බව ඔවුහු සිය පැමිණිල්ල මඟින් දක්වා තිබේ.


අදාළ පැමිණිලිකාර කාන්තාවන් පස්දෙනාගේ කැමැත්ත මත අද (27දා) ඔවුන් වන්ධ්‍යාකරණයට ලක්ව ඇතිදැයි අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂාවට ලක්කිරීමට නියමිත බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය. මාතෘ හා කාන්තා රෝග අංශයේ සේවය කළ ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාගෙන් ඉකුත් 24 වැනිදාට සිදුකළ විමසුමකදී මේ වනවිට සිසේරියන් සැත්කම් 8,000ක් සිදුකර ඇති බව පිළිගෙන ඇතැයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවැසීය.

අධ්‍යක්ෂවරයා මේ බව අනාවරණය කළේ කුරුණෑගල ශික්ෂණ රෝහලේදි පෙර්දා (25දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. එහිදි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා තවදුරටත් තොරතුරු හෙළි කරමින් මෙම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8,000ක් සිදුකර ඇති බව පිළිගෙන තිබෙන බවත් සිසේරියන් සැත්කම් කිරිමේදි අසාධාරණයක් අක්‍රමිකතාවක් සිදුව ඇති බවට මේ  වනවිට පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ්‍ය වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් කරගෙන යන බවය.

පොලිසිය පවසන ආකාරයට යම්කිසි අසාධාරණයක් අක්‍රමිකතාවක් සිදුව තිබෙන බව කියනවා. සෞඛ්‍ය බලධාරීන් හැටියට මේ සම්බන්ධව පැමිණිලි ලැබීම වැදගත් බවත් එම පැමිණිලි අනුව විද්‍යාත්මක පරික්ෂණවලින් අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ඇතිව ඇත්ත නැත්ත හෙළිකර ගැනීමට හැකි බව අධ්‍යක්ෂවරයා පවසයි. මෙම වෛද්‍යවරයා විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේද්දී සිදුකළ සිසේරියන් සැත්කම් සම්බන්ධව තොරතුරු එක්රැස් කර ගන්න ඕනෑ. එම ලේඛන අප සතුව තිබෙනවා. මේ සම්බන්ධව වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා පරික්ෂූණ කටයුතු සිදුකරගෙන යන බව අධ්‍යක්ෂවරයා කියයි.

මෙම සිද්ධියට අමතරව මේ වෛද්‍යවරයා ඇඳ ඉහපත්වල නම් වෙනස්කර අලුත උපන් දරුවකු වෙනත් අයකුට දිමේ සිද්ධියක් සම්බන්ධව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අධ්‍යක්ෂවරයා මෙම වෛද්‍යවරයාට එල්ල වී ඇති මේ චෝදනාවට අමතරව වෙනත් අක්‍රමිකතා සිදුකළා යැයි කියන කාරණය සම්බන්ධව පරික්ෂණයක් සිදුකළ බවත් ඒ පිළිබඳව මූලික විමර්ශනයක් සිදුකර වාර්තාවක් සකස් කර තිබෙන බවත් පැවැසීය.

-විජේසිංහ වැලිකන්ද-

බන්දුල ගුණවර්ධනගේ නමින් ‘මුහුණුපොතේ’ ව්‍යාජ ගිණුමක්


තමන්ගේ අනුදැනුමෙන් තොරව තමන්ගේ ඡායාරූපයක් පාවිච්චි කරමින් (Bandula Gunawardane -Politition) 'බන්දුල ගුණවර්ධන - දේශපාලනඥයා' යන නමින් මුහුණු පොතේ වෙනම පිටුවක් පවත්වා ගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදුලි සංදේශ නියාමන කොමිසමට ලිඛිතව පැමිණිලි කර ඇත. මේ අතර හදිසි පරිගණක අපරාධ ඒකකයටද පැමිණිලි කර ඇති බවද ගුණවර්ධන මන්ත්‍රිවරයා කීවේය.

“මම දන්නෙත් නෑ. මම කාටවත් අනුමැතිය දීලත් නැතුව මගේ ඡායාරූපය සමහ මගේ නම සහිත මුහුණු පොතේ පිටුවක් පවත්වාගෙන යනවා. මම ඒ ගැන පැමිණිලි කළත් මේ දක්වා විසඳුමක් නෑ යැයි ඊයේ (26දා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා                                                           කීවේය.


-ජයසුරිය උඩුකුඹුර-

කල්ලාරු රක්ෂිතයේ අක්කර 2ක් ඩෝසර් කරලා


විල්පත්තු වනෝද්‍යානයට යාබද කල්ලාරු රක්ෂිතයේ අක්කර දෙකක පමණ භූමි භාගයක් පසුගිය සිකුරාදා (24දා) රාත්‍රියේ මවුලවි කෙනකු ඇතුළු පිරිසක් ඩෝසර් කර ඇතැයි වාර්ත වෙයි. මෙම ඩෝසර් කළ භූමි භාගයේ නිවාස 30ක් පමණ සෑදීමට ගෙපල්ද කපා ඇතැයි ආරක්ෂක අංශ විසින් කරන ලද විමර්ශනයකදී අනාවරණය වී තිබේ.

කල්ලාරු පාලම පසුකර විල්පත්තුව දෙසට මීටර් 400ක් පමණ දකුණු දෙසින් පිහිටි රක්ෂිතයක් මෙසේ ඩෝසර් කර ඇති අතර ඒ සඳහා පැමිණි පිරිස අතරේ සිටි මවුලවි සිලාවතුර ප්‍රදේශයේ අයකු බව හෙළි වී ඇතැයිද එම ආරංචිමාර්ග සඳහන් කරයි. මේ පිළිබඳව කල්ලාරු ප්‍රදේශය භාර සිලාවතුර ප්‍රාදේශිය ලේකම් වසන්ත කුමාර් සුබ්‍රමනියම් මහතාගෙන්  කළ විමසීමකදී සඳහන් කළේ මේ පිළිබඳව කිසිවකුත් තමා දැනුවත් කර නැති බවය.

කෙසේවෙතත් රජයේ රක්ෂිතයේ අනවසරයෙන් ඩෝසර් කිරිමක් සිදුව ඇත්නම් එය නීති විරෝධී කටයුත්තක් බව සඳහන් කළ ප්‍රාදේශීය ලේකම්වරයා, මෑතකදී කල්ලාරු ප්‍රදේශයේ ජනතාව පදිංචි කිරීමට බලපත්‍ර නිකුත් කර නැති බවද තවදුරටත් සඳහන් කළේය. ඒ පිළිබඳව තොරතුරු වාර්තා වූ වහාම පරික්ෂණයක් කළ හැකි බවද ප්‍රාදේශිය ලේකම්වරයා වැඩිදුරටත් පැවැසිය.

vpn නිසා බොරදියේ මාළු බෑ හැටි සමීක්ෂණවලින් හෙළි වේ



සමාජ මාධ්‍ය වාරණය තුළින් රජය බලාපොරොත්තු වූ දේ ඉටු නොවූ බව ඒ පිළිබඳව සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූ බව රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, මෘදුකාංග ඉංජිනේරු පැතුම් රත්නායක මහතා පවසයි. රජය සමාජ ජාලා වාරණයකට ලක් කළත් මේ කාලය තුළදී  සියයට 58ක් පමණ වී.පී.එන්. තක්ෂණය ඔස්සේ සමාජ මාධ්‍ය ජාලාවලට එක් වූ බවයි. නමුත් සමීක්ෂණයට භාජනය වූ අයගෙන් සියයට 95ක්ම වී.පී.එන්. තාක්ෂණය පිළිබදව නිසි තොරතුරු නොදැන ඊට එක්ව සිටි බවට තොරතුරු හෙළි වූ බවත් ඇතැම් පිරිසක් වී.පී.එන්. තාක්ෂණය තම ජංගම දුරකතනවලට බාගත කිරීම සදහා දුරකතන අලෙවි මධ්‍යස්ථානවලට රුපියල් 100ක් වැනි මුදලක් ගෙවා තිබූ බවද සදහන් කළේය. සමීක්ෂණය පිළිබදව තවදුරටත් අදහස් දැක්වු පැතුම් රත්නායක මහතා මෙසේද පැවසීය.

“අප සිදුකළ සමීක්ෂණයේදී සියයට 58ක් දෙනා පවසා සිටියේ තමන් සමාජ මාධ්‍ය වාරන කාලය තුළදීද වී.පී.එන්. භාවිත කොට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසුණ බවයි. මෙහිදී සියයට 9ක් දෙනා තම මතය සහ භාවිතය පිළිබද අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා, මෙහි සුවිශේෂම කාරණයක් වූයේ සමීක්ෂණයට භාජනය කළ අයගෙන් සියයට 95ක ප්‍රතිශතයක් වී.පී.එන්. යන්න හෝ එහි ක්‍රියාකාරිත්වය ගැන නිසි අවබෝධයක් නොමැතිව එය භාවිත කළ බවයි.

තවද, සියයට 43ක් සමාජ මාධ්‍ය වාරණය අසාර්ථක ප්‍රයත්නයක් බවත්, සියයට 29ක් දෙනා තම එදිනෙදා සන්නිවේදන කටයුතුවලට බාධා ඇතිවුණ බවත්, සියයට 37ක් දෙනා මෙයට දැඩි සේ එරෙහි වන බවත් සඳහන් කළා. ඇතැම්  උපකාරක පංති ගුරුවරුන් තම විෂය කරුණු ඉගැන්වීම වෙනුවට සිසුන්ට වී.පී.එන්. සහ එවා ස්ථාපිත කරගන්නා ආකාරය උගන්වා තිබෙනවා.”

-රසුල දිල්හාර ගමගේ-

Friday, May 24, 2019

බුර්කාව-නිකාබය-හෙල්මට් පාසලට එපා. අධ්‍යාපන ලේකම්ගෙන් පාසල් ප්‍රධානීන්ට ලිපියක්.


පාසලට ඇතුළු වීමේදී  මුහුණු ආවරණ සහිත ඇඳුම්  හා ආරක්ෂක හිස් ආවරණ පැලඳීම සම්බන්ධයෙන් නියෝගද ඇතුළත් විශේෂ ලිපියක් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කිරීමට අධ්‍යාපන ලේකම්වරයා කටයුතු කර තිබේ.

ඒ අනුව බුර්කාව සහ නිකාබය යන ඇඳුමෙන් සැරසී පාසල් වෙත ඇතුළු වීම සම්පූර්ණ මුහුණු ආවරණය වන හිස් ආවරණ (හෙල්මට්) පැලඳ පාසලට ඇතුළු වීමද තහනම් කර ඇත.

මුහුණු ආවරණය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටත් පනවා ඇති විධිවිධාන පිළිබඳ
නොදැනුවත්කම නිසා මුහුණු ආවරණය කර ගෙන ඇතැම් පුද්ගලයන් පාසලට පැමිණීම මෙන්ම සමහර ගුරුවරියන්ද මුහුණු ආවරණ සහිත ඇඳුමින් සැරසී පැමිණීම හේතුවෙන් පසුගිය දිනවල පාසල් කිහිපයක ගැටලුසහගත තත්වයක් ඇති වූ බැවින් මෙම තත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබාදුන් උපදෙස් මත එම ලිපිය යොමුකර තිබේ.

එවැනි සිද්ධියකදී පාසල් ප්‍රධානීන් මැදිහත් විය යුතු ආකාරය සහ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ලිපියේ කරුණු ඇතුළත් කර ඇති අතර, පූර්ණ මුහුණු ආවරණ සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ නිකුත් කර ඇති රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි දැක්වෙන නියෝගයට අනුකුලව සහ මානව හිමිකම් කොමිෂන් සභාව මුහුණු ආවරණය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කර ඇති චිත්‍රණයක්ද සහිතව අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම විශේෂ ලිපිය අධ්‍යාපන ලේකම්වරයා පාසල් ප්‍රධානීන්ට යොමුකර ඇත.


-චාමර සම්පත්-