Showing posts with label local-g5. Show all posts
Showing posts with label local-g5. Show all posts

Monday, July 13, 2020

හිටපු කොටියා සැරසුණේ ඡන්දය කඩාකප්පල් වැඩකට - ත්‍රස්ත විමර්ශනය හෙළිකර ගනී



කිලිනොච්චියේ පිහිටි සිය නිවසේදී බෝම්බයක් සැදීමට ගොස් එය පිපිරීමෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු බුද්ධි අංශයේ සාමාජිකයකු වූ මෙනන් නමැත්තා එම බෝම්බය නිෂ්පාදනය කර ඇත්තේ මහජනතාව ගැවැසෙන පොදු ස්ථානයකදී පුපුරවා හැර උතුරේ ජනතාව ඡන්දය දීමෙන් වැළැක්වීමේ අරමුණින් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කළ පරීක්‍ෂණවලදී හෙළි වී ඇතැයි වාර්තා වේ. 

මෙම තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව උතුරේ ආරක්‍ෂාව තර කිරීමට ද ආරක්‍ෂක අංශ පියවර ගෙන ඇත.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් හෙළිකරගෙන ඇති තොරතුරු අනුව එම හිටපු කොටි සාමාජිකයාට මේ සඳහා උපදෙස් දී ඇත්තේ ප්‍රංශයේ සිටින මානි අරසන් නමැත්තෙකි. මෙසේ බෝම්බයක් නිෂ්පාදනය කරන අතරතුරදී මියගිය මෙනන් නමැත්තා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු බුද්ධි අංශ සාමාජිකයකු මෙන්ම පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ විශේෂඥයකු බව ද අනාවරණය වී තිබේ.

ඔහු රජයේ පුනරුත්ථාපන වැඩසටහනටද සහභාගී වී ඇතැයි වාර්තා වේ.

මෙනන්ගේ පෙම්වතිය ගුරුවරියක වන අතර ඇය ද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පොලිස් අංශයේ සේවය කර ඇති බව මේ වනවිට කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇය සහ තවත් සැකකරුවකු ද රැඳවුම් භාරයට ගෙන ඇත. මෙනන් නමැත්තාට මෝටර් රථ දෙකක් ඇති බවත්, ජනතාව ගැවැසෙන ප්‍රධාන ස්ථාන දෙකක බෝම්බ සවි කරන්නැයි ඔහුට උපදෙස් ලැබී ඇති බවත් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

මේ සඳහා ඔහුට ප්‍රංශයේ සිටින මානී අරසන් නමැත්තාගෙන් මුදල් ද ලැබී ඇති බවට පොලිසීය සැක කරයි.

මෙනන් සාදමින් සිටි බෝම්බය පිපිරී යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. උතුරේ ජනතාව බියවද්දා උතුරු ජනතාව ඡන්ද පොළට යෑම වැළැක්වීමේ අරමුණින් මෙවැන්නක් සිදුකර ඇති බවට තොරතුරු ලැබීමත් සමඟ යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ වදින ප්‍රධාන අපේක්ෂකයකු මෙන්ම දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබා දී ඇත.

ඔහුගේ ආරක්ෂාවට යතුරුපැදි පහක් සමඟ පරිවාර ආරක්ෂාවක් ලබාදී ඇති බව ද වාර්තා වේ.

පොලිසිය සහ ආරක්ෂක අංශ එක්ව මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ තැනින් තැන මාර්ග බාධක යොදමින් මැතිවරණ ව්‍යාපාරයට බාධා එල්ල වන ආකාරයේ සිදුවීම් නැවැත්වීමට පියවර ගනිමින් සිටින අතර ඊට යුද හමුදාවේ සහාය ද ලැබී ඇත.



පෙබරවාරි විදුලි බිලට සමාන මුදලක් කොරෝනා මාසවලටත් ගෙවන්න - අගමැති යෝජනා කරයි


පෙබරවාරි විදුලි බිලට සමාන මුදලක් කොරෝනා වසංගතය පැවැති මාසවලටද  ගෙවන ලෙස තමන් යෝජනා කළ බව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහනුවරදී පෙරේදා (11) පැවැසීය. 

විශේෂයෙන්ම කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් විදුලි පාරිභෝගිකයන්ට සහනයක් සැලැසීම කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට පවරා ඇති බවත් එහිදී එක්කෙනකු විදුලි බිලෙන් සියයට 25ක් අඩු කිරීමටත් තවත් කෙනකු සියයට 30ක් අඩු කිරීමටත් යෝජනා කළ බවත් රාජපක්ෂ මහතා කීය. 

පෙබරවාරි මාසයේ කොරෝනා ව්‍යසනය නොතිබුණු නිසා ඒ මාසයේ ගෙවපු මුදල මාර්තු, අප්‍රේල් හා මැයි මාසවලටත් ගෙවන්න යයි තමා යෝජනා කළ බවත් වැඩිපුර සඳහන් මුදල ජනතාවට තියා ගන්න යැයි යෝජනා කළ බවත් කීවේය.

තවද මාසික විදුලි බිල 5,000ක් බව ද මෙවර එය රුපියල් 4,000කින් වැඩි වී රුපියල් 9,000ක් වී තිබෙන බව ද පාරිභෝගිකයකු පැවැසු අවස්ථාවේ ඔහුට 4,000 ළඟ තබාගෙන වෙනදා ගෙවන 5,000 ගෙවන ලෙසට තමා උපදෙස් දුන් බව ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. 

අගමැතිවරයා මේ බව සඳහන් කළේ මාතර නූපේ නගරයේදී පෙරේදා පැවැති පොදුජන පෙරමුණේ ජන හමුවකට සහභාගී වෙමිනි.

අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, කාංචන විජේසේකර යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ.

- ක්‍රිෂාන් ජීවක ජයරුක් -