Showing posts with label local g3. Show all posts
Showing posts with label local g3. Show all posts

Tuesday, May 2, 2023

රන්දෙණිය ඇත්ගාලේදී අලි පැටවකු පහරදී රියැදුරෙක් රෝහලේ


කෑගල්ල රන්දෙණියේ පිහිටි අලි ගාලේදී අලි පැටවකුට පලතුරු දීමට යාමේදී හොඬවැලෙන් පහර දීමෙන් අලි ගාලේ වාහන රියැදුරකු ඉකුත් 26 වැනිදා  කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලීසිය පැවැසීය. මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 5 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ, කෑගල්ල හිරිවඩුන්න රන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටින කපුරාලලාගේ සිරිවර්ධන නමැති 63 හැවිරිදි තැනැත්තකු බව පොලීසිය කියයි.

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව  ප්‍රතිකාර ලබන පුද්ගලයා අලි ගාලේ වාහනයක රියැදුරුවරයකු ලෙසත්, ඔහුගේ පිරිමි දරුවා සංචාරක මග පෙන්වන්නකු ලෙසත් එම ස්ථානයේ සේවය කරන බව පොලීසිය පැවැසීය. මෙම අලි ගාලේ සිටින අවුරුදු 12ක්  පමණ වන අලි පැටවාට ඉකුත් 26 වැනිදා සවස 3.00ට පමණ රියදුරුවරයා පලතුරු ලබා දීමට ගොස් ඇති බවත් පොලීසිය පැවැසීය.

මෙහිදී අලි පැටවා රියැදුරුට හොඬවැලෙන් පහර දී ඇති බවත්, එහිදී ඔහු බිමට වැටී ඇති බවත් පැවැසේ. බිමට වැටුණු රියැදුරුවරයා යළි අලි පැටවා අසලට ඇද ගැනීමට ගිය  අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයකු ඔහු බේරාගෙන ඇති බවට තොරතුරු හෙළි වී යැයි පොලීසිය කියයි. රියැදුරු තැලීම් තුවාල හේතුවෙන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර   ඇති අතර, අලි පැටවා රැක බලා ගන්නා ඇත්ගොව්වා පහර දෙන අවස්ථාවේදී නොසිටි බවත් තොරතුරු අනාවරණය වී යැයි ද කියයි. රියැදුරුවරයා පලතුරු ලබා දීමට ගිය අවස්ථාවේදී පහර දීම සිදු කර ඇති බවත් පොලීසිය පැවැසීය. රියැදුරුගේ තත්ත්වය බරපතළ නොවන බවත් පොලීසිය පැවැසීය.

චමින්ද වැවතැන්න

Wednesday, February 22, 2023

කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් අලේවිය ඉවත් නොකර නිසි ක්‍රමවේදයකට සිදුකරනවා



'කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්' අලෙවි කිර්ම එම ස්ථානයෙන් ඉවත් නොකිරීමට කටයුතු කරන බවත්, එලෙස ස්ට්‍රීට් ෆුඩ් අලෙවි කිරීමේ ක්‍රමවේදයක් අනුව සිදුකරන බවත් ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධ හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මෙම ගැටලු පිළිබඳ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. මෙම ස්ථානයේ ව්‍යාපාර සිදුකිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා -  පාර්ලිමේන්තුව ළඟ 'කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්' කියලා තමන්ගේ ආර්ථිකය දියුණු කර ගන්න පුද්ගලයන් තමන්ගේ ස්වයං රැකියා කරගෙන යනවා. ඔබතුමා ඒක ඉවත් කරන්න යනවා කියලා ලොකු කටකතාවක් තිබෙනවා. ඒක කරන්න එපා කියලා අපි ඉල්ලනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ඛන්දුල ගුණවර්ධන - කටකතා විශ්වාස කරන්න එපා. මහාමාර්ග ආඥා පනත අනුව පාරවල්වල දෙපස ඉරි යොදලා මගීන්ගේ සහ වාහනවල සුරක්‍ෂිතතාවට අදාළ නීති රීති පද්ධතියක් ක්‍රියාත්මක කරනවා. ආඥා පනතේ තිබෙන විධිවිධානවලට අනුව ක්‍රියා කරන එකයි කරන්නේ. ඊට පරිබාහිරව පෞද්ගලික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නෑ. මේ පිළිබඳ විස්තරාත්මකව මේ ගරු සභාවට වෙනම පැහැදිලි කරන්නම්.

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග - මෙතන ව්‍යාපාර කරගෙන ගියා. මුලින් පටන් ගත්තේ සිකුරාදා, සෙනසුරා, ඉරිදා, දැන් සතිය පුරාම ක්‍රියාත්මක කරනවා. එතන පාරෙන් මෙහා පැත්තේ තිබෙන කඩවල්වලින් පැමිණිලි ඇවිල්ලා තිබෙනවා ඔවුන්ට ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බෑ කියලා. ඒ වගේම අපිරිසුදුතාව පිළිබඳවත් පැමිණිලි ඇවිල්ලා තිබෙනවා. මේ පිළිබඳ මාර්ග සංවර්ධ අධිකාරිය ක්‍රමවේදයක් සකස්කර දෙන්න කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ - එතන වාහන තදබදයකට ඉවහල් වෙනවා නම් ඒකට බොහොම සියුම් උත්තර ගන්න. ආර්ථික පීඩනයකින් මේ රට බැටකන වෙලාවක කවුරු හරි මිනිහෙක් කීයක් හරි හම්බ කරන්න දරන උත්සාහය නතර කරන්න එපා. ඒක පාපසහගත උත්සාහයක්.

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග - විපක්‍ෂය හිතලු තමයි මේ ඉදිරිපත් කරන්නේ. මම වගකීමෙන් කියනවා අපි කිසිදු අවස්ථාවක මේක ඉවත් කිරීමක් කරන්න කටයුතු කරලා නෑ. මේක අපි ක්‍රමවේදයක් අනුව කරනවා මිසක් ඉවත් කරන්න කටයුතු කරන්නේ නෑ.


දිනේෂ් සමරකෝන්

Wednesday, January 18, 2023

දලයි ලාමා ශ්‍රි ලංකාවට පැමිණිම ගැන චීනයේ විරෝධය මල්වතු මහනාහිමිට දන්වයි


දලයි ලාමාතුමා ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට පැමිණීම සම්බන්ධයෙන් චීනය විරෝධය දක්වන බව චීන නියෝජිත පිරිසක් මල්වතු මහනායක හිමියන්ට ප්‍රකාශ කළහ.දලයි ලාමාතුමා ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට පැමිණීමට තමන් විරෝධය ප්‍රකාශ කරන්නේ උන්වහන්සේ ආගමික ලෙස වෙස් වළාගෙන චීන විරෝධී බෙදුම්වාදී ක්‍රියාකාරකම්වල නිරත වන හෙයින් යැයි චීන තානාපති  කාර්යාලයේ කාර්යමණ්ඩල ප්‍රධානී හූ වෙයි මහතා පැවසීය.එසේම උන්වහන්සේ ටිබෙට් ස්වයං පාලන කලාපය චීනයෙන් වෙන් කිරීමට උත්සාහ කරන දේශපාලන නියෝජිතයෙකු බවද චීන නියෝජිත පිරිස පැවසූහ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩල ප්‍රධානී හූ වෙයි මහතා සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදුටු අවස්ථාවේදී මේ බව පැවසීය.දෙරටේ පුද්ගලයන්  සහ බෞද්ධ ප්‍රජාව අතර ශතවර්ෂ ගණනාවක සමීප හුවමාරුව මෙන්ම කෝව්ඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරිම සඳහා ශ්‍රී ලංකාවේ සෑම තරාතිරමකටම චීනයේ ස්ථිර සහයෝගය ලබාදුන් බවද හූ වෙයි මහතා පැවසීය. 14වැනි දලයි ලාමාතුමා 'සරල භික්ෂුවක්' නොවන බැවින් ඕනෑම විදේශ රටකට දලයි ලාමාතුමා කුමන නමකින් හෝ පිළිගැනීම පිළිබඳ ටිබෙට් ස්වතන්ත්‍ර ප්‍රදේශය ඇතුළු චීනයේ රජය සහ ජනතාව දැඩි ලෙස විරුද්ධ වන බවද හූ වෙයි ප්‍රකාශ කළේය.

චීන භාරකාර මණ්ඩලය මහනායක හිමියන්ට දන්වා සිටියේ දලයි ලාමා යුගයේ (1951) ටිබෙටයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් මිලියන 129ක් පමණක් වූ අතර, ආයු අපේක්ෂාව වසර 35.5ක් බවයි. කෙසේ වෙතත් චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, ටිබෙට් ජනතාව දැන් සමෘද්ධිමත් ආර්ථිකයක් භුක්ති විඳිමින් සිටින බවත්, දළ දේශීය නිෂ්පාදිතය යුවාන් බිලියන 210 (USD බිලියන 31) සහ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 8,000 දක්වාත්, සාමාන්‍යයෙන් අවුරුදු 72.19ක් දක්වා ආයු අපේක්ෂාව වර්ධනය වී ඇති බවයි. 

විශේෂයෙන්ම බෞද්ධ ප්‍රජාව විසින් 'ටිබෙට් නිදහස’ ප්‍රවර්ධනය කිරීමට සහ චීන-ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා පළුදු වීමෙන් ආරක්ෂා කර ගැනීමට දලයි ලාමාතුමාගේ ශ්‍රී ලංකා සංචාරය වැළැක්විය යුතු බවද හූ වෙයි මහතා සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ මල්වතු මහනාහිමියෝ ශ්‍රී ලංකාව සහ චීනය අතර පැවත එන සමීප මිත්‍රත්වය ඉතා ඉහළින් අගය කළහ.භික්ෂූන් වහන්සේලා කිහිප නමක් දලයි ලාමාට දිවයිනට පැමිණෙන ලෙස ආරාධනා කිරීමේ රාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහනාහිමියන් අවධාරණය කළේ චීනය ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරා බවයි.

"චීනය සමග ඇති අපගේ සබඳතාවලට හානියක් නොවිය යුතුයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා චීනය ලබාදෙන දායකත්වයේ වැදගත්කම රජයද අවබෝධ කර ගැනීම වඩා හොඳයි. චීනයේ අඛණ්ඩ සහයෝගය සහ මානුෂීය ආධාර සඳහා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සැමවිටම ණයගැතියි" යනුවෙන්ද නාහිමියෝ පැවසූහ.


Wednesday, November 17, 2021

රුපියල් 4,250 හිස් ගෑස් සිලින්ඩරය කළුකඩේ 15,000ට 20,000ට නගී




ප්‍රධාන ගෑස් සමාගම් දෙකම මාස කිහිපයක සිට හිස් ගෑස් සිලින්ඩර පාරිභෝගිකයන්ට අලෙවි නොකිරීම හේතුවෙන් කළුකඩ වෙළෙඳුන් කිලෝ ග්‍රෑම් 12.5ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 15,000ත් 20,000ත් අතර මිල ගණන් යටතේ අලෙවි කරන බව පාරිභෝගිකයෝ පවසති.  ගෑස් හිඟය ඇති වීමට පෙර ගෑස් සමාගම් කිලෝ ග්‍රෑම් 12.5ක හිස් ගෑස් සිලින්ඩරයක් අලෙවි නියෝජිතයන් හරහා පාරිභෝගිකයාට අලෙවි කළේ, රුපියල් 4,250ක පමණ මිලකටය. එහෙත් ලෝක වෙළෙඳපොළේ යකඩ මිල ගණන් අධික ලෙස ඉහළ යාමත් සමග ගෑස් සමාගම් පාරිභෝගිකයාට අලුතින් හිස් ගෑස් සිලින්ඩරය අලෙවි කිරීම අත්හිටුවා ඇතැයි එම සමාගම් කියයි.  මේ නිසා වැඩියෙන්ම පීඩාවට පත්ව ඇත්තේ ලාෆ් පාරිභෝගිකයන් වන අතර, එම ගෑස් නිසි පරිදි නොලැබීම  නිසා ඔවුන්ට ලිට්රෝ ගෑස් සිලින්ඩරයට මාරු වීමට ද  නොහැකි වී ඇත. 


එම තත්වය තුළ ලිට්රෝ හිස් සිලින්ඩර වැඩිපුර ඇති  වෙළෙඳුන් හා පුද්ගලයන් වැඩි මිල ගණන්වලට එම සිලින්ඩර අලෙවි කිරීමට පටන් ගෙන ඇත.  ඒ අනුව, ඔවුන් අන්තර්ජාලයේ දැන්වීම් පළ කර තිබෙන අතර, ඒවායෙහි බොහොමයක මිල ගණන් ලෙස දක්වා ඇත්තේ, කිලෝ ග්‍රෑම් 12.5ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 15,000ත් 20,000ත් අතර මිල ගණන්ය. ඊට අමතරව, කිලෝ ග්‍රෑම් 5ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 8,000ත් 12,000ත් අතර මිල ගණන් යටතේ අලෙවි කරන බව ද එම දැන්වීම්වල සඳහන්  වේ. 


මේ අතර, ලාෆ් ගෑස් සමාගම හෝටල් හා කර්මාන්තශාලා සඳහා නිකුත් කරන කිලෝ ග්‍රෑම් 37.5ක හිස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 19,000ක් දක්වා දෙගුණයකටත් වැඩි මුදලකින් ඉහළ නංවා ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කරති. එම හිස් සිලින්ඩරය මීට සතියකට පමණ පෙර අලෙවි කරනු ලැබුවේ රුපියල් 8,900කටය.  ප්‍රධාන ගෑස් සමාගම් දෙකේක්ම හිස් සිලින්ඩර කළුකඩ වෙළෙඳුන් විසින් මේ ආකාරයට හිතූ හිතූ පරිදි අලෙවි කරනු  ලැබීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති.


 -ක්‍රිෂාන් ජීවක ජයරුක්-


Tuesday, July 20, 2021

කොම්පියුටර් ගේම් තරුණයාගේ සිරුර ගෙයි කාමරයේ එල්ලෙයි

 


අබිරහස් ලෙස මියගිය තරුණයකුගේ මළ සිරුරක් පෙරේදා (18) වැනිදා රාත්‍රියේ ඔහුගේ නිවසේ කාමරයක එල්ලෙමින් තිබියදී හමුවූ බව මොරටුව එගොඩඋයන පොලිසිය පවසයි.  මෙසේ මියගොස් ඇත්තේ එගොඩඋයනේ  අන්තෝනිලාගේ සුපුන් මධුසංක සිල්වා නැමැති  තරුණයකු බව පොලිසිය කියයි. මෙම තරුණයා පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවූ තරුණයකු බවත් ඔහු තුළ ක්ෂණිකව කෝපය සහ කලහකාරි ලෙස හැසිරෙන තත්වයක් පැවැති බවට මූලික විමර්ශනවලදී තොරතුරු හෙළිවූ බවත් පොලිසිය පැවැසීය.


නිවැසියන්ගෙන් ලද තොරතුරුවලට අනුව මියගිය තරුණයා සමාජ ජාලයෙන් හමුවූ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ තරුණියක හා ප්‍රේම සම්බන්ධයක්ද පවත්වාගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.  මෙම මරණයේ ස්ථාන පරික්ෂාව පිළියන්දල හදිසි මරණ පරික්ක එච්. අජිත් මහතා විසින් සිදුකරනු ලැබූ අතර මෘත දේහය පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. මෘත දේහය පී.සී.ආර්. පරික්ෂණයට යොමු කිරිමෙන් පසුව පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමට නියමිත බවද පොලිසිය පැවසීය.


-රේඛා තරංගනී ෆොන්සේකා-


Tuesday, March 23, 2021

සැඩ පහරට හසුවී ශෂින්ද්‍ර නූලෙන් බේරෙයි



බිබිල මැදගම ප්‍රදේශයේ පෙරේදා (21) පැවැති උත්සව කීපයකට සහභාගි වී අධික වර්ෂාව මධ්‍යයේ නැවත මොනරාගල දක්වා පැමිණෙමින් සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය හා මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් රථය  මැදගම පුබ්බාර සපත්තු පාලම මත දී පුබ්බාර   ඔයේ ජලපහරට හසුව ගසාගෙන ගොස්  ඇතැයි මැදගම පොලිසිය පවසයි.  අනතුරෙන් ඇමැතිවරයාට කිසිදු හානියක් සිදුවී නැතැයි පොලිසිය කියයි. මෙම අනතුර පෙරේදා (21) පස්වරු 6.45  පමණ සිදුවී තිබේ. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බිබිල මැදගම ප්‍රදේශයේ පෙරේදා (21)  පැවැති උත්සව කීපයකට සහභාගි වී නැවත  පුබ්බාර හරහා මොනරාගල බලා පැමිණෙමින් සිටිය දී පුබ්බාර ප්‍රදේශයේ දී  මෙම අනතුරට ලක්ව ඇත.


පොලිසිය පවසන්නේ ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාව නිසා පුබ්බාර ඔයේ ජලය මැදගම මොනරාගල මාර්ගය හරහා වැටී ඇති සපත්තු පාලම මගින් ප්‍රචණ්ඩ  ලෙස ගලාගෙන යද්දී ඇමැතිවරයා ගමන්ගත් රථය ඒ මගින් ගැනීමට උත්සාහ කිරීමේ දී පුබ්බාර ඔයේ සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බවයි.  කෙසේ නමුත් සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වී ඇමැතිවරයා ගමන්ගත් රථ සපත්තු පාලමේ සිට මීටර් 10ක් පමණ පහළින් පුබ්බාර ඔයේ රැඳී තිබිය දී  ඇමැතිවරයා ආරක්ෂිත ලෙස ගොඩට ගෙන මොනරාගල සිරිපාල ප්‍රදේශයේ ඇති ඇමැතිවරයාගේ නිවසට ගෙනත් ඇරලීමට කටයුතු කර ඇත. මෙම සිද්ධියෙන් ඇමැතිවරයාට හෝ එහි  රියැදුරාට කිසිදු අනතුරක් සිදුවී නැතත් ඇමැතිවරයාගේ ජීවිතය ගැලවුණේ අනුනවයෙන් බව පුබ්බාර ප්‍රදේශවාහු කියති.


 - කේ.ඩී. දේවප්‍රිය-

Wednesday, February 10, 2021

වැලන්ටයින් දිනයට සෞඛ්‍ය බලධාරීන්ට නොකියා සාද තහනම්




ලබන 14 වැනිදාට යෙදෙන ආදරවන්තයන්ගේ දිනය සමරමින් සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් නොමැතිව සාද පැවැත්වීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොතකා, පවත්වන සාද සංවිධානය කරන්නන් සහ ඒ සඳහා සහභාගිවන්නන් අත්අඩංගුවට ගන්නා බව ද හෙත්තෙම කීවේය. මෙම දිනය සැමරීමට ඇතැම් පිරිස් අන්තර් ජාලය හරහා විවිධ සාද සංවිධානය කරන බවටත්, ඒ සඳහා විවිධ කණ්ඩායම් ඒකරාශි වී සිටින බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇති බව හෙතෙම පැවසීය.


මේ සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමු වී ඇති බවත්, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා නොගත්තා කිසිදු සාදයකට, සම්භාෂණයකට අවසර නොමැති බවත් මහතෙම කීය. කොවිඩ් වසංගතය ශීඝ්‍රයෙන් පැතිරයන මෙම වකවානුවේ මෙම සාද හරහා ආශ්‍රිතයන් තවත් බෝවීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය. මෙවැනි නීති විරෝධී සාද සඳහා සිය හෝටල්, නිවාස,  ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව ද නීතිය තදින්ම  ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 


මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ප්‍රාදේශීය  පොලිස් ස්ථාන හා බුද්ධි අංශ යොදා විමර්ශන සිදුකරන  බවද ඔහු කීවේය. සෞඛ්‍ය බලධාරීන්ගේ අවසර නොමැතිව පැවැත්වෙන මෙවැනි සාද සඳහා සහභාගි නොවන ලෙසත්, එවැනි සාද සඳහා දැන දැනම සහභාගි  වී නඩුවලට පැටලෙන්න එපා යැයි තරුණයන්  තරුණියන්ගෙන් ඉල්ලා සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.


-ඉන්දිකා රාමනායක-


Tuesday, February 9, 2021

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි වදාකඩ නවරත්න කලුරිය කරයි



ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, ලේඛකයකු කවියකු සහ ගත් කතුරවයකුද වූ වදාකඩ නවරත්න මහතා ඊයේ (8) අභාවප්‍රාප්ත විය. මියයන විට 73 වැනි වියෙහි පසුවූ ඒ මහතා දූදරුවන් පස් දෙනකුගේ පියෙකි.  වදාකඩ නවරත්න මහතා දිනකර, සත්දින, මැදපෙරදිග  සහ ලංකාදීප යන පුවත්පත්වල මාධ්‍යවේදියකු  ලෙස කටයුතු කළ අතර ‘සත්දින' පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස ද කලක් සේවය කළේය.


වවුල්කැලේ තීන්දුව, වැල්ලේ ලේ මල්, භීෂණෙයේ දිනපොත, වමේ වේදිකාවේ වෙඩි උණ්ඩය සහ තෙවන නැගිටීම යන නවකතා පාඨකයන්ට තිළිණ කළ වදාකඩ නවරත්න මහතා "සඳ" නමැති කවි පත්‍රයේ කර්තෘවරයා ලෙසද කටයුතු කළේය.  ජනමාධ්‍යවේදියකු ලෙස කැපවීමෙන් කටයුතු කළ ඒ මහතා කලාභූෂණ සම්මානය ඇතුළු සම්මාන කිහිපයකින් පිදුම් ලැබීය. එක්සත් ජාතීන්ගේ සහන කවි සංවිධානයේ සභාපතිවරයා ලෙස හා තම්මැන්නා කවි සංවිධානයේ අනුශාසකවරයා ලෙස ද හෙතෙම කටයුතු කළේය.  දේහය මීරිගම විජයරජදහමන්නේ 156 දරන නිවසේ තැත්කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.


Tuesday, January 26, 2021

'මිරිදිය ටින් මාළු දේශීය වෙළෙඳපළට



'මිරිදිය ටින් මාළු’ දේශීය වෙළෙඳපළ වෙත හඳුන්වාදීමට විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාතයංශය සැලසුම් කර තිබේ.  ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය මෙන්ම දේශීය ටින්මාළු කර්මාන්තයද නඟා සිටුවීමේ අරමුණින් ගෙන ඇති  මෙම තීරණය සඳහා දේශීය ටින්මාළු සමාගම්වල එකඟතාව පළව ඇති බව රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.  ඒ අනුව රට තුළ පිහිටි මිරිදිය ජලාශ වෙතින් ලබා ගන්නා මසුන් දේශීය සමාගම් හරහා ටින්කර දේශීය වෙළෙඳපළ වෙත සැපයීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.



මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන,  බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය  කංචන විජේසේකර සහ එම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පවත්වා ඇති අතර, ඒ සඳහා ප්‍රධාන පෙළේ දේශීය ටින් මාළු සමාගම් 06ක් එක්ව තිබිණි.  ඒ අ නුව මෙම කර්මාන්තය නඟා සිටුවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම ඇතුළු කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කර තිබේ.  එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නිෂ්පාදන ආනයනය අවම කර දේශීය කර්මාන්තකරුවන් දිරි ගැන්වීම රජයේ අරමුණ වන බවයි.


-නිදර්ශනී වික්‍රමසිංහ-


Tuesday, January 19, 2021

රාජ්‍ය ඇමති පියල් නිශාත්තට , ඔහුගේ බිරිඳට හා දියණියටත් කොරෝනා


කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාත්ත මහතාටත්, ඔහුගේ බිරිඳට හා දියණියටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.  මේ අනුව කොරෝනා වයිරසය ආසාදනය වූ පාර්ලිමේන්තුවේ සිවුවැනි මන්ත්‍රීවරයා ඔහුයි.  වාසුදේව නානායක්කාර ඇමැතිවරයාටත් දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරයාටත් රවුෆ් හකීම් මන්ත්‍රීවරයාටත් මෙයට පෙර කොවිඩ් ආසාදනය විය. පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාටත්, ඔහුගේ බිරිඳට හා දියණියටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇත්තේ ඊයේ (18) කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලදීය. 


රාජ්‍ය ඇමැතිවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව ඔහුගේ ආරක්ෂකයන් හයදෙනකු ද පෞද්ගලික කාර්ය මණ්ඩලයේ දසදෙනකු ද නිරෝධායනයට යොමු කරනු ලැබ ඇතැයි සෞඛ්‍ය අංශ  නිලධාරිහු පවසති.   පියල් නිශාන්ත මහතාගේ පුතුන් දෙදෙනා ද රැපිඩ්  ඇන්ටිජන් පරීක්ෂණයකට ලක්කර ඇතත්, ඔවුන්  දෙදෙනාට වයිරසය ආසාදනය වී නැතැයි තහවුරු වී ඇත.  කෙසේ වෙතත් එම දෙදෙනා ද නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති. පියල් නිශාන්ත මහතා සහභාගි වූ උත්සවයකට පැමිණ සිටි නිලධාරිනියකට කොරෝනා ආසාදනය වී ඇති අතර, ඇයගෙන් ඔහුට වයිරසය බෝවන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැක පළ කරයි. 


රාජ්‍ය ඇමැතිවරයා මේ වසරේ මෙතෙක් පැවැති පාර්ලිමේන්තු රැස්වීම් කිසිවකටත් සහභාගි වී නැති  හෙයින් පාර්ලිමේන්තුවට ඉන් බලපෑමක් නැතැයි  වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. මේ අතර කොරෝනා ආසාදනය වූ පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී කෑගලු පැණිය පානය කළ පිරිසෙන් අයකු බව ද වාර්තා වෙයි. රාජ්‍ය ඇමැතිවරයා හා ආශ්‍රිත වූ පිරිස් සොයා ගැනීමට විමර්ශන පවත්වන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක්  පැවැසීය. මේ සම්බන්ධයෙන් පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ, සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කරන්නැයි තමා සමග පසුගිය කාලයේදී සමීපව සිටි සියලුදෙනාගෙන් ඉල්ලීමක් කරන බවයි.


-සුජිත් හේවාජුලිගේ-

Tuesday, January 12, 2021

රටේ සියලු ආයතනවලට පුරාණ තොරතුරු කුටියක්



රටේ සියලුම ආයතනවල ඒ ඒ ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කෙරෙන “පුරා කුටියක්” (Archcell) ආරම්භ කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැරසෙයි.  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාණය නිරූපණය වන තැනක් , එම ආයතනයේ පවා නැති බවත් එම දෙපාර්තමේන්තුවෙන් මෙම කටයුත්ත ආරම්භ කරන බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ලංකාදීපයට පැවැසීය.දෙපාර්තමේන්තුවේ ආරම්භය, අතීතය, අතීතයේ සිටි ප්‍රධානීන්ගේ සිට කම්කරුවා දක්වා සියලු දෙනාගේ තොරතුරු එම කුටියේ එක් රැස් කරන බව ද හෙතෙම සඳහන් කළේය. 


සෑම පුරාවිද්‍යා ස්ථානයකම මෙවැනි කුටි ආරම්භ කරන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ව්‍යාපෘතිය රටපුරා ගෙන යෑම තම අරමුණ බවද කීය. විශේෂයෙන් වර්තමානයේ බොහෝ තොරතුරු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එක්රැස් කළ හැකි බැවින් විශාල ඉඩකඩක් මේ සඳහා අවශ්‍ය නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.  රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පාසල් ඇතුළු සියලු ආයතවල මෙසේ පුරා කුටි ඇරඹීමට ආරාධනා කරන බවත් ඒ සඳහා දෙපාර්තමේන්තුව යෝජනා කරන්නේ විශාල ඉඩකඩක් නොව කුඩා කාමරයක් හෝ කබඩ් එකක් වුව ප්‍රමාණවත් බව යැයි ද මනතුංග මහතා කීය.  අදාළ ආයතනයේ ඉතිහාසය සම්බන්ධ දත්ත සහිත පුරා කුටියක් නිර්මාණය කරන ලෙස පාසල් හා රාජ්‍ය ආයතනවලින් ලිඛිත ඉල්ලීමක් කරන බවද පැවසූ මහාචාර්යවරයා එහි දී අවශ්‍ය උපදෙස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලබා දෙන බව ද සඳහන් කළේය.



-විනීතා එම්. ගමගේ -

Thursday, December 24, 2020

මල්වානේ නිවසක නිදාසිටි එක්දරු පියා හදිසියේ මරුට





මල්වානේ වල්ගම - නැගෙනහිර ප්‍රදේශයේ වෙළෙඳ සැලක්ස් තුළ නිදාගෙන සිටි පුද්ගලයකු නින්දේදීම මිය ගොස් සිටියදී පෙරේදා (22) උදේ හමු වී ඇතැයි බියගම පොලිසිය පවසයි.  මෙසේ මිය ගියේ මල්වානේ වල්ගම - නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. රංජිත් ගුණසේන නමැති 52 හැවිරිදි එක් දරු පියෙකි. 


මේ පිළිබඳව මරණ පරීක්ෂණය මල්වාන හදිසි මරණ පරීක්‍ෂක ඒ.ආර්.ඒ. මවාහිබි මහතා විසින් සිද්ධිය වූ ස්ථානයේ දී පවත්වා මළ සිරුර පී.සී.ආර්. පරීක්‍ෂණෙයට යොමු කර පශ්චාත් මරණ පරික්‍ෂණය පවත්වන ලෙසට පොලිසියට නියෝග කෙරිණි.


-ඩබ්ලිව්.ඩී.එම්. විතානගේ -


මහාධිකරණයෙන් වසර 3ක් හිරේට නියමවූ ජිනාමැඩම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස්




කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකාරිය කරමින් කොළඹ මහාධිකරණයෙන් වසර 3ක සිරදඬුවම් නියම වී සිටි රෝස්මරි ෆිලීෂියා පෙරේරා නොහොත් "ජිනා මැඩම්” නමැත්තිය එම චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.  අදාළ මහාධිකරණ තීන්දුවට එරෙහිව රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් 'ජීනා මැඩම්” නමැත්තිය ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම විභාග කර අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.  මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.


ගණිකාවක වශයෙන් කටයුතු කරන තැනැත්තියකට එරෙහිව කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනා ඉදිරිපත් කළ නොහැකි බව ද මෙම අභියාචන පෙත්සම විභාග කළ විනිසුරු මඬුලේ බහුතරය වන විනිසුරු බුවනෙක අලුවිහාරේ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන මහත්වරුන් නිකුත් කළ තීන්දුවල සඳහන් වේ. විනිසුරු ප්‍රීති පද්මන් සූරන්සේන මහතා විසින් වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. කොළඹ මහාධිකරණය මගින් 2012 වසරේ නොවැම්බර් 9 වැනිදා විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය ගණිකා වෘත්තීය සඳහා කාන්තාවන් සැපයීමේ වරදට වරදකරු කරමින් වසර තුනක ලිහිල් සිරදඬුවමක් නියම කරන ලදී. එම දඬුවමට අමතරව රුපියල් 25,000ක දඩයක් ද නියම කෙරිණි.  


මෙම තීන්දුවලට එරෙහිව විත්තිකාර අභියාචක පෙත්සමිකාරිය අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළාය. මහාධිකරණ තීන්දුව තහවුරු කරමින් එම ඇපෑල ද නිෂ්ප්‍රභ  කෙරිණි. ඉන් අනතුරුව විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය එකී අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම විශේෂ අභියාචනය ඉදිරිපත් කර තිබිණි. එම පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය. විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා  පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය පෙනී සිටියාය.


-තිළිණි ද සිල්වා -

පෞද්: අංශ විශ්‍රාම වයස 60කට දික්කළත් 55න් ගිහින් ඊ.ටී.එෆ් ගත හැකියි






ඉකුත් අය වැය යෝජනා අනුව පෞද්ගලික අංශයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු හැට දක්වා දීර්ඝ කර ඇතත් යම් සේවකයකුට වයස අවුරුදු 55 දී සේවය අවසන් කර සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් (EPF හා ETE) තැන්පතු ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව තිබෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.  පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කළේ කම්කරු නායකයන් දිගු කාලයක් තිස්සේ කළ ඉල්ලීම අනුව බව කී අමාත්‍යවරයා විශ්‍රාම ලබන්නේ වයස 55න් ද 60න් ද යනුවෙන් තීරණය කිරිමට  සේවකයන්ට අයිතිය තිබෙන බව ද සඳහන් කළේය.


අමාත්‍යවරයා මේ බව පැවැසුවේ කම්කරු අමාත්‍යාංශයේදී පෙරේදා (22) පැවැති ජාතික කමිකරු උපදේශක සභා රැස්වීමේදීය. වෘත්තීය සමිති නායකයන් සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන්ගේ  සහභාගිත්වයෙන් එම රැස්වීම පැවැත්විණි. කුමන වයසේදී විශ්‍රාම ගියත් විශ්‍රාම ලබාගන්නා විට ඔවුන්ට සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව ලැබෙන බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය. ජනතාවගේ ආයු අපේක්ෂාව වැඩි වී ඇති නිසා ජාතික විශ්‍රාම ගැන්වීමේ වයස ද ඊට සාපේක්ෂකව ඉහළ දැමීම සිදු වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.  මේ පිළිබඳව කරුණු දැක්වූ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන් කියා සිටියේ ප්‍රතිපත්තියක් වශයෙන් මෙම යෝජනාව පිළිගත හැකි වුවත්, සමහර කාර්මික ක්‍ෂේත්‍රයන්හි වයස අවුරුදු 55න් පසුව  සේවකයන් රඳවා තබාගැනීමේ ප්‍රායෝගික ප්‍රශ්න හා ගැටලු මතුවන බවයි. 


එසේම වයස අවුරුදු පනස් පහක් ඉක්ම වූ අයගෙන් ලබාගත හැකි නිෂ්පාදන සහ  සේවා ඵලදායිතාව පවතින්නේ අඩු අගයක බැවින් එම සේවකයන් වයස 60 දක්වා සේවයේ රඳවා ගැනීම සම්බන්ධව අද පැන නගින බව ද ඔවුහු පැවැසූහ. එම නිසා එසේ විශ්‍රාම ගැන්වීමේ වයස හැට දක්වා දීර්ඝ කරන්නේ නම් දැනට සාමූහික ගිවිසුම්වල අන්තර්ගත කරුණු ද ඇතුළත් කර අදාළ පනත් සංශෝධනය කිරිම වැදගත් බව සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්‍ෂ ජනරාල් කනිෂ්ක වීරසිංහ මහතා පැවැසීය.   එයට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයාට පැවැසුවේ අදාළ පනත් සංශෝධනයන්ට යම් නිර්නායකයන් ඇතුළත් කිරිමට අවශ්‍ය නම් වෘත්තීය සමිති නායකයන් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර එම යෝජනා තමන් වෙත ලබාදෙන ලෙසයි. 


කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡා කමිටුවට කැඳවා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට මෙහිදී උපදෙස් දුන්නේය . අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ, ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරමින් ලෙස්ලි දේල්වේන්ද්‍ර, ඇන්ටන් මාකස්, සිල්වෙස්ටර් ජයකොඩි, වසන්ත සමරසිංහ,  ලීනස් ජයතිලක යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නායකයෝ සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්වූහ.


-ඩයනා උදයංගනී-


Wednesday, December 16, 2020

මවගේ හත් දවසේ දානේට ඇවිත් පුත්තු දෙන්නා බීලා මරුට




සිය මවගේ සත් දින දානයට සහභාගිවීමට පැමිණි පුතුන් දෙදෙනකු නාමයක් නොමැති කිසියම් විදේශීය මත්පැන්  වර්ගයක් පානය කිරිමෙන් පසුව රෝගාතුර වී මීරිගම හා  වරකාපොළ රෝහල්වලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මිරිගම පොලිසිය පවසයි.  එම මත්පැන් වර්ගය පානය කිරිමෙන් පසුව රෝගාතුර වූ හමුදා සෙබළකු ඇතුළු තවත් දෙදෙනෙක් ද රෝහල්ගත කරනු ලැබ සිටිති.  මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගල්නෑව වෙරුම්කුලම නෑගම්පහ පදිංචිකරුවකු වූ කේ.ජී. අනුර කොඩිතුවක්කු (54) සහ දියපැලියගම නෑගම්පහ පදිංචිකරුවකු වූ කේ.ජී. චිත්‍රානන්ද කොඩිතුවක්කු (47)නමැතිදෙසොහොයුරන්ය.


සිය මවගේ සත් දවසේ දානයට සහභාගිවීමට පැමිණි මේ පුතුන් දෙදෙනා තවත් දෙදෙනකු ද සමග පෙරේදා (14) රාත්‍රී ඒ අසල නිවෙසකදී සිය හිතවතකු ගෙනැවිත් දුන් මත්පැන් වර්ගයක් පානය කිරිමෙන් පසුව හදිසියේම රෝගාතුර වී රෝහල්ගත කිරිමෙන් අනතුරුව මෙසේ මියගොස් ඇතැයි මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.ඩී.ආර්. ප්‍රියන්ත මහතා පැවැසීය.  මේ පිරිස මෙසේ පානය කර ඇත්තේ විදේශයකින් ගෙනැවිත් තිබූ මත්පැන් බෝතලයක් නමුත් එහි කිසිදු නාමයක් හෝ සඳහන්ව තිබී නැතැයි කියති.  ඔවුනට එම මත්පැන් බෝතලය දුන් පුද්ගලයා නීතිඥයකු මාර්ගයෙන් මීරිගම  පොලිසියට ඊයේ (15) උදේ බාර වූයේය.  මිය ගිය දෙසොහොයුරන්ගේ පශ්චාත් මරණ පරික්‍ෂණය හා මහේස්ත්‍රාත් පරික්‍ෂණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

-සුජිත් හේවාජුලිගේ-


භූමිතෙල් වත්කර පස් දරු මව මැරුවාට සිවු දරු පියා පෝරකයට




තංගල්ල නාකුලුගමුව කුඩාවැල්ල හුම්මාන පාරේ ගල්කොණ නිවෙසේදී 2002.10.15 වැනිදා අනියම් බිරිය භූමිතෙල් වත්කර ගිනි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් වසර 18ක් පැවැති නඩු විභාගයකින් පසු වරදකරු වූ සිවු දරු පියකුට තංගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා පෙරේදා (15) මරණීය දණ්ඩනය නියම කළේය. මරණ දඬුවම නියම වූයේ තංගල්ල නාකුලුගමුව කුඩාවැල්ල මධ්‍යම පදිංචි 58 හැවිරිදි කලුහැන්නදිගේ රෝහිත ජයන්ත නමැති සිවු දරු පියකුටය. කුඩාවැල්ල හුම්මාන පාරේ ගල්කොණ නිවෙසෙහි පදිංචිව සිටි 39 හැවිරිදි පස් දරු මවක වූ ලොකු යද්දෙහිගේ රාජිකා නමැති සිය අනියම් බිරියට 2002.10.15 වැනිදා ඇඟට භූමිතෙල් වත්කර ගිනි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරු අධිචෝදනා ලබා තිබුණි.


රජයේ අධිනීතිඥ තිලංක ආටිගල මහතා සමග තංගල්ල මූලස්ථාන පොලිස් කොස්තාපල් (76938) සරත් කුමාර මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ. මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරු බන්ධනාගාර බස්රථයකින් කොළඹ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.


 -අරියදාස කොඩිතුවක්කු-


Thursday, November 26, 2020

ගොල්ෆේස් වැඩබිමක 100කට කොරෝනා



කොටුව ගාලුමුවදොර ආසන්නයේ පිහිටි පෞද්ගලික ඉදි කිරීම් වැඩිබිමක සේවකයන් 100දෙනකුට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනයවි ඇහි බවට වාර්තාවී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම පිරිස අතර ඉන්දීය ජාතිකයන් 54 දෙදෙනකු සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.


මෙම වැඩබිම් සේවකයින් ලැගුම්ගෙන සිටි කොළඹ 02 කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක සේවකයන් 10 දෙනකු මීට දින කිහිපයකට පෙර කොරෝනා වයිරසය ආසාදිතව රෝහල් ගත කර සිට ඇති බවත්, පසුව එහි සිටි සේවකයන් පිරිස පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය කරමින් සිට ඇති බවත් සෞඛ්‍ය අංශය සඳහන් කරයි. එම පිරිසගේද පී.සී.ආර්. පරික්ෂණ කර ඇති අතර ඉන්දියන් ජාතිකයන් 54 දෙනා ඇතුළු සෙසු පිරිසටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව එම පරීක්‍ෂණ වාර්තවලින් තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. මෙම ඉදිකිරීම් වැඩබිමේ සේවකයන් 200 මදනකු පමණ සේවය කරන අතර, කොරෝනා ආසාදිත බවට තහවුරු වූ සේවකයන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් ද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.



සහකාර කළමනාකාරවරිට පහරදීමේ සිද්ධියේ විධායක ඉංජිනේරුට ඇප



දුරකථන අංකයක් කඩිනමින් ලබා නොදුන්නැයි උරණ වි තම සේවා ස්ථානයේ කළමනාකාර සහකාරවරියකට බැණ වැදී පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්හප පොලිසිය විසින් අඩංගුවට ගනු ලැබූ බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ ගමන විධායක ඉංජිනේරු රුපියල් ලක්ෂ 2ක ශරිර ඇපයක් මත මුදාහරින ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (25) නියෝග කළේය. මෙලෙස ඇප මත මුදාහැරියේ උඩුගම්පොල පදිංචි දේවසූරියලාගේ ලලිත් සිරිකුමාර නැමැති බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ කාර්යාලයේ විධායක ඉංජිනේරුවරයාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්හප විධායක ඉංජිනේරු කාර්යාලයේ කළමනාකාර සහකාරවරියක වන ගම්පහ අස්ගිරියේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ තිසේරා ලක්මාලි (42) නමැත්තිය විසිනි.


කොන්ත්‍රාත්කරුවකුගේ ජංගම දුරකතන අංකය ලබා දෙන ලෙස තම සේවා ස්ථානයේ ඉංජිනේරුවරයා තමන්ට පැවසූ බවත් එය ලබාදීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමාට දෙවතාවක්ම බැණ වැදී පහරදෙන ලද්දැයි පැමිණිලිකාරිය ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් ජයසිංහ මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. පැමිණිල්ලට අනුව විමර්ශනය කළ පොලිසිය ඊයේ (25) පෙරවරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 314 වගන්තිය ප්‍රකාරව කරුණු ඉදිරිපත් කරමිනි. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප නියම කරමින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර මහේස්ත්‍රාත් පරික්ෂණය ලබන ජනවාරි මස 02 වැනිදා තෙක් කල් තැබිය.


- නිමන්ති රණසිංහ-

Tuesday, November 24, 2020

නිරෝධායනය වූ නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවෝ කෑම නැතිව දැඩි පීඩා

නේවාසිකාගාර තුළ සෞඛ්‍ය අංශ මගින් නිරෝධායනයට ලක්කර සිටින කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ට ආහාර පාන නොලැබීම හේතුවෙන් තමන් දැඩි අසරණ තත්තවයකට පත්වී ඇතැයි එම සේවක සේවිකාවෝ පවසති. මෙසේ මාස එකහමාරක පමණ කාලයක සිය නේවාසිකාගාර තුළ නිරෝධායනයට ලක්වී සිටින වෙළෙඳ කලාපයේ සේවක සේවීකාවන් පිරිස 250ක් පමණ වන බව සෞඛ්‍ය නිලධාරීහු පවසති. ඇවරියවත්ත, කටුනායක, සීදුව, අමන්දොළුව, කුරණ යන ප්‍රදේශ තුළ පිහිටි නේවාසිකාගාර තුළට නිරෝධායනයට ලක්කර ඇති මෙම ඇගලුම් සේවික සේවිකාවන්ගේ ඇතැම් සේවක සේවිකාවන් ඔවුන්ගේ දරුවන් සමග පවුලක් වශයෙන් ජීවත්වීම නිසා නිරෝධායනයට ලක්කර සිටින ඇතැම් සේවක සේවිකාවන්ගේ දරුවන් හා මව්පියන්ද වන බව සෞඛ්‍යය නිලධාරීහු පවසති.


මාස එකහමාරක පමණ දීර්ඝ කාලයක් නේවාසිකාගාර තුළ මෙම සේවක සේවිකාවන් නිරෝධායනයට ලක් කිරීමට හේතුව කුමක්දැයි සීදූව සෞඛ්‍ය නිලධාරි කාර්යාලයෙන් කළ විමසීමේදී එහි සෞඛ්‍ය බලධාරියකු පැවසුවේ එම නේවාසිකාගාර තුළ නිරෝධායනයට ලක්කර සිටින සේවක සේවිකාවන් අතරින් කොරෝනා වයිරසය ආසාදිත සේවක සේවිකාවන් පී.සී.ආර්. පරිකෂණ මගින් තහවුරු වීමත් සමග එම නේවාසිකාගාර තුළ සිටින සේවක සේකාවන්ගේ නිරෝධායනය කාලය තවදුරටත් දීර්ඝ කෙරේ. මෙසේ නේවාසිකාගාරය තුළ නිරෝධායනයට ලක්කර සිටින ඇතැම් ඇගලුම් සේවක සේවිකාවන් හට කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ආහාර මල්ලක් ලබාදුන් බවත් එය දින දෙක තුනකට පමණක් ප්‍රමාණවත් වූ බවත් නිරෝධායනයට ලක්වී සිටින සේවක සේවිකාවෝ පවසති. තවද නේවාසිකාගාර තුළ නිරෝධායනයට ලක්කර සිටින ඇතැම් ගමක සේවිකාවන්ට විවිධ ඖෂධ වර්ග අවශ්‍යව ඇතත් ඒවා සපයා ගැනීමට නොහැකිවීම හේතූවෙන් ඖෂධ භාවිතා කරන සේවක සේවිකාවන්ද දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවද ඔවුහු පවසති.


Monday, November 23, 2020

අලුතින් 96ක් එක්වී බන්ධානගාර කොරෝනා පොකුර 96ක් නගී



බන්ධනාගාර කොවිඩ් පොකුර මේ වනවිට 652 දක්වා ඉහළ ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.  රැඳවියන් 609ක් හා නිලධාරින් 43ක් මේ අතර වන බව ද පැවැසේ. රෝගය වැළඳුණු ආසාදිතයන් 96ක් මේ අනුව අලුතින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. වැලිකඩ, කුරුවිට, බුස්ස ඇතුළු බන්ධනාගාර කිහිපයකින් මෙම පිරිස වාර්තා වී ඇතැයි ද සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියයි. 


වැලිකඩ බන්ධනාගාරයේ පර්යේෂණ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ සේවය කරන සැරයන්වරයකු කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගෙන තිබීම හේතුවෙන් බන්ධනාගාර මූලස්ථානයේ රාජකාරි කරන ඔහුගේ බිරිඳ  මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇතැයි ද එම මූලස්ථාන අංචි මාර්ග අනාවරණය කරයි.


 -ජයන්ත සමරකෝන්-