බුද්ධිමාල් රුබේරු
‘ගෝඨා ගෝගම' අරගල භූමියේ රැඳී සිටි අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන්නැයි ඉල්ලා තමන් නිකුත් කළ ලිපිය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාවට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති අභියාචන පෙත්සම ඔක්තෝබර් 03වැනිදා සලකා බැලීමට ශ්රේෂ්ඨාධිකරණයේ ඊයේ (25දා) දින නියම කළේය.
ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණ. නීතිපතිවරයා ගොනු කර ඇති මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කර ඇත.
'ගෝඨා ගෝගම' අරගල භූමියේ රැඳී සිටි අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට නියෝජ්ය පොලිස්පතිවරයෙකු වශයෙන් සිටි වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන්නැයි දැනුම් දෙමින් 2022 අප්රේල් 19 වැනිදා නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිපියට එරෙහිව දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ බව අභියාචන පෙත්සමේ සඳහන් වේ.එම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය දේශබන්දු තෙන්නකෝන් මහතා අදාළ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කරන්නැයි දැනුම් දෙමින් 2022 අප්රේල් 19 වැනිදාතමින් යුතු ලිපිය බල රහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කළ අතර ඊට එරෙහිව නීතිපතිවරයා මෙම අභියාචන පෙත්සම ගොනු කර ඇත.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.