Friday, March 31, 2023

COVID -19 වසංගත කාලයේදී වංචාවන් නිසා බ්‍රිතාන්‍ය රජයට පවුම් බිලියන 21ක අහිමි වෙලා

බ්‍රිතාන්‍ය රජ්ය සතුව තිබූ පවුම් බිලියන 21කට ආසන්න මහප්න මුදල් ප්‍රමාණයක් COVID-19 වසංගත කාලසීමාවේදී රජයට අහිමිවී ගොස් ඇතැයි එරට ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක් මගින් අනාවරණය කර සිටියි. වසර දෙකක් වන අදාළ කාලසීමාවේදී රජයේ ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද විවිධ COVID-19 වසංගතය පිටුදැකීමේ වැඩසටහන් හේතුවෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේසා විශාල මුදල් ප්‍රමාණයක් රජයට අහිමිවී ගොස් තිබෙන බව එම කාර්යාලය පවසයි. එසේම ලෙස බදු ගෙවීම් පැහැර හැරීම් ඇතුළු කාරණා ඊට ඇතුළත් වන බවද සඳහන් වෙයි.

ඔවුන් පවසන ආකාරයට මෙලෙස රජයට අහිමි වී ගොස් ඇති මහප්ත මුදල් පවුම් බිලියන 21ක් අතරින් පවුම් බිලියන 7.3ක්ම එම වසංගත කාලසීමාවේදී රජය විසින් හඳුන්වාදුන් විවිධ සහන පැකේප් වැඩසටහන් හා සම්බන්ධිතය.  ඒ අනුව, මෙම මුදලින් වැඩි කොටසක් යළිත් රජ්ය වෙත ලබාගැනීම සඳහා ඇත්තේ ඉතාමත් අල්ප අවස්ථාවක් බවත් එම කාර්යාලය අනතුරු අගවා තිබේ. එහෙත් මෙම මුදල් සියල්ලක්ම එරට බදු ගෙවන්නන්ගේ මුදල් බවත්, එම මුදල් යළිත් රජයට ලබා ගැනීමට හැකි උපරිමය කළ යුතුව ඇති බවත් එම කාර්යාලය වැඩිදුරටත් පවසයි. ඒ සඳහා ප්‍රමාණවත් වංචා වැළැක්වීමේ ක්‍රමවේද සහ නීති ගෙන ආ යුතු බව එහි අදහස වී තිබේ. 

විශේෂයෙන්ම මෙම වසංගත කාලසීමාව බ්‍රිතාන්‍ය තුළ විවිධ මූල්‍ය වංචාවන් සඳහා තෝතැන්නක් වූ බවට එම කාර්යාලයේ අදහස වී තිබේ. ඔවුන් පෙන්වාදෙන ආකාරයට වසංගතයට වසර දෙකකට පෙරාතුව සිදුව ඇතැයි අනාවරණය වී ඇති වංචාවන්හි වටිනාකම පවුම් බිලියන 5.5කි. ඒ අනුව, මෙය පසුගිය වසර දෙකේදී සිවුගුණයක ඉහළ යාමකි. එහිදී වසංගතය සඳහා ලබාදුන් සහන හරහා බදු ගෙවීම් පැහැර හැරීමේ සිදුවීම් මූලික වෙයි. එසේම, මෙම වංචාවන්ට හසුවුණු  රජයේ ආයතන බොහෝමයක්ම වසංගත කාලසීමාවේදී තමන් මුහුණ දුන් එම වංචාවන් සම්බන්ධයෙන් හෝ ඒ හරහා අහිමි වූ බදු ගෙවන්නන්ගේ මුදල් ප්‍රමාණය  පිළිබඳව හෝ දැනුවත්භාවයකින් නොසිටින බවත් එම වාර්තාව පවසයි. 

දැනටමත් බ්‍රිතාන්‍යයේ බදු එකතු කිරීමේ ආයතනය වන MHRC - HM Revenue and Customs මගින් මෙම මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් තොරතුරු රැස් කරමින් සිටින බව පැවසෙයි. ඒ හරහා මූලික අවස්ථාව ලෙස පවුම් බිලියන 4.5කින් පවුම් බිලියන 1.1ක් ආපසු ලබා ගැනීම අපේක්ෂාව වී තිබේ. 

"මෙම රජයේ ආයතන අතරින් රැකියා සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තුළ වසංගත කාලසීමාවේදී ලබාදුන් ණය සහන පහසුකම් හරහා පවුම් මිලියන 500ක පමණ වංචාවක් සහ වැරදි ඉතිරිකිරීම් ප්‍රමාණයක් සිදුව තිබෙනවා. එම දෙපාර්තමේන්තුව දැන් එම සිදුවීම සම්බන්ධයෙන් ඉලක්ක කරමින් අදාළ තැන් හදුනාගෙන එම මුදල් ආපසු ලබා ගැනීමක් සම්බන්ධයෙන් සැලසුම් කරමින් සිටිනවා.” යනුවෙන් මෙම වාර්තාව පවසයි.  මේ අතර, බොහෝමයක් රජයේ ආයතන මගින් පසුගිය වසංගත  කාලසීමාව සම්බන්ධයෙන් සකස් කළ වාර්ෂික වාර්තා සහ ගිණුම් සටහන් තුළ  වංචාකාරී වාර්තා කිරීම්හි වැඩිවීමක් දැකගත හැකි වූ බවත් විගණන කාර්යාලය සදහන් කර තිබේ.

“මෙය ඉතාමත් නරක තත්ත්වයක්. මොකද බදු ගෙවන්නන්ගේ මුදල් අහිමිවීමක් වගේම, මෙය රජයේ දූෂණ වංචා සම්බන්ධයෙන් දරුණු චෝදනාවක් සහ අවදානමක් එල්ල වන අවස්ථාවක්. මෙය හඳුනාගෙන පාලනය නොකළොත්, එය රජය පිළිබඳ ජනතාවගේ විශ්වසනීයත්වයට වගේම, මහප්න සේවාවන්හි අඛණ්ඩතාව වෙත බලපෑම් එල්ල කරාවි.” යනුවෙන් ජාතික විගණන කාර්යාලයේ ප්‍රධානී ගැරෙත් ඩේවියස් පවසා තිබේ. මේ අතර පසුගිය 2022 වසරේදී ස්ථාපිත කෙරුණු රාජ්‍ය අංශයන්හි වංචා අධිකාරිය (PSFA) මගින් මෙලෙස වසංගත කාලසීමාවේදී සිදුවුණු වංචාවන් බොහෝමයක්ම හඳුනාගැනීමට අවස්ථාව උදාවූ බවත් ඔහු සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශකවරයා, "අපි මේ රාජ්‍ය අංශයෙන් සිදුව ඇති වංචාවන් සම්බන්ධයෙන් හදුනාගන්නටත්, බ්‍රිතාන්‍ය බදු ගෙවන්නන්ගෙන් සොරකම් කර ඇති සෑම පවුමක්ම යළිත් ලබා ගැනීම සම්බන්ධයෙනුත් සහතික වෙනවා.” යැයි පවසා තිබේ. එසේම, පසුගිය වසර දෙකේදී අහිමිවූ   මුදලින් පවුම් බිලියන 3.1ක මුදලක් ආපසු ලබාගැනීමට රජය සමත්ව ඇති බවත්, ඒ අතර COVID-19 සහන වැඩසටහන් හරහා සිදුකළ වංචාවන්ගේ මුදල්ද වන බවත් ප්‍රකාශකවරයා පවසා තිබේ. එසේම මෙම මුදල් ආපසු ලබාගැනීම සඳහා තමන්ට තවත් බොහෝ දේ කළ හැකිව ඇති යැයි පිළිගන්නා බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත. ඒ අනුව, මහජනතාවගේ මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම වංචාවන් වළක්වා ගැනීම වෙනුවෙන් වඩා වැඩියෙන් තාක්ෂණය යොදා ගැනීමටත්, නිලධාරීන් වෙත වැඩි පුහුණුවක් ලබාදීමටත් කටයුතු කරන බවත් බ්‍රිතාන්‍ය රජය පවසා තිබේ.


අටමස්ථානාධිපති අපවත්වීමට පෙදර දින 5කට පෙර තෑගි දුන් කොටි 10ක් වටිනවා ඉඩම ගැන විරෝධතා ගොනු කිරීම ජුනි 22දා සිටි



අටමස්ථානාධිපති  අනුරාධපුර හිටපු පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත් වීමට දින පහකට පෙර  තමන්ට තෑගි කළ රුපියල් කෝටි 10ක වටිනාකමක් ඇති ඉඩමට අදාළ තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව විරෝධතා ලබන ජූනි මස 22වැනිදා ගොනු කරන ලෙස අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී. පියරත්න මහත්මිය රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට සහ අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට ඊයේ (30දා) නියෝග කළාය.

රුපියල් කෝටි 10ක වටිනාකමක් ඇති ඉඩමට අදාළ තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරවරයා විසින් ප්‍රතික්‍ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් එම තෑගි ඔප්පුව ලියාපදිංචි කරන ලෙස රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝග කරන මෙන් ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකුගේ බිරියක අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුව සම්බන්ධයෙන් විනිසුරුවරිය මෙලෙස නියෝග කළේය. දිසා විනිසුරුවරිය මෙසේ නියෝග කළේ, අනුරාධපුර, නිදහස් මාවත, ඉසුරුපුර අංක 03/2 ඒ/260 ලිපිනයේ පදිංචි එච්.එම්. දුලාංජලී දිනේෂා කුමාරි හේරත්, නීතිඥ ආලෝක බණ්ඩාර ප්‍රේමරත්න මහතා මගින් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුවක් යළි කැඳවූ අවස්ථාවේදීය. මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, රජ්යේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා  සහ අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයායි. 

පෙත්සම්කාර දුලාංජලී දිනේෂා  කුමාරි හේරත් යන අය නීතිඥ ආලෝක බණ්ඩාර ප්‍රේමරත්න මහතා මගින් ස්වකීය පෙත්සමෙන් අධිකරණයට පවසා ඇත්තේ, තමා ත්‍යාගලාභියා වෙමින්ද හිටපු අටමස්ථානධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් ත්‍යාග දීමනාකරු වෙමින්ද අනුරාධපුරයේ ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු විසින් ලියා සහතික කරන ලද අංක 5493 සහ 2022.10.13 දින දරන තෑගි ඔප්පුව (අනුරාධපුර මහ නගර සභා සීමාව තුළ පිහිටි අනුරාධපුර නව නගරයේ පළමු පියවරෙහි ඇලබොඩ කැලේ නමින් හඳුන්වන ඉඩම) නිසි පරිදි සහතික කර උතුරු මැද පළාත් සභාවට ගාස්තුද ගෙවා ලියාපදිංචිය සදහා රජයට ගෙවිය යුතු ගාස්තුද නිසි පරිදි ගෙවා ලියාපදිංචිය සදහා දෙවැනි වගඋත්තරකාර අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ බවයි.

එම ලේඛන ලියාපදිංචි කිරීම සදහා දිනපොත් අංක ඩී/බී 4787 සහ 2022.12.18 (අටමස්ථානාධිපති හිමියන් අපවත් වූ දින) දිනැතිව භාරගත් බවද අධිකරණයට සැළ කර සිටින පෙත්සම්කාරිය, එසේ ලියාපදිංචිය සදහා භාරගත් අංක 5493 හා 2022.10.13 දින දරන, ප්‍රසිද්ධ නොතාරිස් විසින් සහතික කරන ලද තෑගි ඔප්පුව දෙවැනි වගඋත්තරකාර අනුරාධපුර දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසින් ඔහුගේ අංක අනු/ඊ රෙ/2/ රපො/06/2021/42/2022 හා  2022.10.20 යන දින දාතමින් යුක්තව ඉඩම ලියාපදිංචිය ප්‍රතික්‍ෂේප කරමින් ප්‍රසිද්ධ නොතාරිස් වෙත ආපසු එවා ඇති බවද සදහන් කර තිබේ.

දෙවැනි වගඋත්තරකාර අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා විසින් ඉහත සඳහන් කරන ලද තෑගි ඔප්පුවේ ලියාපදිංචිය ප්‍රතික්‍ෂේප කිරීමට හේතුව වශයෙන් සඳහන් කර ඇත්තේ, ඔප්පුවේ පාර්ශ්වකරුවන් සහ සාක්‍ෂිකරුවන් කොළඹදී (සිරිනිවාස හිමියන් ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ පෞද්ගලික රෝහලේදී) අත්සන් කළ බව නොතාරිස් සහතිකයේ සඳහන් වන නමුත්, නොතාරිස්වරයාගේ අධිකරණ කලාපය අනුරාධපුර අධිකරණය කලාපය වීම යනුවෙන් බවද පෙත්සම්කාරිය ප්‍රකාශ කර ඇත. පසුව මෙම තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම ප්‍රතික්‍ෂේප කිරීමට වගඋත්තරකරුවන් විසින් ගෙන  ඇති තීරණය පිළිනොගන්නා බවත්, තෑගි ඔප්පුව පාර්ශ්වකරුවන් සහ සාක්‍ෂිකරුවන් නිසි ලෙස අත්සන් කර නිසි අධිකරණ කලාපය තුළදී සහතික කර ඇති නිසා එය ලියාපදිංචි කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රසිද්ධ නොතාරිස්වරයා මගින් වගඋත්තරකරුවන්ට නැවත අභියාචනයක් ඉදිරිපත් කළ බවත් පවසා සිටින පෙත්සම්කාරිය,  එම අභියාචනයට අනුවද වගඋත්තරකරුවන් 5493 අංක දරන තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම ප්‍රතික්‍ෂේප කර ඇති බවද සැළ කර සිටියි.

පාර්ශ්වකරුවන් සහ සාක්‍ෂිකරුවන් නිසි ලෙස අත්සන් කර නිසි අධිකරණ කලාපය තුළදී සහතික කර ඉදිරිපත් කරන ලද අංක 5493 දරන තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම වගඋත්තරකරුවන් ප්‍රතික්‍ෂේප කිරීම නිසා තමා දැඩි ලෙස අගතියට පත්ව සිටින බවද සදහන් කරන පෙත්සම්කාරිය, වගඋත්තරකරුවන් විසින් මුල් අවස්ථාවේදී මෙන්ම අභියාචනයේදීද තම නමින් ඇති ඔප්පුවේ ලියාපදිංචිය ප්‍රතික්‍ෂේප කිරීම නීතියට පටහැණි බවද පවසා ඇත. ඒ අනුව නොතාරිස්වරයා විසින් ලියා සහතික කරන ලද 5493 දරන  තෑගි ඔප්පුව නොතාරිස් ආඥා පනතේ විධි විධානයන්ට අනුකූලව සහතික කර ඇති ඔප්පුවක් බවට තීන්දු කරන ලෙසද පෙත්සම්කාරිය අධිකරණයෙන් අයැද තිබේ. 

තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම  වගඋත්තරකරුවන් විසින් ප්‍රතික්‍ෂේප කිරීම නීතියට පටහැණි බවට තීන්දු කරන ලෙසත්, තවදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇති පෙත්සම්කාරිය 5493 අංක දරන තෑගි ඔප්පුව ලියාපදිංචි කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරන්නැයිද ඉල්ලා තිබේ.  පෙත්සම්කාර පාර්ශ්වය  වෙනුවෙන් නීතිඥ ආලෝක බණ්ඩාර ප්‍රේමරත්න මහතා පෙනීසිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මාලනී රණේපුර මහත්මිය පෙනීසිටියාය.

මෙම තෑගි ඔප්පුවේ සඳහන් කරුණුවලට අනුව එච්.එම්. දුලාංජලී දිනේෂා කුමාරි හේරත්ට 5493 අංක දරන අනුරාධපුර නගරයේ පළමු පියවරේ පිහිටි ඉඩමකට අදාළ ඔප්පුව හිටපු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනාවස හිමියන් විසින් තෑගි කර ලියාදී ඇත්තේ, 2022.10.13 වැනිදා සහ උන්වහන්සේ අපවත් වූයේ, 2022.10.18 වැනිදාය. ඒ අනුව මෙම තෑගි ඔප්පුව සිරිනිවාස හිමියන් විසින් උන්වහන්සේ අවසන් වරට ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ පෞද්ගලික රෝහලේදී ඇයට තෑගි කරදී ඇත්තේ, උන්වහන්සේ අපවත් වීමට දින පහකට පෙරය.


උපාලි ආනන්ද

විකිණීමට එරෙහිව වර්ජන ලබන සතියේ සිට


තෙල් සංස්ථාව,රක්ෂණ සමාගම, ටෙලිකොම්, ලංවිම ඇතුළු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය  ආයතන විකුණා දැමීමට ඇති සැලසුම් වහා අවලංගු කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිති ලබන සතිය පුරා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ.  ලබන මස 03වැනිදා විරෝධතා ව්‍යාපාරයක් හා දැනුවත් කිරීමේ පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළ බව රාජ්‍ය -අපිධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව සදහන් කරයි.

මීට අමතරව විකුණා දැමීමට සැලසුම් කර තිබෙන රාජ්‍ය ආයතන මූලික කර ගනිමින් ලබන සතියේදී වැඩවර්ජනයක් සිදුකිරීමටත් තීරණය කළ බවද එම එකමුතුව සඳහන් කරයි. මේ අනුව වැඩවර්ජනය සිදුකරන ආකාරය හා අදාළ දිනයන් පිළිබද එළඹෙන 03වැනිදා සිදුකරන විරෝධතා අවසන් කර වෘත්තීය සමිති ඒ කාබද්ධ වී තීරණය කිරීමට නියමිතව තිඛෙන බවද එම එකමුතුව සදහන් කරයි. මේ අතර, තෙල් සංස්ථා සේවකයන් 20දෙනෙකුට ආයතන තුළට ඇතුළුවීමට ඉඩ ලබානොදීම පිළිබඳ ඊයේ (30දා) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බව ඉන්ධන, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එසේම අද (31දා) දිනය තුළදීත් ආයතන තුළට ඇතුළුවීමට අවස්ථාව ලබානොදීමට කටයුතු කළහොත් අද දින පොලිස් මූලස්ථානයට පැමිණිලි කර අධිකරණ ක්‍රියාමාරිග ගන්නා බවද එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය. තෙල් සංස්ථාව විකුණා දැමීමට සිදුකරන සැලසුම් අවලංගු කරන ලෙස ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකළ සේවකයන් 20දෙනෙකුට මෙලෙස ආයතන තුළට ඇතුළුවීමට ඉඩ ලබා  නොදෙන බවද ඒ මහතා පවසා සිටියේය.

මීට අමතරව වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකළ වෘත්තීය සමිති නියෝජිතයන් 20දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බවට අමත්‍යවරයා සදහන් කළද ඊයේ දිනයේදීත් ඊට අදාළව ලිපියක් නොලැබුණු බවද ආනන්ද පාලිත මහතා සදහන් කළේය. එසේම නීතිරිතිවලට අනුව අමාත්‍යවරයාට එවැනි තීරණයක් ගැනීමට නොහැකි බවත්, තෙල් සංස්ථාවේ කොටස් විකුණා දැමීමට ගෙන තිඛෙන තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වූයේ, පවතින කම්කරු නීතිරීතිවලට අනුව බවත්, මීට අමතරව සත්‍යග්‍රහය සිදු වූයේ, තෙල් සංස්ථාවට අයත් භූමියක බවත් හෙතෙම පවසා සිටියේය. විකුණා දැමීමට සැලසුම් කර තිබෙන රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති 100කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ වී ඊයේ (30දා) කොළඹදී සමුළුවක් පැවැත්වූ බවද ආනන්ද පාලිත මහතා පැවසීය.

ඉන්දික හේවාවිතාරණ

අනුරපුර රෝහලේ ළමා වාට්ටුවක් වහයි

වෛද්‍යවරුන් සිවුදෙනාම රටහැර විදේශ පදිංචියට යෑම නිස  අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ ළමා රෝග විශේෂඥ එම රෝහලේ ළමා වාට්ටුවක් ඊයේ (30) සිට වසා දමා ඇත.  රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම නිසා වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථා ද අහිමි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත කරුණාරත්න මහතා පැවසීය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටු අතරින් ප්‍රධානම වාට්ටුව මෙලෙස වැසී යාම බරපතළ තත්ත්වයක් බව ද තවත් විශේෂ වෛද්‍යවරුන් පිරිසක් රටහැර යෑමේ සූදානමකින් පසුවන බව ද  වෛද්‍ය රාජකරුණා මහතා කීය.

මහාචාර්ය ඒකකයට අයත් මෙම ළමා වාට්ටුවේ අවසන් වසරේ වෛද්‍ය සිසුන් 210 දෙනකු පුහුණුව ලබමින් සිටි බවත් ඔවුන්ට එම අවස්ථාව මේ වන විට මගහැරී ගොස් ඇති බවත් රාජකරුණා මහතා පැවසීය.  තඹුත්තේගම මූලික රෝහලේ හැරුණු කොට අනුරාධපුරය දිස්ත්‍රිකකයේ කිසිදු රෝහලක ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බව පැවසූ සහකාර ලේකම්වරයා මේ නිසා දිස්ත්‍රික්කයේ ජනතාව බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් සිටින බව ද සඳහන් කළේය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ සේවය කිරීමට කිසිදු ස්ථිර වෛද්‍යවරයකු මේ වන විට නොමැති බව ද හිටපු වෛද්‍යවරුන් විදේශගත වී ඇති බව ද ඔහු කීය. 

වෘත්තිකයන්ට සුදුසු පරිසරයක් රට තුළ නැතිවීම, අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය, ජීවන වියදම ඉහළයාම ආදි කරුණු හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් රටහැර යන තත්ත්වයක් උද්ගතවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් කාලයේ දිගින් දිගටම අනතුරු ඇඟවීම් කළ බව ද ඔහු කීය. ළමා වාට්ටුව වසා දැමීම පිළිබඳව ලංකාදීපය කළ විමසුමක දී අනුරාධපුරය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේ තමාට ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ නොහැකි බවය.

මේ අතර අනුරාධපුර රෝහල් 63 වැනි වාට්ටුව හෙවත් ළමා වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කාර්ය මණ්ඩලය වෙනත් වාට්ටුවලට මාරුකර ඇත. රෝහලේ මහාචාර්ය ඒකකයට අනුබද්ධ ළමා රෝග වාට්ටුවේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් 63 වාට්ටුව වසා දැමීමට සිදුවී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා එහි වට්ටු අංක 24 සහ 25 යන වාට්ටු දෙකේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ට අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් දන්වා ඇතැයි වාර්තා වේ.

වාට්ටු අංක 63 නැවත විවෘත කරන තෙක් ළමා රෝගීන් ඇතුළත් කිරීම වාට්ටු අංක 24 සහ 25 යන වාට්ටුවලට ඊයේ (30) සිට තාවකාලිකව යොමු කරන බව ද එම චක්‍රලේඛයෙන් දන්වා ඇත. එමෙන්ම වාට්ටු අංක 63 ප්‍රතිකාර ලබන ළමා රෝගීන් 24 සහ 25 යන වාට්ටුවලට මාරු කර යවන අතර 63 වාට්ටුවේ ළමා රෝග සායනය සතියක් ඇර සතියක 24 සහ 25 වාට්ටුවල පවත්වන්නැයි එමගින් උපදෙස් දී ඇත. මේ අතර 63 වාට්ටුවේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන්, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්, සීමාවාසික වෛද්‍ය නිලධාරීන් හෙද කාර්ය මණ්ඩලය හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ද 24 සහ 25 වාට්ටුවලට අනුයුක්ත කරන බව ද එම චක්‍රලේඛයෙන් දන්වා ඇත.


මහර බන්ධනාගාර නියාමකයෙක් කුඩුවලින් මත්වී ජාවාරම්කාරයාගේ ගෙදර බුදි


මත්ද්‍රව්‍ය භාවිතකර අධික ලෙස මත්වී සිටි බව කියන බන්ධනාගාර නියාමකවරයකු නිට්ටඹුව, කෝන්ගස්දෙණිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ නිවසේ සිටියදී පෙරේදා (29 වැනිදා) රාත්‍රී  10 ට පමණ අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. මෙම බන්ධනාගාර නියාමකවරයා මහර බන්ධනාගාරයට  අනුයුක්තව සේවය කරන්නකු බවද පොලිසිය කියයි. නිට්ටඹුව, කෝන්ගස්දෙණිය ග්‍රාමයේ සිය නිවසේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව පැවසෙන ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව මූලස්ථාන පොලිස් කණ්ඩායමක් රාත්‍රී කාලයේ එම නිවෙස වටලා තිබේ.

එම වැටලීමේ දී නිවෙසේ සිට ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පැවසෙන පුද්ගලයකු හෙරොයින් මිලිග්‍රෑම් 2120ක්ද සමග අත්අඩංගුවට ගත් අවස්ථාවේ අධික ලෙස මත්වී සිට ඇති පුද්ගලයකු නිවස තුළ සිටියදී හමුවූ බවද පොලිස් නිලධාරීහු පවසති. අත්අඩංගුවට ගැනුණ ජාවාරම්කරු සමග මත්වී සිටි පුද්ගලයාද නිට්ටඹුව පොලිසියට රැගෙනගොස් පැය කිහිපයකට පසුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු මහර බන්ධනාගාරයේ නියාමකවරයකු බව හෙළිවී යැයි පොලිසිය කියයි.

තිස්එක් හැවිරිදි මෙම බන්ධනාගාර නියාමකවරයා ඇතාවුඩකන්ද, ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පොලිසිය පවසයි. මෙම නියාමකවරයා කිසියම් මත්ද්‍රව්‍ය පෙතිවර්ගයක් හා හෙරොයින් සහ ‘‘අයිස්’” නමැති මත්ද්‍රව්‍ය භාවිතාකර අධික ලෙස මත්වී ජාවාරම්කරුගේ නිවසේ සිට ඇති බවද වැඩිදුර විමර්ශනවලදී හෙළිවී යැයිද පොලිසිය සඳහන් කරයි. වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රමේශ් අලගියවන්න මහතා හමුවට 30 වැනිදා දහවල් මෙම බන්ධනාගාර නියාමකවරයා ඉදිරිපත්කර ඇත.  වෛද්‍ය පරීක්ෂණයකදී ඔහු අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින්නකු බව වෛද්‍ය රමේශ් අලගියවන්න මහතා සිය වෛද්‍ය වාර්තාවෙන් දක්වා තිබේ.

 එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන

කච්චතිව් දූපතේ බුදු පිළිමය ඉවත් කරන්නැයි දෙමළ සන්ධාන මන්ත්‍රී විරෝධයක



නාවික හමුදාව කච්චතිව් තැන්පත් කර ඇති බුදුපිළිමයක් ඉවත් කරන ලෙසට ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පෙරේදා (28) විරෝධතාවක නිරත වූහ. කච්චතීව් දූපතේ තැන්පත් කර ඇති මෙම බුදුපිළිමය සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් දී තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් කළ විමසුමක දී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසුවේ නාවික හමුදාව කච්චතීව් දූපතේ කිසිදු අවස්ථාවක බුදු පිළිමයක් ඉදිකර නොමැති බවයි.

ගොඩබිමේ සිට නාවික සැතපුම් 50 කට ආසන්න දුරකින් පිහිටි මිනිස් වාසයකින්  තොර කච්චතීව් දූපතේ එම ප්‍රදේශය අවට ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට නාවික අනුඛණ්ඩයක් ස්ථාපිත කර ඇති බව ද හෙතෙම කීය. ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හැරුණු කොට වසරේ අනෙකුත් සෑම දිනයකදීම මෙම අනුඛණ්ඩයේ නාවිකයන් දේවස්ථානය පිරිසුදු කරල ඉතා  භක්තියෙන් පහන් දල්වන බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම අනුඛණ්ඩයේ රාජකාරි කරන බහුතරයක් නාවිකයන් බෞද්ධාගමිකයන් වන බැවින්, ඔවුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා අනුඛණ්ඩයේ භට නිවස අසල කුඩා බුදු පිළිමයක් තැන්පත් කර ඔවුන් විසින් වන්දනාමාන කටයුතු සිදුකරනු ලබන බව ද හෙතෙම කීය. කච්චතීව් දූපතේ දේවස්ථානයට අමතරව වෙනත් කිසිදු ස්ථීර ඉදිකිරීමක් දූපතේ සිදු කළ  නොහැකි බවත් නාවික භටයන් නවාතැන් ගෙන ඇත්තේ ද තාවකාලිකව ඉදිකර ඇති භට නිවාසවල බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය හැරුණු කොට වෙනත් කිසිදු ආගමික සිද්ධස්ථානයක් මෙම කච්චතිව් දූපතේ නොමැති බවත් ඉදිරියේදී ද කිසිදු සිද්ධස්ථානයක් ඉදි කිරීමට නාවික හමුදාව කටයුතු නොකරන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීවේය.


ඉන්දිකා රාමනායක

දැරියකට අතවර කළාට හිපු විදුහල්පති වසර 30ක් හිරේ

 


බාල වයස්කාර දැරියකට අතවර කිරීමේ චෝදනාවට වැරදිකරු වූ අම්බලන්ගොඩ ගොඩහේන කනිටු විදුහලේ හිටපු විදුහල්පතිවරයාට වසර 30ක සිරදඬුවමක් නියම කළ බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසනායක මහතා අතවරයට ලක් වූ දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමට ද ඊයේ (30) නියම කළේය.  වසර 09කට ඉහත කළ වරද සඳහා සිරදඬුවමට අමතරව රුපියල් 15,000ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා වසර 30ක සිරදඬුවම වසර 10ක කාලයක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට ද නියම කළේය.

චෝදනාවලට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ  අම්බලන්ගොඩ ගොඩහේන කනිටු විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ ආර්.එම්. මර්වින් නමැත්තාටය. 2004 ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළ විදුහලේ ඉගෙනුම ලබමින් සිටි වයස අවුරුදු 16ට අඩු බාල වයස්කාර දැරියක අපයෝජනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා 03ක් යටතේ නඩු පවරා තිබිණි. 

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේ දී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය" විත්තිකරුට එරෙහි එක් චෝදනාවකට වසර 10 බැගින් චෝදනා 03ට වසර 30ක සුළු වැඩ සහිත සිරදඬුවම් නියම කොට සිරදඬුවම වසර 10ක කාලයක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළ විනිසුරුවරයා එක් චෝදනාවකට රුපියල් 5000/- බැගින් චෝදනා 03ට රුපියල් 15000ක දඩයක් නියම කළේය.

එම්. සුසිල් ප්‍රියන්ත

Thursday, March 30, 2023

චාර්ල්ස් රජුගේ පළමු ආලේඛ්‍ය සිතුවම එළිදැක්වෙයි


බ්‍රිතාන්‍යයේ තෙවැනි චාර්ල්ස් රජුගේ පළමු ආලේඛ්‍ය සිතුවම ඊයේ දිනයේදී එළිදැක්වීම සිදුවිය. බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී ඇල්ස්ටෙයාර් බාර්ෆෝර්ඩ් විසින් නිර්මාණය කර ඇති මෙම සිතුවමේ රජු නිල් පැහැති කබායකින් සහ සුදු පැහැති කමිසයකින් සැරසී සිටින අයුරු දැක්වෙයි. එසේම ඔහු රෝස පැහැති ටයි පටියක්ද පැලද සිටියි. 

ඔහුගේ එක් අතක් කබායේ සාක්කුවට දමාගෙන   සිටින ආකාරයද මෙම සිතුවමේ ඇඳ තිබේ. මෙය රජුගේ නිල ආලේඛ්‍ය සිතුවම නොවුණත්, ඔහු රාජ්‍යත්වයට පත් වීමෙන් පසුව එළිදැක්වුණු පළමු ආලේඛ්‍ය සිතුවම මෙය වෙයි. මේ අතර තෙවැනි චාර්ල්ස් රජු රාජ්‍යත්වයට පත්වීමෙන් අනතුරුව සිදු කරන පළමු විදෙස් සංචාරය ලෙස ජර්මනියේ සංචාරයේ නිරතවීමට සූදානමින් සිටින බව පැවසෙයි.


පොලිස් සැරයන් ඇතුළු දෙදෙනකුට මරණ දඬුවම් දෙක බැගින් හා සිර දඩුවම්


වසර 25කට පෙර  මඩකලපුවේ ගෝවින්දන් පාරේ පිහිටි ඊරෝස්  පක්ෂ කාර්යාලයට  ඇතුළු වී බෝම්බ ගසා, තියුණු ආයුධ වලින් පහරදී වයස අවුරුදු 03 දරුවෙකු හා තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීම හා තවත් පුද්ගලයන් සිව්දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ වරදට වරදකරුවූ පොලිස් සැරයන්වරයෙකුට හා තවත් පුද්ගලයෙකුට මඩකළපුව මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්. අබ්දුල්ලා මහතා එක් චූදිතයෙකුට මරණ දඬුවම් දෙක බැගින් හා වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද ඊයේ (29දා) සවස නියම කෙරුණි. එවකට පොලිස් සැරයන්වරයෙකු ලෙස කටයුතු කළ සමිල රාජේන්ද්‍රම් හා ඊරෝස් පක්ෂ සාමාජිකයෙකු වූ විවේක මූර්ති නමැති චූදිතයන් දෙදෙනාට මෙලෙස මරණීය දණ්ඩණය හා සිර දඬුවම් නියම  කෙරුණි.

1997 වසරේ මඩකලපුව ගෝවින්දන් පාරේ පිහිටි ඊරෝස් පක්ෂ කාර්යාලයේදී ආධාරකරුවෙකු හා පක්ෂයේ මහලේකම් වූ ප්‍රභාකරන් නමැති අය සමග ආරවුලක් ඇතිව තිබේ. එම ආරවුල දුරදිගගොස් 1997.07.17 වැනිදා අලුයම චූදිතයන් දෙදෙනා විසින් පක්ෂ කාර්යාලයට ඇතුළු වී පක්ෂයේ මහලේකම් වූ ප්‍රභාකරන්ට පහරදීමක් සිදුකර තිබේ. එම අවස්ථාවේදී පක්ෂ මහලේකම්වරයා හා චූදිතයන් අතර පොරබැදීමක් සිදුව ඇති අතර එම අවස්ථාවේ කාර්යාලයේ නිදාගෙන සිටි පක්ෂ මහලේකම් ප්‍රභාකරන්ගේ බිරිද හා තවත් සාමාජිකයන් තිදෙනෙකු මෙම ගැටුම බේරීමට උත්සාහ දරා තිබේ. 

එහිදී චූදිතයන් දෙදෙනා විසින් කාර්යාලය තුළ නිදාගෙන සිටි පක්ෂයේ මහ ලේකම් වූ ප්‍රභාකරන්ගේ 03 හැවිරිදි පුතු නිදා සිටි ඇඳට බෝම්බයකින් දමා ගසා තිබේ. ඉන් ප්‍රභාකරන්ගේ 03 හැවිරිදි ක්‍රේමන් ක්‍රිෂාන් නමැති දරුවා හා කාර්යාලයේ රැඳී සිටි පක්ෂ සාමාජිකයෙකු වූ 31 හැවිරිදි චන්ද්‍ර කුමාර් නමැති දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබිණි.  බෝම්බ ප්‍රහාරය එල්ල  කිරීමෙන් පසුවද චූදිතයන් දෙදෙනා ප්‍රභාකරන්ට හා ඔහුගේ බිරිඳට හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී මරණය තුවාල සිදුකර තිබේ. එම පහරදීමෙන් ප්‍රභාකරන් හා ඔහුගේ බිරිඳ බරපතළ තුවාල ලැබූ අතර යෝගනාදන් නමැති පුද්ගලයාට එක් අතක්ද, කුරිරාජ් සිවාම් නැමති අයට අත් දෙකමද අහිමි විය.

සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලීසිය විසින් චූදිතයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව චූදිතයන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් 2007 වසරේදී මඩකළපුව මහාධිකරණය හමුවේ අධිචෝදනා 06ක් යටතේ නඩු පවරා තිබුණි. ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ රජයේ  අධිනීතිඥ, ආචාර්ය ශෙහාන් මුස්තාපා මහතා අදාළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට සමත් විය.

ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි සළකා බැලූ මඩකළපුව මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්.අබ්දුල්ලා මහතා චූදිතයන්ට පහත පරිදි මරණීය දඬුවම නියම කෙරුණි. චුදිතයන්ට එරෙහි නගා තිබු 01 හා 02 චෝදතා වූයේ මීනිමැරීමේ වරදය. ඒ අනුව චූදිතයන් දෙදෙනාටම මරණ දඬුවම් දෙක බැගින් මහාධිකරණ විනිසුරුවරයා නියම කෙරුණි. පළමු චෝදනාවටද චූදිතයන්ට මරණීය දණ්ඩණය නියම කළ අතර දෙවැනි චෝදනාවටද චූදිතයන්ට මරණීය දණ්ඩනය නියම කෙරුණි.  මීට අමතරව 3,4 හා 5 යන චෝදනා සඳහා එක් චූදිතයෙකුට වසර 10 බැගින් වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණි. 

ඊට අමතරව එම චෝදනා සදහා රුපියල් 5000 බැගින් රුපියල් 15000ක දඩයක්ද නියම කෙරුණු අතර චූදිතයන් එම දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 03 බැගින් මාස 09ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණි. ඉහත දඬුවම් වලට අමතරව 06 වැනි චෝදනාවටද චූදිතයන් දෙදෙනා සදහා වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අතර එය වසර 10ක කාලයක් සදහා අත්හිටුවන ලදී.  චූදිතයන් දෙදෙනාට මරණීය දණ්ඩනය නියම කිරීම හේතුවෙන්  චූදිතයන් දෙදෙනා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් නියම කරන  දිනකදී ස්ථානයකදී හා වේලාවකදි  එල්ලා මරණයට පත් කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියම කෙරුණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ, ආචාර්ය ශෙහාන්  මුස්තාපා මහතා පැමිණිල්ල මෙහෙය වීය.

සූරියවැව නුවන් ජයසේකර

සිසු දැරියක දුෂණය කරලා -පාසලේම ගුරුවරයෙක් අත්අඩංගුවට


හම්බන්තොට ප්‍රදේශයේ පාසලක අවුරුදු 12ක් වයස සිසුවියක පාසලට ඒම සදහා බස් නැවතුම්පොළක රැඳී සිටියදී සිසුවිය කාර් රථයේ  නංවාගෙන හෝටලයකට රැගෙන ගොස් දූෂණය කළේ යැයි කියන එම පාසලේම ගුරුවරයෙක් හම්බන්තොට වරාය පොලිසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් මෙම ගුරුවරයා 39 වන වියේ පසුවන දෙදරු පියෙකි. සැකකරුගේ බිරිඳ ද ගුරුවරියකි. රැගෙන ගිය හෝටලය පිහිටි ප්‍රදේශයේ ගැන කීමට නොදන්නා බව සිසුවිය පොලිසියට පවසා ඇත. 

හෝටල් කාමරය තුළදී සිප ගැනීම් පමණක් සිදු කළ බව සිසුවිය වැඩිදුරටත් පොලිසියට පවසා ඇතැයි කියති. අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සිසුවිය පරීක්ෂා කර බලා ඇය දූෂණයකට ලක්වී ඇති බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළේ යැයි පොලිසිය පවසයි. ගුරුවරයා අතින් දූෂණය වූ බව සිසුවිය පොලිසියට හෝ මවට හෙළිකර නොමැත්තේ ඔහුත් සමග ප්‍රේම සම්බන්ධතාවක් තිබූ නිසා විය හැකි බවට පොලිසිය සැක කරයි. ගුරුවරයා බේරා ගැනීමේ අරමුණින් සිසුවිය සිද්ධිය යටපත් කරගෙන සිට ඇති බව ද පොලිසිය සැකකරයි.

සැකකාර ගුරුවරයා 28 වැනිදා නිවාඩු දමා බස් නැවතුම්පොළේ රැඳී සිටි සිසුවිය කාරයට ගොඩකරවාගෙන හෝටලයකට රැගෙන ගොස් යළි දහවල් කාලයේ පාසල අසලින් බස්සවා ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළිවිණැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. දියණිය පාසල් නිම වී නිවසට පැමිණීම ප්‍රමාද වූ නිසා ඒ ගැන විපරම් කර බැ ලීමට මව විදුහලට ගොස් තිබේ.  දියණිය පාසලේ නොසිටි නිසා ඒ ගැන විදුහල්පතිවරයාට දැනුම් දී ඇතැයි පොලිසිය කියයි. පසුව කරන ලද සොයා බැලීමකදී මෙම සිසුවිය බස් නැවතුම් පොළේ නිවස බලා යෑමට රැඳී සිටියදී සොයා ගැනීමට හැකි වී ඇත. මව දියණියගෙන් තොරතුරු විමසා පසුව ඇය ද කැටිව හම්බතොට වරාය පොලිසියට පැමිණ මේ ගැන පැමිණිලි කර තිබේ.  දියණිය මව සමග පවසා ඇත්තේ සැකකාර ගුරුවරයා සමග හෝටලයට ගිය කතාව පමණක් යැයිද පොලිසිය සඳහන් කරයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ගෙට ගිනි තිබ්බාට අනියම් බිරිය සැමියාට පොරවකින් ගහලා


අනියම් බිරිය බව කියන කාන්තාවකගේ නිවෙසකට ගිනි තැබූ පුද්ගලයකු පොරව පහරකින් බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි නවගමුව පොලිසිය පවසයි. තුවාලකරුට පහර දුන් කාන්තාව සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගැනුණ කාන්තාව සහ තුවාලකරු අතර කලක සිට ප්‍රේම සම්බන්ධතාවක් තිබී ඇති බවත් සැකකාරිය තමා විවාහ කර ගන්නා ලෙස නිතර නිතර බල කිරීම නිසා දෙදෙනා අතර බහින්බස් වීම් ඇති වී තිබෙන බවත් ඒ නිසාවෙන් කෝපයට පත් වූ අනියම් සැමියා බව කියන තුවාලකරු සැකකාරිය නිවෙසේ නොමැති අවස්ථාවකදී ඇයගේ රෙදිපිළි සියල්ල ගෙට දමා නිවෙසට ගිනි තබා ඇති බවත් සිදුකළ මූලික විමර්ශනයේ දී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

සිය අනියම් සැමියා නිවෙසට ගිනි තබා තිබෙනු දුටු සැකකාරිය නිවසේ තිබූ පොරොවක් ගෙනැවිත් ඔහුගේ හිසට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණයවී යැයි පොලිසිය පවසයි.  අත්අඩංගුවට ගැනුණ සැකකාරිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.

කේ. බුද්ධික කුමාරසිරි

වෙබ් අඩවියට රහසෙ රිංගා අධික මිලට ඉන්දියා වීසා විකුණු මහ මොළකරු අත්අඩංගුවට


ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ මහනුවර වීසා මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට හොර රහසේ ඇතුළු වී ඉන්දියන් වීසා අධික මිල ගණන් යටතේ නිකුත් කළ සංවිධානාත්මක ජාලයක මහ මොළකරු වන දත්ත සැපයුම්කරුවකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරු සමඟ එම මහා පරිමාණ වංචාව සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක් සහ ස්මාර්ට් ජංගම දුරකතනයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

ඉන්දියන් වීසා බලපත්‍ර වැඩි මිලට අලෙවි වන බවට කොළඹ තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන දේශීය නියෝජිතවරියට ලැබුණු රහසිගත තොරතුරක් කොළඹ අපරාධ කොට්ඨාසයට ලබා දීමෙන් අනතුරුව එහි සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ඒකක හය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය කර කර ගැනීමට හැකි වී  ඇත.

ප්‍රධාන සැකකරු වන දත්ත සැපයුම්කරුගේ දුරකතන අංකයක් ඔස්සේ ඉතා සූක්ෂම ලෙස විමර්ශන සිදුකර පොලිස් උපාය දූතයකු යොදවා ඉන්දියන් වීසා ලබා ගැනීමට අවශ්‍ය බවට සැකකරු හා දුරකතනයෙන් පොලිස් උපාය දූතයකු සම්බන්ධ වී ආවේක්ෂණ රාජකාරි සිදු කරමින්. තොරතුරු හුවමාරු කරගෙන මහනුවර වත්තේගම උත්සව ශාලාවක මංගල උත්සවයට සහභාගී වෙමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනය ඔහුගේ සිදු කළ ප්‍රශ්න කිරීමේ දී සොයාගත් ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

රුපියල් 8000 බැගින් ලබා දෙන වීසා බලපත්‍ර ඔහු විසින් රුපියල් 50,000ක මුදලකට බැගින් ලබා දී ඇතැයි සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.  සැකකරු මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පිහිටි ඉන්දියන් වීසා මධ්‍යස්ථානයේ තොරතුරු සඳහන් කර වෙබ් අඩවියක් නිර්මාණය කර වසර තුනක පමණ කාලයක සිට මෙම වංචාව කරගෙන ගොස් ඇතැයි එම විමර්ශනවල දී අනාවරණය විය. අත්අඩංගුවට ගත් සැකකරු මීට කාලයකට ඉහත දී ඉන්දියන් වීසා මධ්‍යස්ථානය ආසන්නයේ පරිගණක මධ්‍යස්ථානයක සේවය කර ඇති බව ද පොලිසිය ද කියයි. 

බම්බලපිටිය තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ වීසා මධ්‍යස්ථානයට ඉකුත් පෙබරවාරි 15 වැනිදා හොර රහසේ ඇතුළු වී එහි ප්‍රධාන දේශීය නියෝජිතවරියගේ ලැප්ටොප් පරිගණකය ද සොරාගෙන ගොස් තිබිණි. එම මධ්‍යස්ථානයේ තුන්වැනි මහලේ ප්‍රධාන දේශීය නියෝජිතවරියගේ කාර්යාලය පිහිටා ඇති අතර එහි තිබූ රුපියල් ලක්ෂ 40ක මුදලක් සහ ඇපල් වර්ගයේ ජංගම දුරකතනය සොරකම සඳහා පැමිණි පුද්ගලයන් රැගෙන ගොස් නොතිබීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවී තිබිණි. එම මධ්‍යස්ථානයේ සහ මහනුවර වීසා මධ්‍යස්ථානයේ කිසිවකුත් මෙම මහා පරිමාණ පැවැරුමට සබන්ධ දැයි සොයා විමර්ශනය කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. අත්අඩංගුවට ගත් විසි නව හැවිරිදි සැකකරු පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


 බිමල් ශ්‍යාමන් ජයසිංහ


කොටි සමාජිකයා දිවිතෙක් හිරේ - අනෙකා දුටු තැන අල්ලන්න වරෙන්තු



කොළඹ බාලිකා පාසලක් අසලදී බස් රථයක බෝම්බයක් පුපුරවාහැර සමූහ මිනිස් ඝාතනයක් කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු වූ කොටි සාමාජිකයකුට ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අධිකරණය මඟහැර ගොස් සිටින අනෙක් කොටි සාමාජිකයා දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් ඊයේ (29) විවෘත වරෙන්තු නිකුත් කළේය. කොළඹ, හෝර්ටන් වටරවුම ආසන්නයේ මීට වසර 15 කට පෙර මගී බස් රථයක බෝම්බයක් තබා පුපුරවා හැර, මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කළ බවට විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඔවුන්ට මෙලෙස දඬුවම් නියම කළේය.

චෝදනාවට වරදකරු වීම නිසා මෙලෙස ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූයේ නාගලිංගම් මදනසේකරන් සහ ධර්මලිංගම් මුහුන්දන් නමැත්තන්ටය. මේ වන විට අධිකරණය මඟහැර ගොස් සිටින ධර්මලිංගම් මුහුන්දන් නමැති විත්තිකරු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් ඔහුට විවෘත වරෙන්තු නිකුත් කළ අතර විත්තිකරුට එරෙහි විවෘත වරෙන්තුව ජාත්‍යන්තර පොලිසිය හරහා ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියම කළ විනිසුරුවරයා කටුනායක, මත්තල සහ පලාලි ගුවන්තොටුපළවල පාලකවරුන්ට දැනුම් දීමටද නියම කළේය.

2008 සැප්තැම්බර් මස 01 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ 7, හෝර්ටන් වටරවුමේදී ඩබ්ලිව්. පී. එන්. පී. 3656 දරන ලංගම මගී බස් රථයක බෝම්බයක් තබා පුපුරවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා නඟා තිබිණි. හදිසි අවස්ථා රෙගුලාසි යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා වැඩිදුරටත් චෝදනා නඟා තිබිණි. මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී  විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති බවට විනිසුරුවරයා තීරණය කළේය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුවන් කර ඇති අතිශය බරපතළ වරදට උපරිම දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

අධිකරණයේ සිටි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් විවාහක දරු දෙදෙනකුගේ පියකු වන 67 හැවිරිදි තම සේවාදායකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් වසර 15 ක් පමණ රිමාන්ඩ් බාරයේ රඳවා සිටින්නේ යැයි කීය. බන්ධනාගාරයේ සිටියදී කොවිඩ් වසංගතයට පවා ලක් වූ තම සේවාදායකයාට දඬුවම් නියම කිරීමේ දී මෙම කරුණු සැලකිල්ලට ගෙන ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ විනිසුරුවරයා දහවල් 1.30 ට පමණ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය ආසන්නයේදී පුපුරුවා හැරීමට විත්තිකරුවන් සැලසුම්කර තිබූ ආකාරයට මට්ටක්කුලිය ඩිපෝවට අයත් ඩබ්ලිව්. පී. එන්. පී. 3656 දරන ලංගම බස් රථය තුළ තිබූ බෝම්බය පිපිරී ගියේ නම් පාසලෙන් පිටව යන දරු දැරියන් විශාල පිරිසකගේ මෙන්ම බස් රථයේ සිටි 50ක් පමණ පුද්ගලයන්ගේ ජීවිත අනතුරට ලක්වීමට අවකාශ තිබූ බව පෙන්වා දුන්නේය. 

බස් රථය තුළ සැකකටයුතු පාර්සලය තබා ක්‍ෂණිකව බැස ගිය විත්තිකරුවන් ගැන සහ පාර්සලය පිළිබඳ ලංගම බස් රථයේ කොන්දොස්තරවරයාගේ විමසිලිමත්භාවය නිසා බස් රථයේ සිටි සියලු මඟීන් ඉවත් කර හෝර්ටන් වටරවුම අසල සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට දැනුම්දී බස් රථය මාර්ගයෙන් ඉවතට රැගෙන පරික්ෂා කිරීමේදී බෝම්බය සොයාගැනීමට හැකිවූ බව පෙන්වා දුන් විනිසුරුවරයා ලංගම බස් කොන්දොස්තරවරයාගේ විමසිලිමත්භාවය හේතුවෙන් විශාල ජීවිත හානියක් වළකා ගැනීමට හැකි වූ බවත් පෙන්වා දුන්නේය. විත්තිකරුවන් කර ඇත්තේ අතිශය බරපතළ වරදවල් බව අවධාරණය කළ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළේය.

  මනෝප්‍රිය ගුණසේකර

හරක්කටා-කුඩු සලිඳු පිටතට ගෙන යන්නේ නම් අතට පයට විලංගු දමන්න



රැඳවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්න කරමින් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත්  “හරක් කටා” සහ සලිඳු මල්ශික ගුණරත්න  නොහොත් “පානදුරේ කුඩු සලිඳු" යන අය විමර්ශන සඳහා ඔවුන් රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම්, මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා භාරයේ ආරක්ෂාව සහිතව දෑතට සහ පයට විලංගු දමා රැගෙන යන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (29) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව දැනට විමර්ශනය කරනු ලබන පොලිස් ඒකකය භාරව සිටින මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත කහගල්ල මහතා භාරයේ එම සැකකරුවන් ආරක්ෂාව සහිතව විමර්ශන සඳහා රැගෙන යන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙම සැකකරුවන්ගේ ජීවිතාරක්ෂාව සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් වන වාර්තාවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (29) අධිකරණයට ඉදිරිපත් කළේය.

තම සේවාදායකයන් දෙදෙනාගේ ජීවිතාරක්ෂාව සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි මොවුන් දෙදෙනා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සහ නීතිඥ ජාලිය සමරසිංහ මහතා ඉකුත් නඩු දිනයේ දී අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. මෙවන් ආකාරයට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි කොස්ගොඩ තාරක, මාකඳුරේ මදූෂ් සහ ටින්කර් ලසන්ත වැනි බොහෝ සැකකරුවන්ට අත්වූ ඉරණම සම්බන්ධයෙන් පූර්වාදර්ශ ඇති බැවින් මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කරන බවද නීතිඥවරු අධිකරණයට දැන්මු දුන්හ. මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ ඉකුත් 01 වැනිදා වන අතර එම සැකකරුවන් දෙදෙනා මෙරටට රැගෙන එනු ලැබුවේ ඉකුත් 15 වැනිදාය.

 නිමන්ති රණසිංහ


දැරියකට පහරදුන් පිටිපන විද්‍යාලයේ ගුරුවරිය අත්අඩංගුවට



හෝමාගම, පිටිපන කනිටු විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නව හැවිරිදි දැරියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පන්ති භාර ගුරුවරියක අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. නව හැවිරිදි දැරියකට ඉකුත් 23 දා පාසලේදී ගුරුවරිය විසින් පහර දී ඇති අතර ඒ සම්බන්ධයෙන් දැරිය නිවසට පැමිණීමෙන් පසුව මව දැනුවත් කර තිබේ. පසුව මව මේ පිළිබඳ හෝමාගම මූලස්ථාන  පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් කර තිබූ අතර පහර කෑමට ලක් වූ බව පැවසෙන නව හැවිරිදි දැරිය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලදී.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිකුත් කළ වෛද්‍ය වාර්තාවට අනුව දැරිය පහරකෑමට ලක්ව ඇති බව අනාවරණය වීමත් සමඟ පහර දුන් බව පැවසෙන සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබේ. සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ  දැරියට නිවසේදී කර ගෙන එන ලෙස පැවරූ  අධ්‍යයන කටයුතු පැහැර හැරීම දඬුවමට හේතුව බවයි.  අත්අඩංගුවට ගත් පනාගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකාර ගුරුවරිය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානවඩු මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී පොලිස් පරීක්ෂක අජන්තා මහත්මියගේ මෙහෙයවීමෙන් විමර්ශන ක්‍රියාත්මකය.

 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

කැබ්රියකට යටකර මිනිසකු මැරුවැයි ව්‍යාපරිකයෙක් අත්අඩංගුවට


පලෙයි ඒ 9 මාර්ගයේ දී පුද්ගලයකු කැබ් රථයකින් යටකර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය කියයි.  සිද්ධියෙන් මියගොස් ඇත්තේ මුහමලේ ප්‍රදේශයේ පොලිසියට ගමන් කරමින් සිටිය දී මියගිය පදිංචි යූ. තිරුබරාජ් (28) නමැති පුද්ගලයකු බව පොලිසිය පවසයි.  මියගිය පුද්ගලයා කලින් පැවැති පුද්ගලික ආරවුලක් මුල්කරගෙන තවත් පුද්ගලයන්  දෙදෙනකුද සමග මෙම පෙරේදා (28) රාත්‍රියේ ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් ඔහු සමග බඟින් බස් වී ඔහුට කඩුවකින් පහර දී තුවාල සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ව්‍යාපාරිකයා සිද්ධිය පොලිසියට පැමිණිලි කිරීමට එදින රාත්‍රියේම ඔහුගේ කැබ් රථයෙන් පොලිසියට ගමන් කරමින් සිටියදී මියගිය  පුද්ගලයා ඒ 9 මාර්ගයේ ඉන්ද්‍රාපුරම් ප්‍රදේශයේ දී තවත් දෙදෙනකු ද සමග මාර්ගයේ ගමන් කරනු දැක කැබ් රථයෙන් යටකර රථය නොනවත්වාම ධාවනය කරවමින් පලෙයි පොලිසියට ගොස් බාර  වී ඇති බවද පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සැලවීමත් සමග පොලිසිය පැමිණ තුවාල ලබා සිටි පුද්ගලයා පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු මියගොස් ඇත. පහර කෑ තුවාල ලැබූ සැකකාර ව්‍යාපාරිකයා ද පොලිස් ආරක්ෂාව යටතේ පලෙයි රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වෙයි. පලෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන්  පරීක්ෂණ පවත්වයි.

ඉන්දිකා රාමනායක

පුත්තලම පොලිස් ප්‍රධානීන් 4ක් ආණමඩුව ඕඅයිසී කොළඹට මාරු කරයි


නවගත්තේගම පොලිසියේ  කොස්තාපල්වරයකු පැහැරගෙන ගොස් පහරදී ආණමඩුව ප්‍රදේශයේ පිහිටි කනත්තක් අසල දමා යෑමේ සිද්ධියට අදාළව විමර්ශන අධීක්ෂණය කළ සහ විමර්ශන මෙහෙයවූ වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වයි. සෙනෙවිරත්න, පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.සී.ඒ. පුෂ්පකුමාර, පුත්තලම පොලිස් අධිකාරි එච්.එම්.සී.පී. හේරත් සහ ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.වී. බණ්ඩාර යන මහත්වරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර යවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් පහර දී කනත්තක් අසල දමා යාමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්, පොලිස් සැරයන්වරයෙක්, කොස්තාපල්වරුන් දෙදෙනෙක් ආණමඩුව පොලිසියට බාර වීමෙන් පසුව පෙරේදා (28) අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරීහු පස් දෙනා ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මස තුන්වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබූහ.

මෙම සිදුවීම සමථයකට පත් නොකර සැකකාර පොලිස් නිලධාරීන් පස්දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම,  ඉහළ පොලිස් නිලධාරින් හතර දෙනාට සහ  ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථානමාරු ලබා දීමට ආසන්නතම හේතු වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත. මෙවැනි සිද්ධියක් සමථයට පත්කිරීමට පොලිසියට හැකියාවක් නොමැති බව උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය. සමථයකට පත් කිරීමක් සිදු වන්නේ නම් පැහැරගෙන ගොස් පහර කෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාගේ කැමැත්ත ඒ සඳහා අනිවාර්යයෙන්ම තිබිය යුතු බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය.

නීතිය හරි හැටි ක්‍රියාත්මක කළ උසස් පොලිස් නිලධාරීන් සිවු දෙනකුට සහ ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයාට මෙසේ ස්ථාන මාරුවීම් ලබාදීම පොලිසියේ බොහෝ දෙනෙකු අතර දැඩි කතාබහකට සහ ආන්දෝලනයකට තුඩුදුන් සිද්ධියක් බවට පත්ව ඇති වාර්තාවේ.මෙම උසස් පොලිස් නිලධාරින් හතර දෙනාට සහ ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරු ලබා දීමේ විශේෂ පොලිස් පණිවිඩය පොලිස්පතිවරයාගේ අත්සනින් පෙරේදා (28) නිකුත් කරනු ලැබීය.  සේවා අවශ්‍යතා මත මෙම ස්ථානමාරුවීම් ලබාදුන් බව පොලිස්පතිවරයා නිකුත් කළ එම විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇත.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය හා ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මෙම ස්ථානමරුවීම් ලබා දුන් බවද පොලිස්පතිවරයා නිකුත් කර ඇති විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇත. වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක කොළඹ පොලිස් මූලස්ථානයටද, පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සෙනෙවිරත්න, පුත්තලම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පුෂ්ප කුමාර සහ ආණමඩුව පොලිස් ස්ථානාධිපති බණ්ඩාර යන මහත්වරුන් පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයටද මෙසේ මාරුකර යවා ඇත.

පොලිස් සහායක සේවා දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා වයඹ පළාතේ වැඩ බැලීමට පත් කර ඇත. පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස, ඩබ්ලිව්.කේ.එන්. ද සිල්වා මහතා පත්කර ඇත. පුත්තලම කොට්ඨාසයේ වැඩ බැලීම සඳහා පොලිස් අධිකාරී ඕ.පී. අමරබන්දු මහතාද පත්කර ඇති අතර ආණමඩුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස ස්ථිර නිලධාරියකු පත් කරන තෙක් වැඩ බැලීමට වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නිලධාරියකු පත් කරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Wednesday, March 29, 2023

මුදලිගේට අවුරුදු 08ක් ශිෂ්‍යභාවය හිමියි



අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට වසර 08ක් දක්වා ශිෂ්‍යභාවය හිමි බවත්, වැඩි කාලයක් විශ්වවිද්‍යාලය තුළ සිටි බවට පළවන වාර්තා අසත්‍ය බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා පැවසීය. මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) කමිටු සාමාජිකයන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර නොමැති බවත්, ඒ පිළිබඳ ලිඛිතව හා වාචිකව ප්‍රකාශ කර තිබෙන බවත් සභාපතිවරයා පැවසීය. මේ අතර මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පිටරට මෙන්ම මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදෙන ලෙසට යෝජනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කළ බවද එහිදී සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග 


අපි ඉදිරිපත් කළා ආන්දෝලනාත්මක යෝජනාවක්. රජය පත් කළා වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා කටයුතු කරන්න තව අවස්ථා දෙන්නේ කොහොමද කියලා සොයා බලන්න කමිටුවක්, ඒ කමිටුවට මම යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනාව තමයි අපට පනත සංශෝධනය කරලා මුදල් ගෙවලා ශ්‍රී ලාංකිකයන්ට ඉගෙනගන්න අවස්ථාව දෙන්න කියලා. ඒක විශාල ආන්දෝලනාත්මක දෙයක්. ඒකෙදි අපට විශාල වෙනසක් සිදුවෙන්නේ නෑ.


කෝප් කමිටු සාමාජික ප්‍රේමිනාත් සී දොලවත්ත 


විශ්වවිද්‍යාලයේ නැද්ද ශිෂ්‍යයෙකුට ඉන්න පුළුවන් වයස් සීමාවක්?


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන  කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග 


විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න වයසක් බලපාන්නේ නෑ, පිටවීම බලපාන්නේ ඇතුළු වීම  අනුව තමයි. පසුගිය කාලයේ මේක ලොකු ආන්දෝලනයක් වුණා. අවුරුදු 04 උපාධි සහ අවුරුදු 03 උපාධි තියෙනවා. මේ අවුරුදු 03 උපාධි ඉවර කරන්න ඕන අවුරුදු 07ක් ඇතුළත, ඒත් මේ අවුරුදු 03ක උපාධියේ අවුරුදු තුනෙන් පස්සේ ඔවුන්ට විශ්වවිද්‍යාලයේ වරප්‍රසාද අහිමි වෙනවා. ඔවුන්ට නැවත ඇවිත් නේවාසිකාගාරයේ ලැගුම් ගන්න බෑ. ඔවුන්ට කොටින්ම කියනවා නම් විශ්වවිද්‍යාලය නියෝජනය කරන්න බෑ. 


අඩුම තරමින් තමන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කියන අයිඩෙන්ටිටි කාඩ් එකවත් දෙන්න බෑ. එයාට පුළුවන්කම තිබෙන්නේ ඊළඟ අවුරුද්දේ විභාගය තියෙන දවසට තමන්ගේ විභාග අංකයට ඇවිල්ලා පෙනී සිටීම. එයා ඒකටත් සල්ලි ගෙවන්න ඕන. ඒ වගේම අවුරුදු 04ක උපාධිය අවුරුදු 08ක් ඇතුළත ඉවර කරන්න ඕන. අවුරුදු 03 උපාධිය 95%කට වඩා ඉවර කරනවා. නමුත් දැන් කණ්ඩායම් බිහිවෙලා තිබෙනවා උපාධි ගන්නවාට වඩා උපාධිය නොගෙන ඉන්න තමයි. දක්ෂ කියලා අන්තවාදී වශයෙන් ශිෂ්‍යයන්ගේ මනසට ගෙනාපු අය ඉන්නවා.


කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර 


එක්තරා ශිෂ්‍ය සංවිධානයක නායකයා අවුරුදු 9-10ක් අධ්‍යාපනය ලබනවා කියලා කියනවා. එයා කොච්චර කල් ඉන්නවාද?


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග 


ඒක සම්පූර්ණයෙන්ම වැරදි තොරතුරක්. හරියටම අවුරුදු 08න් ඔහුගේ ශිෂ්‍යභාවය අහෝසි වෙනවා. 


කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර 


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කියලා එකක් නීත්‍යනුකූලව තිබෙනවාද?


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ එහෙම දෙයක් ලියාපදිංචි වෙලා නෑ.


කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර

 

ඉතින් ඒ ගැන ප්‍රකාශයක් කරන්න.


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග 


අපි ඒක ප්‍රකාශ කළා. ලිඛිතවත් දුන්නා.


දිනේෂ් සමරකෝන්

පාසල් දැරියන්ට අසභ්‍ය ලිංගික ඡායාරූප යැවු නි.විදුහල්පති රිමාන්ඩ්



පාසල් දැරියකට අසභ්‍ය ලිංගික ඡායාරූප යැවීමේ සිද්ධියකට අදාළව රක්‍ෂිත බන්ධනාගාරගත කර  සිටින සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා එම  පාසලේම තවත් දැරියකට එලෙසින්ම අසභ්‍ය ලිංගික ඡායාරූප යවා එම  දැරියටද ලිංගික අතවර සිදුකිර්මට තැත් කර ඇති බවට පැමිණිල්ලේ කරුණු දැක්වීම්වලින් අනතුරුව අදාළ පුද්ගලයා අප්‍රේල්  මස 11වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන  ලෙස අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (27දා) නියෝග කළේය. එසේම සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා  රාගම මහ රෝහලේ මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාර්න් වෙත නියම කළේය. මෙලෙස යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ, අත්තනගල්ල, ඌරාපොළ ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකි.

සැකකරු විසින් එම  පාසලේම එකොළහ වසර  ඉගෙනුම ලබන තවත් පාසල් දැරියකට අසභ්‍ය ලිංගික ඡායාරූප ඇයගේ ජංගම දුරකථනයට වස්ඇප් මගින් යවා ඇයට ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව ගම්පහ  කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් සැකකාර  නියෝජ්‍ය විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි. 

එම නඩුව පෙරේදා පස්වරුවේ නැවත කැඳවූ අවස්ථාවේ රිමාන්ඩ් භාරයේ රඳවා සිටින සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. මෙහිදී ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ  කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පක්‍ෂික විනිශියා ප්‍රේමරත්න  මහත්මිය කරුණු දක්වමින්, මේ පිළිබඳ එම පාසලට ගොස් වැඩිදුරටත් පරීක්‍ෂණ පැවැත්වීමේදී සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා එම විද්‍යාලයේම ඉගෙනුම ලබන තවත් දැරියකට 2020 වසරේදී දිනයකදී අසභ්‍ය ලිංගික ඡායාරූප යවා ප්‍රේමනීය අදහස් හුවමාරු කර ගෙන ඇති බවට හෙළි වී ඇතැයිද පවසා සිටියාය.

එම දැරීය 2021 වසරේදී වෙනත් තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීමත් සමග එම ප්‍රේම සම්බන්ධය වහාම නතර කරන ලෙස සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇයට තර්ජනය කර, එසේ ප්‍රේම සම්බන්ධය නැවැත්වූවේ නැතිනම් තමා සියදිවි හානි කර ගන්නා බවට ප්‍රකාශ කර, ඔහු සියදිවි නසාගැනීමට කටයුතු කරනු දැක්වෙන ඡායාරූපයක් එම දැරියට යවා ඇති බවට වැඩිදුරටත් කරන ලද පරීක්‍ෂණවලදී හෙළි ඇතැයිද ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරිය ප්‍රකාශ කළාය. 

මේ පිළිබඳ පාසලේම  සාක්‍ෂි ගණනාවක්ම තිබෙන බවත්, සිදුකරන පරීක්‍ෂණ  කටයුතු අවසන් වී නොමැති බවත් අධිකරණය හමුවේ සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරිය, සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා පිළිබඳ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීම සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන මෙන්ද වැඩිදුරටත් කරුණු දක්වමින්  ඉල්ලා සිටියාය. මෙහිදී පොලීසියේ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු රාගම රෝහලේ මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වෛද්‍ය  පරීක්‍ෂණයකට භාජනය කර ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව  ඊළඟ දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරින් හට නියෝග කළේය.  මේ වනවිට සිදුකරන  පරීක්‍ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඊළඟ දිනයේ ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලීසියට නියෝග කළ අතර, නඩුව යළි කැඳවීම අප්‍රේල් මස 11වැනිදාට කල් තැබිණි. 


 ආනන්ද ඉ. ජයකොඩි

උදවුවට ආ සුදු ජාතිකයා නැති බැරි දරුවන්ගේ සුපිරි දුරකතන දැක උඩයයි


බණ්ඩාරවෙල ප්‍රදේශයේ අගහිඟකමින් පෙළෙන පාසලක දරුවන්ට පාසල් උපකරණ නොමිලේ   බෙදා දීමට පැමිණි එංගලන්ත ජාතිකයකු පාසලේ දරුවන්, මවුපියන් සහ ගුරුවරුන් පාවිච්චි කරන ජංගම දුරකතන දැක තමා මවිතයට පත් වූ බව පැවැසීය.  තමන් පාවිච්චි කරන ජංගම දුරකතනවලට වඩා කීප ගුණයකින් අධික මිලකින් යුත් දුරකතන මෙම පිරිස අත තිබෙනු දැකීමෙන් මෙම පිරිසට එතරම් අගහිඟකමක් ඇතැයි සිතිය නොහැකි බව ඔහු උත්සව සභාව අමතමින් කියා සිටියේය.එම පාසල තෝරා දුන් හෝටල් කළමනාකරුට ද සිය අප්‍රසාදය පළ කළේය. 

ශ්‍රී ලංකාව පත්ව ඇති වත්මන් තත්වය එරට ජනමාධ්‍ය මගින් දැක ඇති විදේශිකයන් පිරිසක් ජනතාව පෝලිම්වල සිටින අයුරු සහ දරුවන් ආහාර නොමැතිව විඳින පීඩාවන් සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පාවට පත්වූ බවද පවසා සිටියේය. ඒ අනුව ඔවුන් මෙරටට පැමිණීමට තීරණය කර ඇත්තේ එම දරුවන් වෙනුවෙන් කිසියම් උපකාරයක් කිරීමේ අරමුණින්ය.ඔවුන් මෙරටට පැමිණීමට පෙර දන්නා හඳුනන බණ්ඩාර වෙල සංචාරක නිකේතනයේ කළමනාකරු දුරකතනයෙන් අමතා බණ්ඩාරවෙල ප්‍රදේශයේ ආර්ථික අපහසුකම් ඇති දරුවන් සිටින පාසලක් තෝරාගෙන පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලබාදීමට කැමැත්ත පළකර තිබේ. ඒ අනුව අඩු ආදායම් ලාභි මවුපියන්ගේ දරුවන් පිරිසක් තෝරා දෙන ලෙස හෝටලයේ කළමනාකරුගෙන් ඉල්ලා ඇත.

හෝටලේ කළමනාකරු ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසලක් තෝරාගෙන එම පාසලේ විදුහල්පතිවරයා හමුවී කතා කර අඩු ආදායම් සහිත පාසල් දරුවන් සූදානම් කරන ලෙස විදුහල්පතිවරයාගෙන් ඉල්ලා තිබේ. ඒ අනුව විදුහල්පතිවරයා තම පාසලේ දරුවන්ට තෑගි බෝග රැගෙන එන විදේශිකයන් සතුටු කිරීමට චාම් කෙටි උත්සවයක් සූදානම් කළේය.

ඒ සඳහා පාසලේ දරුවන්ගේ නැටුම් කීපයක් ද සංවිධානය කෙරිණි. එංගලන්ත ජාතිකයෝ බණ්ඩාරවෙලට පැමිණි පසුදිනම පොත් පෑන් පාට පෙට්ටි වතුර බෝතල් පාසල් බෑග් ඇතුළු ලක්ෂ තුනකට වැඩි වටිනාකමින් යුත් පාසල් උපකරණ රැගෙන එම පාසලට පැමිණියහ. බුලත් හුරුලු දී මල් මාලා දමා මෙම සංචාරක පිරිස මහත් සතුටින් පාසලේ කුඩා දරු පිරිසක් විසින් පිළිගනු ලැබූහ.සංචාරක පිරිස ද හදපිරි සතුටින් දරුවන්ගේ හිස අත ගා ස්තුතිය  පළ කළහ. උත්සවය අරඹමින් විදුහල්පතිවරයා පිළිගැනීමේ කතා කළේය. 

සංචාරකයන් සතුටු කිරීම පිණිස දරුවන්ගේ රංගන ඉදිරිපත් කළ අතර මවුපියන් තම ජංගම දුරකථනවලින් ළමයින්ගේ රංගන වීඩියෝ කරන අයුරු මෙම සංචාරකයෝ සතුටින් බලා සිටියහ.  දරුවන්ට පොත් පත් සඳහා වියදම් දැරූ එංගලන්ත ජාතික ව්‍යාපාරිකයා දරුවන්ගේ මවුපියන් පාවිච්චි කරන ජංගම දුරකතන  දැක මවිතයට පත්වී ඇත. ඇතැමුන් ළඟ රු. 75,000 ඇපල් ෆෝන් ද තිබෙනු දැකීමෙනි.  උත්සව අවස්ථාවේ එංගලන්ත ජාතිකයාට කෙටි කතාවක් සඳහා අවස්ථාව දීමට විදුහල්පතිවරයා කටයුතු කළේය. ඉංග්‍රීසි බසින් කළ කතාව පරිවර්තනය කිරීමට හෝටල් කළමනාකරුට සිදුවිය.විදේශ ජාතිකයා මෙසේ පැවැසීය.  

මෙම වැඩසටහන ගැන මා සතුටු වෙනවා. ඒ වගේම මම දුක් වෙනවා. මම හෝටල් කළමනාකරුට දැනුම් දුන්නේ ඉතා අඩු ආදායම්ලාභි නැති බැරි පවුල්වල මාපියන් සහ දරුවන් වෙත මෙම ද්‍රව්‍ය ලබා දීමට සූදානම් කරන්න අවශ්‍ය බවයි.  එහෙත් මම දැක්කා මෙම මාපියන් සහ දරුවන් පරිහරණය කරන ජංගම දුරකථන ඉතා මිල අධික ඒවා බව. මම පාවිච්චි කරන ජංගම දුරකතනයන් ඉතා අඩු මුදලට ගත් එකක්. (සිය දුරකතනය සභාවට පෙන්වයි)  මෙම ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි මාපියන් දරුවන් මිල මුදල් ඇති අය බව මෙමගින් මට හැඟෙනවා.

ලංකාවේ තරුණයන් ඉතා වටිනා ජංගම දුරකථන මෙන්ම රථවාහන ද පාවිච්චි කරන අයුරු මට දැක ගන්නට ලැබුණා.  ඒ වගේම මුහුණු පොත, යූ ටියුබ් වැනි දේවලට යොමුවී වටිනා කාලය අපතේ යවන අයුරු දැක ගන්නට ලැබුණා. ලංකාවේ සියලුම වයස් කාණ්ඩවලට අයත් ජනතාව ඒවාට හුරුවී සිටිනවා. ඇතැම් වයස් ගත කාන්තාවන් පවා මුහුණු පොතේ ක්‍රීඩාවල නිරත වෙමින් තම වටිනා කාලය වැය කිරීම ගැන ඉතාම කනගාටුයි. ජංගම දුරකථනයෙන් තම ජීවිතයේ වටිනා කාලය හිස් කිරීම පමණක් සිදු වෙනවා. මෙයින් අපට ගැනීමට ඇත්තේ හොඳ දේවල් පමණයි.

නොදන්නා දේවල් දැන ගැනීම අධ්‍යාපනය වැනි දේවලට යොමු වීම හැර අනවශ්‍ය දේවල් නරඹා තම වටිනා කාලය වැය කිරීම ලංකාවේ දකින්නට ලැබණු ඉතා සුලභ දර්ශනයක්.  මෙම ගෙනාපු තෑගි සියල්ලක්ම මේ දරුවන්ට මාපියන්ට බෙදා දෙනවා. එය මම කරන්නේ හරි සතුටින්. මේ දරුවන්ගේ මාපියන් ඇති හැකි අය බව මේ ජංගම දුරකථන දැකීමෙන් මට අවබෝධ වුණා. මේ මවුපියන්ට තම දරුවන්ට ඉතා හොඳ ආහාර වේලක් ඇඳුම් පැළඳුම් ලබාදීමට හැකියාව ඇති බව මට හැගෙනවා.  එංගලන්ත ජාතිකයා විනාඩි හතක කතාවක් පවත්වා දරුවන්ට බෙදා දීමට තිබූ තෑගි ඒ ආකාරයෙන්ම බෙදා දුන්නේය.  විදේශිකයාගේ කතාව ඇසු විදුහල්පතිවරයා සහ කළමනාකාරවරයා මුහුණට මුහුණ බලා ගත්හ.


කේ.ඩී. දේවප්‍රිය

අයි.පී.ලා 2ක් ඇතුළු එස්.ටී.එෆ් පහක් අත්අඩංගුවට


නවගත්තේගම පොලිසියේ කොස්තාපල්වරයකුට පහර දී ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් කනත්තක් අසල දමා ගිය බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් නවගත්තේගම පොලිසිය විසින් සැකපිට ඊයේ (28) අත්අඩංගවට ගනු ලැබුහ.

පොලිස් කොස්තාපල්වරයකුට පහර දී කනත්තක් අසල දමා ගියේ ඇයි කියන සිද්ධියකට සම්බන්ධ බව කියමින්, මෙම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔවුන් ආණමඩුව පොලිසියට ඊයේ (28) දහවල් පැමිණ බාර වී යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. එම නිලධාරීන් පස්දෙනාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගැනීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදැයි එම නිලධාරියා කීය.

මෙම පොලිස් කොස්තාපල්වරයා රාජකාරි නිමාකර යතුරුපැදියකින් සිය නිවෙස බලා ඉකුත් දෙවැනිදා රාත්‍රියේ යමින් සිටියදී පිරිසක් ත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණ නිවෙස ඉදිරිපිට සිටිනු දැක ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම පහරදීම සිදුවී ඇතැයි නවගත්තේගම පොලිසිය සඳහන් කරයි.  පොලිස් කොස්තාපල්වරයාගේ  නිවෙස ඉදිරිපිට සිටි පිරිසගෙන්, නිවස ඉදිරිපිට රැඳී සිටීමට හේතුව විමසූ විට ඔවුන් කොස්තාපල්වරයා සමඟ බහින්බස් වී ඇති අතර එහිදී මෙම පහරදීම සිදු වී ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි. 

පහරදීමෙන් පසුව කොස්තාපල්වරයා ත්‍රිරෝද රථයක නංවාගෙන රැගෙන ගොස් සුසාන භූමියක් ආසන්නයේ දමා ගොස් සිටියදී සොයාගනු ලැබීය. මෙම සිද්ධියට අදාළව පොලිස්  කොස්තාපල්වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් පස්දෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.  නවගත්තේගම පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

සුද්දන්ට වදයක් වුණ 4ක් කටුනායකදී කූඩුවට දමයි


                                                                      

කටුනායක ගුවන්තොටුපොළේ මගින් පැමිණීමේ පර්යන්තය අසල ගැවසෙමින් විදේශීය සංචාරකයන්ට අපහසුතාවක් හා කරදරයක් වන ආකාරයට නීති විරෝධී ලෙස ප්‍රවාහන සේවා සැපයීමේ තැරැව්කරුවන් ලෙස කටයුතු කරමින් සිටි සිව් දෙනකු පෙරේදා (27) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

නිසි බලධාරියකුගේ අවසරයක් නොගෙන මෙම සැකකරුවන් සිව්දෙනා මෙම කාර්යයේ නිරතව සිට ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවැසීය.  අත්අඩංගුවට ගැනුණ සැකකරුවන් සිව්දෙනා කිඹුලාපිටිය, කටුනායක සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි 53, 46, 39 සහ 35 යන වයස්වල පසුවන්නෝ වෙති. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මත බුද්ධි සහ විශේෂ මෙහෙයුම් භාර සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීහු වැටලීම සිදු කළහ.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

සේවක තරුණියකට කතුන් දෙදෙනකුට අතවර කළැයි රක්ෂණ කළමනාකරුවෝ දෙදෙනෙක් මාට්ටු



පුත්තලම ප්‍රදේශයේ පිහිටි රක්ෂණ ආයතනයක සේවය කරන තරුණියකට සහ කාන්තාවන් දෙදෙනකුට එම රක්ෂණ කාර්යාලයක දී ලිංගික අතවර කළේ යැයි කියන එහි අංශ දෙකක කළමනාකරුවන් ලෙස කටයුතු කරන දෙදෙනකු ඊයේ (28) අත්අඩංගුවට ගන්නා ලදැයි පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.  ලිංගික අතවරවලට පත්වූ බව කියන තරුණිය සහ කාන්තාවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන ලදැයි පොලිසිය සඳහන් කරයි.

ලිංගික අතවරයට ලක්වූ බව කියන මෙම තරුණිය සහ කාන්තාවන් දෙදෙනා ගැන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නිර්නාමික පෙත්සමක් ලැබී ඇත. පොලිස්පති වික්‍රමරත්න මහතා මේ ගැන විමර්ශනයක් පවත්වන ලෙස උසස් පොලිස් නිලධාරීන්ට දැනුම්දී තිබේ. ලිංගික අතවරයට පත්වූ බව කියන තරුණිය හා කාන්තාවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර හෙළි කරගත් තොරතුරු මත පරීක්ෂණ පවත්වා රක්ෂණ කළමනාකරුවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

දරුවා පාසලට දානන් ආ මවට සැමියා පිහියෙන් ඇනලා


සිය දරුවා පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට පාසලට පැමිණි මවකට ඇගේ සැමියා පාසල් ක්‍රීඩාපිටියේ දී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව දේවාලේගම පොලිසිය කියයි. එම කාන්තාවගේ බෙල්ලට හා අතකට තුවාල සිදුව ඇති අතර ඇය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දේවාලේගම පොලිසිය සඳහන් කරයි. දේවාලේගම මා ඔය වත්ත ප්‍රදේශයේ පදිංචිව 25 හැවිරිදි එක් දරු මවක මෙසේ  තුවාල ලබා ඇත. තුවාලකාරියගේ සැමියා කාලයක සිට මත්ද්‍රව්‍ය පානයට තදින්ම ඇබ්බැහි වී ඇති බවත් ඇගේ දුරකතන කිහිපයක් මීට පෙර රැගෙන ගොස් උකස් කර මත්ද්‍රව්‍ය පානය කර ඇති බවත් පොලිසිය මෙතෙක් කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සැකකාර සැමියා ඊයේ (28) උදේ ඇගේ දුරකතනය ඉල්ලා සිටීමට ගිය අවස්ථාවේ දී බහින් බස් වීමකින් පසුව පහර දී පිහියකින් ඇන ඇති බව පොලිසිය පැවසීය.  පවුල් ආරවුලක් හේතුවෙන් දරුවා සැමියාට බාර දී නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටින ඥාති නිවසකට ගොස් ඇති බව පොලිසිය පැවසීය. මෙම වසර සඳහා පළමු ශ්‍රේණියට දරුවා බාරදීමට තුවාලකාරිය නිට්ටඹුව ඥාති නිවසේ සිට ඇගේ මහ ගෙදර නිවසට පැමිණ සැමියාට දුරකතනයෙන් කතා කොට දරුවා තමන්ගේ මහ ගෙදර නිවසට ගෙනත් දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් පොලිසිය පැවසීය.

සැකකාර සැමියා සිය දරුවා හා ඔහුගේ පාසල් ඇඳුම් කට්ටලය ද බිරියගේ මහ ගෙදරට ගිහින් දී ආපසු නිවසට ගොස් තිබේ. තුවාලකාරිය සිය දරුවා සූදානම් කරගෙන පාසලට ගොස් දරුවා බාර දී විද්‍යාලයේ පැවැති උත්සවයට සහභාගි වි ක්‍රීඩාංගනය දිගේ විදුහල්පති කාර්යාලයට යන අවස්ථාවේ දී පෙරවරු 10.45 ට පමණ පඩිපෙළ ආසන්නයේ දී සැමියා ඇයට පහර දී ඇති බව පොලිසිය පැවසීය.  ඇය ඇද වැටී ඇති බවත් ඔහුගේ ඉනේ සඟවාගෙන ආ පිහියක් ගෙන බිරිඳගේ  බෙල්ලට හා දකුණු අතට ඇණ පලා ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. පසුව තුවාලකාරිය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකාරියගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඊයේ (28) වැනිදා ශල්‍යකර්මයකට භාජනය කිරීම නියමිතව තිබුණු බවත් රෝහල් පොලිසිය පැවසීය.

චමින්ද වැවතැන්න 


කාන්තාවක හමුවීමට ගිය ව්‍යාපාරිකයාට පහරදී සේසතම පැහැරගෙන



කාන්තාවක හමුවීමට මීගහවත්ත ජය මාවත ප්‍රදේශයට පෙරේදා 27 ගිය හැත්තෑ හැවිරිදි ව්‍යාපාරිකයකු නාදුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ පාළු ඉඩමකට ඇදගෙන ගොස් අත් පා ගැට ගසා ඔහු පැමිණි යතුරුපැදිය, පෙන්ඩනය සහිත රන්මාලය, මුදල් සහ ඒටීඑම් කාඩ්පත පැහැරගෙන පලාගොස් ඇතැයි මීගහවත්ත පොලීසිය පවසයි.

පැහැරගෙන ගිය යතුරුපැදිය රුපියල්  දෙලක්ෂ පනස් දහසක් පමණ වන අතර පෙන්ඩනය සහිත රන් මාලයේ වටිනාකම රුපියල් ලක්ෂ තුනක් වන බව ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය සඳහන් කරයි. ඔහු සතුව තිබු රුපියල් 63,000ක මුදලක්ද ඔවුන් විසින් පැහැරගෙන යනු ලැබූ බවට ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිලි  කර ඇත. පැහැරගෙන ගිය ඒටීඑම් කාඩ්පත යොදා ගනිමින් සුපිරි වෙළඳ සැල්වලින් රුපියල් 71,477 වටිනා බඩු බාහිරාදිය මිලදී ගෙන  ඇති බවද ව්‍යාපාරිකයා පවසන්නේ යැයි පොලිසිය පවසයි. 

තමා දන්නා හඳුනන කාන්තාවක මුණ ගැසීමට ගිය අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ පෑ බව ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇතැයි කියති.  ව්‍යාපාරිකයා දන්නා හඳුනන බව කියන කාන්තාවද මෙම සිද්ධියට සම්බන්ධ දැයි යන්න සොයාගැනීමට පොලිසිය  පරීක්ෂණ පවත්වයි. මීගහවත්ත පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

සංචාරක හෝටල් හිමිකරුගේ නිවසින් කෝටි 2 ක රන් බඩු පැහැර ගෙන



වාද්දූව සංචාරක හෝටලයක හිමිකාර කෝට්පති ව්‍යාපාරිකයාගේ පන්නිපිටිය පොල්වත්ත  ග්‍රාම සංවර්ධන පාරේ වසා තිබූ නිවසකට ඇතුළු වූ කිසියම් කණ්ඩායමක් කාමරයක තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මහරගම පොලිසිය කියයි.

රැගෙන ගිය දේපළ අතර විවිධ බරින් යුත් රන් මාල, වළලු, අත් පළඳනා, පංචායුධ, වටිනා අත් ඔරලෝසුවක් වන බවත් සොරාගත් රන් භාණ්ඩ පවුම් එකසියදෙකක බරින් යුත් ප්‍රමාණයක් බවත්, විදේශීය මත්පැන් බෝතල් 40ක්, ඇමරිකන් ඩොලර් 300ක් හා වටිනා අත්ඔරලෝසුවක් ද සොරාගෙන තිබූ භාණ්ඩ අතර වන බව ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

ව්‍යාපාරිකයා නුගේගොඩ තලපත්පිටිය ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිටින අතර පන්නිපිටිය නිවස මාස දෙකක පමණ කාලයක සිට වසා දමා තිබී ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී  ඇත. ඉකුත්දා (26) ව්‍යාපාරිකයා අවශ්‍යතාවක් සඳහා මෝටර් රථයෙන් නිවස වෙත පැමිණ ගේට්ටුව ස්වයංක්‍රීයව විවෘත කිරීමට උත්සහ කළත් එය  ක්‍රියාවිරහිත වී තිබූ හෙයින් කුඩා ගේට්ටුවෙන්  වත්තට ඇතුළු වී නිවසට ඇතුළු වීමේදී සාලයේ තිබූ පෙට්ටි වගයක් ඇද දමා තිබෙන අයුරු දැක ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අනතුරුව කාමර දෙකට ගොස් බැලීමේදී එහි තිබෙන කබඩ් ඇද දමා තිබෙන අයුරු දැකීමෙන් අනතුරුව ඔහුගේ නිදන කාමරය වෙත ගොස් එහි දොර  යතුරකින් විවෘත කර එම යතුරු එහි කටේම ඇති බව දැක කාමරය තුළට ගොස් බැලීමේදී එහි තිබූ යකඩ කබඩ් එකේ දොර කඩා එහි ලාච්චුව ඇද ලාච්චුවේ තිබූ විදේශීය මුදල් තොගයක්, විවිධ ප්‍රමාණවල බරින් යුත් රන් මාල, වළලු, මුදු මෙන්ම රන් භාණ්ඩ තැන්පත් කරන පෙට්ටියක තිබූ තවත් රන් භාණ්ඩ තොගයක් නොමැති බවත් ඇඳ මත තිබූ විවිධ වර්ගයෙන් යුත් විදේශීය මත්පැන් බෝතල් හතළිහක් සොරකම් කර ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ. 

ඉකුත් 21 වැනි දින පැමිණිලිකාර ව්‍යාපාරිකයා නිවසට පැමිණ මඳ වේලාවකදී පිටව ගොස් තිබූ බව ද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. මෙම නිවසේ හා ප්‍රධාන ගේට්ටුවේ යතුරු ව්‍යාපාරිකයා සන්තකයේ මෙන්ම අමතර යතුරු දෙකක් සේවකයකු අත තිබෙන බවත් එම සේවකයා ඉකුත් 13 වැනිදා සිට 16 වැනිදා දක්වා එම නිවසේ රැඳී සිට වත්ත පිටිය ශුද්ධ කර ඇති බව ද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.  කිසිවෙක් නොමැති වසා දමා තිබෙන  නිවසේ මෙපමණ රන් භාණ්ඩ තොගයක් සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක් තිබුණ බවට ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සැකයක් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.


බිමල් ශ්‍යාමන් ජයසිංහ

Tuesday, March 28, 2023

ශ්‍රි ලංකාවට හා බංගලාදේශයට අයි.පී.එල් තහනමක්?


ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.ඒල්.) ක්‍රිකට් තරගාවලියට සහභාගි කර නොගැනීමේ තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ මෙම රටවල් දෙකම අයි.පී.එල්. තරග වාරය සඳහා තම ක්‍රීඩකයන් නිදහස් කිරීම ප්‍රමාද වීම හේතුවෙනි.  අයි.පී.එල්. තරග සඳහා සහභාගි වීමේදී ක්‍රිකට් ආයතන විසින් ලබාදෙන විරෝධයක් නොමැති වීමේ සහතිකය (No objection letter/ NOC) ක්‍රීඩකයන් වෙත ලබාදීම ප්‍රමාද වීම නිසා මෙලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට සිය අප්‍රසාදය පළකර ඇති බව සඳහන් වේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, අයි.පී.එල්. සඳහා නිදහස් කිරීමෙන් ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතන ද්විත්වයටම අදාළ දීමනාවන් ලැබෙන බැවින්, මේ සම්බන්ධයෙන් සලකා බැලීම අදාළ එම ක්‍රිකට් ආයතනයන්ට භාර බවයි. එහෙයින්  අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීමේ  ගැටලුවක් ඇත්නම් ඒ සඳහාද ලියාපදිංචි නොවිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය සමගින් මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලියට මෙන්ම  විස්සයි20 තරගාවලියද සහභාගිවී සිටීම හේතුවෙන්, මෙරට ක්‍රීඩකයන්ට අයි.පී.එල්. සඳහා සහභාගිවීමට අවස්ථාව ලැබෙන්නේ එළඹෙන අප්‍රේල් 08වැනිදායින් පසුවයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, භානුක රාජපක්ෂ හා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීමට නියමිතය. මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහද සිය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට මූලිකත්වය ලබාදීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ හේතුවෙන්, තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් හා ලිටන් දාස්ටද මෙවර අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීමට සිදුවන්නේ ප්‍රමාද වීමෙන් බව වාර්තා වේ.

අයර්ලන්ත කණ්ඩායමේ මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ තරග සංචාරයේ ටෙස්ට් තරගය  එළඹෙන අප්‍රේල් 04වැනිදා ආරම්භ වීමට නියමිතය. ෂකීබ් හා ලිටන් දාස් දෙදෙනාම ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කිරිම මීට හේතුවයි. කෙසේ වෙතත් ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් වී නොමැති අයි.පී.එල්. සහභාගි වන තවත් ක්‍රීඩකයෙකු වූ මුෂ්ටෆිසූර් රෙහෙමාන්ට ගැටලුවකින් තොරව අයි.පී.එල්. තරගාවලියට සහභාගි විය හැකි බව වාර්තා වේ. මෙවර (2023) අයි.පී.එල් ක්‍රිකට් තරගාවලිය මේ මස 31වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එය එළඹෙන මැයි 28වැනිදා දක්වා පැවැත්වේ.


සුරතල් ගිරවාගේ උදව්වෙන් ඝාතනයක සුලමුල අනාවරණය වෙයි


කාන්තාවක් ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනකුට එම අපරාධයෙන් වසර නවයකට පසුව දිවි ඇති තෙක් සිරදඬුවම් නියමවීමේ පුවතක් පසුගියදා ඉන්දියාවෙන් වාර්තා විය. එරට අග්‍රා අධිකරණයේ විශේෂ විනිසුරු මොහොමඩ් රෂිඩ් විසින් මෙම නියෝගය ලබාදී තිබේ. ඝාතනයට ලක් වූ කාන්තාව නිවසේ ඇති කළ සුරතල් ගිරවෙකුගේ සාක්ෂියක් අනුව මෙම දඬුවම් නියමවීම එහි විශේෂත්වයයි. මෙලෙස ඝාතනයට ලක් වූයේ නීලම් ෂර්මා නමැති කාන්තාවකි. 2014 පෙබරවාරි 20වැනිදා අග්‍රා හි පිහිටි ඇගේ නිවසේදී එම ඝාතනය සිදුවී තිබේ. නීලම් යනු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත්පතක ප්‍රධාන සංස්කාරකවරයෙකු වූ විජේ ෂර්මාගේ බිරිඳයි. එදින ඇය එම නිවසේ තනිවම සිටින අවස්ථාවේදී මෙලෙස ඝාතනයට ලක්ව තිබේ. ඇයට අමතරව නිවසේ සිටි සුරතල් සුනඛයාද මෙම අපරාධකරුවන් අතින් ඝාතනයට ලක්ව තිබුණි.


මියගිය කාන්තාවගේ ස්වාමියා වන විජේ ෂර්මා පොලීසිය වෙත සඳහන් කර ඇති ආකාරයට එදින තමන් සිය පුත්‍රයා වන රාජේෂ් සහ දියණිය වන නිවේදිතා සමග ෆිරෝසාදාබාද් නුවර පිහිටි මංගල උත්සවයක් සඳහා සහභාගි වී තිබේ. එම අවස්ථාව සඳහා නීලම් සහභාගි වී නැති අතර, ඇය නිවසේ නැවතී ඇත. එදින රාත්‍රියේදී තමන් නැවතත් නිවසට පැමිණි අවස්ථාවේදී ඝාතනයට ලක්ව සිටි බිරිඳ සහ සුනඛයාගේ සිරුරු හමුවුණු බව විජේ ෂර්මා පොලීසියට පවසා තිබේ. එසේම නිවසේ සොරකමක්ද  සිදුව තිබූ ආකාරය පෙනුනු බව ඔහු පවසා ඇත.

ඒ අනුව, සිදුකළ මූලික පරීක්ෂණ යටතේ මෙය පැහැදිලිවම නිවස මංකොල්ලකෑම සඳහා පැමිණි පිරිසකගේ අපරාධයක් බවට පොලීසිය කරුණු වාර්තා කෙරිණි. එහෙත් සිදුවීම සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු පිළිබඳවත් හෝඩුවාවක් නොතිබුණි.  මේ අතරතුරදීම ඝාතනය සිදුවී දින කිහිපයක් ගත වෙද්දී සිය නිවසේ ඇති කළ 'හර්කියුල්’ නම් සුරතල් ගිරවාගේ යම් වෙනසක් නිරීක්ෂණය කිරීමට විජේ ෂර්මා සමත්ව තිබේ. ඒ වනවිටත් ගිරවා කිසිදු ආහාරයක් නොගනිමින් බලාඋන් අත බලා  සිටින අයුරු ඔහු දැක තිබේ.

ඒ අනුව, මෙම ඝාතන ගිරවා දැක ඇති බවත්, එම කම්පනයෙන් ගිරවා පසුවන බවත් විජේ ෂර්මා තේරුම් ගෙන ඇත. වචන කතා කිරීමේ   හැකියාවද පැවැති ගිරවාගෙන් මේ පිළිබඳව විමසීමට ඔහු පියවර ගෙන ඇත්තේ ඉන් පසුවය. එහි මූලික පියවර ලෙස ඔහු තම නිවසට යන එත පුද්ගලයන්ගේ නම් ගිරවාට ඇසෙන්නට හඬ නගා තිබේ. එම නම් අතර ආෂු’ නම් සිය ඥාති පුත්‍රයෙකුගේ නම ඇසෙද්දී ගිරවා යම් කලබලයකට පත්වන බව ඔහු නිරීක්ෂණය කර ඇත. එසේම යළි යළිත් එම නම කියද්දී ගිරවා 'ආෂු-ආෂු' ලෙස කෑ මොර දෙන බව ඔහු පොලීසිය වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව, ගිරවාගේ මෙම හැසිරීම සාක්ෂියක් බවට යොදා ගනිමින් පොලීසිය විසින් මෙම  ඝාතනයේ මූලික සැකකරුවෙකු ලෙස ආෂු නමැති එම පවුලේ ඥාති පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී   ඔහු තමා සිදුකළ අපරාධය පිළිබඳව පාපෝච්චාරණය කර තිබේ. ඒ අනුව මෙම ඝාතනය සහ නිවස මංකොල්ල කෑම සඳහා දායක වූ ඔහුගේ මිතුරෙකු වන රොනී මැසේ නමැත්තෙකුද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.  මෙම ඝාතනය සිදුකළ ආෂු  සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති විජේ ෂර්මාගේ දියණිය වන නිවේදිතා ෂර්මා, ඔහු සිය නිවසට යන එන අයෙකු බවත්, වසර ගණනාවක සිට නිවසේ රැඳී සිටි අයෙකු බවත් පවසා තිබේ. එසේම සිය පියා විසින් ඔහුගේ උපාධිය වෙනුවෙන් රු.80,000ක මුදලක්ද ලබාදුන් බවත් නිවේදිතා සඳහන් කර තිබේ.

"ආෂු දැනගෙන හිටියා අපේ ගෙදර කොහෙද රත්තරන් බඩුයි, සල්ලියි තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි කවුරුවත් ගෙදර නැති වෙලාවක තමයි එයා මේ හොරකම කරන්න සැලසුම් කරලා තියෙන්නේ.”

ඇය සඳහන් කරන ආකාරයට ආෂු  ගෙදර සුරතල් සුනඛයාට පිහිපහර නවයක් එල්ල කර ඇති අතර, මව වෙත පිහිපහර 14ක් එල්ල කර තිබේ. ඒ අනුව මෙය පැහැදිලිවම ඝාතනය කිරීමේ සහ මංකොල්ල කෑමේ අභිලාෂයෙන් සිදුකළ අපරාධයක් බව ඇය පවසයි. මෙම අපරාධය සම්බන්ධයෙන් පැවැති නඩුවේදී තීලම්ගේ ගිරවාගේ අදහස් දැක්වීම අතිශය වැදගත් අවස්ථාවක් ලෙස සටහන්ව ඇති නමුත්, ඉන්දීය නීතියට අනුව ගිරවාගේ අදහස් දැක්වීම සාක්ෂියක් ලෙස අධිකරණය වෙත ඉදිරිපත් කෙරි නැත.

කෙසේ වෙතත්, අදාළ අපරාධය සිදුකළ බවට ආෂු සහ රොනී පිළිගැනීමත් සමග ඔවුන්ට මෙලෙස දඬුවම් නියම වී ඇත. ඒ අනුව, දිවි ඇතිතෙක් සිරදඬුවමට අමතරව එක් අයෙකුට ඉන්දියානු රු.72,000ක් බැගින් දඩ මුදල්ද ගෙවීමට නියම වී තිබේ.  පොලීසිය පවසන ආකාරයට එම ඝාතනය සිදුවූ  අවස්ථාවේදී 'හර්කියුල් කතා කළේ නම් උගේ ජීවිතයද අහිමි වී යාමට ඉඩ තිබුණි. ඒ වෙනුවට ඌ නිශ්ශබ්දව සිට පසුව එම තොරතුරු අනාවරණය කිරිම නිසා මෙම අපරාධයේ සුලමුල සොයා ගැනීමට හැකිවිය.  'හර්කියුල්'ද එම සිදුවීමෙන් ඊට මාස හයකට පසුව මරණයට පත්ව ඇත. එසේම සිය බිරිදගේ ඝාතකයා අනාවරණය කරගැනීමට සමත්වූ විජේ ෂර්මා 2020 වසරේදී අභාවප්‍රාප්තවී තිබේ.

"මගේ මවුපියන්ට වුවමනා වෙලා තිබුණේ ආෂුට මරණ දඬුවම දෙන්න. ඒ නිසා මේ අධිකරණ තීන්දුව ගැන අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. ආෂුට එරෙහිව උපරිම දඬුවම ලබාදෙන්න කියලා අපේ මුළු පවුලම එකතු වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා.” යැයි ඔවුන්ගේ දියණිය වන නිවේදිතා ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.


සිසුවෙකුට පාසලේදීම අතවර කළ සිසුවාට ලක්ෂයක ශරීර ඇප



සම වයසේ පසුවන පාසල් සිසුවෙකුට පාසලේදීම අතවර කළ බව කියන පාසල් සිසුවෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27දා) නියෝග කළේය. 

පල්ලෙවෙල ප්‍රදේශයේ පාසලකදී එම ව්දුහලේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් විසින් 12 හැවිරිදි සිසුකු‍ට පහරදී ඔහුට  අතවර කළ බවට පල්ලෙවෙල පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන තිබිණි. වින්දිත සිසුවාගේ ප්‍රකාශයට අනුව වග උත්තරකරු වන එම විදුහලේ ඉගෙනුම ලබන වයස අවුරුදු 12ක සිසුවා අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ බව කියන තවත් පාසල් සිසුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මීරිගම - කාන්ති

පියාගේ මිතුරා 15හැවිරිදි සිසුවිය අපයෝජනය කරලා



පවුල් ආරවුලක් නිසා මාස කීපයක් නිවසේ නතරවන්නට පැමිණි 35 හැවිරිදි මිතුරා 15 හැවිරිදි පාසල් සිසුවියක වූ තම දියණිය අපයෝජනය කර ඇති බවට බුලත්සිංහල අමරගෙදර ප්‍රදේශයේ පදිංචි පියෙකු කළ පැමිණිල්ලකට අනුව එම සැකකරු පෙරේදා (26දා) අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලීසිය පවසයි. බුලත්සිංහල කැකිරිහේන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩගුවට පත්ව ඇත.

තමා කම්කරු රැකියාවේ නියුතු පුද්ගලයෙකු බවත් තම බිරිඳ විදේශ රටක රැකියාවකට ගොස් ඇති අතර දරුවන් දෙදෙනෙකු සමගින් තමා අමරගෙදර ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිටින බවත් ඒ අතරතුර තමා සමග කම්කරු රැකියාවේ නියුතු තම මිතුරා පවුල සමග ආරවුලක් ඇති කරගෙන මාස කීපයක් තම නිවසේ නවාතැන් ගැනීමට පැමිණ ඇති බව පැමිණිලිකරු පොලීසියට පවසා තිබේ. ඒ අතර තමත් නිවසේ නැති අවස්ථාවක් බලා තම වැඩිමහල් දියණිය වූ 15 හැවිරිදි පාසල් සිසුවිය වරදට පොලඹවාගෙන ඇති බවට අදාළ පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වන බව පොලීසිය පවසයි.

සුමති කුඩලිගම


ව්‍යාජ වීසා මඟින් ඔස්ට්‍රේලියා යන්න හැදු විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට



කූට ලෙස සකස් කළ ව්‍යාජ වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඔස්ට්‍රේලියාව වෙත පලා යෑමට තැත් කළ බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු ඊයේ (27දා) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාර්න් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බංගලාදේශ ජාතික 24 සහ 50 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් ඊයේ අලුයම අදාළ පුද්ගලයන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි. එහිදී ඔවුන් ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත සිය ලියකියවිලි ඉදිර්පත් කිරීමේදී, ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර දෙකෙහි යොදා තිබූ වීසා බලපත්‍ර අනීතිකව ගලවා ඉවත් කර ඇති බව එහි සේවය කළ නිලධාර්වරයාට නික්‍ෂණය වී තිබේ. ඒ අනුව ඔවුන් දෙදෙනා  ගුවන්තොටුපොළ ප්‍රධාන ආගමන විගමන නිලධාරිවරයා වෙත යොමු කිරීමට එම නිලධාරිවරයා පියවර ගෙන තිබූ අතර, ඔහු අදාළ බංග්ලාදේශ ජාතිකයන්  දෙදෙනා සමග ඔවුන් ඉදිරිපත් කළ ලියකියවිලි, දේශසීමා ආවේක්‍ෂණ ඒකකයේ නිලධාරින් වෙත යොමු කිරිමට පියවර ගෙන තිබේ.

එහිදී එම නිලධාරින්, මොවුන්ගේ ගමන් මලු පරික්‍ෂා කිරීමේදී ඒවා තුළ තිබී ඔවුන්ගේ ජංගම දුරකථන සොයාගෙන තිබූ අතර, ඒවායේ ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍රවල අලවා තිබූ කූට ලෙස සකස් කළ ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍ර දෙකෙහි ඡායාරූප සොයාගෙන තිබිණි.  තවදුරටත් එම ගමන් මලු පක්‍ෂා කර බලද්දී , ඒවා තුළ සුළු මොහොතක පෙර ගලවා ඉවත් කර තිබූ ව්‍යාජ වීසා බලපත්‍ර දෙකක්, කූට ලෙස සකස් කළ ඉලෙක්ට්‍රොනික වීසා බලපත්‍ර දෙකක් සොයාගෙන තිබිණි.

මෙම වීසා බලපත්‍ර ඇලවීම  සහ ගැලවීම බංග්ලාදේශ  තැරැව්කරුවෙකුගේ උපදෙස් මත තමන් සිදුකළ බවත්, තමන් මෙසේ රටවල් කිහිපයක් ඔස්සේ ගමන් කර යළිත් බංග්ලාදේශයට පැමිණීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව වෙත යෑමට අවශ්‍ය වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර ලබාදෙන බවත්, ඒ සඳහා එක් අයෙකුට රුපියල් ලක්‍ෂ 10ක මුදලක් වශයෙන් රුපියල් ලක්‍ෂ 20ක මුදලක් මෙම බංග්ලාදේශ තැරැව්කරුට ලබාදීමට එකඟ වී ඇති බවද ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාර්න් හමුවේ පවසා ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සහ  මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු  ප්‍රධාන ආගමන විගමන නිලධාරී එස්. එල්. ජූනයින් මහතාගේ උපදෙස් සහ අධීක්‍ෂණය යටතේ ආගමන විගමන නිලධාර්න් වන එම්.එම්.එස්.එන්. ගුණසේකර සහ එල්.ජී.එන්. ප්‍රියංකර යන නිලධාරී මහත්වරු විසින් සිදුකර තිබේ. එසේම මෙම බංග්ලාදේශ ජාතිකයන් සතු සියලුම ලියකියවිලි කූට ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බවට තහවුරු වීමෙන් අනතුරුව, ඔවුන් දෙදෙනා බංග්ලාදේශයේ ඩකා නුවර වෙත පිටුවහල් කිරීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරිවරුන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ. එහිදී ඔවුන්ගේ ගමන් මලු තුළ ශ්‍රී  ලංකාවේ සිට බංග්ලාදේශය වෙත එළඹෙන අප්‍රේල් 05වැනිදා පිටත්ව යාම සඳහා ගුවන් ප්‍රවේශ පත්‍ර දෙකක් තිබූ අතර, ඒවා උපයෝගී කර ගනිමින් ඔවුන් බංග්ලාදේශය වෙත රැගෙන යාමට ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරින් පියවර ගනිමින් සිටිති.

ටී.කේ.ජි. කපිල

හොර නමකින් රට පනින්න හැදු කෝටි 50ක කුඩු නඩුවේ පාතාලයා කටුනායකදී අල්ලයි


ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන පරවි සුදා නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ  අපරාධ මෙහෙයවන ප්‍රධානතම ගෝලයා බව කියන පුද්ගලයකු ඩුබායි රටට පලා යෑමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ  සිටියදී ඊයේ (27) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසියේ උසස් නිලධාරියෙක්  පැවැසීය.

ඔහු සැබෑ නම වෙනුවට වෙනත් නමක් යොදා සකස් කර ගත් ව්‍යාජ විදෙස් ගමන් බල පත්‍රයකින් ඩුබායි රටට පලායෑමට උත්සාහ කර ඇතැයි පොලීසිය පවසයි. එම ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය ද සැකකරු ළඟ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.  ඩුබායි රටේ සැඟවී සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ මෙහෙයවන බවට සැලකෙන පරවි සුදා නමැත්තා ඔහු එරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත. ඩුබායි රටට පලායෑමට පැමිණි අවස්ථාවේ ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවාවේ කටුනායක ඒකකයේ  පොලිස් නිලධාරීන් විසිනි.

කටුනායක ගුවන්තොටුපොළේ   දී සැකපිට අලුයම අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාට එරෙහිව රුපියල් කෝටි 50ක හෙරොයින්  මත්ද්‍රව්‍ය  ජාවාරමකට  අදාළව නඩුවක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ  විභාග වෙමින් පවතී.  එම නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (28) කැඳවීමට නියමිතව ඇති අතර ඔහු ඊට පෙර රටින් පලා යෑමට උත්සාහ කර ඇති බව  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.  සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මීට වසර  ගණනාවකට ඉහතදී අත්අඩංගුවට පත්ව ඇති අතර එම අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසිනි.

රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගන්නා ලද  සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලිසියේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට බාර දී ඇත.  ඔහුට ඩුබායි රටට පලායෑමට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීමට සම්බන්ධ වුණු පුද්ගලයන් ගැන තොරතුරු  අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට ද රහස් පොලිසිය  පරීක්ෂණ පවත්වයි. රහස් පොලිසියේ කණ්ඩායමක් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශයේ කණ්ඩායමක් ඒකාබද්ධව  සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ  පවත්වයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

නීතිපතිගේ නිල මුද්‍රාවත් ලිපි ශීර්ෂත් හොරට හදා අත්සනත් හොරට ගහලා



නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂ සහ නීතිපතිවරයාගේ නිල මුද්‍රාව ද ව්‍යාජ ලෙස සකස් කර නීතිපතිවරයාගේ අත්සනද හොරට ගැසූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පිනියක ඇතුළු තිදෙනෙක් මහනුවර කොට්ඨාස සයිබර් අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට පෙරේදා (26) අත්අඩංගුවට ගනු ලැබූහ. නීතිපතිවරයාගේ  අත්සන හොරට ගැසීම, නීතිපතිවරයාගේ නිල මුද්‍රාව  ව්‍යාජ ලෙස සකස් කිරීම, කූඨ ලේඛන ඉදිරිපත් කිරීම සහ එම ලේඛන භාවිත කිරීම සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පිනිය ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.

රූපලාවන්‍ය ශිල්පිනිය සමඟ සැකපිට අත්අඩංගුවට ගත් එක් අයකු ව්‍යාපාරිකයකු වන අතර අනෙකා කාර්මික ශිල්පියෙකි. අවුරුදු 47  වයසැති ශිල්පිනිය රූපලාවන්‍ය ශිල්පිනිය කටුගස්තොට සෙනරත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක  වන අතර, සැකකාර ව්‍යාපාරිකයා මහනුවර මහයියාව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙකි. මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මික ශිල්පියා 48 හැවිරිදි  අයෙකි. සකස් කරගෙන තිබූ ව්‍යාජ ලේඛන, ව්‍යාජ රබර් මුද්‍රාව සහ නීතිපතිවරයාගේ අත්සන හොරට ගැසූ ලේඛන ද පොලිස් භාරයට ගෙන ඇතැයි කියති.  මහනුවර කොට්ඨාස සයිබර් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පිරිසක් සැකකාරිය සහ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ව්‍යාපාරික නිවසින් දියමන්ති ඇල්ලූ පැනකුත් එක්ක ලක්ෂ 11ක බඩු පන්නලා


කොළඹ 7, කුරුඳුවත්ත රොස්මිඩ් පෙදෙසේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවෙසින් දියමන්ති අල්ලන ලද පෑනක්, අයිපෑඞ් එකක් හා රන් භාණ්ඩ ඇතුළු රුපියල් ලක්ෂ 11කට ආසන්න වටිනාකමින් යුත් දේපළ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි. මහා පරිමාණ රෙදිපිළි ව්‍යාපාරිකයකු වන එම ව්‍යාපාරිකයා ඉකුත් 25 වැනිදා කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ පිරිස ඉකුත් 22  සිට නිවෙසින් බැහැරට ගොස් ඉකුත් 25 වැනිදා නිවෙසට පැමිණ ඇති බවත්, නිවෙසට පැමිණ බැලීමේදී කිසියම් පුද්ගලයකු එහි ඉහළ මහලේ වීදුරුවක් කඩා නිවෙසට ඇතුළු වී ඇති බව දැක ඇති බව පොලිසිය කියයි. ව්‍යාපාරිකයාගේ කාමරයේ අල්මාරියක තිබූ දියමන්ති අල්ලන ලද පෑනක්, අයිපෑඩ් එකක් හා රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව දැක ඔහු ඒ ගැන පොලිසියට පැමිණිලි කර ඇත.  අවට සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමේදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ඉන්දිකා රාමනායක

විහාරාධිපති හිමිගේ ආවාසය බිඳ මැණික්ගල් 14ක් ලක්ෂ 3ක් සොරාගෙන


බෙලිහුල්ඔය කරගස්තලාව ශ්‍රී ශෛලගංගාරාම පිරිවෙනේ විහාරාධිපති හිමියන්ගේ ආවාස ගෙය බිඳ එහි තිබූ මැණික් ගල් 14ක් හා රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සොරාගෙන ගොස් ඇතැයි සමනලවැව පොලිසිය කියයි.  සොරාගත් මැණික් ගල් 14හි වටිනාකම මෙතෙක් ගණනය කර නැති බව ද පොලිසිය පවසයි.  විහාරාධිපති කරගස්තලාවේ ධම්මදස්සි හිමියන් මේ සම්බන්ධයෙන් සමනලවැව පොලිසියට පෙරේදා (26) කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. 

තමන් වහන්සේ ඉකුත් 25 වැනිදා රාත්‍රියේ පිරිතකට වැඩම කළ අවස්ථාවේ කිසිවකු ආවාස ගෙයි දොර කඩා එහි කබඩ් එකක තිබූ මැණික් ගල් හා මුදල් සොරාගෙන ගොස් ඇති බවට උන්වහන්සේ පොලිසියට පැමිණිලි කර ඇත. මෙම පිරිවෙන් විහාරස්ථානයේ සාමණේර හිමිවරුන් 35 නමක් පමණ අධ්‍යාපනය ලබන බව ද පොලිසිය පවසයි. ආවාස ගෙයි කබඩ් එකේ තවත් රුපියල් ලක්ෂ ගණනක මුදල් තිබී ඇති අතර, ආවාස ගෙට ඇතුළු වූ සොරා මුදල් සියල්ල නොගෙන මැණික් ගල් 14 හා මුදල්වලින් කොටසක් සොරාගෙන යාම ප්‍රශ්නගත බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කළ විමර්ශනයේදී සැක කටයුතු තැන් රැසක් අනාවරණ වූ බවත්, ඒ ඔස්සේ විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය පවසයි. සමනලවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර ජයතිස්ස මහතාගේ මෙහෙය වීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

ඉන්දිකා රාමනායක

Monday, March 27, 2023

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි ගන්න නඩු දාන්නේ සිංගප්පුරුවේද? ලංකාවේද?

 

එක්ස්ප්‍රස් පර්ල් නෞකා  අනතුරෙන් සිදුව ඇති හානියට අදාළව ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2ක වන්දි මුදල ලබාගැනීමේ සිවිල් නඩුව පැවරිය යුත්තේ ශ්‍රී ලංකාවේද, නොඑසේ නම් සිංගප්පූරුවේද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා පරිසර කටයුතු පිළිබඳ ආංශික  අධීක්ෂණ කාරක සභාව  විසින් අදාළ පාර්ශ්ව සමග නැවත රැස්වීමට තීරණය කර  තිබේ. කෙසේ වෙතත් 2023 මාර්තු 23වැනිදා සිට දින 58ක් ඇතුළත අදාළ නඩු පැවර්ම සිදු කළ යුතු බවද  පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්  මාන්නප්පෙරුම මහතාගේ  සභාපතිත්වයෙන් පැවැති පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සඳහන් විය. 

මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන මහත්මිය  සහ මහාචාර්ය අජිත් ද අල්විස් මහතාගේ සම  සභාපතිත්වයෙන් යුතු විද්වත් කමිටුවක් මගින් මෙම අනතුර නිසා හානියට ලක්වූ එක් එක් ක්ෂේත්‍රවලට අදාළව මෙම ඇ.ඩො බිලියන 6.2කට ආසන්න තක්සේරුවක්  ලබා දී ඇති බවත් මෙහිදී අනාවරණය විය.  මෙහිදී අදහස් දක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල රැකව මහතා පවසා සිටියේ මෙම නෞකා අනතුරට අදාළව වන්දි ලබාගැනීමට සිවිල් නඩුවක් පැවර්ම සම්බන්ධ තීරණයක් ගැනීමට සාගර නීතිය ඇතුළු නීති කටයුතු සම්බන්ධ ප්‍රවීණ නීතිඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කළ බවත්, එම කමිටුවේ තීරණය වූයේ නඩු පැවර්ම මෙරටට සිදු කළ යුතු බවත්ය. 

එහෙත් මේ සඳහා සිංගප්පූරුවේ නඩු පැවර්මට කැබිනට් අනුමැතියක්ද හිමිව ඇති බවත්, ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ඒ සඳහා කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය. එසේම නීතියට අනුව තවත් දින 58ක් තුළ මෙම නඩු පැවරීම සිදු කළ යුතු බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාහු පෙන්වා දුන්හ. සිංගප්පූරුවේ නඩු පැවර්ම හරහා ශ්‍රී ලංකාවට යම් අවාසියක් සිදුවූයේ නම් එහි වගකීම ගන්නේ කවුරුන්ද යන්න පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් මේ වනවිටත් සිදුකරන ලබන වෙරළ පිරිසුදු කිරීම්, හානිපූරණ ගණනය ඇතුළු කටයුතු සදහා නෞකාවේ රක්ෂණ සමාගමෙන් මුදල් ලබාදීම  නතර කිරිම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය. එසේම අනතුර සම්බන්ධයෙන් සිදු වූ හානිය  පිළිබඳ තක්සේරු කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුවට කිසිදු අවස්ථාවක මෙම නෞකාව තුළට සහ ඒ අසලට යෑමට අවසර ලබා නොදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.  

ඒ අනුව මේ  සම්බන්ධයෙන් සාකච්ඡා කොට නීතිමය කරුණු නිරවුල් කර ගැනීම, විද්වත් කමිටුවට සිය පර්යේෂණ සඳහා මූල්‍ය  පහසුකම් ලබාගැනීම සහ පර්යේෂණ සඳහා නැවට ළඟාවීමට පවතින නීතිමය බාධා නැති කරගැනීම  යනාදී කරුණු වැඩිදුරටත් සමාලෝචනය කිරීම සඳහා ඉදිරියේදී අදාළ පාර්ශ්ව මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවට නැවත කැඳවීමටද තීරණය විය.

දිනේෂ් සමරකෝන් 

මෙරට පාසල් 100ක් සඳහා බේස්බෝල් ක්‍රීඩාව හඳුන්වාදීමේ වැඩපිළිවෙළක්


ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනයට සහ ඉදිරි සැලසුම් සෑදීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ ක්‍රීඩා බලධාරීන්ට පෙරේදා (25දා) උපදෙස් ලබාදුන්නේය. ඒ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණ සංකීර්ණයේ නික්ෂණ චාරිකාවකට එක්වෙමිනි. එහිදී මේ වනවිට අබලන් තත්ත්වයේ පසුවන ක්‍රීඩා මණ්ඩපය (Pavilion) නැවත අලුතින්ම ප්‍රතිසංස්කරණය කරන ලෙස ජනාධිපතිවරයා ක්‍රීඩා බලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර, මෙවැනි ව්‍යාපෘති කරනවා නම් ඒවා නිසි පරිදි කළ යුතු බව දන්වා සිටියේය. මේ අතර එහි සිටි නිලධාරීනියක් මෙම ක්‍රීඩා සංකීර්ණය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන්නම් යැයි පැවසූ විට ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා,

'ඔය ක්‍රියාමාර්ග අමතක කරලා දාන්න. මම කියනවා ඔබේ ක්‍රියාමාර්ග මම අනුමත කරන්නේ නැහැ කියලා. මේ ඔක්කොම පිස්සු දේවල්. කරන්න බැරි දේවල් මට කියන්න එපා. මම විශ්වවිද්‍යාලයක් කිව්ව නිසා අසත්‍ය වාර්තාවක් ගෙනාවා. මෙහෙම ආණ්ඩුව ගෙනියන්න බැහැ, ඒකයි අපි මේ තත්වෙට වැටිලා ඉන්නේ, සතයක් වියදම් කරනවා නම් ඒ සතේට වගකියන්න ඕන, දැන් ඉස්සෙල්ල කරන්න ඕනේ මේ තියෙන යටිතල පහසුකම් කොහොමද දියුණු කරන්නේ කියලා බලන එක.

ඒකට සැලසුමක් තියෙන්න ඕන. ප්‍රමුඛත්වය අනුව මෙතැන තියෙනවා පුහුණුවීමේ ධාවන පථයක්, පිහිනුම් තටාකයක්, ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, ක්‍රිකට් ක්‍රීඩාංගණයක්, පාපන්දු සහ රග්බි ක්‍රීඩාංගණ, බේස්බෝල් ක්‍රීඩාංගණයක් තියෙනවා. දැන් ඉස්සෙල්ලම කොහොමද මේක දියුණු කරන්නේ, කොච්චර වියදමක් යනවාද? විශ්වවිද්‍යාලය හදන්න ඉස්සෙල්ලා මේ යටිතල පහසුකම් හදන්න ඕන” යනුවෙන් පවසා සිටියේය. එමෙන්ම මෙම ක්‍රීඩා සංකීර්ණය දියුණු කිරීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයේ නොමැති නම් පෞද්ගලික ආයෝජකයන් කැඳවා ඔවුනට අනුග්‍රාහක වටිනාකමක් ලැබෙන පරිදි එම කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා පවසා සිටියේය.  මෙහිදී අදහස් දැක්වූ ජාතික ක්‍රීඩා සභාවේ  සභාපති අර්ජුන රණතුංග මහතා,

“දැන් බලන්න කොළඹ රාජකීය විද්‍යාලය පහුවුණාම එතින් එහාට එක ටර්ෆ් විකට්ටුවක් නැහැ ළමයින්ට ක්‍රීඩා කරන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරන්න ඕන මේ යටිතල පහසුකම් දියුණු කරන්න අවශ්‍ය පහසුකම් දීලා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිර්මයි. පාසලෙන් වැටෙන පදනම හදන්නේ නැතුව කවදාවත් ක්‍රිකට් හදන්න බැහැ. හෝමාගම, නුගේගොඩ, මහරගම මේ එක පැත්තකටවත් ටර්ෆ් විකට්ටුවක් නැහැ. එනිසා පුහුණුවීම් සඳහා දීලා තිබෙන පහසුකම්වලට ටර්ෆ් විකට්ටුවක් දෙනවා නම් මම හිතනවා හොඳයි යනුවෙන් ප්‍රකාශ කළේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් ඊළඟ අවුරුදු 15 තුළ ජාත්‍යන්තර මට්ටමේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ප්‍රාථමික තලයේ ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුනට අවශ්‍ය පහසුකම් සියල්ල ලබාදීමට කටයුතු කරන ලෙස දැන්වීය. මීට අදාළව අදහස් දැක්වූ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා,

'ක්‍රීඩා අමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් අපි පළාත් සහ දිස්ත්‍රික් සිස්ටම් එක හදාගෙන යනවා. ඒක අපි පාසල් මට්ටමටත් ගෙනිච්චොත් අපට අවුරුදු 10-14 අතර කුසලතා හඳුනාගන්න පුළුවන්. අපි මීටර් 100 දුවන ක්‍රීඩකයාට දෙන්නෙත් බර ඉසිලීමේ ක්‍රීඩකයාට දෙන්නෙත් එකම කෑම. මේ තත්ත්වය වෙනස් කරගත යුතුයි. අපි මේ වනවිට අමාත්‍යාංශයේ මුදල් අරගන්නේ නැහැ. අපි මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට යවන්නේ පදක්කම් දිනන්න පුළුවන් අය විතරයි” යනුවෙන් පවසා සිටියේය. එමෙන්ම මෙම වසර තුළදී මෙරට පාසල්  100ක් සඳහා බේස්බෝල් ක්‍රීඩාව හඳුන්වාදීමටද මෙහිදී තීරණය කෙරිණි. 

පැතුම් ශ්‍රී විජේරත්න

හූනියමකින් මහේස්ත්‍රාත් මරන්න කොන්ත්‍රාත්තුවක් දීලා

 

හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා හූනියමක් කර හෝ ඝාතනය කිරීමට කපුවකුට  කොන්ත්‍රාත්තුවක් දුන් බව කියන නීතිඥවරයකු  සම්බන්ධයෙන්  හොරණ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම නීතිඥවරයා මුදල් වංචාවක් සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයේ සිටිය දී හඳුනාගත් කපුවකුට කොන්ත්‍රාත්තුව දී ඇති බව පොලිසිය පවසයි.  මේ සම්බන්ධයෙන් කපුවා විසින් හොරණ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කළ බවද පොලිසිය කියයි.

මුදල් වංචාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි  කපුවා ඉකුත් පෙබරවාරි මස 15 වැනිදා ඇප ලබා ගැනීමෙන් පසුව අදාළ නීතිඥවරයාගේ දැනුම් දීමකට අනුව ඔහුගේ නිවසට ගොස් ඇති අතර, එහිදී සතියක පමණ කාලයක් එහි ගතකරමින් සිටිය දී මේ සම්බන්ධයෙන් පවසා ඇති බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් සඳහන් කර ඇත.  ‘හොරණ නඩුකාරයා එක්ක මට වෛරයක් තියෙනවා. ඕකට හුනියමක් කරලා කටුගහල මරන්න ඕනි.' යැයි පවසා ඇති නීතිඥවරයා හුනියම් කිරීමට අවශ්‍ය කළමනා ආදිය ගෙනත් දී ඇති බවත්, එහිදී හූනියම් කිරීමට නම් නමක් අවශ්‍ය බැවින් නම කුමක්දැයි තමන් ඇසූ බවත් පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි  වාර්තා වේ.

එහිදී එම නීතිඥවරයා හොරණ මහේස්ත්‍රාත්වරයාගේ නම සඳහන් කර ඇති අතර එම මහේස්ත්‍රාත්වරයාට එරෙහිව තමන්ට ගුරුකම් කිරීමට නොහැකි බව පවසා ඇති පැමිණිලිකරු එම නිවසින් පිටව ගොස් ඇති බවත් පසුව පොලිසියට පැමිණ පැමිණිලි කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා උපදෙස් සඳහා එම ගොනුව පොලිසියේ නීති කොට්ඨාසයට යොමුකර ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 නිමන්ති රණසිංහ 

සිසු දරුවන්ගේ ආහාර දීමනාවෙන් විදුහල්පතිනියගේ සැමියාගේ උපන්දිනය සමරලා


මැදිරිගිරිය ප්‍රදේශයේ මහා විද්‍යාලයක ප්‍රාථමික අංශයේ දරුවනට උදෑසන ආහාර සඳහා වෙන් කළ  මුදල් යොදාගෙන එහි විදුහල්පතිනිය සැමියාගේ උපන්දින සාදය වෙනුවෙන් කෑම පිළියෙළ කරගෙන ඇති බවට පාසල් සංවර්ධන සමිතිය චෝදනා කරයි. මවුපියන් පිරිසක් මේ සම්බන්ධයෙන් කලාප සහ පළාත් අධ්‍යාපන කාර්යාලවලටද ලිඛිතව දැනුම් දී ඇතැයිද පාසල් සංවර්ධන සමිතිය සඳහන් කරයි. ආහාර ලබාදීමේ වැඩසටහන සඳහා රජය එක් සිසුවකු වෙනුවෙන් දිනකට රුපියල් 100ක් ලබාදෙන අතර, මෙම පාසලේ ප්‍රාථමික අංශයේ සිසුන් 720 ක් වෙනුවෙන් දෛනික ආහාරවේල සඳහා රජය ලබාදෙන මුදල රුපියල් 72,000 කි.

මෙහි විදුහල්පතිනියගේ සැමියාගේ උපන්දිනය යෙදුණු පසුගිය වසරේ දෙසැම්බර් 5 වැනිදා එහි සාදය වෙනුවෙන් දරුවන්ගේ ආහාර කොන්ත්‍රාත්තුව ලබා ගෙන සිටින පුද්ගලයාගෙන් කිරිබත්, කොකිස්, කට්ලට් සහ කඩල ආදිය පිසවාගෙන ඇති අතර ඒ සඳහා යොදවා ඇත්තේ දරුවන්ගේ කෑම මුදල් බව පැවසේ. එදින දරුවන්ට ආහාර නොදෙන බැවින් කෑමට යමක් නිවෙසින් රැගෙන එන ලෙස මවුපියනට කෙටි පණිවුඩයක් මගින් දැනුවත් කර ඇතත්, දරුවන්ට ආහාර ලබාදුන් බව පවසමින් දිනට නියමිත වවුචර්පත් අත්සන් කර ඇතැයි ද ආරංචි මාර්ග කියයි.

පාසලෙන් ලබාදෙන උදෑසන ආහාරවේල ඇතැම් දිනවල ප්‍රමිතියෙන් තොර බවත් එම ආහාර වේලෙන් පසු දරුවන්ට ලබාදෙන අතුරුපස සඳහා විවිධ පලතුරු ලබාදෙන ලෙසට දැනුම් දී ඇතත් මෙම පාසලේ දරුවන්ට නිරන්තරයෙන් ලැබී ඇත්තේ සීනි කෙසෙල් පමණක් බවත් එම ආරංචි මාර්ග සඳහන් ලබාදීම සම්බන්ධයෙන් මවුපියන් වාචිකව සහ ලිඛිතව කරයි. පරිප්පු සහ කිරිහොදි ලබා දෙන විට ඒවායේ ප්‍රමාණය සහ උකු බව වැඩි කිරීම සඳහා පාන් පිටි මිශ්‍ර කරන බවටත් රොටී ලබාදෙන විට සතියක් පමණ ශීතකරණයේ තිබූ පොල්කුඩු යොදාගන්නා බවටත් මව්පියෝ චෝදනා කරති.

මෙලෙස පිසින ආහාර ළමුන්ට සුදුසු බවට විදුහල්පතිනිය නිර්දේශ කළත්, ඒවා රසවත් බවින් අඩුවීම නිසා දරුවන්ගෙන් අඬක් පමණ ඒවා ආහාරයට නොගන්නා නමුත් සියලුම දරුවන් වෙනුවෙන් පාසල මුදල් ලබාගන්නා බවටද මවුපියෝ චෝදනා  කරති. මෙවැනි අක්‍රමිකතා හා දරුවන්ට ප්‍රමිතියෙන් තොර ආහාර කොට්ඨාස සහ කලාප අධ්‍යාපන කාර්යාලවලට දැනුම් දී ඇතත් අදාළ නිලධාරීන් පියවරක් ගෙන නොමැති බවට මවුපියෝ පවසති.  මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කරන ලෙස ඔවුන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.  මේ පිළිබඳව විමසීමට පාසලේ විදුහල්පතිනිය දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද නොහැකි වූ අතර, මැදිරිගිරිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ සිරිකෙත සිරි සීවලී හිමියන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී උන්වහන්සේ පැවැසුවේ මාධ්‍යයට අදහස් දීමට හැකියාවක් නොමැති බවයි.


නඩු භාණ්ඩ ගබඩාවේ ගජමුතු 5ක් චීනුන්ට විකුද්දී මාට්ටු


මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගජමුතු 5ක් රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට චීන ජාතික ව්‍යාපාරිකයකුට අලෙව් කිරීමට සූදානම් වූ එම නඩු භාණ්ඩ බාරව සිටි නිලධාරියකු හා කාර්යාල කාර්ය සහායකයකු ඇතුළු පස් දෙනකු මාතලේ සුපිරි හෝටලයක දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතලේ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ආර්.පී.එම්.කේ. රන්කොත්ගේ මහත්මිය ඊයේ (26) නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ බාර නිලධාරි සමීර මධුශංක බණ්ඩාර, කාර්යාල කාර්ය සහායක අසංක පුෂ්ප කුමාර සහ කයිකාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් හා තිස්ස ජයලත් බණ්ඩාර, පී.එම්. නලීන් රත්නායක සහ චන්දන පුෂ්පකුමාර යන අයවලුන්ය. මෙම පිරිස මාතලේ සුපිරි හෝටලයක සිටිය දී පොලිසිය විසින් පෙරේදා (25) අත්අඩංගුවට ගනු ලැබූහ. ගජමුතු අලෙවි කිරීමට ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය සහ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත. 

පොලිස් විශේෂ කාර්යාංශයේ දඹුල්ල ඒකකයේ නිලධාරීන්ට  ලැබුණු තොරතුරක් මත මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැටලීමක් කර මාතලේ නගරයේ පිහිටි සුපිරි හෝටලයක කාමරයක සිටිය දී පිරිස අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.  මෙම ගජමුතු මිලදී ගැනීම සඳහා චීන ජාතික තැරැව්කරුවන් ලෙස වෙස් වළාගත් පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සුපිරි හෝටල් කාමරයේ රැඳී සිටිමින් සැකකරුවන් කොටු කරගෙන  ඇත.

  ඇම්. ඩබ්ලිව්. සෝමරත්න 

කෝවිල් උත්සවයේදී මාල කැඩු කල්ලියක 9ක් පවුම් 100ක රන්බඩු එක්ක මාට්ටු


කොත්මලේ, පූඩුළුඔය ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද කෝක් විවෘත කිරීමේ උත්සවසට පැ කාන්තාවන් පස් දෙනකුගේ රන්මාල කඩාගත් කොල්ල කල්ලියක කාන්තාවෝ 8 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් පවුම් 100ක රන් බඩු සමග පුංඪඵධිය පොලිසිය විසින් (24) වැනිදා අත්අඩංගුවට ගනු ලැබූහ.  මෙම පිරිස අතර ඉන්දීය ජාතික යුවළක්ද සිටිත බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් සහ සැකකරු යාපනය, තෙල්ලිපලේ, කිලිනොච්චිය, පුත්තලම සහ දිගන යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් රන්මාල කඩාගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මල්ලාවි හා යාපනය අධිකරණවල නඩු රැසක්ද ඇති බව පොලිසිය කියයි. මීට අමතරව ඔවුනට එරෙහිව අධිකරණ කිහිපයකින් වරෙන්තුද නිකුත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.  මෙම කෝවිල විවෘත කිරීමේ උත්සවය ඉකුත් 23, 24 දෙදින උත්කර්ෂවත් අයුරින් පවත්වා ඇති අතර  ඒ සඳහා දිවයිනේ නන්දෙසින් බැතිමතුන් දහස් ගණනක් සහභාගි වී සිටි බව පොලිසිය පවසයි.

සැකකාරියන් දෙදෙනකු එම උත්සවය අතරවාරයේ පෙරේදා (24) වැනිදා කාන්තාවකගේ රන් මාලයක් කැගැසීම ඇසී අවට සිටි පිරිස සැකකාරියන් කඩාගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ඇයගේ කෑගැසීම ඇසී අවට සිටි පිරිස සැකකාරියන් දෙදෙනා අල්ලා ඒ අසල ආරක්ෂක රාජකාරියේ නිරත පුඩළුඔය පොලිස් නිලධාරීන්ට බාර දී ඇත. ඔවුන් සමග කල්ලියක්ම පැමිණ ඇති බවට සැකකාරියන් දෙදෙනාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීමේ දී හෙළිවීමත් සමග පොලිසිය උත්සව භූමියේ සිටි පිරිසට මෙම කල්ලිය සම්බන්ධයෙන් දැනුම් දී තිබේ. එම දැනුවත් කිරීමත් සමග එහි සිටි කාන්තාවන්  පස් දෙනකු තමන්ගේ රන්මාල කඩාගෙන ඇති බවට දැනගෙන පොලිසියට පැමිණිලි කළ බව පොලිසිය පවසයි.

සැකකාරියන් බැතිමතුන් අතර තෙරපෙමින් කාන්තාවන්ට නොදැනෙන ආකාරයෙන් ඔවුන්ගේ මාල කඩාගෙන ඇති බවද පොලිසිය කියයි. මෙම කොල්ල කල්ලිය සම්බන්ධයන් උත්සවයේ සංවිධායකයන් රැස්ව සිටි පිරිස දැනුවත් කිරීමේ දී කල්ලියේ සෙසු සාමාජිකාවන් ඔවුන් පැමිණි වෑන් රථයකින් පලාගිය බවට පොලිසියට ලද  තොරතුරකට අනුව පොලිසිය අවට පොලිසි දැනුවත් කර වෑන් රථය පසුපස හඹාගොස් කොත්මලේ ප්‍රදේශයේදී ඔවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කල්ලිය විසින් කෝවිල් භූමියේ දී කඩන ලද රන්මාල 5 ක වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධික බවද පොලිසිය පවසයි.  ඔවුන් විසින් කඩන ලද රන් මාල 5 මෙතෙක් සොයාගෙන නොමැති අතර, එම මාල ඔවුන් සමග පැමිණ සිටි කල්ලියේ වෙනත් කණ්ඩායමක් ළඟ ඇති බවට පොලිසිය සැකකරයි. කල්ලියේ සැකකාරියන් 8 දෙනා පමණක් පවුම් 100ක පමණ රන් බඩු පැළඳ සිටි බවත්, ඒවා වෙනත් ස්ථානවලින් කොල්ල කෑ රන් බඩු බවට සැකකරන බවත්, පොලිසිය කියයි. එම රන් භාණ්ඩද පොලිස් බාරයට ගෙන ඇත. සැකකාරියන් සහ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 ඉන්දිකා රාමනායක

හත්තිලව්වකට තැබූ පාතාල වෙඩිල්ල ලක්ෂ්මී දෙව්රුවේ නළල පසාරු කරයි


හෝමාගම, මාඹුල්ගොඩ රණසිංහ මාවතේ පෞද්ගලික බස් රථ ගාලකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ටී 56 ගිනි අවියකින් එහි සිටි පුද්ගලයන් හත් දෙනකු ඉලක්ක කරගෙන වෙඩි තැබීමක් සිදු කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.  වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදු වී නොමැති අතර බස් රථයකට සහ ත්‍රීරෝද රථයට හානි සිදුවී තිබේ. බස්රථයේ ප්‍රදර්ශනය කර තිබූ ලක්ෂ්මී දේව රූපයක නළල පසාරු කරගෙන වෙඩි උණ්ඩ ගොස් ඇතැයි පොලිසිය කියයි. දෛනික සේවාව නිමවා පෙරේදා (25) බස් රථ ගාල්කර තිබූ ස්ථානයේ හත් දෙනකු පමණ සිට ඇති අතර ඉන් සිවු  දෙනකු බස් රථයකත් තිදෙනකු ත්‍රිරෝද රථයකත් රැඳී සිට ඇති බව පැවසේ.

එම අවස්ථාවේදී පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ ඉන් එක් පුද්ගලයකු වැසි ආවරණයක් සහ හිස් වැසුමක් පැළඳ, රථ ගාල පිහිටි භූමිය මැදට පැමිණ ඔහු අත තිබූ ටී 56 ගිනි අවියෙන් එක්වරම බස් රථය දෙසට සහ ත්‍රීරෝද රථය දෙසට වෙඩි තබා තිබිණි.  එම අවස්ථාවේදී බස් රථයේ රැඳී සිටි පුද්ගලයකු ඉදිරියට පැමිණ වෙඩි තැබූ පුද්ගලයා කවුරුන්දැයි විමසීමේදී ඔහු පලාගොස් ඇති බවත් එහිදී වෙඩික්කරු හඳුනාගැනීමට ඔහුට හැකිවී ඇති බවත් පොලිසිය කියයි.  ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට හෝමාගම මූලස්ථාන පොලිසියේ නිලධාරින් පැමිණ පරීක්ෂා කිරීමේදී එහි තිබී ටී 56 උණ්ඩ හතරක් සොයා ගැනීමට හැකිවී තිබිණි.

මෙම වෙඩි තැබීම කළ සැකකරු මනුෂ්‍ය ඝාතන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය මගහැර දැනට ඉන්දියාවට පලාගොස් ඇතැයි සැක කෙරෙන අතුරුගිරියේ ලඩියා නමැත්තාගේ සමීපතමයකු වන අතුරුගිරියේ ජෙරම් නමැත්තා බවට පොලිසිය හඳුනාගෙන තිබේ.  මෙම පුද්ගලයා තලංගම පොලිස් වසමේ සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින්නකු බවත් ඔහුට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බවත් පොලිසිය පවසයි.

අතුරුගිරියේ ජෙරම් නමැත්තාගේ සමීපතමයකු මීට දින තුනකට පෙර අයිස් මත්ද්‍රව්‍ය සමඟ මත්තේගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර එම ඔත්තුව දී ඇත්තේ මෙම බස් රථ හිමිකරු බවට වූ සැකය මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි. සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීහු හා නුගේගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහුද පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ. සිද්ධියට සම්බන්ධ කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරු සොයා අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය විමර්ශන පවත්වයි.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

සිසුවියකට අතවර කළැයි විදුහල්පති රිමාන්ඩ්


එකොළොස්වන  ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට කුරුවිට ජාතික පාසල තුළදී බලහත්කාරකම් පෑම සහ ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් එහි විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ඊයේ (26) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම 28 දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ බව බවද පොලිසිය සඳහන් කරයි.

මෙලෙස රිමාන්ඩ් බාරයට නියම වී  ඇත්තේ ඒ. සිරිමෙවන් (59) නමැති විදුහල්පතිවරයා බව පොලිසිය පවසයි. සැකකාර විදුහල්පතිවරයා නිතර නිතර සිසුන්ට උපදේශන පවත්වන බවත්, ඉකුත් 23 වැනිදා උපදේශන සඳහා යැයි පවසා සිසුවිය කාර්යාලයට ගෙන්වාගෙන මෙම අතවරය සිදුකර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලීසිය කියයි. සිසුවිය මේ සම්බන්ධයෙන් පාසල් ගුරුවරුන්ට සහ දෙමාපියන්ට දැනුම් දීමෙන් අනතුරුව සිසුවියගේ දෙමාපියන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.

එම පැමිණල්ල අනුව විමර්ශනය සිදුකර  සැකකාර විදුහල්පතිවරයා පෙරේදා (25) අත්අඩංගුවට ගනු ලැබීය. මේ ආකාරයෙන් මීට පෙරත් සිසුන් උපදේශන සඳහා කාර්යාලයට ගෙන්වාගෙන ඔවුන්ට අතවර කරන බවට මෙම විදුහල්පතිවරයා වෙත චෝදනා එල්ල වන බවත් සිසුවියගේ දෙමාපියන් ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් විවිධ සංවිධාන කිහිපයකට ලිඛිත පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත් පොලිසිය පවසයි.  කුරුවිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මිහිපුර  මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

ඉන්දිකා රාමනායක

පේරාදෙණිය සරසවියේ මුදල් කෝටි ගාණක් චක්‍රලේඛයට පිටින් ගෙවලා


විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහයට ගැනෙන වරදක් සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ලේඛකාධිකාරිවරයාට රුපියල් ලක්ෂ 65 ක මුදලක් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) කළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. ඔහු වැඩ තහනමට ලක් කිරීමට හැකිව තිබියදී එසේ නොකර අනිවාර්ය නිවාඩු යැවීම සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානය යොමු විය.

විනය විරෝධී ක්‍රියාවක් කිරීම හේතුවෙන් අනිවාර්ය නිවාඩු යවා සිටි, පරිවාස කාලයකට යටත් කථිකාචාර්යවරියකට 2020 වර්ෂයේ සැප්තැම්බර් මස සිට 2021 නොවැම්බර් මාසය දක්වා කාල පරිච්ඡේදය තුළ, විශ්ව විද්‍යාලයට කිසිදු සේවාවක් සපයා නොතිබියදී වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ විසිහයක් ද, අධ්‍යයන හෝ පරේශ්ෂණ කටයුතු සඳහා කිසිදු සක්‍රීය දායකත්වයක් ලබාදී නොතිබියදී අධ්‍යයන හා පරේක්ෂණ දීමනා ලෙස රුපියල් ලක්ෂ 13 ක්ද ගෙවා ඇතැයි කෝප් කමිටු විමර්ශනවලදී අනාවරණය විය. මෙම කථිකාචාර්යවරියට පසුව සමාව දී නැවත සේවයේ පිහිටුවා ඇති නමුත් ගෙවන ලද වැටුප් හා දීමනා අයකරගෙන නොතිබූ බව ද කෝප් කමිටුව සඳහන් කරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2020 සහ 21 වර්ෂවල සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා හා මූල්‍ය අවභාවිතා ගණනාවක් පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.  මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය. රජයෙන් ලබාදෙන ශිෂ්‍යත්ව වලින් වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වන ආචාර්යවරුන් විශ්වවිද්‍යාලයට ගෙවිය යුතු මුදල් නොගෙවීම පිළිබඳවද මෙම කමිටුවේදී සාකච්ඡා විය.

එම හිඟ මුදල් නිසි ලෙස අයකර ගන්නැයි කමිටුව විශ්වවිද්‍යාල පාලනාධිකාරියට නියෝග කළේය. ඔවුන් විදේශ පුහුණුවෙන් පසුව අඩුම වශයෙන් වසර පහක කාලයක් මෙරට විශ්ව විද්‍යාලයන්හි සේවය කිරීම සඳහා උපදෙස් දෙන ලෙස ද කෝප් කමිටුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් දුන්නේය. මේ අතර, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක නිලධාරීන් පිළිවෙළින් දහහත් දෙනකු, එකොළොස් දෙනකු සහ 13 දෙනකු 2022 සහ 23 වර්ෂවල එම විශ්වවිද්‍යාලයේදී පවත්වන ලද 98, 99, 100 වැනි විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් සඳහා සහභාගීවීම පැහැර හැර සිය මූල්‍ය වගකීම සහ කාර්යභාරය හිතාමතා පැහැර හැර ඇති බව විගණන වාර්තාවේ දැක්වෙන්නේ යැයි කෝප් කමිටුව පවසයි. මේ අතර, පැමිණීම හා පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් තහවුරු නොකර 2021 සහ 22 වර්ෂවලදී රුපියල් ලක්ෂ 63 ක පමණ වැටුප් හා දීමනා ගෙවා ඇතැයි කෝප් කමිටුවට තොරතුරු අනාවරණය විය. 

වෙනත් තනතුරක් සඳහා මුදාහැර සිටි මහාචාර්යවරයකුට, එම කාලය තුළම සප්ත වාර්ෂික නිවාඩු ලබාදී සියලු දීමනා සහිතව වැටුප් ලබාදීම පිළිබඳව මූලික පරීක්ෂණයක් පවත්වා විනය ක්‍රියාමාර්ග ගැනීම හා මෙවැනි සිද්ධී නැවත ඇතිවීම වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කමිටුව නිර්දේශ කළේය. මහාචාර්යවරයාගෙන් අය කළ යුතු රුපියල් ලක්ෂ 22 ක පමණ මුදලක් මෙතෙක් අය කරගෙන නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මේ දක්වාම කාරක සභාවට ඉදිරිපත් කර නැතැයිද සඳහන් විය. විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා විශ්වවිද්‍යාල අරමුදලට පරිබාහිරව හා අනුමැතියකින් තොරව විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සංගමය නමින් පේරාදෙණිය මහජන බැංකු ශාඛාවේ ඉතිරි කිරීම් ගිණුමක් ආරම්භ කර, 2019 වර්ෂයේ ජුනි දක්වා කාලය තුළ රුපියල් ලක්ෂ තිස් දෙකකට වැඩි මුදලක් බැර කර තිබූ බවත්, එම මුදල් විශ්ව විද්‍යාල අරමුදලට බැර කිරීමකින් තොරව අයථා ලෙස පරිහරණය කර තිබූ බවත් විගණන විමර්ශන වලදී අනාවරණය වී ඇත. 

මෙම මුදල මෙතෙක් අය කරගෙන නැතැයිද කියති.කිසිදු අන්තර් පරේක්ෂණ වාර්තාවක් හෝ අවසන් පරේක්ෂණ වාර්තාවක් හෝ ලබාගැනීමකින් තොරව අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පනස් නව දෙනකු සඳහා 2014 නොවැම්බර් පළවැනිදා සිට 2022 අගෝස්තු 31 වැනි දක්වා කාලසීමාව තුළ රුපියල් අට කෝටියක පමණ මුදලක් පර්යේෂණ කළමනාකරණ කමිටු අනුමැතියකින් තොරව පරේක්ෂණ දීමනා ලෙස ගෙවා තිබූ බව ද හෙළිදරව් වී ඇත. ශාස්ත්‍ර පීඨයේ භෝජනාගාරය සහ ඒ අවට සීසීටීවී කැමරා පද්ධතියක් සවිකිරීම සඳහා 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ නිශ්චිත ප්‍රසම්පාදන පටිපාටියෙන් බැහැරව රුපියල් ලක්ෂ 11 ක් ගෙවා තිබූ බව ද විගණන වාර්තාවේ දැක්වේ. විශ්වවිද්‍යාලයේ රාජකාරි ආවරණය කිරීමේ පදනමෙන් පත්කර සිටි නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන  කොමිෂන් සභාවේ චක්‍රලේඛයට පටහැනිව 2021 ජනවාරි සිට 2023 පෙබරවාරි දක්වා ඉන්ධන හා ප්‍රවාහන දීමනා ලෙස රුපියල් ලක්ෂ 13ක් ද විනෝදාස්වාද දීමනා ලෙස රුපියල් 2,70,000 ක්ද ගෙවා ඇතැයි කෝප් කමිටුව පවසයි.

අංජුල මහික වීරරත්න