Friday, July 31, 2020

ජන්ද වැඩ කළැයි ඕ.අයි.සීලා 2ක් ඉවතට

පක්ෂග්‍රාහී වැඩකළ පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනකු එම තනතුරුවලින් ඉවත් කළ බව මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.

දෙදෙනා තනතුරුවලින් ඉවත් කරනු ලැබුවේ පොලිස් කොමිසමේ අනුමැතිය අනුව යැයි ද ඔහු කීය. මෙසේ තනතුරුවලින් ඉවත් කරනු ලැබ ඇත්තේ පොලොන්නරුව මූලස්ථාන ප්‍රධාන
පොලිස් පරික්ෂකවරයා හා ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයායි.  පොලොන්නරුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා  පානදුර පොලිස් කොට්ඨාසයටත් ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයටත් මෙසේ මාරු කරනු ලැබ සිටිති.

මෙයට අමතරව, මැතිවරණ රාජකාරි කටයුතුවලදී පක්ෂග්‍රාහී කටයුතු කරන්නේ යැයි චෝදනා එල්ලවී ඇති පොලිස් නිලධාරින් තවත් 12 දෙනකුට විරුද්ධව විමර්ශන අරඹා තිබෙන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය. මේ චෝදනා එල්ලවී ඇත්තේ කල්මුණේ, සමන්තුරේ පුත්තලම හා කුරුණෑගල ඇතුළු ප්‍රදේශ කිහිපයක පොලිස් නිලධාරින් දොළොස් දෙනකුටයි.

ක‍්‍රියාකාරිව මැතිවරණ කටයුතුවලට සහභාගිවීමේ චෝදනාව  යටතේ අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරියකු වැඩ තහනමට ලක්කර ඇතැයිද ප්‍රියන්ත වීරසූරිය මහතා කීය. මේ අතර මැතිවරණ නීතිය කඩ කරන පොලිස් නිලධාරින්ට විරුද්ධව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි - වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අදාළ වීමර්ෂන අංශවලට උපදෙස් දී ඇත.

මැතිවරණ නීති කඩ කිරීමේ චෝදනා යටතේ 317 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මැතිවරණ අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතා පැවැසීය.

(සුජිත් හේවාජුලිගේ සහ ඉන්දිකා රාමනායක)

ජන්ද නීති කැඩූ අපේක්ෂකයෝ 6 ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා මැතිවරණ පැමිණිලිවලට අදාළව අපේක්ෂකයන් හය දෙනකු ඇතුළු 317 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මැතිවරණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පැවසීය.

මැතිවරණ පැමිණිලි හා මැතිවරණ නීති උල්ලංඝනය කිරිමේ පැමිණිලි 289ක් වෙනුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය. 

 පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි ප්‍රමාණය වැඩි වුවද 2015 වසරේ මහ මැතිවරණට සාපේක්ෂව ඒවා සියයට තිස්පහක පමණක් අඩුවක් දක්නට ලැබෙන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවීමට හේතුව මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිටම ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

ජනාධිපතිවරයාගේ, මැතිවරණ කොමිසමේ, ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් අනුව පොලිසියට කිසිදු බලපෑමක් නොමැතිව කටයුතු කිරීමට හැකි වූ බවද හෙතෙම කියා සිටියේය.

වාර්තා වූ පැමිණිලි අතර වැඩිම පැමිණිලි ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණට විරුද්ධව බවත් එවැනි පැමිණිලි 91 ක් වාර්තා වී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පැමිණිලි 22ද, සමගි ජන බලවේගය පක්ෂයට එරෙහිව 44 ක්ද,
වෙනත් පක්ෂවලට එරෙහිව පැමිණිලි 45 ක්ද වශයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.

(ඉන්දිකා රාමනායක)

සම්පායෝගේ සොහොයුරාගෙන් පැය 5 ක ප්‍රකාශනයක් ගනී

වරෙන්තු ලැබ සිටින මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතාගේ සොහොයුරු නෙරංජන් සම්පායෝ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) පැය පහක ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 

 මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ දූෂණ හා විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටින හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබූ දැනුම්දීමකට අනුව නෙරංජන් සම්පායෝ මහතා ඊයේ (30) පෙරවරු 9.00ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව පොලිසිය පවසයි. පැය පහක ප්‍රශ්න කිරීමෙන් පසුව පස්වරු 2.30ට පමණ නෙරංජන් සම්පායෝ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනයට ඒකකයෙන් පිටත්ව ගිය බවද පොලිසිය කියයි. 

නෙරංජන් සම්පායෝ මහතා වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයකු වන අතර අනුරුද්ධ සම්පායෝ මහතාගේ වැඩිමහලු සහෝදරයා ද වෙයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඊයේ (30) වන විට දින 10කි.

(නිමන්ති රණසිංහ)

ඡන්දය කට ළඟ



මහ මැතිවරණයට තවත් ඇත්තේ දින පහක පමණ කාලයකි. මැතිවරණ ප්‍රචාරක කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී. මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ සියලු ප්‍රචාරණ කටයුතු ඉරිදා මධ්‍යම  රාත්‍රියෙන් අවසන් කළ යුතු බවය. පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන්නේ 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේත්ය. එම පනතට අනුව ඡන්ද විමසීමට පැය 48කට පෙර සියලු ප්‍රචාරණ කටයුතු නතර කළ යුතුය. ඡන්ද විමසීම් දිනය ලෙස ප්‍රකාශ කර ඇත්තේ අගෝස්තු මස 5 වැනිදාය. මැතිවරණ නීතියට අනුව නිහඩ කාලය ගණනය කරන ක්‍රමවේදයක් තිබේ. අගෝස්තු මස 5ට වැනි දිනය ආරම්භ කෙරෙන්නේ අගෝස්තු මස 4 වැනි දින මධ්‍යම රාත්‍රී 12න් පසුවය. 4 වැනි දින මධ්‍යම රාත්‍රී 12.01ට පස්වැනි දිනය උදාවේ. ඒ අනුව පැය 48 ගණනය කරනුයේ 4 වැනි දින මධ්‍යම රාත්‍රි 12.01 සිට ආපස්සට පැය 48ක් සෑදෙන පරිදිය. ඒ අනුව බැලු විට අගෝස්තු මස 2 වැනිදා මධ්‍යම රාත්‍රී 12ට එම පැය 48 සම්පූර්ණ වේ. නිහඬ කාලය ආරම්භ වන්නේ ඒ අයුරිනි. එම නිහඩ කාලය ඡන්ද විමසීම නිමවන 5 වැනි දින පස්වරු 5 වනතෙක් ක්‍රියාත්මකය. එම කාලය තුළ ගෙයින් ගෙට යෑම, පත්‍රිකා බෙදීම, ප්‍රචාරණය රැස්වීම ආදී කටයුතු සපුරා තහනම්ය.

මැතිවරණ නීතියට අනුව නිහඬ කාලයක් ලබා දෙන්නේ විද්‍යාත්මක පදනමක පිහිටාය.
සෑම දේශපාලන පක්ෂයකම තරග කරන  සෑම දේශපාලනඥයකුගේ හෝ ස්වාධීන කණ්ඩායමක හෝ අදහස් උදහස් සලකා බලා නිවැරදි තීරණයක් ගැනීමට ඡන්ද  අපේක්ෂකයින්ට හැකියාවක් පවතියි. සිතා  මතා තීරණයක් ගැනීමට නිහඬ කාලය භාවිත කරන්නැයි මැතිවරණ කොමිසම ඡන්ද  දායකයින්ගෙන් ඉල්ලීමක් කරන්නේ එනිසාය. කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් මහ මැතිවරණයට නොයෙකුත් බාධක එල්ල වූවේය. නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන්ටත් ඡන්ද අයිතියක් තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මුලදී කීවේය. ඔහු ඒ සඳහා දිනයක්ද නිල වශයෙන් ප්‍රකාශ කළේය. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ඡන්ද දායකයන්ගේ ඡන්දය විමසීම අද පැවැත්වෙන බව දේශප්‍රිය මුලින් කීවේය. තැපැල් ඡන්දය විමසන  ආකාරයට නිරෝධායන මධ්‍යස්ථානවල ඡන්ද විමසීම සිදු කරන බවක්ද ඔහු කීවේ.  හේතු සාධක පෙන්වා දෙමිනි".

නිරෝධයන  මධ්‍යස්ථානවල සිටින ඡන්ද දායකයන්ගේ ඡන්ද පත්‍රිකා ආරක්ෂිතව කවරවල බහාලනවා. ඡන්ද නිලධාරින් සම්පූර්ණ වැසුනු ඇඳුමින්  සෞඛ්‍යපාරක්ෂිතව තමයි එවැනි ස්ථානවලට යන්නේ. ඡන්ද පත්‍රිකා 31 වැනි දින සිට අගෝස්තු 6 වැනි දින දක්වා සතියක පමණ කාලයක් වෙන්කර තබනවා. එවැනි කාලයකදී විසබීජ පවතින්න ඉඩක් නැහැ. ඒ නිසා එම ඡන්ද පත්‍රිකා අල්ලන්න ගණන් කරන්නට නිලධාරින්ට බිය විය යුතු නැතැයි ද මහින්ද දේශප්‍රිය කීවේය.  එහෙත් එම ක්‍රමවේදයට මැතිවරණ කොමිසමේ නිලධාරින්ගෙන් මෙන්ම තවත් පාර්ශව කීපයකින්ම විරෝධතා එල්ල වන්නට පටන් ගත්තේය. ඒ අනුව නිරෝධායන  මධ්‍යස්ථානවල ඡන්ද විමසීම අත්හැර දැමීමට මැතිවරණ කොමිසම තීරණයක් ගෙන ඇතැයි දැන ගන්නට තිබේ. දැන් බලන්න රෝහල්ගතව සිටින, දැඩි සත්කාර ඒකකවල සිටින පිරිසට ඡන්දය ලබා දෙන්න ක්‍රමයක් නැහැ. අතීතයේ තිබුණෙත් නැහැ. ඒ නිසා මේ අයත් රෝගීව ඉන්න පිරිසක් ලෙස සලකන්න පුළුවන් යැයි මැතිවරණ කොමිසම සඳහන් කරන බව වාර්තාවේ. දැනට තිබෙන වාර්තා අනුව නිරෝධායනය වෙමින් සිටින පිරිසට බොහෝ විට ඡන්දය අහිමි වීමේ ඉඩකඩක් පවතියි.

රජයේ වාර්තා අනුව නිරෝධායන මධ්‍යස්ථානවල වෙසෙන පිරිස අද වනවිට පන්සියයක් පමණ වෙති. ඔවුන්ට ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරිමට  නොහැකි වනු ඇත. මැතිවරණය කට උඩ තබාගෙන එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගයට දැඩි  ප්‍රහාරයක් එල්ල කළේය. ඒ සජිත් පිලට කරණම් ගැසූ 115 දෙනකු එජාපයෙන්ම නෙරපා දමමිනි. ඒ අතර හිටපු ඇමැතිවරු, හිටපු රාජ්‍ය ඇමැතිවරු සහ හිටපු නියෝජ්‍ය ඇමැතිවරුද වෙති. එම සංඛ්‍යාව 54කි. ඔවුන් මේ වනවිට එජපායෙන් නෙරපා ඇත. මීට අමතරව පළාත් පාලන නියෝජිතයන් 61ක් දෙනෙක් ද එජාපයෙන් නෙරපූ කණ්ඩායමේ වෙති. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරන්නේ සමගි ජනබලවේගයට ගොස් සිටින තවත් පාක්ෂිකයන් පිරිසකට එරෙහිව පරික්ෂණ පැවැත්වෙන බවය. ඔවුන්ද ඉදිරියේදී පක්ෂයෙන් නෙරපා ඒ වෙනුවට
අලුත් කණ්ඩායමක් බඳවා ගන්නා බවද අකිල විරාජ් කාරියවසම් කියයි.

මේ අතර සමගි  ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හෝ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හෝ තවමත්  එජාපයෙන් ඉවත් කර නැත. මහ  ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්  පිළිබඳව කෙරෙන පරික්ෂණ තවමත් නිමවී නැති බවය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්  කළ පළාත් පාලන නියෝජිතයන්ට එම තනතුරු අහිමි වන අතර ඒ වෙනුවට පත්  කිරිමට නියමිත අලුත් නියෝජිතයන්ගේ නාම ලේඛණයක්ද එජාප මහ ලේකම්වරයා  මැතිවරණ කොමිසමට යවා තිබේ. "සමගි ජනබලවේගය තැන් තැන්වල විවිධ කතා කියනවා. ඡන්දයෙන් පස්සෙ සිරිකොත බලය අල්ලන කතා කියනවා. එජාපයෙන් පත්වන මන්ත්‍රීවරු තමන්ගේ පැත්තට ගන්න බවක් කියනවා. ඒ නිසා පක්ෂය තීන්දුවක් ගත්තා සමගි ජන බලවේගයට පණිවුඩයක්  දෙන්න. ඒ නිසා තමයි ඔය පිරිස පක්ෂයෙන් නීත්‍යනුකූලව නෙරපා දැමුවේ. එජාපයේ අරමුණ ඡන්දයෙන් පස්සෙ අලුත්
නියෝජිතයන් හඳුන්වාදී පක්ෂය නැවත ගොඩගන්නයැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් කීවේය.

මේ අතර නවීන් දිසානායකද ඉකුත්ද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ තමන්ද එජාප නායකත්වයට සුදුසු බවය. පසුව ඔහු කීවේ රනිල්ගෙන් පසුව තමා නායකත්වය ගන්නා බවය. නවීත් දිසානායක එහෙම කියන්නේ පාක්ෂිකයන් රඳවා ගන්නයි. එතකොට එජාප පාක්ෂිකයන් හිතනවා රනිගෙන් පස එජාපයට නායකයෙක් ඉන්නවාය කියලා. ඒ නිසා තමයි නවීන් දිසානායක නායකත්ව කතාව කිව්වේ යැයි එජාපයේ තවත් නායකයෙක් පැහැදිලි කර තිබේ. මහ මැතිවරණයෙන් පසුව ඉතා ඉක්මනින් පාර්ලිමේන්තූව රැස් කරන බව ආණ්ඩු පක්‍ෂය කියයි. මහ මැතිවරණ පනතට අනුව පාර්ලිමේන්තූව රැස් කිරීමේ බලය හිමිවන්නේ ජනාධිපතිවරයාටය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කරනවාත් සමගම ජනාධිපතිවරයා නව පාර්ලිමේන්තුව කැඳවන දිනයද නියම කළේය. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙත් නියමිත දිනයට මැතිවරණය පැවැත්වීමටවත් පාර්ලිමේන්තුව යළි කැඳවීමටත් සිදුවූයේ නැත. ඒ අනුව මහ මැතිවරණය නිමවීමෙන් පසුව අභිනව පාර්ලිමේන්තුව රැස්වන්නේ කෙසේදෙයි මේ වනවිට නීතිමය ගැටලුවක් පැන නැගී තිබේ.

මෙවැනි තත්වයකදී ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයකටදැයි නීති පොතේ සඳහන්ව නැතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති. ඇතැම් විට  ජනාධිපතිවරයාට අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් අහිනව පාර්ලිමේන්තුව රැස්කළ හැකි බවට පිරිසක් තර්ක කරති. තවත් පිරිසක් කියන්නේ පාර්ලිමේන්තු මහත් ලේකම්වරයා විසින් නව පාර්ලිමේන්තුව රැස් කරනු ඇත කියාය. කොහොම නමුත් මෙතන නීතිමය ගැටළු තත්වයක් තිබෙනවා. ඒ ගැටලුව ගැන නීතිපති උපදෙස් ගන්න පුළුවන්. නැත්නම් වෙනත් පියවරක් ගන්න වේවි. කොහොම නමුත් අලුත් පූර්වාදර්ශයක් විදියට හෝ හැකි ඉක්මනින්  පාර්ලිමේන්තුව රැස් කරන්න වේවි යැයි නීති විශාරදයෝ පවසති.

මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් අවසන් දින දෙකේ උපරිම ශක්තිය යෙදවීමටත් ප්‍රචාරණ කටයුතු දැඩි කිරිමටත් උනන්දුවන බව දැන ගන්නට තිබේ. ඒ අනුව සති අත්තයේ සෙනසුරාදා  සහ ඉරිදා යන දිනවල රටපුරා දේශපාලන රැස්වීම්, කුඩා ජනහමු මෙන්ම වෙනත් සංදර්ශන ආදිය සංවිධානය කර තිබෙන බවට මැතිවරණ කොමිසමට තොරතුරු ලැබී තිබේ. මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් ලබාදී ඇත්තේ අවසන් දින දෙකේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිදුවේදැයි බලා එලෙස සිදුවන්නේ නම් ඒවා නතර කරන ලෙසය. අවසන් දින දෙකේ ග්‍රාමීය ප්‍රදේශවල බයිසිකල් සංදර්ශන, රථ පෙළපාළි හෝ සංගීත සංදර්ශන සූදානම් කර ඇත්නම් ඒවා වහා නතර කරන ලෙසද මැතිවරණ කොමිසම මැතිවරණ නිලධාරින්ට සහ පොලිසියට උපදෙස් නිකුත් කර තිබේ.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු සහ ශ්‍රීලනිප කැස්බෑව ආසන සංවිධායකවරයකුව සිටි චන්දන කත්‍රිආරච්චි ඉකුන්දා දේශපාලන කරණමක් ගැහුවේය. ඔහු යහපාලන  ආණ්ඩු සමයේ ශ්‍රීලනිප ආසන සංවිධාකවරයකු ලෙස කටයුතු කළේය. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව නියෝජනය කළේය. චන්දන කත්‍රිආරච්චි ඉකුත්තු හෝමාගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය. එහි සාමාජිකත්වය ලබා ගත්තේය. චන්දනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එන්නට කපුකම කර ඇත්තේ විජේදාස රාජපක්ෂය. ඔහු ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මෙන්ම බැසිල් රාජපක්ෂටත් කරුණු කාරණා කියා කපුකම සුදානම් කළේය. ඉකුත්දා බැසිල් රාජපක්ෂ නෙළුම් මාවතේ පොදුජන පෙරමුණ කාර්යාලයට චන්දන කත්‍රිආරචිචි කැඳවා කරුණු සාකච්ඡා කළේය.

පසුව හෝමාගම පැවති ජනහමුවේදී අගමැති මහින්ද රාජපක්ෂ අතින් චන්දන පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේයෙ. තමන් පොහොට්ටුවෙන් ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන බවද චන්දන කත්‍රිආරච්චි කියනේය. මෙවර මහ මැතිවරණයට රටපුරා මැතිවරණ දිස්ත්‍රික් 22ටම තරග කිරීමට ස්වාධීන කණ්ඩායම් රැසක් ඉදිරිපත්වී තිබීම විශේෂත්වයකි. ඒ අනුව මෙවර ස්වාධීන කණ්ඩායම් 313කට අයත් අපේක්ෂක අපේක්ෂිකාවෝ 3800ක් තරගයට එක්ව සිටිති.

කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ස්වාධීන කාණ්ඩායම් 26 ක් තරග කරන අතර අපේක්ෂක අපේක්ෂිකාවන් සංඛ්‍යාව පන්සිය හැත්තෑ දෙකකි. මේ අතර ස්වාධීන කණ්ඩායමකින් තරග කරන හිමායා නියාස් ඉකුත්දා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළාය. ඇත්තටම අපි දුප්පත්. මිනිස්සුන්ට උදව් කරන්න අවශ්‍යයි. කොළඹ දිස්ත්‍රික්කයේ එවැනි දුගී පවුල් රැසක් මට හමුවෙලා තිබෙනවා. මට ඒ අයට වැඩ කරන්න අවශ්‍යයි. ඒ නිසා ජයග්‍රහණය කළාම බලයට පත්වන ආණ්ඩුවට එකතු වෙනවා නැත්නම්  වැඩක් කරන්නෙ කොහොමද? අපි  පොහොට්ටුවේ ආණ්ඩුවට එක වෙනවා ආදී වශයෙන් හිමායා නියාස් කළ ප්‍රකාශයට ඇයගේම කණ්ඩායමේ
ඇතමුන්ගේ විරෝධය පළවී තිබේ. හිමායා නියාස් ස්වාධීන අපේක්ෂිකාවක් දිනපු පක්ෂයකට වෙනවාය කියනවා නම් එතන ස්වාධීනත්වයක් නැහැ යි ඇතැම් පිරිස් චෝදනා කරන්නේය. ස්වාධීන අපේක්ෂිකාව අවංක වැඩියි. ඇයගේ කටින් ඇත්ත පිටවුණා. දේශපාලනයට ආධුනික නිසා ඔහොම වැරදීම් සිදු වෙනවා යැයි තවත් පිරිසක් ප්‍රකාශ කරති.  මේ අතර වැඩි වැඩියෙන් ස්වාධීන කණ්ඩායම් තරගයට පැමිණිම මැතිවරණෙ කොමිසමේ කණස්සල්ලට හේතුවී තිබේ. මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන්නේ ඇප මුදල අඩු නිසා ඕනෑම පිරිසකට ස්වාධීනව තරග කළ හැකි බවය. ස්වාධීන අපේක්ෂකයකුගේ ඇප මුදල රුපියල් 2000කි. කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන ස්වාධීන කණ්ඩායමකට මුළු ඇප මුදල රුපියල් 44,000කි. එය රුපියල් ලක්ෂ 5 හෝ 10 දික්ටවත් වැඩි කළ යුතු බව මැතිවරණ කොමිසමේ  අදහස වී තිබේ. එහෙත් තව පිරිසක් කියන්නේ අප  මුදල් අධික ලෙස ඉහළ දැමීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවකි.



අංගොඩ ලොක්කා කුඩු බෙදන්න උකුස්සකු යොදාගෙන


පාතාල කල්ලි නායක ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් බවට සැක කෙරෙන යෝධ උකුස්සකු ඔහුගේ සමීපතමයකුට අයත් මීගොඩ නාවලමුල්ල කනත්ත පාරේ සත්ත්ව ගොවිපළක සිරකරගෙන සිටියදී ඊයේ (30) සොයා ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක්ද සම්බන්ධ කරගෙන කරනු ලැබූ වැටලීමකදී මේ යෝධ උකුස්සා හමුවී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ගොවිපොළේ සේවකයන් දෙදෙනකු වායු රයිෆලයක්ද සමඟ එහිදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

උකුස්සා රඳවාසිටි ගොවිපොළ විශාල ගේට්ටුවක් සවිකර ඇතුළුවීම තහනම් යැයි සඳහන් පුවරුවක්ද ප්‍රදර්ශනය කරමින් ඒ වටා සුනඛයන් පිරිසක් ද ආරක්ෂාව සඳහා යොදවා රහසිගතව පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

අංගොඩ ලොක්කා විසින් කලකට ඉහතදී මේ යෝධ උකුස්සා ඉන්දියාවේ සිට බෝට්ටුවකින් මෙරටට එවනු ලැබ තිබූ බවටත් ගොවිපොළේ හිමිකරු මන්නාරමේ ප්‍රදේශයේදී උකුස්සා බාරගෙන ඇති දැඩි කිරීමට ගෙනගොස් ඇති බවටත් පොලිස් පරීක්ෂණවලදී තොරතුරු හෙළිවී ඇත. 

මේ උකුස්සාට මනා පුහුණුවක් ලබා දුනහොත් කිසියම් දෙයක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යෑමේ හැකියාව තිබෙන බව ඌ පරික්ෂාවට ලක්කළ වනජීවී නිලධාරීන් පවසා තිබේ.

මෙවැනි වර්ගයේ වැඩුණු උකුස්සකුට කිලෝ 15ක පමණ බරක් සැලකියයුතු දුරකට ඔසවාගෙන යා හැකි බව ද ඒ නිලධාරින් ප්‍රකාශ කර ඇත. මෙම ගොවිපොලේ හිමිකරු ගිනි අවි දෙකක් ළග තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටි.

මේ උකුස්සා ‘කුස ඇලි මුහුදු කුස්සා" නමින් හැඳින්වෙන බවත් ශ්‍රී ලංකාවට ආවේණික නොවන මෙම පක්ෂියා කූඩුකර ඇති දැඩි කිරීම නීතියෙන් තහනම් බවත් වනජීවී නිලධාරීහු පවසති. 

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිලක රූපසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක දිනුක වීරසිංහ මහතා හා බස්නාහිර පළාත් බුද්ධි අංශයේ නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීමකර වැඩිදුර පරික්ෂණ පවත්වති.

අගතියට පත් පාර්ශවයක් ලෙස පෙනී සිටීමට ඕමල්පේ හිමියන් කළ ඉල්ලීම සලකා බැලීම ලබන 28 දා

ලක්ෂපාන වාලමලෙයි වතු යායේදි මන්දකට හසු වී මිය ගිය කළු කොටියා වෙනුවෙන් අගතියට පත් පාර්ශ්වයක් වශයෙන් පෙනීසිටීමට ශ්‍රී බෝධි රාජ පදනමේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝහිත හිමියන් සහ තවත් පාර්ශ්වයක් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීම ලබන මස 28 දින දක්වා කල් තැබීමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජේ. ට්‍රොස්කි මහතා පෙරේදා (29) නියෝග කළේය.

ශ්‍රී බෝධිරාජ පදනම වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ අගතියට පත් පාර්ශ්වයක් වෙනුවෙන් නඩුවට පෙනීසිටීමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය. 

2020.05.26 දින ලක්ෂපාන වාලමලෙයි වතු යායේ එළවළු වගා භූමියක වතු කම්කරුවකු විසින් අටවා තිබූ මන්දකට හසු වී පැන්තරා පාදුස් වර්ගයේ ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වූ දුර්ලභ ගණයේ කඳුකර කළු කොටියකු මියයාම සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජීවී කාර්යාලය මගින් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කර තිබූ පැමිණිල්ලක් පෙරේදා කැඳවූ අවස්ථාවේ ශ්‍රී බෝධි රාජ පදනම සහ පාරිසරික සහ සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය අධිකරණය හමුවේ පෙනීසිටිමින් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා ඉදිරියේ කරුණු ඉදිරිපත් කළේය. 

පාරිසරික සහ සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුජීව ජාසිංහ මහතා කියා සිටියේ මෙම නඩුවට අදාළ දිවියා සම්බන්ධයෙන් 1982 අංක 12 දරන පොදු දේපළට අදාළ වැරැදි පිළිබඳ පනතේ සහ එහි සංශෝධනවල ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම සම්බන්ධවද විමර්ශන සිදුකර චෝදනා ගොනු කළ යුතු බවත්, දිවියාගේ වටිනාකම පිළිබද තක්සේරු වාර්තාවක් කැඳවීම සහ එයට අදාළ විමර්ශනයක් සිදුකරන ලෙසට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ. ට්‍රෝස්කි මහතා විවෘත අධිකරණය හමුවේ පැවසුවේ දෙපාර්ශ්වයම කඳුකර කොටියා ආරක්ෂා කර ගැනීමට හෝ මදු අටවන අය දැනුවත් කිරීමට හෝ වන සතුන් ආරක්ෂා කර ගැනීමට යම් ව්‍යාපෘතියක් මීට ප්‍රථම මෙම අධිකරණ බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කර ඇතිද යන වගයි. 

 මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි නීතිඥයන් මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවසුවේ මේ සදහා ව්‍යාපෘතියක් සකස් කර ඇති බවත්, එය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්ය. 

දෙපාර්ශ්වයේ කරුණු විමසා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවට සම්බන්ධ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටීමට නියෝගයක් ලබා දීම ලබන 2020 ඔක්කතෝබර් 28 දිනට කල් තැබූ අතර, ඊට ප්‍රථම මේ සම්බන්ධයෙන් කරුණු තිබේ නම් ලිඛිතව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

(නෝර්වුඩ් රංජිත් රාජපක්ෂ)

ජන්දය ගණින්නේ දිනකට පසුව නිසා මනාප වංචා සිදුවෙන්න පුළුවන්

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරිම සිදුවන්නේ ඡන්ද විමසීමෙන් දිනකට පසුව නිසා මනාප වංචා සිදුවිය හැකි බැවින් ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානවලට සි. සි.ටී.වී කැමරා සවිකරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරයි.

ප්‍රතිඵල ගණන් කිරීම දිනක් ප්‍රමාදවීම නිසා මනාප ප්‍රතිඵල විකෘතිවීමේ අවදානමක් ඇති බැවින් හා, එක් අයෙකුගේ මනාප තවත් අයකුට දමා ගණන් කිරීම වැනි ක්‍රියා අතීතයේදී ද සිදුවූ බැවින් එවැන්නක්වීම වළක්වා ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නීතිඥ සංගමය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතාගේ අස්සනින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත මෙම ලිපිය යොමුකර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් නීතිඥ වෙල්ලාල බන්දුල මහතා පැවසුවේ මෙවර මැතිවරණයේදී ප්‍රචණ්ඩ ක්‍රියාවල කැපීපෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවයි.
2001 මහ මැතිවරණයේදී මරණ 81 ක් හා 2015 දී මරණ 4 ක් වාර්තා වූ බව ද ඔහු සඳහන් කළේය.
මෙවර මැතිවරණ ප්‍රතිඵලය ද ඉතා සාධාරණ අයුරින් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා එහිදී අදහස් දක්වමින් පැවසුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වඩාත් තහවුරු කිරීමට නම් යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගිය හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව කටයුතු කළයුතු බවයි.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පොහොට්ටුව ලකුණ නියෝජනය කරමින් යන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පමණක් ද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා පැවසුවේ ඒවාට යන්නේ කවුරුන්ද යන්න මේ වනවිට සාකච්ඡා වෙමින් තිබෙන බවයි.

මැතිවරණ වේදිකාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයන්ට අපහාස කරන අයට මැතිවරණයේදී ඡන්දදායකයන් පිළිතුරු දෙනු ඇතැයි ද හෙතෙම කීවේය.

(ඩයනා උදයංගනී)

හමුදා නිවුන් සොයුරෝ ගිනස් පොතට



ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන නිවුන් සොහොයුරන් වන මේජර් ජනරාල් පූරක සෙනෙවිරත්න හා මේජර් ජනරාල් ජයන්ත සෙනෙවිරත්න මහත්වරු ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිනස් වාරිතා පිළිබඳ බලයලත් නියෝජිත වෙත අදාළ ලියකියවිලි ඊයේ (30) බාර දුන්හ.

මේ අයියා මලෝ දෙදෙනා එකම දිනෙක පාසලට ඇතුළත්ව උසස් පෙළ දක්වා එකම පන්තියක අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව එකම දිනෙක යුද හමුදාවට එක්ව එකම දිනෙක අධිකාරියට පත්ව විදේශීය පාඨමාලාවක් එකටම හදාරා එකම දිනවලදී උසස්වීම් ලැබූ දෙදෙනෙකු වන අතර මෙවැනි දෙයක් ලෝකයේ වෙන කිසිම රටක සිදුවී නැති හෙයින් ගිනස් වාර්තා පොතට ඇතුළත් වීමට දෙදෙනා බලාපොරොත්තුවෙන් සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ නිලධාරින් දෙදෙනා යුද හමුදා සේවයෙන්ද එකම දිනෙක විශ්‍රාම ලැබීමට නියමිතය. ශ්‍රී ලංකා සංඥා බළකායට සම්බන්ධ මේජර් ජනරාල් පූරක සෙනෙවිරත්න මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කරන අතර මේජර් ජනරාල් ජයන්ත සෙනෙවිරත්න බටහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කරයි. 

ඔහු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට සම්බන්ධ නිලධාරියෙකි. දෙදෙනා රත්නපුර සීවලී මධ්‍ය විදුහලේ ආදී සිසුවෝ වෙති. මේ නිලධාරීන් දෙදෙනා ගිනස් වාර්තා පොතට ඇතුළත් වීම සඳහා අදාළ ලියකියවිලි බාරදීම පිළිබඳ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේදී ඊයේ (30) උදේ පැවැත්විණි.

යුද හමුදාපතිවරයාද මේ නිලධාරින් දෙදෙනාගේ ලියකියවිලි සත්‍ය පිටපත් බවට ගිනස් වාර්තා පිළිබඳ කමිටුවට දැනුම් දුන්නේය. මේ අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ගිනස් වාර්තා පිළිබඳ කමිටුවේ සභාපති සමන් අමරසිංහ මහතාද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ජගත් ගුණවර්ධන මහතා ඇතුළු හමුදා ප්‍රධානීහු පිරිසක්ද සහභාගි වූහ.

- සුජිත් හේවාජුලිගේ -

නීතීඥවරියකට නිරුවත පෙන්වූ සෙබළා මාට්ටු



නීතිඥවරියකගේ නිවසට ගල් ගසා ඇයට නිරුවත පෙන්වු බව කියන පනාගොඩ යුද හමුදා කඳවුරේ සෙබළකු බව කියන පුද්ගලයකු මීගොඩ පුවක්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි.

දෙපාර්ශවය අතර පෙරේදා (29) ඇති වූ ආරවුලකින් අනතුරුව සැකකාර සෙබළා නීතිඥවරියගේ නිවසට ගල් ගසා ඇය නිවසින් පිටතට පැමිණීමෙන් අනතුරුව සිය කලිසම ගලවා නිරුවත පෙන්වූ බවට නීතිඥවරිය කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු මීගොඩ පුවක්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා පරික්ෂණ පවත්වයි.

- බිමල් ෂ්‍යාමන් -

ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීහු 2ක් ලක්ෂ 35ක අයිස් එක්ක කොටුවෙති


කොලොන්නාව හා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරීන් දෙදෙනකු රුපියල් ලක්ෂ 35කට අධික වෙළෙඳ වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කැලණිය පට්ටියහන්දියේ දී ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි. 

පොලිස් උපාය දූතයකු මාර්ගයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් බව ද පොලිසිය පවසයි. මොවුන් ඊයේ පස්වරු 1.15ට පමණ මෝටර් රථයකින් මෙම අයිස් මන්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කර පොලිස් උපාය දූතයාට අලෙවි කර ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අත්අඩංගුවට ගත් කොලොන්නාව ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සැකකරු පාඨමාලාවක් සඳහා ආයතනයෙන් නිවාඩු ලබා සිටි අයකු බව ද පොලිසිය කියයි. මෙම සැකකරුවෝ ඥාති සොහොයුරෝය. මොවුන් දෙදෙනා එක්ව මහපරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරන බවට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරු අනුව පොලිසිය උපාය දූතයන් යොදා සැකකරුවගෙන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් ඇණවුම් කර ඇත.

එම ඇණවුම් අනුව මොවුන් දෙදෙනා ඒ සඳහා රුපියල් ලක්ෂ 21 ක මුදලක් ඉල්ලා ඇති බවත් සැකකරුවන් ඊයේ පෙරවරුවේ පොලිස් උපාය දූතයා ඔරුගොඩවත්ත ප්‍රදේශයට ගෙන්වාගෙන රුපියල් ලක්ෂ 21 ක් වූ එම මුදල් පරික්ෂා කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි. 

මුදල් පරික්ෂා කිරීමෙන් පසුව සැකකරුවන් මත්ද්‍රව්‍ය ලබා දීමට පොලිස් උපාය දූතයා කැලණිය පට්ටිය හන්දියට කැඳවා ඇති බවත් පස්වරු 1.15 පමණ පට්ටිය හන්දියට පැමිණි සැකකරුවන් පොලිස් උපාය දූතයාගෙන් මුදල් ලබාගෙන ඇනවුම් කළ මත්ද්‍රව්‍ය ලබාදුන් අවස්ථාවේ එම ස්ථානයේ රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් සැකකරුවන් දෙදෙනා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්, කැලණිය දිස්ත්‍රික් 1 බාර පොලිස් අධිකාරි චන්දන ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත, පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලෝරආරච්චි, කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලින්ටන් ද සිල්වා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක සමීර, සැරයන්වරුන් වින ධර්මසිරි (33507), ජයතුංග (33434), කොස්තාපල්වරුන් වන සරත් (6103), කුමාර (68475), හෙන්නායක (88618), සිල්වා (169611) යන මහත්වරුන් මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (31) අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.

- ඉන්දිකා රාමනායක -

පැලවත්තේ රන්බඩු හොරා තාම නිදැල්ලේ



බත්තරමුල්ල, පැලවත්ත, පෙරේරා ගාර්ඩන් ප්‍රදේශයේ නිවසක පසුගිය 8 වැනිදා සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 20ට අධික රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධව තලංගම පොලිසියට පැමිණිලිකර දින 20 ක් ඉක්ම ගොස් ඇතත් මෙතෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වී ඇති බවට නිවසේ හිමිකරු චෝදනා කරයි. සොරකම සිදුවූ දින නිවසේ හිමිකරුවන් නිවසෙන් බැහැරව ගොස් සිට ඇති අතර එදින සවස 3.30ට පමණ මෙම සොරකම සිදුවී ඇති බවත් සොරකම සිදුකළ  පුද්ගලයා නිවසේ පිටුපස දොරෙන් නිවසට ඇතුළුවී ඇති අතර ඔහු නිවසට පැමිණෙන අයුරු සහ නිවසින් පිටව යන අයුරු නිවසේ ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇති බවත් එම දර්ශනද පොලීසියට ලබාදී ඇති බවත් නිවසේ හිමිකරු පවසයි.

සොරකම් කළ භාණ්ඩ අතර මිල කළ නොහැකි මැණික් ගල් අල්ලන ලද කර මාලයක් ඇතුළු රන් මාල හතරක්, රත්රන් වළලු, මුදු ඇතුළු රන් භාණ්ඩ සමග මිල අධික විදේශීය සුවඳ විලවුන්, මුහුණු අලේප ඇතුළු ලක්ෂ 2කට අධික භාණ්ඩ ඇති බවද නිවසේ හිමිකරු පවසයි. මේ සම්බන්ධව බත්තරමුල්ල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලින් ප්‍රියලාල් මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කීය. මේ සොරකමට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන පොලිසියට ලැබිල තියනවා. සැකකරු මුඛ ආවරණ පැළඳ  සිටීම නිසා හඳුනා ගැනීමට තරමක් අපහසු වෙලා තියනවා. නමුත් ඒ දර්ශන අදාළ තැන්වලට යොමුකරල තියෙන්නේ. එම නිසා ළගදීම සැකකරු අත්අඩංගුවට ගත්ත කටයුතු කරනවා.

ඊ.ටී.අයි.අධ්‍යක්ෂකවරුන්ගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි



එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන් පිනැන්ස් ලිමිටඩ්, හෙවත් ඊ.ටී. අයි. සමාගම සිඳුකර ඇතැයි පැවසෙන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිඳුකෙරෙන විමර්ශනවලට අදාළව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ මහත්ම මහත්මීන්ගෙන් ඊයේ (30) පැය 8 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඊ.ටී.අයි. සිද්ධිය  සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට එම සමාගමේ අධ්‍යක්ෂවරුන් මෙසේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ ප්‍රථම අවස්ථාව මෙය විය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකකය කළ දැනුම් දීමක් අනුව මොවුන් ඊයේ පෙරවරු 9.00ට එහි පෙනී සිටී අතර පස්වරු 6.00 වන විටත් එය අවසන් නොවීය. ප්‍රශ්න කරන අතරතුර ඊයේ පස්වරු 1.00ට පමණ ඔවුන් දිවා ආහාරය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි අතර දිවා ආහාරය ලබාගෙන පැයකට ආසන්න කාලයකට පසුව ඔවුහු යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියහ.  මෙම ප්‍රශ්න කිරීම පස්වරු 6.00 වනවිටත් අවසන් වී නොතිබිණි.

-ඉන්දිකා රාමනායක-

ටියුෂන් ගුරාගේ අල්මාරියේ දරුවන්ගේ යට ඇඳුම් 25 ක්-අසැබි සී.ඩී තැටි 130ක්


කුඩා දරුවන් විසිදෙනකුට අධික පිරිසක් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින සැකකාර පෞද්ගලික උපකාරක පන්ති ඉංග්‍රීසි ගුරුවරයාගේ පන්නිපිටියේ නිවසේ අල්මාරියක තිබි දරුවන්ගේ දර්ශන ඇතුළත් අසභ්‍ය සීඩී බවට සැකකරන තැටි 130ක් හා දරුවන්ගේ යට ඇඳුම් 25ක් පමණ විමර්ශනවලදී සොයාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මේ සියලු සීඩී තැටි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව ද පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. ඔහු මෙම විඩියෝ පට පිටරටවලට යැවීමට සුදානම් කර තබන්නට ඇති බවට සැකකරන බව ද එම නිලධාරියා සඳහන් කළේය.

සැකකාර ඉංග්‍රීසි ගුරුවරයා ඉංග්‍රීසි ඉගැන්වීම සම්බන්ධයෙන් වැඩිදුර හැදෑරිමක් සිදුකර නොමැති බවත් ඔහු සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනී සිටි අයකු බවට ද තොරතුරු හෙළි වූ බවත් එම උසස් නිලධාරියා කීය.

දැනට සිදුකළ විමර්ශන අනුව මොහු දරුවන් විසි දෙනකුට අධික පිරිසක් අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් දරුවන් සියලුදෙනා වයස අවුරුදු 8-12 අතර වයසේ පසුවන්නන් බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.

ඉංග්‍රීසි උගන්වන මුවාවෙන් සැකකරු මෙලෙස දරුවන් අපයෝජනය කර ඇති බව ද කියති.  සැකකරු ඉංග්‍රීසි ගුරුවරයකුට අමතරව වේදිකා පසුතල නිර්මාණ ශිල්පියකු වශයෙන්ද කටයුතු කර ඇති බව ද පොලිසිය පවසයි.

කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුමිත් ගුණරක්ත මහතා හා මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ශිකා වරුණි බෝගහවත්ත මහත්මිය සිදුකළ පරීක්ෂණයේ දී මෙම සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇත. 

සැකකරු ඉකුත්දා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මස 05 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබීය.

- ඉන්දිකා රාමනායක -

මාර්තු-අප්‍රේල්-මැයි විදුලි බිලට ගෙවූ වැඩිපුර මුදල ඊළඟ බිලෙන් අඩුවෙයි



විදුලි පාරිභෝගිකයන්ට පෙබරවාරි මාසයේ නිකුත් කළ බිල්පත හා සමාන ගාස්තු ඇතුළත් බිල්පතක් මාර්තු අප්‍රේල් සහ මැයි මාසවල නිකුත් කිරීමට පියවර ගෙන ඇති බැවින් එම මාසවලදී වැඩිපුර ගෙවා ඇති මුදල් ඊළග බිල්පතේ සිට අඩුකිරීමට පියවර ගන්නා බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කොළඹ දී ඊයේ (30) පැවසීය. පාරිභෝගිකයන් වැඩිපුර ගෙවා ඇති මුදල අඩුවනතෙක් ඉදිරි මාස සඳහා විදුලි බිල්පත් ගෙවීම අවශ්‍ය නොවන බවද සභාපතිවරයා සඳහන් කළේය.  දිවයින පුරා සියලු විදුලි පාරීභෝගිකයන්  සඳහා මෙම සහනය ලබාදෙන බව කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කළේය. පාරිභෝගික ජනතාව මෙම සහනය ලබාදීම සඳහා ඇමැති මණ්ඩල තීරණයක් මත රජය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර ඇතැයිද විජිත හේරත් මහතා කීවේය.

බිල්පත් නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමේ ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට මණ්ඩලය තීරණය කර ඇති බවත් පැවසූ සභාපතිවරයා හිඟ මුදල් හැකි පරිදි ගෙවන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. කොරෝනා වසංගතය හේතුවෙන් මහජනතාව නිවෙස්වලම රැඳී සිටීම නිසා විදුලිය පරිභෝජනය වැඩිවීමෙන් මාර්තු,  අප්‍රේල් සහ මැයි මාසවල විදුලි බිල්පත් ඉහළ යාමට හේතු වූ බවද ඔහු කීවේය. පසුගිය වසරේදී විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 85,000ක් පාඩු ලැබූ බවත් මේ වසරේදී පාඩුව රුපියල් කෝටි 90,000ක් බවට පුරෝකතනය කළත් රුපියල් කෝටි 63,000 ක සීමාවකට එම පාඩුව අවම කරගැනීමට හැකියාව තිබෙන බවත් සභාපතිවරයා පැවසිය. ඉන්ධන සහනය හිමිවීම සහ කර්මාන්ත ශාලාවල විදුලි පරිභෝජනය අඩුවීම හේතුවෙන් තාප විදුලිය නිෂ්පාදනයට යන වියදම අඩුවීම නිසා මෙම පාඩුව අවම කිරීමට හැකිවූ බව ඔහු සඳහන් කළේය.

-නිමල කොඩිතුවක්කු-

නිට්ටඹුවේ ගබ්සා මධ්‍යස්ථානයකින් දොස්තර සමඟ තරුණියෝ 5ක් තරුණයෝ 4ක් දැලේ




රජයේ ලියාපදිංචි වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් නිට්ටඹුව නගර මධ්‍යයේ පවත්වාගෙන ගිය ගබඩා  මධ්‍යස්ථානයක් ඊයේ (30)  දහවල් වටලා එහි සැකකාර වෛද්‍යවරයාත් ගබ්සාවක් සිදුකර ගැනීමට පැමිණි බව  කියන ගැබිනි තරුණියත් එහි රැදීසිටි තවත් තරුණියන් සිව්  දෙනකුත් ඔවුන් සමග පැමිණි  බව කියන තරුණයන් සිවු දෙනෙකුත් සැකපිට අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය පැවසීය. ලද තොරතුරකට අනුව පොලිස් කාන්තාවත් උපාය දූතයකු ලෙස වෙස්වලාගෙන පැමිණ වැටලීම සිදුකොට තිබුණි.  මෙහිදී ගබ්සා සඳහා යොදා ගන්නා උපකරණ තොගයක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. එසේ ගබ්සා කිරීමක් සඳහා
රුපියල් හතළිස් දහසක මුදලක් අයකරන බවත් මෙය කාලයක් තිස්සේ කරගෙන ගිය ගසා ජාවාරමක් බවත්  මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් සියලුම දෙනා අනුරාධපුරය හා කුරුණෑගල ඇතුළු ඈත ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පරීක්ෂණවලදී හෙළිවී ඇත. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි නිට්ටඹුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුණවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අසේල පෙරේරා මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරිහු පිරිසක් වැටලීමට සහභාගි වූහ.

-අනාන්ද ඉ.ජයකොඩි-

Thursday, July 30, 2020

ජපානයේ ඇතැම් ප්‍රෙදේශවල දෛනික ආසාදිතයන් ඉහළට

ස්ථානයේ දෙවැනි විශාලතම නගරය වන ඔසාකා හිදී සහ තෙවැනි විශාලතම නගරය වන නගෝයා නගරය පිහිටි අයිචි ප්‍රදේශ තුළ වාර්තා වූ වැඩිම දෛනික නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය අඟහරුවාදා හඳුනාගෙන ඇතැයි බලධාරීන් පවසයි. 

 ඒ අතරින් ඔසාකා නගරයේදී පමණක් නව රෝගීන් | 155 දෙනෙකු හඳුනාගෙන ඇත. මෙහිදී ජනතාව අමතා  ඇති එහි ආණ්ඩුකාර යොෂිෆුමි යොෂිමුරා මෙම ව්‍යාප්තිය පාලනය සඳහා උදව් කරන ලෙස ඉල්ලා ඇත. ඒ අනුව ලබන අගෝස්තු 1දා සිට 20දා දක්වා කාලය තුළදී පස් දෙනෙකුට වැඩි කණ්ඩායමක් සමග ආහාර ගැනීමට හෝ මත්පැන් පානය සඳහා යොමුනොවන ලෙස ඔහු ජනතාවට උපදෙස් දී තිබේ.

එසේම අයිචි පළාතේද පසුගිය අඟහරුවාදා දිනයේදී රෝගීන් 10 දෙනෙකු හඳුනාගෙන ඇත. එහිදී පළාතේ දකුණුදිග නගරයක් වන කුමාමොටෝ නගරය දැඩි අවදානම් ප්‍රදේශයක් ලෙස නම් කෙරි ඇත. එහිදී පමණක් ආසාදිතයන් 33 දෙනෙකු හමුව තිබේ. එසේ ටෝකියෝ නගරය තුළදීද නව රෝගීන් 236 දෙනෙකු හමුව තිබේ.

ජපානයේ නවතම කොරෝනා තත්ත්ව වාර්තාවට අනුව මේ වනවිට එරට සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 33,244කි. එහිදී ආසාදිතයන් දෙදෙනකු පසුගිය සඳුදා මරණයට පත්ව ඇත. මේ අතර ජපානයේ එක් එක් පළාත් ආශ්‍රිතව වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කරන බවද ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබුණි.

ක්‍රිකට් උපසභාපති මතිවානන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපතිවරයෙකු ලෙස කටයුතු කළ කේ. මතිවානන් මහතා සිය ඉල්ලා අස්වීම ඊයේ (29දා) ක්‍රිකට් ආයතනය වෙත සහ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත යොමු කර තිබේ. මීට අමතරව ඔහු ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතාටද ඔවුන්ගේ ඉල්ලා අස්වීම යොමු කර ඇති බව අනාවරණය වේ.

ක්‍රිකට් ආයතනයේ පසුගිය කාලය පුරාවට සිදුවූ මුල්‍ය ගනුදෙනුවල විනිවිදභාවය ප්‍රශ්න කරමින් මතිවානන් මහතා උපසභාපති ධුරයෙන් ඉවත්ව ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ කේ. මතිවානන් මහතා වෙනුවට හිටපු සභාපතිවරයෙකු වන ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට ඊයේ (29දා) සවස රැස්වූ ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන තිබේ. 

 සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මතිවානන් මහතා පෙන්වා දෙන්නේ විධායක කමිටු තීරණ සටහන් තැබීම්වල ඔහු නගන විරෝධතා හෝ අදහස් ඇතුළත් නොවීම හරහා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහු උපයාගත් ඉහළම කීර්තිනාමයට හානි කරගැනීමට තවදුරටත් සුදානම් නොමැති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔහු නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

"ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන උපසභාපතිවරු දෙදෙනාගේ මූලික වගකීම් අතර ජාත්‍යන්තර ක්‍රිකට් හා දේශීය ක්‍රිකට් යන අංශ මෙහෙයවීමේ සම්ප්‍රදායක් පැවැති නමුත් වර්තමානයේ මට කිසිදු වගකිවයුතු කටයුත්තක් ලබා නොදීම හේතුවෙන් වත්මන් පරිපාලනය මා හුදෙකලා කර ඇත. මාව ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධාන ධාරාවෙන් ඉවත් කර ඇති බව මට වැටහී තිබිණි. 

එමෙන්ම විධායක කමිටුව තුළ මෙන්ම කළමනාකරණ කමිටුව තුළද විවාදයට තුඩුදෙන ඇතැම් මුල්‍ය ගනුදෙනු සහ සාකච්ජා වන කරුණු සම්බන්ධයෙන් මා නගන විරෝධයන් හා අදහස් දැක්වීම් වත්මන් පරිපාලනය දැඩි සේ නොසලකා හරින බව කිව යුතුය. විධායක කමිටු තීරණ සටහන් තැබීමිවල මා නගන විරෝධතා හෝ අදහස් ඇතුළත් නොවීම හරහා අනාගතයේදී මේ සිදුවන ක්‍රියාවලිය තුළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් මා උපයාගත් ඉහළම ධනය වන මගේ කීර්තිනාමයට හානි කරගැනීමට මා තවදුරටත් සුදානම් නැත.

සාකච්ඡා වන කරුණු ඇතුළත් ලිපි ලේඛන විධායක කමිටු රැස්වීම්වලට සැලකිය යුතු කාල සීමාවකට පෙර ලබා දිය යුතු නමුත් එය මෙතෙක් සිදු වී නොමැත. ඒ හරහා ඇතැම් කරුණු පිළිබඳ තොරතුරු සොයා බැලීමට හා අදහස් දැක්වීමට ලැබෙන කාලය සීමාවීම වත්මන් පරිපාලනයේ විනිවිධභාවය පිළිබඳ ගැටලු මතු කරන්නකි.

සැමවිටම ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් අවංකවම කටයුතු කළ මා හට හෘදසාක්ෂියට එකඟව තවදුරටත් වත්මන් ක්‍රිකට් පරිපාලනය තුළ රැදී සිටිය නොහැකි තත්ත්වයක් උදාවී ඇත. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පණ මෙන් ආදරය කළ මා හට ක්‍රිකට් ක්‍රීඩාව හේතුවෙන් ලැබුණු දේ මෙන්ම, අහිමි වූ දේද බොහෝය. ඒ සියල්ල උපේක්ෂා සහගතව විඳදරාගත් මා දැන් සිටින්නේ තීරණාත්මක මොහොතකය. ඒ අනුව වත්මන් ක්‍රිකට් උපසභාපති  තනතුරට සමුදීම හැරෙන්නට අන් විකල්පයක් මේ අවස්ථාවේ මට නොපෙනේ. එබැවින් වත්මන් ක්‍රිකට් පරිපාලනයේ තනතුරුවලට සමුදීමට තීරණය කළෙමි. යම්කිසි දිනෙක මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සැබෑ ගෙරවණීය සේවාවක් ඉටුකළ හැකි දිනයක් උදාවුවහොත් ඒ වගකීම භාරගැනීමට මා සුදානම්ය.”

(පැතුම් ශ්‍රී විජේරත්න)

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 12,000කට රැකියා අහිමියි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදෙස්ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් 12,000කට ආසන්න පිරිසකට මේ වනවිට රැකියා අහිමි වී ඇතැයි වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්නි කාර්යාංශය පවසයි.

එමෙන්ම කොන්ත්‍රාත් කාලය අවසන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 30,000කට අධික පිරිසක් සිටින බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසිය.

"අද'' කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ විදෙස්ගත පුද්ගලයන් ලබාදුන් තොරතුරු අනුව මෙම දත්ත ලබා ගැනීමට හැකි වූ බවයි. ජෝර්දානයේ රැකියා විරහිතව සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකට එරට පොලීසිය පහරදීමේ සිදුවීමේ නවතම තත්වය පිළිබඳ අප කළ විමසීමේදී රන්දෙණිය මහතා පවසා සිටියේ, ඔවුන් පිළිබඳ නිරන්තර සොයා බැලීම් එරට තානාපති කාර්යාලය හරහා සිදු කරන බවත්, මේ වනවිට ඔවුන් ආරක්ෂිතව සිටින බවත්ය.

ඩුබායිහි අපහසුතාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිළිබඳවද නිරන්තර සොයා බැලීම් සිදු කරන බවත්, ඔවුන්ගෙන් පිරිසක් හෙට (31දා), අනිද්දා (01) යන දෙදින තුළ මෙරටට ගෙවීමට විදේශ සබඳතා අමාත්‍යාංශය කටයුතු සුදානම් කරමින් සිටින බවත් රන්දෙණිය මහතා කියා සිටියේය.

(නවෝද්‍ය පවනි)

ගේත් - ඉඩමත් ලියා දෙන්නැයි ඉල්ලා අසූ හැවිරිදි මවට රීප්පයක් කැඩෙන්න ගහලා


නිවස පිහිටි ඉඩම ලියාදෙන ලෙස බලකරමින් 80 හැවිරිදි තම මවට රීප්පයක් කැඩෙන තුරු පහරදී නූලකින් ඇගේ ගෙල සිර කළ පුත්‍රයකු ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා ඉකුත් (27) නියම කළේය. 

මිනුවන්ගොඩ උතුරු වෑලියේ පදිංචි සුමිත් චන්දන පෙරේරා නමැති 36 හැවිරිදි අවිවාහක සැකකරු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.

සැකකරු තම මව නිවස තුළට ගෙන නිවසේ දොර ජනෙල් වසා මවට මෙසේ අමානුෂික ලෙස පහරදී ඇති බවත් මවගේ කෑ ගැසීම ඇසී පැමිණ ඇති අසල්වැසියන් නිවසේ දොරගුළු කඩා මව බේරාගෙන ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය.

සැකකරු මව ඝාතනය කර වැසිකිළි වළට දමන බවට තර්ජනය කරමින් පහරදී ඇති බවත් පහර කෑමට ලක් වූ මව ගම්පහ දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පැමිණිල්ල මෙහෙයවමින් මිනුවන්ගොඩ පොලිසියේ සැරයන් සුදත් නන්දසිරි (38098) මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

- ටෝනි කරුණානායක -

එතනෝල් මත්පැන් බෝතල් 30ක් එක්ක සුරාබදු නියාමක මාට්ටු


එතනෝල් හා මත්පැන් බෝතල් 30 ක් පමණ නීති විරෝධී ලෙස මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන සුරාබදු නියාමකවරයෙකු පමුණුගම ප්‍රදේශයේදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (28) මධ්‍යම රාත්‍රීයේදී අත්අඩංගුවට ගනු ලැබීය. 

එතනෝල් ස්ප්‍රීතු මිලි ලීටර් 750 බැගින් අඩංගු බෝතල් 5 ක් හා මිලි ලීටර් 150 ක් බැගින් අඩංගු මත්පැන් බෝතල් 25 ක් බන්ධනාගාර නියාමකවරයා පදවාගෙන ආ මෝටර් රථයේ තිබී සොයාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 

නීති විරෝධී ලෙස එතනෝල් සහ මත්පැන් ප්‍රවාහනය කළ මෙම කාර් රථයද පොලිස් භාරයට ගත් බව එම නිලධාරියා සඳහන් කළේය. සැකකාර සුරාබදු නියාමක දෙපාර්තමේන්තුවේ වෙන්නප්පුව වයික්කාල කාර්යාලයේ රාජකාරි කරන අයකු බව ද ඔහු දංකොටුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මත්පැන් නිෂ්පාදනාගාරයක අධීක්ෂණ කටයුතු සඳහා යොදවා සිට ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. 

එම නිෂ්පාදනාගාරයෙන් මෙම මත්පැන් ලබාගෙන මෙලෙස නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිට ඇති බව ද පොලිසිය පවසයි. 

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු තොරතුරක් මත එම පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් පෙරේදා මධ්‍යම රාත්‍රී 12.00ට පමණ පමුණුගම ප්‍රදේශයේ වැටලීමක් සිදුකර මේවා සමග සැකකාර බන්ධනාගාර නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පැන්, එතනෝල් බෝතල් තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා පමුණුගම පොලිසියට බාර දී ඇත.

- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -

අපරික්ෂාකාරී බස්, ටිපර්, කන්ටේනර් රථ මඟින් මරණයක් වුණොත් ප්‍රවාහන බලපත්‍ර අහෝසියි

අපරීක්ෂාකාරී ලෙස බස් රථ, ටිපර් රථ හා කන්ටේනර් රථ මගින් සිදුවන අනතුරුවලදී පුද්ගල මරණ සිදුවුවහොත් රියැදුරුට නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමට අදාළ
නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 

මේ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් ඊයේ (29දා )මේ පිළිබඳව සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදුන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. මෙවැනි අනතුරු සිදු වූ පසු රියැදුරට නෛතික පියවර ගැනීමට අමතරව තරඟකාරී ලෙස, අනතුරුදායක ලෙස මාර්ගය ධාවනය කිරීමේදී පුද්ගලයන් මියගියහොත් බස් රථවල මාර්ග බලපත්‍ර අහෝසි කිරීම සඳහා අදාළ බලධාරීන් වෙත නෛතිකව කරුණු ඉදිරිපත් කර අදාළ කටයුතු කරන ලෙසට උපදෙස් ලබාදුන් බවද ඒ මහතා පවසා සිටියේය.

මෙම තීරණය ගැනීම සඳහා පසුගිය වසර පහක් තුළ සිදු වූ අය අනතුරු පිළිබඳව සොයා බැලූ බවත්, 2015 වසර සැලකීමේදී මාරක රිය අනතුරු දෙදහස් හයසීයක් සිදුව තිබෙන බවත්, මෙහිදී ලංගම බස් රථ හැටපහක් හා පුද්ගලික බස් රථ එකසිය හැත්තෑ හතක් මාරක රිය අනතුරු සිදුකර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ අනුව සමස්ත මාර්ග අනතුරුවලින් 10% ප්‍රමාණයක් බස් රථවලින් සිදුව තිබෙන බවත්, 2016 වර්ෂයේදී දෙදහස් අටසිය තිස් හතක් මාරක රිය අනතුරු සිදුව තිබෙන අතර, මෙහිදී ලංගම බස් රථ අනූ දෙකකින් හා පෞද්ගලික බස් රථ එකසිය හැට හතරකින් මාරක රිය අනතුරු සිදුව තිබෙන බවත් ඒ මහතා පැවසීය. ප්‍රතිශතයක් ලෙස එය ආසන්න වශයෙන් 9%ක් බවද හෙතෙම පවසා සිටියේය. 

2017 වසර සැලකීමේදී මාරක අනතුරු දෙදහස් නවසිය හැටපහක් සිදුව තිබෙන බවත්, මෙහිදී පෞද්ගලික බස් රථ එකසිය අනු හතරකින් හා ලංගම බස් රථ. පනස් නවයකින් මාරක අනතුරු සිදුව තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය. එය ප්‍රතිශතයක් ලෙස 8.5%ක ප්‍රතිශතයක් බවද ඒ මහතා පවසා සිටියේය.

2018 වසර සැලකීමේදී මාරක රිය අනතුරු දෙදහස් නවසිය අනූ හතරක් සිදුව තිබෙන බවත්, ලංගම බස් රථ හැට එකකින් හා පෞද්ගලික බස් රථ දෙසිය තිස් නවයකින් මාරක රිය අනතුරු සිදුව තිබෙන අතර, එය ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයක් බවද ඒ මහතා සඳහන් කළේය. 2019 වසරේදී මාරක රිය අනතුරු දෙදහස් හයසිය අසූ අටක් සිදුව තිබෙන බවත්, ලංගම බස් රථ තිස් හතරකින් හා පුද්ගලික බස් රථ එකසිය අසූ හතරකින් මාරක රිය අනතුරු සිදුව තිබෙන බවත්, එය ආසන්න වශයෙන් රිය අනතුරුවලින් 8%ක ප්‍රමාණයක් බවත් ජාලිය සේනාරත්න මහතා පවසා සිටියේය.

දල වශයෙන් සැලකීමේදී 10%ක ප්‍රමාණයක් අනතුරු සිදුවනුයේ බස්රථවලින් බවත්, මේ අනුව රිය අනතුරු සිදුකරන බස්රථ රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා සේම ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරීම සඳහා නෛතික පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.

මීට අමතරව ගෙවී ගිය වසර පහක කාලය සැලකීමේදී සිදුවූ මාරක අනතුරුවලින් එක්දහස් අටසිය හතළිස් පහක් සිදුව තිබෙනුයේ ටිපර් රථ හා කන්ටේනර් රථවලින් බවත්, මෙවැනි අනතුරු සිදුකරනු ලබන්නේ බර වාහන නොසැලකිලිමත් ලෙස අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීම තුළින් බවත් ඒ මහතා පවසා සිටියේය.

මේ නිසා අන්තරාදායක ලෙස රිය අනතුරු සිදුකරන වාහනවල රියැදුරන්ට නීතිය ක්‍රියාත්මක කිරිමට අමතරව අදාළ වාහනවලට ලබාදී තිබෙන ව්‍යාපාරික බලපත්‍ර අවලංගු කිරීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා පවසා සිටියේය.

(ඉන්දික හේවාවිතාරණ)

බොකුන්දර කුලී ගෙයක් පිටුපස ලක්ෂ 60 කුඩු වළදාලා



පිළියන්දල බෝකුන්දර පාසල් මාවතේ කුලී නිවස  පිටුපස වළ දමා තිබූ මත්කුඩු ග්‍රෑම් 500 ක් පමණ  ඊයේ සොයාගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. පාර්සල් කිහිපයක ඇසුරුම් කර තිබූ මෙම වකුගඩු තොගයේ වටිනාකම ලක්ෂ 60 ක් පමණ වන බවත් මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ  අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව මෙම කුඩු තොගය අත්අඩංගුවට ගත් බව ද එම ඒකකය පවසයි.  බෙල්ලන්විල විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයකු ඉකුත් 26 වැනිදා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරිමේදී මත්ද්‍රව්‍ය විකිණීම, බෙදාහැරීම සහ ඇසුරුම් කිරීමේ ජාවාරමේ යෙදුණු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝකුන්දර පාසල් මාවතේ නිවස සහ හොරණ ප්‍රදේශයේ නිවසක් වැටලීමෙනි.

එම සැකකරුවන් පිරිස අතර එකම පවුලේ මවක් සහ පුතෙකු සිටින බවට පොලිස් නිලධාරියෙක් පැවසීය.  මෙම සැකකාරිය හා සෙසු සැකකරුවන් පස්දෙනා දැනට කොළඹ බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ හෙරොයින් මත් කුඩු ජාවාරම්කරුවකුගේ මත්කුඩු ජාලය හා බැඳී සිටින එකම කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් බව මේ වන විට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.  එම සැකකරුවන් පිරිසෙන් හතර දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර තවත් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව ද ඔවුන්ගෙන් හෙළි වූ තොරතුරු අනුව මෙම මත්කුඩු තොගය සොයා ගැනීමට හැකි වූ බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-

පදිංචි සහතිකයක් දෙන්න ලක්ෂයක් අල්ලස් ගත්තැයි ග්‍රාම නිලධාරිනිය රිමාන්ඩ්


විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් වන්දි ලබාගැනීම සඳහා පදිංචි සහතිකයක් නිකුත් කිරීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ලබා ගත්තැයි අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක සහ ඇයට ආධාර අනුබල දුන් බව කියන ත්‍රිරෝද රථ රියැදුරකු ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පෙර්දා 28වැනිදා නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අංක 177 දෙමටගොඩ ග්‍රාම නිලධාරී වසම් ග්‍රාම නිලධාරිනිය ලෙස සේවය කළ බෝපිටිය ගමගේ රංජනී සහ ත්‍රිරෝද රථ රියැදුරකු වන රාම පුෂ්පරාජා යන දෙදෙනාය.

පැමිණිලිකාරිය දෙමටගොඩ දුම්රිය නිවාසවල පදිංචිව සිටින අතර, 2017 වර්ෂයේ සිට එම නිවාසයේ පදිංචී බවට ව්‍යාජ සහතිකයක් ලබාගැනීම සඳහා සැකකාරිය මෙම අල්ලස් මුදල ඉල්ලා ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මෙම සැකකාරිය කිහිප වතාවක්ම පැමිණිලිකාරිය වෙත දුරකතනයෙන් අමතා අදාළ මුදල ඉල්ලා ඇති අතර පැමිණිලිකාරිය මේ සම්බන්ධයෙන් තම කොමිසමට පැමිණිලි කළ බවත් පසුව උපාය දූතයකු සමඟ ගොස් ග්‍රාම නිලධාරී කාර්යාලයේදී අල්ලස් මුදල් ලබා දෙද්දී මෙලෙස අත්අඩංගුවට ගත් බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

දෙවැනි සැකකරු ත්‍රිරෝද රථ රියැදුරකු වන අතර මෙම අල්ලස් මුදල ලබාගැනීමට සම්බන්ධීකරණය කිරීම සඳහා රුපියල් 500ක මුදලක් ලබාගෙන ඇති බවද කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය.

සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සංජය ගමගේ මහතා සඳහන් කර සිටියේ පැමිණිලිකාරිය අනවසර ස්ථානයක පදිංචිව සිටින අතර ස්ථානීය පරික්ෂණය කර පදිංචි සහතිකය ලබා දීමට නොහැකි බව පැවසූ බැවින් මෙම පැමිණිල්ල සිදුකර ඇතැයි යන්නය.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මහේෂ් කුමාර මහතා සඳහන් කර සිටියේ තම සේවාදායකයා සැකකාරිය සමඟ ගමන් බිමන් ගියා මිස මේ සිද්ධියට කිසිඳු සම්බන්ධයක් නොමැති බවය. නීති විරෝධී වැඩ සිදුකර තමන් බලාපොරොත්තු වන්නේ මොනවාදැයි සැකකරුවන්ගෙන් විමසූ මහේස්ත්‍රාත්වරිය ලබන 07 වැනිදා තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

- නිමන්ති රණසිංහ -

බුවනෙක හෝටල් ගොඩනැඟිල්ලට අදාළ සියලු ලිපිගොනු වාර්තා වහ ඉදිරිපත් කරන්න



ඩෝසර් කර විනාශ කරන ලද කුරුණෑගල බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ල පිහිටි පරිශ්‍රයේ  පවත්වාගෙන ගිය "බුවනෙක හොටලය" ගොඩනැගිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු මෙන්ම වයඹ නගර සංවර්ධන රැස්වීම් වලට අදාළ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්  ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාට හා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පෙරේදා (28) නියම කළේය.  මෙම පෞරාණික ගොඩනැගිල්ලේ ස්මාරකයට හා පෞරාණික කානු පද්ධතිය විනාශ කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන කටයුතු සඳහා "බුවනෙක හෝටලය" ගොඩනැගිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු මෙන්ම වයඹ නගර සංවර්ධන රැස්වීම්වලට අදාළ වාර්තා අවශ්‍ය වී ඇතැයි කියමින් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නිතීඥ ක්‍රිෂාන් ගුණතිලක මහතා සමග පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ මාධව තෙන්නකෝන් මහතා  කළ ඉල්ලීම් සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

'බුවනෙක හෝටලය' ගොඩනැගිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු අද දිනය තූළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  කුරුණෑගල මහනගර සභාවේ  නගරාධිපතිවරයාට ද වයඹ නගර සංවර්ධන රැස්වීම්වලට අදාළ වාර්තා වහාම, අද දිනය තූළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට ද නියම කර ඇති බව නිතීපතිවරයාගේ සම්බන්ධීකරණය නිලධාරිණි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ නිශාරා  ජයරත්න මෙනෙවිය පැවසුවාය.බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන මෙම පෞරාණික ගොඩනැඟිල්ලේ ස්මාරකය හා පෞරාණික කානු පද්ධතිය විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක  මහතා කළ පැමිණිල්ලකට අනුව කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර ඇත.

කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක කුලතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද මෝසමකට අනුව එම නඩුව කැඳවන ලදී. සිද්ධියට අදාළව සිඳුකරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක කුලතුංග මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව දැනුම් දුන්නේය.  නිතීපතිවරයා නියෝජනය කරමින් රජයේ  නිතීඥ ක්‍රිෂාන් ගුණතිලක මහතා සමග පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ මාධව තෙන්නකෝන් මහතා අධිකරණය අමතමින් මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන කටයුතු සඳහා 'බුවනෙක හෝටලය' ගොඩනැඟිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු මෙන්ම වයඹ නගර සංවර්ධන රැස්වීම්වලට අදාළ වාර්තතා අවශ්‍ය වී ඇතැයි පැවසීය.

එහෙයින් 'බුවනෙක හෝටලය' ගොඩනැගිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු අද දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාට ද වයඹ නගර සංවර්ධන රැස්වීම්වලට අදාළ වාර්තා වහාම, අද දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට ද නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ මාධව තෙන්නකෝන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝග නිකුත් කළේය.



-මනෝප්‍රිය ගුණසේකර-


සමාජ මාධ්‍ය විසින් ඉවත්කළ මැලේරියා එන්නත ගැන වීඩියෝව වෙනුවෙන් ට්‍රම්ප් පෙනී සිටියි.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සඳහා ලබා නොදිය යුතු බවට සඳහන්ව ඇති හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් හෙවත් මැලේරියා ඖෂධය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළින් ඉවත් කිරීමට කටයුතු යෙදීම සම්බන්ධයෙන් ව්‍යාජ කෝපයට පත්ව ඇතැයි වාර්තා වෙයි. 

 මෙම විඩියෝව හරහා අනුමත නොවූ ඖෂධයක් ප්‍රවර්ධනය කරන බවත්, එය වැරැදි තොරතුරු ජනතාව අතරට යාම සඳහා වැඩි ඉඩක් පවතින බවත් පවසමින් ට්විටර්, ෆේස්බුක් සහ යුටියුබ් යන සමාජ මාධ්‍ය තුළ මෙම වීඩියෝව සංසරණය වීම නවත්වා තිබේ. 

කෙසේ වෙතත් මෙම මැලේරියා ඖෂධය නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස් සඳහා ලබාදිය හැකි ප්‍රතිකාරයක් බව යළි යළිත් පවසා සිටියි. ඒ අනුව වෛද්‍ය කණ්ඩායම් කිහිපයකගේද අදහස් ඇතුළත් මෙම වීඩියෝව ප්‍රසිද්ධියට පත්විය යුතු බව ඔහු පවසා ඇත.

"මම හිතන්නේ ඔවුන් පිළිගැනීමක් සහිත වෛද්‍යවරුන්. ඔවුන් මේ ඖෂධය ගැන විශ්වාස කරනවා. ඒ වගේම මේ වීඩියෝවේ ඒ ඖෂධය ලබාගත්ත කාන්තාවකුත් ප්‍රකාශයක් සිදු කරනවා." ට්‍රම්ප් එලෙස පවසා ඇත.

 එහෙත් මෙම වීඩියෝවේ සිටින වෛද්‍යවරුන් සියලු දෙනාම ඇමරිකාවේ පෙරමුණගත්
වෛද්‍යවරුන් නම් සංවිධානයක සාමාජිකයන් බව පැවසෙයි. එසේම ඔවුන් ට්‍රම්ප් හිතවාදී දේශපාලන ක්‍රියා කමිටුව වෙත අරමුදල් රැස් කිරීමේ නිරත වන බවත් අනාවරණය වී තිබේ.

ජනපති ට්‍රම්පිට අමතරව ඔහුගේ පුත්‍රයා වන කණිෂ්ට ඩොනල්ඩ් ට්‍රම්ස් සිය ට්විටර් ගිණුම හරහා මෙම
වීඩියෝව ප්‍රසිද්ධියට පත් තිබුණි. කෙසේ වෙතත් වහා ක්‍රියාත්මක වූ ට්විටර් සමාගම ඔහුගේ ගිණුම පැය 12ක කාලයකට අක්‍රියකර තැබීමටද පියවර ගෙන තිබේ. මෙම වීඩියෝව හරහා සිය සමාජ මාධ්‍ය ජාලයේ ඇති COVID-19 සම්බන්ධ වැරදි තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකිරිමේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන බව සමාගම සඳහන් කර තිබේ. 

 මේ අතර, ජනපති ට්‍රම්ප් පවා මීට පෙර නිකුත් කළ නිවේදනයකට අනුව ඔහුද ආසන්න කාලසීමාවේදී මෙම හයිඩ්‍රොක්සිලෝරොන් ඖෂධය දෛනිකව ලබාගන්නා බව පවසා ඇත. එහිදී සිය වෛද්‍යවරුන් එම ඖෂධය නිර්දේශ කර ඇතැයි ඔහු සඳහන් කර තිබුණි. කෙසේ වෙතත් එරට ප්‍රධාන වෛද්‍යවිශේෂඥයන් මෙම ඖෂධය භාවිතය සුදුසු නොමැති බව අවධාරණය කර සිටියි.

"මෙම හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ඖෂධය සායනික අත්හදා බැලීම් සඳහා යොදාගැනීම සම්පුර්ණයෙන්ම නවත්වන්න කියන්නේ. මොකද මේ ඖෂධයෙන් කොරෝනා වෛරසයට එරෙහිව කිසිදු බලපෑමක් එල්ල කරන්නේ නැහැ.එක්සත් ජනපදයේ අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුසිද වරෙක පවසා තිබුණි.

එතනෝල් ලීටර් 4,00ක් සමඟ සැකකරුවන් 9ක් අත්අඩංගුවට




කළුතර හිනැටියන්ගල ප්‍රදේශයේ දෙමහල් නිවෙසක පවත්වාගෙන ගිය මහා පරිමාණ හොර ස්කාගාරයක් වටලා එතනෝල් ලීටර් 4,000ක් ද රජයේ මත්පැන්වලට සමාන හොර මත්පැන් තොගයක් ද සමග සැකකරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් සිව් දෙනකු ද වන බව පොලිසිය සඳහන් කරයි.

මත්පැන් නිෂ්පාදනයට යොදාගත් යන්ත්‍ර සූත්‍ර, මත්පැන් පිරවීමට, බෝතල්වලට මූඩි සවි කිරිමට
යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර, නිෂ්පාදනය කර නිම කරන ලද මත්පැන් පිරවූ කාලේ බෝතල් හාර දහසක් බැරල් 16ක අඩංගු එතනෝල් ලීටර් 4000ක්, හිස් කාලේ බෝතල් පහළොස් දහසකට ආසන්න ප්‍රමාණයක්, එයට සවිකරන මූඩි හතළිස් දහසක් පමණ ද ලේබල් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත. ඊට අමතරව මත්පැන්වල සැර පරික්ෂා කරන විශේෂිත උපකරණයක් ද පොලිස් භාරයට ගත් අතර එම උපකරණ සුරාබදු දෙපාර්තමේන්තුවේ උපකරණ තුනකින් කෙරෙන කාර්යය සිදුකරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක්  පැවැසීය.

දෙමහල් නිවසේ ඉහළ මහලේ රාවලින් නිෂ්පාදනය කරන එතනෝල් මත්පැන් බවට පත් කර පොම්ප හරහා පහළ මහලේ යන්ත්‍ර සූත්‍රවලට යොමුකර මත්පැන් බෝතල්වලට ඇසිරීම ද යන්ත්‍ර සුත්‍ර මගින් ස්වයංක්‍රීයව සිදු කෙරෙන බව  වැටලීමට සහභාගි වූ නිලධාරියෙක් පැවසීය. කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව දෙමහල් නිවසකින් යුත් මෙම මධ්‍යස්ථානය වටලන අවස්ථාවේ දී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි බව පොලිසිය සඳහන් කරයි. මේ වන විට සිදුකර ඇති මූලික විමර්ශනවල දී පොලිස් භාරයට ගත් මත්පැන් සහ උපකරණවල වටිනාකම රුපියල් කෝටියකට අධික බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-


බැසිල්ට පොලිස් ආරක්ෂාව ඉල්ලයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂ මහතාට පොලිස් ආරක්ෂාව ලබාදෙන
ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මුලස්ථානයේදී ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

බැසිල් රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වන බවත්, ඒ අනුව ඒ මහතාට ජීවිත තර්ජනයක් ඇති විය හැකි බවත් පෙන්වා දුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එහිදී පොලිස් ආරක්ෂාව අවශ්‍ය වන බවද කීය. මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, 

 "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය කාලයේ මැතිවරණ ජයග්‍රහණයේ පසුබිම තුළ ක්‍රියාකළ බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන භූමියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් සිදුවෙනවා. හිටපු ඇමතිවරයෙකු මෙන්ම විදේශීය රටවල් සමග සබඳකම් ඇති ශ්‍රී ලාංකිකයෙකු හා තවත් දෙදෙනෙකු කොළඹ තරු පහේ හෝටලයක සාකච්ඡා කරලා තියෙනවා. 2/3ක බලයක් ලබා ගන්න සම්පුර්ණ පසුබිම් වූ බැසිල් රාජපක්ෂ කෙසේද ඉවත් කරන්නේ කියලා සාකච්ඡා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු අප වෙත ලැබී තිබෙනවා. අද දිනයේ එම කරුණු පරික්ෂණ සඳහා පොලිස්පතිතුමාට ලබාදෙන බව කියන්න ඕන.  

ඒ හිටපු ඇමතිවරයා කියලා තියෙනවා බැසිල් රාජපක්ෂ කියන චරිතය දේශපාලන භූමියෙන් ඉවත් කරලා දානකම් බලයට එන්න බැරිවෙයි කියලා. එහෙම වුණොත් මේ රාජපක්ෂවරු අවුරුදු ගණනාවක් මේ පාලන බලයේ හිඳීවි කියලා. විපක්ෂයක් හැටියට ගොඩඑන්න බැරි වෙන එක එහිදී සාකච්ඡා කරලා තියෙනවා. අද දිනයේ සිදුකරනු ලබන පැමිණිල්ලට අමතරව බැසිල් රාජපක්ෂ මහතාට ආරක්ෂාව සපයන්න කියලා කියනවා, සමහර විට ජීවිතයට පවා තර්ජනයක් විය හැකියි. බැසිල් රාජපක්ෂ මහතා ඉවත් කරන කුමන්ත්‍රණ කරලාම බැහැ. එතුමා උපක්‍රමශීලී දේශපාලනඥයෙක්. ඔහුව ඉවත් කරන්න නම් ජීවිත හානියක් කළ යුතුයි. පැමිණිල්ල කළ විගස පොලිස්පතිතුමාට කියා සිටිනවා විශේෂයෙන්ම පොලිස් ආරක්ෂාව ලබාදෙන්න කියලා” යැයිද පැවසීය.

(නිදර්ශනී වික්‍රමසිංහ)

කුඩ්ඩන්ට - පාතාලයන්ට හවුල් නිලධාරීන් 20කට ඉක්මන් මාරු

බූස්ස විශේෂිත බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ පාතාල හා මත්කුඩු ජාවාරම්කරුවන් හා සමීප සබඳතා පවත්වමින් දිගු කාලයක් එකම සේවා ස්ථානයක රැඳී සිටින ජේලර්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් වෙනත් සේවා ස්ථාන වෙත මාරුකර යැවීමට බන්ධනාගාර මූලස්ථානය තීරණය කර ඇත.

මේ වනවිට අදාළ නිලධාරීන් පිළිබඳ බුද්ධි අංශ ඉදිරිපත් කර ඇති වාර්තතාවකට අනුව විමර්ශනයක් සිදුකරගෙන යන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ (28) පැවසීය. දැනටමත් එවැනි සැකකටයුතු නිලධාරීන් 20කගේ පමණ තොරතුරු බුද්ධි අංශ විසින් සොයාගෙන ඇතැයි ද වාර්තාවේ.

මෙම නිලධාරින්ගෙන් වැඩිදෙනා එකම සේවා ස්ථානයක දීර්ග කාලයක් සේවය කර ඇතැයි ද දැන ගන්නට තිබේ.

ඇතැම් පාතාල රැඳවියන්ගේ පණිවුඩ පිටට රැගෙන යාම පවා මෙම ඇතැම් නිලධාරීන් සිදුකර ඇති බවට පරික්ෂණවලදී හෙළිවී ඇතැයි ද එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

- ජයන්ත සමරකෝන් -

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පොලිසිය පතුරු ගහයි


මිගමුව බන්ධනාගාරය තුළ සිදුවූ දූෂණ හා විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි ඇතුළු නිලධාරීන් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර දින 07 ක කාලයක් ගතවුවන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා හමුවේ පොලිසියේ ක්‍රියා කලාපය ඊයේ (29) දැඩිලෙස දෝෂ දර්ශනයට ලක් කළේය.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කර දින 7ක කාලයක් ගතවී ඇතත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මෙතෙක් කටයුතු කර ඇතැයි ද සල්ලි තියෙන අයට එක නීතියකුත්, සල්ලි නැති අයට එක නීතියකුත් තියෙනවා කියා මිනිසුන් කියන කතාව මෙම සිද්ධිය නිසා සනාථ වන්නේ යැයි ද පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඩුබායි සිටි මධුෂ් නමැත්තා ද මැලේසියාවේ සිටි කේ.පී. ද ලංකාවට ගෙන ඒමට අපේ ආරක්‍ෂක අංශ කටයුතු කළත් වර්ග කිලෝමීටර් 65000 ක භූමියක මිලියන 22 කට ආසන්න ජනතාවක් වෙසෙන අපේ රට තුළ සිටින මෙම සැකකරුවන් සිවුදෙනාට අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා ප්‍රමුඛ 87,000 ක පොලිස් සේනාවකට නොහැකි වී ඇතැයි ද පෙන්වා දුන්නේය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා කටයුතු නොකිරීමේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙය නීතියේ මළගමදැයි සැකයක් මතුවන්නේ යැයි ද කියමින්, නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම් දීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මීගමුවේ හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ නමැත්තාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කර ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලිසියට නියම කළේය.

බන්ධනාගාරගත සිරකරුවන් හා රැඳවියන් සමග එක්ව මීගමුව බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල ලබාදීම, බන්ධනාගාරගත රැඳවියන්ට තහනම් භාණ්ඩ ලබාදීම, කුෂ්ඨ ලේඛන සකස් කිරීම ඇතුළු සිද්ධි සම්බන්ධ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී, මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින මීගමුව බන්ධනාගාරයේ දෙවැනි පෙළ ජේලර්වරයකු  වශයෙන් කටයුතු කළ ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නැමැත්තා බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අවස්ථාවේ දී ඊයේ (29) පෙරවරුවේ නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට බාරවූ මිගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් වශයෙන් කටයුතු කළ උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේලර් වශයෙන් කටයුතු කළ නිශාන්ත සේනාරත්න නමැත්තා ද බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුහ.

නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය අමතමින් මෙම සිද්ධියේ සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස මීට දින  7 කට ඉහත දී නියම කර ඇතත් ඔවුන් කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී නැතැයි පෙන්වා දුන්නේය. සැකකරුවන් සිවුදෙනාගෙන් එක් අයකු පොලිසියටත් දෙදෙනකු අධිකරණයටත් බාරවී ඇතැයි ද මෙම සිද්ධියේ ප්‍රධානම සැකකරු බව කියන මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි සම්පායෝ නමැත්තා ලබන සිකුරාදා වනවිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකළහොත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා පෞද්ගලිකව අධිකරණයට ගෙන්වා ගැනීම සඳහා නොතීසි ලබාගැනීමට ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි ද කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දූෂිත බන්ධනාගාර නිලධාරින් හා එක්ව පොලිසිය සමූහ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේදැයි මෙමට ක්‍රියාකලාපයෙන් සැකයක් මතුවන්නේ යැයි ද කීය.

තිඥවරුන් මාරගයෙන් අධිකරණයට බාරවූ මිගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් වශයෙන් කටයුතු කළ උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේලර් වශයෙන් කටයුතු කළ නිශාන්ත සේනාරත්න නමැත්තන් මාවතගම හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් අත්දෙක සාක්කුවට දාගෙන විසිල් පාරක් ගහගෙන ඇවිත් විත්තිකුඩුවට ගොඩවෙනතුරු ඔවුන් අල්ලා ගැනීමට පොලිසියට හැකිවී නැති බවත් මෙම සිද්ධියේ ප්‍රධානම සැකකරු බව කියන මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි සම්පාසෝ නමැත්තා අළුත්කඩේට පැමිණ දිවුරුම් දී පෙත්සමකට අස්සන් කොට ගොස් ඇතත් ඔහු ද අල්ලා ගැනීමට පොලිසියට හැකි වී නැති බවත් කී දිලීප පිරිස් මහතා එවැනි තත්ත්වයක් තිබිය දී සම්පායෝ නමැත්තා ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥවරුන් කණ්ඩායමක් මෙම අධිකරණයට ගෙන්වා ඇත්තේ ඔහුගේ බලපරාක්‍රමය පෙන්වීමටදැයි ප්‍රශ්න කළේය.

දූෂිත ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා යම් යම් නියෝග නිකුත් කළත්, ඔවුන්ට අත්අඩංගුවට පත්නොවී සැඟවී සිටීමට හෝ නීතියෙන් ගැලවී යා හැකිවන අන්දමට පොලිසිය කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට ඇතැයි ද ඩුබායි සිටි මධුෂ් නමැත්තා ද මැලේසියාවේ සිටි කේ.පී. ද ලංකාවට ගෙන ඒමට අපේ ආරක්‍ෂක අංශ කටයුතු කළත් වර්ග කිලෝමීටර් 65,000 ක භූමියක මිලියන 22 කට ආසන්න ජනතාවක් වෙසෙන අපේ රට තුළ සිටින මෙම සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා ප්‍රමුඛ 87,000 ක පොලිස් සේනාවකට නොහැකි වී ඇතැයි ද කී දිලීප පීරිස් මහතා සල්ලි තියෙන අයට එක නීතියකුත්, සල්ලි නැති අයට එක නීතියකුත් තියෙනවා කියා මිනිසුන්  කියන කතාව මෙම සිද්ධිය නිසා සනාථ වන්නේ යැයි ද පෙන්වා දුන්නේය.

පොලිස් ආඥා පනත අනුව හා අධිකරණ නියෝග අනුව කටයුතු නොකරන නිලධාරින්ට එරෙහිව කටයුතු කිරිමට හැකියාව ඇති බවත්, මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත්තේ පොලිස් ආඥා පනතේ 80 වැනි වගන්තිය යටතේ දැවෙන බියසුළුකම යටතේ නම් බියසුළු පොලිස් නිලධාරියාගේ මාස 12 කට සරිලන වැටුප ද අයකර මාස 12ක සිරදඬුවමක් ද ලබාදිය හැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ධනවත් අයට එක නීතියකුත් දුප්පතුන්ට තව නීතියකුත් ක්‍රියාවේ යෙදවීමට පොලිස්පතිවරයා ප්‍රමුබ පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියා කළහොත් එය නීතියේ ආධිපත්‍යයේ මළගම බවත් සමහර නිලධාරින් එයට අධිකරණයත් පාර්ශ්වකරුවන් කරගැනීමට උත්සාහ කරන්නේ යැයි ද කීය.

මෙහෙම ගියොත් සාමාන්‍ය මිනිසුන් කැති පොලු අරගෙන 'කැලේ නීතිය' හදන්නත් ඉන් යුක්තිය ඉෂ්ට කරවා ගැනීමටත් උත්සාහ කරන කාලය වැඩි ඈතක නොවේ යැයි ද අවධාරණය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එයට පොලිසියේ මෙම ක්‍රියාකලාපය වගකිව යුතු බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.  ආණ්ඩුවේ බෝඩිම වශයෙන් ජනතාව හඳුන්වන බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් රජයේ ආරක්ෂාව මධ්‍යයේ සිට රජයේ වියදමින් ලබාදෙන ආහාර ගෙන ඒ තුළ සිට ජනාධිපතිවරයාට, ආරක්‍ෂක ලේකම්වරයාට, බන්ධනාගාර අධිකාරි උඩුවර මහතා ඇතුළු  නීතිගරුක නිලධාරීන්ට තර්ජන එල්ල කිරීමට පටන් ගෙන ඇතැයි ද අපරාධකරුවන් දූෂිත බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව හා උදව් උපකාර මත විස්කි බිබී, ගංජා උරමින් ව්‍යාපාර කටයුතු කරගෙන යන අන්දමක් පෙනෙන්නට ඇතැයි ද පැවැසීය.

පොලිස් නිලධාරින්, බන්ධනාගාර නිලධාරින් මෙන්ම නිල ඇඳුමක් අඳින සියලු දෙනාම එම නිල ඇඳුමේ ගරුත්වය ආරක්ෂා කිරිමට කටයුතු නොකළහොත් රට අරාජික වන්නේ යැයි ද මීගමුව බන්ධනාගාරයේ සිටි නිලධාරිගේ දූෂිතභාවය පෙන්වා දීමට ඇති හොඳම සාක්කිය වන්නේ එම බන්ධනාගාරයේ නියාමකවරයකු පොලිසියට ප්‍රකාශයක් දෙමින් තමන්ගේ රැකියාව ආරක්‍ෂ කර ගන්න මසකට රුපියල් ලක්‍ෂයක කප්පමක් බන්ධනාගාර අධිකාරිවරයාට ගෙවීමට සිදුවී ඇති බවට කළ ප්‍රකාශය යැයි ද කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ තත්වය හේතුවෙන් බන්ධනාගාර අධිකාරිවරයා වක්කම් සොයාගත් ආකාරය සෙවීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි ද කීය. අපරාධකරුවන් සහ මීගමුව බන්ධනාගාරයේ ඇතැම් නිලධාරින් එක්වී අපරාධවලින් මුදල් ඉපැයීම සඳහා සමූහ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇතැයි ද මෙම අපරාධයට සම්බන්ධ නිලධාරින් එම සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය වන්නේ යැයි ද කී දිලීප පීරිස් මහතා මේ තත්වය මත මෙම විමර්ශනය සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තූව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හෝ පොලිස්පතිවරයා මෙම අධිකරණයේ පෙනී සිට මෙම විමර්ශනයට අදාළ ප්‍රගතිය වාර්තා කළ යුතු බව ද පෙන්වා දුන්නේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කණ්ඩායමක් සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා තම සේවාදායකයන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත්මත් පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවල අඩංගු කරුණු වැරදි ලෙස වටහාගෙන බවත් කෙසේ නමුත් තම සේවාදායකයන් මිගමුව බන්ධනාගාරයේ රඳවා තැබීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ යළි අධිකරණය ඇමතූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම සැකකරුවන් විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස රැඳවුම් කඳවුරට යැවිය යුතු යැයි කීය.  ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල ලබන මස 04 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

බන්ධනාගාර බසයට දුම්කොළ විසිකර පැනගිය සැකකරු පොර බදා අල්ලයි


කළුතර අධිකරණය ඉදිරිපිට ඉකුත්දා (27) සවස නතර කර තිබූ බන්ධනාගාර බස් රථයේ සිටි රැඳවියන්ට දුකොළ කැබැලි විසි කර පලා යමින් සිටි පුද්ගලයකු ලුහුබැඳ ගොස් පොරබදා අල්ලාගෙන ඇති අතර එහිදී තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයා කළුතර නාගොඩ මහ රෝහලේ අංක තුන වාට්ටුවට ඇතුළත් කර ඇත.

පොරබැදීමෙන් සහ බිම ඇදවැටීමක් සිදුවූ තුවාල හේතු කොටගෙන මෙසේ රෝහල්ගත කර ඇත්තේ ඩිලාන් රේණුක වික්‍රමතිලක නම් වූ බන්ධනාගාර නියාමකවරයෙකි. නඩු කටයුතු සඳහා කළුතර අධිකරණයට ගෙන එන ලද රැඳවියන් ආපසු බන්ධනාගාරය වෙත ගෙන යාම සඳහා බන්ධනාගාර බස් රථයට නංවා සිටියදී මොහු බස් රථය තුළට දුම්කොළ කැබැලි විසි කර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

බන්ධනාගාර නියාමකවරයා මොහු අල්ලා කළුතර දකුණ පොලිසියට භාරදී ඇති අතර මොහු පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි. සැකකරු පෙරේදා (28) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

- සුනිල් එස් තන්ත්‍රීආරච්චි -

යතුරුපැදි ආනයන තහනම දිගු කිරීමෙන් ලක්ෂ පහකගේ ජීවනෝපාය අවදානමක

යතුරුපැදි ආනයනයට පනවා තිබූ තහනම දින නියමයක් නැතිව දිර්ග කිරීම නිසා දිවයින පුරා යතුරුපැදි අලෙවි නියෝජිතයන් ඇතුළු යතුරුපැදි ක්ෂේත්‍රයේ ලක්ෂ පහකට වැඩි පිරිසකගේ ජීවනෝපාය දැඩි අවදානමකට ලක්ව ඇතැයි කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් නව යතුරුපැදි අලෙවි නියෝජිත සංගමයේ සභාපති චමින්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. 

මේ පිරිසට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය නියෝජනය කරන යතුරුපැදි අලෙවි නියෝජිතයන්, සේවා නියෝජිතයන්, කඩ හිමියන් එම අංශයේ වැඩ කරන සේවකයන් හා ඔවුන්ගෙන් යැපෙන්නන් ඇතුළත් වන බව ද ඔහු කීය.

ප්‍රනාන්දු මහතා මේ බව පැවැසුවේ කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයේ දී පෙරේදා (28) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය. චමින්ද්‍ර ප්‍රනාන්දු මහතා එහිදී මෙසේ ද පැවසීය. 

රජය යතුරුපැදි ආනයනය මුලින්ම නැවැත්වූයේ මාස තුනකටයි. මේ වන විට එය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. රටේ යතුරුපැදි තොග ප්‍රමාණවත් වන්නේ මේ මස අලෙවියට පමණයි. මේ තත්ත්වය යටතේ අගෝස්තු මාසයේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. 

මේ තත්ත්වය දිගටම පැවතුණහොත් ඒ ව්‍යාපාරික ස්ථානවල සේවකයන්ගේ වැටුප් දීමනා හා කඩ කුලී ගෙවීම ද ප්‍රශ්නයක් වෙනවා. මැතිවරණයට පෙර අප මේ සම්බන්ධයෙන් විසඳුමක් බලාපොරොත්තු වෙනවා. මේ කාරණය ගැන සාකච්ඡා කිරීමට අවස්ථාව දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. යතුරුපැදි ආනයනය නැවැත්වීම රජයට ද ලොකු පාඩුවක්. රටේ දෙවැනි බදු ආදායම ලැබෙන්නේ ද යතුරුපැදි ආනයනයෙනුයි. යතුරුපැදිය අද කොරෝනාවටත් හොඳ විසඳුමක්. දුරස්ථභාවය රැකගෙන ගමන් කළ හැකි වාහනයක් ලෙස එය කැපී පෙනෙනවා. මේ තත්වය යටතේ රජය කළ යුත්තේ ඒ වාහනය ප්‍රවර්ධනය කිරීම මිස අධෛර්යය කිරීම නොවෙයි. 

මම හිතන්නේ මේ ප්‍රශ්නයේ බරපතළකම ජනාධිපතිතුමාට තවමත් හරියට සන්නිවේදනය වෙලා නැහැ. එය හරියට සන්නිවේදනය වුවහොත් එතුමා හොඳ තීරණයක් ගනීවි කියලා බලාපොරොත්තු වෙනවා.

- සුජිත් හේවාජුලිගේ -

වැටලීම් 17කදී රාජ්‍ය නිලධාරීහු 21ක් අල්ලස් දැලේ




මෙම වසරේ ගත වූ කාලය තුළ වැටලීම් 17 ක් සිදුකර ඇති අතර අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් 21 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.  ඒ අනුව රාජ්‍ය නිලධාරින් අල්ලස් ගැනීමේ සිදුවීම් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ වැඩිවීමක් පෙන්නුම් කරන බව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය  පැවැසුවාය. නව කොරෝනා තත්ත්වය රාජ්‍ය නිලධාරින්  අල්ලස් ගැනීමට පෙළඹීමේ සිදුවීම් වැඩිවීමට හේතුවක් වී තිබෙන බව පද්මිණී වීරසූරිය  මහත්මිය කීවාය.

මෙම වසරේදී අත්අඩංගුවට ගත් රාජ්‍යය නිලධාරින් අතර පොලිස් නිලධාරීන් අට දෙනකු, විදුහල්පතිවරයකු, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහායකයකු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරුවකු, ප්‍රාදේශීය ලේකම්වරයකු, සහකාර අධ්‍යක්ෂවරයකු සහ ග්‍රාම නිලධාරියකු ඇතුළු පිරිසක් සිටින බවද ඇය කියා සිටියාය. පසුගිය වසරේදී අල්ලස් ගැනීමේ සිදුවීම්වලට අදාළව පුද්ගලයන් 24 දෙනකු අත්අඩංගුවට ගත්  බව ඇය සඳහන් කළාය.


-දසුන් රාජපක්ෂ-

Wednesday, July 29, 2020

රට යනවැයි කියා අනුගාමිකයන්ට ඇඟ වූ සහරාන් බිරියගේ නිවසේ සැඟවී සිටියා


ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ මොහොමඩ් සහ්රාන් හෂීම් 2016 වර්ෂයේ සිට අන්තවාදී ක්‍රියා සිදුකර ඇතැයි තමන් ඉහළ නිලධාරීට වාර්තා කර ඇතැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, නැගෙනගිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඊයේ (28) පැවසීය. 

මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීම සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් මොහොමඩ් සහ්රාන් යන අය සම්බන්ධ බව තමන් ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත ලිඛිතව සහ වාචිකවම දැනුම් දී ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය සාක්ෂියෙන් ඉදිරිපත් කළේයෙ. මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ, නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

බුරුමයෙන් පැමිණි සරණාගතයන් වන රෝහින්‍යා පිරිස මෙරටට පැමිණීම අපි දුටුවා. ඉන්දියාවෙන් පිටමං කරපු මේ අය බෝට්ටුවකින් තමයි අපේ රටට ආවේ. ඒ අය මුදල් ගෙනාවා. අපේ සිංහල සමාජය මේ අයගේ පැමිණීමට දැඩි ලෙස විරුද්ධ වුණා. මේ අය අතර අයි.එස්. සංවිධානයේ අය හිටියා කියලා තොරතුරු ලැබුණේ නැහැ. ඒත් මේ ප්‍රශ්නය බුද්ධියෙන් මානසිකව විසඳන්න ඕනෑ ගැටලුවක්. මොකද මේක ආගමික සටනක්. අයි.එස්. වගේ සංවිධානවල අය හැමතිස්සේම වන්ද්‍යාකරණය වගේ සමාජමය ගැටලු එද්දී වගේම අලුත්ගම වගේ ප්‍රශ්න එද්දී මේ අය හැසිරෙන්නේ මේ විදිහට. සහ්රාන් වුණත් අලුත්ගම ප්‍රදේශයේ සිද්ධියේදී වෙඩි වැදිච්ච තරුණයාගේ ගෙදරට ගිහින් එයාට ත්‍රිරෝද රථයක් අරන් දුන්නා. ඊට පස්සේ ඔහුට දීපු ටාගට් එක තමයි අන්තර්ජාලය එක්ක සම්බන්ධ වී සිටින්න කියලා. මේක තමයි සහ්රාන්ලා වැපුරුවේ.

කොමිසම : බුරුමයෙන් පැමිණි රෝහින්‍යා සරණාගතයන්ට ජමාත් ඉන්දියන් සංවිධානයක් උදව් කළා කියලා රාවයක් ගියා. මේ අයට ලංකාවේ ජමාතේ ඉස්ලාමික සංවිධානයෙන් උදව් කළාද?

සාක්ෂිකරු : ඒ ගැන සෘජු දැනුමක් නැහැ. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : රෝහින්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් ඔවුන්ට උදව් කරන්න ඕන කියලා ශ්‍රී ලංකා රජය පියවර ගත යුතුයි කියලා සහ්රාන් හෂීම් උද්ඝෝෂණයක් කළාද? 

සාක්ෂිකරු : බුද්ධි සේවාවක් විදිහට ඒක පාලනයෙන් ගිලිහී ගියා කියලා අපි පිළිගන්න ඕනෑ. සහ්රාන් එහෙම කළා කියලා අපි වාර්තවක් ඉදිරිපත් කළා. මේ ලේඛනය හිටපු බුද්ධි අධ්‍යක්ෂ වශයෙන් මා නීතිය සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා වූ පද්මසිරි ජයමාන්න මහතා වෙත යොමු කළා. එහි පිටු 04ක් තිබුණා. සහ්රාන්, ජිහාඩ් කියලා අර්ථ දැක්වූයේ අන්‍යාගමිකයන්ට එරෙහිව සිදුකරන සටනක් පිළිබදවයි. ජීවිතයේ විශාල කාලයක් මෙරට මුස්ලිම් පාසල් පද්ධතියේ නබිතුමා ගැන හරිහැටියට ඉගැන්වීමක් නොකරන බවත්, තරුණ පරපුර දෙවියන් වෙනුවෙන් මිය යාම භාග්‍යයක් බව ඔහු කියලා තිබෙනවා. මේ ආකාරයෙන් කියන වීඩියෝවක් ඔහු අන්තර්ජාලයට යොමු කර තිබුණා. එය මුස්ලිම් තරුණ සමාජය නරඹලා තිබුණා. සමහරුන් එයට ප්‍රතික්‍රියා දක්වා තිබුණා. මා මෙම ලිපියෙන් දන්වා සිටියේ දැඩි මතධාරි මුස්ලිම් තරුණයන් සහ්රාන් වටා එකතු වී ඇති බව නිරික්ෂණය වන බව. සහරාන් 2016 වර්ෂයේ සිටම අයි.එස්. ත්‍රස්ත ක්‍රියාකාරකම් අධ්‍යයනය කරමින් සිටියා. 2018 අප්‍රේල් 19 වැනිදා සහ්රාන් අත්අඩංගුවට ගන්න ඕන කියලා දැනුම් දුන්නා. සිරියාවෙන් තහනම් කළා ඒ රටට එන්න එපා තමගේ රටවල්වලට වෙලා ජිහාද් කරන්න කියලා. ඒක සහ්රාන්ට පොඩි තල්ලුවක් වුණා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වර්යා : අබු බැග්ඩැඩ් කොයි වගේ බලපෑමක් ද මුස්ලිම් ජනතාව වෙත කළේ?

සාක්ෂිකරු : ඔසාමා බින්ලාඩන්ට වඩා අබු බැග්ඩෑඩ් කෲර අයෙක්. 2017 දී ඔහු උපදෙස් දෙන්නේ තමන් ඉන්න තැන ඉඳලා අයි.එස්. සංවිධානයේ ඉදිරි ප්‍රගමනයට කටයුතු කරත්ත කියලා. ඔහු කියලා තියෙන්නේ ලැව් ගින්නක් ඇති කරන්න බෝම්බ ඕනෑ නැහැ, කොළ කෑල්ලක් අරගෙන කැලයක් ගිනි තියන්න කියලා. හාඩ් ටාගට් (අසීරු ඉලක්කය) එකක් කියන්නේ ජනාධිපති කෙනෙක්, එයාපෝට් එකක් වගේ ඒවාට ප්‍රහාර එල්ල කිරීම වගේ දේවල්. ඒවාට අමාරුයි. කාලයක් ඔත්තු බලලා කරන්න ඕනෑ දෙයක්. සොෆ්ට් ටාගට් (පහසු ඉලක්ක) වගේ එකක් කියන්නේ පිහියෙන් කැපුවා වාහනයක හැප්පුවා  වගේ ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් දේවල්. 2015 දී මෙල්බන්වලදී පොඩි ළමයකුට තුවක්කුවක් දීලා පොලිස්කාරයකුට වෙඩි තියත්ත කියලා කිව්වා. පැරිස්වලදී සංගීත සංදර්ශනයකට ගැහුවා. ඩකාරිවල බේකරියකට ගැහුවා. ඒ වගේ සොෆ්ට් ටාගට්වලට ගහන්න කියලා තමයි අයි.එස් අය නිතරම කිවේ. 

ලංකාවේ වගේ තැන් කිහිපයකම තායිලන්තයේත් ප්‍රහාර එල්ල වුණා. ඒත් ලංකාවේ තරම් ප්‍රබල වුණේ නැහැ. මේ අය බුදු පිළිමවලට වඳින එක ගැන විරුද්ධයි. ඒක දකින්නේ වැරදි විදිහට. මේ අය එල්.ටී.ටී.ඊ. එකේ අය වගේ නොවෙයි. මේ අය රට ගිහිල්ලා තියෙනවා. සල්ලි තියෙනවා. කෝටිපතියෝ. බී.එම්.ඩබලිව් වල යන්නේ. සහ්රාන් මැරුණේ ඇයි කියලා ප්‍රශ්නයක් තිබුණා. සහ්රාන් කියන්නේ ඒ අය අර්ථකථනය කරන නායකයෙක්. කොළඹ ඉන්න සහෝදරයෝ දෙන්නා එක්ක ගියේ. ස්ථාන 8ක් පුපුරන්න හිටියා. 6යි පිපිරුවේ. පල්ලියකට ගිහිල්ලා වඳින එක ගැන ඒ අය අධ්‍යයනය කළා. පොළොව ලෙයින් තෙත් කරන එක ගැනයි ඒ අධ්‍යයනය කළේ. බැග්ඩෑඩ් එළියට ඇවිල්ලා කියනවා සහ්රාන් ඒ අයගේ වීරයෙක් කියලා. ඒ අය හිතපු දේ අවශ්‍ය දේ එයාලා කරගත්තා. පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල්වලින් ලංකාවේ පත්වුණ අමීර්වරයා වශයෙන් සහ්රාන් පත්වෙලා තිබුණා. අමිර් ඔෆ් සහ්රාන් වශයෙන්. බංග්ලාදේශයෙන් ද අමීර් කෙනෙක් බිහි වුණා කියලා ආරංචි වුණා. 

ජාතික තවුහිද් ජමාද් සංවිධාංගනයේ නායකත්වය පිළිබඳව ගැටලුවක් එඩේරමුල්ල ගෙදරදී ඇතිවුණා. කෙසේ වෙතත් සහ්රාන් නෙමෙයි මෙහි නිර්මාතෘ. නවුෆර් මවුලවි තමයි මෙහි නිර්මාතෘ.

මා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමු කළා. සහරාන් ඇතුළු කණ්ඩායම වීඩියෝ පටයක් අන්තර්ජාලය වෙත යොමු කළා කියලා. මා එම ලිපියෙන් සඳහන් කර සිටියේ සහ්රාන් අත්අඩංගුවට ගත යුතුයි කියලා. ඒ වගේ මා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙතද ලිපියක් යොමු කළා. නිසි ක්‍රමවේදයකින් තොරව ආගමික ස්ථාන පවත්වාගෙන යාම ගැටුම්කාරී තත්ත්වයකට හේතුවක් කියලා මම ඒ ලිපියෙන් දැනුම් දුන්නා. ආගමික කරුණු හේතුකොටගෙන මෙරට යම් ගැටලුවක් මතුවිය හැකි බවත් ඒ සඳහා යම් පොදු නීති මාලාවක් හඳුන්වාදිය යුතු බවත් මා අමාත්‍යවරයා වෙත එම ලිපියෙන් දැනුම් දුන්නා. 

විදේශ ආධාර ලබමින් ඉස්ලාම් භක්තිකයින් පල්ලි ඉදිකරනවා. බැංකු ගිණුම් බැලුවම රුපියල් පනස්දහයි තියෙන්නේ. ඒත් ඉඩමයි බිල්ඩිමයි රුපියල් කෝටි දෙකක් තුනක් වෙනවා. පිටකොටුවේ මනි එක්ස්චේන්ජ් එකට ගිහිල්ලා බැලුවාම මේ සල්ලි කොහොමද ලැබෙන්නේ කියලා පේනවා. මා මේ ගැන ආරක්ෂක කවුන්සිලයට නිතරම දැනුවත් කළා. මේ මුදල් ගලා එන්නේ කොහෙන්ද කියලා තේරෙන්නේ  නැහැ. ආගමට හරවා ගැනීමට මේ අය මුදල් වියදම් කළා. අබ්දුල් රාසික්ගේ සංවිධානය හරහා පුලස්තිනි නොහොත් සාරා නමැත්තිය හස්තූන්ට කසාද බැන්දුවා කියලා දන්නවා.

පුලස්තිනිගේ අම්මා කියන්නේ ඇය බලෙන් ආගමට හැරෙව්වා කියලා. සහ්රාන් විශුද්ධිකාරක බද්ද හෙවත් “සකාත්" යන්න ගැන දැනුවත් කර තිබුණා. සහ්රාන් කියන්නේ අනුගාමිකයින් තමන් උපයන මුදලින් කොටසක් නබිතුමා වෙත යෙදවිය යුතු බවත් කුරානය අනුව එම සකාත් මුදල බෙදා දෙන්න ඕනෑ කියලා කියනවා. ආදායම් ලබන කට්ටිය නිදහස ලැබීමට සිටින මහලු අයට, ණය ලබාගෙන ගෙවීමට නොහැකි අයට වගේම ආගමට බැඳෙන අයට ලබාදීමට සහ්රාන් සකාත් බෙදිය යුතු ආකාරය ගැන සඳහන් කර තිබුණා. 

සහ්රාන් 2016 වසරේ සිට අන්තවාදී ක්‍රියා සිදුකර ඇති අතර 2017 මාර්තු 18 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ ගැටලුකාරී තත්වයෙන් අධිකරණය මගහැර සැඟවී සිටියා. ඔහු සිටින ස්ථානය පිළිබඳව මා දැනුම් දුන්නා. ඒ පිළිබඳව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙතද මා දැනුම් දුන්නා. ඒ වග්ම මා දැනුම් දුන්නා ටෙලිග්‍රෑම් ගිණුම හරහා සහ්රාන් සිය අනුගාමිකයන් අමතන බව. සහ්රාන් සිය අනුගාමිකයන් අමතා කියා තිබුණා තමන් විදේශගත වෙලා කියලා. ඒත් ඔහු නාරම්මල කැකුණගොල්ල ප්‍රදේශයේ බිරිඳගේ නිවෙස් සැඟවී සිටියා. සහ්රාන්ගේ එෆ්බී ගිණුම ප්‍රතිත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අක්‍රිය කළා කියලා මට දැනගන්න ලැබුණා. සහ්රාන් කළ බුද්ධි මෙහෙයුමක් ගැන මා ජාතික බුද්ධි ප්‍රධානියාට දැනුම් දුන්නා. ශයිනි කියන පුද්ගලයා ඔහුගේ සංවිධානයෙන් 2018 අගෝස්තු 31 වැනිදා ඉවත් කළ බව සඳහන් සිද්ධියක් ගැන එහි සඳහන් වෙලා තිබුණා. අපරාධකරුවන් කෙරෙහි අල්ලා දෙවියගේ ශාපය තීව්‍ර වී ඇත කියලා. ඔහු මේ බව අන්තර්ජාලය මගින් තමයි ප්‍රචාරය කරලා තිබුණේ. කුරුසකරුවන්ගේ සිංහාසනය විනාශ කරමු මැයෙන් වීඩියෝ පටයක් ද සහ්රාන් අන්තර්ජාලයට නිදහස් කරලා තිබුණා. යුදෙව්වන්ට බිය නොවන්න, අන්‍යාගමිකයන්ගේ හිස ගසා දමන්න ආදී වශයෙන් එහි තිබුණා. අපි ප්‍රජාතන්ත්‍රවාදී කුඩුවක සිරවී සිට අන්‍යාගමිකයන්ට බියෙන් සිටිනවා යනුවෙන් ද සහ්රාන් එහි සඳහන් කර තිබුණා. සහරාන්, අක්‍රම් බින් අබු වශයෙන් හැඳින්වුවා. අබු නාමයෙන් හඳුන්වන්නේ වීරත්වය. සෙයිලානි යන වචනය යොදා ගත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සඳහන් කිරීමේදීයි. ප්‍රථමයෙන්ම සිරියාවේදී මියගිය ශ්‍රී ලාංකිකයා වූ නිලාම්ටත් ඒ වගේ නමක් දාලා තිබ්බා. මා හිටපු පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නා මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සහ්රාන් ඇතුළු කණ්ඩායමේ සම්බන්ධයක් ඇති බවට. මාවනැල්ල බුදුපිළිම සිද්ධිය හරියට විමර්ශනය කරන්නේ නැහැ කියලා ඒ ප්‍රදේශයේ මිනිස්සු කිව්වා . 

කොමිසම : බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධිය පිළිබදව කලින් තොරතුරු හොයාගන්න ඔබලාට බැරි වුණා නේද?

සාක්ෂිකරු : ඔව්.

කොමිසම : ඔබේ බුද්ධි අංශ අසමත් වෙලා නේද? 

සාක්ෂිකරු : එම තොරතුරු ලබා ගැනීමට අසමත් වුණා. රාත්‍රියේදී සිදුවන ඒකල සිද්ධියක් පිළිබඳව බුද්ධි අංශය සක්‍රීය වෙන්නේ නැහැ.

කොසම : වනාතවිල්ලුව ලැක්ටෝවත්ත පුපුරන ද්‍රව්‍ය ගබඩාව ගැනවත් දැනගෙන හිටියේ නැද්ද ඔබලා? රාජ්‍ය බුද්ධ සේයට ඒ තොරතුරු ලැබිලා නැහැ. යුද හමුදා බුද්ධි අංශවලට මේ පිළිබඳ දැනිලා නැහැ. ලංකාවේ ක්‍රියාත්මක වෙච්චී කිසිම බුද්ධි අංශයකට මේ ගැන අනාවරණය වෙලා නැහැ. බුද්ධි අංශ මේකෙදී අසාර්ථක වෙලා නේද?

සාක්ෂිකරු : බයිසිකලයකින් ඇවිල්ලා බුදු පිළිමයක් කැඩුවා කියලා මගේ නිලධාරින්ට එහෙම බලපෑම් එල්ල කරන එක වැරදියි. මේ පිරිස් මානසික උන්මාදයෙන් පෙළෙන අය. මේ වනාතවිල්ලුව සිද්ධිය කිසිම බුද්ධි අංශයකට ආවේ නැහැ. සී. අයි.ඩී. එක තමයි අන්තිමට සොයා ගත්තේ. මේක ආගමික මතවාදයක් සහිත දෙයක්.

- නිමන්ති රණසිංහ -

රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීම: කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න

කුරුණෑගල නගර මධ්‍යයේ පවතින ඓතිහාසික බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් , එම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු බලධාරින්ට නියෝග කරන ලෙසත් ඉල්ලා ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා අභියාචනාධිකරණය හමුවේ ඊයේ (28) රිට් පෙත්සමක් ගොනු කළේය.

ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයකු වන නාමල් කරුණාරත්න මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල නගරධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාව සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

දේශපාලන බලපෑම් හේතුවෙන් මෙම සිද්ධියට අදාළ පරික්ෂණ විධිමත් ආකාරයෙන් සිදු නොවන හෙයින්, එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර අදාළ නීතිය ක්‍රියාත්මක කරතැයි වැඩබලන පොලිස්පතිවරයාට සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත රිට් ආඥාව නිකුත් කරන්නැයි ද පෙත්සම්කාර නාමල් කරුණාරත්න මහතා සිය පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටී. 

 නීතීඥ සුනිල් වටගල මහතා මාර්ගයෙන් ගොනු කළ එම රිට් පෙත්සමේ මෙසේ ද සඳහන් වේ. 

 කුරුණෑගල නගර මධ්‍යයේ දෙවැනි බුවනෙකබාහු රාජසභා මණ්ඩපය පිහිටා තිබූ අතර එය පුරාවස්තුවක්
ලෙස නම් කරනු ලැබ තිබිණි. වර්ෂ 1293 සහ වර්ෂ 1302 අතර කාල සීමාව තුළ ඉදි කළ බව කියන දෙවැනි බුවනෙකබාහු රජුන්ගේ මෙම රාජසභා මණ්ඩපය ඉකුත් 14 වැනිදා ද කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන්
පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින තුරුණෑගල නගරාධිපතිවරයා වෙත චෝදනා එල්ල
විණි.

 මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කමිටුවක් ද පත් කරනු
ලැබීය. මෙම රාජසහා ගොඩනැගිල්ල පුරාවිද්‍යා පනත යටතේ පුරා විද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබිය දී එය කඩා ඉවත් කිරීමෙන් පුරාවිද්‍යා පනත යටතේ වරදක් සිදුවී ඇත. මෙම අපරාධ ක්‍රියාව පිළිබඳව පෙත්සම්කරු ඉකුත් 23 වැනිදා කුරුණෑගල මූලස්ථාන පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කළ ද මේ දක්වා විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැත.

පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට අදාළ නීතිය ක්‍රියාත්මක කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයාට සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත රිට් ආඥාව නිකුත් කරන්නැයි ද පෙත්සම්කාර නාමල් කරුණාරත්න මහතා ඉල්ලා සිටී.

(රංජන් කටුගම්පොළ)

වතුපිටිවල රෝහලට රිංගූ හොර දොස්තර රිමාන්ඩ්




වෛද්‍යවරයෙකු සේ වලාගෙන වතුපිටිවල  මූලික රෝහලේ ගැබිණි වාට්ටුවකට ඇතුල්වූ බව කියන ඉන්දියානු ජාතික සැකකරුවකු අගෝස්තු 04 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් සිරිපාල ඇම්. පතිරණ මහතා නියෝග කළේය.  ඉන්දියානු ජාතික මොහොමඩ් මිල්ලත් බදුර්දීන් නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කැරිණි. වෙද නළාවක් බෙල් දමාගෙන වෛද්‍යවරයකු සතු ආම්පන්න සහිත බෑගයක් ද රැගෙන වතුපිටිවල මූලික රෝහලේ ගැබිනි වාට්ටුවට ඇතුල්වී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ. මොහු ඉන්දියානු ජාතිකයකු බවත් තිහාරිය ප්‍රදේශයේ මුස්ලිම් ජාතික කාන්තාවක් සමඟ විවාහවී එම ප්‍රදේශයේ පදිංචිවී සිටී.

හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ රන් භාණ්ඩ හා මිල මුදල් ඇතුළු වටිනා භාණ්ඩ සොරාගෙන යාම සඳහා වෛද්‍යවරයකු සේ වෙස්වලාගෙන රෝහලට ඇතුල්වී ඇති බවට සැක කෙරෙන හෙයින් ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යන බව නිට්ටඹුව පොලිසියේ පොලිස් කොස්තාපල් වසන්ත කුමාර යාපා මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේය. නැවත කැඳවීම අගෝස්තු 04 වැනිදාට කල් තැබිණ. නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක  අනුර ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි එහි පොලිස් කොස්තාපල් වසන්ත කුමාර යාපා මහතා පැමිණිල්ල මෙහෙයවීය.

-ආනන්ද .ඉ.ජයකොඩි-

වේගවත් සැඩ සුළඟක්: හෙට දවල් 12 වනතුරු මුහුදු යන්න එපා

මන්නාරම සිට හලාවත, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයන්හී හෙට (30) දහවල් 12.00 දක්වා ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

 එම මුහුදු ප්‍රදේශයන්හි පැයට කිලෝමිටර 60, 70 පමණ දක්වා වේගවත් තද සුළං ඇතිවිය හැකි නිසා විටින් විට ඉතා රළු විය හැකි බවත්, නාවුක ප්‍රජාව ද මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.   දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (29) දිනයේදී තද වැසි ඇතිවන අතර ඇතැම් ප්‍රදේශයන්ට මිලිමීටර 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්හී මිලිමීටර 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවන අතර උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවැසීය.

සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. දකුණු පළාතේත්, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝමීටර 60, 70 පමණ වේගවත් තරමක තද සුළං ඇතිවිය හැකි බව ද ඔහු පැවැසීය. 

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට  දක්වා වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හා ගොඩබිමට පැමිණීම සිදුවිය හැකි බැවින් වෙරළාසන්න ප්‍රදේශවල ජනතාව විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු අතතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

(ඩයනා උදයංගනී)

හොර ලියවිලි පෙන්වා යුරෝපයට පනින්න හැදූ ශ්‍රි ලංකික හොර නාවිකයා අල්ලයි



කුඨ ලෙස සකස් කළ ලියකියවිලි ඉදිරිපත් කරමින්, වෙළෙඳ නැවක සේවය කරන නැවියකු ලෙස පෙනී සිටිමින්, යුරෝපයට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙක් ඊයේ (28) අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ නිලධාරින් පිරිසක් වීසින් අත්අඩංගුවට ගනු ලැබීය. මොහු 36 හැවිරිදි යාපනය, කෝපායි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු  ඊයේ (28) අලුයම 3.15ට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව යන කටාර් ගුවන්  සේවයේ කිව්. ආර්. 669 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ  වෙත පැමිණ තිබූ බව මෙම නිලධාරිහු කීහ. වෙළඳ නැවක සේවය කිරීම සඳහා යන නැවියකු ලෙස පවසමින් මෙම පුද්ගලයා ද සෙසු නාවිකයන් සමග කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විගමනක අංශය වෙත තම ලියකියවිලි ඉදිරිපත් කර තිබේ. එහිදී ඔහුගේ හැසිරීම් රටාව ගැන සැක සිතු එම ආගමන විගමන නිලධාරින්  ඔහු නැවියකු බවට ඉදිරිපත් කළ ලියකියවිලි තහවුරු කර ගැනීම සඳහා තාක්ෂණික පරීක්ෂාවන්ට යොමු කෙරුණි.


තම රැකියාවට අදාළව ඔහු ඉදිරිපත් කළ වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශය මගින් නිකුත් කෙරෙන, නැවියකු බව සනාථ කෙරෙන සහතිකය, ඇපකරු සහතිකය, නැව් සමාගමකින් ඔහුට රැකියාව ලබා දෙන බවට වන සහතිකය සහ නැවියෙකු ලෙස පුහුණුව ලද බවට වන සහතිකය ද ඒ අතර වූ බව දේශසීමා ආවේණෙ නිලධාරීහු පැවසූහ. කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකය සතු ලේඛන පරික්ෂණාගාරයේ දී සිදු කළ මෙම තාක්ෂණික පරික්ෂණවලදී, මොහු ඉදිරිපත් කළ මෙම සියලු ලිපි ලේඛන කූට ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බවට  තහවුරු විය.  එහිදී මෙම පුද්ගලයාගෙන් මේ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී, මෙම ලියකියවිලි තමාට රැකියා නියෝජිතවරයකු විසින් සකස් කර දුන් බව ප්‍රකාශ කර තිබේ.  තමත් දෝහා සිට වෙනත් ගුවන් යානයකින් යුරෝපය වෙත ගමන් කිරීමට සැළසුම් කර ගෙන සිටි බව ද වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර තිබේ. පසුව මෙම පුද්ගලයා ඔහු ඉදිරිපත් කළ මෙම ලියකියවිලි ද සමග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත‍ෙ නිධාරීන් වෙත භාරදී තිබේ.

-ටී.කේ.ජී.කපිල-

හිරගෙදර තාප්පයට උඩින් බඩු යැවූ බොරැල්ල ලොක්කා අත්අඩංගුවට


කොළඹ පිහිටි බන්ධනාගාරවල තාප්පයට පිටින් කලක පටන් සංවිධානාත්මකව තහනම් භාණ්ඩ පාර්සල් විසිකර ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගන්නා 12 දෙනාගේ කල්ලියක් මෙහෙයවූ බොරැල්ලේ ලොක්කා නමැත්තා ඊයේ (28) අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පචසයි.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ තාප්පයට පිටතින් තහනම් භාණ්ඩ පාර්සලයක් දමද්දීම කොටුකරගෙන ඇතැයි පොලිසිය පවසයි. 

සීවලී පටුමග ප්‍රදේශයේ පදිංචි මොහු 31 හැවිරිදි බව ද පොලිසිය කියයි. මෙම පාර්සලයේ තිබී මක්කුඩු ග්‍රෑම් 10ක්, ජංගම දුරකතන 4ක්, බැටරි 7ක්, දුම්කොළ තොගයක්, පිසින ලද කරවල පාර්සලයක්, තේ කොළ හා වේදනා ආලේප බෝතලයක් (බාම්) තිබී හමුවී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

මොහු මෙම තහනම් භාණ්ඩ විසිකිරීම කාලයක පටන් සිදුකර ඊසි කෑස් ක්‍රමයට මුදල් ලබාගෙන ඇතැයි ද ඊයේ තහනම් භාණ්ඩ දමා ඇත්තේ 18 වැනි වතාවට බව ද පරික්ෂණවලදී හෙළිවී තිබේ.

දැනට මෙම 12 දෙනාගේ කල්ලියේ සැකකරුවන් 9 දෙනකු පොලිසිය විසින් වනාතමුල්ල සීවලී පටුමග ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාවන් දෙදෙනකු ඇතුළු තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට ඇතැයි පොලිසිය සඳහන් කරයි. බොරැල්ල පොලිස් ස්ථානාධිපති දුමින්ද බාලසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

- ජයන්ත සමරකෝන් -

පී.එච්.අයිලා වර්ජනය අත්හරිති.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද (29) පෙරවරුවේ සිට අත්අරින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ (28) කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී ගැටලුව නිරාකරණය කරගැනීමට හැකි වූ නිසා වැඩ වර්ජනය අත්හළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය. 

 1897 අංක 3 දරන නිරෝධායන, රෝග ස්පර්ශකයන් වෙන්කර තැබීමේ සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනතට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පරිශ්‍රයට ඇතුළු වීමට, වැරැදිකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ නඩු පැවැරීමට බලතල තිබෙන බව නීතිපතිට දෙපාර්තමේන්තුව එම සාකච්ඡාවේදී පැහැදිලි කළ අතර එය සෞඛ්‍ය බලධාරින් පිළිගැනීම නිසා ගැටලුව විසඳුන බව ද සභාපතිවරයා කීය.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ට ඇති බලතල අනුව යම් නඩු පැවැරීමකදී ඒ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් විමසා සිදු කිරීමටත් එහිදී යම් පරස්පරතාවක් ඇති වුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමය එම සාකච්ඡාවේදී එකගතාව පළ කළ බවය. 

 රාජකාරි කිරීමේදී නිරෝධායන රෝග ස්පර්ශකයන් සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනත උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට ද එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එකග වූ බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ  කීය.

“මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යම් නඩු කටයුත්තකට යනවානම් එහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ එකගතාව ලබාගන්නා ලෙසත් ඉන් ඔබ්බට ගැටලුවක් තිබෙනවා නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා ඉදිරි ක්‍රියාමාර්ග  ගැනීමටත් එහිදී එකගතාව හිමිවුණා. මෙම 1897 පළ
කරනු ලැබූ ආඥා පනත තුළ ශක්‍යතාවක් තිබෙනවා වත්ම ඇතැම් තැන්වල සුළු ගැටලු තිබෙනවා. ඒවා කාලීනව වෙනස් විය යුතුයි. මෙහිදී ඉදිරියේදී පත්වන පාර්ලිමේන්තුව හරහා මෙම ආඥා පනතේ සංශෝධන ඇති කිරීම කෙරෙහි අවධානය යොමුවුණා."

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අදහස් දක්වමින් මෙසේ කීය. 

“සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් කියන්නේ එක පවුලක් වගේ වැඩ කළ යුතු තැනක්. එහි විශේෂ සාමාජිකයෙක් තමයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියන්නේ. එහිදී ඔවුන්ට නායකත්වය දෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ අතිරේක සෞඛ්‍ය‍  වෛද්‍ය නිලධාරිවරුන්. ඒ අනුව අද දිනයේ එකගතාවකට පැමිණියා ආඥා පනත කිසිවක් උල්ලංඝණය නොවන පරිදි පවතින නීති රාමුව යටතේ නීතිපතිතුමාගේ උපදෙස් පරිදි ඒ සියල්ල සැලකිල්ලට ගෙන නීති කිසිවක් සංශෝධනය නොකර කොවිඩ් පාලන කටයුතු සහ මැතිවරණ සෞඛ්‍ය නීති සම්බන්ධයෙන් කටයුතු කිරීමට. කණ්ඩායමක් හැටියට ඉදිරියේදී පැරැණ පනත් යාවත්කාලීන කරලා වර්තමානයට ගැළපෙන ලෙස මහජන සෞඛ්‍ය සේවාව කාර්යක්ෂමව සිදු කරගෙන යාමට අවශ්‍ය ලෙස සකස් කරගැනීමටත් මෙහිදී එකඟතාවකට පැමිණියා. කණ්ඩායමක් හැටියට ඒකාබද්ධව ඉදිරියට කටයුතු කරන්න සියලු දෙනා අද දිනයේ එකග වුණා.”

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ නීති නිලධාරි ආර්. අහමඩ්, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා සහ රජයේ නීතිඥ ඉන්දුනී පුංචිහේවා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පරාක්‍රම වර්ණසුරිය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහත්ම  මහත්මීහුද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

(රංජන් කස්තුරි)