Thursday, February 28, 2019

කොකේන් ගැන චෝදනා කරද්දි වගකීමෙන් කතාකරන්න-අගමැතිගෙන් ඇමතිලාට අවවාද ඇමති රන්ජනුත් ආවේගාත්මකව අදහස් පළ කර රැස්වීමෙන් පිටව යාමට උත්සාහ කරලා


එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් ජනතා සේවය කිරීමේදීත් අදහස් ප්‍රකාශ කිරීමේදීත් දැඩි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික  පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතා ඊයේ (27) පැවසීය.

 එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ්‍යනයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (27) දහවල් රැස්විණ.

මැති, ඇමැතිවරුන් කොකේන් මන්ද්‍රව්‍ය භාවිත කරන බවට මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංඡන් රාමනායක මහතා කර තිබු ප්‍රකාශය පිළිබඳව ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අවධානය යොමු කෙරිණි.

ඒ කරුණු මතු වූ අවස්ථාවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා පැවසුවේ අදාළ කරුණ සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කළ ලක්ෂ්මන් කිරිඇල්ල කමිටු වාර්තතාවේ එක්සන් ජාතික පෙරමුණට සම්බන්ධ මැති ඇමැතිවරුන්ගේ නම් නැති නමුත් වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන්ව තිබෙන බවයි.

වෙනත් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට  තමන්ට අයිතියක් නැති බව කෘත්‍යාධිකාරී මණ්ඩලයට පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා අවශ්‍ය නම් පොලිස් (සී.අයි.ඩි.) වාර්තා පදනම් කරගනිමින් රජය ලෙස අදාළ මන්ත්‍රිවරුන් සකබන්ධයෙන් ක්‍රියා කළ හැකි යැයි කියා සිටියේය.

කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ආවේගාත්මක ලෙස අදහස් පළ කර ඇති අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසා ඇත්තේ තමන්ට ලක්ෂ 7ක් වන ෆේස්බුක් ගිණුමක් ඇති බවත් ජනප්‍රිය දේශපාලකයකු ලෙස තමන් කියන කරුණු ගැන අවධානය යොමු කළ යුතු බවය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ද එහිදී වගකීමෙන් අදහස් ප්‍රකාශ කිරීමේ වැදගත්කම පිළිබඳව කරුණු දැක්වූහ.

 කෘත්‍යාධිකාරි මණ්ඩලය පැවැත්වද්දී රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ආවේගාත්මකව අදහස් පළ කරමින් රැස්වීමෙන් පිටව යාමට උත්සාහ කළ බව ද වාර්තා විය

(අංජුල මහික විරරත්න)

ගිය වසරටම මැතිසබේ කතා නොකරපු මන්ත්‍රීන් මෙන්න-12ක්ම සන්ධානයේ-1ක් එජාපයේ









පසුගිය 2018 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු පාරිලිමේන්තුවේදී වාද විවාදවලට සහභාගී වී අදහස් ප්‍රකාශ කර නොමැතී බව වාර්තා වේ.


(Manthri.lk) නමැති වෙබ් අඩවිය මගින් සිදුකළ සමීක්ෂණයක දී මේ බව තහවුරු වී තිබේ.

මම මන්ත්‍රීවරුන් 12 දෙනෙකුම එක්සත් ජනතා නින්දහස් සන්ධානය නියෝජනය කරන අතර එක් මන්ත්‍රීවරයකු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරයි.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සරත් අමුණුගම, ඉන්දික බණ්ඩාරනායක, සාරානාත් බස්නායක, ලක්ෂ්මන් සෙනවිරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, අංගජන් රාමනාදන්, ලොහාන් රත්වත්තේ, සිරිපාල ගම්ලත්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ආරුමුගන් තොණ්ඩමන්, තේනුක විදානගමගේ. දුලිප් විජේසේකර යන මන්ත්‍රීවරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ වසන්ත සේනානායක මහතා ද 2018 වසරේ දී පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වා නැතැයි එම සමීෂණයේ දී හෙළි වි ඇත.

2018 වසරේ දී පාර්ලිමේන්තුව දින 77ක් පවත්වා ඇති අතර ඉහත සඳහන් කළ මන්ත්‍රීවරුන් 7 දෙනකුම පාර්ලිමේන්තුවට පැමිණ ඇත් එයින් දින 30කට අඩු සංඛ්‍යාවක දි පමණි.  ඒ අතරින් ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තත් දින 16ක් පමණි.

පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා හැන්සාඩි දත්ත මත පදනම්ව මෙම විශ්ලේෂණය සිදුකර තිබේ.

(ඩයනා උදයංගනී)

රටවල් රැසකට සංචාරකයින්ට නිදහස් වීසා



එළඹෙන අප්‍රේල් පළමුවැනිදා 2සිට මාස 6ක කාලයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් 10කට අයත් සංචාරකයින් සදහා ගාස්තු අය කිරීමකින් තොරව නිදහස් වීසා ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. යුරෝපා සංගමයට සහ තවත් රටවල් 9ක සංචාරකයන්ට මෙම නිදහස් වීසා පහසුකම ලබා දීම සඳහා වන අමාත්‍ය මණ්ඩල යෝජනාව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරනු ලැබිණ. ඒ අනුව තායිලන්තය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, මැලේසියාව හා නවසීලන්තය යන රටවල් ඇතුළුව තවත් රටවල් දෙකකට අයත් සංචාරකයන්ට මෙම අවස්ථාව හිමිවී තිබේ.

සෑම වසරකම අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා සංචාරකයන්ගේ පැමිණීම අඩු අගයක් ගනී. නමුත් මැයි සිට අගෝස්තු දක්වා වන කාල සීමාවේදී බෞද්ධාගමික උත්සව සහ සංස්කෘතික අංග දිවයින පුරා පැවැත්වීම හේතුවෙන් බුදුදහම ප්‍රචලිතව ඇති තායිලන්තය සහ අනෙකුත් ආසියානු රටවල බෞද්ධ සංචාරකයන් ආකර්ෂණය කරගැනීම මින් අපේක්ෂ කෙරේ.
-තියේෂා ද සිල්වා-

මධූෂ් වෙනුවෙන් ලංකාවේ නීතිඥවරියක් ඇතුළු තිදෙනෙක් ඩුබායි ගිහින්-අමල් නදීමාල් අද ඩුබායි අධිකරණයට









ඩුබායිහිදී අත්අඩංගුවට පත් අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිසක් අද (28දා) ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා  ඩුබායි සිට පැවැසීය.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා මීට පෙර ඩුබායි වෙත ගිය නීතිඥ ශාබ්ධික වෙල්ලප්පිලි මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමන්ද නැවතත් එළැඹෙන 2වැනි දා ඩුබායි බලා පිටත්ව යන බවයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ නීතිඥ ශාබ්ධික වෙල්ලප්පිලි මහතා

"තාම වෛද්‍ය වාර්තා ඇවිත් නෑ කියන එක තමයි දැනගන්න ලැබුණේ. මුත්‍රා සාම්පල වාර්තාව කොහොමටවත් ඇවිත් නෑ. අද (27දා) උදෑසන රුධිර සාම්පල වාරිතාව ඇවිත් තිබෙනවා කියා දැනගන්න තිබුණා. නමුත් මට තාම මේ දෙදෙනාගේ  (අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා) තත්වයන් මොකක්ද කියලා දැනගන්න ලැබුණේ නෑ. අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා ඇතුළු පිරිස අද (28) අධිකරණයට ඉදිරිපත් කරනවා. මම දෙවැනිදා ඩුබායිවලට යනවා'' යැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර, ''මාකඳුරේ මධුෂ්'' හා ඔහුත් සමග අත්අඩංගුවට පත්වූ අනෙකුත් සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් පිරිසක්ද අද (28)දා දිනයේදී ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද ආරක්ෂක ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් මේ පිළිබදව අවසන් තීරණය ඩුබායි පොලීසිය විසින් අද (28දා) උදෑසන ගනු ඇති බවද වාර්තා වෙයි.

එසේම මාකඳුරේ මධූෂ් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඩුබායි නීතිඥයින් සම්බන්ධීකරණය කිරීම සඳහා ශ්‍රී ලාංකික නීතිඥවරියක් හා නීතිඥවරුන් දෙදෙනෙක් ඩුබායි වෙත ගොස් ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

-රුවන් කාශ්‍යප-

මෛත්‍රි-රනිල්-මහින්ද අද විශේෂ හමුවක්




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (28දා) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

ජාතික ප්‍රශ්නය, දේශපාලන ස්ථාවරත්වය, ඉදිරි මැතිවරණ ඇතුළු ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් එහිදී සාකච්ඡා කිරීමට නියමිතය. දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක නියෝජිතයන්ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිත බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

-උපතිස්ස පෙරේරා-

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනයේ පැහැර ගැනීමට යොදා ගත් තවත් රථයක් අල්ලයි



රත්ගමදී පුද්ගලයන් දෙදෙනකු නීති විරෝධී ආකාරයෙන් පැහැරගෙන ගොස් කෘෘර වධ හිංසනයට ලක්කොට ඝාතනය කොට පුලුස්සා දැමීමේ සිද්ධියට යොදාගත් තවත් මෝටර් රථයක් ඊයේ (27දා) රහස් පොලිස් භාරයට ගෙන තිබේ. ඔවුන් දෙදෙනාව පැහැර ගෙන යෑම සඳහා ඔවුන් සිටි නිවෙසට පොලිස් නිලධාරීන් පැමිණි වෑන් රථයට අමතරව මෙම මෝටර් රථයක්ද පැමිණ තිබේ.

මෙම මෝටර් රථයේ හිමිකරු මාතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බවත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ සේවය කරන සිය මිතුරකු වන පොලිස් කොස්තාපල්වරයකුගේ ඉල්ලීම මත මෝටර් රථය ඔහුට ලබා දුන් බවත් සිදු කරන ලද පරීක්ෂණවලදී හෙළිව ඇත. මම මෝටර් රථයේ හිමිකරුද ඊයේ (27දා) දින රහස් පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ගය සඳහන් කරයි.

මේ වන විට මෙම සිද්ධියට අදාළව රථවාහන 3ක් එනම්, වෑන් රථයක්, කැබ් රථයක් සහ මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ. තවද මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය මඟහරිමින් සිටින දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් පස්දෙනකු හට විදෙස් ගතවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද මේ වන විට නිකුත් කර ඇත.

-චාමර අමරසූරිය-

දෙවට වෙරළේදී කතකගේ කලවා වීඩියෝ කළ අයෙක් අත්අඩංගුවට-දරුවන්ට කිරිදෙන කතුන්ගේ ඡායාරූපත් ජංගම දුරකථනයේ තිබිලා


දෙවට වෙරළ තිරයේ දි කාන්තාවකගේ පාද ප‍්‍රදේශය සිය ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කළ මැදිවියේ පුද්ගලයකු පෙරේදා (26) රාත‍්‍රි ගාල්ල වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙකී කාන්තාව ඇතුළු පිරිසක් කුරුණෑගල ප‍්‍රදේශයේ සිට පැමිණ දෙවට වෙරළ තිරයේ ඇවිදමින් සිට ඇත. එහිදි මැදිවියේ පසුවු පුද්ගලයා සිය ජංගම දුරකථනයෙන් මෙම කාන්තාවකගේ පාදවල පහළ ප‍්‍රදේශය ජංගම දුරකථනයෙන් ඡායාරූප ගතකරන අයුරු ඇයගේ සැමියා දැක තිබේ.

 පසුව ඔහු මොහුගේ ජංගම දුරකථනය ලබාගෙන පරික්ෂා කොට ඇත.පසුව මේ පිළිබද ගාල්ල වරාය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පුද්ගලයා අගුළුගහ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය විසින් මොහුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරිමේදි එහි කාන්තාවන්ගේ පාදවල ඡායාරූප හා කාන්තාවන් විසින් දරුවන්ට කිරිදෙන ආකාරය ඡායාරූප තිබු බව පොලිසිය පවසයි.

 ලලිත් චාමින්ද සහ එස් .කේ. කළුආරච්චි

ලෝක ආහාර දින චිත්බ‍ර තරඟයෙන් බත්තරමුල්ලේ පුංචි දිනුග ලෝකයේම පළවෙනි තැනට





"ලෝක ආහාර දිනය - 2018" ගෝලීය පෝස්ටර් තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බත්තරමුල්ල පැලවත්ත පිහිටි "ලිට්ල් අයින්ස්ටයින්" පෙර පාසලේ දිනුග ද සිල්වා සිසුවා සමත් වී තිබේ.

"අපගේ ක්‍රියාමාර්ග අපගේ අනාගතයයි. 2030 වන විට කුසගින්න තුරන් කළ ලොවක් බිහි කළ හැකියි" යන්න තේමාව යටතේ පවත්වන ලද 2018 වසරේ තරගයට, රටවල් 118 කින් අයැදුම්පත් 8,000 කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති අතර මෙහිදී ජයග්‍රහණය කිරීමට අවුරුදු 5ක් වයසැති දිනුග සිසුවා සමත් වී ඇත.

ඔක්තෝබර් 16 වැනි දින පැවැත්වෙන ලෝක ආහාර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO)විසින් වාර්ෂිකව මේ පෝස්ටර් තරගය පවත්වයි. මේ සිසුවා වයස අවුරුදු 5-8 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය සඳහා තෝරාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ FAO නියෝජිත නිනා බ්‍රැන්ඩ්ස්ට්‍රප් මහත්මිය විසින් සහතිකය හා ත්‍යාගය පසුගියදා කොළඹ එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයේ පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී දිනුගට ප්‍රදානය කරනු ලැබිණි.

                                                       -උදයන්ති මුණසිංහ-

මව මිය ගිය ශෝකයෙන් දියණියත් දිවි නසාගෙන


මාස දෙකකට ඉහතදී තම මව මිය ගිය ශෝකයෙන් යාපනය කයිතඩි ප‍්‍රදේශයේ වයස අවුරුදු විසි එකක තරුණියක් ගෙළ වැලලාගෙන මිය ගොස් තිබේ.

ගම්වාසීන් පිරිසක් විසින් ඇය එල්ලී සිටිනු දැක 26 දා සවස චාවාකච්චේරී පොලීසියට ඒ බව දැණුම් දී තිබේ.

පොලීසිය පැමිණ මියගිය තරුණියගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා චාවකච්චේරිය රෝහල වෙත බාර දී තිබේ.

ගම්වාසීන් පොලීසියට පවසා ඇත්තේ ඇගේ මව මීට මාස දෙකකට පමණ ඉහතදී මිය යාමෙන් පසුව ඇය දැඩි ශෝකයෙන් සිටි බවයි.

මව මිය යාමෙන් පසුව එම තරුණිය මදක් සිහි විකල් ගතියකින් පසු වූ බවද පවසා ඇත.යාපනය චාවකච්චේරී පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

-දිනසේන රතුගමගේ-

FCID ලොක්කා කලින්ම ගෙදර යවයි



මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතාගේ සේවා කොන්ත්‍රාත් කාලය අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය පෙරේදා (26දා) තීරණය කර තිබේ. දැනට සිවු වසරක් ගෙවී ඇති මෙම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ආරම්භ කරන ලද්දේ 2015 වසරේ පෙබරවාරි මස 26 වැනි දින වන අතර එහි ආරම්භයේ සිට මේ දක්වා එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේද රවි වෛද්‍යලංකාර මහතාය.

වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් ඒ මහතා ඉකුත් වසරේ මැයි මස 14 වැනි දින විශ්‍රාමයෑමට නියමිතව තිබුණද කැබිනට් අනුමැතිය යටතේ ඔහුට කොන්ත්‍රාත් පදනම මත සේවා කාලය මේ වසරේ මාර්තු 30 වැනි දින තෙක් ලබා දී තිබිණි. එහෙත් එම කාලය අවසන් වීමට මසකට අධික කාලයක් තිබියදී කැබිනට් මණ්ඩලය ඔහුගේ සේවා කොන්ත්‍රාත්තුව මෙලෙස අවසන් කර ඇත. ඔහුගේ කොළඹ පිහිටි නිල නිවෙසින් ඔහුගේ බඩු භාණ්ඩ ආදියද ඉකුත් සිකුරාදා (22දා) වන විට ඉවත් කරගෙන තිබුණු බවද වාර්තා වේ.

-චාමර අමරසූරිය-

මහ බැංකු කොල්ලයේ හොරුන්ට දඬුවම් දෙන්න බැරි ඔවුන්ගේම අය ආණ්ඩු කරන නිසයි -ජනපති



මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාවෙන් නිර්දේශ කර තිබූ වෝහාරික විගණනය (Forensic Audit) තවමත් ආරම්භ කර නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපති කොමිෂන් සභාව මඟින් බැඳුම්කර ගනුදෙනුවලට අදාළව වැරැදිකාරයන් රටට හෙළි කළද ඔවුන්ට දඬුවම් දීමට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේම මිනිසුන් ආණ්ඩු කරන නිසා යැයිද ජනාධිපතිවරයා චෝදනා කරයි.

"ඒ මිනිසුන්ට දඬුවම් දෙන්න හම්බවෙන්නේ නෑ. ඒ මිනිස්සු ආණ්ඩු කරන කොට කොහොමද දඬුවම් දෙන්නේ..? ඒ ගොල්ලෝ නැති ආණ්ඩුවක් එන්න ඕනේ. එහෙම නැත්තම් ආණ්ඩුවේ ඒගොල්ලෝ වෙනස් වෙන්න ඕනේ. එහෙම වෙනස් වෙලා නැහැ. ඒකයි ඇත්ත. අර්ජුන මහේන්ද්‍රන්ව ගේන ආණ්ඩුවක් තිබෙන්නට ඕනේ" යැයිද ජනාධිපතිවරයා පැවැසුවේ ඊයේ (27දා) බත්තරමුල්ලෙදී පැවැති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සංවත්සරයට එක්වෙමිනි.

-පහන් විජේසේකර-

Wednesday, February 27, 2019

යාපනයේ කුඹුරක සිට ගොවීන්ට බාධා කල විශාල නාගයා අල්ලයි


යාපනයේ වලිකාමම් නැගෙනහිර පළාතේ කුඹුරු යායට විශාල නාගයෙකු පැමිණීම නිසා එම කුඹුරු යායේ ගොවීන්ට අස්වැන්න නෙළාගැනීමට නොහැකි තත්වයක් පසුගිය සතියේදී ඇතිවිණි.

 නාගයාට ඇති බිය නිසා එම කුඹුරු යායේ අස්වැන්න නෙළීමට යෑමටද බොහෝ දෙනෙකු බිය වී අස්වැන්න නෙළීමේ කටයුතුද අතහැර දමා තිබුණි. වනජීවී නිලධාරීන්ට මේ පිළිබදව දැනුම් දීමෙන් පසුව ඔවුන් පැමිණියද විශාල නාගයා අල්ලා ගැනීමට නොහැකි වී තිබේ.

 කෙසේ හෝ කුඹුරු වල අස්වැන්න නෙළීමට අවශ්‍ය නිසා වළිකාමම් පළාතේ ගොවීන් පිරිසක් දින දෙකක් මුළුල්ලේ මහන්සි වී එම විශාල නාගයාව අල්ලා ගෙන තිබේ.

 ගොවීන් විසින් අල්ලා ගන්නා ලද එම නාගයා සැතපුම් හැටක් පමණ දුර පිහිටි මන්නාරම කැළයට රැගෙන ගොස් මුදා හැර තිබේ. නාගයා කැළෑවට රැගෙන යෑමෙන් පසුව වළිකාමම් පළාතේ කුඹුරු යායේ අස්වැන්න නෙළීමේ කටයුතු ගොවීන් විසින් ආරම්භ කොට ඇත.

සයිටම් සිසු අයතිවාසිකම් උල්ලංඝනය වූ නිසා සීමාවාසික පත්වීම් 278ක් අත්හිටුවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්










සීමාවාසික වෛද්‍ය පත්වීම් 278 ක් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඊයේ (26) හදිසියේ නතර කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව එම පත්විම් පිරිනැමීම  නතරකිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

සීමාවාසික පත්වීම් ලබාගැනීමට සුදුසුකම් ලබා සිටියදී එම පත්වීම්  තමන්ට ලබා නොදී රජයේ වෛද්‍ය පීඨවල සහ කොතලාවල ආරකෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධිධාරින්ට පමණක් පත්විම් ලබා දීමට එරෙහිව මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරින් තිදෙනකු ගොනු කර තිබූ අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරන ලදී .

මෙම පෙත්සම ප්‍රසන්න ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෛරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සලකා බැලිණි.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරින් වන එස්.එම්. හල්පේ ඇතුළු තිදෙනකු විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා සහ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න යන මහත්වරුද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද නම්කර තිබිණි.

ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් විය. මෙම පෙත්සම්කරුවෝ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිහු වෙති.

සයිටම් සිසුන් වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචි වීමට සුදුසු බවට අභියාචනාධිකරණය විසින් තීරණය කර තිබියදී තමන්ට එම ලියාපදිංචිය නොදී රජයේ වෛද්‍ය පීඨවල සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ උපාධිධාරින්ට පමණක් සීමාවාසික පත්වීම් ලබාදීමට කටයුතු කරන බව තමන්ට දැනගන්නට ලැබිණි.

එම පත්වීම් ලබා දීමට අදාළව පළමුවැනි වගඋත්තරකාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ දෙවැනි වගඋත්තරකාර සෞඛ්‍ය ලේඛම්වරයා ඉකුත් ජනවාරි 29 වැනි දින තීන්දුවක් ගත් බවද දැන ගන්න ලැබිණි.

සීමාවාසික වෛද්‍ය පත්වීම් 1000කට ආසන්න සංඛ්‍යාවක පුරප්පාඩුවක් පවතිද්දී විද්‍යා උපාධිධාරින් 450කට පමණක් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා දීමට වගඋත්තරකාර පාර්ශවය කටයුතු කරමින් සිටී.

සයිටම් සිසුන් වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදංචි වීමට සුදුසුවන බවට අභියාචනාධිකරණය විසින් තීන්දු කොට එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කොට තිබියදීත් තමන්ට මෙම පත්වීම් ලබා නොදීම තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක් බව කියා සිටින පෙත්සම්කරුවෝ එම අධිකරණ තීන්දුව ප්‍රතික්ෂේප කිරිමෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

 එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද, තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද මෙම පෙත්සම විහාගයට ගෙන අවසන් වනතුරු සීමාවාසික විද්‍යා පත්වීම් ලබා දීම අත්හිටුවන ලෙසද 85 දෙනකුගෙන් යුතු සයිටම් වෛද්‍ය උපාධිධාරි කණ්ඩායම නොමැතිව සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා නොදීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ චන්දන පෙරේරා මහතා සමග ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් රජයේ නීතිඥ ඥානරාජ් මහතා පෙනී සිටිමය.

(රංජන් කස්තුරි-නිමල කොඩිතුවක්කු)

ණය මුදල නොගෙව්වොත් බන්දුලගේ දේපළ වෙන්දේසියට




පෑන්ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදල් නොගෙවුවොත් හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි දේපොළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා මුදල් අයකැර ගන්නා ලෙස ඊයේ (26) කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා නියම කළේය. තමා අත්සන් කරනුයේ උකස්කරයකට බව නොදැන යම් ලේඛනයකට අත්සන් කළ බවට බන්දුල ගුණවර්ධන මහතා පැවසුවද ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වූ බන්දුල ගුණවර්ධන මහතා වැන්නකු තමා නොදැන යම් ලේඛනයකට අත්සන් කළේ යැයි පවසන කරුණු පිළිගත නොහැකි බව තීන්දු කරමින් විනිසුරුවරයා එම නියෝගය නිකුත් කෙළේය.

මුදල් හා ඊට අදාළ පොලි මුදල් උපයා ගැනීම සදහා පෑන්එෂියා  බෑන්කින් කෝපරේෂන් ආයතනය විසින් මහරගම නාවින්න හයිලෙවල් පාරේ අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම හා නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරන ස්ථානයේ පදිංචි බන්දුල ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි. දෙවැනි විත්තිකාර බන්දුල ගුණවර්ධන මහතා අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම වෙනුවෙන් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක බැංකු අයිරා හා ණය මුදලබා ගැනීමේ දී නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරන ස්ථානය ඇපයක් වශයෙන් ඉදිරිපත් කොට තිබූ බවට පැමිණිලිකාර බැංකුව අධිකරණයට දැනුම් දී තිබුණි.

බැංකුව වෙනුවෙන් එකී බැංකු නිලධාරින්, නීති නිලධාරීන් ඇතුළු පිරිසක් සාක්කි දුන්හ. තමා අත්සන් කරනුයේ උකස්කරයකට බව හොදින්ම දැන බන්දුල ගුණවර්ධන මහතා අදාළ ලේඛනවලට අත්සන් කර ඇති බව පැහැදිලිව පෙනී යන බවට සිය තීන්දුවෙන් සඳහන් කළ විනිසුරුවරයා පෑමියා බැකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක බැංකු අයිරා හා ණය මුදල් නොගෙවුවහොත් ඒ වෙනුවෙන් ඇපයට තබා ඇති හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට අයත් නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවත්තේ පිහිටි ඔහුට අයත් අංක 28 දරන දේපොළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගැනීමට නියම කළේය.

-කුමුදු හේට්ටිආරච්චි-


අත්අඩංගුවට ගන්න ගිය වරෙන්තුකරු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට අලවංගුවකින් ගහලා-උණු වතුර හලලා.කොස්තාපල්වරුන් දෙදෙනා රෝහලේ








නඩත්තු නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි ගෝනපල කුඹුක උතුර ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අවස්ථා දෙකකදී අලවංගුවකින් සහ උණුවතුර ප්‍රහාර එල්ල කළ පුද්ගලයකු දැඩි පරිශ්‍රමයක් දරා ඊයේ (26) උදෑසන අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මොරගහහේන පොලිසිය පවසයි.

මෙම සැකකරු නඩත්තු ගෙවීම පැහැර හැරීමක් සම්බන්ධයෙන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා තිබීම නිසා සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (26) අලුයම 1 ට පමණ සැකකරු පදිංචි නිවස වෙත ගොස් අත්අඩංගුවට ගැනීමට සැරසීමේ දී නිවසේ තිබූ අලවංගුවක් රැගෙන විත් පොලිස් නිලධාරියකුගේ හිසට පහරදිම නිසා පොලිස් නිලධාරියා තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ මොරගහහේන පොලිසියට අනියුක්ත අධිකරණ අංශයේ සේවයේ නිරතවී සිටි පොලිස් කොස්තාපල් 75281 රවීන්ද්‍ර (32) යන නිලධාරියකු බවද පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී සැකකරු අත් පොරවක් ද අතැතිව තමා අත්අඩංගුවට ගතහොත් පහර දෙන බව පවසමින් කලබලකාරීව හැසිරීමත් එක් නිලධාරියෙකු තුවාල ලබා තිබීමත් නිසා සැකකරු අත්අඩංගුට් ගැනීමට සිය නිලධාරින් තුවාලකරු සමගින් රෝහලට යාමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.

 පසුව ඊයේ (26) උදෑසන තවත් නිලධාරින් කණ්ඩායමක් සැකකරුගේ නිවස වෙත ගොස්  සැකකරු අත්අඩංගුවට ගැනීමට සැරසීමේදි උණු වතුර පිරවූ වතුර ජෝගුවකින් මොරගහහේන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් කොස්තාපල් 85888 සුසිල් ශාන්ත (34) නිලධාරියාට පහරදීම නිසා එම නිලධාරියා පිළිස්සුම් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.

 උණුවතුර ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේම අනෙක් නිලධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු මෙල්ල කර අත්අඩංගුවට  ගැනීමට කටයුතු කළ බවද මොරගහහේන්න පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසිය.

 අත්අඩංගුට ගත් සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

- කේ. බුද්ධික කුමාරසිරි -බිමල් ශ්‍යාමන් ජයසිංහ-

මත් කුඩු මඩින්න සුනඛ බළකායක්



කොකේන්, හෙරොයින් වැනි ඉහළ පෙළේ ඕනෑම මත්ද්‍රව්‍ය වැටලීමක් සාර්ථකව කළ හැකි විශේෂ පුහුණුව ලත් සුනඛයන් 70 දෙනෙකු පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් මේ වන විට සූදානම් කර තිබේ. එම කොට්ඨාසය සතුව මේ වන විට පුහුණුව ලත් සුනඛයන් 222 දෙනෙකු සිටින අතර ඉන් 70 දෙනෙකුට  මෙලෙස මත්ද්‍රව්‍ය වැටලීම සඳහා විශේෂ පුහුණුව ලබා දී තිබේ. මෙම සුනඛයන් අතුරින් 60 දෙනෙකු විදේශයෙන් ගෙන්වා මෙරටදී විශේෂ පුහුණුවක් ලබා දුන් සුනඛයන් වන අතර ඔවුන්ට ලොව පවතින අති නවීන ආකාරයේ පුහුණුවක් ලබා දීමට පොලිස් නිල සුනඛ කොට්ඨාසය කටයුතු කර ඇති බව එහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා පැවසීය.

ලැබ්‍රඩෝ, ගෝල්ඩන් රිට් රිව, ඉංග්ලස් ස්පැනියල්, කොකස් ස්පැනියල් යන ඉහළ පෙළේ සුනඛයන් මේ සඳහා යොදාගෙන ඇති අතර මේ යටතේ මුහුදු මාර්ගයෙන් හා ගුවනින් මෙරටට ගෙන එන බොහෝ මත්ද්‍රව්‍ය වැටලිය හැකි සුනඛයෝද වෙති. මොවුන්ගෙන් 20 දෙනෙකු මෑතකදී සාර්ථක පුහුණුව අවසන් කළ සුනඛයන් වීම සුවිශේෂී වේ. කොළඹ වරාය, කටුනායක ගුවන් තොටුපොළ සඳහා වෙනම නිල සුනඛ ඒකක ස්ථාපිත කර ඇති බවත් එම ඒකක මගින් එහි වැටලීම සාර්ථකව කළ හැකි බවත් ලාල් සෙනවිරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. මීට  අමතරව ගාල්ල, හම්බන්තොට වරායන් මෙන්ම මත්තල ගුවන්තොටුපොළ සදහා ගාල්ල නිල සුනඛ ඒකකය මගින් වැටලීම් සිදුකර ඇති අතර ඉදිරියේදී නවීන මත්පෙති වර්ග වැටලීම සඳහා වන විශේෂ පුහුණුවක් නිල සුනඛයන්ට ලබා දීමට සැලසුම් කර තිබේ.


-ඉන්දික පොල්කොටුව-

පෙම් යෝජනාව ප්‍රතික්ෂේප කළැයි පාසල් සිසුවිය පැහැරගෙන-සිසුවියගේ කදිම උපායෙන් සැකකරුවන් පොලිසියට කොටු






උපකාරක පංතියකට යෑම සඳහා බස් නැවතුම්පොළක රැඳී සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක බලහත්කාරයෙන් ත‍්‍රිරෝද රථයක නංවාගෙන පැහැරගෙන ගොස් නිවසක රඳවාගෙන සිටියදී පැයක් යෑමටත් පෙර ඇයව නිරුපද්‍රිතව මුදා ගැනීමට අරණායක  පොලිසිය සමත්ව ඇත.

සිද්ධියට සම්බන්ධ බව කියන තරුණයින් දෙදෙනා හා ඔවුන්ට අනුබල දුන් තවත් තරුණයින් තිදෙනකු ද සමග එම  අවස්ථාවේදීම පොලිස් දැලට හසුකරගෙන ඇත.

දෙබත්ගම පල්ලේබාගේ පදිංචි බව කියන පැහැරගැනීමට ලක්වූ සිසුවිය ප‍්‍රදේශයේ පාසලක දොළොස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර 17 වැනිදා උදෑසන කෑගල්ල නගරයේ උපකාරක පංතියකට යෑම සඳහා ගැවිලිපිටිය නගරයේ බස්නැවතුමක රැදී සිටියදී මෙම පැහැරගැනීම සිදුවී ඇති අතර ඇයව ත‍්‍රීරෝද රථයේ නංවාගත් තරුණයින් දෙදෙනා දෙබත්ගම පල්ලේගම ප‍්‍රදේශයේ මිතුරකුගේ නිවසට රැගෙන ගොස් සිටියදී ඇය විසින් සිය දුරකථනයෙන් කෙටි පණිවිඩයක් හරහා සිද්ධිය පිළිබඳව මවට දැනුම් දී ඇති අතර ඒ වහාම ඇය අරණායක පොලිසිය වෙත ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලිකර ඇත. මේ අනුව වහාම ක‍්‍රියාත්මක වූ අරණායක පොලිස්

ස්ථානාධිපතිවරයා ඇතළු නිළධාරින් පිරිසක් ඇයව රඳවා සිටි නිවස වටලා එම තරුණයින් දෙදෙනා සහ ඔවුන්ට අනුබල දුන් බව කියන පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තරුණයින් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇත. පාසල් සිසුවිය පැහැරගෙන යෑමට මුල් වූ තරුණයා එම සිසුවිය සමග පෙම් සබැඳියාවක් ඇතිකර ගැනීමට උස්සාහ දරා ඇතත් ඇය එය ප‍්‍රතික්ෂේප කිරීම නිසා මෙලෙස බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බවද මේ සම්බන්ධයෙන් පැවැත්වූ පොලිස් විමර්ශනයේදී අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් පස්දෙනා මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත ඉදිරිපත්කරන ලදුව ඇප මත මුදාහැර ඇත.

 අරණායක පොලිසියේ අධිකරණ කටයුතු භාර පොලිස් සැරයන් 28671 කොඩිතුවක්කු මහතා විසින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට යකඩ ඉන්නකින් හා උණුවතුරෙන් ගහලා



හොරණ - කුඹුක ජය මාවත ප්‍රදේශයේ නිවසක සිටි වරෙන්තුරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය මොරගහහේන පොලිසියේ පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට අවස්ථා දෙකකදී යකඩ ඉනි හා උණු වතුර ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.  බරපතළ තුවාල ලබා ඇත්තේ පානදුර මහාධිකරණ නඩු කටයුතු නිලධාරියා ලෙස කටයුතු කරන කොස්තාපල් රවීන්ද්‍ර (75291) හා සුළු පැමිණිලි අංශයේ පොලිස් කොස්තාපල් ශාන්ත (85888) යන නිලධාරින්ය. සැකකාර වරෙන්තුකරු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් නිලධාරීන්ට පහර දුන් යකඩ ඉන්නක්, පොරොවක් හා උණු වතුර ගැසීමට යොදාගත් කෝප්පයක් පොලිසිය භාරයට ගෙන 1 තිබේ.
                   

මොහුගේ බිරිය හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවක් අනුව නඩත්තු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තු නියෝගයක් මත මොහු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම ප්‍රහාරය කර ඇත. රාත්‍රි ජංගම මුර සංචාරක ජීප් රථයෙන් උප පොලිස් පරීක්ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් සිවු දෙනකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් පෙරේදා (25) රාත්‍රි සැකකරු පදිංචි කුඹුක ප්‍රදේශයේ නිවෙසකට ගිය අවස්ථාවේම මේ සිද්ධිය වී ඇත. යකඩ ඉනි ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල් රවීන්ද්‍ර (75291) නිලධාරියාගේ හිසට තුවාලකර සැකකරු පැනගොස් තිබිණි.

පසුව ඊයේ (26) මොරගහහේන පොලිස් ස්ථානාධිපති චන්දන විදානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් නිලධාරීන් අට  දෙනකුගෙන් යුත් කණ්ඩායම සැකකරුගේ නිවෙස වටලා ඇත.  පොලිස් කොස්තාපල් ශාන්ත (85888) යන නිලධාරියාට උණු වතුර ප්‍රහාරයක් එල්ල කර පොරොවක් ගෙන පොලිස් නිලධාරීන්ට පහර දීමට සැකකරු තැත් කර තිබේ. පොලිස් කොස්තාපල්වරයකු සැකකරු අල්ලාගෙන අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ යකඩ ඉනි ප්‍රහාරයට ලක්වූ කොස්තාපල්වරයාගේ හිසට මැහුම් ගණනක් යොදා ඇති බවත් දකුණු උරහිසට උණුවතුර ප්‍රහාරය ලක්වූ කොස්තාපල්වරයාටත් ප්‍රතිකාරදී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. වරෙන්තුකරු මීට පෙර අවස්ථා කීපයකදීම අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ට නොයෙක් ආකාරයේ බලපෑම් කර රාජකාරීයට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු අයකු යැයි පැවැසේ. සැකකරූ හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


-එම්.සී.පෙරේරා-

මධුෂ් සමඟ කොටු වූ අමල් හා නදීමාල් තවත් මාසයක් රිමාන්ඩ්



ඩුබායිහිදී පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට පත් වූ ගායන ශිල්පි අමල් පෙරේරා, ඔහුගේ පුත් ගායක නදීමාල් පෙරේරා යන දෙදෙනා හට තවත් මාසයක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදු විය හැකි බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා  පැවැසීය.

මීට අදාළව විමර්ශන කටයුතු අවසන් නොවීම මත මෙලෙස තවත් මසක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.හෙට (28දා) දින මේ දෙදෙනා එරට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයිද එහිදී රඳවා තබා ගැනීමේ කාලය තවත් මාසයකින් දීර්ඝ කරනු ඇතැයි ද නීතිඥවරයා කියා සිටී.

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් නැවත තමා ඔවුන්ගේ නිවැසියන්ගේ ලිඛිත දැනුම් දීමකට අනුව ලබන 02 වැනි දින ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යෑමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම පැවැසීය. එරටින් ලැබෙන ආරංචි මාර්ග පවසනුයේ මාකඳුරේ මධුෂ් ඇතුළු ඔහු සමඟ අත්අඩංගුවට ගත් 31 දෙනාම මෙලෙස තවත් මසක පමණ කාලයක් රඳවා තබනු ඇති බවටය.

-චාමර අමරසූරිය-

රාවණා ඇල්ලේ ඉහළට නඟින්න ගිය විදෙස් තරුණයා ලිස්සා වැටී රෝහලේ.








ඇල්ල රාවණා ඇල්ලේ ඉහළට නැගීමට උත්සාහ කළ විදේශික තරුණයෙකු එහි ගල් තලාවකින් ඇද වැටී බරපතල තුවාල සහිතව ඉකුත් 23 දා සවස බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

මෙසේ රෝහල්ගත කෙරුණේ ජර්මන් ජාතික සංචාරකයෙකු වන ලූ‍කාස් වෝල්ටර් නැමති 22 හැවිරිදි තරුණයෙකි.

 මොහු තවත් පිරිසක් සමඟ සංචාරයක් සඳහා ඇල්ල නගරයට පැමිණ ඇල්ල රාවණා ඇල්ල නැරඹීමට ගොස් එම ඇල්ලේ ඉහළට නැඟීමට උත්සාහ කොට ඇති බවත් එහිදී ගල්තලාවකින් පය ලිස්සා පහළට ඇද වැටීමෙන් මෙසේ අනතුරට පතවූ බවත් සඳහන් වේ.

 රාවණා ඇල්ල ඉහළට නැඟීම අනතුරුදායක බවට දැන්වීම් පුවරු පවා ප‍්‍රදර්ශනය කොට තිබියදීත් ඇතැම් සංචාරකයින් එම අවවාද නොතකා කටයුතු කරන බවද පොලිස් නිළධාරීන් ඇල්ලේ ඉහළට යාම වළක්වන විට ඇතැම් සංචාරක මඟපෙන්වන්නන් ඉහළ පොලිස් නිළධාරීන්ට හෝ දේශපාලන බලධාරීන්ට ඒ පිළිබඳව පැමිණිළි කරමින් ඊට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටින අවස්ථා පවා ඇති බවද පොලිස් නිළධාරීන් මෙන්ම රාවණා ඇල්ල ආශ‍්‍රිත වෙළඳසැල් හිමියෝද පවසති.

 එබැවින් මෙම ස්ථානය නැරඹීමේදී ඇල්ලේ ඉහළට යාමට උත්සාහ නොකරන ලෙස හා අනතුරුදායක ස්ථානයන්හි දියනෑම හෝ නොකරන ලෙසද පොලීසිය අවවාද කරන අතර ඇල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.එම්.කේ. අලගියවන්න මහතාගේ උපදෙස් පරිදි ඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ETI ගනුදෙනුව නතර කරනවා




ඊ.ටී.අයි. ගනුදෙනුව පූර්ණ විනිවිදභාවයකින් තොර, අවශ්‍ය කිසිදු විශ්ලේෂණයක් නිසියාකාරයෙන් සිදු නොවූ ගනුදෙනුවක් හෙයින් එම ගනුදෙනුව නවතා දැමීමට සිදුවන බව ප්‍රකාශ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26දා) ජාතික ආර්ථික සභාව රැස්වූ අවස්ථාවේදී එම තීන්දුවට හවුල් වූ ආර්ථික සභාවේ සියලු දෙනා දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කොට තිබේ. එහිදී ගැනුම්කාර සමාගම වන පෙටිගෝ කියන ආයතනය කුමක්ද? මේ ආයතනය ගැන සෙව්වේ නැද්ද? සෙව්වේ නැත්තේ ඇයි? සුභාෂ්කරන් අලිරාජාට මේක දෙන්න තීරණය කළේ කොහොමද? ඔහු ගැන නොසොයා මේ ගනුදෙනුව සිදුකළේ ඇයි? රටේ මිනිසුන්ගේ සල්ලි නේද? මේ වගේ ආයෝජනය කරලා තියෙන්නේ. අලිරාජලාට මේ ගනුදෙනුව කරන්න සල්ලි කොහෙන්ද කියලා සොයා බැලුවේ නැත්තේ ඇයි? යනාදී වශයෙන් ජනාධිපතිවරයා සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ එහි සාමාජිකයන් නිරුත්තර වී තිබේ.

එහිදී ජනාධිපතිවරයා ආර්ථික සභාව හමුවේ කියා ඇත්තේ කිසිදු සොයා බැලීමකින් තොරව මෙවැනි ඩීල් සඳහා එළැඹීම ගැටලුවක් බවත් මෙසේ යන්නට හැරියහොත් මෙය රටටම බලපාන ප්‍රශ්නයක් වනු ඇති බවත්ය. ගැනුම්කාර විදේශීය සමාගම එම ගනුදෙනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 60කට සිදුකිරීමට එකඟ වෙද්දී දේශීය සමාගම එය ඇමෙරිකානු ඩොලර් මිලියන 61කට මිලදී ගැනීමට එකඟ වී තිබෙනවා නේද? යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රශ්න කිරීමේදී අදාළ පාර්ශ්ව එවැනි දේශීය සමාගමක් ඉදිරිපත් නොවූ බව පවසා තිබේ. එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධව දීර්ඝව ප්‍රශ්න කරමින් විමසා ඇත්තේ එම දේශීය සමාගමට කිසිදු දැනුවත් කිරීමක් හෝ නොකරමින් එම ගනුදෙනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 75කට විදේශීය සමාගමක් වෙත පැවැරුවේ කෙසේ ද යන්න ගැනය. එහිදීද ආර්ථික සභාවේ සියලු දෙනා නිරුත්තර වී තිබේ.

එසේම එම ගනුදෙනුවේදී ආයෝජනය කළ යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 12 සම්බන්ධවත් පෙබරවාරි 22 වන විට ගෙවිය යුතුව පවතින ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක මුදල සම්බන්ධවත් ජනාධිපතිවරයා සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ පාර්ශ්වවලට නිහඬ වීම හැර අන් විකල්පයක් නොවී තිබේ.
එසේම පසුගිය පෙබරවාරි 22 වැනිදා (සිකුරාදා) ශ්‍රී ලංකා මහ බැංකුව ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පෞද්ගලික සමාගම මිලට ගත යුතු නැති බව දන්වා සුභාෂ්කරන් අලිරාජාට ලිපියක් යොමු කළේ ඇයි ද යන්න ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කර ඇති අතර එහිදී ද අදාළ පාර්ශ්වයන්ට නිහඬ වීම හැර අන් විකල්පයක් තිබී නැත.

මහ බැංකුව තැන්පත්කරුවන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නම් ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් සමාගම ඔවුන් අදාළ ගනුදෙනුවෙන් ඉවත් කර ගැනීමට කටයුතු කිරීම අතරම විශාල පරස්පරතාවක් පවතී. එයින් පෙනී යන්නේ මහ බැංකුව මේ ගනුදෙනුව දෙස බලා ඇත්තේ තැන්පත්කරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් නොව වෙනත් කෝණයකින් බවයි. මේ අතර එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන් ETI ආයතනයේ තැන්පත්කරුවන්ට කඩිනමින් සහන සැලැසීමේ අවශ්‍යතාව ඊයේ (26දා) පැවැති ජාතික ආර්ථික සභාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනුව පිළිබඳ ජාතික ආර්ථික සභාවේ විශේෂ අවධානය යොමු කර ඇති අතර එම ගනුදෙනුව සලකා බැලූ ජාතික ආර්ථික සභාව විසින් ඒ සඳහා වූ නිර්දේශද ඉදිරිපත් කර ඇති බවත් 2015 -2018 කාලය තුළ දේශීය සමාගම් 2ක් සහ විදේශ සමාගමක් ඊ.ටී.අයි. සමාගම මිලදී ගැනීමට කැමැත්ත පළ කර ඇති නමුත් දේශීය සමාගම් සමඟ ප්‍රමාණවත් තරම් පාරදෘශ්‍යභාවයකින් කටයුතු කර තිබේ ද යන්න පිළිබඳ අපැහැදිලි බවත් ජාතික ආර්ථික සභාවේ අවධානයට ලක්වී ඇති බව ගනුදෙනුවේදී තැන්පත්කරුවන්ට ගෙවීම් සඳහා උපරිම මුදලක් ලබා ගැනීම පිණිස නිසි කේවල් කිරීමක් සිදු කළේ ද යන්න අපැහැදිලි බවත් එහිදී විශේෂයෙන් අවධානයට ලක් වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය සඳහන්ය.

තවද ඉදිරිපත් වූ එම සමාගම් 3ටම ලන්සු තැබීම සඳහා සමාන අවස්ථාවන් ලබා දුන්නේද යන්න අවිනිශ්චිත බවට ද ජාතික ආර්ථික සභාවේ නිරීක්‍ෂණයට ලක් වී ඇත. අදාළ තැන්පත්කරුවන්ට සහන සැලසීම සඳහා එම සමාගමේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනුවක් ද මේ වන විට සිදුවන අතර එම ගනුදෙනුව පිළිබඳ මෙහිදී විමර්ශනයට ලක් වී ඇති බවද මේ වන විට ඊ.ටී.අයි. සමාගමේ තැන්පත්වලින් 20%ක් නැවත එම තැන්පත් කරුවන්ට ලබා දී තිබෙන බව ද තවත් 10%ක් නුදුරේදීම ලබා දිය හැකි වන බවටත් අපේක්‍ෂා කරන බව ද මහ බැංකුවේ අදහස වී තිබේ යැයි ද නිවේදනයේ දැක්වේ.

මේ අවස්ථාවට පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, රිෂාඩ් බදුර්දීන්, දයා ගමගේ යන ඇමැතිවරු ද ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වී තිබේ. ඊයේ (26දා) ජාතික ආර්ථික සභාවේදී මෙවැනි වාතාවරණයක් උද්ගත වෙද්දී පසුගිය වකවානුවේ ශ්‍රී ලංකා මහ බැංකුව ඊ.ටී.අයි. ගනුදෙනුව සම්බන්ධව විටින් විට මාධ්‍ය නිවේදන නිකුත් කරමින් පැවැසුවේ එම ගනුදෙනුව ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ ගැනුම්කරුවන් අතර පවතින ගනුදෙනුවක් බවය. එසේ නම් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ජාතික ආර්ථික සභාවේ ඊට අදාළ සාමාජිකයන් නිරුත්තර වීම තුළ ඇත්තේ සැබෑ තත්ත්වය ශ්‍රී ලංකා මහ බැංකුව වසන් කිරීමේ යථාර්ථය නොවේද?

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව දිගින් දිගටම නිකුත් කළ නිවේදනවල සඳහන් කළේ ඔවුන් තැන්පත්කරුවන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලා මීට මැදිහත් වූ බවයි. එය එසේ වූවා නම් අද වන විටත් මේ ගනුදෙනුව හරහා තැන්පත්කරුවන්ටම පමණක් ගැටලුවලට මුහුණ දීමට සිදුවන්නේ කෙසේද?මේ අතර ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් සමාගම මිලට ගත යුතු නැතැයි පවසා අලිරාජාට මහ බැංකුව ලිපියක් යැවූයේ ඇයිද යන්න බරපතළ ගැටලුවකි.

මහ බැංකුව 22දා මාධ්‍ය වෙත නිවේදනයක් එවමින් සිදු කළ පැහැදිලි කිරීමකදී පවසා ඇත්තේ එම ගැනුම්කාර සමාගම එක්සත් ජනපද ඩොලර් මිලියන 16ක මුදල 2018/10/25 වන දින මෙරට බැංකුවකට එවන ලද නමුත් මේ ගනුදෙනුව ගැන පැවැති අපැහැදිලි තත්ත්වයක් නිසා එම මුදල් ආපසු ගෙන්වා ගත් බවයි. එහෙත් එම මුදල මේ මස අවසන් වීමට පෙර නැවත එවීමට කටයුතු කරන බව දැනුම් දී ඇති බවද මහ බැංකුව එම පැහැදිලි කිරීමෙන් ප්‍රකාශ කර තිබිණි. මේ සමාගම ගෙවිය යුතු මුදල් ගෙවීම පමා වීමට වක්‍රාකාරයෙන් මෙසේ සුදු හුනු ගෑමට පෙලඹෙන මහ බැංකුවට අද පෙබරවාරි 27 එනම් පෙබරවාරි මස අවසන් වීමට තව ඇත්තේ එක් දිනයක් බව අපි සිහිපත් කරන්නෙමු.

මේ ගනුදෙනුව දෙස බැලීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව නිතරම ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් සඟවා ගෙවීමට පවතින්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක් බව සඳහන් කළ අතර අප වෙත හෙළි වී ඇති තොරතුරු අනුව මේ ගනුදෙනුවට අදාළ ඩොලර් මිලියන 05ක මුදලක් මෙරට පිරිසක් අතර බෙදී ගොස් ඇති බව වාර්තා වේ. එම ඇමෙරිකානු ඩොලර් මිලියන 05න් ඇමෙරිකානු ඩොලර් මිලියන 03ක මුදලක් ටොරින්ටන් ප්‍රදේශය ආශ්‍රිතව පදිංචි විශ්‍රාමික ප්‍රබල දේශපාලන චරිතයක් අතට පත්ව ඇති බවද හෙළි වී තිබේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 54ක් ගෙවීමෙන් පසුව එම ගැනුම්කාර සමාගම ගෙවිය යුතුව පවතින්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක මුදලක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසන අතරම එවැනි ගෙවීමක් කිරීමට තිබියදීම ඊ.ටී.අයි. ෆිනෑන්ස් සමාගමේ වත්කම් එම ගැනුම්කාර සමාගමට පවරා දී තිබේ. එහිදී එම වත්කම්වලින් උපයන මුදලින් ගෙවිය යුතු මුදල පියවීමට එම සමාගමට ඉඩ හසර වෙන්කරමින් ඔවුන් කෙරෙහි පවතින ළබැඳියාවේ ප්‍රමාණය සමාජයට මහ බැංකුව හෙළි කර තිබේ.

ඕකිඩ් වගාවක් විදිහට පේන්න පොල් වත්තක් මැද මල් පෝච්චිවල වල ගංජා වවලා-පැළ 1100ක්









ඕකිඞ් වැනි මල් වගාවක් ලෙසින් පෙනෙන අයුරින් නාත්තන්ඩිය යටකලාන ප‍්‍රදේශයේ අක්කර 8 ක පොල් ඉඩමක් මධ්‍යයේ ප්ලාස්ටික් හා ෆයිබර් මල් පෝච්චි තුළ වගා කර තිබූ කංසා ගස් තොගයක් 25 වැනිදා මාරවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 අඟල් 3-4 ක ප‍්‍රමාණයට වූ පැළ සහ අඩි 4-5 පමණ දක්වා උස කංසා ගස් 1100 කට වැඩි ප‍්‍රමාණයක් එහි වගා කර තිබිණි. පොල් වත්ත මැද ගස් අඩු ප‍්‍රදේශයේ කළු පැහැති ඝනකමැති ඉටි කොළවලින් උසට ආවරණය කර තිබූ ස්ථානයක ඉතා රහසිගතව මෙම වගාව සිදු කර තිබිණි. බිමට සුදු ඉටි කොළ එලා පෝච්චි තබා තිබිණි.

 පොහොර තෙල් වර්ග ආදියද ප්ලාස්ටික් කෑන්වල තිබිණි. මෙහි සේවකයන් කීප දෙනකු සිටි බවද පොලිසියට තොරතුරු ලැබී ඇත. එහි සිටි නාත්තන්ඩිය අක්කර 80 ප‍්‍රදේශයේ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී. මොහු ඉඩමේ බදුකරු බව ඉඩම හිමිකරු පවසයි.

 සැකකරු ඊයේ (26 දා) මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-රෙක්ස් හැරිසන්-

Z-D ඇළට වැටුණු නංගි මල්ලි පියා බේරා ගත් අවුරුදු දහයේ වීර කොල්ලා



අරලගංවිල අලුත්වැව ප්‍රදේශයේදී ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටුණු ත්‍රිරෝද රථයක සිටි මාස පහක නංගි සහ අවුරුදු හයක සොයුරා බේරා ගෙන තම ජීවිතයත් පියාගේ ජීවිතයත් බේරා ගැනීමට අවුරුදු දහයක පුතකු ඊයේ (26දා) සමත් වී තිබේ. ඔවුන් අලුත්වැව ප්‍රදේශයේ සිට මැදගම දක්වා ගමන් කරමින් සිටියදී ත්‍රිරෝද රථයේ හැඩලය කැපී ඉසෙඩ් ඩී. ප්‍රධාන මහ ඇළට වැටී මෙම අනතුරට මුහුණ පා ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම අනතුරින් කිසිවකුටත් තුවාල සිදු වී නොමැත.

 

තම දරුවා පාසල් ඇරුණු පසු අලුත්වැව සිට මැදගම දක්වා තම නිවෙසට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන් බවත් තමන් ඇතුළු දරුවන් තිදෙනා බේරුණේ හාස්කමකට බවත් අනතුරට මුහුණ දුන් ජී. ලක්‍ෂ්මන් ජයකොඩි මහතා කීය. අඩි 30ක් පමණ ගැඹුරු ඉසෙඩ් ඩී. ප්‍රධාන ඇළට වැටුණු ත්‍රිරෝද රථය ප්‍රදේශවාසීන් විසින් කඹ ආධාරයෙන් ගොඩට ගන්නා ලදී.

අපි එක පාරටම ඉසෙඩ් ඇළට වැටුණා. මම මාස පහේ නංගියි අවුරුදු හයේ මල්ලියි ඇළ බැම්මට තියාගෙන කෑ ගැහුවා. මමත් පීනලා නංගියි මල්ලි බේර ගත්තා. තාත්තා බේර ගන්න කෑ ගහනකොට වීල් එකක ගිය මාමලා ඇළට පැනලා අපිවයි වීල් එකයි ගොඩට ගත්තා. අම්මා බයික් එකෙන් පිටුපසින් ආවා. පියාගේ සහ සොහොයුරාගේ ජීවිත බේරාගත් දස වියැති ලක්‍ෂාන් ජයකොඩි පුතු එලෙස කීවේය.


-නිමල් ජයරත්න-

මුලතිව් ගසක සිර වූ බෝම්බයක් මැදි කරගෙන ගසේ අතු වර්ධනය වෙලා







මුලතිව් මුල්ලියාවලෙයි හිජ්රාපුරම් ප‍්‍රදේශයේ වත්තක ගසක සිර වී තිබෙන බෝම්බයක් 25 දා සවස එම වත්තේ අයිතිකරු විසින් දැක තිබේ.

 වහාම ඔහු මේ පිළිබදව මුලතිව් මුල්ලියාවලෙයි පොලීසියට දැණුම් දී ඇත.

 පොලීසිය අදාල ස්ථානයට පැමිණ ඇතත් බෝම්බය ගසට හිරවී බෝම්බය වටා ගසේ අතු වර්ධනය වී තිබූ නිසා බෝම්බය අදාල ස්ථානයෙන් ඉවතට ගැනීමට පොලීසියට නොහැකි වී තිබේ.

 පොලීසිය මේ ස්ථානය ආරක්ෂිත ස්ථානයක් බවට පත් කොට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට මේ බව දැණුම් දී තිබේ.

 පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම බෝම්බය ගස මැදින් ඉවතට ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

 පොලීසිය පවසන්නේ එම බෝම්බය කොටි ත‍්‍රස්තවාදීන් විසින් යුද සමයේදී භාවිතය සදහා රැගෙනවිත් කිසියම් හේතුවක් මත එය ගසේ රඳවන්නට ඇති බවයි.

 කාලයත් සමගම බෝම්බය වටා ගස වර්ධනය වීම නිසා එය ඉවතට ගැනීමට දැඩි පරිශ‍්‍රමයක් දැරීමට සිදුවූ බවද පොලීසිය පැවසීය.

කෝටි 700 දියමන්ති හිමිකරුට ඩුබායි වල සිට තර්ජන ඇමතුම්.







රුපියල් කෝටි 700කට අධික වටිනාකමකින් යුත් නිල් දියමන්තිය ඇතුළු මැණික් තොගයේ හිමිකරු වූ පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයාට ඩුබායි රාජ්‍යයේ සිට තර්ජනාත්මක දුරකතන ඇමතුමක් ලැබි ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

"වැඩිය දගලන්න එපා. දැන් දැගලුවා හොදටම ඇති. පරිස්සමින් ඉඳපං" යනුවෙන් පවසමින් ඩුබායි රාජ්‍යයේ සිට එම දුරකතන ඇමතුම කෝටිපති ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතනය වෙත ලැබි ඇ ඉකුත් 23 වැනිදා බවද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 මෙම තර්ජනාත්මක දුරකතන ඇමතුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් එම ව්‍යාපාරිකයා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඔවුහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

රවීන්ද්‍ර නාලක රණසිංහ හෙවත් ''ලොකු අයියා''. ජාසිංහ තුසිත මධුරංග නොහොත් මාතර මල්ලි. එම්. ඩී. සම්පත් තුෂාර වීරසිංහ  සහ කිරියාදුරගේ කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් එම සැකකරුවෝ වෙති.

 පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ගිනි අවි පෙන්වා  බියගන්වා, අවියෙන් පහරදී රුපියල් දෙකෝටියක් වටිනා මැණික් සහ රුපියල් කෝටි 700ක් වටිනා නිල් දියමන්තියක් සොරාගත් බව කියමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ඇරැව්වල පන්නිපිටියේ පදිංචි ක්‍රිෂාන් ඩේවිඩි පීරිස් නැමැති කෝටිපති ව්‍යාපාරිකයා විසින් ඉකුත් 2018 නොවැමිබර් මස 05 වැනිදාය.

මෙම මැණික් තොගය මේ වන විට ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධූෂ් යන අයට ලබා දී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසෙන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා රේගුවේ නිලධාරියකු ද සම්බන්ධ බවටද තොරතුරුවලින් අතවාරණය වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සදහන් කර තිබේ.

 සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී ලබන 06 වැනිදා යළි කැදවීමට නියමිතව ඇත.

(නිමන්ති රණසිංහ)

ලංකාවේ රාවණා-1 අප්‍රේල් 17දා අභ්‍යවකාශයට



ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද 'රාවණා - 1'පළමු නැනෝ චන්ද්‍රිකාව ලබන අප්‍රේල් 17දා අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව ඇත. ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉන්ජිනේරුවන් විසින් ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනයේදී නිර්මාණය කෙරුණු මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමේ ක්‍රියාවලියට මුල පිරීම සඳහා පසුගියදා ජපාන අභ්‍යවකාශ ආයතනය වෙත භාර දී තිබේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මෙරට අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහනේ නිර්මාතෘ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඉන්ජිනේරු සනත් පනාවැන්න මහතා කියා සිටියේ මෙරට අභ්‍යවකාශ තාක්ෂණ ශක්‍යතාව සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අරඹන ලද නැනෝ චන්ද්‍රිකා සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අතුරින් පළමුවැන්න 'රාවණ - 1' බවයි.

නැනෝ චන්ද්‍රිකා භාවිතය ඉදිරි වසර කිහිපය තුළදී ලොව අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රබල පරිවර්තනයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් එමඟින් නිසි තාක්ෂණික හා ආර්ථික ප්‍රතිඵල නෙළා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තාක්ෂණික වශයෙන් සූදානම් කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ බවත් ඒ මහතා පැවැසීය.

-පහන් විජේසේකර-

Tuesday, February 26, 2019

ජාත්‍යන්තර පාසල් සිසුන්ට විදුහලේ නමින් විභාග වලට ඉල්ලන්න බෑ-පුද්ගලිකව වෙන වෙනම අයදුම් කරන්නලු.







මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම් කිරීමදී ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට සිය අයඳුම්පත පෞද්ගලිකව වෙන වෙනම ඉදිරිපත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව නියම කර තිබේ.

වසර ගණනාවක සිට ජාත්‍යන්තර පාසල් සිසුන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී ජාත්‍යන්තර පාසලේ නමින් අයදුම් කළ අතර මෙවර කිසිදු හේතුවක් නොදක්වා මෙතෙක් පැවැති එම ක්‍රියාපිළිචෙත වෙනස්කර තිබෙන බව ජාත්‍යන්තර පාසල් ප්‍රධානීහු පවසති.

විභාග දෙපාර්තමේන්තුවේ අලුත් නියමය හේතුවෙන් ජාත්‍යන්තර පාසල් සිසුන්ට පෞද්ගලික මට්ටමෙන් සිය නිවෙස්වල පෞද්ගලික ලිපිනය යොදමින් උසස් පෙළ අයදුම්පත් ඉදිරිපත් කිරීමට සිදුවීමෙන් ඔවුන්  දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ද
වාර්තා වේ.

මේ පිළිබඳව  කළ විමසුමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත  මහතා සඳහන් කළේ ජාත්‍යන්තර පාසල් සිසුන් අයත්වන්නේ පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ගණයට බවයි.

(රංජන් කස්තුරි)

සැමියා පොලිස් අත්අඩංගුවේ ඉද්දී බිරියව අරන් ගිහින් අතවර කරලා



සැමියා පොලිස් අත්අඩංගුවට පත්වී සිටි අවස්ථාවේ බිරිය පැහැරගෙන ගොස් අතවර කළ බව කියන ත්‍රිරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලය පොලීසිය පරීක්ෂණ කරයි. දහඅට හැවිරිදි තරුණ කාන්තාවක් මිහින්තලය පොලිස් ස්ථානයට ඉදිරිපත් පත් කළ පැමිණිල්ලකට අනුව සැකකාර ත්‍රිරෝද රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ කරන අතර ඔහු තිරප්පනය පොලිස් වසමේ ඉරහඳකෙටුවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව තහවුරු කරගෙන තිබේ. පැමිණිලිකාරියගේ සැමියා මිත්තණියට හා සීයාට පහරදීම නිසා පොලිස් අත්අඩංගුවට පත් වී සිටි අවස්ථාවේ ඇය ඔවුන්ගේ නිවෙසට ගොස් නැවත්ත වෙල්ලාරගම පිහිටි නිවෙසට සැකකරුගේ ත්‍රිරෝද රථයෙන් ගමන් කරද්දී අතවරයට පත් වී තිබෙන බව පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.

පොලිස් අත්අඩංගුවට පත් වී සිටි තරුණයාට ඇප ලබාදීම සඳහා ඉදිරීපත් වන ලෙස සීයාට හා මිත්තණියට පැවැසු අවස්ථාවේ ඔවුන් එය ප්‍රතික්ෂේප කළ නිසා තරුණිය රාත්‍රියේ නිවසින් පිටවී ඇගේ නිවසට පැමිණ ඇති බව පොලිසිය කීවේය.ඇය සැකකරුගේ ත්‍රිරෝද රථයෙන් නිවසට පැමිණ ඇති බවත් ඔහු ඇය නිවසට නොඇරලවමින් වෙල්ලාරාගම ප්‍රදේශයේ පාළු නිවෙසකට රැගෙන ගොස් අතවර කළ බවට දින කිහිපයකට පසුව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බවත් පොලිසිය පැවසුවේය.

පැමිණිලිකාරියගේ සැමියා ඇප ලබාගැනීමෙන් අනතුරුව නිවසට පැමිණ සිටි අවස්ථාවේ බිරියගේ ජංගම දුරකථනයට නාදුනන ඇමතුමක් ලැබී ඇත. එම ඇමතුම සැකකරුගේ බව තහවුරු කරගත් තරුණිය දින කිහිපයකට ඉහතදී සිදුවීම පිළිබඳව සැමියාට පැවැසීමෙන් පසු පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස සැමියා උපදෙස් දී ඇති බව පොලිසිය කියයි. ලැබුණු පැමිණිලි මත සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ වී ඇත. සැකකරු  සිද්ධියෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටින බවත් පොලිසිය තහවුරු කරගෙන තිබේ. තරුණ කාන්තාවගේ සැක සහිත පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කෙරෙන බව පොලිසිය පවසයි.


-මහේෂ් විජේසුරිය-

බල්ලෙකු කම්හල් බිමට රැගෙන ආ මිනිස් හිස galle face court 02 ව්‍යාපාරිකයා ලඟ සිට අතුරුදන් වූ අනෙක් සේවකයාගේ


පෑලියගොඩ දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්ත ශාලා භූමියකට මීට මාස දෙකහමාරකට පමණ ඉහතදී සුනඛයකු විසින් ගෙනැවිත් දැමූ මිනිස් හිස කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කලක් අතුරුදන්ව සිටි අශෝක ක්‍රිෂාන්ත සිරිවර්ධන නමැති රියදුරකුගේ  බවට ඩී.එන්.ඒ. පරික්ෂණ වලින් හෙළිවී තිබෙන බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය කියයි.

මේ බව තහවුරු වීමෙන් පසුව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහ අපරාධ ස්ථාන පරික්ෂා කිරීමේ ඒකකයේ  (සොකෝ) නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (24) මිනිස් හිස හමුවූ දුටුගැමුණු මාවතේ කර්මාන්ත ශාලාව පිහිටි ප්‍රදේශය පූර්ණ සෝදිසියකට ලක්කර ඇත.

මෙම සෝදිසි කිරීමේදී ලඳු කැලෑවක පොහොර උරයක දර කෝටු කැබැලි සමග දමා තිබූ මිනිස් අස්ථි කැබලි ගණනාවක්ද හමුවී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙක් පැවසීය.

පොහොර උරයේ බහා තිබියදී සොයාගත් මිනිස් අස්ථි කොටස්  ක්‍රිෂාන්ත සිරිවර්ධන නමැත්තාගේ ද යන්න තහවුරු කර ගැනීමට  එම කොටස්ද ජින්ටෙක් ආයතනය වෙත ඩි.එන්.ඒ. පරීක්ෂණයක්  සඳහා යොමු කිරීමට පොලිසිය කටයුතු යොදාගෙන යයි.

පෑලියගොඩ දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්ත ශාලා භූමියකට සුනඛයකු මිනිස් හිස් කොටයක් රැගෙන එන අයුරු ආරක්ෂක නිලධාරියකු දැක එම සුනඛයා පලවා හැරිමේදී එය දමා  සුනඛයා පලාගොස් තිබුණේ ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ 12  වැනිදාය.

 ඒ අනුව මෙම මිනිස් හිස කොටස අධිකරණ නියෝගයක් අනුව  කොළඹ පොලිස් මෘත ශරිරාගාරයේ තැත්පත් කර තිබී ඇත.

 පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට තම සැමියා අභිරහස්  ලෙස අතුරුදන්ට සිටින බවට අශෝක ක්‍රිෂාන්ත සිරීවර්ධන නමැත්තාගේ බිරිඳ කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

සුනඛයකු ඩැහැගෙන පැමිණ තිබියදී සොයාගෙන පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන මිනිස් හිස අතුරුදන්ව සිටින සිරිවර්ධන නමැත්තාගේ ද යත්න නිශ්චය කර ගැනීමට බිරිඳ සමග ඔහුගේ පුතා කොළඹ බොරැල්ලේ පිහිටි ජින්ටෙක් ආයතනය වෙත
යොමුකර ඇත.

මෙම සිරිවර්ධන නමැත්තාගේ පුතාගේ සිරුරෙන් ලබාගත් ඩී.එන්.ඒ සම්පලයක් මිනිස් හිසේ ඩී.එන්.ඒ. රටාව සමග සැසඳුණු බවට එම් ආයතනය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇතැයි එම් ජ්‍යෙෂ්ඨ  පොලිස් නිලධාරියා කීය.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතාගේ මෙහෙයවිමෙන් යුත්
පොලිස් කණ්ඩායමක් පැමිණ දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශය සෝදිසියට ලක්කරනු ලැබුවේ මේ බව තහවුරු වීමෙන් පසුවය.

සිරිවර්ධන නමැත්තා එංගලන්තයේ පුරවැසිකම ලබා ඇති අයකුගේ රියැදුරකු ලෙස සේවය කළ තැනැත්තෙකි.

කොල්ලුපිටිය හා පෑලියගොඩ පොලිස් ස්ථානවල නිලධාරින් විසින් මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.

-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-

වතුර පුරවන්න කැපු හිස් ටිනර් බැරලය පිපිරි 10 වියැති දරුවා මිය ගිහින්


හිස් ටිනර් බැරලයක් ජලය පිරවීම සඳහා දෙකට කැපීමට යෑමේදී එය පුපුරා ගොස් පිරිමි දරුවන් දෙදෙනකු බරපතළ තුවාල ලබා පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළත් එක් අයකු මියගොස් ඇති බවත්  පුලස්තිපුර පොලිසිය කියයි. පොළොන්නරුව - ලංකාපුර බී.ඕ.පී. 400 ගල්කැටි දමන නමැති ගම්මානයේ අරනැක් ගෙදර අබේසිංහ මහතාගේ නිවෙස පරිශ්‍රයේදී මෙම අනතුර ඇත. මියගොස් ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු  10ක් වූ අරනැක් ගෙදර සදෙව් නිසර අබේසිංහ නමැති පාසල් දරුවෙකි.  බරපතළ තුවාල ලබා ඇත්තේ පුලස්තිගම ගල්කැටිදමන පදිංචි අරනැක් ගෙදර සුමිදු හසින් නමැති 16 හැවිරිදි තරුණයෙකි.
                                                 

ඔහු පසුගිය දෙසැම්බර් අපො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටි දරුවෙකි.සිද්ධිය වූ නිවෙස් හිමියාගේ පුතකු  මාතලේ ප්‍රදේශයේ පදිංචි බවත් විවාහකයකු වූ ඔහු ඔහුගේ වාහනයෙන් එම ප්‍රදේශයෙන් ලබාගත් හිස් ටීනර් බැරලයක් තම පියාගේ නිවසට ගෙන ඇත්තේ ජලය පිරවීම සඳහා සකස් කර දීමටය. ගයින්ඩරයකින් බැරලය කැපීමට යාමේදී එය පුපුරාගොස් මිය ගොස් ඇත්තේ ඔහුගේ පුතෙකි. පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ නිවෙස් හිමියාගේ දියණියකගේ පුතෙකි. බරපතළ ලෙස තුවාල ලබා සිටි ඔහුගේ පාදයකට සහ අතකට දැඩිහානි වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුලස්තිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.පී.කේ. පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ කරයි. යාන්ත්‍රික කියතකින් බැරලයක් කැපීම ආරම්භ කර තිබේ. බැරලය කපන අයුරු නැරැඹීම සඳහා කුඩා දරුවන්ද පුටු තබාගෙන නරඹමින් සිට ඇත. බැරලය කැපීම ආරම්භ කරනවාත් සමඟ එක්වරම බෝම්බයක් පුපුරන හඩට බැරලය පුපුරා ගොස් තිබේ. ඉදාගෙන සිටි දරුවන් දෙදෙනා ලේ පෙරාගෙන ඇද වැටී සිටින අයුරු දැක පොළොන්නරුව රෝහල වෙත රැගෙන ගොස් තිබේ. පොලිසිය තළොන්නරුව දිසා අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු මහස්ත්‍රාත් අසේල ද සිල්වා විසින් අධිකරණ වෛද්‍යවරයාට ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණයක්  පවත්වා කරුණු වාර්තා කරන ලෙස නියෝග කර ඇත.

-බණ්ඩාර මුදියන්සේ-

පඩිපෙල නගිමින් සිටි සිසුවියට අතවර කළ විදුහල්පති අත්අඩංගුවට


පාසල තුළදී සිසුවියක ලිංගික අතවරයට ලක්කළැයි කියන කුලියාපිටිය ප‍්‍රධාන පාසලක විදුහල්පතිවරයකු ඊයේ (25) දා කුලියාපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

කුලියාපිටිය නගරයට නුදුරු ප‍්‍රධාන පාසලක විදුහල්පතිවරයකු එසේ අත්අඩංගුවට ගෙන ඇත. එම පාසලේම 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවියක පඩි පෙළක් නැඟ එමින් සිටියදී අතවරයට ලක් කළ බවට ලද පැමිණිල්ලකට අනුව සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.

කුලියාපිටිය ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය විසින් සිද්ධිය වූ බව කියන තරප්පු පෙළ හා ඒ අවට පරිශ‍්‍රය නිරීක්ෂණය කිරීමෙන් ද සිද්ධිය සම්බන්ධව කිහිපදෙනකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් ද අනතුරුව විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ

ලොකු ගේමකට සැරසුණු මධුෂ්ගේ ගෝලයකු අල්ලයි


පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතම අනුගාමිකයකු වූ සමන්ත පුෂ්පකුමාර නමැති සපුගස්කන්ද යුද හමුදා කඳවුරේ සේවය කළ ලාන්ස් කෝප්‍රල්වරයකුගේ නිවෙසක් ඊයේ (25දා) පෙරවරුවේ පරීක්ෂා කිරීමේදී ටී - 56 ගිනි අවිවලට භාවිත කරන 356 වර්ගයේ පතරොම් 21ක්, හමුදා කැලෑ ඇඳුම් සහ හමුදා නිල ඇඳුම් කොටස් හතක්, අත් විලංගුවක් (මාංචුවක්), හිස් වැසුමක්, හමුදා හිස්වැසුම් 3ක්, සපත්තු කුට්ටමක්, හමුදා නිලධාරීන් පලඳින නිල ලාංඡන විශාල සංඛ්‍යාවක්, බොත්තම් සහ යුද උපක්‍රම පිළිබඳ පුහුණුව ලබාදෙන පොත් දෙකක් කඹුරුපිටිය, බෙන්ටින්වත්ත, රන්චාගොඩ ලිපිනයේ එම හමුදා නිලධාරියාගේ නිවෙසේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මාතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජී.එච්. මාරපන මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.පසුගිය වර්ෂයේ නොවැම්බර් මස 04 වැනි දින හක්මණ - කැබැල්ලපොළදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි එල්.එස්. ශාන්ත මහතා ඝාතනය කිරීම හා කඹුරුපිටියේ ව්‍යාපාරිකයකු වූ ධර්මදාස යන අය ඝාතනයට තැත් කිරීම හා චෝදනා සම්බන්ධයෙන් සැකකරුවකු වූ මෙම පුද්ගලයා පිළිබඳව මේ වනවිට එම මන්ත්‍රිවරයාගේ ඝාතනයට සම්බන්ධව බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගෙන් ලබාගත් තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇත.

ඉඩමක් මිලට ගැනීමට යැයි පවසා හක්මණ - කැබැල්ලපොළ ප්‍රදේශයේ තම ඉඩමට කැඳවාගෙන ගොස් ලොකුහකුරුගේ ශාන්ත නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාට වෙඩි තබා ඝාතනය කර ඔහුගේ ගෙල කපා දමා ඝාතකයන් පලාගොස් තිබිණි. එම ඝාතනයට සැකකරුවන් පස්දෙනකු පැමිණ ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. එම ඝාතනයට සැලසුම් කළේ යැයි තංගල්ල වෘත්තීය පුහුණු ආයතනයක උපදේශිකාවක් ඇතුළු පස්දෙනකු මේ වනවිට බන්ධනාගාරගතව ඇත.

මෙය මාකඳුරේ මධුෂ් විසින් සැලසුම් කළ බවටත්, ඔහුගේ ප්‍රධාන අනුගාමිකයා වූ මෙම යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා මෙම පරීක්ෂණ අතරතුර හමුදා කඳවුරෙන් පලාගොස් ඇති බවටත් කරුණු වාර්තා විය. විශේෂයෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගෙන් ලද දුරකථන විශ්ලේෂණවලට අනුව මෙම ලාන්ස් කෝප්‍රල්වරයා පිළිබඳ තොරතුරු සොයාගෙන තිබේ.

ඊට අමතරව කෝටි හත්සියයේ මැණික් කොල්ලය සඳහා මෙම සැකකරු සම්බන්ධ බවට තොරතුරු රාශියක් දුරකථන විශ්ලේෂණවලින් සොයාගත් බවත් එම මැණික් ගල අයිති ව්‍යාපාරිකයාට පොලිසියෙන් යැයි පවසා විලංගු දැමූ මාංචු මෙය විය හැකි බවටත් පොලිසිය සැක පහළ කරයි.

මෙම ඇඳුම් සමඟ අත්අඩංගුවට ගත් උපකරණ එම නිවෙසේ තිබූ බව වාර්තා වේ. එම නිවෙසේ ගෘහ මූලිකයා වූ යුද හමුදා ලාන්ස් කෝප්‍රල් සමන්ත පුෂ්පකුමාරගේ පියා වූ 53 හැවිරිදි පුද්ගලයකු පොලිසිය මඟින් යුද උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.


-උදය කුමාර රණවීර-

තාත්තා කපමින් සිටි තිනර් බැරලය පුපුරා දස හැවිරිදි පුතා මරුට






මාතලේ, කූඹියන්ගොඩ ප‍්‍රදේශයේ ගරාජයක් පවත්වාගෙන යන එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු පෙරේදා (24 දා) රාති‍්‍ර 7.00 ට පමණ පොළොන්නරුවේ පුලස්තිගම ගල්කැටිදමන ප‍්‍රදේශයේ පිහිටි මවුපියන්ගේ නිවසට පැමිණ ඒ නිවසේ පරිහරණය සඳහා ජලය එක්රැස් කර තබාගැනීමට තිනර් නමැති රසායනික ද්‍රව්‍ය දමා තිබූ හිස් බැරලයක් විදුලි බලයෙන් කි‍්‍රයාකරන ග‍්‍රයින්ඩරයක් ආධාරයෙන් කැපීමට යෑමේදී බැරලය පුපුරා ගොස් එක් සහෝදරයකුගේ 10 හැවිරිදි පුත‍්‍රයා මියගොස් ඇත.

අනෙක් සහෝදරයාගේ 16 හැවිරිදි පුත‍්‍රයා ද ඒ සිද්ධියෙන් බරපතළ තුවාල ලබා තිබේ. අනතුර සිදුවීමෙන් පසුව ඔවුන් දෙදෙනාම ප‍්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී 10 හැවිරිදි දරුවා මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ මාතලේ කූඹියන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි ඒ. ජී. සඳරු නිමේෂ (10) නමැති දරුවායි.

තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන්නේ පසුගිය වසරේ අ.පො.ස. සා. පෙළ විභාගයට පෙනී සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

බැරලය කපා වෙන් කිරීමට උත්සාහ දරමින් සිටි අයියා මලෝ දෙදෙනාගෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි පොලිසිය කියයි.

මේ හිස් බැරලය තුළ තිනර් තැන්පත් වී තිබීම නිසා එහි ඇති වූ රසායනික ප‍්‍රතිකි‍්‍රයාවක් මගින් එය මෙසේ පුපුරා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

තම මාපියන්ගේ නිවසේ ප‍්‍රයෝජනය සඳහා ජලය එක්රැස් කර තබා ගැනීමට සුදුසු පරිදි සකසා දීම සඳහා මේ සහෝදරයන් දෙදෙනා බැරලය රැගෙන විත් ඇත්තේ ද මාතලේ ප‍්‍රදේශයේ සිට බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


කරුණාරත්න ගමගේ, රොෂාන් තුෂාර තෙන්නකෝන් -

ඓතිහාසික දඹරන් පිළිම 3ක් පුරාවිද්‍යාවෙන් අතුරුදන්




මැදිරිගිරියේ ගොවි මහතකුට සිය කුඹුරේ තිබී හමුවූ රනින් නිම කළ කුඩා බුද්ධ ප්‍රතිමා තුනක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දීමෙන් පසු ඒවා අස්ථානගත වීමේ සිද්ධිය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැලකිල්ලක් දක්වා නැතැයි ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති. පොළොන්නරුව මැදිරිගිරිය යාය 7 බිසෝ බණ්ඩාරගම එච්.ටී. තිලකරත්න ගොවි මහතාට මෙම රන් පිළිම හමුවී ඇත. ඔහු එම පිළිම පොළොන්නරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පළාත් කාර්යාලය වෙත නීත්‍යනුකූල ලෙස භාර දී තිබේ. ඔහුගේ දැනුම්දීමට අනුව භාණ්ඩ හමුවූ ස්ථානයටම පැමිණි පුරාවිද්‍යා ගවේෂණ නිලධාරියකු විසින් 01.12.2012 දින එම භාණ්ඩ භාරගෙන ඇත.

එහෙත් අදාළ නිලධාරියා විසින් යථෝක්ත බුදු පිළිම තුන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දී නැති බව තිලකරත්න මහතාට පසුව දැනගන්න ලැබුණු. නිසා ඔහු මේ පිළිබඳව පළාත් පුරාවිද්‍යා කාර්යාලයෙන් ප්‍රශ්න කර ඇත. එහිදී කලබල වූ ඉහත කී භාණ්ඩ භාරගත් ගවේෂණ නිලධාරිවරයා එම භාණ්ඩ තමා සන්තකයේ තිබියදී අස්ථානගත වූ බවට පොළොන්නරුව පොලිසියට පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ල 2013.08.06 දින අංක CIB (1)397/86 යටතේ පොළොන්නරුව පුරාවස්තු ආරක්‍ෂක විශේෂ පොලිස් ඒකකය මඟින් විමර්ශනය කර 2014.05.12 දින පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් වෙත වාර්තා කර ඇත.

එකී විමර්ශන වාර්තාවේ සඳහන් කරුණු අනුව භාණ්ඩ අස්ථානගත වූ බවට ගවේෂණ නිලධාරියා කරන ලද පැමිණිල්ල සාවද්‍ය එකක් බව හෙළි වී ඇති බැවින් සුදුසු පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත. එසේ වුවද මේ දක්වා ඒ සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් ගෙන නැත. මැදිරිගිරියේ ගොවි මහතා රජයට භාර දුන් පුරාවස්තුවලට සිදුවූයේ කුමක්දැයි පොළොන්නරුවේ ජනතාව ප්‍රශ්න කරති.

-උදේනි සමන් කුමාර-

කොකේන්-ටැබ්ලට් ගන්න මන්ත්‍රීවරියෙකුත් ඉන්නවා-ඇමති රන්ජන් හෙළිකරයි









කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක්ද සිටින බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ඊයේ (25 වැනිදා)  සඳහන් කළේය.

ඇය කොකේන් මත්ද්‍රව්‍යවයට අමතරව ටැබ්ලට්, සිගරට් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පාවිච්චි කරන බවද තම පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් ඒ බව තහවුරු කර ගැනීමට හැකි වූ බවද හෙතෙම පැවසීය.

එම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය කවුරුන්ද යන්න හෝ එතුමිය දැනට පාර්ලිමේන්තුවේ සිටිනවාද නැද්ද යන්න හෝ මේ මොහොතේ මාධ්‍යයට ප‍්‍රකාශ කළ නොහැකි බව සඳහන් කළ රන්ජන් රාමනායක මහතා ඉදිරියේ දී ඒ පිළිබඳ සියලූ තොරතුරු ජනතාව හමුවේ ඉදිරිපත් කරන බව ද කියා සිටියේ ය.

තනතුරු, තාන්න මාන්න, පුද්ගලික හිතවත්කම් පසෙකලා රට තුළ  විශාල ප‍්‍රශ්නයක් වී ඇති විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ කාර්යය ඉටු කිරීම වෙනුවෙන් තමන්ට කළ හැකි සියලූ කටයුතු නොපැකිලිව සිදු කරන බව කී හෙතෙම එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා බොහෝ පිරිසක් තමන් සමඟ සිටින බවද කීවේය.

තමන් මීට පෙර අනාවරණය කළ කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මන්ත‍්‍රීවරුන්ගේ හෙළිදරව්වෙන් පසු ඔවුන් විවිධ ඖෂධ භාවිතා කරමින් ඉන් ගැලවීමට ප‍්‍රයත්න දරමින් සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි රංජන් රාමනායක මහතා වැඩි දුරටත් කියා සිටියේ ය.

-සිරිමන්ත රත්නසේකර-

Monday, February 25, 2019

පෞද්ගලික රෝහල්වල බහුලව භාවිතවන ඖෂධයක් ගෙන්වීම නැවතෙන ළකුණු-හේතුව ආණ්ඩුව මිල අඩු කිරීමලු


දරුණු රෝගාබාධ කිහිපයකටම ලබාදෙන රොසපින් (Rocephin මි.ග්‍රෑම් 1000) නමැති අත්‍යවශ්‍ය ඖෂධය මෙරටට ආනයනය කිරීම නතර කිරීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි විශේෂඥ වෛද්‍යවරු පවසති. විශේෂයෙන් මෙනෙන්ජයිටීස්,ටයිපොයිඩ්,සෙරඩිස්, නියුමෝනියාව සහ බැක්ටීරියා ආසාදිත දරුණු රෝග සඳහා මෙම ඖෂධය ලබාගන්න අතර මේ වනවිට එම ඖෂධය වෙළඳපොළේ හිඟයක් මතුව ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරති.

රොසපින් නමැති අත්‍යවශ්‍ය ඖෂධය සියයට 80කටත් වැඩි ප්‍රමාණයක් භාවිතයට ගත් පෞද්ගලික අංශයේ රෝහල්වල රෝගීන් සඳහා වන අතර එම ඖෂධය ලබාදීමට නොහැකිවීමෙන් පෞද්ගලික රෝහල් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි ද ඔවුහු කියති.

මෙම ඖෂධය ස්විත්සර්ලන්තයෙන් ආනයනය කරන ගුනාත්මක බවින් ඉහළ සහ මිල වැඩි ඖෂධයක් වන බව ද පෞද්ගලික අංශයේ රෝහල්වල ඉතා සුලබව භාවිත කරන්නක් බව ද විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරති.

දරුණු රෝගාබාධ සඳහා ලබාදෙන රොසපින් ඖෂධය වසර 30කට අධික කාලයක් මෙරට රෝගීන් වෙනුවෙන් භාවිත කරන අතර මෑතකදී රජයේ ඖෂධ මිල නියාමනය කිරීමේ ප්‍රතිපත්තිය යටතේ මිල අධික ලෙස පහත දැමීම නිසා ආයතනික සමාගම එම ඖෂධය ආනයනය කිරීම අත්හැර දමමින් තිබෙන බව ද ඔවුහු කියති.

රොසපින් නමැති ඖෂධය වෙනුවට වෙනත් විකල්ප ඖෂධ කිහිපයක් ඇතත් ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳව සහතික විය නොහැකි බව ද එවැනි විකල්ප ඖෂධවලින් රෝගීන්ට අතුරු ආබාධ ඇති බව ද විශේෂඥ වෛද්‍යවරු පවසති.

මෙනෙන්ජයිටීස් වැනි දරුණු රෝගාබාධ සඳහා නිසි වෙලාවට මෙම ඖෂධ ලබා දිය නොහැකි වුවහොත් ඇතැම්විට අන්ධභාවය, බිහිරිභාවය ඇතිවිය හැකි අතර ජීවිත අවදානම ඉහළ යන බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.

මේ පිළිබඳව  කළ විමසුමකදී රොසපින් ඖෂධය මෙරට ආනයනය කරන ඖෂධ සමාගමක ජ්‍යේෂඨ නිළධාරියෙක් සඳහන් කලේ සෞඛ්‍ය අමාත්‍යාංශය නියම කළ මිලට එම ඖෂධය ලබාදිය නොහැකි හෙයින් ආනයනය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම නතර කර දමන බවයි.

 ඉකුත් 2012 වසරේදී එම ඖෂධය නිෂ්පාදිත සමාගමෙන් ඇමරිකානු ඩොලර් 13.50කට ලබාගත් අතර මෙරට මිල නියාමනයෙන් පසුව මේ වනවිට ඩොලර් 9කට අඩුකර ලබාදීමට නිෂ්පාදිත සමාගම කටයුතු කර තිබන බව ද ඔහු කීය.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මිල නියමය නිෂ්පාදිත සමාගම ලබාදෙන මිලට වඩා බොහෝ අඩු මිලක් බව ද එම නිසා රටට ගුණාත්මක ඖෂධයක් අහිමිවන බව ද හෙතෙම පැවැසීය.

රොසපින් ඖෂධය පෞද්ගලික රෝහල්වල භාවිත කරන්නක් හෙයින් මුදල් ගෙවිය හැකි රෝගීන්ටවත් ගුණාත්මක ඖෂධයක් ලබාගැනීමට ඉඩ සලසමින් සාධාරණ ලෙස පාලන මිල ඉහළ දමන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවැසීය.
 (රංජන් කස්තුරි)

50 වියැති කතක් පෙම්වතිය කරගත් 25 හැවිරිදි තරුණයා අසැබි දසුන් විඩියෝ කර කප්පම් අරන්



අවිස්සාවේල්ල ප්‍රදේශයේ 50 හැවිරිදි වැන්දඹු දෙදරු මවක් සමඟ කෑග්ගල්ල ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණයෙක් සම්බන්ධතාවක් ඇති කරගෙන අඹු සැමියන් ලෙස හැසිරෙන අවස්ථාවේදී එය වීඩියෝ කර දර්ශන අන්තර්ජාලයට මුදාහරින බව පවසා මුදලින් රුපියල් 120,000ක් වටිනා රන් භාණ්ඩ හා මුදල් රුපියල් ලක්‍ෂ දෙකක් ලබාගත් බව කියන එම තරුණයා පෙර්දා (23) කෑගල්ල පොලිසියේදී වරද භාරගෙන මුදල්වලින් කොටසක් තරුණයාගේ  මව ගෙවා ඇතැයි කියන සිද්ධියක්  කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වේ. මෙලස මුදල් ආපසු ගෙවා ඇත්තේ කෑගල්ල පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.  සිද්ධියට අදාළ තරුණයාගේ මවගේ වයස අවුරුදු 50කි.

මෙම තරුණයා දැනට රජයේ රැකියාවක් කරන අතර මීට වසර දෙකකට පමණ ඉහතදී අවිස්සාවේල්ලේ පදිංචි 50 හැවිරිදි වැන්දඹු කාන්තාවක් දුරකථනයෙන් හදුනාගෙන තිබිණි. ඇයට වයස අවුරුදු 24ක දියණියක් හා අවුරුදු 18ක පිරිමි දරුවෙක් සිටී. කාන්තාව අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රැකියාවක් කරමින් සිටී. කෑගල්ලේ තරුණයා අවස්ථා කිහිපයකදී එම කාන්තාව සමඟ අඹු සැමියන් ලෙස හැසිරී ඇති අතර එම අවස්ථාවක තරුණයා සිය ජංගම දුරකථනයෙන්ද රූගත කර ඇති බවද වාර්තා වෙයි. පසුව තරුණයා මෙම වැන්දඹු කාත්තාවගෙන් මසකට රුපියල් 10,000 බැගින් තම ගිණුමකට මුදල් බැර කරගෙන ඇති බවත් ඇගේ ගෙල බැඳි පවුමක් බර රන් මාලයද ගෙන කෑගල්ල නගරයේ රන් භාණ්ඩ උකස් කරනු ලබන ආයතනයකට උකස් කර මුදල් ලබාගෙන තිබිණි. පසුව කාන්තාව තරුණයාගෙන් තමාගෙන් ගත් මුදල් හා රන් මාලය ආපසු ලබාදෙන ලෙස කිහිප අවස්ථාවකදී ඉල්ලීමක්  කර ඇත.

පසුව තරුණයාට මුදල් හා රන් භාණ්ඩ ආපසු ලබාදීමට අපොහොසත් වී තිබිණි. පසුව තරුණයා මෙම කාන්තාවට ප්‍රකාශ කර ඇත්තේ තමාට මසකට රුපියල් 10,000 බැගින් ලබාදෙන ලෙසත්ය. ලබා නොදෙන්නේ නම් අඹු සැමියන්  ලෙස හැසිරුණු වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවත් තරුණයා ප්‍රකාශ කර ඇත. එයට බය වී මේ වන විට රුපියල් ලක්‍ෂ  2කට ආසන්න මුදලක් හා රන් පවුම් දෙකක්ද දී ඇති බව පොලිසිය කියයි. ඉකුත් බ්‍රහස්පතින්දා (21දා)  මෙම කාත්තාව තරුණයාට සිය දියණියගේ රන් මාලයද කෑගල්ල නගරයට ගෙනත්දී තවත් තරුණියක සමඟ කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණ ඇත.

පසුව කාන්තාවගේ පැමිණිල්ල සටහන් කරගත් පොලිසිය පසුව තරුණයා හා කාන්තාව පෙරේදා (23දා) කෑගල්ල මූලස්ථානය වෙත කැඳවා තිබිණි. තරුණයා තම මව සමඟ පැමිණ සිටි අතර එම කාන්තාව ඥාතිවරියක් සමඟ පැමිණ සිටියාය. පැමිණිල්ල විභාගයට ගත් කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් පරික්ෂක සිල්වා මහතා ඉදිරියේදී තරුණයා කර තිබූ වරද භාරගෙන මව එහිදී මුදල්වලින් කොටසක්ද කාන්තාවට ලබාදීමට කටයුතු කළාය. තරුණයාගේ මව එහිදී සිය පිරිමි දරුවා පිළිබඳව විස්මයට පත්වී ඇති අතර ඉතිරි මුදල් අද (25දා) තරුණයා කාත්තාවට කෑගල්ල පොලිසියේදී ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු දෙපාර්ශ්වයම පොලිසියෙන් පිටව ගොස් ඇත.

-චමින්ද ජයලත්-



රත්ගම මිනීමරු උප පොලිස් පරීක්ෂක සියල්ල වමාරයි-ලේ තැවරුණු පොලිස් නිල ඇඳුම් හමුවෙයි








රත්ගම බූස්ස රන්න උදාගම ප්‍රදේශයේ  ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැර ගෙන ගොස් තර්ජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් අපරාධය සිදු කළ දිනයේ ඇඳ සිටි ලේ තැවරුණු පොලිස් නිල ඇඳුම් මාතර වැල්ලමඩමේ පිහිටි සුසිරී වලව්ව පිටුපස  ටැංකියකට දමා ගිනි තබා පුළුස්සා තිබූ අතර එහි
කොටස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පෙරේදා (23) සොයා ගන්නා ලදී.

ඒ අනුව ඩීසල් දමා කුණු කසළ සමග එම පොලිස් නිල ඇඳුම් ගිනි තබා ඇති බව රහස්  පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම ඩීසල් ගඳ වහනය වන පිළිස්සී ගිය ඇඳුම් කොටස් කීපයක්. වැහි කබායක කොටසක් හා ජංගම දුරකථන පරිපථ කැබැල්ලක් එහි තිබී ඊයේ සොයා ගනු ලැබූ බව ද පොලිස් ප්‍රකාශයෙන් පැවසීය. අත්අඩංගුවට ගෙන සිටින උපපොලිස්  පරික්ෂක විරාජ් මධුශංක නමැත්තාගෙන් ප්‍රශ්න කිරිමේදී හෙළි වූ තොරතුරු අනුව එම ස්ථානය  සොයාගෙන තිබිණි.

ව්‍යාපාරිකයන් දෙදෙනාව ගාල්ල අක්මීමන ප්‍රදේශයේ නිවසකදී පහර දී ඝාතනය කර වලස්මුල්ලේ රක්ෂිතයකට සිරුරු රැගෙන ගොස් පුළුස්සා නැවත මාතරට පැමිණ ලේ තැවරී තිබූ පොලිස් නිල ඇඳුම් සියල්ල එකී වලව්ව පිටුපස ටැංකියකට දමා ගිනි තැබූ බවට ඔහු පාපොච්චාරණය කර තිබිණි.


වසර 140ක් පමණ පැරැණි මෙම වලව්වේ කාමරයක  මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් භාරයට පත්කර සිටින පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා නමැත්තා ද තාවකාලිකව පදිංචි වී සිට ඇති බව  රහස් පොලිසිය කියයි.

මෙම වලව්වේ හිමිකරු කොළඹ පදිංචිවී සිටින අතර ඔහු දීර්ඝ කාලයක සිට එම වලව්ව  කිසිදු මුදලක් අය නොකර පොලිස් නිලධාරීන්ට නවාතැන් ගැනීමට දී තිබෙන බව කියති.

මෙම ටැංකියේ තිබූ කුණු රොඩු ඇවිස්සීමේදී  එහි තිබු ඩීසල් ගඳ වහනය වන පිළිස්සී ගිය ඇඳුම්  කොටස් කිහිපයක්, වැහි කබායක කොටසක් හා ජංගම දුරකථනයක පරිපථ කැබැල්ලක්
සොයාගෙන ඇත.( එම කොටස් හා අළු සාම්පල් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිතින් මලුවල දමා රැගෙන යන ලදී.) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරික්ෂක මුණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් මෙම පරීක්‍ෂාව සඳහා පැමිණ සිටියේය. ඊට අමතරව මාතර කොට්ඨාස අපරාධ ස්ථාන පරිශ්‍රණාගාරයේ නිලධාරිහු ද එම කටයුතු සඳහා සහාය වූහ.

රත්ගම බූස්ස රන්න උදාගම පදිංචිව සිටි රසීන් චින්තක (31) හා මංජුල අසේල කුමාර (33) යන ව්‍යාපාරිකයන් දෙදෙනා ඉකුත් ජනවාරි මස 23 වැනිදා පොලිස් නිල ඇඳුමින් සැරසුණු නිලධාරින්  පිරිසක් විසින් කළු පැහැති වෑන් රථයකින් හා සුදු පැහැති මෝටර් රථයකින් පැහැරගෙන ගොස් ගෙන තිබිණි.


ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන ලද විමර්ශනයකදී මෙම අපරාධයේ සුල මුල හෙළි වී තිබේ.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පිළිබඳව වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

(ගී‍්‍රනාන් ජීවක ජයරුක්)

මිනී වළක් ආවරණය කර ඇති කොන්ක්‍රීට් ලෑල්ල මත ඉදිකටු ගැසූ බෝනික්කන් 18ක් තබලා



ආරච්චිකට්ටුව රාජකදලුව සුසාන භූමියේ මිනී වළක් ආවරණය කර ඇති කොන්ක්‍රීට් ලෑල්ල මත කුඩා ප්‍රමාණයේ බෝනික්කන් 18කට ඉදිකටු ගසා එක් බෝනික්කෙක් මත තඹ කොළයක් අමුණා තිබියදී ප්‍රදේශවාසීන් විසින් 23දා සොයාගනු ලැබීය. මෘතශරීරයක් භූමදානය කිරීම සඳහා වළක් කැපීමට පැමිණි පිරිසක් විසින් මෙම බෝනික්කන් සොයාගෙන ඇත. පරණ මිනී වළක කොන්ක්‍රීට් ලෑල්ල මත මෙම බෝනික්කන් තිබී ඇති අතර එම මිනී වළේ කොන්ක්‍රීට් ලෑල්ලද අඩක් විවෘත කර තිබෙනු දක්නට ලැබිණි. තවද බෝනික්කන් මත නම් කීපයක් ලියා තිබෙනු දක්නට ලැබිණි.

මෙම ක්‍රියාව කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් තවත් පිරිසකට එරෙහිව ඔවුන් නැසීමට සිදුකරන ලද ගුරුකමක් විය හැකි බවට ප්‍රදේශවාසීන් පවසයි. මේ පිළිබඳව ආරච්චිකට්ටුව පොලිසියද දැනුවත් කර ඇතත් කිසියම් කෙනකු මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර නැති බව පොලිසිය පවසයි.

-වීහේණ අනුරාධ-

රත්ගම ඝාතනයේ ප්‍රධාන සැකකාර IP සහ තොරතුරු හෙළි කළ SI එකම සිරමැදිරියක


රත්ගමදී තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කෘෘර වධහිංසාවට ලක්කොට ඝාතනය කොට පුලුස්සා දැමීමේ සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා, රැඳවූ ගාල්ල බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු, නිශාන්තගේ ඥාති සහෝදරයකු වීම නිසා මෙම ඝාතන සිද්ධිය හෙළිදරව් කළ උප පොලිස් පරීක්ෂකවරයාට බන්ධනාගාරය තුළදී බලපෑම් ඇති වීමේ ඉඩකඩක් පවතින බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ උප පොලිස් පරීක්ෂකවරයා ඉහත කී පොලිස් පරීක්ෂකවරයා සමඟ එකම සිරමැදිරියක් තුළ මේ වන විට රඳවා ඇති බවත් එම නිසා ඉදිරි විමර්ශන සඳහා එය බාධාවක් වීමට ඉඩකඩ පවතින බවත් එම ආරංචි මාර්ගයන් කියා සිටි. උප පොලිස් පරීක්ෂකවරයාගේ සාක්ෂි මත මෙම අබිරහස් ඝාතනය හෙළිදරව් කර ගැනීමට රහස් පොලිසියට හැකි විය. මීට අමතරව රත්ගමදී පෙරේදා (23දා) විරෝධතාව අතර ඝාතනයට ලක්වූ අයකුගේ මවකගේ ජංගම දුරකථනයට කතා කොට කප්පම් මුදල් ඉල්ලා ඇත්තේද බන්ධනාගාරයක රඳවා සිටින සැකකරුවකු විසින් බවට පොලිසිය සැක පළ කරයි.

අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනා සිටිනා බවත් ඔවුන් යළි එවීමට කප්පම් මුදල් ලබාදෙන ලෙසත් එම දුරකථන සංවාදයේදී කියා තිබිණි. එහි දුරකථන අංකය ඔස්සේ ඊට සම්බන්ධ අය සොයා විමර්ශනයක් මේ වන විට පොලිසිය විසින් ආරම්භ කර ඇත. එසේම මෙම ඝාතන සිද්ධියට සෘජුව පොලිස් නිලධාරීන් හතරදෙනකු වගකිවයුතු බවත්, ඉන් මේ වන විට පොලිස් නිලධාරීන් පස්දෙනකු පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 15 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කළ අතර එම ස්ථාන මාරු ලබාදීමට එම නිලධාරීන් සොයන අවස්ථාවේ ඔවුන් සේවයට වාර්තා කර නොමැති බවත් අනාවරණය වී ඇත.මෙම නිලධාරීන් පස්දෙනා ඇතුළු එහි ස්ථානාධිපතිවරයාට අද (25දා) දින රහස් පොලිසිය හමුවේ පෙනී සිටීමටද දන්වා ඇති අතර ඔවුන් අද දින ඒ සඳහා පැමිණියේ නැති නම් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවද උසස් නිලධාරියා සඳහන් කළේය.

මේ අතර පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා නැවතී සිටි මාතර, දෙවිනුවර ප්‍රදේශයේ පැරැණි නිවෙසක් සහ එහි ගෙවත්ත පරීක්ෂා කිරීමට රහස් පොලිස් නිලධාරීන් පෙරේදා (23දා) කටයුතු කර ඇත. එහිදී එම නිවෙසේ කුණු ගොඩක් සඳහා කැපූ වළක සඟවා තිබූ ඩීසල් දමා පුලුස්සන ලද ජැකට් සහිත ඇඳුමක්, තවත් ඇඳුම් කොටස් කිහිපයක් සහ ජංගම දුරකථන කොටස් රහස් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.එම ජැකැට්ටුව පොලිස් පරීක්ෂකවරයා ඇඳ සිටි බවටද රහස් පොලිසිය සැක පළ කරයි.

මෙම තරුණයන් දෙදෙනා ඝාතනය කොට කැබ් රථයක දමාගෙන වලස්මුල්ල, මැදගංගොඩ රක්ෂිතයට පොලිස් නිලධාරීන් කර මතින් රැගෙන ගොස් දර දමා ඩීසල් දමා ගිනිතබා ඇති බවටද කරුණු අනාවරණය වී තිබේ. පැය පහක පමණ කාලයක් ඔවුන් දෙදෙනා පිලිස්සී ඇති අතර එම පිලිස්සූ ස්ථානය සිඳී ගිය දිය පහරක් බවද රහස් පොලිස් ආරංචි මාර්ගයන් පවසයි.  වර්ෂාව පතිත වූයේ නම් එම මිනිස් අස්ථි කොටස් පහළ ප්‍රදේශයට ගසාගෙන යෑමට ඉඩ තිබුණු බවත් එම ආරංචි මාර්ගයන් කියා සිටී.

ව්‍යාපාරිකයන් දෙදෙනාගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ උප පොලිස් පරීක්ෂකවරයකු මේ මස 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා පෙරේදා (23දා) නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කළ එච්.ජී. විරාජ් මදුසංක නමැති අයෙකි.

මෙම ඝාතන සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු වන කපිල නිශාන්ත නමැති අයද මේ මස 28දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලිස්පතිවරයාගේ නියෝග මත මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සහ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුසංක යන දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමේදී උප පොලිස් පරීක්ෂකවරයා කරන ලද පාපෝච්චාරණය අනුව එම දෙදෙනා ඝාතනය කරන ලද නිවෙස සහ මළසිරුර ගෙනගොස් පුලුස්සා දමන ලද ස්ථානයද පසුගිය සිකුරාදා සොයා ගනු ලැබීය.  අක්මීමණ, ගොනාමුල්ලේ නිවෙසේ පිටුපස කොටසේ ඔවුන් ඝාතනය කර ඇති අතර නිවෙසේ ස්ථාන කිහිපයක තිබූ ලේ පැල්ලම් කිහිපයක්ද සොයාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

-එන්.ජී. ලියනගේ-

බංග්ලාදේශ පාඨකයන් කියවන්නේ උදෑසන තාප්පවල අලවා ඇති පත්තර




සෑම රටකම උදෑසන පුවත්පත් කියැවීම පුරුද්දක් කොට තිබේ. පසුදා ගෙවුණු දිනවල සිදු වූ සිදුවීම් දිනපතා, සතිපතා පුවත්පත් මුද්‍රණය වී ජනතාව අතට පත් වීම සුලබ දසුනකි. එහෙත් මේ දිනවල බංග්ලාදේශයේ පුවත්පත්වල මණ්ඩලයේ සංවත්සර උත්සවයට සහභාගී වී සිටි ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන්ට දැකගැනීමට හැකි වූයේ එරට පුවත්පත් කියවන ක්‍රමවේදය සහ බෙදාහැරීමේ ක්‍රමවේද විශාල වෙනසකි.

එනම් දිනපතා පුවත්පත් බංග්ලාදේශයේ ඩකා අගනුවර සේම අනෙකුත් ප්‍රදේශවල නගර මධ්‍යයේ ඇති විශාල තාප්ප, දැන්වීම් පුවරු මත අලුයම් කාලය වනවිට පුවත්පත් පිටු අලවා තිබීමය. නගරයට එන බොහෝ බංග්ලාදේශ ජාතිකයන් ඔවුන්ගේ භාෂාවෙන් මුද්‍රණය වූ පුවපත්පත් නගරයේ සිට තාප්පවලට හේත්තු වී, කිට්ටු වී, කෝටු කැබලිවලින් දත් මදිමින් කියවීම සිදු කරති. බංගලාදේශ වැසියන් කියා සිටියේ පුවත්පතක් මිලදීගෙන කියවනවාට වඩා වැඩි උනන්දුවකින් එම පුවත්පත් දැන්වීම් ප්‍රවෘත්ති කියවීමට බොහෝදෙනකු උනන්දුවක් දක්වන බවය.

බංග්ලාදේශ පුවපත්පත් මණ්ඩලයේ සංවත්සර උත්සවයට සමගාමීව පැවැති උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ බන්දුල වෙල්ලාල මහතා, මාධ්‍යවේදී කංචන කුමාර ආරියදාස මහතා සහ ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී පුෂ්පකුමාර ජයරත්න මහතා සහභාගි වූහ. එහිදී පුවත්පත් කතුවරුන් මෙන්ම මාධ්‍යවේදීන්ද කියා සිටියේ නිවෙස්වලට ගොස් පත්තර උදෑසන බෙදාහරිනවාට වඩා වැඩි කියැවීම් ප්‍රතිශතයක් නගර මධ්‍යයේ පුවත්පත් පිටු අලවා තිබීමෙන් පුවත පලදරන බවය.

පුවත්පත් මිලදී ගැනීමට හැකි අයටද එම අවශ්‍යතා සපුරා තිබෙන බවත් නිවෙස්වලට හා ඉල්ලුම් ඇති සෑම ස්ථානයකටම පුවත්පත් රැගෙන ගොස් ලබාදීම ද එරට සාමාන්‍ය පරිදි සිදු වන නමුත් ඉන් හාත්පසින්ම වෙනස් තත්ත්වයකට පත්ව ඇත්තේ නගරයේ බොහෝ ස්ථාන වල පුවත්පත් අලවා තිබීමය.


 -කේ.කේ. ආරියදාස-

නිළධාරීන්ගේ ඇස් වසා පොලිසියට යකඩ පොල්ලක් ගෙනත් පොලීසිය තුළදීම පුද්ගලයෙකුට පහරදී මරා දාලා

ආරවුලක් සම්බන්ධයෙන් ලැබුණු  පැමිණිල්ලට අනුව එය විසඳීම සඳහා පොලොන්නරුව, දියබෙදුම පොලිස් මුරපොළට කැදවා සිටි කාන්තාවක ඇතුළු තිදෙනකුගෙන් එක් අයෙකු ආරවුලට සම්බන්ධ පාර්ශවයේ පුද්ගලයකුට පොලිස් මුරපොළ තුළදී යකඩ පොල්ලකින් හිසට පහරදීම නිසා බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව මිය  ගොස් ඇතැයි බකමූණ පොලිසිය කියයි.


ඉකුත් සිකුරාදා (22) රාත්‍රී 10ට පමණ ඇතිවූ බව  කියන මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ 07, විජයාරාම මාවත, අංක 37/1/2 යන ලිපිනයේ පදිංචි හේෂාන් ප්‍රේමසිරි ද සිල්වා නමැති 44 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

පහරදීම සිදුකළ බව කියන 36 හැවිරිදි විවාහක පුද්ගලයකු ඒ පහරදීම සඳහා උපයෝගි කරගත් බව කියන යකඩ පොල්ලක් ද සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මැදිරිගිරිය, දියසෙන්පුර මහතලාකොළවැව, පුල්ලෙයාර් හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට අනාවරණය වි තිබේ.

මරණකරු සහ සිද්ධියට අදාළ කාන්තාව දියබෙදුම අත්තනකඩවල ප්‍රදේශයේ පිහිටි කුලී පදනම මත ලබාගත් නිවසක රැදී සිටින විට,
මේ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරු එහි පැමිණ ආරවුලක් ඇති කරගෙන තිබෙන අතර ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) දැනුම්දීමක් කර ඇත. ඒ අනුව පොලිසිය ඒ ස්ථානයට ගොස් ආරවුල සමථයකට පත් කිරිම සඳහා පොලිස් මුරපොළට පැමිණෙන ලෙසට පාර්ශවකරුවන්ට දැනුම්දී තිබේ.

 ඔවුන් දෙපිරිසම පොලිස් මුරපොළට පැමිණි පසුව රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු දෙපාර්ශවයේ කරුණු විමසා පැමිණිලි සටහන් කිරිමේ පොත රැගෙන ඒම සඳහා සැරයන්වරිය අසල  පිහිටි කාමරයකට ගොස් ඇත.

ඒ අවස්ථාවේ මේ පහරදීම සිදු කළ බව කියන පුද්ගලයා තමාට මුත්‍රා කිරීමට අවශ්‍ය බව පොලිස් කොස්තාපල්වරයාට දන්වා ඔහුගේ අවසරය ඇතිව පොලිස් මුරපොළෙන් පිටතට පැමිණ තිබේ. ඒ පැමිණ ටික වේලාවකින් ඔහු පැමිණි ත්‍රිරෝද රථයේ තිබු යකඩ පොල්ලක් රැගෙන විත් මරණකරුගේ හිසට පහරදී තිඛෙන බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත.

 පසුව තුවාලකරු පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ. එහෙත් රෝහලට ඇතුළු කිරීමට
පෙර රෝගියා මියගොස් ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

(පොළොන්නරුව න. ග. කරුණාරත්න සහ ඇළහැර සරත් නිශ්ශංක)

මම එනකන් උඹ හැංගිලා හිටපන්




"මම රිමාන්ඩ් එකෙන් එළියට එනකම් උඹ කොළඹට එන්නේ නැතිව ඉන්න දිහාවෙම හැංගිලා හිටපන්. මම ඇවිල්ලා උඹලා ගැන බලා ගන්නම්" යනුවෙන් ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා මෙරට සිටින ඔහුගේ ගෝලයකුට පසුගිය දිනක දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය කරගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

කංජිපානි ඉම්රාන් නමැත්තා එසේ දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ අබ්දුල් හෂාර් මොහොමඩ් රිස්වාන් නොහොත් ජී. රිස්වාන් නමැත්තකුට බවද ඔහු කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත මෙරට අපරාධ රැසක් සිදුකර ඇති පුද්ගලයකු බවද ඔහු කංජිපානිගේ මෙරට සිටින ප්‍රධාන වෙඩික්කරුවා වශයෙන් හඳුනාගත් බවද එම අපරාධ කොට්ඨාසය පැවසීය.

එම අපරාධ කොට්ඨාසයේ ප්‍රකාශකයකු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉහත කී රිස්වාන් නමැති පාතාල සාමාජිකයා හෙරොයින් මිලිග්‍රෑම් 6,150ක් හා අත්බෝම්බයක්ද සමඟ ඉකුත් 23 වැනිදා පෙරවරු 4.50ට පමණ කොළඹ ජම්පටා වීදියේදී අත්අඩංගුවට ගත් බවත් එසේ අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඉහතකී දුරකථන ඇමතුම ලබාදීමේ සිද්ධිය ඇතුළු ඔහු විසින් සිදුකළ අපරාධ රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් බවත්ය.

මෙම සැකකරුවා ඊයේ (24දා) පස්වරුවේ කොළඹ - අලුත්කඩේ අංක 06 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය තවදුරටත් විමර්ශන සිදු කරයි.

-කුමුදු උපුල් ශාන්ත-

ලොව හොඳම ගුරුවරුන් 10න් අයෙක් ශ්‍රී ලාංකිකයෙක්



2018 වසරේ ලෝකයේ හොඳම ගුරුවරුන් දස දෙනා අතරට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ගුරුවරියක් එක්ව සිටී. යාපනයේ උපත ලබා යුද ගැටුම් නිසා ඕස්ට්‍රේලියාවට ගොස් එහි පදිංචිව සිටින යශෝදි සෙල්වකුමරන් මෙනෙවිය එම ශ්‍රී ලාංකික තරුණියයි. ලෝකයේ රටවල් 179ක විවිධ විෂයයන් උගන්වන ගුරුවරුන් දස දහසක් පමණ දෙනා වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගය සඳහා ඇයැදුම්පත් ඉදිරිපත් කොට තිබූ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කරයි.

ලෝකයේ හොඳම ගුරුවරුන් දසදෙනා අතරට එක්වන ගුරුවරුන් දස දෙනාට එක් අයකුට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක් බැගින් හා තවත් ත්‍යාග ලබා දෙයි. දැනට විසි අටවන වියේ පසුවන යශෝධි ඇයගේ මවුපියන් සමඟ ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ වයස අවුරුදු දහයේදීය. ඇය එරට සිඩ්නි නුවර රූඩි හිල් (RUDDY HILL) පාසලේ ගුරුවරියක් ලෙස සේවය කරයි.


-රසාදි චතුරංගි ගමගේ-

Friday, February 22, 2019

බස්නාහිර පළාත් සභාව එක දවසකට ලක්ෂ 05ක කනවා-සභාවට මන්ත්‍රීවරුන්ගේ පැමණීමත් අන්තිමයි-ජවිපෙ ප්‍රශ්න කරයි







බස්නාහිර පළාත් සභාවේ රැස්වීම් පැවැත්වෙන එක් දිනක වියදම රුපියල් 574,914ක් බව සභාපති සුනිල් විජේරත්න මහතා ඊයේ (21) පැවසීය.

මෙම වියදමට විදුලිය ජලය වියදම් ඇතුළත් නොවන අතර එය ප්‍රධාන වශයෙන් ආහාර සඳහා වැය වන මුදල සේ ගත හැකි බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේත්ය.  ඔහු මේ බව පැවසුවේ ජනතා විමුක්ති  පෙරමුණේ මන්ත්‍රී සරන් පතිරණ මහනා විසින් සෞඛ්‍ය. දේශීය වෛද්‍ය, සමාඡ  සුභසාධන, පරිවාස හා ළමාරක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු පිළිබඳ අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් මහතාට යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

2018 වර්ෂයේ පළාත් සභා රැස්වීම් පැවැත්වූ වාර ගණන, එක් රැස්වීම් වාරයකට වැය වන මුදල, මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය කොපමණදැයි සරත් පතිරණ මහතා විමසා තිබූ අතර අදාළ
අමාත්‍යවරයා සභාවට පැමිණ නොසිටි බැවින් සභාපතිවරයා ඊට පිළිතුරු සැපයීය.

2018 වසරේ සතරව පවත්වා ඇති දින ගණන 24කි. මෙම දින විසිහතරෙන් දින පහක් පමණක් පැමිණි මන්ත්‍රීවරුන් කීප දෙනකුම සිටින බව ද දින හයක් හා දින හතක් පමණක් පැමිණී මන්ත්‍රීවරුන් දෙදෙනකු සිටින බව ද සුනිල් විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.


(මුදිතා දයානන්ද)