Showing posts with label LOCAL G 7. Show all posts
Showing posts with label LOCAL G 7. Show all posts

Wednesday, July 12, 2023

පඬු කරඳ ගස ඉවත් කළේ කැබිනට් අනුමැතියෙන්



පඬු කරඳ ගස ඉවත් කිරීම කැබිනට් අනුමැතියෙන් යුතුව සිදු කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ අධිවේගී මාර්ගවල කටයුතු අවසන් කිරීම වෙනුවෙන් කරන ලද පුළුල් අධ්‍යයනයකින් පසු එම ව්‍යාපෘතිය අවට වසර 40ට වැඩි පඬු කරඳ ගස් 15ක් ඇති බවට අනාවරණය වූ බවත්, උස අඩි 12යි 15යි අතර ගස් 25ක් ඇති බවත්ය. 

මෙම ගස වෙනුවට තවත් ගස් 200ක් රෝපණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

අවශ්‍ය අයෙකු වේ නම් එම ගස් බැලීම සඳහා ව්‍යාපෘතිය භාර නිලධාරී න්  සමග යා හැකි බවද ඔහු පැවසුවේය. මෙම ගස සම්බන්ධයෙන් ඇති කර ඇති මතය බොරුවක්, මිථ්‍යාවක් බවත්, මෙම ගස් අවශ්‍ය නම් ඕනෑ තරම් ප්‍රමාණයක්  සකසා දිය හැකි බවත් උද්භිද විද්‍යාඥයන් සඳහන් කළ බව ඔහු කීවේය.

 බිලියන 15ක් පාඩු විඳිමින් මෙම ගස ආරක්ෂා කළ යුතුද යන්න සැලකිල්ලට ගනිමින් ජාතික උවමනාවක් වෙනුවෙන් ගස කැපීමට අනුමැතිය ලබාදුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.‍


                                                                                                            නවෝද්‍යා පවනි

Tuesday, July 11, 2023

ජපන් ගිය තරුණිය 'නටවන්න' හැදූ 'සිවුරක් දැරූ' තරුණයෙක් අත්අඩංගුවට

ජපානයේ පාසලක ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික තරුණියකගේ නිරුවත් ඡායාරූප මුහුණුපොත සහ අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර, ඇයගේ රුපියල් පනස් දහසක මුදලක් බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කළේ යැයි කියන තරුණයෙක් කොළඹ පිටකොටුව ප්‍රදේශයේදී පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගැනුණ සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි, කලක් මහණ වී සිටි 27 හැවිරිදි අයකු බව පොලීසිය කියයි. අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි තරුණියක ජපානයේ පාසලක ඉගෙනුම ලැබීමට යැවීමට කලින්මෙරට සිටියදී මුහුණුපොත ඔස්සේ තරුණයකු හඳුනාගෙන, ඔහු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කියයි. මුහුණුපොතෙන් හඳුනාගත් මෙම තරුණිය හෝටල් කාමරයකට කැඳවාගෙන ගිය අවස්ථාවක ඇයගේ නිරුවත් ඡායාරූප තරුණයා විසින් සිය ජංගම දුරකතනයෙන් ලබාගෙන ඇතැයි ද අනාවරණය වී තිබේ.

පැවිදි දිවියක් ගත කරන වකවානුවේ සිවුර වෙනුවට සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන ලබාගත් ඡායාරූපයක් මුහුණුපොතේ පළ කර, ගිහි නමකින් එය පළ කර ඇතැයි පැවැසේ.

තරුණිය ශිෂ්‍ය වීසා මත ජපානයේ පාසලක ඉගෙනුම ලැබීමට යාමත් සමග මෙම ප්‍රේම සම්බන්ධතාව නතර කර ඇති අතර, තමා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත්තේ භික්ෂුවක සමග බව ද ඇය දැන සිට නොමැත.

ප්‍රේම සම්බන්ධතාව නතර කළ නිසා ඇති වූ කලකිරීම මත ගිහි ගෙය අතහැර ගොස්, මහණ වූ බව පවසා, සැකකරු සිවුරු ඇඳගෙන සිටින ඡායාරූපයක් ජපානයේ ඉගෙන ගැනීමට ගිය තරුණියගේ ජංගම දුරකතනයට යවා තිබී ඇතැයි ද එම පොලිස් නිලධාරියා කීය.

මෙම තරුණිය ජපානයේ සිටින අතරවාරයේ ද ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට සහ මුහුණුපොතට එක්කර ප්‍රසිද්ධ කරන බව පවසා, රුපියල් 75,000ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන ඇතැයි පොලීසිය කියයි. 

කෙටි නිවාඩුවක් ගත කිරීමට තරුණිය පැමිණ සිටියදී සැකකරු රුපියල් පනස් දහසක මුදලක් ඉල්ලා, තර්ජනය කිරීම නිසා ඇය පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට ගොස් පැමිණිලි කර තිබිණි.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන දිසා බාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ විශේෂ උපදෙස් මත, සැකකරු කොටු කරගැනීමේ මෙහෙයුමක් එම කාර්යාංශයේ ස්ථානාධිපති සමන්ති රේණුකා මහත්මිය විසින් ක්‍රියාත්මක කරනු ලදුව තරුණියගෙන් රුපියල් පනස් දහසක මුදලක් ලබාගැනීමට පිටකොටුව ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු ඒ වන විට සිවුර අතහැර ගොස්, කුලී වැඩ කර ජීවිකාව ගෙන ගොස් සිට ඇතැයි කියති.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ, පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ විශේෂ උපදෙස් මත, කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයුම යටතේ, එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ති රේණුකා මහත්මියගේ ප්‍රධානත්වයෙන්, උප පොලිස් පරීක්‍ෂක චතුරංග හෙට්ටිආරච්චි, පොලිස් සැරයන් අජන්ත (18982), පොලිස් සැරයන් සඳරුවන් (74507) සහ පොලිස් සැරයන් බණ්ඩාර (70507) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යති.


                                                                                                  ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

විනය විරෝධී භික්ෂූන්ට පියවර ගන්න සංඝාධිකරණ පනත් කෙටුම්පත බලාත්මක කරන්න

විනය විරෝධී ක්‍රියාවල යෙදෙන භික්‍ෂූන්ට එරෙහිව පියවර ගැනීමට සංඝාධිකරණ පනත් කෙටුම්පත වහාම බලාත්මක කළ යුතු බවත් එවැනි සිද්ධි යොදාගනිමින් බුද්ධ ශාසනයට එරෙහිව කටයුතු කරන කණ්ඩායම්වලට එරෙහිව පියවර ගතයුතු බවත් අමරපුර මූලවංශික නිකායේ ලේඛකාධිකාරි අකුරල මංජුල තිස්ස නාහිමියෝ ප්‍රකාශ කළහ.

භික්‍ෂූන් කිහිප නමක් කරන පහත් නින්දිත ක්‍රියා උලුප්පමින් ඒවා අන්තර්ජාලයට යොමු කර පොදුවේ මහා සංඝරත්නය විනාශ කර බෞද්ධ සම්බන්ධය විනාශ කිරීමේ සංවිධාන ඇති බවත්, ඒවාට විශාල වශයෙන් මුදල් එන බවත්, නාහිමියෝ පැවසූහ.

වැරදි කරන කිසිදු භික්‍ෂුවක් ආරක්‍ෂා කරන්න කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව කී අකුරල මංජුලතිස්ස නාහිමියෝ එවැනි භික්‍ෂූන්ගේ නිකායේ නායක හිමිවරුන්ට විනය පරීක්ෂණයක් කර, නෙරපා හැරිය හැකි බව ද සඳහන් කළහ. එසේ නොවේ, නම් පොලිසියට සහ අධිකරණයට වැරැද්දේ ප්‍රමාණයට දඬුවම් කිරීමේ කිසිදු තහනමක් නොමති බවත්, මෙහිදී ප්‍රහාර එල්ල කරන්නේ පෞද්ගලික නාමයට නොව සමස්ත බෞද්ධ ආගමට බවත් උන්වහන්සේ පැවැසූහ.


Friday, July 24, 2020

උතුරු පලාතේ පාතාල කල්ලි 09ක් පමණ ක්‍රියාත්මක වේ.


උතුරු පලාතේ පාතාල කල්ලි 09ක පමණ ක්‍රියාත්මක වන බවට තොරතුරු මේ වනවිට හෙළි කරගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  ඊයේ (23) පැවසීය.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදා බුද්ධි අංශ හා පොලිස් බුද්ධි අංශ විසින් මෙම පාතාල කල්ලි 09 සහ මේවායේ නායකයන් හා සාමාජිකයන් ගැනද තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ආයුධ සන්නද්ධව ගොස් ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයින්ට, නිවාසවලට හාල් දේපොළවලට පහරදී අලාභහානි සිදු කිරීම, ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබාගැනීම සහ කොල්ලකෑම් මෙම පාතාල කල්ලි විසින් සිදු කරගෙන යන බව පොලිසිය කියයි.
සයිබර් සන්දියන් නමැති පාතාල කල්ලිය මෑතකදී බිහිවූ එකක් බවත් එම කල්ලිය ගැන කෙටි විස්තරයක් මුහුණු පොතේ පළකර තිබෙන බවත් එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
 ආයුධ සන්නද්ධව ගොස් ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයින්ට, නිවාසවලට හා දේපොළවලට පහරදී අලාභහානි සිදු කිරීම, ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබාගැනීම සහ කොල්ලකෑම් මෙම පාතාල කල්ලි විසින් සිදු කරගෙන යන බව පොලිසිය කියයි.

සයිබර් සන්දියන් නමැති පාතාල කල්ලිය මෑතකදී බිහි වූ එකක් බවත් එම කල්ලිය ගැන කෙටි විස්තරයක් මුහුණු පොතේ පළකර තිබෙන බවත් එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා ද කීය.

පාසල් සිසුවියන්ට හා තරුණියන්ට විවිධ පුද්ගලයන්ගෙන් නොයෙකුත් හිරිහැර හා අකටයුතුකම් සිදුවන අවස්ථාවල ඔවුන් සොයාගෙන ගොස් පහරදීම කිරිමට මෙම වෙනත් සමාජ විරෝධී ක්‍රියා සිදු කරන පුද්ගලයන්ට පහරදීම් සිදු කිරීමේ අරමුණින් ආවා කල්ලිය 2014 වසරේ ආරම්භ කර තිබෙන බව එම පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ආවා පාතාල කල්ලිය පසුව ව්‍යපාරිකයන් බියවද්දා කප්පම් ගැනීම් හා කොල්ලකෑම් සිදු කරන බවත් පොලිසිය පැවසීය.  ආවා නමැති පාතාල කල්ලියේ ඇතැමුන් හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරිමට ඇබ්බැහී වී සිටින බවත් ඒ සඳහා මුදල් සෙවීමේ අරමුණින් මුදල් කොන්ත්‍රාත්වලට අපරාධ කිරීම් හා කොල්ලකෑම් බහුලව සිදු කරන බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
 මෙම පාතාල කල්ලියේ මුල් නායකයන් ලෙස සැලකෙන දේවා, ප්‍රකාශ් සහ සන්තා නමැත්තන් ස්විස්ටර්ලන්තයට සහ ඉන්දියාවට පලාගොස් සිටියදී එරට පොලිසිවලට අත්අඩංගුවට පත්වී කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවී මේ වනවිට නිදහස් වී ඇති බවටද බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇතැයි පැවසේ.
සන්තා, ප්‍රකාශ් සහ දේවා යන අය එම රටවල සිට ආවා පාතාල කල්ලියට මුදල් ආධාර ලබා දෙමින් මෙහෙයවන බවටද කරුණු වාර්තා වී ඇති බව බුද්ධි අංශ නිලධාරියෙක් පැවසීය. ආවා කල්ලියේ වර්තමාන නායකයා කුමාරේෂරත්නම් විනෝදන් වශයෙන් පොලිසිය හඳුනාගෙන තිබේ.
 ආවා පාතාල කල්ලියේ සාමාජිකයකුව සිටි ධනුරොත් නමැත්තා එයින් වෙන්වී ඔහුගේ නමින් වෙනම පාතාල කල්ලියක් පටන්ගෙන ඇති බව බුද්ධි අංශ පවසයි.
ආවා කල්ලියේ වර්තමාන නායකයා කුමාරේෂරත්නම් විනෝදන් වශයෙන් පොලිසිය හඳුනාගෙන තිබේ.

ආවා පාතාල කල්ලියේ සාමාජිකයකුව සිටි ධනුරොක් නමැත්තා එයින් වෙන්වී ඔහුගේ නමින් වෙනම පාතාල කල්ලියක් පටගෙන ඇති බව බුද්ධි අංශ පවසයි.
ධනුරොක් නමැත්තා ආවා කල්ලියේ සාමාජිකයකුව සිටියදී ඔහුගේ නැගණිය සමග එම කල්ලියේ අයකු ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව කියමින් එම තරුණයාට ධනු රොක් පහරදීමෙන් පසුව දුරදිග ගිය ආරවුලක් මත ඔහු (ධනු රොක්) එමට කල්ලියෙන් ඉවත්ව යෑමට හේතුවී ඇති බවට තොරතුරු බුද්ධි අංශ හෙළිදරව් කරගෙන ඇත.
පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය උතුරේ ක්‍රියාත්මක පාතාල කල්ලි සාමාජිකයන් 50කට වැඩි පිරිසක් කඩු, කෙටෙරි හා යකඩ පොලු සහ යකඩ චේන් වැති ආයුධ රැසක්ද සමග අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ වනවිටත් එම පාතාල කල්ලිවල ක්‍රියාකාරීත්වය සෑහෙන දුරට අඩපණ කරමින් තිබෙන බවත් මේ පිළිබඳව විමසීමේදී උතුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Thursday, July 23, 2020

නිදන කාමරෙයේ කසිප්පු ස්කාගාරයක්


වේයන්ගොඩ, බලබෝව ග්‍රාමයේ කුලියට ලබාගත් නිවසක් තුළ ඉතා රහසිගතව හොර මත්පැන් (කසිප්පු) පෙරිමේ ජාවාරමක යෙදී සිටි දෙදෙනකු පෙරන ලද මත්පැන් බෝතල් 45 ක් සහ  තවත් භාණ්ඩ ගණනාවක් සමග (13) සවස අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි.  නිවසේ නිදන කාමරයක් මත්පැන් පෙරීම සඳහා අවශ්‍ය ලෙස  සකස්කර තිබූ බව ද පොලිසිය කියයි. මෙම නිවස බාහිර පුද්ගලයන්ට නොපෙනෙන ලෙස නිවස වටා පොල්අතුවලින් ආවරණය කර මත්පැන් පෙරීමේ ජාවාරම ඉතා රහසිගතව  සිදුකරගෙන ගොස් ඇති බව ද පොලිස් නිලධාරිහු පවසති.
ගෑස් සිලින්ඩරයක්, ගෑස් ලිපක්, තඹ දඟර කිහිපයක් ලීටර් 210 ප්‍රමාණයේ යකඩ බැරල් 2 ක්, ගෝඩා මිලි ලීටර් 1,80,000 ක් මෙම වැටලීමේදී නිවස තුළ තිබී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.
ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති දෙදෙනකු නිවස කුලියට ලබාගෙන ඇති බව ද වැටලීම සිදුකළ අවස්ථාවේ නිවස තුළ කාන්තාවක් සිටි බව ද, සැකකරුවන් අවුරුදු 22-35 යන වයස්වල පසුවන්නන් බව ද පොලිසිය වැඩිදුරටත් කියයි. පෙරන ලද මත්පැන් ජාඇල ප්‍රදේශයට ඉතා රහසිගතව අලෙවි කර ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබලිව්.පී. වීරසිංහ,  එහි පොලිස් පරික්ෂක අසංක සමරසිංහ, පොලිස් සැරයන්වරුන් වන (33939) ඒකනායක, (45581) බාලසූරිය, පොලිස් සැරයන් රියැදුරු (7480) බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන (70702) වීරරත්න, (2050) දුමින්ද, කාන්තා පොලිස් කොස්තාපල්  (178) රසිකා යන පොලිස් පිරිස මෙම වැටලීම සිදුකළහ.

(වතුපිටිවල එස්.යූ.ඩබිලිවි.කේ. ජයවර්ධන)

මීගමුව බන්ධනාගාර හිටපු අධිකාරීගේ පෙත්සම සලකා බැලීම අවසර


රැඳවියකුගේ පරිහරණය සඳහා ශීතකරණයක් ලබාඳුන්නැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාර හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ රීට් පෙත්සම සලකා බැලීම සඳහා මෝසමක් මගින් දිනයක් ලබා ගැනීමට ඔහුගේ නීතිඥවරයාට අභියාචනාධිකරණය ඊයේ (22) අවසර දුන්නේය.
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන  ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාර හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එච්.ඩී. නවාස් සහ සෝහිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (22) කැඳවූ අතර එහිදී අධිකරණය මෙම අවසරය දුන්නේය.
මෙම රිට් පෙත්සම ඊයේ අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර හිටපු බන්ධනාගාර අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය මහතා කරුණු  දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව කිසියම් හදිසි තත්වයක් උද්ගත වුවහොත් ඒ බව නීතිපතිවරයා වෙත දැනුම් දී මෝසමක් මාර්ගයෙන් පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් නලීමට අපේක්‍ෂා කරන බවය.
එම ඉල්ලීම ද ඉඩ දුන් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් මෝසමක් මාර්ගයෙන් නීතිපතිවරයාට ද දැනුම් දී පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ලබාගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වයේ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතාට දැනුම් දුනේය.
 මීගමුව බන්ධනාගාර හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එස්. එම්. මොහොමඩ්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුශාර උපුල්දෙණිය, නීතිපතිවරයා සහ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාර හිටපු බන්ධනාගාර අධිකාරිවරයා සිය පෙත්සමින් කියා  සිටින්නේ මීගමුව බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයට පත්කර තිබූ රැඳවියකුට ශීතකරණයක් ලබාදීමේ සිද්ධියක් මුල් කරගෙන තමන් ඉකුත් මැයි මස 27 වැනිදා කළුතර බන්ධනාගාරයටත් ඉන් අනතුරුව කොළඹට බන්ධනාගාරයටත් මාරු කිරීමට පියවර ගැනුණු බවත්, ඉන්පසුව වැඩ තහනමට ලක් කෙරුණු බවත්ය.  ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තූව තමාට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තමා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගැනීමට සුදානම් වන බවට තොරතුරු ලැබී තිබෙන බව ද පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත. බන්ධනාගාර ආඥා පනතේ 196 වන වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවකුට අවශ්‍යතාවක් මතු වූ විට ඉලෙක්ට්‍රොනික උපකරණ සපයා දීමේ නීතිමය හැකියාවක් පවතින බව පෙන්වා දෙන පෙත්සම්කාර  බන්ධනාගාර අධිකාරීවරයා ඒ අනුව ශීතකරණයක් සැකකරුවකුට ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දරන වෑයම නීතියට පටහැනි බව ද කියා

' ඒ අනුව තමන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් උපදෙස් නිකුත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත්  කරන ලෙසත්, අපරාධ  පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන  ලෙසත්, පෙත්සම්කරු සිය රිට් පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන්  ඉල්ලා සිටී.
පෙත්සම්කරු වෙනුවෙන්  ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය මහතා පෙනී සිටියේය.  නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හමුදා සෙබළකු වහළයෙන් බිමට වැටීමෙන් මරණයට

තලංගම පැලවත්ත පහළවෙල ප්‍රදේශයේ ඉදිකරන යුද හමුදාවට අයත් ගොඩනැගිල්ලක සෙවිලි තහඩු අතුරමින් සිටි හමුදා සෙබළකු එම වහළයෙන් බිමට වැටීමෙන් පෙරේදා (21) සවස සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලබා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි හලගම පොලිසිය පවසයි.
මියගිය යුද හමුදා සාමාජිකයා තව පිරිසක් සමග යුද හමුදාවට අයත් මුළුතැන්ගෙයක වහළයක් සකස් කරමින් සිටින අතරතුර මෙලෙස වහලයේ සිට අඩි 19 ක් පමණ පහළව අදවැටී හිස ප්‍රදේශය පොළවේ ගැටී තිබූ බව සිදු කළ මුලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

යුද හමුදා නිලධාරියාගේ දේහය තබා තිබු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මත ශරීරාගාරය වෙත පැමිණි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා එම දේහය
කළුබෝවිල මහ රෝහල වෙත යවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස ලබා දුන් නියෝගය  අනුව කටයුතු කිරිමට නියමිත බවද පොලිසිය පවසයි. මෙම අනතුරින් මිය ගොස් ඇති කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදංචිකරුවකු වන ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු අංශයේ විදුලි  කාර්මික ශිල්පියෙකු ලෙස රාජකාරි කල සම්පත් රණවීර නමැති හමුදා සාමාජිකයෙකි.
තලංගම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීශාන්ත අල්විස් මහතාගේ උපදෙස් පරිදි පොලිස්  කොස්තාපල් ශාන්ත මහතා පරික්ෂණ පැවැත්වීය.

(මොරගහහේන කේ. බුද්ධික කුමාරසිරී සහ මත්තේගොඩ ශාන්ත ප්‍රදිප් කුමාර කුලරත්න)

නුගේගොඩ ගුවන් පාලම අසල සැක කටයුතු ලෙස රැදී සිටි පුද්ගලයකු වන මැක්කා හසුවෙයි

 නුගේගොඩ ගුවන් පාලම අසලදී රුපියල් ලක්ෂ හතරකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් දෙසියපනහක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ඇරැවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ‘මැක්කා' නමින් හඳුන්වනු පුද්ගලයකු බව පොලිසිය කියයි..
නුගේගොඩ ගුවන් පාලම අසල සැක කටයුතු ලෙස රැදී සිටි පුද්ගලයකු පරික්ෂා කිරීමේදී ඔහු අත තිබී කේරළ ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් 250 පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
පොලිස් භාරයට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හතරකට අධික බව ද පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශනය කිරීමේ දී මීට වසර කිහිපයකට පෙර සෞදී අරාබි රාජ්‍යයේදීම මංකොල්ලකෑමක් සිදුකොට ඒ සම්බන්ධයෙන් වසර දහයක සිර දඬුවමකට ලක්ව ලංකාවට පැමිණි අයකු බවද තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය කියයි.

සැකකරුට මෙම ගංජා තොගය කිරුළපන ප්‍රදේශයේ පුද්ගලයකු ගෙන දුන් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහු. අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනය පවත්වයි. සැකකරු කලක සිට මහරගම නුගේගොඩ
ඇතුළු අවට ප්‍රදේශ රැසකට ගංජා ජාවාරම යහමින් සිදු කර ඇති පුද්ගලයකු බවද පොලිසිය කියයි. සැකකරු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ආසිරි ජයසූරිය මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරිණ පවත්වති.

(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 

Wednesday, July 22, 2020

ආගමික ස්ථානවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදුණු අපේක්ෂකයන් 5කට එරෙහිව විමර්ශන


පන්සල් ඇතුළු ආගමික ස්ථානවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදුණු අපේක්ෂකයන් පස් දෙනකුට විරුද්ධව මීමන අරඹා ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
 මෙයට අමතරව මැතිවරණ නීති කඩ කරමින් මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වූ අපේක්ෂකයන් දෙදෙනකුට විරුද්ධවද විමර්ශන අරඹා ඇතැයි මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (21) පැවැසීය.
මැතිවරණ ප්‍රචාරක රැලි සංවිධානය කිරීම, මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ සංග්‍රහයෙන්ද නිර්දේශ කර නොමැත.

මේ අතර ආගමික ස්ථානවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවීම හා විවිධ ස්ථානවල භාණ්ඩ බෙදීමේ චෝදනා සම්බන්ධයෙන් ඇතැම් අපේක්ෂකයන්ට විරුද්ධව පැමිණිලි විශාල වශයෙන් ගලා එමින් තිබෙන බව මැතිවරණ කොමිසමේ නිලධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් අපේක්ෂිකයන් කිහිප දෙනකුට අවවාද කර ඇතැයිද එම නිලධාරිහු කියති.  මැතිවරණ ප්‍රචාරණ හෝ ප්‍රවර්ධන කටයුතු සඳහා කිසිදු ආගමික ස්ථානයක් හෝ ආගමික ස්ථානයකට අයත් භූමියක්
හෝ දේපළක් භාවිත කිරීම තහනම් බව සියලු අපේක්ෂකයන්ට දැනුම් දෙමින් මැතිවරණ කොමිසම ඉකුත් ජුනි මස 3 වැනිදා දාතමින් ගැසට් පත්‍රයක්ද නිකුත් කළේය.

 (සුජිත් හේවාජුලිගේ) 

පරිසර අමාත්‍යවරයාට සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් උසාවි කැඳවයි


වෙරළ අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයන්ට දඬුවම් නියම කිරීම සඳහා නීති සම්පාදනයට නියෝග කරන ලෙසත්, ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ඇරඹූ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාරිසරික වාර්තාවක් ලබාගැනීමට නියෝග කරන ලෙසත් ඉල්ලමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම් සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයාට සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබන සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අභියාචනාධිකරණය ඊයේ (21දා) නොතීසි නිකුත් කළේය.
මහජන මුදල් රුපියල් මිලියන 110ක් පමණ වෙන් කරමින් පරිසර වාර්තාවක් හෝ නොමැතිව ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීමට
 ඇරඹු මෙම ව්‍යාපෘතිය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ
විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළහ.
වෙරළ ආශ්‍රිත පරිසරය දූෂණය. කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේන්වත්ත රංජිත් සිසිර කුමාර මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර ඇමති, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ නීතිපතිවරයා නම් කොට ඇත.
 ගල්කිස්ස වෙරළ තීරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය, පොලිතීන් ආදී අපද්‍රව්‍යවලින් අපවිත්‍ර වී ඇතැයිද, මෙම තත්ත්වය තුළ වෙරළ තීරයද පරිසර දූෂණයට ලක්ව ඇතැයිද සඳහන් කරන පෙත්සම්කරුවන් මෙම තත්වය රටෙහි අනෙකුත් වෙරළ තීරවලද දක්නට ලැබෙන බවද සඳහන් කොට ඇත.
ගල්කිස්ස වෙරළ තීරය ආශ්‍රිත මුහුදු ප්‍රදේශය ස්නානය සඳහා බොහෝ ජනතාව භාවිත කරති. මේ අතර ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයිද, ඒ අනුව වෙරළ කෘත්‍රිමව සකස් කිරීම අරඹා ඇතැයිද සඳහන් කරන පෙත්සම්කරුවෝ මෙම තත්වය තුළ වෙරළ පරිසරයම විනාශයට පත්වන බවද සඳහන් කරති.
 මහජන මුදල් රුපියල් මිලියන 110ක් පමණ වෙන් කරවාගෙන ආරම්භ කළ මෙම වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා මෙතෙක් පරිසර වාර්තාවක්
හෝ ලබාගෙන නොමැති බව පවසන පෙත්සම්කරුවෝ, මෙම තත්ත්වය තුළ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ 4(ඉ), 4 (ඊ),  14, 16 (2) 15 සහ 31 යන විධිවිධාන උල්ලංඝනය වන බවද පවසති.
එහෙයින් අදාළ වෙරළ සම්පත් කළමනාකරණ පනතේ විධිවිධාන  ක්‍රියාත්මක කිරීමට නියෝග කරන ලෙසත්, වෙරළ අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයන්ට දඬුවම් නියම කිරීමට නීති සම්පාදනය කිරීමට නියෝග කරන ලෙසත්, අදාළ ව්‍යාපෘතියට පාරිසරික වාර්තාවක් ලබා ගැනීමට නියෝග කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ නිමල් වික්‍රමසිංහ මෙනවිය සමග රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියහ.

බුද්ධිමාල් රුබේරු

Tuesday, July 21, 2020

වන අලියෙකු පහරදීමෙන් යාපනය විශ්ව විද්‍යාලය‍ෙ කථිකාචාර්යවරියට බරපතළයි.


අනුබද්ධ කිලිනොච්චිය තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරියක් පෙරේදා (19දා) බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව කිලිනොවිය පොලීසිය පැවසීය.
මෙලස තුවාල ලබා ඇත්තේ කැලණිමුල්ල, කැලණිය ප්‍රදේශයේ පදිචි ගයානි දිල්රුක්ෂි නමැති 32 හැවිරිදි කථිකාචාර්යවරියකි.
කිලිනොච්චිය, අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය තාක්ෂණ පීඨය තුළ කථිකාචාර්යවරිය නවාතැන්ගෙන සිට ඇත. අදාළ නවාතැන්පොළ ආසන්නයේ කැලැවක සිට එකවරම පැමිණි වල් අලියෙකු කථිකාචාර්යවරියට පහරදී ඇති බව කිලිනොච්චිය පොලීසිය සඳහන් කෙළේය.
තුවාල ලැබූ කථිකාචාර්යවරිය කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ. මේ වනවිට ඇය යාපනය රෝහලේ දැඩිස්සක්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.  මේ පිළිබද කිලිනොච්චිය වනජීවී කාර්යාලය දැනුවත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වවුනියාව - මධුෂංඛ අමරසිංහ

මැතිවරණය පැවැත්වීමට අදාළව නිකුත් කළ ගැසට් පත්‍රය එන්ජිමක් නොමැති බස්රථයක තත්වයට


 මැතිවරණය පැවැත්වීමට අදාළව නිකුත් කළ සෞඛ්‍ය උපදෙස් සහිත ගැසට් පත්‍රය එන්ජිමක් නොමැති බස්රථයක තත්වයට පත්ව ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
 සෞඛ්‍ය උපදෙස් අඩංගු ගැසට් නිවේදනයක් නිකුත් කළද එහි සඳහන් නීති ක්‍රියාත්මක කිරීම සඳහා බලධාරියෙකු නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියට මෙතෙක් නොහැකි වී තිබෙන බවද එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය උපදෙස්වලට අදාළව නීතියක් හඳුන්වා දුන්නද එම නීති ක්‍රියාත්මක කිරීමට බලධාරියෙකු පත් නොකිරීම මත මෙම නීති මැතිවරණ සමයේදී ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වන බවද ඔහු පවසා සිටියේය.
මේ හරහා රෝග ව්‍යාප්ත වීමට ඉඩකඩසාදාදී තිබෙන බවත්, මෙම නීති ක්‍රියාත්මක කිරීමේ බලධාරියා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වුවද අදාළ ගැසට් නිවේදනයේ එය සඳහන් කළ යුතුව තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
එසේකිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බවත්, පොදුවේ වෛද්‍යවරුන් හැර අනෙකුත් වෘත්තීන්වලට සෞඛ්‍ය අමාත්‍යාංශය කුඩම්මාගේ සැලකිල්ලක්
දක්වන බවත් හෙතෙම පවසා සිටියේය.
මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගයට පූර්ණ සහයෝගය ලබාදෙන බවත්, ඒ යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරීයෙන් ඉවත්ව සිටින ක්ෂේත්‍ර ආවරණය කිරීමට වෙනත් කිසිදු ක්ෂේත්‍ර නිලධාරියෙකු යෙදවීමට කටයුතු නොකරන බවත් රවි කුමුදේශ් මහතා සඳහන් කළේය.
මීට අමතරව මහජන සෞඛ්‍ය පක්ෂකවරුන් ඉදිරියේදී ගන්නා තීන්දු තීරණවලට අනුව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ලෙසද වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිර්මට තීරණය කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

ඉන්දික හේවාවිතාරණ


Monday, July 20, 2020

ව්‍යපාරික ස්ථානභූමියක මාළු ටැංකියක පතුලේ සඟවා තිබූ තියුණු ආයුධ රැසක්.,


දෙහිවල නැදිමාල ව්‍යපාරික ස්ථානභූමියක සිමෙන්තියෙන් තනන ලද මාළු ටැංකියක පතුලේ සඟවා තිබූ තියුණු ආයුධ රැසක්, වායු රයිෆලයක්, ගස් ටින් හා වායු උණ්ඩ තොගයක් ඊයේ (19) සොයාගත් බව දෙහිවල පොලිසිය කියයි.
සොයාගත් එම භාණ්ඩ අතර රම්බෝ පිහි හතරක්, විශාල ප්‍රමාණයේ කඩුවක්, වායු රයිෆලයක්, ගෑස් ටින් විසිදෙකක්, උණ්ඩ 150 ට ආසන්න  ප්‍රමාණයක් අඩංගු  ටින් හයක් පොලිසිය බාරයට ගෙන ඇත.
පාස්කු ප්‍රහාර වූ සමයේ මෙම අවි ආයුධ තොගය සඟවා තබන්නට ඇති බවට මේවනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව බොහෝ දුරට සැක කළ හැකි යැයි පොලිසිය කියයි.
 මීට වසර එකහමාරකට ඉහතදී මුස්ලිම් ව්‍යාපාරිකයෙකු මෙම ස්ථානයේ මෝටර් රථ අලෙවි කිරිමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබී ඇති අතර මීට දින කිහිපයකට ඉහතදී එම ව්‍යාපාරය පවත්වාගෙන ගිය පුද්ගලයා එම භූමිය එහි අයිතිකරුට ලබා දීමෙන් පසු ඔහු නැවත වෙනත් පුද්ගලයකුට කුලී පදනම මත එය ලබා දී තිබූ බව පොලිසිය කියයි.
 එය මෑතක දී ලබා ගත් පුද්ගලයා ලී මඩුවක් ආරම්භ කිරීම සඳහා එම භූමිය කම්කරු සේවකයන් යොදා සකස් කරමින් සිටියදී භූමියේ කාර්යාලය අසල තිබූ සිමෙන්තියෙත් තතත ලද මාළු ටැංකියක් කඩා ඉවත් කිරීමටද එම සේවකයන්ට දැනුම් දීම හේතුවෙන් ඔවුන් එහි ආවරණ කොටස් කපා ඉවත් කර පතුලට දමා තිබූ සිමෙන්ති බැම්ම කඩා ඉවත් කිරීමට යාමේදී සේවකයකු සතුව තිබූ අලවංගුවට යමක ගැටෙන ශබ්දය ඇසී පරික්ෂා කිරීමේදී පොහොර උරයක යමක් තිබෙනු අයුරු දැක ඒ බව ව්‍යාපාරිකයාට දැනුම්දී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට මේ සම්බන්ධයෙන් කරන ලද දැනුම් දීමකින් පසු දෙහිවල පොලිසියේ නිලධාරින් එම ස්ථානයට ගොස් පොහොර උරය තුළ තිබූ භාණ්ඩ පොලිස් බාරයට ගත් බව පොලිස් නිලධාරියා වැඩි දුරටත් පැවැසීය.  මෙම භූමියේ මීට පෙර මෝටර් රථ අලෙවි කිරීමේ ව්‍යාපාරය කළත් ව්‍යාපාරිකයා පාස්කු ප්‍රහාරය සමයේ ආරක්ෂක අංශවලින් සිදුකළ සෝදිසි මෙහෙයුමේදී කඩු හයක් සමග පොලිස්  අත්අඩංගුවට පත් වූවකු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
 එම පුද්ගලයා විසින් මෙම භාණ්ඩ  ආරක්ෂක අංශවලට හසුවීම වළක්වා ලීම සඳහා මේ අයුරින් මාළු ටැංකියේ පතුලේ සඟවා ඒ මගින් සිමෙන්ති යොදන්නට ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
 ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන පරික්ෂක නිලධාරිහු ද එම ස්ථානයට පැමිණ පරික්ෂණ සිදු කළහ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙත්තකෝන් මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න, සහකාර පොලිස් අධිකාරි හෙට්ටිආරච්චි මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එල්. දුෂ්මන්ත, උපපොලිස් පරික්ෂක ප්‍රහාත් මහත්වරු පරික්‍ෂණ පවත්වති.

(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)


අපේක්ෂකයකු වතු කම්කරුවන්ට ඖෂධ දී ඔවුන්ගේ ලෙඩ රෝග පරීක්ෂා කරළා..


ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරගවදින අපේක්ෂකයකු වතු කම්කරුවන්ට ඖෂධ දී ඔවුන්ගේ ලෙඩ රෝග පරීක්ෂා කරදී බගවන්තලාව  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඉකුත් 16 වැනිදා තමන් භාරයට ගෙන දැඩි ලෙස අවවාද කිරිමෙන් පසු මුදාහැර ඇත.

එම අපේක්ෂකයා ඉකුත් 16 වැනිදා බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වත්තේ මොරා කොටසේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට ගොස් වතු කම්කරුවන්ගේ රුධිර පීඩනය පරික්ෂා කර ඖෂධ ලබාදී ඇති අතර ඇතැම් වතු කම්කරුවන්ට ඔවුන්ගේ රෝග ලක්ෂණ අනුව ඖෂධ වර්ග තවත් කිහිපයක් බෙදාහැර ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.
මෙසේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් භාරයට ගනු ලැබුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයකු බව පැවසේ.
තමන් වෙද්‍යවරයකු බව පවසමින් වතු කම්කරුවගේ රෝග ලක්ෂණ පරික්ෂා කර ඖෂධ ලබාදීම සම්බන්ධයෙන් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබුණු තොරතුරක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම අපේක්ෂකයා තමන් භාරයට ගෙන ඇත.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේ එම අපේක්ෂකයා වෙද්‍යවරයකු බව සනාථ කිරීමට කිසිදු ද හැඳුනුම්පතක් හෝ ලියකියවිල්ලක් නොතිබුණු බවත්, වතු කම්කරුවන්ගේ රෝග ලක්ෂණ පරික්ෂා  කර ඔවුන්ට ඖෂධ දීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් හෝ බගවන්තලාව සෞඛ්‍ය  වෙද්‍ය නිලධාරි කාර්යාලයෙන් කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බවත්ය.
 එම අපේක්ෂකයාගේ වාහනයේ තිබී රුධිර පීඩනය පරික්ෂා කරන යන්ත්‍රයක් සහ ඖෂධ වර්ග කිහිපයක් ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගෙන ඇති අතර පසුව එම අපේක්ෂකයාට දැඩි ලෙස අවවාද කර බැඳුම්කරයක් මත ඔහු මුදාහැරීමට පියවර ගෙන ඇත.

(නොර්වුඩ් - රංජිත් රාජපක්ෂ)

වෛද්‍යවරයකුගේ මළ සිරුරක් අත්තනගලු ඔයේ ඇළක් ළඟ.


ගම්පහ මිනුවන්ගොඩ පැරණි මාර්ගය ආසන්නයෙන් ගලා බසිනා අත්තනගල ඔය ඇළ ආසන්නයේ බිම වැටී සැකකටයුතු අන්දමින් මියගොස් සිටී.
වෛද්‍යවරයකුගේ මළ සිරුරක් පෙරේදා (18) උදේ ගම්පහ පොලීසිය මගින් සොයාගනු ලැබීය. එසේ මියගොස් ඇත්තේ යක්කල පිටුවල්ගොඩ පදිංචි රාමනායක මුදියන්සේලාගේ ජයශාන්ත ජයසිරි  රාමනායක (50) නමැති අයකු බවට හඳුතාගෙන ඇත.
මරණකරු මියගොස් සිටි ස්ථානයේ තිබි ඔහුට අයත් යතුරුපැදියද හමුවූ බව පොලීසිය පවසයි.

මිය ගිය ‍වෛද්‍යවරයා ගම්පහ රෝහලේ සේවය කරමින් සිට ඇති අතර මීට වසර කිහිපයකට පෙර ඩුබායි ගොස් සිටි බවද පොලිසිය කළ පරික්ෂණවලින් හෙළි වී ඇත. පසුගිය දෙසැම්බර් මස නැවත ලංකාවට පැමිණ ඇති බවත් තිදරු මවක් වූ තම බිරිඳ නැවත දරු ප්‍රසුතියක් සදහා සුදානමින් සිටින අතර ඇයට ආහාර රැගෙන යමින් සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇති බවට පොලිසිය කළ පරික්ෂණවලින් හෙළි වී ඇත. මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්‍ෂණය ගහ වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික වේරගොඩ මහතා විසින් 18 වැනිදා දහවල් පවත්වනු ලැබීය. සිද්ධිය වූ ස්ථානය සහ මළසිරුර
පරික්ෂා කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම මළ සිරුර ගම්පහ මහ රෝහල් මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලෙසට ගම්පහ පොලීසියට නියම කළේය.
එම මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්‍ෂණය පවත්වන ලෙසට ගම්පහ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම මරණයට හේතුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණ  වෛද්‍ය නිලධාරි වෙත වැඩිදුරටත් නියම කළේය.
ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරික්ෂක රංග ගුණසේකර ඇතුළු නිලධාරිහු එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරති.

(ගම්පහ අධිකරණ - ටෝනි කරුණානායක)

Thursday, July 16, 2020

පුද්ගලයෙකුට කෝවිඩි19 ආසාදනය වී ඇති බවට හඳුනාගැනීම හේතුවෙන්, කතරගම පැමිණ නවා තැන්ගෙන සිටි බව කියන නිවාඩු නිකේතනය වසා දමා

පසුගියදා කතරගම වන්දනාවේ පැමිණ ගිය පුද්ගලයෙකුට කෝවිඩි19 ආසාදනය වී ඇති බවට හඳුනාගැනීම හේතුවෙන්, ඔහු කතරගම පැමිණ  නවා තැන්ගෙන සිටි බව කියන නිවාඩු නිකේතනය වසා දමා එහි හිමිකරු, බිරිද සහ සේවකයන් ඇතුළු 09  දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කතරගම පරිපාලන  මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.  කතරගම වන්දනාවේ පැමිණි රන්මලේ පාර, දිවුලන්කඩවල පදිංචි 25 හැවිරිදි යුද හමුදා කෝප්‍රල්වරයෙකු ලෙස කෝවිඩ්19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
ඔහු පසුගිය 07 වැනිදා කතරගම වන්දනාවේ පැමිණ අදාළ නිවාඩු නිකේතනයේ නවාතැන්ගෙන කිරිවෙහෙර හා දේවාලයට ගොස් ආපසු 08 වැනිදා පිටත්ව ගොස් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙත දැනුම් දී ඇත.
 ඒ අනුව මෙම කෝප්‍රල්වරයා කතරගම පැමිණි මොහොතේ සිට ඇසුරු කළ පුද්ගලයන් සොයා කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් විශේෂ විමර්ශනයක්ද මේ වනවිට ආරම්භ කර තිබේ.  මෙම පුද්ගලයා කතරගම කිරිවෙහෙර හා දේවාලයට අමතරව සෙල්ලකතරගම හා අවමස්ථාන
කිහිපයකටම ගොස් ඇති අතර,  පුද්ගලයන් රැසක්ද ඇසුරු කර තිබේ.
 ඉදිරි දින කීහීපය තුළදී කතරගම ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් හමු විය හැකි බැවින් සෑම පුද්ගලයෙකුම අත්‍යවශ්‍ය දේකටහැර නිවසින් බැහැර නොයන ලෙසත්, පුද්ගල ඇසුරු කිරීම් ඉතා ප්‍රවේශමින් සිදුකරන
ලෙසත් ඉල්ලා සිටින මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් දිසානායක මහතා, මුඛ ආවරණ පැලදීම ඇතුළු සෞඛ්‍ය නීති උපදෙපිළිපදින ලෙසද කතරගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සුරියවැව නුවන් ජයසේකර


පොලිස් කොස්තාපල්වරයකු ඝාතනය කළ රියදුරා 23 තෙක් රිමාන්ඩ්.

දඩ කොළයක් දුන්නැයි උරණ වී හක්මණ කෝංගල පොලිස් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරින් ටිපර් රථයෙන් යට කර කොස්තාපල්වරයකු ඝාතනය කර සැරයන්වරුන් දෙදෙනකු ඝාතනය කිරිමට තැත් කළ බව කියන ටිපර් රථ රියදුරා ලබන 23 වැනි තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලස මාතර අතිරේක මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා ඊයේ(15) නියෝග කළේය.
එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ ලුනම උහපිටිගොඩ පදිංචි දිලීප් කුමාර එදිරිවීර (34) නමැති සැකකරුවෙකි.
ඔහු ඉකුත් 13 වැනි දින රාත්‍රී පොලිස් අණ නොතකා ධාවනය කිරීමෙන් පසු දඩ කොළයක් දීම සම්බන්ධයෙන් උරණ වී කෝංගල මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරින් ටිපර් රථයෙන් යට කර කොස්තාපල්වරයකු ඝාතනය කර සැරයන්වරුන් දෙදෙනෙකු ඝාතනය කිරීමට තැත් කර ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය. තුවාල ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර මෙම අපරාධය සිදු කළ සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.  මෙම සිද්ධියෙන් මියගියේ හක්මන පොලිසියට අනුයුක්තව සේවය කළ මාලිත විතාරණ (36) නමැති දෙදරු පියෙකි. ඔහුගේ මහේස්ත්‍රාත් පරිෂ්ණයේ මූලික සාක්ෂි විභාගය ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.  මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතාගේ උපදෙස් මත හක්මන පොලිසියේ ස්ථානාධිපති නලීන් වීරවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

රාජාංගණ ප්‍රදේශයේ 12,000ක පමණ පිරිසක් හුදෙකලා කරලා.


කොවිඩ් ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනීම නිසා රාජාංගණ ප්‍රදේශයේ 12,000ක පමණ පිරිසක් හුදෙකලා කර ඇතැයි සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  පැවැසිය.
මෙසේ හුදෙකලා කර ඇත්තේ රාජාංගනය යාය 1, යාය 3 හා යාය 5 කලාපවල ජීවත්වන දොළොස් දහසක් යැයි කී සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල්වරයා එම ප්‍රදේශය මේ වනවිට පවතින්නේ 'ලොක්ඩවුන්' තත්වයකැයිද ප්‍රකාශ කළේය. එසේ නොකර වයිරසය පාලනය කළ නොහැකි යැයිද ඔහු කීය. රාජාංගණය ප්‍රදේශයේ හාරසියයකට ආසන්න පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
කන්දකාඩු පොකුරෙන් මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 532කි.
රාජංගණය ප්‍රදේශයේ පී.සී.ආර්. පරික්ෂණ වැඩි කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට පෙරේදා (14) උපදෙස් දුන්නේය.  මේ අතර කොරෝනා ආසාදිතයන් තවත් 13 දෙනකු සම්පුර්ණයෙන්ම සුවය ලබා ඊයේ (15) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.


සුජිත් හේවාජුලිගේ

කෝටියක වන්දි මුදලක් ඉල්ලා CID හිටපු අධ්‍යක්ෂක ශානිගෙන් පෙත්සමක්.


වැඩ තහනම් කිරීමෙන් සහ ස්ථාන මාරු කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා රහස් පොලීසියේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (15දා) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
 රහස් පොලිස් අධ්‍යක්ෂ ධුරයේ තමන්ව  යළි පිහිටුවන ලෙස ජාතික පොලිස් කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයිද, සිය වැඩ තහනම් කිරීමට සහ ස්ථාන මාරු සිදු කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අවලංගු කරන්නැයිද පෙත්සම්කාර ශානි අබේසේකර මහතා සිය පෙත්සමෙන් ඉල්ලීමක් කොට ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජාතික පොලිස් කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා ඇතුළු 17 දෙනෙකු නම් කොට ඇත.
නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ශානි අබේසේකර මහතා ගොනු කළ පෙත්සම් ඔහු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු මෙන්ම රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයෙකු බවද. රටේ සිදු වූ සූක්ෂම හා දරුණු ගණයේ අපරාධ රැසක් හෙළි කළ විශිෂ්ට පොලිස් නිලධාරියෙකු බවද සඳහන් කොට ඇත.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසු නොවැම්බර් මස 21 වැනිදා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරු කර හැරීමට ජාතික පොලිස් කොමිසමේ උපදෙස් මත වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයිද, ජීවිත තර්ජන හේතුවෙන් තමන්ට ලබා දී තිබූ විශේෂ ආරක්ෂාවද ඒ සමගම ඉවත් කළ බවද සඳහන් කරන පෙත්සම්කරු, ඉන් අනතුරුව ආන්දෝලනයකට තුඩු දුන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ දුරකථන හඩපට සිද්ධියෙන් පසු ඉකුත් ජනවාරි මස 07 වැනිදා තමන්ගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන ඇතැයිද සඳහන් කොට ඇත.

" වැඩ තහනම් කිරීමෙන් පසු පැවැත්විය යුතු මූලික විමර්ශන මෙතෙක් පවත්වා නැතැයිද, ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව මූලික විමර්ශනය මාස දෙකක් තුළ පැවැත්විය යුතු වුවද එවැනි මූලික විමර්ශනයක් පවත්වා නැතැයිද, පෙත්සම්කරුගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් කිසිදු සාධාරණ හේතු දැක්වීමක් සිදු කර නැතැයි සහ ඒ සඳහා නෛතික පදනමක් නැතැයිද සඳහන් කරන පෙත්සම්කරු, රහස් පොලීස් අධ්‍යක්ෂවරයාව සිටියදී රටේ ආන්දෝලනාත්මක සිද්ධීන් ගණනාවක්විමර්ශනය කර ඇති තමන්ගේ ස්ථාන  මාරුව යටි අරමුණකින් සිදු කර ඇතැයිද සඳහන් කොට ඇත.
 සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කිරීමේදී පවා විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබූ තමන්ගේ ආරක්ෂාව ඉවත් කොට ඇති හෙයින් තමාගේ සහ පවුලේ අයගේ ජීවිතවලට තර්ජන එල්ල වී ඇතැයිද සඳහන් කරන පෙත්සම්කරු, තමාගේ ස්ථාන මාරු කිරීමට සහ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණ මුළුමනින්ම නීතියට පටහැනි  බවත්, වැඩ තහනම් කර මාස ගණනාවක් ඒ ගත වී තිබුණද මේ දක්වා විධිමත් විනය පරික්ෂණයක් හෝ පවත්වා නොමැති බවත් සඳහන් කොට ඇත.
වගඋත්තරකරුවන්ගේ මෙම ක්‍රියාකලාපය තුළින් පෙත්සම්කරුගේ මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන්නැයිද, ස්ථාන මාරුව සහ වැඩ තහනම් කරමින් ජාතික පොලිස් කොම නිකුත් කර තිබෙන නියෝග බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කරු, රහස් පොලිස් අධ්‍යක්ෂ ධුරයේ තමන් යළි පිහිටුවන ලෙස ජාතික පොලිස් කොමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියි. තමන්ට පෙර ලබා දී තිබූ ආරක්ෂාව යළි ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාර ශානි අබේස්කර මහතා සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම
හේතුවෙන් තමන්ට රුපියල් කෝටියක වන්දියක්  අය කර දෙන්නැයි ඉල්ලා සිටියි.

• බුද්ධිමාල් රුබේරු



හිඟුරක්ගොඩ ආපන ශාලාවක් සහ විදුලි උපකරණ අලෙවි ආයතන දෙකක් වසා දැමීමට කටයුතු .


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට  සම්බන්ධව සේවය කරන, හිඟුරක්ගොඩ  හතමුණ ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි හමුදා නිලධාරියෙකුට කෝවිඩ්19 ආසාදනය වී ඇතැයි සනාථ වීමත් සමග, ඔහු ආහාර ලබාගත්හිඟුරක්ගොඩ ආපන ශාලාවක් සහ කදුරුවෙල හා හිඟුරක්ගොඩ පිහිටි විදුලි උපකරණ අලෙවි ආයතන දෙකක් වසා දැමීමට කටයුතු  කළ බව හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ටී.එන්. කේ. නිල්මිණි මහත්මිය පැවසුවාය.
"හිඟුරක්ගොඩ බස් නැවතුම්පොළ ආසන්නයේ ඇති ආපන ශාලාවකින් දින කීපයක් ඔහු ආහාර ලබාගෙන තිබෙනවා. කදුරුවෙල සහ හිඟුරක්ගොඩ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවි ආයතන දෙකකට මෙම යුද හමුදා නිලධාරියා ගොස් තිබෙනවා. එම ආපන ශාලාවත්, වෙළෙඳ ආයතන දෙකත් වසා දමා, ඒවායේ සේවක සේවිකාවන් නිවාස තුළ ස්වයං නිරෝධායනය කිරීමට කටයුතු කළා. ඊට අමතරව එම වෙළෙඳ සැල්වලට ගිය අය පිළිබඳ මේ වනවිට සොයා බලනවා. එම අයත් නිවාස තුළ ස්වයං නිරෝධායනයට ලක් කිරීමටත් ආපන ශාලාව සහ වෙළෙඳ ආයතනවල කාර්යමණ්ඩලයේ සේවක සේවිකාවන් පී.සී.ආර් පක්ෂණ සඳහා යොමු කිරීමටත් කටයුතු කරනවා" යැයිද නිර්මිණි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

• හිඟුරක්ගොඩ - ඩබ්.ඒ. පියතිලක