Showing posts with label international G6. Show all posts
Showing posts with label international G6. Show all posts

Wednesday, July 22, 2020

''අප්‍රිකානු කලාපයේ කොරෝනා අවදානම ඉතාමත් බැරෑරුම්''ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

අප්‍රිකානු කලාපය තුළ COVID-19 වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන්, එම රටවල සෞඛ්‍යා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා හදිසි උපකාර අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහන් විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් අනතුරු අඟවයි.

ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වෛද්‍ය මයික් රයන් මෙම අදහස් පළ කළේය. ඔහු සඳහන් කරන්නේ කලාපයේ රටවල් කිහිපයක ආසාදිතයන් සංඛ්‍යාව තවමත් අඩු මට්ටමක පැවතුණද, පසුගිය සතියේදී ආසාදිතයන් වැඩිවීමේ වේගය ඉතා ඉහළ මට්ටමක පැවැති බවය.

"අප්‍රිකානු කලාපය තුළ වසංගතය වේගවත් වීමක් දක්නට ලැබීම ගැන මා දැන් ඉතා සැලකිලිමත් වෙනවා"වෛද්‍ය රයන් පැවසීය. "අප සියලු දෙනා එය ඉතා බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුයි. මේ මොහොතේ සිද්ධීන් ඉහළ යමින්, වැඩි ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවක් අත්විඳිය හැකි රටවලට සහයෝගය දැක්විය යුතුයි. මොකද ඒ රටවල් බොහෝමයක් පවතින්නේ අස්ථාවරත්වය හා ගැටුම් මධ්‍යයේයි."

"ඒ වගේම දකුණු අප්‍රිකාව ඉතා දරුණු අවස්ථාවකට මුහුණ දී සිටිනවා. තවදුරටත් ආධාර සැපයීම සඳහා හදිසි පියවර නොගතහොත්, අප්‍රිකානු මහාද්වීපයට මුහුණදිය හැකි දේ පිළිබඳ සලකුණක් ලෙස එය මා දකිනවා.” වෛද්‍ය රයන් සඳහන් කළේය.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරනලද දත්තවලට අනුව දකුණු අප්‍රිකාව මේ වනවිට ලෝකයේ වැඩිම COVID19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර පස් වැනි තැනට පත්ව තිබේ. ගෙවීගිය සතියේ දකුණු අප්‍රිකාවේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 30%කින් පමණ ඉහළ ගොස් ඇත.

"දකුණු අප්‍රිකාව අවාසනාවකට  මේ ව්‍යසනයේ පූර්වගාමියා වීමට පුළුවන්" වෛද්‍ය රයන් පැවසීය. "එය අප්‍රිකාවේ සෙසු ප්‍රදේශවල කුමක් සිදුවේද යන්න පිළිබඳ අනතුරු ඇඟවීමක් විය හැකියි."

"සමහරවිට මේ වසංගතය ඉතා ඉක්මනින් පැතිර යාවී. සමහර විට වෙනත් අවස්ථාවලදී මෙන් එය ඉතා සෙමෙන් ගමන් කර, පසුව  වේගවත් වීමට පුළුවන්. එය එසේ වන්නේ මන්දැයි සම්පුර්ණයෙන්
තේරුම් ගැනීම අපහසුයි." කලාපයේ අනෙකුත් රටවල  COVID-19 ඉහළ ගොස් ඇති බවද වෛද්‍ය රයන් සඳහන් කළත්, ඒවායේ මුළු සිද්ධි ගණන දකුණු අප්‍රිකාවට වඩා අඩු මට්ටමක පවතින බවද සඳහන් කළේය. පසුගිය සතියේ මැඩගස්කරය, නැමීබියාව සහ බොට්ස්වානා ආදී රටවල ආසාදිතයන්ගේ පිළිවෙළින් 50%ක, 69%ක සහ 66%ක ඉහළ යෑමක් පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය.

දකුණු අප්‍රිකාව තුළ ඊයේ (21දා) සන්ධ්‍යව වනවිට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 373,628ක්  සහ මරණ 5,173ක් ලෙස ෆේස් හොකිස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කළ අතර, අප්‍රිකානු කලාපයේ වසංගත බරින් 61%ක්ම දකුණු අප්‍රිකාව විසින් දරනු ලැබේ.

Tuesday, June 23, 2020

ට්‍රම්ප්ගේ 'කුංග් ෆ්ලු' කතාවට චීනය දැඩිව ප්‍රතිචාර දක්වයි.


ඕනම රටකට අපකීර්තියක් ඇති කිරීම සඳහා නව කොරෝනා වෛරසයේ මූලාරම්භය භාවිත කිරීමට උත්සාහ කරන්න ඕනැම වචන හෝ ක්‍රියාවකට චීනය තදින්ම විරුද්ධ බව චීනය අවධාරණය කරයි.

 එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා පැවති මැතිවරණ ප්‍රචාරක COVID-19 වසංගතය 'කුංග් ෆූ" (කුංග් උණ) ලෙස හැදින්වීම චීනයේ මෙම දැඩි ප්‍රතිචාරයට හේතු විය. ට්‍රමිප් මීට පෙර වෛරසය "චයිනීස් වෛරස්" ලෙස හඳුන්වා තිබුණි.

 ට්‍රම්ප්ගේ ප්‍රකාශය පිළිබඳ පැනයකට පිළිතුරු දෙමින් චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පැවසුවේ, "ඕනෑම රටකට අපකීර්තියක් ඇති කිරීම සඳහා නව කොරෝනාෙ වෛරසයේ මූලාරම්භය භාවිත කිරීමට උත්සාහ කරන ඕනෑම වචන හෝ ක්‍රියාවකට චීනය තදින්ම විරුද්ධ වෙනවා" යනුවෙනි.

 ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාවද ඕනෑම විශේෂිත රටකට හෝ කලාපයකට වෛරසය සම්බන්ධ කිරීමට පැහැදිලිවම විරුද්ධ බවද ෂාඕ වැඩිදුරටත් සඳහන් කළේය.

Monday, June 22, 2020

'කොරෝනා දෙවැනි උච්චතම අවස්ථාවකට ලොව බොහෝ රටවල් මුහුණ දෙමින් සිටී' ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

COVID-I9 වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, තවමත් ඒ මාක්කික බවත්,බොහෝ මිනිසුන් මේ වනවිටත් ඊට ගොදුරු වෙමින් සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස්  අද්නාමි ගෙබ්‍රෙයිසස් පවසයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ අදහස් දක්වා සිටියේ පසුගියදා ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. "ලෝකය නව හා භයානක අවධියක පවතිනවා. බොහෝ අයට තවදුරටත් නිවසට වී සිටීම දැන් එපා වී ඇති බව තේරුම් ගැනීමට පුළුවන්. ඒ නිසා රටවල් තම සමාජ හා ආර්ථිකයන් විවෘත කිරීමට උනන්දු වෙනවා.  නමුත් වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. තවමත් එය මාරාන්තිකයි. බොහෝ මිනිසුන් මේ වනවිටත් ගොදුරු වෙනවා" ටෙඩ්‍රොස් අනතුරු ඇඟවූයේය.

මේ දක්වා දෛනිකව වැඩිම ආසාදිත පිරිස පසුගිය සතියේ වාර්තා වූ බවත්, එම ආසාදිතයන්ගෙන් අඩක් පමණ
ඇමරිකානු කලාපයෙන් වාර්තා වු අතර, විශාල සංඛ්‍යාවක් දකුණු ආසියාවෙන් හා මැදපෙරදිගින්ද වාර්තා වූ බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේය.  මෙහිදී අදහස් දැක්වූ ලෝක | සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක  අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් සඳහන් කළේ, COVID-19 දෙවැනි උච්චතම අවස්ථාව (දෙවැනි උපරිමය), දෙවැනි රැල්ලකට වඩා වෙනස් සංකල්පයක් වන අතර, බොහෝ රටවල් දැන් මුහුණදී සිටින්නේ එවැනි තත්ත්වයකට බවය.

කෙසේ වෙතත් COVID-19  හෙවත්  නව කොරෝනා වෛරසයේ  දෙවැනි රැල්ලක් හෝ දෙවැනි උච්චතම අවස්ථාවක් වර්ගීකරණය කිර්ම සඳහා නිශ්චිත අර්ථ දැක්වීමක් නොමැති බව පෙන්වා දුන් වෛද්‍ය රයන්, මෙම අවස්ථා දෙක අතර පවතින වෙනස්කම් හෙතෙම පැහැදිලි කළේය. 

නමුත් දෙවැනි උච්චතම අවස්ථාව (දෙවැනි උපරිමය) වෙනම සංකල්පයක් බවත්, බොහෝ රටවල් දැන් මුහුණදී සිටින්නේ ඊට බවත් රයන් පැවසීය.  "ඔවුන් පළමු රැල්ලේ උච්චතම අවස්ථාව පසුකර ගිහින්. නමුත්  ඔවුන් රෝගය තවම අඩුකර නැහැ. ඔවුන් ස්ථාවර තත්ත්වයක සිටිමින් රෝග අඩු කිරීමට ඉතා වෙහෙකාර පරිශ්‍රමයක් දරනවා. මේ අවස්ථාවේදී දෙවැනි උපරිමයක් ලැබෙනවා. දෙවැනි උපරිමයේදී ප්‍රජා ආශ්‍රිතව වෛරසය සම්ප්‍රේෂණය වීම තවමත් සිදුවෙනවා.” රයන් සඳහන් කළේය.

"ඔබේ පළමු ආසාදිත රැල්ල තුළ ඔබට දෙවැනි උච්චතම අවස්ථාවක් තිබීමට පුළුවන්. දෙවැනි උච්චතම අවස්ථාව රඳා පවතින්නේ මේ මොහොතේ රෝගය පාලනය කිරීම කොතරම් හොඳද, කොතරම් ශක්තිමත්ද සහ ඵලදායීද යන්න මතයි. ඔබ දෙවැනි උච්චතම අවස්ථාව අත්විඳීමට පටන් ගැන්ගෙන්නේ නම්, එම රෝගය පැතිරීමේ සම්භාවිතාව වන්නේ ඔබට ඒ පීළිබඳ පුර්ණ පාලනයක් නොලැබෙන අයුරිනුයි” රයන් පැවසීය. 

 ඇතැම් විට රටවල් COVID-19 පරීක්ෂාව හොඳින් සිදුකරන විට, ඔවුන්ගේ ආසාදිතයන් ගණන්නේ බොහෝ විට ඉහළ යන බව පැවසු වෛද්‍ය රයන්, මෙය දෙවැනි රැල්ලක හෝ උච්චතම අවස්ථාවක කොටසක් දැයි මැන බැලීම සඳහා මෙම සලකුණු සොයා බලන ලෙස සඳහන් කළේය.

"රෝහල් ගතවීම් සහ මරණ වැනි දේවල් දෙස බැලීම මේ අවස්ථාවේදී ඉතා වැදගත්. එනම් පරීක්ෂා කිරීම් නොමැතිව රෝහල්ගත වීම ඉහළ යන බව ඔබ දැකීමට පටන් ගන්නේ නම් වැඩි අවධානයක් යොමුකළ යුතුයි." එසේම සම්ප්‍රේෂණය ඉතා අඩු ස්ථානවල පොකුරු ගැන රටවල්
විමසිල්ලෙන් සිටිය යුතු  බවද වෛද්‍ය රයන් කියා සිටියේය.

(නරේන් විශ්වජිත්)

Tuesday, June 9, 2020

ඩොලර් බිලියනයේ කඩඉම පැන්න රොනාල්ඩෝ

ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රීඩාවෙන් ඉහළට යන්නන්ගේ ප්‍රමාණය ලෝකයට සාපේක්ෂව අවම වේ. ඔවුන් අතරිනුත් ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් හැරෙන්නට අනෙක් ක්‍රීඩාවලින් මුදල්හදල් යහමින් උපයා ගන්නන් සොයාගත නොහැක. නමුත් ලෝකයේ තත්ත්වය ඊට වඩා වෙනස් වේ. ශ්‍රී ලංකාවේ දුප්පතාගේ ක්‍රීඩාව වන පාපන්දු ලෝකයට විහිදී යනුයේ මුදල් ආකරයක් මවන ධනවතුන්ගේ ක්‍රීඩාවක් බවට පරිවර්තනය වෙමිනි.

එය මොනවට පැහැදිලි කරමින් පාපන්දු ක්‍රීඩාවේ වත්මන් රජකු ලෙසින් හැඳින්වෙන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගියදා සිය දිවියේ තවත් කඩඉමක් පසු කිරීමට සමත්විය. ඒ ක්‍රීඩාවෙන් නොව සිය ආර්ථික තත්වයෙනි. ඒ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්ම වූ ලොව පළමු පාපන්දු ක්‍රීඩා තරුව බවට රොනාල්ඩෝ නම් කිරීමට ඇමෙරිකානු ෆෝබ්ස් සඟරාව පියවර ගැනීමත් සමගිනි.

රොනාල්ඩෝට පළමුව මෙම කඩඉම පසුකිරීමට සමස්ත ක්‍රීඩා ක්ෂේතයේම සමත්වී තිබුණේ දෙදෙනෙකු පමණකි. ඒ ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් හා වෘත්තීය බොක්සිං ක්‍රීඩක ෆ්ලොයිඩ් මේ වෙදර්ය. ඔවුන් දෙදෙනාම ඇමෙරිකානු ජාතිකයන් වීම විශේෂත්වයකි. එමෙන්ම කණ්ඩායම් ක්‍රීඩාවක් නියෝජනය කරමින් මෙම කඩඉම පසුකළ පළමු ක්‍රීඩකයා ලෙසින්ද රොනාඩෝ ඉතිහාසගත විය.

 මේ වනවිට සිය තරුණ වියෙහි අවසන් කාලයට පැමිණ සිටින රොනාල්ඩෝ මුදල් ඉපයීම අතිනුත් තවමත් පසුවන්නේ තරුණ වියේ බව විචාරක මතයයි. ඉතාලියේ ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කරන රොනාල්ඩෝ තවමත් පාපන්දු පිටියේ ඉහළම ඉල්ලුමක් ඇති ක්‍රීඩකයන් අතරින් කෙනෙකු වන අතර, ඔහුගේ වත්මන් වෙළෙඳ පොළ (Transfer market) ඉල්ලුම යුරෝ මිලියන 60 (රු. බි.12.5) ක් වේ. අනෙක් අතින් රොනාල්ඩෝගේ සමස්ත ඉපයුම්වලින් ඇ.ඩො. මිලියන 650 (රු.බි. 120)ක්ම පාපන්දු ක්‍රීඩාවෙන් උපයාගත් ඒවා වේ.

කෙසේ වෙතත් පිටියෙන් එහා ඉතා හොඳ ක‍්‍රීඩා සන්නාමයක් බවට පත්වී තිබෙන රොනාල්ඩෝ මෙම වර්ෂයේ වැඩිම ඉපයීමක් කළ තරු (celebrities) අතර සිවුවැනි ස්ථානයට පත්වී ඇත. ඒ මෙම වර්ෂය තුළ ඇ.ඩො. මිලියන 105 (රු. බි. 19. 5)ක් උපයා ගනිමිනි. එහි පෙරමුණ ඇමෙරිකානු සුපිරි නිරූපණ ශිල්පී කයිල් ජෙනර් විසින් ඇ.ඩො. මිලියන 590 (රු. බි. 109) උපයා ගනිමින් හිමි කරගෙන ඇති අතර, ඇමෙරිකානු රැප් ගායක කාන්යේ වෙස්ට් විසින් ඇ.ඩො. මිලියන 170 (රු. බි. 31. 5) හිමිකර ගනිද්දී, ස්විට්සර්ලන්ත ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් විසින් ඇ.ඩො. මිලියන 106.3 (රු. බි.19.7) උපයා ගනිමින් එහි තෙවැනි ස්ථානය හිමි කරගෙන තිබේ.

මේ අතර පාපන්දු පිටියේ රජ කිරුළට රොනාල්ඩෝ සමගින් සැමදාම තරග කරන ආජන්ටිනාවේ ලයනල් මෙසීට මෙම ලැයිස්තුවේ සිවුවැනි ස්ථානය හිමිවී ඇත. පසුගිය වසරේදී ඇ.ඩො. මිලියන 104ක් උපයාගත් මෙසීගේ සමස්ත ආදායම දැක්වෙනුයේ ඇ.ඩො. මිලියන 605ක් (රු.බි.192 ලෙසිනි.

කෙසේ වෙතත් 'කෝවිඩ්-19'වසංගතය හේතුවෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ ආර්ථිකයට කන කොකා හැඬූ මෙම වසරේදී රොනාල්ඩෝන්ගේ ආදායමටද එය බෙහෙවින් බලපා තිබේ. විශේෂයෙන් යුරෝපානු පාපන්දු ලීගයන්හි ක්‍රීඩකයන් රාශියකගේ වැටුප් කප්පාදුවද එයට බලපා ඇත.

නමුත් එය සිය සාක්කුවට' බරක් කර නොගත් රොනාඩෝ පිටියෙන් පිටත සිය ඉපයීම් ශක්තිමත් කරගනිමින් ඩොලර් බිලියනයේ කඩඉම තරණය කිරීමට සමත්වී තිබීම විශේෂත්වයකි.

(ඕෂිත වරකාපිටිය)

Friday, May 29, 2020

අවුරුදු 2ට අඩු දරුවන්ට මුඛ ආවරණ පැලඳීමෙන් වළකින්න.

හුස්ම හිරවීමේ අවදානමක් ඇති බැවින් වයස අවුරුදු 2ට අඩු දරුවන්, ළදරුවන්ට හා ළමයින්ට මුහුණු ආවරණ පැලඳීමෙන් වැළකිය යුතු බවත්, වයස අවුරුදු 3 සිට 5 දක්වා පෙරපාසල් දරුවන්ට මුහුණු ආවරණ පැලදීමේ සංකල්පය ඉගැන්විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා පෙරපාසල්වලට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ගේ සඳහන් වේ.

ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරිය විසින් ඉහළ අවදාද මක් සහිත ප්‍රදේශ බවට තහවුරු කළ ප්‍රදේශ තුළදිවා සුරැකුම් මධ්‍යස්ථාන හා පෙරපාසල් ක්‍රියාත්මක නොවිය යුතු බවත්, එම දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා පෙරපාසල් කළමනාකාරිත්වය මගින් අමාත්‍යාංශය විසින් ලබාදී ඇති මාගෝපදේශ අනුගමනය කරන බවට සහතික කර පළාත් පාලන ආයතනයට හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිර්ම අනිවාර්ය බවත් එහි සඳහන් වේ.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි යම් රෝගී තත්වයක් ඇති දරුවන් පෙරපාසල්වලට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත නොඑවීමට දෙමාපියන් වගබලා ගත යුතු බවත්, පෙරපාසල හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානය තුළදී එවැනි යම් රෝගී තත්ත්වයක් මතු වුවහොත් එම දරුවන් වෙන් කර තැබීම සඳහා යහනක් සහිත ස්ථානයක් පැවතිය යුතු බවත් ඇතුළු සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මාලාවක් අමාත්‍යාංශය  මඟින් කළමනාකාරීත්වයට, ගුරුවරුන්ට හා දෙමාපියන්ට ලබා දී තිබේ.

(නවෝද්‍යා පවනි)