Showing posts with label G1. Show all posts
Showing posts with label G1. Show all posts

Thursday, September 19, 2019

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ ඊට අදාළ නාමයෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය ඊ යේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන ලදි.



ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ ඊට අදාළ නාමයෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය ඊ යේ  මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන ලදි.

නොවැම්බර් 16වන දා ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ලෙසත්, ඔක්තෝම්බර් 7 වනදා
නාමයෝජනා කැඳවන දිනය ලෙසත් නම් කර ඇති බවටයි වාර්තාවන්නේ.

Tuesday, August 13, 2019

කුරගල පිහිටි ප්‍රධාන මුස්ලිම් පල්ලිය ගොඩනැගිල්ල හා සොහොන් කොත් පමණක් භූමියෙන් ඉවත් කිරීමට තිබෙනවා.-නිවාස,ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දන්වයි




ඓතිහාසික කුරගල පුරාවිද්‍යාත්මක ස්ථානයේ පිහිටි ප්‍රධාන මුස්ලිම් පල්ලිය සහිත ගොඩනැගිල්ල හා සොහොන් කොත් පමණක් භූමිය තුළින් ඉවත් කිරීමට ඉතිරිව තිබෙන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

මෙම ගොඩනැගිල්ල සහ සොහොන් කොත් සඳහා ඉඩකඩ සහිත වෙනත්  ඉඩමක් මුස්ලිම් පල්ලියේ භාරකරුවන්ට  ලබාදී තිබෙන බවද එම අමාතයංශය පවසයි.

කුරගල පුරාවිද්‍යාත්මක ස්ථානයේ පැවැති විශ්‍රාම ශාලා 02ක්, වෙළෙඳ සැල් 03ක්, මුස්ලිම් පල්ලියට අයත්  ශාලා ගොඩනැගිලි 04ක්, වැසිකිළි 06ක් හා කොඩි කණු 02ක් මේ වනවිට ඉවත් කර තිබෙන බවද සංස්කෘතික කටයුතු අමාතහංශය සඳහන් කරයි.

අක්කර 52, රූඩි 02, පර්චස් 19ක බිම් ප්‍රමාණයක මායිම් කණු යොදා පුරාවිද්‍යා  මායිම් නිරවුල් කර මෙම භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තූව මගින් පවත්වාගෙන  යන බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එහි පිහිටි ගල්ලෙන් ආශ්‍රිත භූමිය සහ කාර්යාලය ආශ්‍රිත භූමිය සෝදා යාම වැළැක්වීමට ගල්වැටි යොදා භූමීය සකස් කිරීම, ප්‍රදර්ශිත දාගැබ් වෙත ළඟාවීමට පඩි බැඳ මාර්ගයක් සකස් කිරීම, ප්‍රදර්ශිත දාගැබේ කඩතොලු වී තිබූ ස්ථාන බැමි බැඳ පොයින්ට් කර සංරක්ෂණය කිරීම, ප්‍රදර්ශිත දාගැබ වටා ඇති වැට සකස් කර තීන්ත ආලේප කිරීම සහ ජලය හා විදුලිය පුරාවිද්‍යා ස්ථානය වෙත ලබාදීම සිදුකර ඇති බවත් එම අමාත්‍යාංශය පවසයි.

එසේම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවකයන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකයන් විසින් පුරාවිද්‍යා ස්ථානයක් ලෙස කුරගල පුදබිම පවත්වාගෙන යන බවත්, එම ස්ථානය සංරක්‍ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍ය සහයකයන්. මුරකරුවන් දෙදෙනෙකු හා නිලධාරියෙකු යොදවා තිබෙන බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර සිටියි.

-අමිත් මධුරංග-

පොහොට්ටුවේ නායකයන් රටේ ප්‍රශ්නය හරියට තේරුම් ගත් නිසයි ගෝඨාව ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේ.






ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්  කළේ පොහොට්ටුවේ නායකයන් රටේ ප්‍රශ්නය හරියට තේරුම් ගත් නිසා යැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා  ඊයේ පැවසීය.

ආරක්ෂාවේ ප්‍රශ්නය නිවැරැදිව තේරුම් ගත්  හෙයින් ගෝඨාභයට ඒ පැත්තෙන් ලොකු ඉල්ලුමක් ආ බව කී ෆොන්සේකා මහතා

"එයාලා හිතන විදිහට ඒ පැත්තේ සිටින වඩාත්ම සුදුසුම කෙනා ගෝඨාභය" යැයි ද සඳහන් කළේය.  සරත් ෆොනේස්කා මහතා මෙසේ ද පැවැසීය.

 "රටේ ආරක්ෂව ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තේරුම් ගත්තු නිසා ගෝඨාභයට ඒ පැත්තෙන් ලොකු ඉල්ලුමක් ආවා. මේ ප්‍රශ්නය විසඳීමට  හොඳම මිනිහා ගෝඨාහය කියලා ඒ අය හිතනවා ඇති. ගෝඨාභයගේ හැකියාවන් නොහැකියාවන් ගැන මම කතා කරත්න යන්නේ නැහැ.

 නමුත් ඒගොල්ලන්ට ඉන්න හොඳම කෙනා හැටියට ගෝඨාහය ඉදිරිපත් කරල තියෙනවා. එයාලා එහෙම කළේ රටේ ප්‍රශ්නය හරියට තේරුම් ගත්තු නිසයි.

 ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂය ඔය තත්වය තේරුම් නොගෙන කටයුතු කළහොත් ජනතා ආශිර්වාදය ගැනීමට නොහැකි වේවි. ජනතාව අද වෙනකොට ප්‍රමුඛත්වය දිලා තියෙන්නේ රටේ ආරක්ෂාවටයි. දුරදිග බලන කෙනකුට ඒක තේරන්න ඕන. අද රට මේ තත්වයට පත්වෙලා  තියෙන්නේ ඒවා තේරුම් නොගෙන වැඩ කිරීම නිසයි.

දැන්වත් ඒක තේරුම් නොගත්තොත් ජනතාව ඊට නිසි ප්‍රතිචාර දක්වාවි.එයාලා හිතන විදියට ඒ පැත්තේ ඉන්න වඩාත්ම සුදුසුම කෙනා එයා. නමුත් යුද්ධය ගැන කතා කරනකොට නම් අප දරන ස්ථාවරය ගැන කොහොම නමුත් එයාලා රට ගැන හිතලා රටේ තත්වය තේරුම් අරගෙන ගත්තු තීරණයක්. ඒ නිසානේ එහෙම තීරණයක් ගත්තේ. ආණ්ඩුවටත් එහෙම හිතන්න දැන්වත් මොළේ පෑදෙන්නේ නැතිනම් ජනතාව ඔවුනට හරියි කියලා හිතන තීරණයක් ගනීවි." යැයි ද ඒ මහතා කීවේය.


සුජිත් හේවාජුලිගේ

පොදුජන පෙරමුණේ මෙවර අපේක්ෂකයා රාජපක්ෂ කඳවුරේ දුර්වලම පුද්ගලයයි-ජනතා විමුක්ති පෙරමුණ






ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් කළ ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂ කඳවුරෙන් ඉදිරිපත් කළ ඉතාමත් දුර්වලම පුද්ගලයෙකු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. ජනාධිපති අපේක්ෂකයාට මූල්‍ය විනයක් නොමැති බවත්, මීට අමතරව පරිපාලන විනයද නොමැති බවත්, මේ අනුව රාජපක්ෂ කඳවුරෙන් මෙතෙක් ඉදිරිපත් කළ දුර්වලම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා වන අතර, ඔහුට රට වෙනස් කළ නොහැකි බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජත හේරත් මහතා සදහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස පෙරේදා(11) දිනයේ නම් කළද එය අලුත් දෙයක් නොවන බවත්, වසරකට අධික කාලයක සිට එම නම යෝජනා වී තිබූ බවත් ඔහු කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික  ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මේ මස 18 වැනිදා නම් කරන බවත්, අදාළ  අපේක්ෂකයා ජාතික ජන බලවේගය නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සංවිධාන විසින් සාකච්ඡා කර තීරණය කරන්න බවත් ඒ මහතා සඳහන් කළේය.

වසර 70ක් පුරා මෙරට මහා ණය උගුලක සිර කළ පාලනයක් වෙනුවට රට හැදීමේ විකල්ප බලය ගොඩනගන බවත්, ඒම අභියෝගය භාරගැනීමට ජනතා විමුක්ති  පෙරමුණ සුදානම් බවත් හෙතෙම කියා සිටියේය.

ඊයේ (12දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා වැඩිදුරටත් සදහන් කළේ, පරණ හොරු සහ අලුත් හොරු දෙගොල්ලන්ම පරාජයට පත්කර රට හැදීමට හැකි රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි විකල්ප බලයක් ගොඩනගන බවත්, ඒ සඳහා ජනතාව පෙළගැසිය යුතු බවත්ය.

රට තුළ පිරිසිදු නායකයන් ගොඩනැගීම සදහා මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් විසින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙන බවත්, ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා එම නිර්ණායකවට අනුකූල වන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවත් හෙතෙම පවසා සිටියේය.

අයි.එච් තුෂාර

ජනපතිවරණයේදී සමාජ ජාල වල අසත්‍ය-මඩ වැපිරුවොත් වැඩ වරදියි-මැතිවරණ කොමසාරිස්





ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රතිවාදීන්ට  මඩ ප්‍රහාර ගසන සහ අසත්‍ය කරුණු හුවා දක්වමින් චරිත ඝාතනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එම නිසා ඒවා මැඩලීමට පියවර ගත යුතු බව ද එම කොමිෂන් සභාව පවසයි.

 මේ පිළිබඳව දේශපාලන පක්ෂ සමාජ ජාලා විෂය භාර නියෝජිතයින් සමග සාකච්ඡා  පවත්වමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.  මේ සදහා ෆේස්බුක් හිමිකරුවන්ගේ සහ තොරතුරු තාක්ෂණික විශේෂඥයන්ගේ සහාය ද ලබාගැනීමට අපේක්ෂා කරන බව ද මැතිවරණ
කොමිෂන් සභාව කියයි. පුද්ගලයින්ගේ ප්‍රකාශනයේ නිදහසට බාධා නොවන අයුරින් මෙම සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද කොමිෂන් සභාව පවසයි.

Monday, August 12, 2019

අතුරුගිරියේ හිමිනමක් පැහැරගෙන යන්න තැත් කරලාලු







අතුරුගිරිය ගල්පොත්ත ශ්‍රී ධර්ම විචිත්‍රාරාම විහාරාධිපති  මස්මඩිගේ විජිත හිමියන් නාදුනන පුද්ගලයන් සිවුදෙනකු විසින් පෙරේදා (10) දහවල් උපක්‍රමශීලීව වෑන් රථයකට නංවාගෙන පැහැරගෙන යාමට උත්සාහ කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යයි.

විජිත හිමියන් බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පැවැසීය.

විහාරාධිපති හිමියන් පැහැරගෙන යාමට පැමිණි සිවුදෙනා ළහ තවත් හිමිවරුන් තිදෙනකුගේ ඡායාරූප ද තිබී ඇති අතර  එම ඡායාරූප ද පොලිස් බාරයට ගෙන ඇත.

ශ්‍රී ධර්ම විචිත්‍රාරාම විහාරස්ථානයට පෙරේදා (10) උදේ වෑන් රථයකින් නාඳුනන පුද්ගලයන් සිවුදෙනකු පැමිණ විජිත හිමියන් බැහැදැක ඇති අතර හෝමාගම රෝහලේ මරණීය ප්‍රතිකාර ලබන තම මවට පිරිත් කියා පිරීත් නූලක් ගැට ගැසීමට එන ලෙස ඒ සිවුදෙනා අතරින් කෙනෙක් විජිත හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පොලිසිය කියයි.

විජිත හිමියන් ඒ සඳහා සුදානම් වීමට විහාරය තුළට ගිය අවස්ථාවේ, විහාරස්ථානයේ වැඩවාසය කරන විහාරස්ථානයෙන් පිටතට වැඩම කර සිටි හිමිනමක් දුරකතන ඇමතුමක් ලබාදී තිබේ.

වෑන් රථයකින් පැමිණි නාඳුනන සැකකටයුතු සිවුදෙනකු විහාරස්ථානයට නුදුරින් පිහිටි වේළඳසලකින් විජිත හිමියන්ගේ ඡායාරූපය පෙන්වා විස්තර විමසූ බවට ඇමතුම ලබාදුන් හිමිනම පවසා ඇතැයි පොලිසිය කියයි.

වෙළෙඳසල් හිමියන් මේ බව තමාට දුරකතන ඇමතුමක් ලබාදී දැනුම් දුන් බවට ද විජිත හිමියන්ට ඇමතුම් ලබාදුන් හිමිනම පවසා ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයා කිය.

විහාරාධිපති හිමියන් ලබාදුන් එම දුරකතන ඇමතුමෙන් පසු වෑන් රථයෙන් පැමිණ සිටි පුද්ගලයන් සිවුදෙනාත් මේ ගැන විමසා එක් පුද්ගලයකු අතර තිබූ ෆයිල් කවරයක් පිත හිමියන් විසින් උදුරාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

 මේ අවස්ථාවේ කලබලයට හා බියට පත්වූ බව කියන එම  සිවුදෙනා වෑන් රථයේ නැගී පළාගොස් ඇති අතර පසුව විජිත  හිමියන් මේ ගැන අතුරුගිරිය පොලිසියට පැමිණිලි කර තිබේ.

විහාරස්ථානයේ සවිකර ඇති සීසීටීවී කැමරාවේ මෙම සිද්ධිය පටිගත වී ඇති බවත් එම රූප රාමු පරික්ෂා කර බලා  සැකකරුන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

HUAWEI ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දෙයි










චීනයේ ප්‍රමුඛ පෙළේ දුරකථන තාක්ෂණික සමාගමක් වන හුආවෙයි සමාගම පළමුරට තමන් විසින්ම නිර්මාණය කරන ලද මෙහෙයුම් පද්ධතියක් යොදා ගනිමින් ක්‍රියාත්මක නව රූපවාහිනියක් එළි දක්වන්නට පසුගියදා පියවර ගෙන තිබේ.

 ඔවුන් මම මෙහෙයුම්පද්ධතිය හාර්මනි ඕඑස් (HarmanyOs) ලෙස නම් කර ඇත.

හුආවෙයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් ෂාඕ ගේ මූලිකත්වයෙන් ගුආන්ග්ඩොග් හි පිහිටි හුආවෙයි විශ්ව විද්‍යාලයේදී මෙම එළිදැක්වීම සිදු කර ඇත.

මම මෙහෙයුම් පද්ධතිය සහිත නව ස්මාර්ට් රූපවාහිනිය මේ සතියේ සිට චීනයේදී මිලදී ගත හැකි බව හුආවෙයි
සමාගම පවසයි.

මේ අතරම තමන් නිර්මාණය කළ මෙමහාර්මනි ඕඑස් මෙහෙයුම් පද්ධතිය ඉදිරියේදී සිය හුආවෙයි ජංගම දුරකථන සදහා විකල්පයක් ලෙස භාවිත කළ හැකි බවත් සමාගම සඳහන් කරයි.

විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයත් චීනයත් අතර පවතින වෙළඳ යුද්ධයේ අවස්ථාවක් ලෙස චීනයේ හුආවෙයි සමාගම ඉලක්ක වී තිබීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඔවුන් මෙම නව මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදී ඇතැයි තාක්ෂණික විෂ්පාඥයෝ පවසති. මෙම ගැටුමේ එක් අවස්ථාවක් ලෙස හුආවෙයි දුරකථන වෙත එක්සත් ජනපදයේ ඇඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ සහාය ලබා නොදීමට තීරණය වී තිබේ.

පක්ෂයට ආරාධනා නොකර මන්ත්‍රීවරුන්ට වෙන වෙනම ආරාධනාපත් යැවීම වැරදී.-පොහොට්ටු සමුළුව ගැන දයාසිරි කණගාටුවෙන්







ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් සමග තවදුරටත් කිරිමට ඇත්තේ කවර සාකච්ඡාවක් දැයි යන්න තමාට ප්‍රශ්නයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ  දයාසිරි ජයසේකර මහතා  ඊයේ (11) පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපක්‍රමිකව අවශ්‍ය වුණේ ශ්‍රී.ල.නි.පය එතැනට තල්ලු කිරිමට යැයි කී දයාසිරි ජයසේකර  මහතා ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තුවිට පත්කළ අති බහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී ඇති බවට චෝදනා කළේය.

සමුළුවක් සංවිධානය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අයිතියක් වුවද පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා නොකොට මන්ත්‍රීවරුන්ට වෙන වෙනම ආරාධනාපත් යැවීම සදාචාර සම්පන්න නොවන්නේ යැයි ද ඔහු කීය.  සිය පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා පක්ෂය පාවා දීම් ලංකාවේ දේශපාලනයේ අනන්‍ය ලක්ෂණයක් යැයි කී හෙතෙම බඩගෝස්තරවාදයට වැටුණු දේශපාලකයන් සම්බන්ධයෙන් මීළඟ මහමැතිවරණයේ දී ජනතාව තීරණයක් ගනු ඇතැයි ද  කියා සිටියේය.

 එස්.බී. දිසානායක හා ඩිලාන් පෙරේරා යන දේශපාලකයන් ශ්‍රී.ල.නි.පය නියෝජනය කළ ද දිගින් දිගටම කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වමින් යැයි ද ජයසේකර මහතා පැවසීය.

කවරෙකු පක්ෂය පාවා දුන්නත් පක්ෂ සංවිධායකවරුන් 160ක් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 1100ක් සමග කොඳු ඇති විශාල පාක්ෂිකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතැයි කී මහලේකම්වරයා ඔවුන් සමග එක්ව පක්ෂය ප්‍රතිසංවිධානය කර ඉදිරීයට ගෙන යන්නේ යැයි ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයෙන් දේශපාලනය අවසන් නොවන බවද ඉන් පසුත් පක්ෂයට නායකත්වය දෙන්නට මෙත්‍රීපාල  සිරිසේන ජනාධිපතිවරයාට හැකි යැයි ද ජයසේර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


-බිගුන් මේනක ගමගේ-

Friday, August 9, 2019

අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් මේ ආණ්ඩුවේ අය පෝස්ටර් ගහනවා-විපක්ෂ නායක මහින්ද






මේ රජය කුමන සංවර්ධන කතා  පැවසුවද අද මේ රටේ ජනතාවට එදිනෙදා ජීවත්වීමටවත් නොහැකි තත්වයක් උදාවී තිබෙන බවත්, කඩේට, පොළට ගොස් එදිනෙදාට අවැසි භාණ්ඩ ගැනීමේදී ඔවුන්ට දෙවරක් සිතීමට සිදුවී තිබෙන බවත් හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ  පැවසීය.

හෙතෙම මේ බව පැවසුයේ මොරටුව මහ නගර සභාවේ කාර්යාලයීය සංකීර්ණය විවෘත කිරීම, ස්වර්ණ පළස ඔප්පු ප්‍රදානය, මහනගර සභා වෙබ් අඩවිය ජනගත කිරීම හා කාර්යමණඩල ඇගයීම වෙනුවෙන්, මොරටුව මහ නගර සභා භූමියේදී පසුගියදා (07) සංවිධානය කර තිබූ උත්සව සභාවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"ආණ්ඩුවේ සියලු දෙනාගේ වරදින් පාස්කු ප්‍රහාරය සිදුවී ඇති බවට, ඒ සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ, අගමැතිවරයා සාක්ෂි දෙමින් වරද පිළිගෙන ඇති නිසා, රජය දැන් කළ යුත්තේ ස්වාධීන කොමිෂන් සභාවක් පත්කොට ඊට සම්බන්ධ වරදකරුවන් වහාම රටට හෙළි කිරීමයි.

තිස් වසරක් පුරා පැවැති යුද්ධය නිමා කරලා, රට සංවර්ධනය කරලා, ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් ගොඩනගමින් සිටියදී තමයි එන්.ජී.ඕ. නඩ ජාතයන්තර බලවේගයත් සමග එකතු වෙලා මේරට උදුර ගත්තේ. ඒත් අගමැතිවරයා නම් කියන්නේ බංකොලොත් වුණු කබල් ආර්ථිකයක් භාර ගත්තා කියලා. එතුමට මම කියනවා පම්පෝරි ගගහ ඉන්නෙ නැතිව මහ  බැංකු වාර්තා පරීක්ෂා කර බලන්න.

 අපේ කාලේ විරැකියාව අඩු වුණාද මේ  කාල් අඩු වුනාද වැඩි වුනාද කියලා.  ආර්ථිකය ගොඩනගන විරැකියාව අඩු කරන මේ රජය පියවර  නොගෙන කතාවෙන් පමණක් ජනතාව රවට්ටන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි මේ අයට අමතක වෙලා තියෙනවා පෙරට වඩා අද මේ රටේ ජනතාව බුද්ධිමත් කියලා.  මෙවන් තත්වයක් මත සුපිරී ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරනවා. ඒත් පළාත් සභා විසුරවලා තාම මැතිවරණ කැඳවලා නෑ.

 ඒත් ජනාධිපතිවරණයක් ගැන කතා කරනවා. ඒත් රජය මැතිවරණවලට බයයි. මොකද  ඉකුත් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල  දැන්කාම මැතිවරණයන් කැමැත්තෙන් දුන්නේ නැහැ. ඒක අපි උදුරගත්ත මැතිවරණයක්. ඒක අපි දිනුවා. අපි මැතිවරණවලට බය නැහැ. මොකද අපි යුද්ධය දිනා රට සංවර්ධනය කරලා පෙන්නුව නිසා.  ඒ රටේ හැම අංශයක්ම අද බංකොලොත් වෙලා. අධ්‍යාපනය, සෞඛ්‍ය ඉතා පහත් මට්ටමකයි තියෙන්නේ. සෞඛ්‍ය අංශය දැඩි පරිහානියකට ලක්වෙලා. මේ අමාත්‍යංශයට තරම්  චෝදනා එල්ල වූ තවත් අමාතයංශයක් නැතිතරම්, මේ අතරේදී එ.ජාපය ඇතුළේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්න ලොකු සටනක් ආරම්භ වෙලා තියනවා. මමත් එනවා. මමත් එනවා කියලා රට පුරා පෝස්ටර් ගහලා  කවුද මේවා කරන්නේ, මේවා කරන්න සල්ලි කොහින්ද, මේවට මේ රටේ  අහිංසක ජනතාවගේ බදු මුදල් තමයි වැය කරන්නේ, විශාල ලෙස පෝස්ටර් ගහන්නත් පත්තරවල දැන්වීම් දාන්නත් වැය කරනවා. මේක මහා අපරාධයක්. ඒනිසා නැවත වරක් මේ රටේ වෙනසක් ඇති කළ යුතුයි."
යැයි පැවසීය.

- ශාන්න ප්‍රදීප් කුමාර කුලරත්න-

''හතුරුසිංහව අපි ඉවත් කරනවා නම් අවුරුද්දක පඩි ගෙවන්න වෙනවා. පුදුම ගිවිසුම් ගැහිල්ලක්නේ මේක.'' ඇමති හරීන් කියයි






ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට වැටුප් වශයෙන් ගෙවන ඇමරිකානු ඩොලර් 40,000න් යම් අයෙක් 5,000ක් 10,000ක් ගන්නවා නම් ඊට වගකිව යුත්තේ කවුදැයි යැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එහිදී විමසා සිටියේය.

අමාත්‍යවරයා මේ චෝදනාව එල්ල කළේ ඊයේ (08දා) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා, "මට චන්දික හතුරුසිංහ සමග කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේක දැන් මේ වගේ ප්‍රශ්නයක් විදිහට හුවා දක්වන්න හදනවා. ඇත්ත කතා කළත් වැරැදියි. නොකර හිටියාමත් වැරැදියි. කතා කරන්න ගියාම කියනවා ඇයි හතුරුසිංහව එළවන්න හදන්නේ කියලා. මට අහන්න තියන ප්‍රශ්නේ පෝල් ෆාබේස් සහ ග්‍රැහැම් ෆෝඩ් කියන පුහුණුකරුවන් එක රැයකින් ගෙදර යවන්න පුළුවන් වුණා නම්, කවුද ඒ ගිවිසුම ගැහුවේ. එතකොට මෙවැනි තද හිර කරපු ගිවිසුමක් ගහපු කෙනා කවුද? ක්‍රිකට් ආයතනයේ හරී අවසරයකින්ද මේක ගැහුවේ. මම කොතනකවත් කියලා නැහැ හතුරුසිංහව අස් කරන්න කියලා.

මං කිව්වේ නැවත ගිවිසුමක් නිසියාකාරයෙන් අත්සන් කරන්න කියලයි. එතකොට ක්‍රිකට් ආයතනයේ නිලධාරින් කිව්වා නවසීලන්ත සංචාරය මෙහෙම යන්න දෙමු. පැය 24ක් ඇතුළත එතුමාව මුණගැහෙනෙවා. අනතුරුව ඔහුගේ සැලැසුම ලබා දෙන්නම් කියලා. ඒත් පැය24ක් ගිහිනුත් ඒක ලැබුණේ නැහැ, පසුව තැන් තැන්වල ගිහින් කියලා තියෙනවා ඇමැති කොහොමද අයින් කරන්නේ කියලා.
හැබැයි ක්‍රීඩා පනතේ 39 (1) යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් මට හැකියාවක් තියෙනවා ඕනම ජාතික ක්‍රීඩා සංගණයකින් විමසා සිටින්න මම ඒ විමසීම කළා. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායම් මගේ තීරණය හරී කියලා පිළිගත්තා.

මට පෙනී යනවා එක පුද්ගලයන්ට පමණක් මේක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියනවා කියලා. ඉතින් මම දන්නේ නැහැ, ඒ ඒකෙනා නම් මේ ගිවිසුම ගැහුවේ ඒ කෙනා විසින්ම ඒක ලිහාගත යුතුයි. ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ට කියනවා නම් තරග දිනපු විදිහට ගෙවීම් කරන්නේ කියලා ඒ විදියටම පුහුණුකරුටත් කළ යුතුයි කියන මතයේ මම ඉන්නවා.

පුහුණුකරුට අමතර දීමනා නැතුව ඩොලර් 40,000ක් ගෙවනවා නම්, මේ 40,000න් කවුරුහරි 5,000ක් 10,000ක් ගන්නවා නම් එතකොට කවුද වගකියන්නේ. එහෙම වෙන්නත් බෑනේ. චන්දික හතුරුසිංහ කැමැත්තෙන් ඉවත් වෙලා යනවා නම් අපි ඔහුට මාස 03ක පඩි ගෙවන්න ඕන. එහම නැතුව එයාව අපි ඉවත් කරනවා නම් අවුරුද්දක පඩි ගෙවන්න ඕන. පුදුම ගිවිසුම් ගැහිල්ලක්නේ මේක.

මේ ගිවිසුමට අවසර දුන්නේ කවුද? දැන් මේකට වැඩියෙන්ම අඬන්නේ කවුද? එතකොට තේරෙනවා මේ ගිවිසුම ගැහුවේ කවුද කියලා, ඒ උත්තර දෙන මිනිහාගෙන් මම අහන්න කැමතියි එයාට මොකක්ද තියෙන අයිතිය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න. ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඉන්නවා, ඔවුන් උත්තර  දෙන්න ඕන. මේකටඋත්තර දෙන්නේ අදාළත්වයක් නැති වෙන පාර්ශව යැයි පවසා සිටියේය.

 -පැතුම් ශ්‍රී විජේරත්නන-

Thursday, August 8, 2019

වායු සමීකරණ පද්ධතියම අක්‍රියයි-ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ශල්‍යාගාර හයම වහලා.






ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි මධ්‍යම වායු සමීකරණ පද්ධතිය යළිත් වරක් අක්‍රීය වීමෙන් ශල්‍යාගාර හයම ඊයේ (07දා) වසා දැමීමට සිදුවීම මත සියලුම ශල්‍යකර්ම නවතා දැමීමට සිදුව ඇති බවත්, මේ හේතුවෙන් පොරාත්තු ලේඛනයට අනුව ඊයේ දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ රෝගීන් 30 දෙනෙකුගේ පමණ ශල්‍යකර්ම නවතා දැමීමට සිදුවූ බවත් රෝහල් කාර්යමණ්ඩලය පවසයි.

වසර 20ක් පමණ පැරණි රෝහල් වායු සමීකරණය පද්ධතිය වරින්වර අක්‍රීයවීම මත මීට කෙටි කාලයකට පෙරද මේ ආකාරයටම සියලුම ශල්‍යාගාර වසා දැමීමට සිදුවීම හේතුවෙන් සාමාන්‍ය වායුසමීකරණ සවි කොට ඇති නමුත්, මින් ආසාධිත තත්වයන් ඇතිවීය හැකි බව  ශල්‍යාගාර කාර්යමණ්ඩලය පෙන්වා දුන්නේය.

මධ්‍යම වායු සමීකරණ පද්ධතියක් අලුතින් ලබාදීම වෙනුවට පැලැස්තර විසඳුම් ලබාදීමෙන් මෙවන් තත්වයක් උදාවී ඇති බවද ඔවුහු පැවසූහ.මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛාව මගින් මාධ්‍ය දැනුවත් කිරීමක් කළ අතර මෙහිදී ශාඛා සභාපති වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතා කියා සිටියේ, රෝහල් ශල්‍යාගාර සඳහා  අවශ්‍ය මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අලුතින් ලබාදීම වෙනුවට සාමාන්‍ය වායුසමීකරණ ලබාදීමෙන් ඵලක් නොවන බවය.

රෝහලෙහි පවතින අයහපත් තත්වය සොයා බැලීම පිණිස පසුගිය දිනක පළාත් ලේකම්වරයා, පළාත් සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු බලධාරින් පිරිසක් නිරීක්ෂණ චාරිකාවක නිරත වුවද අවශ්‍යතා නිසි පරිදි ඉටු කිරීමට  පියවර ගෙන නොමැති බව ඒ මහතා පැවසීය.

මෙම රෝහලෙහි අඩුපාඩු රාශියක් පවතින බව මෙහිදී වෛද්‍ය සංගමය ගම්පහ ශාඛා උපසභාපති වෛද්‍ය ප්‍රියන්ත ශිරෝමන් මහතා පැවසූ අතර, රෝහල මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ශල්‍යාගාර කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුම පවසා සිටියේ අසරණ රෝගීන් වෙනුවෙන් පවතින අවශ්‍යතා සපුරාලීමට කඩිනමින් පියවරගත යුතු බවයි.

ඊයේ ශල්‍යකර්ම නවතා දැමීමෙන් පසුව සිදු වූ අපහසුතාව පිළිබඳව රෝගීන් කිහිප දෙනෙකුම අදහස් දැක්වූ අතර, එක් රෝගී කාන්තාවක් පවසා සිටියේ තමන් ශල්‍ය කර්මයක් සඳහා මාස එකහමාරක කාලයක් පොරොත්තු ලේඛනයේ සිටි බවය.

 පවතින මෙම අයහපත් තත්වය  හේතුවෙන් සතියකට දින දෙකක් රෝහලෙහි අක්ෂි ශල්‍යකර්ම 80ක් පමණ සිදු කෙරෙන බැවින් ඒ සියල්ලද නතර කිරීමට සිදුවනු ඇති බවද දැනගත හැකි විය.  මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතාගෙන් සිදුකළ විමසීමේදී ඒ මහතා පවසා  සිටියේ , මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අලුතින් සවිකරලීම පිණිස අදාළ අංශ දැනුවත් කොට ඇති බවත්,  ඒ සදහා කටයුතු සිදු වෙමින් පවතින බවත්ය.

- තිලකරත්න දිසානායක-

විෂ සහිත නීති විරෝධී මත්පැන් පානය කළ පිරිස 14 දක්වා ඉහළට-පොලිසියට වගක් නැහැලු.








විෂ සහිත නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් රෝහල්ගතව සිටි තවත් පුද්ගලයකු ඊයේ (07දා) රාගම ශික්ෂණ රෝහලේදී මරණයට පත්විය. මේ අනුව බාඳුරාගොඩ ප්‍රදේශයේදී පසුගිය 01 හා 02 යන දිනවල සිදුවූ අදාළ සිදුවීමෙන් මිය ගිය ගණන 14 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ සුමිත් ආබෘ (56) නැමැති දෙදරු පියෙකි.  කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (07දා) වන විට සුවය ලබා නිවෙස් කරා පැමිණ සිටියි.

තවත් කිහිපදෙනෙකු මෙසේ නීති විරෝධී මත්පැන් පානය කොට රෝගී වීම හේතුවෙන් රෝහල්ගත වී ඇතැයිද. තවත් කිහිපදෙනකු හොර රහසේ පිටස්තර පෙදෙස්වල රෝහල්වලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවටද පොලිස් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

තොරතුරු අනුව මෙම සිදුවීමෙන් රෝගී වූ තිහක පමණ පිරිසක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට පොලීසිය පවසයි.

මේ අතර, නීති විරෝධි මත්පැන් පානයෙන් අනතුරුව රෝගාතුරව මියගිය මඩිතියවල මැදිකැලේ වත්තේ විසූ සුනිල් අබේරත්න (48) යන අයගේ දේහය අවසන් කටයුතු සඳහා ඊයේ (07දා) සවස ගෙන යන අතර ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් බෙදාහැරී පුද්ගලයාගේ නිවස ඉදිරිපිට රැඳී සිටිමින් මියගිය පුද්ගලයාගේ ඥාතීහු විරෝධතාවක නිරතවූහ.

ගම පුරා පැතිරන මත් උවදුර මැඩ පැවැත්වීමට අදාළ අංශ අපොහොසත් වී ඇති බවත්,බාඳුරාගොඩ ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් ව්‍යාපාරිකයාගෙන් ලබා ගන්නා මත්පැන් මෙම ස්ථානය බෙදා හරින අතර, පොලීසිය හා සුරා බදු නිලධාරින් මෙය වැටලීමට පියවර නොගන්නො බවටද ඒ අවස්ථාවේ විරෝධතාකරුවෝ චෝදනා කළහ.

මෙහිදී වීරෝධතාකරුවන් දේහය කරමතම තබාගෙන වීරෝධය දැක්වූ අතර, ප්‍රදේශයේ ජනතාව මේ ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදෙන බවට බලධාරීන් ප්‍රතිචෝදනා කරන බවට මාධ්‍යවේදීන් පැවසූ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කළේ අදාළ ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබාගැනීමට නම් ඔවුන් දන්නා බවයි.

 දිවුලපිටිය. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී චමින්ද කරුණාරත්න මහතා ඇතුළු ගම්වාසීහු මේ අවස්ථාවට එක්ව සිටීයහ.

ජනතාවගෙන් නැගෙන චෝදනා සම්බන්ධයෙන් කොටදෙණියාව පොලීසියෙන් අප කළ විමසීමේදී එහි නිලධාරියෙකු සඳහන් කළේ මෙම ස්ථානයේ නිතර වැටලීම් කරන බවත්, මම සිදුවීමත් සමග අනාවරණය වූ කරුණු මත අදාළ සැකකාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

මේ අතර මෙකී නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් පසුව වමනය, පාචනය ඇස් දැවිල්ල ඇතුළු සමාන රෝග ලක්ෂණ සහිතව  රෝහලට ඇතුළත් කෙරුණු පළමු පුද්ගලයන් දෙදෙනාගේ මරණ සිදුවීමට හේතුව අනාවරණය කර ගැනීම උදෙසා ඔවුන්ගේ දේහයන් යළි ගොඩ ගැනීමට කටයුතු කොට තිබේ.

ඉන් එක් සිරුරක් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත හෙට (09දා) උඩුඋල්ලේදී ගොඩ ගැනීමට නියමිත බව පල්ලෙවෙල පොලීසිය පවසයි.

මෙසේ ගොඩ ගෙන පරික්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇත්තේ බාදුරාගොඩ, උඩුඋල්ල පදිංචිව සිටි කළුකපුගේ දයාරත්න (63) නැමැති පුද්ගලයායිගේ දේහය සම්බන්ධවය.

පසුගිය 01 වැනිදා රෝගාතුරව රෝහල්ගත කෙරුණු මෙම පුද්ගලයා හා ගස්පේ, ලක්ජයගම, පදිංචිව සිටි  සුමනදාස 82 යන අයවලුන්ගේ හදිසි මරණ පරීක්ෂණ පසුගියදා(02දා) මීරිගම රෝහලේදී පැවැත්වූ අතර, එහිදී ඉදිරිපත් වු සාක්ෂි හා පැවැති රෝගී තත්වයන් සැලකිල්ලට ගනිමින් වෛද්‍ය නිගමන අනුව හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා එම මරණ ස්වභාවික හේතුන් මත සිදු වු ඒවා බව නිගමනය කර තිබිණි.

දිගින් දිගටම පුද්ගලයන් රෝගී වීමත්, මිය යෑමත් හේතු කොටගෙන පරීක්ෂණ පැවැත්වෙද්දී මෙම දෙදෙනාද බාඳුරාගොඩ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් පොළෙන් නීති විරෝධී මත්පැන් පානය කර ඇති බවට හෙළිවීමෙන් අනතුරුව මෙම සිරුරු ගොඩ ගැනීමට අවැසි මූලික කටයුතු සිදුකර අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ඒ අනුව මෙම සිරුරු ගොඩ ගැනීමට අවැසි මූලික කටයුතු සිදු කෙරෙමින් පවතින බව පොලීසිය පවසයි.

කාසල් රෝහලේ නළ දරු උපත් සිදකිරීමට දැන් පහසුකම්








කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ සහායක ප්‍රජනන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය මගින් වීදුරු නළ තුළ සංසේචනය සදහා රසායනාගාර හා ශල්‍යාගාර පහසුකම් ඇතුළත් වන පරිදි මඳසරුභාවයෙන් යුත් විවාහක යුවළ සදහා සේවා සැපයීමට නියමිතය.

එම මධ්‍යස්ථානය වෙනමම නව දෙමහල් ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට නියමිත අතර, ඒ සඳහා ප්‍රතිපාදන ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේත්නාරත්න මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

Wednesday, August 7, 2019

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදන්







සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සතු වාහන 575 ක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවට  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය කළ දැනුම්දීක් අනුව විමර්ෂන ආරම්භ වී ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.

අමාත්‍යාංශයේ ලේකම්වරිය මේ පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර ඇති අතර
මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස වැඩබලන  පොලිස්පතිවරයා අපරාධ සංවිධානාත්මක අපරාධ, නිති, විනය හා කල්ක්‍රියා දිසාහාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි පොලිසිය සිතයි.

මෙම වාහන යම් පොලිසියකින් අත්අඩංගුවට ගෙන තිබේ ද යන්න ගැන සොයා බලා අගෝස්තු 10 වැනිදාට
පෙර වාර්තාවක් සපයන ලෙස අපරාධ, සංවිධානාත්මක අපරාධ, නීතී, විනය හා කල්ක්‍රියා දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය ඇතුළු විශේෂිත පොලිස් ඒකකවලටත්, සියලුම කොට්ඨාස භාර පොලිස්  ස්ථාන වලටත් දැනුම් දී තිබේ.

එම දැනුම් දීම සියලු පොලිස් ස්ථානාධිපතීවරුන්ට ද යොමුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සතු වාහන සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවද  විශේෂ විමර්ෂනයක් සිදුකර විගණන වාර්තාවක් පසුගිය  අප්‍රේල් මාසයේදී නිකුත් කර තිබිණි.

වාහන 1794 අස්ථාන ගත වී තිබීමත්, අමාත්‍යාංශයෙන් බාහිර පාර්ශව වෙත පවරා තිබු වාහන 259 ක් අතුරෙන් 177 ක පැවරීම් වල නිත්‍යනුකූලතාව තහවුරු නොවීමත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබුණ ද අමාත්‍යාංශ ලේඛනයේ ඇතුළත් නොවූ වාහන 202 න් වාහන 171 ක භෞතික පැවැත්ම තහවුරු නොවීමත්  හේතුවෙන් නිශ්චිතව ගණනය කළ නොහැකි අලාභයක් රජයට සිදුවී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව එම වාර්තාවේ සඳහන් කර තිබිණි.


ජනාධිපති ලේකම්වරයාගේ 2010 මැයි 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය අනුව අමාත්‍යවරයෙකු  වෙනුවෙන් වෙන් කළ හැකි වාහන සංඛ්‍යාව තුනක් වුව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනුයුක්ත කර තිබූ වාහන සංඛ්‍යාව 15 ක් බවත්, ඇමැතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා වෙනුවෙන් එක් වාහනයක් පමණක් අනුමත වුව ද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාහන දෙකක් අනුයුක්ත කර ඇති බවත් විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වෙයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනුමත වාහන සංඛ්‍යව තුනක් වුව ද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 11 ක් අනියුක්ත කර තිබුණු බව ද එහි සඳහන් වෙයි.

අමාත්‍ය කාර්යාලයට අනුයුක්ත කර ඇති වාහන තුනක් 2017 ජනවාරි පළමු වැනිදා සිට 2017 ජුනි 30 දක්වා අතර මාස හයක පමණ කාලයේදී කිසිදු අවස්ථාවක අමාත්‍යාංශයට පැමිණ නොතිබූ බවත්, අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයට වැඩිපුර වෙන්කර ඇති වාහනවලට අමතරව 2017 වසරේ පළමු මාස හයේදී අවස්ථා 314 කදී අමාත්‍යංශය භාවිතයේ ඇති වාහන අනුයුක්ත කර ඇති බවත් ඒ සඳහා අවස්ථා 102 කදී කිලෝ මීටර 56,132 ක් සදහා රුපියල් 7,93,370 ක ඉන්ධන වැයකර තිබුණු බවත් විශේෂ විමර්ශන වාර්තාවේ දැක්වේ.

විෂයභාර අමාත්‍යවරයාට,නියෝජ්‍ය අමාත්‍යවරයාට හා අදාළ කාර්ය මණ්ඩලයට චක්‍රලේඛවලට පටහැනිව වාහන හා ඉන්ධන ලබා දීමට වගකිව යුතු නිලධාරින්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බව ද නිගමනය කර විගණකාධිපති දෙපාර්තුමේන්තුව පැවැත්වූ හඳුනාගත නොහැකි වාහන 171 සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ  දෙපාර්තුමේන්තුවට පැවරීම සුදුසු බවද නිර්දේශ කර තිබිණි.

(තරිඳු ජයවර්ධන)

දුම්රිය සඳහා විද්‍යුත් ප්‍රවේශපත් ලබාදීමේ සෙවාවක් මේ වසරේදී.












මේ වසර ඇතුළත දුම්රිය ප්‍රවේශපත් ලබාගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත් (e-Ticketing) සේවාව හඳුන්වා දෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (06දා) පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඒ මහතා  මේ පිළිබඳව ප්‍රකාශ කළේය.

ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත් ක්‍රමය හඳුන්වාදීමේදී එය ආකාර හතරකින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඩිලන්ත මහතා පැවසීය.

මේ යටතේ කිව්.ආර්. කේත ක්‍රමය ඔස්සේ, ස්මාර්ට් කාඩ් ඔස්සේ සහ ස්වයංක්‍රීය උපකරණ හරහා දුම්රිය ප්‍රවේශපත් ලබාගැනීමේ අවස්ථාව මගීන්ට හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත්, එම ක්‍රම සදහා මගීන් හුරුවනතුරු සාමාන්‍ය ප්‍රවේශපත් ලබාදීමේ ක්‍රමවේදයද ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

 එමෙන්ම කැලණිවැලි  දුම්රිය මාර්ගයේ ද්විත්ව මාර්ගකරණය යටතේ මරදානේ  සිට නුගේගොඩ දක්වා
කණු මත යන විදුලි දුම්රිය  මාර්ගයක් ඉදිකරන අතර,  එහි ඉදිකිරීම් මේ වසරේදී ආරම්භ කරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.

දුම්රිය තදබදය අවමකර ගැනීම සඳහා මරදාන කොටුව අතර දුම්රිය මාර්ග ප්‍රමාණය 08ක් බවට පත්කරන බවත්, පොල්ගහවෙල - කුරුණෑගල දුම්රිය මාර්ගය සඳහා විද්‍යුත් සංඥා ක්‍රමය හඳුන්වා දෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා.

"ඉලෙක්ට්‍රොනික් ටිකට් ක්‍රමය මේ වසරේදී හඳුන්වා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ආකාර හතරක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කිව්.ආර්. කෝඩ් (OR කේතක්‍රමය) මගින් ටිකට් ලබාගැනීමට, ස්මාර්ට් කාඩ්  ක්‍රමය හඳුවෝ දෙන්න, ටිකට්  ලබාගත හැකි මැෂින් සවි කරන්න වගේම දැන් පවතින ටිකට් ක්‍රමයත් යම් කාලයක් යනතුරු පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

තදබදය අවම කරගන්න මරදාන - කොටුව අතර මාර්ග 08ක් සකස් කරනවා. ඒ වගේම  දුම්රිය ස්ථාන නවීකරණය කිරීමේ කටයුතු මේ වසර. ඇතුළත සිදුකරනවා"

යනුවෙන් පැවසීය. එහිදී අදහස් දැක්වූ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා.

"උඩරට යන දුම්රියවල ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි තැරැවිකාරයෝ විදේශිකයන්ගෙන් වැඩි මුදලට  ටිකට් අලෙවි කිරීම. මේ නිසා අපි තාවකාලික විසඳුමක් එයට හඳුන්වා දුන්නා.

නමුත් එය 100% සාර්ථක නැහැ. කොහොම වුණත් ඉලෙක්ට්‍රොනික් ටිකට් ක්‍රමයට හරහා මේ දේවල් අවම වේවී කියලා අපි හිතනවා.ඒ වගේම විදේශිකයින්ට වගේම රටින් පිට සිටින අයටත් මාස කිහිපයක කලින් ටිකට් බුක් කිරීමේ හැකියාව ම් ක්‍රමවේදය හරහා තිබිනවා.

 ඒ වග්ම පොල්ගහවල සිට පොතුහැර දක්වා විදුලි සංඥා ක්‍රමය හඳුන්වා දීමටත් පොල්ගහවෙල - කුරුණෑගල මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත්කිර්මත් මේ වසරේදී සිදුකරන්න අපි බලාපොරොත්තු වෙනවා" යැයි සදහන් කළේය.

-චාමර සම්පත්-

ජල සම්පාදන මණ්ඩල සභාපති කෝටි 40ක් ගහලා-FCID ය උසාවියට වාර්තා කරයි


ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කෙරන කොළඹ නැගෙනහිර නගරය සඳහා වූ "විශේෂ ජල ව්‍යාපෘතියක්" එම මණ්ඩලයේ සභාපතිවරයා ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා රුපියල් කෝටි 40 කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ, විමර්ශන කොට්ඨාසය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත.

2006 අංක 06 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ 03 වන වගන්තිය ප්‍රකාර හෝ වෙනත් යම් ව්‍යවස්ථාපිත නීතියක් මගින් වරදක් වශයෙන් අර්ථ දක්වා ඇති කිසියම් සාපරාධී ක්‍රියාවක් හෝ නොකර හැරීමක් මෙමගින් සිදුවී ඇති දැයි යන්න සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව සදහන් කරමින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 4 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රණසිංහ මහතා එලෙස අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මම සිද්ධියට අදාළ පැමිණිල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කර ඇත්තේ ජල සම්පාදක මණ්ඩලයේ හිටපු කයකු වූ ගල්කිස්සේ පදිංචි මොහාමඩ් මොහිදිත්
මොහාමඩ් ඉමිතියාස් යන අය විසිනි.

කොළඹ නැගෙනහිර නගර සඳහා වූ විශේෂ ජල ව්‍යාපෘති අදියර 1 2 3 වශයෙන් මෙම ව්‍යාපෘතිය ඉකුත් 2015 වර්ෂයේ සිට මේ වන තෙක් පවත්වාගෙන යන බවත් ඒ සඳහා වැයවන මුදලට වැඩියෙන් රුපියල් මිලියන 4000ක මුදලක් යොදා මෙම වංචාව සිදුකර ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම ව්‍යාපෘතියට අදාළව ඉකුත් 2013 වර්ෂයයේ පුවත්පත් දැන්වීම් මගින් ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත්කරුවන් බඳවාගෙන ඇති බවත්, එම කොන්ත්‍රාත්කරුවන් වෙත අදාළ වංචා කළ මුදල් ලබා දීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වූ කේ.ඒ. අන්සාර් සහ අදාළ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා වූ එස්.ඒ. රශීඩ් යන අයගේ අනුදැනුම මත සිදුවී ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

අදාළ ව්‍යාපෘතියේ ඉංජිනේරුවන්, කාර්යාලවලට ගෙවීම්, පස් දැමීම්, අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම්, වතුර මීටර් සඳහා අදියට යොදවමින් මෙම වංචාව සිදුකර ඇති බවත්, රාජ්‍ය ආයතනයක් වෙත මෙම මණ්ඩලයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.

-නිමන්ති රණසිංහ-

Monday, August 5, 2019

අගමැති කතරගමට එද්දී හෙලිකොප්ටරය නිසා ගස් ගැලවී පිරිසකට තුවාල


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතරගම උත්සවයකට පැමිණි හෙලිකොප්ටරය නැවත පිටත්ව යාමේදී යානයේ සුළං පහරට මැණික් ගඟ ඉවුරේ ගසක අත්තක් කඩා වැටී මැණික් ගඟේ දිය නාමින් සිටි පිරිමියකු සහ කාන්තාවක තුවාල ලබා පෙරේදා (3) උදේ කතරගම දිසා රෝහලට ඇතුළත් කෙරිණ.

මෙසේ තුවාල ලබා රෝහල්ගත කළේ මාතර ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණ දිය නාමින් සිටි ජී.එල්.ඒ. ජගත්සිරි (33) සහ ගාල්ල පෙරුමගේ කරුණාසීලි (64) යන දෙදෙනාය.

ජගත්සිරි නමැත්තාගේ වම් අතට බරපතළ හානි සිදුවී ඇති නිසා ඔහු හම්බන්තොට මහ රෝහල වෙත යැවූ බව කතරගම රෝහලේ වෛද්‍යවරු පවසති. කාන්තාව සීරීම් තුවාල සඳහා ප්‍රතිකාර ගෙන කතරගම රෝහලින් පිටව  ගොස් ඇත.

රුපියල් ලක්ෂ 745ක වියදමින් අභිනවයෙන් ඉදිකළ  කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පෙරේදා (3) පෙරවරු 9.00ට විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

කතරගම ගංගාරාම විශ්‍රාම ශාලාව අසල හෙළිකොප්ටර් අංගනයට අග්‍රාමාත්‍යවරයා බස්සවා ඉන්ධන ලබාගැනීම් සඳහා ගුවන්ගත කරන අතරවාරයේ ගඟ ඉවුරේ තිබූ ගසක අත්තක් මොලෙය කඩා වැටී ඇති බව කියයි.

කතරගම පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

(කතරගම . එම්.කේ. නන්දසේන)

විදෙස් රටලව සේවය කරන දෙමව්පියන්ගේ දරුවන්ට ලංකාවේ පාසල්වල ඉංග්‍රීසි පන්ති කාමර







විදේශයන්හි සේවය කර මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන්ට මෙරට රජයේ පාසල්වල අලුතෙන් ඉංග්‍රීසි මාධ්‍ය පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධානය යොමු වී තිබේ.

මේ සඳහා විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන් පිළිබඳ දත්ත ලබාගෙන අධ්‍යාපන අමාත්‍යාංශයටම යොමුකිරීමට කාර්යාංශය වැඩපිළිවෙළක් සකස් කර ඇත.

දැනට මෙම දූ දරුවන්ගේ දත්ත රැස්කරමින් පවතින බවත්, එම සියලු තොරතුරු ලැබුණු පසුව ඉංග්‍රීසි මාධ්‍ය පත්ති කාමර සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කිරීමට නියමිත  බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශයන්හි සේවය කර මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන්ට මෙරට පාසල්වලට ඇතුළත් විය හැකි බවට විදෙස් රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ සංගමේ දැනුවත් කිරීමටත්, ඒ රටවල තානාපති කාර්යාල මගින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීමටත්, කාර්යාංශයේ වෙබ් අඩවියේ පළ කිරීමටත් තීරණය කර තිබේ.

එසේම විදේශවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ මෙම දූ දරුවත් ශ්‍රී ලංකාවට පැමිණි පසු රජයේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කිරීමට ප‍්‍රමාණවත් පත්ති කාමර නොමැති බව පෙනී ගොස් තිබෙන අතර, මේ සම්බන්ධව විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා අතර සාකච්ඡා පවත්වා ඇත.

යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා පාසල්වලට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන විදේශගත මවුපියන්ගේ දරුවන් සංඛ්‍යාව සම්බන්ධ ඇස්තමේන්තු
අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වාදී තිබෙන අතර, ඒ අනුව ප්‍රධාන වශයෙන් ශ්‍රමිකයන්ගේ රැකියා කරන රටවල ශ්‍රී ලාංකික තානාපති කාර්යාලවලින් එම  දත්ත ලබාදෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීම් කර තිබේ.

මීට අමතරව විගමනික ශ්‍රමිකයන්ගේ, පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමේදී ප්‍රමුඛතාව ලබාදෙන ලෙස විදේශ
සේවා නියුක්ති කාර්යාංශය මගින් දැනට ලිපියක් නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද එම කාර්යාංශය පෙන්වා දෙයි.

-අමිත් මධුරංග-

ගෝඨගේ ආරක්ෂාවට ගම්වල තරුණ ගැටවුන්ගෙන් බලකායක්






ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වෙනම ස්වේච්ඡා බළඇණියක් ඉදිරි මැතිවරණ කාලයේදී යෙදවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

ආරක්ෂක අංශවලින් විශ්‍රාම ලැබූ හා නිත්‍යනුකූලව ඉවත්වූ  නිලධාරින් ආසනයට පස්දෙනා බැගින් එකතුකරගෙන මෙම බළඇණිය සකස් කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ  ආසනවලට පැමිණීමේදී ඔහුගේ නිත්‍ය ආරක්ෂක නිලධාරීන් විවිධ අන්දමින් සහායදීම මෙම බළඇණියට පැවරෙන ප්‍රධාන වගකීම බවත් ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්  ඊයේ පැවැසිය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට රජයෙන් ප්‍රමාණවත්  ආරක්ෂාවක් මේ දක්වා ලැබී නැති බවත් මේ තත්වය
යටතේ ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ ඉහළ නායකයන්ගේ අවධානය යොමුවී තිබෙන බවත් එම  ප්‍රකාශකයා කීය.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ගැන පක්ෂයේ සියලුම ආසන සංවිධායකයන් දැනටමත් දැනුවත් කරනු ලැබ ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා සමග යුද හමුදාවේ එකට  සේවය කළ හමුදා නිලධාරීන්ද මෙම ආරක්ෂක වැඩපිළිවෙළට ස්වේච්ඡාවෙන්ම එකතුවීමට කැමැත්ත පළකර ඇතැයි කියති.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතකු වන  යෝෂිත රාජපක්ෂ මහතාද කටයුතු කරන බව ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාඡපක්ෂ මහතාගේ නාමය ලබන 11 වැනිදා පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් එදින සිට දිවයිනේ ප්‍රධාන නගර රැසක පැවැත්වෙන ජනතා පිළිගැනීමවලද ඔහු සහභාගිවීමට නියමිත බවත් මේ අනුව උතුරු මැද පළාතේ පිළිගැනීම් උත්සව  පාරිලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ද, මධ්‍යම පළාතේ පිළිගැනීම් ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්දානන්ද අලුත්ගමගේ හ ලොහාන් රත්වත්තේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ද, කතරගම ප‍්‍රදේශයේ පිළිගැනීම් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානයෙන්ද, හම්බන්තොට පිළිගැනීම් චමල් රාඡපක්ෂ හා නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ  මූලිකත්වයෙන්ද, මාතර ප්‍රදේශයේ පිළිගැනීම් ඩලස් අලහප්පෙරුම හා කංචන විජේසේකර මන්ත්‍රීවරුන්ගේ  මුලිකත්වයෙන්ද, ගාල්ලේ පිළිගැනීම් වෛද්‍ය රමේෂ් පතිරණ හා මොහාන් සිල්වා මන්ත්‍රීවරුන්ගේ මූලිකත්ත්වයන්ද  පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

(සුජිත් හේවාපුලිගේ)

Friday, August 2, 2019

පිරිමි දෙදෙනෙකු ඇසුරු කළ 14 හැවිරිදි සිසුවිය ගබ්සාවකින් අසාධ්‍ය වී රෝහලට








 නීති විරෝධී ගබ්සාවකට ලක්ව අධික ලෙසින් රුධිරය ගලා යාම නිසා අසාධ්‍යය තත්වයට පත් 14 වැනි වියේ පසුවන සිසුවියක ඊයේ (1) උදේ හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් නළ බව පලම පොලිසිය කියයි.  අතවරයකට පත්වූ මෙම දැරියගේ මව විදේශ රැකියාවකට ගොස් ඇති බවත් ඇය සිය පියා සහ අක්කා සමග නිවසේ ගතකර ඇති බවත් පාසල් යමින් සිටි දැරිය බිංගිරිය ප්‍රදේශයේ පදිංචි 120 වැනි වියේ පසුවන තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවක්  පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.

 මෙයට දින දෙකකට පමණ පෙරදී ඇය හදිසියේම රෝගාතුර වූ අතර ඊට හේතුව සොයාගත නොහැකිවී ඇත.  දැරිය තම පෙම්වතා සමග අවස්ථා කිහිපයකදී තම නිවසේදිම අඹුසැමි ඇසුරක් පැවැත්වූ බව ඇගේ නිවසේ සාමාජිකයන් පසුව දැනගෙන ඇති බව පොලිසිය කියයි.

 ඒ අතර ඇය ගැබ්ගත් බව දැනගත් පෙම්වතා ඇයට කිසියම් පෙති වගයක් ගෙනැවිත් බිමට දුන් බවත් එය පානය කළ දිනට පසුදින ඇය රුධිරය පිටවීමෙන් අසාධ්‍යය තත්වයට පත්වීම නිසා රෝහල් ගතකළ අතර රෝහලෙන් මේ බව පොලිසියට දැනුම්දුන් පසු පොලිසිය පරික්ෂණ ආරම්භ කළ බවත් කියයි.

පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම දැරිය තම නිවස අසල පදිංචි 47 වැනි වියේ පසුවන විවාහකයකු සමගද ඇසුරක් පවත්වා ඇති බව හෙළිවූ බව පොලිසිය කියයි.  මේ අනුව පෙම්වතා හා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

-හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු-