Showing posts with label sportsg5. Show all posts
Showing posts with label sportsg5. Show all posts

Tuesday, February 23, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයට ටොම් මූඩි පත්වන ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරය සඳහා ඔස්ට්‍රේයානු ජාතික ටොම් මූඩි පත් කිරීමට බොහෝ ඉඩ ඇති බව වාර්තා වේ. තුන් අවුරුදු කොන්ත්‍රාත්තුවක් සඳහා සහ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු අංශ අධීක්ෂණයට ඔහු සමග සාකච්ඡා සිදුකරමින් සිටින බව හෙළිවේ.මෙම ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුර ක්‍රීඩා අමාත්‍යවරයා සහ වත්මන් ක්‍රිකට් බලධාර්න් අතර සිදුකෙරුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස අලුතින් පිහිටුවීමට යෝජිත තනතුරකි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ සියලු කරුණු නව ක්‍රිකට් අධ්‍යක්ෂවරයා යටතේ සිදු කිර්මට නියමිතය.මෙම පත්වීම තුළින් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ, එංගලන්තයේ සහ ඉන්දියාවේ ක්‍රිකට් ව්‍යුහයන් තුළ ක්‍රියාකාරීව දායක වන මූඩිගේ අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ලබා ගැනීමට අපේක්ෂා කරයි. එමෙන්ම නවීන තාක්‍ෂණික දියුණුව සහ ක්‍රීඩාවේ යාවත්කාලීනතා උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිර්මටද මෙමගින් අපේක්ෂා කෙරේ."ටොම් මූඩි වෙනස් මතයක් ඇති ස්වාධීන පුද්ගලයෙක් ලෙස හඳුන්වාදෙන්න පුළුවන්. එමෙන්ම ඔහු ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වී ඔවුන්ගේ ව්‍යුහය අවබෝධ කරගත් අයෙක්. ඒ වගේම අයි.පී.එල්. තරගාවලියට සම්බන්ධ වූ පුද්ගලයෙක්. අනෙක් පැත්තෙන් ඔහු එංගලන්තය වුෂ්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමග සම්බන්ධ වී ඇති අතර ඒවායේ ව්‍යුහය අවබෝධ කරගත් පුද්ගලයෙක් ලෙස හඳුනන්න පුළුවනි.මීට අමතරව ඔහු කැරිබියානු ප්‍රිමියර් ලීග් සමග සම්බන්ධ වීම ඇතුළු ක්‍රිකට් සම්බන්ධයෙන් අත්දැකීම් රාශියක් ඇති පුද්ගලයෙක්. ඒ නිසා ඔහුගේ සහාය ලබාගැනීම මේ අවස්ථාවේ සිදුකළ යුතුයි" යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසයි. මූඩි 2005 සිට 2007 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වඩාත් කැපී පෙනෙන සේවයක් කළ අතර, 2007 වසරේදී ශ්‍රී ලංකාව ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා රැගෙන ගිය පුහුණුකරුවෙකි. ටොම් මූඩි මේ වනවිට අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.

 (සුරේෂ් දේශාන්)

Wednesday, February 12, 2020

ක්‍රීඩා වල වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය වැඩ අරඹයි


ක්‍රීඩා වැරදි විශේෂ විමර්ශන ඒකකය සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරී භූමියේ පිහිටි කාර්යාල පරිශ්‍රයේදී ඊයේ (11දා) විවෘත කෙරිණි. 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ වන වරදක් සම්බන්ධයෙන් විමර්ශන බලතල සහිත විශේෂ විමර්ශන ඒකකය ලෙස මෙය ක්‍රියාත්මක වේ.

මෙහි ක්‍රීඩා වැරැදි විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ නැතහොත් ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.ඒ.ජේ.එච්. ෆොන්සේකා මහතා කටයුතු කරන අතර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස පොලිස් අධිකාරී එස්. එම්.ජේ. සමරනායක මහතා කටයුතු කරයි. මීට අමතරව මෙහි කටයුතු ඉතා විධිමත් ලෙස සිදුකිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සහායක නිලධාරින් පිරිසක්ද සේවයේ යොදවා ඇත.

මෙම පනත යටතේ මූලිකවම ක්‍රීඩාවලට එරෙහි වැරැදි හතරක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ලැබී ඇත. ඒ අනුව ක්‍රීඩාවල තරඟ පාවාදීම, දූෂණය, නීතිවිරෝධී මෙහෙයවීම සහ නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීම එම වැරදි වේ. මෙම වැරදි සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීම හා පැහැර හැරීම, අදාළ විමර්ශනයක් සම්බන්ධයෙන් සහයෝගය දැක්වීම ආදිය පැහැර හැරීම, සේවා සපයන්නෙකු විසින් රහස්‍යභාවය ආරක්ෂා කිරීම පැහැර හැරීම සහ සාවද්‍ය චෝදනා එල්ල කිරීම මෙම පනත යටතේ පවතී.

මෙවැනි වරදක් සිදුකිරීමට ආධාර දෙන, අනුබල දෙන, ඊට තැත් කරන, කුමන්ත්‍රණ කරන හෝ යම් වරදක් සිදුකිරීමට යම් ක්‍රීඩාවකට සම්බන්ධ තැනැත්තෙකු වෙත ප්‍රවේශ වන, පොලඹවන, බලපෑම් කරන හෝ ඒ තැනැත්තෙකුට හැකියාව ඇති කරන හෝ පහසුකම් සැලසීමද වරදකි. 

එමෙන්ම මෙම පනතේ 04 වැන්නේ සිට 08 වැන්න දක්වා වගන්තිවල නිශ්චිතව දක්වා ඇති වරදක් සිදුකරන යම් තැනැත්තෙකු වරදකරු කරනු ලැබීමේදී, රුපියල් මිලියන සියයකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු දහයක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකටම හෝ යටත් විය යුතුය.

උක්ත වැරැදි සම්බන්ධයෙන් පැමිණිලි හා තොරතුරු ලිඛිතව, පැමිණීමෙන් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමයකින් ලේකම්වරයා, ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා හෝ මෙම පනත යටතේ පිහිටුවන ලද විශේෂ විමර්ශන ඒකකය වෙත හෙළිදරව් කිරීමේ හැකියාව ඇත. මීට අමතරව මෙම විශේෂ විමර්ශන ඒකකය වෙත ලැබෙන සියලු හෙළිදරව් කිරීම් හා පැමිණිලි සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධි විධාන යටතේ විමර්ශනය කොට නඩු පැවරීමේ කාර්යය සඳහා නීතිපතිවරයා වෙත යොමුකරනු ඇත.

එසේම අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට හෙළිදරව් වන අවස්ථාවක නඩු පැවරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාවට අදාළ විමර්ශන වාර්තාව යොමු කිරීම සිදු කෙරේ. මෙම ඒකකය වෙත සුවිශේෂී බලතල රැසක් පනත මගින් පැවරී ඇති අතර, යම් වරදක් අනාවරණය කර ගැනීමටද, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමටද ඉවහල් වන තොරතුරු සපයන තැනැත්තන්ට ත්‍යාග පිරිනැමීමේ කාර්යය සඳහා ත්‍යාග අරමුදලක් පිහිටුවීමේ කටයුතුද සිදුකරමින් ඇත.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී. එස්. රුවන්චන්ද්‍ර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල, ක්‍රීඩාවල වැරැදි වැළැක්වීමේ විශේෂ ඒකකයේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.ඒ.ජේ. එච්. ෆොන්සේකා, එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී එස්.එම්.ජේ. සමරනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.