Showing posts with label Sportg5. Show all posts
Showing posts with label Sportg5. Show all posts

Thursday, March 12, 2020

'ආසියානු' ක්‍රිකට් පිටියට 'කෝවිඩ් 19 'යෙන් බලපෑම්


‘කෝවිඩි-19 වෛරසයේ බලපැමත් සමඟ එළඹෙන 29දා ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් 2020 තරඟාවලියේදී ප්‍රේක්ෂකයන් සහභාගි කරගැනීම සම්බන්ධයෙන් මේ වන විට දෙගිඩියාවක් මතුව ඇති බව 'ඉන්දියා ටුඩේ' වෙබි අඩවිය වාර්තා කරයි.

ක්‍රිකට් ලෝලීන්ගේ ඉහළ සහභාගිත්වයක් සහිතව පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේ මෙවර අදියර සඳහා ප්‍රේක්ෂක සහභාගිත්වය අවම කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවද එම වෙබ් අඩවිය වාර්තා කරයි. කෙසේ වෙතත් සාමාන්‍ය පරිදි තරඟාවලිය පැවැත්වූවත් ක්‍රීඩකයන්ට යම් යම් තහංචි පැනවෙනු ඇති බව වාර්තා වේ. ඒ අනුව අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ට ප්‍රේක්ෂකයන් සමග සෙල්ෆි ගැනීම තහනම් වීමට වැඩි අවස්ථාවක් පවතී. එමෙන්ම ක්‍රීඩකයන් එසේ සිදුකරන්නට පෙළඹෙන්නේ නම් එය පාලනය කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් දැනුවත් කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ මෙවැනි තීරණයක් ගැනීම මේ සඳහා විසඳුමක් නොවන බවයි. මේ අතර අයි.පී.එල්. තරගාවලිය සම්බන්ධයෙන් ඉන්දියාව තුළ උණුසුම්කාරී තත්වයක් නිර්මාණය වී ඇති බවක් පෙනෙන්නට තිබේ. අයි. පී.එල්. තරගාවලිය කල් දමන ලෙස මදුරාසි මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, කර්නාටක ප්‍රාන්තය බැංගලෝර්හි පැවැත්වෙන තරඟ සඳහා මේ වනවිට ඉහළ දේශපාලන අධිකාරීයෙන් උපදෙස් පතා ඇති බවද වාර්තා වේ. 

ඉන්දියාව තුළ දිනෙන් දින කෝවිඩ්19 ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බැවින් අයි.පී.එල්. තරගාවලිය කල් දැමිය යුතුද යන්න පිළිබඳ ඉන්දීය රජය සාකච්ඡා කරමින් සිටින බව මහාරාෂ්ට සෞඛ්‍ය ඇමතිවරයා තහවුරු කර ඇති බවද වාර්තා වේ. එහෙත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සවිරව් ගංගුලි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ සුපුරුදු පරිදි අයි.පී.එල්. තරගාවලිය පැවැත්වෙන බවයි.


එංගලන්තය අතට අත දීමෙන් වළකියි 

ටෙස්ට් තරඟ දෙකක් සඳහා එංගලන්ත කණ්ඩායම මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර, ඔවුන් සිය සංචාරය අතරතුරදී වෙනත් පුද්ගලයන් සමග අතට අත (Handshakes) දීමේ ක්‍රමය තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත. 

'එවරස්ට් ලීග්' කල් දමයි

නේපාලයේ පැවැත්වෙන ජනප්‍රියම විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන 'එවරස්ට්' ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය එරට රජයේ දැනුම්දීම මත කල් දැමීමට තීරණය කර ඇත. 

දකුණු අප්‍රිකාවත් විශේෂ අවධානයකින්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අද (12දා) ආරම්භ වීමට නියමිතව තිබෙන තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සැලසුම් කරගත් පරිදි පැවැත්වේ. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාස කරමින් දකුණු අප්‍රිකා ක්‍රිකට් බලධාරින් මෙම තීරණය ගෙන ඇත. කෙසේ නමුත් ඉන්දියාව තුළ සංචාරය කිමේදී විශේෂ සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් දකුණු අප්‍රිකාව විසින් අනුගමනය කරනු ලබයි. එමෙන්ම දකුණු අප්‍රිකාවද එකිනෙකා සමග අතට අත දීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත. 

බංග්ලාදේශයෙන් සීමා

බංග්ලාදේශය හා සිම්බාබ්වේ අතර පැවති විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ද විශේෂ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාවට නංවා තිබිණි. ඒ අතරින් තරඟ ප්‍රවේශපත් මිලදී ගැනීමද සීමාකර තිබූ අතර, ඒ හේතුවෙන් 25,000ක පමණ ධාරිතාවක් තිබූ හේ බංග්ලා ක්‍රීඩාංගණයට පැමිණියේ පහෙන් එකක් වැනි පිරිසකි.

ආරක්ෂිත රැකවල් මැද පී.සී.එල්.

පාකිස්තානයේ පැවැත්වෙන ප්‍රධානම පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන පාකිස්තාන ප්‍රිමියර් ලීග් (පී.සී.එල්) ක්‍රිකට් තරගාවලිය සැලසුම් කරගත් පරිදි කරච්හිදී පැවැත්වීමට තීරණය කර ඇත. කෙසේ නමුත් අනුග්‍රාහකයන්ගේද සහයෝගය ඇතිව ප්‍රේක්‍ෂකයන්ගේ උපරිම ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය රජයට සිය එකඟතාව පළකර ඇත.

Friday, March 6, 2020

තරඟ පැරදෙනවට බය වෙලා ජයග්‍රහණ ලබාගන්න බැහැ


තරඟ පරාජය වනවාට බිය වී ජයග්‍රහණ බලාපොරොත්තු විය නොහැකි බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර
පෙරේදා (04දා) පැවති පළමු පන්දුවාර විස්සයි20 තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙහිදී කුසල් තවදුරටත් පවසා සිටියේ, හැමදාම එකම සැලසුම් ක්‍රියාත්මක කළ නොහැකි බවත්, වෙනසක් කළ යුතු බවත්ය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයෙන් ලකුණු 25ක පරාජයක් භාරගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුසල්,

“පන්දු රැකීමේදී අඩුපාඩු ටිකක් වුණා, ඒක ඇත්ත. නමුත් පන්දුවට පහරදීමේදී අපට කියන්න බැහැ සෑම පිතිකරුවෙක්ම සාර්ථක වෙනවා කියලා. මොකද මම ඊළඟ තරඟයේදී අසාර්ථක වෙන්න පුළුන්. කණ්ඩායමක පිතිකරුවෝ හයක්, හතක් ක්‍රීඩා කරනවා. නමුත් එදා දවසට ලකුණු අතරට එන්නේ පිතිකරුවෝ දෙදෙනෙක් නැත්නම් තුන්දෙනෙක්.

මෙම තරඟයේ අපේ මුල් පිතිකරුවන් සියලු දෙනාම එකම ආකාරයකට දැවී ගියේ. අපි ඒකට විකල්පයක් හොයාගන්න ඕන. තෝමස් (කොදෙව්වන්ගේ සාර්ථකම පන්දු යවන්නා) කියන්නේ වේගවත්, ඒ වගේම බවුන්සර් පන්දු යවන්නෙක්. එයා කඩුලු 5/28) ගත්තෙත් ඒ විදියට. එම නිසා එම අඩුපාඩුව හදාගෙන පිතිකරුවන් ක්‍රීඩා කරන්න ඕන. එයා කඩුලු පහක් ගත්තා කියලා නැහැ, මොකද ඊළඟ තරඟයේදී අපි එයාට අභියෝග කරන්න ඕන. විස්සයි20 කියන්නේ පිතිකරුවන්ගේ තරඟයක්" යැයි පැවසීය.

මෙහිදී කොදෙව් කණ්ඩායම ලකුණු 196/4ක් රැස් කිරීමට සමත් වූ අතර, ඔවුන් එතරම් ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දුර්වලතා නිසාද, නැතිනම් පන්දු රකින්නන් ස්ථානගත කිරීමේ දුර්වලතා නිසාදැයි මෙහිදී කුසල්ගෙන් විමසීය.

"පන්දු යවන්නන්ගේ දුර්වලතා නිසා කියන්න බැහැ. මොකද විස්සයි20 තරඟයක ලකුණු 197ක් කියන්නේ හඹාගෙන යන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක්. මෙහිදී අපේ පන්දු යවන්නෝ ඔවුන්ගේ දායකත්වය 100%ක් දුන්නේ නැහැ කියන්න බැහැ. සාධාරණ ලකුණු සංඛ්‍යාවකට සීමා කරලා දුන්නා. කොදෙව්වෝ ලකුණු දෙසීය ඉක්මවූයේ නැහැනේ. අපට තව එක හොඳ ලකුණු සබඳතාවක් ආවා නම් තරඟය දිනන්න තිබුණා. කොහොමත් කොදෙව්වෝ ලෙන්ත් එක මිස් වුනොත් හයට ගහනවා, ඔවුන් දේහදාරී ක්‍රීඩකයෝ නිසා. එහෙම වුණාම තමයි ගොඩක් වෙලාවට ලකුණු යන්නේ” යනුවෙන් පැවසීය.

දෙවැනි තරඟයට කණ්ඩායමේ තිබෙන සුදානම පිළිබඳ කුසල් දැක්වූයේ මෙවන් අදහසක්,

"තරඟ පරදින්න බය වෙලා දිනන්න බැහැ. නමුත් හැමදාම එකම දේ කරලත් බැහැ. ඒ නිසා අපි වෙනසක් කරන්න ඕන. තරඟයක් දිනන්න අභියෝග කරන්න ඕන. ලකුණු හඹායන්න ඕන, විශේෂයෙන් විස්සයි20 තරඟවල.”

දෙවැනි විස්සයි20 තරඟය ගැන ප්‍රේක්‍ෂකයන්ට කුමක්ද කියන්න තියෙන්නේ යනුවෙන් මෙහිදී කුසල්ගෙන් විමසා සිටියේය.

"තරඟ කියන්නේ දිනනවා, පරදිනවා. ඒක තමයි ක්‍රීඩාවේ ස්වභාවය. එක්දින තරඟවල අපි හොදින් කළා. විස්සයි20 තරඟ ඉතිහාසය අපේ කොහොමත් එතරම් හොඳ නැහැ. තරඟ පැරදිලා තියෙන්නේ. එහෙම වෙලත් ප්‍රේක්‍ෂකයෝ තරඟ බලන්න එන එක ගැන සතුටුයි. ක්‍රීඩකයෙක් හැටියට අපි බලන්නෙත් තරඟ දිනන්න. කවුරුත් කැමති නැහැ තරඟ පරදින්න.

විස්සයි20 කණ්ඩායමේ ආත්ම විශ්වාසයත් ටිකක් අඩුයි. ඒක වැඩි කරගන්න ඕනත් ක්‍රීඩකයන්ම තමයි. එම නිසා ප්‍රේක්‍ෂකයන්ගෙන් ඉල්ලන්නේ ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න, දිරිමත් කරන්න කියලා."

මෙම තරඟයට පෙර දිනයේ ඔහුගේ විවාහ උත්සවය පැවති අතර, ඔහු එයට සහභාගි වී පසු දිනයේදීම මෙම තරඟය ක්‍රීඩා කළේය. ඔහු හා බිරිඳ ගැන කළ විමසීම් සඳහා සිනාමුසුවෙන් ඔහු මෙසේ පැවසීය.

"වෙඩින් එක තිබුණේ ඊයේ (03දා). අද (පෙරේදා) තමයි නුවරට ආවේ. පෞද්ගලිකව ලකුණු අතරට එන්න ලැබුණ එක ගැන සතුටුයි. නමුත් තරඟය දිනුවානම් ගොඩක් සතුටුයි. කඩුලු 05ක් (5/56, පන්දුවාර 5.6) වැටිලා තිබුණ වෙලාවක ලකුණු 171ක් රැස් කළා කියන්නේ එහි ධනාත්මක පැත්තකුත් තිබෙනවා. බිරිඳ නුවර ඉන්නවා. ඇයත් තරඟය නැරඹුවා. ඇය වෛද්‍යවරියක්. අපි දෙදෙනා හමුවෙලා වසර දොළහක් පමණ වෙනවා. ඇය, මම ගැන හොද අවබෝධයකින් ඉන්නවා. ඇය හා විවාහ වීමට ලැබීම ගැන මම ගොඩක් සතුටු
වෙනවා. මගේ අර්ධ ශතකය ගැන ඇය සතුටු වුණා කියලා මම හිතනවා. නමුත් අපි තරඟය දිනුවානම්, ඇයට ඊටත් වඩා සතුටු වෙන්න තිබුණා" යැයි කුසල් පැවසීය.

- සංජීව ධර්මසේන -

Thursday, March 5, 2020

අයි. පී. එල් ත්‍යාග මුදල බාගයකට බසී ?



මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරඟාවලියේදී ක්‍රීඩකයන් සඳහා ලබාදෙන ත්‍යාග මුදල් පසුගිය වසරට සාපේක්ෂව අඩකින් අඩු කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ. මේ සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ තරඟාවලිය සඳහා වන
වියදම් ප්‍රමාණය අඩු කිරීමට (cost cutting) මෙම පියවර ගන්නා බවයි. 

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම පියවර ගැනීමට නියමිතව ඇත්තේ පසුගිය වසරට සාපේක්ෂව කණ්ඩායම් සඳහා ලැබෙන අනුග්‍රාහක මුදල් ආදිය නොඅඩුව ලැබෙද්දී බව විදෙස් වාර්තා පවසයි. මේ අනුව පසුගිය වර්ෂයේදී ජයග්‍රාහී කණ්ඩායමට ලබා දුන් ඉන්දීය රුපියල් කෝටි 20ක මුදල මේ වසරේදී කෝටි 10 දක්වා අඩු කිරීමට මෙහිදී අවධානය යොමු වී ඇත. 

එමෙන්ම මෙම චක්‍රලේඛයට අනුව අනුශූරයන් සඳහා ලබාදුන් කෝටි 12.5 ක මුදල කෝටි 6.75 කටත්, අවසන් පූර්ව වටයේ පරාජිතයන් සඳහා ලබාදෙන මුදල් කෝටි 4.375 කටත් අඩු වීමට නියමිතය.

කණ්ඩායම් 8ක් තරඟවදින ලොව වඩාත් ජනප්‍රියම පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය වන අයි.පී.එල්. එළඹෙන මාර්තු 29 වැනිදා සිට මැයි 24 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වේ.

- ඕෂිත වරකපිටිය -

Wednesday, March 4, 2020

දිනනකොට වැරදි මැකිලා හොඳ ඉස්මතු වෙනවා


කොදෙව් කණ්ඩායම විස්සයි20 තරඟ රටාව තුළ කිසිඳු අවස්ථාවක අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක් බවත්, තරඟයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඔවුන් සතුව සිටින බවත් ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පැවසීය.

ශ්‍රී ලංකාව හා බ.ඉ. කොදෙව්. කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරඟය පිළිබඳ ඊයේ (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මාලිංග මේ බව පවසා සිටියේය. 

මෙහිදී තරඟයට කණ්ඩායමේ ඇති සුදානම පිළිබඳ අදහස් දැක්වූ මාලිංග, "විශේෂ සූදානමක් නෑ. මොකද මම හැරෙන්න අනෙක් සියලුම ක්‍රීඩකයන් එක්දින තරඟ ක්‍රීඩා කළා. ඔවුන් "කන්ඩිෂන්" එකේ දක්ෂතා අතරට ඇවිල්ලා තිබෙනවා. කෙසේ නමුත් විස්සයි20 කියන්නේ වෙනම ෆෝමැට් එකක්. මං හිතනවා එක්දින තරඟ ක්‍රීඩා කළා වගේ ඔවුන් ඒ මානසිකත්වයෙන් මේ තරඟාවලියේදී දක්ෂතා දක්වයි කියලා."

එක්දින තරඟාවලියේ ලද ජයග්‍රහණයේ විශ්වාසය මෙම තරඟයට කුමන බලපෑමක් එක් කරනු ඇත්දැයි පිළිබඳ මාලිංග  දැක්වූයේ මෙවන් අදහසක්,

"අපි කාලයක් තිස්සේ එක දිගට තරඟ තුනක් ජයග්‍රහණය කරන්න බැරුව හරි අමාරු තත්ත්වයක හිටියේ. ඉතින් ඒහිටපු තත්ත්වයත් එක්ක අපි ලබාගත් ජයග්‍රහණය ගොඩක් වටිනවා ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට. ඒ වගේම ක්‍රීඩකයන්ට එක දිගට තරඟවලට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණා. ඒ හැම දේමත් එක්ක බලනකොට ඔවුන් විශ්වාසයෙන් ඉන්නවා. ඒක ගොඩක් හොඳයි තවත් තරඟයකට යනකොට. තරඟයක් ජයග්‍රහණය කළාම තමයි දැනෙන්නේ ජයග්‍රහණයක් ලබන්න භාවිත කරපු හැකියාවන්. නමුත් එක දිගට තරඟ පැවැත්වෙන නිසා ඔවුන් හොඳ දේවල් ඉදිරියටත් කරගෙන යාවි." 

එලඹෙන ලෝක කුසලාන තරඟාවලියට කණ්ඩායමේ සූදානම ගැන කතා කිරීම කල් වැඩි වුවත්, ක්‍රීඩකයන් සිය පෞද්ගලික විශ්වාසය ඉහළ දමාගෙන සිටින බව මාලිංග මෙහිදී පැවසීය.

"ලෝක කුසලානයට ලෑස්තිද කියන්න අමාරුයි. නමුත් අපිට දැන් අලුතෙන් පුහුණුකාරිත්වයක් ඇවිල්ලා, ක්‍රීඩකයන්ට එක දිගට තරඟ ක්‍රීඩා කරන අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා මෙම පුහුණුවීම් සහ තේරීම් එක්ක ක්‍රීඩකයන්ට ඔවුන්ගේ පෞද්ගලික විශ්වාසය වැඩිවෙලා තිබෙනවා කියලා. විශේෂයෙන් තමන්ගේ ස්ථානයක් තියෙනවා කියන විශ්වාසය වැඩිවෙලා තියෙනවා. එය ඉදිරි තරඟාවලි තුන, හතර හොඳ ආත්ම විශ්වාසයකින් ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබීමක්. ක්‍රීඩකයන්ට අවදානමක් නැතිව ක්‍රීඩා කරන්න ලැබුනොත් බය නැති කණ්ඩායමක් හැදෙයි කියලා මම හිතනවා. ඒක උදාකරගන්න එක අපේ බලාපොරොත්තුව.

විස්සයි20 කණ්ඩායම තෝරාගත්තේ දිගුකාලීන සැලසුමකට අනුව දැයි මෙහිදී මාලිංගගෙන් විමසා සිටියේය.

"මම හිතන්නේ ඔව්. නමුත් නුවන් ප්‍රදීප් සහ ධනංජයද සිල්වා ආබාධවලට ලක්ව සිටින නිසා මෙම තරඟාවලිය අහිමි වෙලා තියෙනවා. නමුත් දැනට ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන්, එක් එක් ස්ථානවලදී ඒ, ඒ ක්‍රීඩකයන්ගේ දායකත්වය කණ්ඩායමට ලබාගන්න පුළුවන්. දැනට ලංකාවේ ඉන්න හොඳම 15 දෙනා තමයි මේ කණ්ඩායමට ඇතුළත් වෙලා තියෙන්නේ. එක්දින කණ්ඩායමෙත් අපි දැක්කා එකම කණ්ඩායමක් තරඟ තුනම ක්‍රීඩා කරනවා. ඒ කියන්නේ ලංකාවේ ඉන්න හොඳම 15 දෙනා එතන ඉඳලා තියෙනවා, විස්සයි20 සංචිතයේ වෙනසකට වුණේ ආබාධ වූ ක්‍රීඩකයන් දෙදෙනා විතරයි. ඒ අනුව දැනට විස්සයි20 සඳහා ලංකාවේ ඉන්න හොදම 15 තමයි තේරීම් කමිටු තෝරාගෙන තිබෙන්නේ. ඒක නිසා ඒක දිගට තරඟ ලාබාදීමේ කිසිම බාධාවක් වෙන එකක් නැහැ මින් ඉදිරියට."

ක්‍රීඩක ශරීර යෝග්‍යතාවය හා පන්දු රැකීමේ දියුණුව පිළිබඳ මෙහිදී මාලිංගගෙන් විමසා සිටි අතර, ඊට පිළිතුරු ලෙස ඔහු පවසා සිටියේ තරඟ දිනන්න පටන් ගන්නාවිට සුළු වැරදි මැකීගොස් හොද දේවල් ඉස්මතු වෙන බවයි.

එම වාතාවරණයට මේ වනවිට මුහුණදෙමින් සිටින බවද ඔහු පැවසීය. "අපි තරඟ දිනනකොට හැම දේම හොඳට දකිනවා. තරඟ පරදිනකොට ඒ දේ දකින්න අමාරුයි අපිට. නමුත් මෙහෙම සතියකින් දෙකකින්, නැතිනම් මාස දෙකකින් සියලුම දේවල් වෙනස් කරන්න හැකියාව ක්‍රිකට් ක්‍රීඩාව තුළ නෑ. කොළඹදී අපිත් එක්ක පුහුණුවීම් කරපු මනෝජ් අබේවික්‍රම, ඒ වගේම රුවින් පීරිස්, රොමේෂ් රත්නායක සර්, එතකොට දැන් අලුතින් පුහුණුකරුවන් සිවුදෙනෙක් ඇවිල්ලා තියෙනවා." යනුවෙන් පැවසීය.


Tuesday, February 25, 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය අක්‍රමිකතා සොයන්න තවත් විශේෂ විගණනයක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනය යටතේ මේ වන විට විශේෂ විගණන වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබියදී මූල්‍ය ගනුදෙනු රැසක් සම්බන්ධයෙන් තවත් විශේෂ විගණන වාර්තාවක් පාර්ලිමේන්ත වෙත ඉදිරිපත් කරන බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා කෝප් කමිටුවට (පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව) දැන්වීය.

විගණකාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා (20දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් විමසීමට පාර්ලිමේන්තුවේ පැවති කෝප් කමිටු රැස්වීමේදීය. එහිදී විගණකාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පැවැති නිදහස් කුසලානය වැනි ගනුදෙනු කිහිපයක් පිළිබඳ ඉදිරි විශේෂ විගණනයෙන් පාර්ලිමේන්තුව වෙත කරුණු වාර්තා කරන බවයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මේ වනවිට නිශ්චිත කාරණා 05කට අදාළව සිදුකෙරුණු මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදු කර එහි වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 13 වගන්තිය ප්‍රකාරව මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබිණි. 

එහි දෙවැනි පරිච්ඡේදය තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණු කිරීම සඳහා උසස් තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට අදාළ කටයුතු පරීක්ෂාවද, 

තෙවැනි පරිච්ඡේදය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී විකාශය, ගුවන්විදුලි ප්‍රචාරය, (රැහැන් රහිත) හා අන්තර්ජාල විකාශනය සහ අනුග්‍රාහකත්ව ආදී අයිතීන් (International TV Broadcast, Radio Internet, Mobile and Sponsorship Rights) අලෙවි කිරීමට අදාළ ගිවිසුම්ගත වීම, ආදායම් එකතු කිරීම සහ ඊට අනුශාංගික කරුණු පරීක්ෂාවද, 

සිව්වැනි පරිච්ඡේදය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා ජාතික ප්‍රධාන පුහුණුකරුවෙකු බඳවාගැනීම පිළිබඳව කරුණු පරීක්ෂාවද,

පස්වැනි පරිච්ජේදයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පිළිබඳ දේශීය ගුවන්විදුලි විකාශන අයිතිය අලෙවි කිරීම පිළිබඳ කරුණු පරීක්ෂාවද, 

හයවැනි පරිච්ඡේදයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුණ්‍යාධාර හස්තය ලෙස 'Cricket Aid (Guarantee) Ltd නමින් ඇපයෙන් සීමිත සමාගමක් පිහිටුවීමට අදාළ කටයුතු පිළිබඳ කරුණු පරීක්ෂාවද සිදු කර තිබිණි.

- පැතුම් ශ්‍රී විජේරත්න -

Thursday, February 20, 2020

සංගාගේ පැමිණීමට වකාර්ගෙන් පැසසුම්



ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රබල කණ්ඩායම් අතර පාකිස්තානය යනු ඉදිරියෙන්ම සිටින කණ්ඩායමකි. ඔවුන් එක්දින මෙන්ම විස්සයි20 (1992/2009) ලෝක ශූරයන් වන අතර, එක්දින හා විස්සයි20 (1999/2007) ලෝක අනුශූරතාවද දිනා ඇත. එපමණක් නොව 2017 වසරේ එංගලන්තයේ පැවති ශූරයන්ගේ තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට තරම් දක්‍ෂ වූ කණ්ඩායමකි.

කෙසේ නමුත් 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර්හිදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග එරටට ජාත්‍යන්තර ක්‍රිකට් දොරගුළු වැටුණු අතර, බොහෝ රටවල් අදටත් පාකිස්තානයේ සංචාරය කිරීමට බියගුළුකමක් දක්වයි. ගෙවීගිය දසවසර තුළ පාකිස්තානයේ සංචාරය කර ඇත්තේ ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ හා බංග්ලාදේශය පමණි.

කුමාර් සංගක්කාරද ලාහෝර් ප්‍රහාරයට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන අතර, අද ඔහු ලොව ප්‍රධාන ක්‍රීඩා සමාජයක් වන එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ (Mcc)සභාපතිවරයාය. කෙසේ නමුත් සංගාගේ වත්මන් උත්සාහය පකිස්තානයෙන් වැළලී යන ජාත්‍යන්තර ක්‍රිකට් යළි පාකිස්තාන දේශයට රැගෙන ඒමයි. ඊට උත්තේජනයක් ලෙස ඔහු මේ දිනවල එම්.සී.සී. කණ්ඩායමක් සමගින් පාකිස්තානයේ තරඟ සංචාරයකට එක්ව ඇත.

සංගාගේ මෙම උත්සාහයට සිය කෘතගුණ දක්වන පාකිස්තාන හිටපු නායක වකාර් යුනිස් පවසන්නේ, සංගක්කාර විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකුටත් වඩා විශිෂ්ට මිනිසෙකු බවයි.

“සංගක්කාර, ඔබ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් විතරක් නෙමෙයි, විශිෂ්ට මිනිසෙකු බවත් පෙන්වුවා. පාකිස්තානයේ ක්‍රිකට් වෙනුවෙන් මෙම අසීරු කාලයේදී අපට සහයෝගය දැක්වීමට පැමිණීම ගැන ස්තූතියි. අපගේ හදවතේ ඔබ ගැන විශේෂ ස්ථානයක් වෙන්වෙලා තිබෙනවා. ඒ වගේම පාකිස්තානයට පැමිණීම ගැන එම්.සී.සී.යටත් ස්තූතියි" යනුවෙන් වකාර් යුනිස් සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සංගක්කාරට සිය ස්තූතිය පළකර ඇත.

-විශ්ව මුදියන්සේ-

Wednesday, February 19, 2020

චමරිගේ ප්‍රහාරාත්මක ඉනිමෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්


චමරි අතපත්තු හා හසිනි පෙරේරාගේ සාර්ථක ආරම්භය හේතුවෙන් එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. අයි.සී.සී. කාත්නා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පුහුණු තරඟ යටතේ මෙම තරඟය ඇඩිලේඩ්හිදී ඊයේ (18දා) පැවැත්විණි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 09ක් දැවී ලකුණු 122ක් රැස්කිරීමට සමත් විය. ඇමී එලන් හා ටමී බියුමන්ට් ලකුණු 23 බැගින් රැස්කරමින් පිත්තෙන් දක්‍ෂතා දැක්වූහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ශෂිකලා සිරිවර්ධන කඩුලු 04ක් දවාගත්තාය.

මෙහිදී ලකුණු 123ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කිසිවෙකු නොදැවී තරගයේ 13 (12.3) වැනි පන්දුවාරයේදී සිය ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු ලකුණු 78ක් රැස් කළ අතර, ඒ සඳහා ඇය මුහුණ දුන්නේ පන්දු 50කට පමණි. චමරිගේ ඉනිමට හතරේ පහර 08ක් හා හයේ පහර 05ක් ඇතුළත් විය. ඇයට අගනා සහායක් ලබාදුන් හසිනි පෙරේරා පන්දු 25කදී ලකුණු 29ක් රැස් කළ අතර, ඊට හතරේ  පහර 04ක් ඇතුළත් විය.

කාත්තා ජාත්‍යන්තර විස්සයි20 තරඟ බිමේ ප්‍රබල කණ්ඩායමක් වන එංගලන්ත කණ්ඩායම 2009 වසරේදී ආරම්භ වූ පළමු කාන්තා විස්සයි20 ලෝක ශුරතාව දිනාගත් කණ්ඩායම වෙයි. ඊට අමතරව 2012, 2014 සහ 2018 වර්ෂයන්හිදී ලෝක අනුශුරතාවද දිනා ඇත. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා එංගලන්ත කාන්තා කණ්ඩායම අතර මේ දක්වා විස්සයි20 ජාත්‍යන්තර තරඟ 08ක් පවත්වා ඇති අතර, එම තරඟ සියල්ලම එංගලන්තය ජයගෙන ඇත.

එමෙන්ම දෙරට එක්දින කාත්තා තරඟ බිමේ අවස්ථා 17කදී තරඟවැදී ඇති අතර, ඉන් එක් තරඟයක් විසඳුමකින් තොරව අවසන්වීම හැර සෙසු තරඟ සියල්ල (16) ජයගෙන ඇත්තේ එංගලන්තයයි. 

ලෝක කුසලාන පුහුණු තරඟ යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි හා අවසන් පුහුණු තරඟය මෙය විය. ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු පුහුණු තරඟය පසුගියදා (16දා) පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 51ක පරාජයක් ලැබීය.

විස්සයි20 කාත්තා ලෝක කුසලාන තරඟාවලිය මේ මස 21 වැනිදා ආරම්භ වන අතර, ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය 22 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවැත්වේ.


Wednesday, February 12, 2020

නවසීලන්තය හමුවේ ඉන්දියාවට "වයිට්වොෂ්” පරාජයක්" - තිස් වසරක ඉන්දීය අභිමානය බිඳවැටෙයි

ඉන්දු - නවසීලන්ත එක්දින ක්‍රිකට් තරඟාවලිය



සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින තරඟයෙන් කඩුලු 05ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (11දා) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග තරඟාවලිය තරඟ 3-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්තයට හැකිවිය. ඉන්දීය කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 297ක ඉලක්කය තරඟයේ 48 (47.1) වැනි පන්දු වාරයේදී පසුකර යාමට නවසීලන්ත පිතිකරුවෝ සමත් වූහ. එහිදී කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් මාටින් ගප්ටිල් හා හෙන්රි නිකොල්ස් පළමු කඩුල්ලට ලකුණු 106ක වටිනා සබඳතාවක් පැවැත්වූහ. මෙහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ ගප්ටිල්, අලංකාර හයේ පහර 06ක් හා හතරේ පහර 04ක් සමගින් ලකුණු 66ක් රැස්කළේය.

කෙසේ නමුත් ගප්ටිල්ගේ දැවීයාමෙන් පසු කඩුල්ලේ රැඳී සිටි නිකොල්ස්, නවසීලන්තයට ජයග්‍රාහී මාවත එළිපෙහෙළි කර දුන්නේය. ඔහු සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 80කට දැවී ගියේය. මෙහිදී නවසීලන්ත ජයග්‍රහණය වේගවත් කළ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් නොදැවී ලකුණු 58ක් රැස් කළ අතර, ඒ සඳහා ඔහු මුහුණදුන්නේ පන්දු 28කට පමණි. ග්‍රෑන්ඩ්හෝම්ගේ ඉනිමට හතරේ පහර 06ක් හා හයේ පහර 03ක් ඇතුළත් විය. මවුන්ට් මන්ගනේහි බේ ඕවල් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 50 තුළදී කඩුලු 70ක් දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 296ක් පමණි. 

එහිදී එක්දින දිවියේ සිව්වැනි ශතකය ලබාගත් ලෝකේෂ් රාහුල් ලකුණු 112ක් රැස් කිරීමට සමත් විය. මීට අමතරව ශ්‍රෙයාස් අයියර්ගේ පිත්තෙන් ලකුණු 62ක් වාර්තා විය. නවසීලන්තය වෙනුවෙන් හමිෂ් බෙනට් කඩුලු 04ක් දවාගත්තේය.

තරඟයේ වීරයා ලෙස හෙන්රී නිකොල්ස් සම්මානය දිනාගත් අතර, තරඟාවලියේ වීරයා සම්මානය තරඟ තුන තුළදී ලකුණු 194ක් රැස්කළ රොස් ටේලර්ට හිමිවිය. 

ඉන්දියාව ලැබූ මෙම පරාජය සැලකෙන්නේ ඔවුන් වසර 31කට පසු තරඟ තුනක් හෝ ඊට වැඩි තරඟාවලියක් තරඟ 3-0ක් ලෙස පරාජය වූ පළමු අවස්ථාව ලෙසිනි. අවසන් වරට ඔවුන් මෙවැනි පරාජයක් අත්විඳ තිබුණේ 1989 වසරේදී බ.ඉ. කොදෙව්වන් හමුවේ තරඟ 5-0ක් ලෙස පරාජයක් ලෙසිනි. 

එමෙන්ම ඉන්දියාවට එරෙහිව නවසීලන්තය (297/මවුන් මන්ගනේ) හඹා ගොස් ලැබූ දෙවැනි ඉහළම ජයග්‍රහණය මෙය වන අතර, මෙම තරඟාවලියේ පළමු තරඟයේදී (348/හැමිල්ටන්) නවසීලන්තය එහි හොඳම හඹායෑමද වාර්තා කළේය.

කෙසේ නමුත් ඉන්දු - නවසීලන්ත එක්දින තරඟාවලියට පෙර පැවති තරඟ පහකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරඟාවලිය තරඟ 5-0ක් ලෙස ඉන්දියාව හමුවේ පරාජය වීමට සත්කාරක නවසීලන්තයට සිදුවිය.

ඉන්දියාව296/7 (පන්දුවාර 50)

ලෝකේෂ් රාහුල් 112(113, 4x9, 6x2)
ශ්‍රෙයාස් අයියර් 62(63, 4x9)
මනිෂ් පාණ්ඩේ 42 (48, 4x2)
හමිෂ් බෙනට් | 4/64 (10)
කයිල් ජමීසන් 1/53(10)

නවසීලන්තය 300/5 (පන්දුවාර 47.1)

හෙරී නිකොල්ස් 80 (103, 4x9) 
මාටින් ගප්ටිල් 66 (46, 4x6, 6x4)
කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් 58* (28, 4x6, 6x3)
ටොම් ලේතම් 32(34,4x3) 
යුස්වෙන්ද්‍ර චහාල් 3/47(10)
රවින්ද්‍ර ජඩේජා 1/45(10)