Tuesday, January 31, 2023

ක්‍රිකට් තේරීම් කමිටුවට අලුතින් නම් කැඳවයි

 

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට අලුතින් නාම යෝජනා කැදවීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව ඊයේ (30දා) තීන්දු කළේය. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය  සහ ඒ ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු රාශියක් සාකච්ඡා කිරීම සඳහා ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව අමාත්‍යාංශයට කැඳවූ අවස්ථාවේදීය. ඒ අනුව ඒ සඳහා අදාළ ක්‍රියාපටිපාටිය අමාත්‍යාංශයේ මැදිහත් වීම තුළ සිදු කිරීමට නියමිත අතර, පසුව එය ගැසට් කිර්මට නියමිත බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත යොමුකළ ක්‍රිකට් තේම් කමිටුවට අදාළ නාමයෝජනා 10ම ජාතික ක්‍රීඩා තේම් කමිටුව ප්‍රතික්ෂේප කිරීම සහ ඊට පත් කළ හැකි නව සාමාජිකයන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, එහි අවසන් තීරණය වී ඇත්තේ මීට වඩා ගුණාත්මක තේරීම් කමිටුවක් නිර්මාණය කරගැනීමට අලුතින් නාමයෝජනා කැඳවීමටයි.  එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවිධ හේතු මත තෝරා නොගන්නා ඉතා හොඳ දැනුමක් සහිත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තේරීම් කමිටුවට එක්කර ගැනීමේ තීරණය මත මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහිදී හිටපු ක්‍රිකට් තේරිම් කමිටු සභාපතිවරුන් වන අසන්තා ද මෙල් හෝ සනත් ජයසූරිය යන මහත්වරුන් සභාපති ධුරයට පත් කිරීමේ වැඩි ඉඩක් පවතින බව වාර්තා වේ. විශේෂයෙන් සනත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්ව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවද අනාවරණය වේ.

මීට අමතරව මේ වනවිට අක්‍රියව පවතින ක්‍රිකට් උපදේශක කමිටුව වහාම පත් කිර්මටත්, මෙම සතිය තුළදී එම වැඩ කටයුතු අවසන් කිරීමටත් නියමිතය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා හිටපු ක්‍රිකට් නායකයන් ඇතුළු වෘත්තිකයන් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයේ එකඟතාව අනුව ස්වාධීන කමිටුවක් පත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිර්මටද අමාත්‍යවරයා පියවර ගෙන ඇත. ඒ අනුව ඒ සඳහා සුදුසුකම්ලත් විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත කමිටුවකට අදාළ නම්  එහිදී සාකච්ඡා වී ඇති අතර, එම කමිටුවද මෙම සතිය තුළදී පත් කිර්මට නියමිතය.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් පංචපුද්ගල කමිටු වාර්තාව ඊයේ (30දා) ජාතික ක්‍රීඩා සභාවේ සියලුම සාමාජිකයන්ට ලබා දී ඇති අතර, ඔවුන් ඒ සම්බන්ධයෙන් වන නීතිපතිවරයාගේ මතය සහ එම වාර්තාවේ අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කළ හැකිවනුයේ කෙසේද යන්න එළඹෙන බ්‍රහස්පතින්දා (02දා) රැස්ව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසා සිටියේ නීතිපතිවරයාගේ මතය අනුව මෙම වාර්තාව පාදක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්වාධීන විගණනයක් සිදු කරන බවත්, ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියාවේ නඩු විභාගයෙන් තීන්දුවක් ලැබෙනතුරු සියලු ක්‍රිකට් ක්‍රියාකාරකම් තහනම් කිරීමටත් නිර්දේශ කර ඇති බවයි.

පැතුම් ශ්‍රී විජේරත්න


ගුවන්විදුලියට අයත් කුච්චවේලි අක්කර 270ක් සූර්ය බලය ගන්න කැනේඩියානු සමාගමකට



ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අයත් ත්‍රිකුණාමලය කුච්චවේලිහි අක්කර 270ක ඉඩමක් මෙගාවොට් 100ක සූර්ය බලශක්තිය උත්පාදනය කෙරෙන ව්‍යාපෘතියක් සඳහා ඊයේ (30දා) කැනේඩියානු සමාගමකට බදු පදනම යටතේ භාරදෙනු ලැබිණි. ඒ අනුව '3W බලශක්ති කළමනාකරණ පෞද්ගලික ආයතනය' යන සමාගම වෙත වසර 30ක බදු පදනම යටතේ ඉඩම ලබාදී ඇති අතර, ඒ සඳහා අදාළ සමාගම සිදු කර ඇති ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 150කි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඉඩම භාරදීම සිදු කෙරුණු අතර, එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

"මෑතකාලීනව වේගයෙන් සංවර්ධනය වූ ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, ව්යට්නාමය වැනි රටවල් එම ඉලක්කයට ළඟාවූයේ විදේශ ආයෝජන දිරිගැන්වීම තුළින්. නමුත් අපේ රටට වසරකට බිලියනයක හෝ විදේශ ආයෝජන ලබාගැනීමට නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයක්. විදේශ ආයෝජකයන් දිරිගන්වන, ඒ සඳහා ආකර්ෂණීය, නිර්ලෝභී වැඩපිළිවෙළක් අපේ රට අනුගමනය කර නැහැ. සෑම දෙයක් දෙසම අප බලන්නට පුරුදු වී තිබෙන්නේ සැකයෙන්. නමුත් ලෝකයේ බොහෝ රටවල් මෙම ආයෝජන දිරිගැන්වීමේ උපක්‍රමය ඉතාමත් සාර්ථකව ප්‍රයෝජනයට ගනු ලබනවා. ඒ අනුව මෙරට දේශීය ආයතන සහ සංවිධානද මෙරටට විදෙස් ආයෝජන ලබාගත හැකි ආකාරයෙන් කටයුතු කිරීමට වඩ වඩාත් උනන්දු විය යුතුයි. මෙවැනි පසුබිමක් යටතේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සිදුකරන මෙම ආයෝජනය රටට වඩාත් ආදර්ශමත් ව්‍යාපෘතියක් ලෙස කඩිනමින් ක්‍රියාත්මක වනු ඇති බව මා විශ්වාස කරනවා" යනුවෙනින් කියා සිටියේය.


නිදර්ශනි චිත්‍රමසිංහ

මාර්තු 09දා ඡන්දයට අදාළ ලේඛන ගැසට් කිරීමට යවයි



එළඹෙන මාර්තු 09වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වීමට අදාළ ලේඛනය ගැසට් කිරීම සඳහා ඊයේ (30දා) රජයේ මුද්‍රණාලය වෙත යැවූ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.ඡන්ද විමසීම් පැවැත්වෙන දිනය තීරණය කරනු ලබන්නේ, දිස්ත්‍රික් තේම්භාර නිලධාර්න් විසින් බවත්, මේ අනුව දිස්ත්‍රික්ක තේම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට යොමුකළ ලේඛන රජයේ මුද්‍රණාලයට යොමුකළ බවත් එම කොමිසම පෙන්වා දෙයි. මීට අමතරව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ අපේක්‍ෂක ලැයිස්තුද ගැසට් කිරීම සඳහා යොමුකළ බවත්, මෙවර පැවැත්වෙන ඡන්ද විමසීම් සඳහා අපේක්‍ෂකයන් 80,000ක් ඉදිරිපත් වී සිටින බවත් සඳහන් කරයි.

මේ අනුව අපේක්‍ෂකයන් අසූදහසක ප්‍රමාණයකගේ නම් භාෂා තුනෙන්ම මුද්‍රණය කළ යුතු බවත්, පළාත් දිස්ත්‍රික්ක තේම් භාර නිලධාරීර්න් විසින් මාර්තු 09වැනිදා ඡන්ද විමසීම් පැවැත්වෙන බවට අපේක්‍ෂකයන්ට හා පක්‍ෂ නියෝජිතයන්ට නාමයෝජනා භාර ගැනීමෙන් පසු දැනුම්දී තිබෙන බවද එම කොමිසම සඳහන් කරයි. මේ පිළිබඳ 'අද' රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි ලියනගේ මහත්මියගෙන් සිදුකළ විමසීමකදී ඒ මහත්මිය සඳහන් කළේ, ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයට අදාළ තොරතුරු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බවත්, මීට අදාළ ගැසට් නිවේදනය දින දෙකක් තුළ ප්‍රකාශයට පත් කිර්මට හැකියාව ලැබෙන බවත්ය.  අපේක්‍ෂක ලැයිස්තු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ලැබෙමින් තිබෙන බවත්, මීට අදාළ කටයුතු අවසන් කර ගැසට් පත්‍රයේ සඳහන් කිරීම සඳහා සති දෙකක පමණ කාලයක් ගත විය හැකි බවත් ඒ මහත්මිය පවසා සිටියාය.

 ඉන්දික හේවාවිතාරණ

අනියම් පෙම් සුව විඳින්න කතකගේ ගේකට රිංගු රාලහාමි අතේ මාට්ටු


අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් සිටි බව කියන කාන්තාවකගේ නිවෙසට රිංගූ පොලිස් කොස්තාපල්වරයකු ඇයගේ සහෝදරයා ඇතුළු පිරිසක් විසින් අල්ලා කරන්දෙණිය පොලිසියට පෙරේදා (29) බාර දෙනු ලැබ ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මෙම පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ සැබෑ නම හෙළි නොකර වෙනත් නමකින් පෙනී සිටිමින් මෙම කාන්තාව සමග කාලයක් තිස්සේ සිට අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි එම නිලධාරියා කීය.

තමා අවිවාහක අයකු බවද කොස්තාපල්වරයා එම කාන්තාවට පවසා ඇතැයි කියති. අම්බලන්ගොඩ පොලිසියේ  රාජකාරි කරන සැකකාර පොලිස් කොස්තාපල්වරයා විවාහක අයකු බවද පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සැකකාර කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමටද උසස් පොලිස් නිලධාරියෙක් කටයුතු යොදා ඇත.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

උසස් පෙළ කාලයේ විදුලිය කැපුවාට මණ්ඩලයට නඩු

 


උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට මානව හිමිකම් කොමිසම කළ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අපහාස කළැයි චෝදනා කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ඉදිරි කටයුතු සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත ඊයේ (30) යොමු කරන ලදී. 

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට ඇති කර ගත් සමතය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අගෞරව කර අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම යොමු කළ එම පැමිණිල්ල ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අගවිනිසුරුවරයා වෙත යොමු කර ඇතැයි වාර්තාවේ.

අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා කාලය තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය 25 වැනිදා කැඳවන ලද සාකච්ඡාවකදී එම කාලය තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම කොමිසම හමුවේ සමතයකට එළඹුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අධිකරණයට දැනුම් දී තිබිණි”

එම සාකච්ඡාව අවසානයේ දී උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා වන කාල සීමාවේ දී අඛණ්ඩව විදුලිය ලබා දීමට සාකච්ඡාවට සහභාගී වූ පාර්ශ්වකරුවන් සියලු දෙනා සමතයකට පැමිණි බවත් ඉන් අනතුරුව අදාළ සමතය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ විධානයක් වශයෙන් ඉකුත් 26 වැනිදා නිකුත් කළ බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති මානව හිමිකම් කොමිසම ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන ආයතන එම විධානය ප්‍රකාරව ක්‍රියාත්මක වී ඉකුත් 26 වැනිදා සවස 4.00 ට පෙර දැනුම් දෙන ලෙස ද මානව හිමිකම් කොමිසම විසින් අදාළ ආයතනවලට දැනුම් දුන්නත් අදාළ ආයතන එම විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇතැයි ද දැනුම් දී ඇත"

එම විධානය ක්‍රියාත්මක කිරීම සහ ඒ අනුව කටයුතු කිරීම පැහැර හැරීම සහ ප්‍රතිචාර දැක්වීම පැහැර හැරීමෙන් “කොමිෂන් සභා අධිකාරියට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරද” සම්බන්ධයෙන් අදාළ පාර්ශවකරුවන්ට එරෙහිව මානව හිමිකම් කොමිසම අදාළ ආයතනවලට චෝදනා කර ඇතැයි ද වාර්තා වේ"

මනෝප්‍රිය ගුණසේකර

ඝාතනයවූ සරසවි සිසුවියගේ පියා උසාවියේ හඬා වැලපෙයි


දියණිය ඝාතනය කළ පුද්ගලයා තමා නොහඳුනන බවත්, දියණිය ද ඔහු ගැන ඊට පෙර කිසිවක්ම හෝ තමාට හෝ බිරිඳට පවසා නොතිබූ බවත්, කොළඹ තුරඟ තරග පිටිය අසලදී පිහි ඇනුමකින් ඝාතනයට ලක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තුන්වැනි වසරේ සිසුවියක වූ චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති 24 හැවිරිදි තරුණියගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් ඇයගේ පියා වන විශ්‍රාමික යුද හමුදා නිලධාරි මල්ලිකාරච්චිගේ රංජිත් ප්‍රේමකුමාර මහතා ඊයේ (30) කඳුළු සලමින් පැවැසීය.

පොලීසිය කළ දැනුම්දීමක් අනුව තමා සහ බිරිඳ පසුගිය 17 වැනිදා සවස 2.00ට පමණ තුරඟ තරග පිටියට ගිය අවස්ථාවේදී තම දියණිය ලකුණු පුවරුව අසල වැටී සිටිනු දුටු බව ද ඔහු සඳහන් කළේය.මල්ලිකාරච්චිගේ රංජිත් ප්‍රේමකුමාර මහතා සාක්ෂි දෙමින් මෙසේ ද සඳහන් කළේය.

“මා 1997 වසරේදී විවාහ වුණා. අපට දියණියන් දෙදෙනකු ඉන්නවා. මියගිය චතුරි හංසිකා කියන්නේ මගේ ලොකු දුව. ඇයගේ වයස අවුරුදු විසි හතරක්. ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ. උසස් පෙළ හැදෑරුවේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ. ඊට පස්සේ ඇය උසස් පෙළ සමත් වෙලා ගණිත අංශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. 2019 වසරේ තමයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ. එම කාලයේදී අප දැනුවත්ව කිසිම සම්බන්ධකමක් තිබුණේ නැහැ. විශ්වවිද්‍යාලයට දියණිය ආවේ නිවෙසේ ඉඳලා. එදා ජනවාරි 17 වැනිදා උදේ ගෙදරින් ඇයව මම හෝමාගම බස් නැවැතුම්පොළට ගෙනල්ලා ඇරලුවා. එදා තමයි මං ඇය දුටු අන්තිම දවස. එදා දුව ඇඳලා හිටියේ නිල් පාට ඩෙනිම් කලිසමක් හා කහ පාට හැට්ටයක්.

මම ෆාමසියක් කරනවා. හවස දෙකට විතර බිරිඳ ඇවිත් කිව්වා කුරුඳුවත්ත පොලීසියට එන්න කියලා දැනුම් දුන්නා කියලා. දුවට කරදරයක් කියලා තමයි කිව්වේ. ඉතින් අපි කුරුඳුවත්ත පොලීසියට ගියා. පොලීසියෙන් අපි තුරඟ තරග පිටියට එක්කගෙන ගියා. එහි ලකුණු පුවරුව ළඟ මගේ දූ වැටිලා ඉන්නවා මම දැක්කා. එතකොට හවස තුනට විතර ඇති. මගේ දියණිය බව මම හඳුනා ගත්තා. කිසියම් කෙනකුගේ පිහි ඇනුමකින් මගේ දුව නැති වෙලා තියෙන්නේ කියලා ඒ අවස්ථාවේදී අපට දැනගන්නට ලැබුණා. නමුත් අපි එම පුද්ගලයා හඳුනන්නේ නැහැ. ඒ වගේම ඒ පුද්ගලයා පිළිබඳව දුව අපට කියලා තිබුණෙත් නැහැ. මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන තැනට පසුවදා ගියා. එම ස්ථානයේදී වෛද්‍යවරයා ඉදිරියේදී දුවගේ සිරුර මා හඳුනා ගත්තා. "

එම අවස්ථාවේදී මියගිය සිසුවියගේ පියා සංවේදී වන අයුරු දැකගත හැකි විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේදී එහි සිටි මුරකරුගෙන් ද සාක්ෂි ලබාගැනීමට අවශ්‍ය බැවින්, ඔහු ඉදිරි දින කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරයා කුරුඳුවත්ත පොලීසියට නියෝග කළේය. ඒ අනුව, මහේස්ත්‍රාත්වරයා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සඳහා සාක්ෂි ලබාගැනීමට තුරඟ තරග පිටියේ එම මුරකරු වෙත සිතාසි නිකුත් කළේය.

අනතුරුව ඝාතනයේ සැකකරු ජාතික මානසික වෛද්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කර, වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට පොලීසියට නියම කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරු ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය. මෙම නඩුව ඊයේ (30) අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකළ අතර, ඔහු බන්ධනාගාර මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාරය අධිකරණයට දැනුම් දුන්නේය. නඩුව නැවත ලබන 13 වැනිදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

 නිමන්ති රණසිංහ

ටින්මාළු වලින් ශ්‍රි ලංකාව ස්වයංපෝෂිතයි



ටින්මාළු නිෂ්පාදනයෙන් ශ්‍රී ලංකාව ප්‍රථම වරට ස්වයං පෝෂිත වී ඇතැයි දේශීය ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ටෙස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු මහතා පැවසීය.  ශ්‍රී ලංකාවට දිනකට අවශ්‍ය මාළු ටින් ප්‍රමාණය ලක්ෂ දෙකහාමාරක් පමණ නමුත් මේ වනවිට දේශීය කර්මාන්ත ශාලාවලින් දිනකට මාළු ටින් ලක්ෂ තුන ඉක්මවා නිෂ්පාදනය කරන බවද ඉකුත්දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රනාන්දු මහතා කීය. ටින්මාළු නිෂ්පාදනයෙන් ශ්‍රී ලංකාව ස්වයං පෝෂිත හෙයින් මේ වන විට ටින්මාළු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැති බව ද ශිරාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ටින්මාළු නිෂ්පාදනයේ දී මාළු, ලුණු, ටින්, ලේබල්, ශ්‍රමය ඇතුළු සියලු අමුද්‍රව්‍ය දේශීය ඒවා වන හෙයින් එහි සියලු ආදායම ලංකාවට හිමිවන බවද ශිරාන් ප්‍රනාන්දු මහතා කීය.  ආනයනික ටින්මාළු කිලෝවකට මෙතෙක් අයකළ රුපියල් 100 ක්වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ආණ්ඩුව මැදිහත් වී රුපියල් 200ක් බවට පත් කළ බව ද එමගින් දේශීය නිෂ්පාදකයා ආරක්ෂා වූ බවද පැවසූ ශිරාන් ප්‍රනාන්දු මහතා ආනයනික ටින්මාළු බද්ද තවදුරටත් ඉහළ නංවා දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

ශ්‍රී ලංකාවේ එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය ලබාගත් කර්මාන්ත ශාලා පහක් තිබෙන අතර තවත් සුළු පරිමාණ කර්මාන්ත ශාලා කීපයක් තිබෙන බව ද ප්‍රනාන්දු මහතා කීය. ආණ්ඩුවේ සහාය ලැබෙන්නේ නම් ටින්මාළු අපනයනය කිරීම තම කර්මාන්ත ශාලා පහ සූදානම් බව ද එමගින් රටට ඩොලර් විශාල ප්‍රමාණයක් උපයා ගත හැකි බව ද හෙතෙම සඳහන් කළේය. මෙරට ධීවර කර්මාන්තයෙන් පවුල් ඒකක ලක්ෂ 6ක් යැපෙන අතර ඔවුන්ට අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ ලබාදෙන්නේ නම් මෙරට මාළු කර්මාන්තය ඉතා දියුණු මට්ටමකට ළඟාවීමට වැඩි කාලයක් ගත නොවන බවද ශිරාන් ප්‍රනාන්දු මහතා කීය.

 රංජන් කස්තුරි

ඒටීඑම් අමුතුම ගේම්කාරයෙක් කුරුණැගලින් අල්ලාගෙන


ක්ෂණික මුදල් ලබාගන්නා යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් රවටා, ඔවුන්ගෙන් රහස්‍ය අංකය ලබාගෙන, මුදල් ලබාගැනීමේ වංචාවක නිරතව සිටි ළාබාල තරුණයෙක් කුරුණෑගල මූලස්ථාන පොලීසියේ සුළු පැමිණිලි අංශය විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු මාවතගම කොටිකාපොළ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයකු බව පොලීසිය කියයි. මොහුගේ වංචාවට හසු වූ කාන්තාවක කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ මෙහෙයවූ පොලීසිය, කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍ර සවිකර ඇති පරිශ්‍රයේදී සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම වංචාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි විණි යැයි පොලීසිය සඳහන් කරයි.

ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මුදල් ගැනීමට පැමිණෙන පුද්ගලයන් වයස්ගත මෙන්ම එම යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය නිසියාකාරව නොදන්නා පුද්ගලයන් සැකකරු විසින් රවටා ඇතැයි පොලීසිය පවසයි. ඒ.ටී.එම්. යන්ත්‍ර සවිකර තිබෙන ස්ථාන අවට රැඳී සිටින සැකකරු, එවැනි පුද්ගලයන්ට යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට උදව් කරන මුවාවෙන් ඉදිරිපත්ව, ඔවුන්ගේ ඒ.ටී.එම්. කාඩ්පත්වල රහස්‍ය අංකය ලබාගෙන මෙම මුදල් වංචාව සිදු කර ඇති බව පොලීසිය පවසයි. ඒ.ටී.එම්. යන්ත්‍රයට දමන නියම කාඩ්පත එහි හිමිකරුට නොදැනෙන්නට ඉතා සූක්‍ෂම ලෙස මාරු කර, ඉන් පසුව වෙනත් ඒ.ටී.එම්. යන්ත්‍රයක් වෙත ගොස් ඔහුට අවශ්‍ය මුදල්  ප්‍රමාණය ලබාගෙන ඇති බව ද කියයි.

මෙම වංචාවට හසුවන පුද්ගලයන්, සැකකරු ලබා දී ඇති කාඩ්පත ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් බැංකුවට දැනුම්දීමෙන් පසුව, තමන් වංචනිකයකුට  හසු වී ඇති බව දැනගන්නට ලැබේ. සැකකාර තරුණයා මේ ආකාරයට වංචනිකව  ලබාගෙන තිබූ කාඩ්පත්වලින් රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ. මෙම වංචාව සඳහා භාවිත කළ රාජ්‍ය හා පෞද්ගලික බැංකු රැසක ද ඒ.ටී.එම්. කාඩ්පත්  රැසක් ද මොහු සතුව තිබී පොලීසියට හමු වී තිබේ.

 පුෂ්පකුමාර ජයරත්න 

වසර 37කට පෙර මීනිමැරුමක පෝරකයට නියම වූ විත්තිකරු ඇපෑලෙන් ගෙදර


අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ වසර 37කට පෙර සිදු වූ මිනීමැරුමක් සම්බන්බන්ධයෙන් ජූරි සභාවක් හමුවේ විභාගයට ගෙන මරණ දඬුවම නියමව සිටි එස්.ඒ. ලතීෆ් නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.  මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ විත්තිකරු විසින් ඉදිරිපත් කරන අභියාචනා පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුවය. අභියාචනාධිකරණ තීන්දුවේ මෙසේ සඳහන් වේ. 1985 සැප්තැම්බර් මස 16 වැනි දින ස්මයිල් රාසික් නමැත්තකු මරා දැමීමේ චෝදනාවට විත්තිකරුට එරෙහිව කල්මුණේ මහාධිකරණය යටතේ නඩු පැවරිණි.

ජූරි සභාවක් හමුවේ පැවැති නඩු විභාගය අවසානයේදී විත්තිකරු මිනිමැරුම් චෝදනාවට වරදකරු කර මරණ දණ්ඩනය නියම කෙරිණි. ඊට එරෙහිව මෙම අභියාචනාධිකරණ පෙත්සම ගොනු කරනු ලැබ ඇත.මහාධිකරණය යටතේ පැවැති නඩු විභාගයේ දී වැදගත් නීතිමය කාරණා සහ සිද්ධාන්ත කෙරෙහි ජූරි සභාව දැනුවත් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා අසමත් වී ඇතැයි තීන්දුවේ සඳහන් වේ. ඒ අනුව විත්තිකරුට එරෙහිව පැමිණිල්ල, ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නැතැයි තීන්දු කළ අභියාචනාධිකරණය විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

රංජන් කටුගම්පොළ

යු.ඩී.ඒ කෝටි 412ක ව්‍යාපෘති රැසක වැඩ ඉබි ගමනේ


නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 412ක් වැය කරමින් රට පුරා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති රැසක් නියමිත කාලසීමාවේදී අවසන් කිරීමට අසමත්ව ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. මෙම ව්‍යාපාති අතර රුපියල් කෝටි 212ක් වැය කරමින් අරඹන ලද නගර සංවර්ධන ව්‍යාපෘති 52ක් පවතින අතර, එයින් 45ක්ම නිසි කලට නිමා කිරීමට අසමත්ව ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ. මෙම වාර්තාවට අනුව, මෙම ව්‍යාපෘති 52න් හතරක වැඩ අවසන්ව නැති නමුත්, ඒවාට ගෙවිය යුතු මුදලටත් වඩා වැඩියෙන් ගෙවා තිබේ. ව්‍යාපෘති හතක වැඩ අවසන් කර තිබුණ ද, ඒවාට කිසිදු මුදලක් ගෙවා නැතැයි ද, ව්‍යාපෘති තුනක වැඩ ආරම්භ කිරීමටවත් කටයුතු කර නැතැයි ද විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත.

මේ අතර, නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි දෙසීයක ප්‍රතිපාදන යටතේ ඉදිකිරීමට සැලසුම් කළ ඇවිදින මංතීරු තිහකින් විසි හයක ඉදිකිරීම් නියමිත කාලයට අවසන් කර නැතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. මෙම ව්‍යාපෘති වලින් 27ක් 2021 දෙසැම්බර් 31 දිනට ද ඉතිරි තුන 2022 ජුනි 30 දිනට ද අවසන් කළ යුතුව පැවැති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවට අනුව, මෙම ඇවිදින මංතීරු වෙනුවෙන් 2021 දෙසම්බර් 31 වන විට වෙන් කළ ප්‍රතිපාදන වලින් රුපියල් කෝටි 138ක් වැය කර ඇත.  එහෙත්, වැඩ අවසන් කර තිබෙන්නේ ව්‍යාපෘති හතක පමණක් බවත්, ව්‍යාපෘති තුනක වැඩ අත්හිටුවා ඇති අතර, ඉතිරි මංතීරු විසි තුනම ඉලක්කගත ප්‍රගතිය ලබා ගැනීමට අසමත්ව ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. මෙම තොරතුරු ඇතුළත් වන්නේ, නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට සිදු කළ විගණන වාර්තාවේය.

මුදිතා දයානන්ද

Monday, January 30, 2023

විශ්වවිද්‍යාල සිසුවකු පැදවු වෑන් රථය අනතුරට ලක්විමෙන් මව මරුට


විශ්වවිද්‍යාල සිසුවකු පැදවූ වෑන් රථයක් පෙරේදා (28දා) අලුයම මීගමුව මීරිගම මාර්ගයේ කටාන ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් ඔහුගේ මව මියගොස් පවුලේ සාමාජිකයන් හයදෙනෙකු තුවාල ලබා ඇතැයි බඩල්ගම පොලිසිය කියයි.  කටාන නැගෙනහිර කළුවාරිප්පුව පදිංචිව සිටී වත්තලගේ අනුෂා දීපානි (55) නමැති තිදරු මවක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම පවුලේ පිරිස පානදුර ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගීව නිවස බලා එමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

අදාළ රථය පැදවූ විශ්වවිද්‍යාල සිසුවා, ඔහුගේ පියා නිවුන් සහෝදරයන් දෙදෙනා සහ වයස අවුරුදු දෙක හමාරක පිරිමි දරුවකු හා එම දරුවාගේ මව ද තුවාලකරුවන් අතර වන බව පොලීසිය සඳහන් කරයි. අනතුරින් තුවාල ලැබූවෝ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර සිටිති. විදුලි කණුව කැඩී අසල තාප්පයක් ද සුනුවිසුනු වී ඇතැයි පොලීසිය කියයි. වෑන් රථයේ පිටුපස අසුනේ ගමන් කළ මව රෝහලට ඇතුළත් කිරීමේදී මරණයට පත් වී ඇති බව හෙළි වීඇතැයි පොලීසිය සඳහන් කරයි. බඩල්ගම පොලීසියේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවංශ සහ උපපොලිස් පරීක්ෂක රෙජිනෝල්ඩ් යන නිලධාරීහු අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.


මීරිගම - කාන්ති

ගෞතම් අදානි ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිට හත්වැනි ස්ථානයට පසුබසී

 

පසුගිය සතිය ආරම්භයේදී ලොව තෙවැනි ධනවතා ලෙස සැලකුණු ඉන්දියාවේ ගෞතම් අදානි එම සති අන්තය වෙද්දී එහි හත්වැනි ස්ථානයට පත්ව ඇතැයි ජාත්‍යන්තර ව්‍යාපාරික සඟරාවක් වන Forbes සඟරාව මගින් සකස් කරන Forbes rich list ලැයිස්තුව පවසයි. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ පිහිටි කොටස් හුවමාරු ගනුදෙනු පිළිබඳ විශේෂඥ පර්යේෂණ සමාගමක් වන Hindenburg නම් පර්යේෂණ ආයතනයක් විසින් පසුගිය බදාදා (25දා) සිදු කරන ලද අදානි සමූහයේ අක්වෙරළ මූල්‍ය වංචා සහ එම සමූහයේ ණයබරතාව පිළිබඳ අනාවරණයත් සමගින්ම සිදු වූ වෙළෙද පොළ කොටස් වටිනාකම් කඩා වැටීම මේ සදහා හේතුව වී තිබේ.

ඒ අනුව අදාති සමූහයේ මවු සමාගම වන අදානි එන්ටප්‍රයිසස් ලිමිටඩ් සමාගමේ කොටස් වටිනාකම බදාදා දිනයේදී පැවැති රුපියල් 3388.00 සිට සිකුරාදා (27) දිනය වනවිට රුපියල් 2761.00ක් දක්වා පහත වැටී තිබුණි. ඒ අනුව දින දෙකක් තුළදී එම සමාගමේ කොටස් වටිනාකම් 20%කින් පහත වැටී තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා (26දා) යෙදී තිබුණු ඉන්දීය ප්නරජ දිනය නිමිත්තෙන් එදින කොටස් වෙළෙඳ පොළ වසා දමා තිබුණි.එසේම මෙම දින දෙක ඇතුළතදී අදානි සමූහයට අයත් තවත් ලැයිස්තුගත සමාගම් හතක කොටස් වටිනාකම් පහත වැටී තිබූ අතර, මේ හේතුවෙන් අදාති සමූහයට අහිමිවී තිබූ සමස්ත වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 50කට ආසන්න බවද වාර්තා සඳහන් කර තිබුණි.

මෙහිදී සිකුරාදා දිනයේදී පමණක් අදානි එන්ටර්පයිසස් සමාගම 9%කින්ද, අදානි ට්‍රාන්ස්මීෂන් 19.47%කින්ද, අදාති ග්‍රීන් එනර්ජි 19.89%කින්ද, අදානි පවර් 5%කින් සහ අදාති පෝර්ට් සමාගම 13.8%කින්ද කොටස් වටිනාකම් පහළ බැස තිබුණි.  මෙම තත්ත්වය පසුගිය සිකුරාදා දිනය වනවිට ඉන්දියානු කොටස් වෙළෙඳ පොළ Nifty 50 දර්ශකයත් 1%කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහත වැටීමට හේතු විය. මේ අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට පසුගිය සෙනසුරාදා දිනය වනවිට අදානිගේ වත්කමද එක්සත් ජනපද ඩොලර් බිලියන 20කින් පහත වැටී තිබේ. ඒ අනුව සතිය ආරම්භයේදී ඩොලර් බිලියන 117ක් ව තිබූ අදාතිගේ වත්කම සිකුරාදා දිනයේදී ඩොලර් බිලියන 96ක් බවට පත්ව තිබේ. ඒ හේතුවෙන් ඔහු මෙලෙස ලොව ධනවතුන්ගේ ලැයිස්තුවෙහි ස්ථාන හතරක් පහතට වැටී ඇත.

කෙසේ වෙතත් Hindenburg ආයතනයක් සිදුකළ මෙම අනාවරණය ප්‍රතික්ෂේප කරන බව අදාති සමූහය පවසා තිබේ. එසේම එම ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදන බවත් අදාති සමූහය සඳහන් කරයි. මේ අතර ඉන්දියාවේ ප්‍රධානතම විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය අදානිට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙසද පාලක භාරතීය ජනතා පක්ෂය වෙත දැනුම් දී ඇත. ගෞතම් අදාති එරට වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ ළගම ව්‍යාපාරික මෙන්ම පෞද්ගලික හිතවතෙකුද වෙයි.

විශේෂයෙන්ම අදාති සමුහය පසුගිය වසරේදී ඉන්දියාවේ අම්බුජා සිමෙන්ති සමාගමේ සහ ACC සිමෙන්ති සමාගම තුළ තිබූ ස්විට්සර්ලන්තයේ හොල්සිම් සමාගමට අයත් කොටස් අත්පත් කර ගැනීමේදී සිදු වූ බව කියන අක්වෙරළ ගනුදෙනු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. අදානි සිය දේශපාලන හිතවත්කම යොදා ගනිමින් මෙම වංචා සිදුකළ බව විපක්ෂයේ චෝදනාවයි. අද වනවිට අදාති සමුහය වරාය, ගුවන් තොටුපොළ, පුනර්ජනනීය බලශක්තිය ඇතුළුව තවත් කර්මාන්ත රැසක් පුරාම සිය ආධිපත්‍ය පතුරුවා තිබේ. එහිදී ඉන්දියාවට අමතරව එම සමාගමේ මෙහෙයුම් ශ්‍රී ලංකාවද ඇතුළුව අසල්වැසි රාජ්‍යයන් රැසක් පුරාම ව්‍යාප්තව වී ඇත. ඔහුගේ ව්‍යාපාර ජාලයේ සිදු වූ කැපී පෙනෙන නැගී සිටීමත් සමගින්ම ආසන්ත කාලසීමාවේදී ඔහුගේ වත්කම් සීඝ්‍ර ලෙස වර්ධනය වූ අතර, ඒ හේතුවෙන් ඔහු ආසියාවේ විශාලතම ධනවතා මෙන්ම ලෝකයේ තෙවැනි විශාලතම ධනවතා බවට පත්වීමද සිදුවිය.


බුද්ධ ප්‍රතිමාවක ඌර්ණ රෝම ධාතුව සොරා ගත් සැකකරු දැලේ


කළුබෝවිල හත්බෝධිය  විහාරස්ථානයේ බෝධීන් වහන්සේ අසල තැම්පත් කර තිබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ රනින් නිම කළ ඌර්ණ රෝම ධාතුව සොරාගත් සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. කළුබෝවිල ජය සමගි මාවත හංදියේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව සොරාගෙන තිබූ ඌර්ණ රෝම ධාතුව  පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් 19 වෙනි දින අලුයම් කාලයේ දී විහාරස්ථාන භූමියට ඇතුළු වූ පුද්ගලයකු කිසියම් උපකරණයක් ආධාරයෙන් ප්‍රතිමාව තැන්පත් කර තිබෙන කුටියේ දොර විවෘත කර රතින් නිම කරන ලද ග්‍රෑම් දහසයක් බර ඌර්ණ රෝම ධාතුව සොරාගෙන ගොස් ඇති බවට විහාරාධිපති හිමියන් කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරු අත්අඩංගුව ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.


විහාරස්ථානය ආසන්න නිවාසවල ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකරු හඳුනා ගැනීමට හැකි වූ බවද පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සොරාගත් එම ඌර්ණ රෝම ධාතුව කළුබෝවිල ප්‍රදේශයේ රන් භාණ්ඩ නිෂ්පාදනය කරන පුද්ගලයකුට රුපියල් අසූ පන්දහසකට විකුණා තිබියදී සොයා ගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.සැකකරු ලබාගත් මුදල්වලින් හොරෙන් මත්කුඩු පානය කර තිබූ බව පොලීසිය පවසයි.


බිමල් ශ්‍යාමන් ජයසිංහ

කළු ජාතිකයාගේ මරණයත් සමඟින් මෙම්ෆිස් පොලීසියේ SCORPION ඒකකය අහෝසි කර දැමේ

එක්සත් ජනපදයේ මෙම්ෆිස් පළාතේදී පොලිස් අත්අඩංගුවේ සිටියදී කළු ජාතිකයෙකු මරණයට පත්වීමේ සිදුවීමෙන් අනතුරුව එම සිද්ධියට අදාළ මෙම්ෆිස් නුවරස් පොලීසියේ SCORPION ඒකකය ස්ථිරවම අහෝසි කර දැමීමට පොලිස් ප්‍රධානියා පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.පසුගිය ජනවාරි 07වැනිදා සිදු වූ පොලිස් පහරදීමකින් මෙම කළු ජාතිකයා මියගොස් තිබේ. ටයර් නිකොලොස් ලෙස හැදින්වෙන මෙම පුද්ගලයා එදින රාත්‍රියේදී මාර්ග නීති උල්ලංඝනය කළ බවට වන චෝදනාව යටතේ පොලිස් අත්අඩංගුයට පත් වූ අතර, රෝහල් ගතකර දින 03කට පසුව ඔහු මියගොස් තිබේ.


කෙසේ වෙතත් පෙරේදා දිනයේදී එම අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට අදාළ පොලිස් කබා කැමරා වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත් වූ අතර, එහිදී පොලීසිය එම පුද්ගලයාට අමානුෂික අන්දමින් පහර දෙන ආකාරය සටහන්ව තිබේ. ඒ අනුව මෙම පහරදීම්වල ප්‍රතිඵලයක් ලෙස ඔහු මියගොස් ඇතැයි වාර්තා පවසයි. ඒ අනුව මෙම සිදුවීමට සම්බන්ධ මෙම්ෆිස් පොලීසියේ SCORPION ඒකකයේ හිටපු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු මේ වනවිට ඝාතන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් වෙයි.

මෙම්ෆිස් පළාතේ සාමය පවත්වාගෙන යාම සඳහා එහි සිදුවන මාර්ග අපරාධ මෙහෙයුම් පිළිබඳ ඒකකයක් ලෙස (Street Crimes Operation to Restore Peace) මෙය පිහිටුවා තිබුණි.  කළු ජාතිකයන් වැඩි පිරිසක් වාසය කරන මෙම්ෆිස් නගරය, දරුණු අපරාධ ඇතුළු සිදුවීම් වාර්තා වන නගරයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබේ. මේ අතර ටයර් නිකොලොස්ගේ මරණයත් සමග එක්සත් ජනපදයේ මෙම්ෆිස් පළාත ඇතුළුව එක්සත් ජනපදයේ ස්ථාන රැසකම ඇතිවිය හැකි කළු ජාතික උද්ඝෝෂණ හේතුවෙන් එරට ආරක්ෂාව ඉහළ දැමීමටද බලධාරීන් පියවර ගෙන තිබුණි.

මීට පෙර මිනෙආපොලිස්හි සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් සිදුවුණු ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ ඝාතනයත් සමග ඇති වූ විරෝධතා එක්සත් ජනපදය පුරා මෙන්ම යුරෝපය පුරාද දරුණු ලෙස ව්‍යාප්ත විය. කෙසේ වෙතත් ටයර් නිකලොස්ගේ ඝාතනය සදහා සම්බන්ධ වී තිබුනේ තවත් කළු ජාතික පොලිස් නිලධාරීන් පස්දෙනෙකු වන අතර, මෙහිදී සුදු ජාතිකත්වය පිළිබඳ චෝදනාවක් එල්ල වී නොතිබුණි.

අසාධරණ බදු අයකර ගැනීම් නිසා හා පොලි අනුපාත ඉහළ යාම නිසා රට අර්බුදයකට ලක්වීම

රජය විසින් හඳුන්වාදුන් උපයන විට ගෙවීමේ බද්ධට මතුව ඇති සේවක විරෝධය දිනෙන් දින ඉහළ යයි. එසේ වුවද රජයේ පාර්ශවයන් එයට දක්වන යහපත් ප්‍රතිචාරයක්ද නැත. මේ නිසාම එය පුහුණු වෘත්තිකයන් රට හැර යෑමේ ප්‍රවණතාවක් දක්වා වර්ධනය වන ලකුණු දිස් වේ. මේ ඒ පිළිබඳව කරනා විමසා බැලීමකි. අසාධාරණ හා අත්තනෝමතිකව වෘත්තිකයන්ගෙන් අය කරගන්නා බදු ප්‍රතිපත්ති පරාජය කිරීම සඳහා හා බැංකු පොලී ඉහළ යාමට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව වෘත්තීය සමිති සඳහන් කරයි. වෘත්තිකයන්ගේ හඬට සවන් නොදෙමින්, පසුගිය මාසයේදී පාර්ලිමේන්තුව තුළින් සම්මත කරගත් සංශෝධිත දේශීය ආදායම් පනත ක්‍රියාත්මක කිරීම මේ මස වැටුපේ සිට සිදුකරමින් තිබෙන බවද වෘත්තීය සමිති පෙන්වා දෙයි. මේ අනුව මෙම අසාධාරණ බදු ක්‍රමය කඩිනමින් සංශෝධනය කරන ලෙස ඉල්ලා හා බැංකු පොලී අඩු කරන ලෙස ඉල්ලා අද (30දා) සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව වෘත්තීය සමිති සඳහන් කරයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගවලට අනුව අද (30දා) වරාය සේවකයත් පැයක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හා විරෝධතා ව්‍යපාරයක් පැවැත්වීමට තීරණය කර තිබේ. 

මීට අමතරව මෙම බදු ක්‍රමය සරල කරන ලෙස ඉල්ලා ඉදිරියේදී සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති 30ක් අද (30දා) කොළඹදී රැස්වීමට නියමිතය. අසාධාරණ බදු ක්‍රමයට විරෝධය පෑමට හා අසාධාරණ ලෙස ඉහළ දමා තිබෙන බැංකු පොලිය පහළ දමන ලෙස ඉල්ලා මෙන්ම තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන මස 09වන දින දිවයිනම ආවරණය වන පරිදි ජාතික විරෝධතා දිනයක් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාවගෙන් අතිබහුතරයක් පීඩාවට පත් වී තිබෙන අතර, සමහර සේවකයන්ට රැකියා පවා අහිමි වී තිබේ. මෙවන් තත්ත්වයක් තුළ රාජ්‍ය සේවකයන් ඇතුළුව ජනතාව විසින් බැංකුවලින් ලබාගත් ණය සඳහා අයකරන පොලී අනුපාත 9% සිට 15% දක්වා ඉහළ ගොස් තිබෙන අතර, ව්‍යාපාරිකයන් 10%ක පොලියකට ලබාගත් ණය සඳහා මේ වන විට පොලී අනුපාත 20%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ව්‍යාපාරිකයන් සඳහන් කරයි. පවතින ආර්ථික අර්බුදය තුළ ජනතාව හා රාජ්‍ය සේවකයන් ලබාගත් ණය සඳහා අය කළ පොලී මුදල් ක්ෂණිකව ඉහළ දැමීමෙන් ජනතාවට හා ව්‍යාපාරිකයන්ට ඇතිකර තිබෙන්නේ අතිරේක පීඩනයකි.

රටක් පවත්වාගෙන යාමට අතිවිශාල ලෙස ආදායම් උපයාගන්නා රාජ්‍ය සේවකයන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් සාධාරණ ලෙස බදු අය කළ යුතු වේ. එහෙත් මේ වන විට අප රට තුළ සිදුවෙමින් තිබෙන්නේ ජනතාව තළා පෙළා බදු එකතු කර ගැනීමය. ජනතාව උපයා ගන්නා දෙයකින් කොටසක් බදු වශයෙන් අය කරගෙන හා ලෝකයාට ණය වෙමින් රට පවත්වාගෙන යා නොහැක. එහෙත් මෙම න්‍යාය වර්තමාන පාලකයන්ට හෝ මෙතෙක් රට පාලනය කිරීමට කටයුතු කළ පාලකයන්ට තේරුම් ගියේ නැත. මේ නිසා මෙතෙක් රට පාලනය කළ පිරිස් හා වර්තමානයේ රට පාලනය කරන පිරිස් උත්සාහ ගනිමින් තිබෙන්නේ ජනතාවගේ බදුවලින් හා ණයවලින් රට පවත්වාගෙන යාමට වුවත්, මේ වන විට ලෝකයාගෙන් උපරිම ලෙස ණය ලබාගැනීම නිසා හා ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ලෝකයා අප රටට ණය ලබාදීම නවතා දමා තිබේ.

රටක් දියුණ කිරීම සඳහා මූලික වශයෙන් ආනයනය අඩු කර ගනිමින්, අපනයනය ඉහළ දමා ගැනීම හා ඩොලර් ආදායම් ලබාගත හැකි සේවා සැපයීම් සිදුකළ යුතු වේ. තේ සහ ඇගලුම්, රබර්, කුළුබඩු ඇතුළු සීමිත භාණ්ඩ කිහිපයක් අපනයන කිරීම හැර රට තුළ පවතින අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන නිමි ද්‍රව්‍ය සකස් කර අපනයන ආදායම් ඉහළ දමා ගැනීමට අවශ්‍ය කටයුතු නිසි ලෙස සිදුකිරීමට කිසිදු පාලකයෙකු සමත් වූයේ නැත. මේ ආකාරයට තොග වශයෙන් තේ මිලදී ගන්නා සමාගම් විසින් විවිධ ඇසුරුම්වල බහා හා අගයන් එකතු කර අතිවිශාල මුදලක් උපයා ගැනීමට කටයුතු කරනු ලබයි. මීට අමතරව රට තුළ නිෂ්පාදනය කළ හැකි කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා රටට අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීමට කටයුතු කරන අතර, මේ සඳහා වාර්ෂිකව අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් වියදම් කරනු ලබයි. පවුලකට අවශ්‍ය වියදම් සොයා ගැනීම ගෘහමූලිකයා ඇතුළු පවුලේ පිරිස්වල වගකීමක් වන අතර, රාජ්‍ය පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් සොයා ගැනීම රාජ්‍යය පලනය කරණ පිරිස්වල වගකීමක් වේ. 

එහෙත් පාලකයන් රාජ්‍යයේ ආදායම් ඉහළ දමා ගැනීමට උත්සාහ කරන්නේ ජනතාව තළා පෙළා බදු එකතු කර ගැනීමෙනි. පොදුවේ ජනතාව තළා පෙළා බදු එකතු කර ගැනීමට කටයුතු කළත්, ගෙවී ගිය කාලය තුළදී එයට එරෙහිව ජනතාව විශාල ලෙස විරෝධතා දැක්වූයේ නැත. මේ නිසා පැවැති ආණ්ඩු සිදුකරනු ලැබුවේ අය වැය තුළින් බදු පනවමින් හා ජල විදුලි බිල්පත් මිල ඉහළ දමමින් ජනතාවගේ මුදල් එකතු කර ගැනීමය. වර්තමාන ආණ්ඩුවත් පසුගිය අය වැය තුළින් ජනතාව මත බදු පැටවීම සිදුකළ අතර, එම බදු මුදල්වලට එරෙහිව ජනතාව විරෝධතා දැක්වූයේ නැත. එහෙත් රුපියල් ලක්ෂයකට වැඩියෙන් වැටුප් ලබාගන්නා වෘත්තිකයන්ගෙන් බදු අය කර ගැනීමට යාම නිසා, ආණ්ඩුවට එරෙහිව මේ වන විට විරෝධා  ගොඩනැගෙමින් තිබේ.

ගෙවී ගිය සතියේදී රාජ්‍ය සේවකයන් විවිධ වෘත්තීය ක්‍රියා සිදුකළත් ආණ්ඩුව පැත්තෙන් ලිහිල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන ආකරයක් දක්නට ලැබුණේ නැත. අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා වෘත්තිකයන්ගෙන් සමහර පිරිස් මේ වන විට රට හැර ගොස් තිබෙන බවට වෘත්තීය සමිති චෝදනා කරන අතර, මේ හේතුව නිසා රටට විශාල පාඩුවක් සිදුවෙමින් තිබෙන බවද පෙන්වා දෙයි. බදුවලට එරෙහිව යම් ලෙසකින් ඉදිරි දිනවල වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකළහොත්, එමගින්ද සිදුවන්නේ රට ආර්ථික අර්බුදයකට ලක්වන තැනකට පත්වීමය. ජනතාවගෙන් අය කරගන්නා බදු මුදල් වියදම් කිරීමට පාරදෘශ්‍ය ක්‍රියාවලියක් නොමැති වීමත්, හිතමිතුරන්ට ලබාදෙන බදු සහන මෙන්ම පාලනයක් නොමැති වංචාව, දූෂණය සහ නාස්තියත් නිසා අප රට තවත් අර්බුදයක් කරා ගමන් කරමින් පවතී. අධික ලෙස ආදායම් උපයාගන්නා පිරිස් රජයට බදු ගෙවීම පුරවැසි වගකීමකි. එහෙත් පවතින ආර්ථික අර්බුදය තුළ ජනතාවගෙන් බදු අය කරගත යුත්තේ ජනජීවිතයට බාධාවක් සිදුනොවන ආකාරයටය. 

ආණ්ඩුව සිදුකරමින් තිබෙන්නේ කෙටිකාලීනව හිමිවන සුළු ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් අධික ලෙස බදු අය කර ගැනීමට උත්සාහ කර, රටේ අනාගතය දැඩි අනතුරක හෙළීමට කටයුතු කිරීමය. රට පවත්වාගෙන යාමට මුදල් නොමැති නම්, ආණ්ඩුවට පහසුවෙන්ම සිදුකළ හැකි කාරණයක් වන්නේ මේ දක්වා කාලය තුළ බදු ගෙවීම් පැහැර හැර තිබෙන ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ දේපළ රාජසන්තක කර හෝ මුදල් සොයා ගැනීමය. මීට අමතරව ව්‍යාපාරිකයන් අප රටේ තිබෙන භාණ්ඩ අපනයන කර උපයාගත් අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් විදේශ රටවල රඳවා තබාගෙන සිටින බවට වෘත්තීය සමිති සඳහන් කරන අතර, අදාළ මුදලින් කොටසක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළහොත් ඒ තුළින් රටේ පවතින ආර්ථික අර්බුදය යම් ප්‍රමාණයකින් විසදා ගත හැකි බවද වෘත්තීය සමිති පෙන්වා දෙයි. එහෙත් ආණ්ඩුව විසින් සිදුකරමින් තිඛෙන්නේ, අසාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් රට තව තවත් අර්බුදයකට ඇද දැමීමය.

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව ස්වකීය විරෝධය පාමින් සියලු වෛද්‍යවරුන්ගේ අත්සනින් යුත් විරෝධතා පෙත්සමක් රජයට භාරදීමටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කටයුතු කර තිබේ. මීට අමතරව මේ මස 23 වනදා සිට 27වන දින දක්වා වෛද්‍යවරුන් එකාබද්ධ කර ගනිමින් කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත්කරමින් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරනු ලැබිණි. යම් ලෙසකින් ඉදිරියේදී වෛද්‍යවරුන් විසින් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකළහොත් මෙරටේ දසදහස් ගණනක් රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට පත්වීම වළක්වාගත නොහැකිය. එමෙන්ම වරාය සේවකයන් සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකළහොත් ඒ තුළින් වරායේ කටයුතු අඩපණ වී රටට ලැබෙන ඩොලර් ටිකත් අඩු වී යනු ඇත. මේ නිසා වෘත්තිකයන් සමග සාකච්ඡා කර සාධාරණ බදු අයකර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පාලකයන්ගේ වගකීමක් වන අතර, මීට අමතරව දැනට ලබාගෙන තිබෙන ණයවලට අදාළව අධික ලෙස ඉහළ දමා තිඛෙන පොලී මුදල අඩු කිරීමටත් ආණ්ඩුව මැදිහත් විය යුතු වේ. මන්දයත් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගවලට ප්‍රධාන නිමිත්තක් වී තිබෙන්නේ අසාධාරණ බදු අයකර ගැනීම හා පොලි මුදල ඉහළ යාමය.

 ඉන්දික හේවාවිතාරණ


පාරේ ගිය විශ්‍රාමික ගුරුවරිය වැළඳගෙන අතවර කරලා


වෙළඳසලකට යමින් සිටි විශ්‍රාමික ගුරුවරියකට ලිංගික අතවර කළ බව කියන හිටපු එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.  සැකකරු පැමිණි කුඩා ලොරි රථයක්ද පොලිස් බාරයට ගෙන ඇත. අතවරයට පත් ගුරුවරිය හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.  ගුරුවරිය මොරගහහේන මිල්ලෑව ධම්මානන්ද පෙදෙසේ වෙළඳ සලකට යමින් සිටියදී ලොරි රථයෙන් පැමිණි සැකකාර මන්ත්‍රීවරයා එයින් බැස විත් ගුරුවරිය යන මග හරස් කර ඇය වැළඳගෙන ලිංගික අතවර කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මහත් ආයාසයක් දරා සැකකරුගෙන් මිදී අසල නිවසකට පලා ගොස් දොර වසා ගත් ගුරුවරිය පසුපස හඹා ආ සැකකාර මන්ත්‍රීවරයා එම නිවෙස් හිමි කාන්තාවගෙන් ඇය පිළිබඳ විමසීමේ දී ඇය පිටුපස තාප්පෙන් පැන පලා ගිය බව සැකකරුට පවසා ඇති බව පොලිස් විමර්ශන වල දී අනාවරණය වී ඇත.

සැකකරුගේ එම ක්‍රියාව හේතුවෙන් පපු ප්‍රදේශය සීරිම් තුවාලවලට ලක්ව රිදුම් දෙන බව පවසමින් අතවරයට පත් හිටපු ගුරුවරිය 119 හදිසි ඇමතුම් අංශයට කළ පැමිණිල්ලක් අනුව මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සැකකරු ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා එම හිටපු ගුරුවරිය සමග කළ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් ද විමර්ශන වල දී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය. සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



 බිමල් ශ්‍යාමන් ජයසිංහ



මැතිවරණ කොමිසමේ සාමාජිකට මරණ තර්ජන


මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන එම්.එම්. මොහොමඩ් මහතාට කොමිසමේ කටයුතුවලින් වහා ඉල්ලා අස්වන ලෙසට හා එසේ ඉල්ලා අස් නොවුණහොත් ගෙල කපා මරා දමන බවට යම් පුද්ගලයකු ඉකුත්දා (27) තර්ජනය කර ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.මොහොමඩ් මහතා ඒ සම්බන්ධයෙන් එදිනම රාත්‍රියේ නිට්ටඹුව මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත. සිය ජංගම දුරකතනයට ලැබී තිබූ ‘මිස් කෝල්’ එකින් එක පරීක්ෂා කරමින් මොහොමඩ් මහතා එම අංකවලට ඇමතුම් ලබා ගෙන ඇති අතර එසේ ලැබී තිබූ “ මිස් කෝල්” එකකට ඇමතුමක් ලබා ගත් අවස්ථාවේ එම ඇමතුමදී තිබූ පුද්ගලයා ඔහුට මෙලෙස තර්ජනය කර ඇතැයි වාර්තා වේ.

උඹ ඉල්ලා අස්වෙන්නේ නැද්ද ඉල්ලා අස් නොවුණහොත් උඹ ජීවත්වන්නේ මාසයක් පමණක් යැයිද කියා ඔහුට මරණීය තර්ජනය කළ බව මොහොමඩ් මහතා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මොහොමඩ් මහතාට මරණීය තර්ජනය කළ පුද්ගලයා ‘බෙල්ල කපන බව දැනගනින්' යනුවෙන් සඳහන් කර “වට්ස්ඇප් පණිවිඩයක් එවා ඇතැයි ඔහු කළ පැමිණිල්ලේ සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් කීවේය. මොහොමඩ් මහතාට මරණීය තර්ජනය කිරීමට යොදාගත් බව කියන ජංගම දුරකතන අංකයද ඔහු පොලිසියට දී ඇත.මෙම තර්ජනයෙන් පසුව ඔහුගේ නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටි නිවෙසට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇත.

මොහොමඩ් මහතාට මරණ තර්ජන කිරීමේ සිද්ධියේ වැඩිදුර පරීක්ෂණ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියමයෙන් රහස් පොලිසියට බාර දුන් බව පොලිස් මූලස්ථානය සඳහන්  කරයි. රහස් පොලිස් කණ්ඩායමක් ඒ මහතාගේ නිවෙසට පෙරේදා (28) ගොස් සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කරගෙන මරණ තර්ජනය කිරීමට යොදාගත් බවට පැවසෙන ජංගම දුරකතන අංකයද මොහොමඩ් මහතාගෙන් ලබාගෙන ඇත. මේ අතර මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයන් දෙදෙනකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ සහ මහා භාණ්ඩාගාරයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයකු වන සෙනෙවිරත්න බණ්ඩාර දිවාරත්න යන මහත්වරුන්ටද කොමිසමේ රාජකාරි කටයුතුවලින් වහාම ඉල්ලා අස්වන ලෙස දුරකතනයෙන් තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවැසීය.

මෙම ඇමතුම් සියල්ලම එකම ජංගම දුරකතන අංකයකින් ලැබී ඇති බවට විමර්ශවලින් හෙළි වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.එම ඇමතුම් ඩුබායිහි සිටින පුද්ගලයකුගෙන් ලැබී ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මරණ තර්ජන වලින් පසුව ඔවුන් දෙදෙනා පදිංචිව සිටින නිවාසවලටද විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයා ඇත. මෙම තර්ජන එල්ල කරන අංකය ගාල්ල ප්‍රදේශයේ ලිපිනයකට ලියාපදිංචි කර ඇති බවත්, ඒ ලිපිනය ඔස්සේ සිදු කළ විමර්ශනයේදී එම පුද්ගලයා දැනට ලංකාවේ නොමැති බවට හෙළිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම ඇමැතුම් සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලයාට දැනුමක් නොමැති බවටද හෙළිවී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.  විදේශ රටක සිට එන මෙම ඇමැතුම් සම්බන්ධයෙන් විදුලි සංදේශ කොමිෂන් සභාව හා ටෙලිකොම් ආයතනයේ සහය ලබාගෙන විමර්ශන සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

 ඉන්දිකා රාමනායක

මේ කාලයේ උණට හතිය එනවාද?


කාලෙන් කාලයට විවිධ වයිරස රෝග රටපුරා පැතිර යයි. ඒ අතරට විවිධ වෙනස්කම් ඇති කරමින් වයිරස් උණ ද පැතිර යාම වසර පුරාම කඩින් කඩ දක්නට ලැබේ. මේ කාලයේ ද කුඩා දරුවන් අතර වයිරස උණක් පැතිර යාමට පටන් ගෙන තිබේ. මේ වයිරස් උණ දරුවන් අතර විවිධ වෙනස්කම් ඇති කරන බවත් පැහැදිලිව පෙනේ. මෙනිසාම මේ පැතිර යන්නේ කොවිඞ් ආසාදනයේ යම් ප්‍රභේදයක් දැයි ජනතාව අතර සැකයක් පවතී. එහෙත් උණ වයිරස හා බැක්ටීරියා හේතුවෙන් කාලයෙන් කාලයට පැතිර යා හැකිය. සාමාන්‍යයෙන් මේ කාලයේ පැතිර යන වයිරස උණ පහසුවෙන් දරුවන් අතර බෝවීම සිදුවේ. 


රෝග ලක්ෂණ


මෙම වයිරස උණට සෙම කැස්ස තදින් ඇතිවේ. ඇතැම් විට කැස්ස සමඟ දරුවාට හාතිය ඇතිවේ. පාන්දර හතිය ගතිය එනම් පපුවේ මහන්සිය වැඩිවේ. මෙනිසා දරුවාට රාත්‍රියට පාන්දරම වැඩියෙන් කැස්ස ඇති වේ.කැස්ස සමග හොටු දියර ඇතිවේ. ඒ සමඟ උණ ගැනේ.


මෙම ලක්ෂණ සමහර දරුවන්ට වෙනස්ය. සමහරුන්ට කැස්ස හෙම්බිස්සාවෙන් පසු උණ ගැනේ. සමහරුනට උණ තදින් ඇතිවේ. සමහරුන්ට යාන්තම් උණ පවතී. බැක්ටීරියා මගින් උණ ගැනුණොත් ඇතිවන තත්ත්වය තරමක් ප්‍රබලය. බොහෝ විට තදින් උණ ගැනේ. සෙම හා සෙම කැස්ස ඇතිවේ. මෙවැනි තත්ත්වයක දී ප්‍රතිජීවක දිය යුතුමය.

එහෙත් වයිරස් උණට ප්‍රතිජීවක අවශ්‍ය නැත. තදින් සෙම කැස්ස ඇති වුවහොත් වෛද්‍ය පරීක්ෂාවෙන් පසු ප්‍රතිජීවක ඖෂධ ලබා දෙයි. මෙම උණට ප්‍රතිකාර ලබා දෙන්නේ රෝග ලක්ෂණ සඳහායි. මෙසේ කාලෙන් කාලෙට පැතිර යන උණ දරුවාට වැළඳුන ද බිය විය යුතු නැත. එහිදී රෝග ලක්ෂණ තරමින් වැඩි නම් ප්‍රතිකාර කළ යුතුය. මෙම උණත් සමග මීට පෙර හතිය නොසෑදෙන දරුවන්ට වුව ද හාතිය ඇති විය හැකිය. එහෙත් එසේ සෑදුනාට එම හතිය දිගටම ඇති වන්නේ නැත.ඒ වයිරසයේ ලක්ෂණයකි. 


හතියට හේතු


හතිය නොතිබූ දරුවාට වුවද උණ ප්‍රතිශ්‍යාව සමඟ හතිය එන්නේ ශ්වසන මාර්ගයට වයිරසය ආසාදනය වීම නිසාය. එසේ වූ විට ශ්වසන නාලිකා පහසුවෙන් හැකිළීමට පටන් ගනී. එය සිදුවන්නේ තාවකාලිකවය. එවිට රාත්‍රියට පාන්දරට දරුවාට හතිය ඇතිවේ. මෙසේ පැන නගින හතිය වයිරසය පහව යන විට අඩුවී යයි. එම හතිය දිගු කාලයක් තිබෙන්නේ නැත.


හතිය තිබෙන දරුවා.


එහෙත් හතිය තිබෙන දරුවකුට මෙම උණත් සමග සෙම කැස්ස හතිය වැඩි විය හැකිය. හතිය තිබෙන දරුවකුට මෙම වයිරස උණ ගැනුණොත් සැලකිලිමත් විය යුතුය. ඒ වයිරස උණ නිසා හතිය වැඩි විය හැකි නිසාය. මේ හැර හතිය නොතිබූ දරුවකුට උණ සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස අඩුවූ විට හතියත් සති 1-2න් පහව යා හැකිය.වසරට අඩු දරුවන්ට මෙම වයිරස උණ තරමක් අපහසුතා ගෙන දෙයි. ඒ ශ්වසන අපහසුතා ඇති වීමෙනි.මේ හැර වෙනත් රෝගවලින් පෙළෙන විශේෂයෙන් හෘද රෝගවලින් පෙළෙන දරුවන්ට මෙම වයිරස උණේ බලපෑම වැඩිය.


ප්‍රතිකාර මොනවාද?


උණ තිබෙන විට වයසට අනුව නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් ඖෂධය පැය හයකට වරක් දිය හැකිය. මේ හැර කැස්ස ඇති විට වෛද්‍ය උපදෙස් මත සරල ඖෂධ නියම කරනු ඇත. මෙම වයිරස උණේ විශේෂත්වයක් වන්නේ උණ සෙම්ප්‍රතිශ්‍යාව ඉක්මනින් අඩු වුවත් කැස්ස සති 1 - 2 ක් පමණ තිබීමය. ඇදුම රෝගයෙන් පෙළෙන දරුවන්ට ඇදුම සමගම කැස්ස සති කිහිපයක් තිබිය හැකිය. එහෙත් හතිය කැස්ස කියා රෝහල් ගත කිරීම අවශ්‍ය නැත. එහෙත් හතිය උත්සන්න වුවහොත් ස්වසන අපහසුතා ඇතිවන බැව්න් කුඩා දරුවන්ට එය වඩාත් අපහසුතා ඇති කරන නිසා රෝහල් ගත කර ප්‍රතිකාර කිරීම සුදුසුය. මේ හැර දරුවා හුස්ම ගන්නා විට පිටතට ඇසෙන තරමට ඇදුම හතිය ශබ්ද තිබේ නම් රෝහල් ගත කිරීම සුදුසුය.


නිවසේ දී ප්‍රතිකාර


උණ සෙම්ප්‍රතිශ්‍යාවට දරුවා රෝහල් ගත කළයුතු නැත. රෝහල් ගත කළ යුත්තේ දරුවාට හුස්ම ගැනීමේ අපහසුතා සමඟ තදින් කැස්ස උණ තිබේ නම් පමණි.


සේදීම සුදුසු ද?


දරුවාට සෙම කැස්ස උණ තිබෙන විට සීතල වතුර නෑවීම සුදුසු නැත. එවිට කැස්ස හතිය වැඩිවේ. එහෙත් මද උණුසුම් ජලයෙන් දරුවාගේ ඇඟ සෝදන්න. නෑවීම නොකළ යුතුය. සාමාන්‍යයෙන් හතිය තිබෙන දරුවකුට මෙම වයිරස උණ ගැනුණොත් සෑම විටම මද උණුසුම් ජලය පානයට දෙන්න. උණුසුම් ජලයෙන් ඇඟ සෝදන්න සීතල ජලය පාවිච්චි නොකළ යුතුය.


පාසල් යැවීම සුදුසුද?


පෙර පාසල, පාසල මගින් මෙවැනි රෝග නිතර නිතර දරුවන් අතර වැළදෙයි. සාමාන්‍යනේ මෙම වයිරස උණට කැස්ස සති 1- 2 ක් පමණ තිබේ. ඒ කාලයේ දරුවා දුවිලි වලින් අයින් කරන්න. උණු ජලය නිතර පානයට දෙන්න.


බෝවෙනවා ද?


මෙම වයිරස් උණ ඉතා ඉක්මනින් බෝවෙයි. එසේම දරුවාට එක වරක් සැදුණු විට නැවත නොසෑ දෙන්නේ නැත. එය කිහිප වරක් සෑදිය හැකිය. මෙම උණ දරුවන් අතර මෙන්ම දරුවාට වැඩිහිටියන් තරුණ දූ දරුවන් ගෙන් බෝවිය හැකිය.


ආහාර - දිය යුතුද?


උණ සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස තිබුණා කියා කිසිම ආහාරයක් නොදී සිටිය යුතු නැත. දරුවා කැමති නම් ඉල්ලනවා නම් ඕනෑම ආහාරයක්, පානයක් දෙන්න. එහෙත් මේ කාලයේ සීත කළ ආහාර පාන දීම අඩු කරන්න. එයින් ඇදුම, සෙම කැස්ස වැඩිවේ. දරුවාට ශ්වසන අපහසුතා වැඩියෙන් දැනේ. එනිසා හැකි පමණ උණුවෙන් ආහාර පාන දෙන්න. මෙම උණ දින කිහිපයකින් පහව යනු ඇත. 


සටහන - ශිරානි ගල්ලෑල්ල


කෝ උඹගේ ඩ්‍රයිවර්ලා ගෝලයෝ කියා බස් හිමිකරුට බිම දාගෙන පහර දිලා



හෝමාගම ගොඩගම බස්රථ හිමි ව්‍යාපාරිකයකුගේ නිවසට පෙරේදා (28) රාත්‍රී තියුණු ආයුධ සහ යකඩ පොලු රැගෙන කඩා වැදුණු දස දෙනකුගෙන් පමණ පිරිසක් සිදුකළ පහර දීමෙන් එම ව්‍යාපාරිකයා සහ රියදුරකු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.  ත්‍රීරෝද රථ, මෝටර් රථ සහ යතුරු පැදිවලින් පැමිණ තිබූ සන්නද්ධ පිරිස දෙමහල් නිවසේ ඉදිරිපස දොර කඩා නිවස තුළට කඩා වැදී එහි දේපළවලට අලාභානි කරමින් ව්‍යාපාරිකයාගෙන් "කෝ උඹගේ ඩ්‍රයිවර්ලා, ගෝලයෝ ටිකයි" යනුවෙන් පවසමින් ව්‍යාපාරිකයාට බිම දමා හිස හා පපු ප්‍රදේශයට ද පහරදී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පැමිණි පිරිසගේ ශබ්දය ඇසී ඉහළ මාලයේ නිදා සිටි රියැදුරකු පහත මහළට පැමිණීමත් සමඟම ඔහුට ද එම පිරිස එක්ව පහර දී ඇත. අනතුරුව එම පිරිස මීගොඩ කොස්හේන ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයාගේ පුතුගේ නිවසට සහ එහි නවතා තිබු යතුරු පැදියකට ගල් මුල්වලින් පහර දී අලාභානි කර ඇතැයි ද පොලිස් නිලධාරියෙක් පැවැසීය.  ව්‍යාපාරිකයාට අයත් බස් රථයක් පෙරේදා (28) කොළඹ සිට හෝමාගම දෙසට පැමිණීමේ දී තවත් බස් රථයක් ද කොළඹ සිට පාදුක්ක කරා පැමිණ ඇතැයි ද මගීන් ගැනීමේදී රියදුරන් දෙදෙනා සහ කොන්දොස්තරවරුන් දෙදෙනා අතර ඇති වූ ප්‍රශ්නයක් එදිනම සමථයකට පත් වී තිබූ බවට පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබිණි.

එම බස් රථය හිමි පුද්ගලයා සහ ඔහුගේ ගෝල බාලයන් පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවත් පහර කෑ බස් රථ ව්‍යාපාරිකයා පිරිස හඳුනාගෙන ඇතැයි ද පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. පහර කෑ ව්‍යාපාරිකයා හා රියදුරු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.  මීගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.


 බිමල් ශ්‍යාමන් ජයසිංහ

කොළඹ පාසලක පිරිත් පින්කමකදී බීමත් ගුරුවරයෙක් සිසුවාට කන පැලෙන්න ගහලා


කොළඹ ප්‍රදේශයේ පාසලක පැවැති පිරිත් පින්කමකදී බීමතින් සිටි එහි ගුරුවරයකු උසස් පෙළ සිසුවකුට පහරදී ඇතැයි එම සිසුවාගේ මව කොම්පඤ්ඤ වීදිය පොලිසියට පැමිණිලි කර ඇත.  පිරිත් පින්කම් අතර මැද අලුයම 2.30 ට පමණ පැමිණි එම ගුරුවරයා සිසුවා නිදා සිටි බවට චෝදනා කරමින් ඔහුට පහරදී ඇතැයිද ඒ අවස්ථාවේ ඔහුගේ කන ඇතුළත තුවාල වී ලේ වහනය වීමක් සිදු වී ඇතැයිද එම පැමිණිල්ලේ සඳහන් වේ.නිදා සිටි සිසුන් කීප දෙනකුටම එම ගුරුවරයා පහරදී ඇති බවත් තම පුත්‍රයාගේ මුහුණ හා කම්මුල් ප්‍රදේශයට තදබල ලෙස පහර කීපයක් වැදී ඇති බවත් මවගේ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මේ පිළිබඳව  කළ විමසුමකදී පහරකෑ සිසුවාගේ මව පැවසුවේ පාසලේ වාර්ෂික පිරිත් පින්කම දින එම ගුරුවරයා තවත් ගුරුවරුන් පිරිසක් සමග මත්පැන් පානය කළ බව සිසුන් දැක ඇති බවය. තම දරුවා විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර ප්‍රතිකාර ලබාගත් බවද පැමිණිල්ල පිළිබඳව විදුහල්පතිවරයා කිසිදු පියවරක් නොගත් අතර සිද්ධියෙන් දින කීපයකට පසුව විදුහල්පතිවරයා විශ්‍රාම ගිය බවද දරුවාගේ මව පැවසුවාය.

 රංජන් කස්තුරි

Friday, January 27, 2023

මේ අසාර්ථක රාජ්‍යක උගුතුන් රට හැර යන කාලයකි

තමන්ගේ රටේ සිට තවත් රටකට සංක්‍රමණය වීම ලෝක ප්‍රවණතාවකි. විවිධ හේතූන් මත මිනිස්සු රට රටවල් අතර සංක්‍රමණය වීම අද සාමාන්‍ය සිදුවීමකි. නමුත් ලංකාවේ මේ මොහොතේ ඇති වී තිබෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයකි. ලංකාව තුළ මේ මොහොතේ දක්නට ලැබෙනුයේ රටේ ජීවත් වන මිනිස්සුන්ට ජීවත් වීම පිළිබදව කාලාන්තරයක් තිස්සේ තිබුණු බලාපොරොත්තු අහිමි වීම තුළ මිනිස්සු රට හැර යාමේ තත්ත්වයකි. එහිදී උගත් පුද්ගලයන්ද, නූගත් පුද්ගලයන්ද, ගැහැනුද, පිරිමිද, ශිෂ්‍යයන්ද ලෙසින් වර්ග කිරීමකින් තොරව පුද්ගලයන් රට හැර යාමේ ප්‍රවණතාවකට පැමිණ තිබේ. මොකක් හෝ ක්‍රමයකින් ගුවන් යානාවක් පැමිණියහොත් එහි එල්ලී මාලදිවයිනට හෝ ඉතියෝපියාවට හෝ පනිනවාය යන හැඟීමෙන් ලංකාවේ පුද්ගලයන් මේ වන විට සිය මනස සූදානම් කරගෙන තිබේ. එම මානසිකත්වය වර්ධනය වීම විශාල ගැටලුවකි. 


දිනෙන් දින මිනිසුන්ගේ බලාපොරොත්තු විරහිතවීම්, ජීවන වියදම ඉහළ යෑම, ඒ හරහා අවස්ථා අහිමි වීම යන කාරණා හේතුවෙන් මිනිසුන් තුළ වර්ධනය වුණු පීඩනය නිසා කෙසේ හෝ වෙනත් රටකට පැන යාමේ මානසිකත්වය නිර්මාණය වී ඇත. පසුගිය වසරත් මේ වසරත් අතරදී විශාල ලෙසින් මේ මානසිකත්වය මත විදෙස්ගත වුණු පිරිස පැහැදිලි ලෙස වැඩි වී තිබේ. මෙයින්  ඇතිවන ඛේදවාචකය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා අප සමග පැවැත්වූ සාකාච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසී ඇත.


අධ්‍යාපන අවස්ථා අහිමි වීම මත රට හැර යාම


ලංකාවේ අධ්‍යාපනයට මෑත කාලයක් වනතුරුත් විශාල පිළිගැනීමක් තිබිණි. අ.පො.ස සාමාන්‍ය පෙළ, අ.පො.ස උසස් පෙළ යනු ජාත්‍යන්තර මට්ටමේ තිබුණු අධ්‍යාපන සුදුසුකමකි. මීට පෙර සිසුන් උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වූයේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ ලංකාව තුළ පෙනී සිට එම ප්‍රතිඵල විදෙස් විශ්වවිද්‍යාලවලට පෙන්වාය. නමුත් අද ඒ පිළිබදව තිබෙන විශ්වාසයද බිඳවැටී තිබේ. අපට මොනවා වුණත් කමක් නෑ අපේ දරුවන් හෝ ගොඩයන්න ඕනේ වැනි ආකල්පයෙන් දරුවන්ව හෝ වෙන රටකට යැවීමට අද වන විට දෙමාපියන් පෙලඹී ඇත. දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ලංකාවේසිට මොනවා හෝ අයුරකින් ජීවත් වීමට හැකිය යන බලාපොරොත්තුව අද වන විට බිඳීගොස් තිබේ.


මේ ආකාරයට දරුවන් රට හැර යාමේ ප්‍රතිඵලය මේ වන විටත් රටට විශාල ලෙසින් බලපා තිබේ. බහුතරයක් දරුවන් පිටරට යෑම තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේදී දරුවන් අතර තිබෙන තරගකාරීත්වය අඩු වෙයි. එහිදී හොඳම දරුවන් පිටට ගිය පසු තරගකාරීත්වය නැති වීම තුළ ඉතිරි වන දරුවන් මානසික පීඩනයකට ලක්විය හැක. එමෙන්ම 'තමන්ගේම පන්තියේ සිටි තමන්ගේ යාළුවා යනවා, මට මේක ඇතුළෙ කරගන්න දෙයක් නැහැ කියන මානසිකත්වය දරුවන්ට ඇති වෙයි. සිසුන් රට හැර යාමේ ප්‍රතිඵලය තවත් වසර දහයකින් හෝ පහළොවකින් නොව එය මේ වන විටත් ඇති වී තිබේ. පසුගිය වසරේ සාමාන්‍ය පෙළ උසස් පෙළට මුහුණ දුන් සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් අද වන විට විදෙස්ගත වී තිබේ. මේ වන විට විශ්ව විද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ. ආර්ථික අපහසුතා හේතුවෙන් විශ්වවිද්‍යාල නඩත්තු කරගැනීමට නොහැකි වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාලවල දරුවන් ආචාර්යවරුන් විශ්වවිද්‍යාලය හැර ගොස් තිබේ.  විශේෂයෙන් පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි හදාරමින් සිටි දරුවන් ලංකාවේ කරන පශ්චාත් උපාධිය අත්හැර ලංකාවෙන් පිටව ගොස් ඇත. එයින් ලංකාව ඇතුළේ නව දැනුම ඇති  කළ හැකි පිරිස රටට අහිමි වෙයි. එය ඉතා දරුණු ඛේදවාචකයකි.  


දේශීය ව්‍යාපාරිකයන් රට හැර යාම සහ ව්‍යවසායකත්වයට ඉඩ අහිමි වීම 


එමෙන්ම මහා පරිමාණ සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර වසා දමා රට හැර ගොස් තිබීම පසුගිය කාලය පුරාවට වැඩි වශයෙන් සිදුවී ඇත. ඔවුන්ට ලංකාව ඇතුළෙ ලාභ ඉපයීම පිළිබඳ විශ්වාසය ගිලිහී ගොස් තිබේ. විශේෂයෙන් ඩොලරය උච්චාවචනය වීම තුළ ඔවුන්ට ස්ථාවර මට්ටමක ව්‍යාපාරය තබා ගත නොහැක. අද අලු ආයෝජන, අලුත් ව්‍යාපාර ඇති නොවන තත්ත්වයක් දක්වා පැමිණ තිබේ. ලංකාවේ විශාල බැංකු පොලී අනුපාත සහ දැඩි බදු ප්‍රතිපත්ති මත අලුත් ව්‍යවසායකයෙක් බිහිවේ යැයි සිතිය නොහැකි. අසාර්ථක රාජ්‍යයක බැංකු ණයක් ගෙන හෝ නව ව්‍යවසායකයෙක් ව්‍යාපාර ලෝකයට එකතු වෙන්නේ නැත.


පුහුණු ශ්‍රමිකයන් රට යැවීමෙන් රට සංවර්ධනය කරන්නට හීන දකින ළිං මැඩි මානසිකත්වය


රටෙන් මිනිස්සුන්ව එළියට යවා ඒ මිනිස්සුන්ගෙන් හම්බකරගෙන කත ක්‍රමයකට දේශපාලඥයන්ත්රට පත්කර තිබේ. එම ළිං මැඩි මානසිකත්වයෙන් අප එළියට පැමිණිය යුතුයි. ඊට එහා ගිය නිෂ්පාදන ආර්ථිකයට ලංකාව ගෙන යා යුතුය. පුහුණු හෝ නුපුහුණු මිනිසුන් පිටරටට යවා ඔවුන්ගෙන් අප යැපීමට උත්සාහ කරනවා නම්, රටක් ලෙසට අපට ඉදිරියට යා නොහැක. අපි ගෘහ සේවයට කාන්තාවන් යවා එහි අහිතකර ප්‍රතිඵලය අද අත්විඳිමින් සිටියි. ගෘහ සේවයට ගිය කාන්තාවන්ගෙන් බහුතරයකගේ පවුල් ජීවිත, දරුවන් අද අනාථ තත්ත්වයකට ඇද වැටී තිබෙනු දක්නට ලැබේ. පුහුණු ශ්‍රමිකයෙක් ලෙසින් අද රට යන්නේ එවැනි දරුවෙකුගේ මවක් හෝ පියෙකි. මාපිය සෙනෙහස අහිමි වුණු දරුවෙකුගේ අනාගතය විශාල ඛේදවාචකයකට පත්වීමට ඇති ඉඩකඩ වැඩිය. රටෙන් එළියට රටේ මිනිසුන් යවා රටක් කිසිදා සංවර්ධනය කළ නොහැක. එලෙස දියුණු වූ රටවල් ලෝකයේ කොහේවත් නොමැත. අප කළ යුත්තේ රටේ නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කළ හැකි ශ්‍රමිකයන් පිරිසක් රට තුළ නිර්මාණය කිරීමය.


මේ වසරේදී වේගවත් බුද්ධිගලනයක් සිදුවිය හැකිය


අද සමාජ මාධ්‍ය තුළ පවා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ පඩිපතෙන් අනිසි ලෙස බදු අය කර ගැනීම පිළිබඳවය. සැබැවින්ද එය විශාල ප්‍රශ්නයකි. ඕනෑම රටකට ගියත් උපයන ආදායමෙත් යම්කිසි ප්‍රමාණයකට රජයට බදු ගෙවිය යුතුය. නමුත් ලංකාව ඇතුළේ සාමාන්‍ය මිනිහාගෙන් ගන්නා බදු මුදල කොහේටද යන්නේ? මෙම බදු මුදල් යන්නේ රටට කිසිම සේවයක් නොකරන එක්තරා මිනිස් ස්කණ්ඩායමක නඩත්තුව වෙනුවෙනි. එයින් රටට කිසිදු සේවයක් ඉටු නොවේ. එවැනි තත්ත්වයකදී අපි ඇයි බදු ගෙවන්නේ යන ගැටලුව ජනතාවට ඇතිවේ. එමෙන්ම ලංකාවේ තිබෙන ජීවන වියදම ඉහළ යෑම සමග එකවරම බදු මුදල් ඉහළ ගිය විට ලෝකයේ වෙනත් රටක මීට වඩා හොඳ අවස්ථාවන් තිබෙනවා නම්, තමන්ගේ උගත්කමට සරිලන රැකියා අවස්ථාවන් තිබෙනවා නම් කිසිදු පුද්ගලයෙක් එක් මොහොතක්වත් ලංකාවේ රැදෙයි කියා සිතිය නොහැක. 


විශේෂයෙන් උගත් පිරිස් එලෙස රට හැර යාමේ තත්ත්වයට පැමිණේ. මෙපමණ කාලයක් බුද්ධිගලනයට වඩා සිදුවූයේ මිනිසුන් රට හැර යාම පමණි. නමුත් මින් මතුවට උගත් පුද්ගලයන් ඊට හැර යාම වඩාත් වේගයෙන් සිදුවෙයි. එහි ප්‍රතිඵලය බුද්ධිගලනය වේගයෙන් වැඩි වීමයි. උගත් පුද්ගලයෙක් තමන්ගේ සුදුසුකම්වලට තවත් රටවල තිඛෙන අවස්ථා සොයා ඉක්මනින් රටින් පිටවීමට පෙළඹී තිබේ. නිසැක වශයෙන්ම මේ බදු අය කර ගැනීමේ ක්‍රමවේදය ඇතුළෙ මේ වසරේදී වැඩි බුද්ධිගලනයක් ඇති විය හැක. එමෙන්ම එවැනි උගත් පුද්ගලයන් රට හැර යන්නේ තමන්ගේ දරු පවුල් සමගය. එයින් රටට ඇතිවන බලපෑමද ඉතා විශාලය.  


බුද්ධිමතුන් රට හැර ගිය පසු ලංකාවේ අනාගතය 


බුද්ධිමතුන් රට හැර ගිය විට ලංකාවේ සියලු පරම්පරාවලට එය විශාල මරු පහරක් ක්වනු ඇත. රටේ උද්ධමනය වැඩි වූයේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්නයක් නිසා නොවේ. දේශපාලනඥයන් අනවශ්‍ය ආකාරයට රාජ්‍යයේ වියදම වැඩි කර ගැනීම හරහා ඔවුන් වැඩිපුර මුදල් අච්චු ගැසීම සිදුකළහ. ඒ හරහා ලංකාවේ තිබෙන ද්‍රවශීලී මූල්‍ය පහසුකම නැති වීම තුළින් උද්ධමනය වැඩි විය. ඒ උද්ධමනය වැඩි වීමේ බර දරාගන්න බැරි මොහොතක බදු අය කර ගැනීමේ ප්‍රතිපත්තිය තුළ අනිවාර්යයෙන්ම උගත් බුද්ධිමත් පිරිස රට හැර යයි. ලංකාවේ නිෂ්පාදන සහ සේවා ආර්ථිකයට දායකත්වයක් දැක්විය හැකි වෛද්‍යවරුන්, ආචාර්යවරුන්, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයන් රට හැර යාමට පටන්ගෙන තිබේ. ඉන්පසුව ලංකාව තුළ ඉතිරිවන පිරිසෙන් රට වෙනත් දිශානතියකට ගෙන යන පිරිස අඩුවෙයි. වේල් තුන වේල් දෙකකට එකක් දක්වා අඩු වී තිබෙන රටේ පහළම ස්ථරයේ සිටින මිනිසුන්ට මේ බුද්ධිගලනය විශාල මරු පහරක් විය හැක. එහි පීඩනය පසුගිය වසරේදී සිදුවුණු අරගලයට වඩා විශාල අරගලයක් සහ ලේ වැගිරීමක් දක්වා යා හැකිය. එමෙන්ම මෙම තත්ත්වය මත රටේ මධ්‍යම පාන්තිකයන්ට දැඩි බලපෑමක් ඇති වියහැක. රටේ මධ්‍යම පන්තියක් ඉතිරි නොවන තැනකට රට පත්විය හැක. මධ්‍යම පන්තිය ලෙස දැකපු රජයේ සේවකයෝ, ගුරුවරු සියලුදෙනා විශාල වේගයකින් තුන්වෙනි පන්තියට කඩාගෙන වැටේ. ඔවුන් උගත් බුද්ධිමත්, ඔවුන්ට සමාප් අවබෝධය තිබේ, ඔවුන් රටේ නීතිය පිළිබඳව දැනුම්වත්ය. මේ සමාජ අවබෝධය තිබෙන පුද්ගලයා යම්කිසි කැරැල්ලක් නිර්මාණය කර ගනිමින් නැවත පාරට ආවොත්, එය මැඬපැවැත්වීම සුළුපටු කාර්යයක් නොවනු ඇත. මන්ද එම කැරැල්ල ඇතිවන්නේ රටේ පවතින නීතියත් නීතිය දන්නා මහජනතාවත් අතරය.

ඔවුන් පොලීසියේ හෝ හමුදාවේ මැර ප්‍රහාරවලට යවන්නේ නැත. ලෝකයේම යම්කිසි ආකාරයෙන් දේශපාලන වශයෙන් සහ ආර්ථික වශයෙන් බල තුලනය සම්බන්ධයෙන් අර්බුදයක් තිබේ. ලංකාව අතහැර යුරෝපයට, ඔස්ට්‍රේලියාවට, නවසීලන්තයට ගියත් එම රටවලද යම්කිසි උද්ධමනයක්, අර්බුදකාරීභාවයක් තිඛෙනු දක්නට ලැබේ. නමුත් රට හැර යන පිරිස්වලට එම රට ඉක්මනින් යථා තත්ත්වයට පත්වේය යන  බලාපොරොත්තුවක් තිබේ. ලංකාව පිළිබඳව එලෙස බලාපොරොත්තුවක් පේන තෙක් මානයකවත් දක්නට නැත. හරියට අයවැයක් හදාගන්න බැරි, ඡන්දයකට යන වියදමක් හරියට අයවැයකට දාගන්න බැරි පිරිසක් ඉන්ත රටක බලාපොරොත්තුවක් තබාගත නොහැක. රටේ ජීවත් වීමට හැකි ආකාරයේ යම්කිසි පොඩි හෝ බලාපොරොත්තුවක් මේ රටේ දේශපාලනඥයන්ට දිය හැකි නම් එදාට මේ රටේ බුද්ධිගලනය නවත්වාගත හැකිය.

 කැළුම් දේවින්ද


දියණිය අපයෝජනය කර දරුවෙකු ලැබීමට සැලැස්සු පියාට වසර 48ක සිරදඬුවමක්


සිය දියණිය අපයෝජනය කර දරුවෙකු ලැබීමට සැලැස්සීමේ චෝදනාවට වරද පිළිගත් පියෙකුට කෑගල්ල මහධිකරණ විනිසුරු ප්යකි ද අල්විස් මහත්මිය ඊයේ (26දා) වසර 48ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. මාවතගම, කහපත්වල භල්ලව ලිපිනයේ පදිංචිව සිටින 52 හැවිරිදි තිදරු පියෙකුට මෙසේ සිර දඬුවම් නියම කෙරිණි.වින්දිත දියණියට ලක්ෂ පහක වන්දි මුදලක් ද ගෙවන ලෙස කෑගල්ල විනිසුරුවරිය නියෝග කළාය. 

පළමු, දෙවැනි, තෙවැනි චෝදනාවලට වෙන් වෙන්ව රුපියල් 10,000 බැගින් රුපියල් 30,000ක දඩ මුදලක් ද දඩ මුදල් නොගෙවන්නේ නම් වසර බැගින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක් ද නියම කළ මහාධිකරණ විනිසුරු ප්යකි ද අල්විස් මහත්මිය ඊට අමතර එක් එක් චෝදනාවට වසර 16 බැගින් බරපතළ වැඩ සහිත වසර 48ක සිරදඬුවමක් නියම කළාය. සිරදඬුවම් එකවර ගෙවී යන ලෙසත් සිරදඬුවම් ගෙවී යාමෙන් පසුව වින්දිත දියණියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදල් ද වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර පහක බරපතළ වැඩසහිත සිරදඬුවමක් ද නියෝග කළාය.

වින්දිත දැරිය රුවන්වැල්ල ඉඹුලාන ප්‍රදේශයේ මවුපියන් බාල සහෝදරයා සහෝදරිය සමග පදිංචිව සිටි බවට අධිකරණයේ කියැවිණ. පියා කුලී වැඩ කරුවෙකි. දැරියට වයස අවුරුදු 13ක් පමණ ගත වූ අවස්ථාවේ දී මව කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක ලෙස පිටත්ව ගොස් තිබේ. නිවසේ සිට ඇත්තේ පියා බාල සහෝදරයා සහෝදරිය හා වින්දිත දැරිය පමණි. 2010 අප්‍රේල් 01වැනිදා සිට දෙසැම්බර් 16වැනිදා දක්වා කාලය තුළදී අවස්ථා ගණනාවක දී පියා විසින් 14 හැවිරිදි දියණිය අපයෝජනය කර ඇති අතර පසුව මව යළි නිවසට පැමිණිය ද දැරිය පියාගෙන් දරුවෙකු බිහි වීමට ඇති බව මව සමග ප්‍රකාශ කර නොතිබුණු බවට ද අධිකරණයේ දී කියැවිණි.

පසුව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියට ලද තොරතුරකට අනුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දැරියගෙත් දරුවෙකු බිහිකිරීමට ඇද්ද යන්න පිළිබඳ විමසීමක් සිදු කර තිබේ. පසුව දැරිය සිද්ධිය සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට ප්‍රකාශ කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසියට පැමිණිලි කර තිබුණි. සැකකාර පියා අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. දැරිය කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ආබාධිත දරුවෙකු බිහි කර තිබිණි.

පසුව රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයකින් අනතුරුව නීතිපතිවරයාට යොමු කොට අධිචෝදනා තුනක් යටතේ සබරගමුව පළාත්බද කෑගල්ල මහධිකරණයට යොමු කොට තිබුණි. ඊයේ 26වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකාර පියා අධිචෝදනා තුනටම වැරදිකරු බව විවෘත අධිකරණයේ ප්‍රකාශ කිරීමෙන් පසුව ඉහත දඩ මුදල් බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා වන්දි මුදල් ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.  පැමිණිල්ල වෙනුවෙන් රජ්යේ අධිනීතිඥ රසාංගි තිලකරත්න විත්තිකරු වෙනුවෙන් නීතිඥ සමන්ත ප්‍රේමවර්ධන අධිකරණයේ පෙනී සිටියේය.

 චමින්ද ජයලත්

චීනයට පලතුරු අපනයනය කිරීමට කඩිනම් වැඩපිළිවෙළක්


මෙරට වගා කරන පලතුරු චීනයට අපනයනය කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.  ඒ අනුව මෙරට කෙසෙල් චීනයට අපනයනය සඳහා වසර ගණනකට පෙර චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර අත්සන් කර ඇති නමුත්, මෙතෙක් ක්‍රියාත්මක නොවූ අවබෝධතා ගිවිසුම පිළිබඳ අවධානය යොමු කිර්මටත් එසේම එම වැඩපිළිවෙළ යළි ඇරඹීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ පිළිබඳ වූ පූර්ව සාකච්ඡාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ චීන නියෝජිත පිරිසක් අතර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පවත්වා ඇති අතර, එහිදී අදාළ නියෝජිතයන් සඳහන් කර ඇත්තේ, මෙරට කෙසෙල් විශේෂ කිහිපයක් තෝරාගෙන ඒවා චීන වෙළෙඳ පොළට අපනයනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තමන් සූදානමින් සිටින බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාර්තා අනුව මේ වනවිට මෙරට වගා කෙරෙන කැවෙන්ඩිෂ් කෙසෙල් විශේෂය මෙන්ම අන්නාසි, අඹ, ෆැෂන් ෆෲට්, ඇඹුල් කෙසෙල් සහ කටු අනෝදා විවිධ රටවල ජනප්‍රියව පවතින බැවින් මෙරට පෞද්ගලික ආයතන රැසක් එම පලතුරු අපනයනයෙහි  නිරතව සිටියි.

නිදර්ශනි වික්‍රමසිංහ

නිදහස් දිනය ගැන ෆේස්බුක් හරහා අදහස් පළ කළ අරගල ක්‍රියාකරුවෙක් දැලේ



"ඔබත් 75 නිදහස් උළෙලේ ආරාධිත අමුත්තෙක් ද? එසේ නම් ජනතා උත්තමාචාර මැද බේරේ වැවේ දිය කෙළීමට සූදානම්ව පැමිණෙන්න” යැයි පවසමින් ෆේස්බුක් හරහා අදහස් පළ කළ බව පැවසෙන අරගලයේ ක්‍රියාකාරිකයෙකු මහරගමදී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි.  පුද්ගලයෙකු සිය ෆේස්බුක් ගිණුම හරහා මහජන කැළඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස්(පොස්ට්) පළ කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු ඉහත දැක්වෙන පරිදි මහජන කැළඹීමක් ඇති වන ආකාරයේ අදහස් අතර විවිධ ආකාරයෙන් සකස් කර ඔහුගේ ෆේස්බුක් ගිණුමට ඇතුළත් කර තිබූ බවට පරිගණක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.  ඒ අනුව එලෙස අදහස් පළ කළ සැකකාර පුද්ගලයාගේ ෆේස්බුක් හරහා ගිණුම පක්‍ෂා කර ඔවුන්ගේ සවිස්තර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව මහරගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. 

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වීම සහ රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නඩු පවතින පුද්ගලයෙකු බවත් පොලීසිය සඳහන් කරයි. මෙලෙස අත්අඩංගුවට පත් 40 හැවිරිදි සැකකරු නුගේගොඩ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිර්මට නියමිතය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

විනිසුරුවන්ගේ උපයන විට බද්ද අත්හිටුවයි

 

 මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ  වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ඊයේ (26) නිකුත් කළේය. මෙම නියෝගය කරනු ලැබුවේ සිය වැටුපෙන් බදු අය කිරීමට එරෙහිව විනිසුරු සංගම් 2ක් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම නියෝගය නිකුත් කිරීමෙන් පසුව අභියාචනාධිකරණයට පැමිණි නීතිපති සංජේ රාජරත්නම් මහතා කියා සිටියේ මෙම අතුරු නියෝගය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවශ්‍ය බවයි. සමහර විනිසුරුවරුන්ගෙන් මෙම බද්ද දැනටමත් අයකරගෙන ඇති බවත් කෙසේ නමුත් මේ පිළිබඳ කරුණු දැක්වීමට කල් අවශ්‍ය බවත් නීතිපතිවරයා කියා සිටියේය.ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම ලබන මස 9 වැනිදාට කල් තැබිණි.

මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි. මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සහ දිස්ත්‍රික් විනිසුරුවරුන්ගේ හා මහේස්ත්‍රාත්වරුන්ගේ සංගමය විසින් ගොනුකරන ලද මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කාර විනිසුරුවරුන්ගේ වැටුපෙන් උපයන විට බද්ද අඩු කිරීමට දේශීය අදායම් දෙපාර්තමේන්තුව තීරණයක් කර ඇත. විනිසුරුවරුන්ගෙන් බදු අයකිරීම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි වේ. එබැවින් වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අදාල තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද එම තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර විනිසුරුවරුන් සිය පෙත්සමෙන් ඉල්ලා  ඇත. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.


රන්ජන් කටුගම්පොළ

මිතුරකු හා බීර බීලා මනාලයා මනාලියගෙන් කනේ පාරක් කාලා



විවාහ වී දෙවැනි ගමනින් පසු නිවසට පැමිණි මනාලයා මිතුරකු සමග බියර් පානය කළැයි උරණ වූ මනාලිය මනාලයාට පහර දී කැබැල්ලක් කැඩි යන තෙක් කන සපා කෑ පුවතක් ගම්පොල, ගලත ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම මනාලිය මනාලයාගේ සිරුරද සූරා තුවාල කර, ඔහුගේ නැගණියට ද පහර දී ඇති අතර, මනාලයාගේ මවට හා පියාට බැණ වැදී ඇතැයි වාර්තා වේ. මෙම යුවළ වසර හතක ප්‍රේම සම්බන්ධයකින් පසුව විවාහ වී ඇති බව ගම්පොල පොලිසිය පවසයි.

මනාලිය ගම්පොල ප්‍රදේශයේ පදිංචිකාරියකි. පුද්ගලික මූල්‍ය ආයතනයක සේවය කළ තරුණියකි. මනාලයා ගලත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෞද්ගලික ආයතනයක සේවය කරයි.  දෙදෙනාගේ විවාහය මීට දින පහකට පෙර සිදුකර ඇත්තේ විශාල මුදලක් වැය කරමින් වන අතර, ඡායාරූප ශිල්පියාට පමණක් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වැය කර තිබේ. දෙදෙනා මධුසමයට ගොස් සිවුදිනක් පමණ ගත කර ගලත පිහිටි මනමාලයාගේ නිවසට යළි පැමිණ එහිදී මනාලයා මිතුරකු සමඟ නිවසින් බැහැරව ගොස් බීර පානය කර ඇති අතර මනාලයාට නිවසට පැමිණීමට විනාඩි 30 ක් පමණ ප්‍රමාද වී තිබේ.

මින් දැඩි ලෙස කෝපයට පත් මනාලිය මනාලයාට බැණ වැදී පහර දීමට පටන් ගෙන ඇති අතර, ලේ පෙරෙන තුරු කන ද සපා කා ඔහුගේ ශරීරයද නියපොතු වලින් සූරා තිබේ. මෙම කලබලය නැවතීමට මැදිහත් වූ මනාලයාගේ මවට හා පියාට ද බැණ වැදී ඇති මනාලිය මව තල්ලු කර දමා මනාලයාගේ නැඟණියට ද පහර දී සිය නිවසට දුරකතන ඇමතුමක් දෙමින් තමා රැගෙන යන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මනාලියගේ පාර්ශවයේ විශාල පිරිසක් ත්‍රිරෝද රථවලින් මනාලයාගේ නිවසට පැමිණ ඇති අතර, සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට ද දැනුම් දී තිබේ. මනාලයා හෝ පාර්ශ්වයේ කිසිවකු මනාලියට පහරදීමක් සිදුකර නොමැති අතර නව යුවළ යළි එක්කිරීමේ අරමුණින් පොලිස් නිලධාරීන් දෙදෙනා දෙපාර්ශවයටම පසුදා ගම්පොල පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.


- සුරංග රාජනායක-

රෝහලට මෘදුකාංගයක් මිලට ගන්න රෝහල් නිලධාරිහු 15ක් ඉන්දියාවට ගිහින්

 

නාරාහේන්පිට පිහිටි රජයට අනුබද්ධ ප්‍රධාන රෝහලක ‘රෝහල් තොරතුරු පද්ධතිය' (එච්. අයි.එස්.) මිලදී ගැනීමට එම රෝහලේ නිලධාරීන් 15 දෙනකු පමණ ඉන්දියාවට ගොස් ඇති බවට එහි සේවකයෝ චෝදනා කරති.එම නිලධාරීන් 15 දෙනාගේ ඉන්දීය සංචාරය සඳහා රුපියල් ලක්‍ෂ 50 කට ආසන්න මුදලක් වැය කරන බවත් එම රෝහල රජය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බලධාරීන්ගේ අවධානය මෙවැනි දෙයට යොමුවිය යුතු බවත් සේවකයෝ කියති.

එම කටයුත්ත සඳහා උපරිම වශයෙන් නිලධාරීන් සිවුදෙනකු සහභාගි වූයේ නම් ප්‍රමාණවත් බව කියන සේවකයෝ මෙවැනි පිරිසක් පරිගණක මෘදුකාංගයක් මිලදීගැනීමට පිටත්ව යෑම මුදල් නාස්තියක් බව ද සඳහන් කරති.  පහළ මට්ටමේ සේවකයන්ගේ දීමනා රැසක් කප්පාදු කර ඇති පාලන අධිකාරිය එම මුදල් යොදාගෙන රට සවාරි යැම අනුමත කළ නොහැකි බව කියන සේවකයන් පවසන්නේ මෙවැනි නාස්තීන් නැවැත්වීමට බලධාරීන් මැදිහත්විය යුතු බවය. මෙම සිද්ධිය පිළිබඳව කරුණු දැනගැනීමට එම රෝහල් බලධාරියකු දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද එම රෝහලේ දුරකථන අංශය බලධාරියකුට යොමු කිරීම හැරියේය.

යොහාන් භාසුර

බිත්තරයටත් මිල සුත්‍රයක්


බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් වෙළෙඳ හා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් විසින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) පෙරේදා (25) ඉදිරිපත් කරනු ලැබීය. මෙම මිල සූත්‍රය සකස් කර ඇත්තේ බිත්තරයක් නිෂ්පාදනය සඳහා යන පිරිවැය සැලකිල්ලට ගෙනය.   මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රායෝගික ගැටලු මතුවිය හැකි හෙයින් මිල සූත්‍රය නැවත සලකා බලන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම නිලධාරීන්ට එහිදී උපදෙස් දුන්නේය.

ඔහු මෙසේ උපදෙස් දුන්නේ දේශීය කුකුළු නිෂ්පාදන කර්මාන්තය සුරක්ෂිත කරමින් බිත්තර සඳහා සාධාරණ මිලක් තීරණය කිරීම සම්බන්ධ කරුණු හතරක් සාකච්ඡා කිරීමට අදාළ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.  මේ අතර රටේ බිත්තර ලක්ෂ 30 ක තාවකාලික හිඟයක් පවතින හෙයින් පාරිභෝගික අවශ්‍යතා සැලකිල්ලට ගෙන සීමිත බිත්තර ප්‍රමාණයක් ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යාංශයේ නිලධාරීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව  කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කළහ.

මේ අතර, පාරිභෝගිකයාට සාධාරණ වන ආකාරයෙන් බිත්තර මිල සම්බන්ධ ගැටලුවට විසඳුම් සෙවීමට සියලු පාර්ශ්ව උත්සාහ දැරිය යුතු බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. බිත්තරයක මිල රුපියල් 51 කට මාස එක හමාරක කාලයක් ස්ථාවරව පවත්වා ගෙන යෑමට හැකි නම් ඉදිරියේදී බිත්තර මිල අඩු කළ හැකි බව බිත්තර නිෂ්පාදන කර්මාන්තයට අදාළ පාර්ශ්ව දැනුම් දුන් බවද කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේය. මේ අතර දේශීය කුකුළු නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කෝප් කමිටුව අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අංජුල මහික වීරරත්න

Wednesday, January 25, 2023

ක්‍රීඩා අමාත්‍යවරයාගේ නව රෙගුලාසිවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයන්ගෙන් විරෝධතා ලිපියක්


1973 අංක 25 දරන ක්‍රීඩා පනතට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක් කළ නව රෙගුලාසිවලට එරෙහිව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි සාමාජිකයන්ගෙන් අත්සන් එකතු කිරීමේ මෙහෙයුමක් අරඹා තිබේ. ඒ අදාළ රෙගුලාසි පිළිබඳ විරෝධය දක්වන ලෙස ඉල්ලමිනි.මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ම සැකසූ ලිපියක් සාමාජිකයන් වෙත යොමු කර ඇති අතර, ඊට අත්සන් කර ක්‍රිකට් ආයතනයට ලැබීමට සලස්වන මෙන් ඉල්ලීමක්ද කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික සංගම් සහ අනුබද්ධිත ක්‍රීඩා සමාජ කිහිපයක් මේ වන විටත් එයට අත්සන් කර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබීමට සලස්වා ඇතැයි වාර්තා වේ. මෙරට තුළ පවතින ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක් මේවනවිටත් එම ලිපි යැවීම පිළිබඳව ඔවුන්ගේ විධායක කමිටුව සමගින් සාකච්ඡා කරමින් සිටින බවද අනාවරණය වේ. ඊට කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක්ද ඇතුළත් වීම සුවිශේෂිය.


'යෝජිත රෙගුලාසි පිළිබඳ අපගේ කනස්සල්ල' යන මාතෘකාව යටතේ මෙම ලිපි නිකුත් කර ඇති අතර, අමාත්‍යවරයා නිකුත් කළ නව රෙගුලාසිවලට මෙමගින් අප්‍රසාදය පළ කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බහුතරයක් සාමාජිකයන් වෙත යොමු කර ඇති මෙම ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. 'දැනට පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යුහයේ පුළුල් වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට අපේක්ෂා කරන අමාත්‍යවරයා, ප්‍රකාශයට පත්කර ඇති රෙගුලාසි පිළිබඳව අපගේ අප්‍රසාදය පළකිරීමට මෙම ලිපිය ලියන්නෙමු. මෙම පුළුල් රෙගුලාසි අපගේ සාමාජික ප්‍රජාතන්ත්‍රවාදයට අනවශ්‍ය ඇගිලි ගැසීම් මගින් මෙම ආයතනයේ සාමාජිකයන් ලෙස අපගේ අයිතිවාසිකම් සහ අපේක්ෂාවන්ට අහිතකර බලපෑමක් ඇතිකරනු ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු හැසිරවීමට හැකියාව ඇතැයි අප විශ්වාස කරන අය තෝරා ගැනීමේ අපගේ අයිතියට එමගින් අහිතකර බලපෑමක් වේ.

යෝජිත රෙගුලාසි යටතේ පවතින ඡන්ද ව්‍යුහය වෙනස් කිරීමෙන් සාමාජිකයන් වශයෙන් අප මෙතෙක් ක්‍රියාත්මක කරමින් සිටි සහ භුක්ති විඳි අයිතිවාසිකම්  කප්පාදු කරනු ඇතැයි අප කනස්සල්ලට පත්ව සිටිමු. කිසිදු උපදේශනයකින් තොරව මෙම රෙගුලාසි හඳුන්වා දී ඇති ආකාරය පිළිබඳව අපගේ අප්‍රසාදයද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් වශයෙන්, විශේෂයෙන්ම අයිසීසීය විසින් පනවන ලද සාමාජික වගකීම් අනුව, මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳවද අපි සැලකිලිමත් වෙමු. ඔබ ඉතා හොඳින් දන්නා පරිදි මෑත අතීතයේදී ICC සාමාජික වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්, විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට රජය විසින් කරන ලද ඇඟිලිගැසීම් හේතුවෙන් එහි සාමාජිකයන්ට තීරණ ගැනීමට අනුමැතිය ලබා දී  ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් වශයෙන් අපගේ අයිතිවාසිකම් සහ අපේක්ෂාවන් උල්ලංඝනය කරන මෙම රෙගුලාසිවලට අභියෝග කිරීමට සහ මෙම ගැටලු විසඳීම සඳහා ගෙන ඇති හෝ ගැනීමට යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳව සාමාජිකයන් යාවත්කාලීන කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු' ලෙස එම ලිපියෙන් ඉල්ලීමක් කර තිබේ.  මේ වන විට මෙම ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි සියලුම සාමාජිකයන් වෙත යොමු කර ඇති අතර, මෙම සතිය තුළදී ඊට අදාළ අත්සන් ලබාගැනීම අවසන් කරනු ඇතැයිද වාර්තා වේ.

 පැතූම් ශ්‍රී විජේරත්න

යුරෝපා සංගමයේ රාජ්‍යයන් තුළ පළගැටියන් ආහාරයට ගැනීමට අවසර

 

යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන්හි ජනතාවට කෘමීන් ආහාරයට ගැනීමට අවසරය ලබාදීමට යුරෝපියානු කොමිසම පසුගියදා පියවර ගෙන තිබේ. ඒ අනුව නිවෙස්වල සිටින පළඟැටියන් වේලා, කුඩු බවට පත් කර ආහාරයට ගැනීමේ අනුමැතිය මේ හරහා ලැබී තිබේ. යුරෝපියානු ආහාර සුරක්ෂිතතා අධිකාරියේ විද්‍යාත්මක උපදෙස් යටතේ මෙම අනුමැතිය හිමිව තිබේ. මෙහිදී ධාන්‍යමය ආහාර, විස්කෝතු, පීසා, පැස්ටා පාදක නිෂ්පාදන වෙත මෙම කුඩුකරගත් පළගැටියන් යොදාගත හැකි බව සඳහන්ව තිබේ.

යුරෝපියානු කොමිසමේ නියාමන රීතිවලට අනුව මෙලෙස කුඩු කරගන්නා පළගැටියන් ආසන්න පැය 24ක කාලයක් කුසගින්නේ තැබිය යුතුය. අනතුරුව ඔවුන් අධි ශීතලකට ලක්කළ යුතු අතර, පසුව සෝදා උණුසුම ලබාදී හොඳින් වේලාගත යුතුය. මේ හරහා එම සතුන්ගේ සිරුරේ ඇති තෙල් ඉවත්ව ගිය පසුව ඔවුන් කුඩු බවට පත්කර ගත යුතුය. මෙලෙස පළගැටියන්ට අමතරව Alphitobius diaperinus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කුරුමිනියන් ආහාරයට ගැනීම සදහා අනුමැතිය ලබාදීමට යුරෝපියානු කොමිසම මෙහිදී  පියවර ගෙන තිබේ.


කෝටි 05ක් වැය කර ව්‍යාජ පුරා විද්‍යා සහතිකයක් සකසන බවට අධිකරණයට නිර්නාමිකව ෆැක්ස් පණිවුඩයක්

 මිල කළ නොහැකි පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු කිලෝ 25යි ග්‍රෑම් 870ක බරකින් යුතු චෛත්‍යය අනුරුව හා රන් පැහැති බුදු පිළිමයක් ළඟ තබා සිටි බවට සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ් භාරයේ රඳවා සිටින සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කෝටි 05ක් වැය කර ව්‍යාජ පුරා විද්‍යා සහතිකයක් සකස් කරමින් සිටින බවට නිර්නාමිකව ෆැක්ස් පණිවුඩයක් ලැබී ඇති බව අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (24දා) විවෘත අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් වේයන්ගොඩ, යටගම, එස්සැල්ල ප්‍රදේශයේ නිවසක් සෝදිසි කොට නිධානයකින් ලබාගෙන ඇති බවට සැක කෙරෙන මිල කළ නොහැකි පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු චෛත්‍යයක අනුරුවක් හා රන් පැහැති බුදු පිළිමයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි. එම චෛත්‍යයක අනුරුව හා රන් පැහැති බුදු පිළිමය රුපියල් කෝටි ගණනකට විකිණීමට සැලසුම් කරමින් සිටින බවට ලද තොරතුරකට පොලිස් විශේෂ කාර්ය බළකාය වැටලීම සිදුකර සැකකරුවන් දෙදෙනා සමග චෛත්‍යයක අනුරුවක් හා රන් පැහැති බුදු පිළිමයක් එලෙස අත්අඩංගුවට ගෙන තිබිණි. හසිත තරංග සමරකෝන් හා කේ. රාජේන්දුන් යන එම සැකකරුවෝ දෙදෙනා වේයන්ගොඩ පොලීසියට භාරදීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කර මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිති.අදාළ නඩු විභාගය ඊයේ (24දා) දින නැවත කැඳවූ අවස්ථාවේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවෝ දෙදෙනා අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.

මෙහිදී වේයන්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පක්‍ෂක සුනිල් ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් පුරා විද්‍යා නිලධාර්න් පැමිණ පරික්‍ෂණයක් පැවැත් වූ නමුත්, ඒ පිළිබඳ වාර්තාව ඒවා නැති බවත්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවද ලැබී නොමැති බවද පොලිස් පරීක්‍ෂකවරයා පැවසීය. මේ අවස්ථාවේ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විවෘත අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින්මෙම නඩුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රුපියල් කෝටි පහක මුදලක් වැය කර කිසියම් පිරිසක් ව්‍යාජ පුරා විද්‍යා සහතිකයක් සකස් කරමින් සිටින බවට ෆැක්ස් මගින් අධිකරණයට ඒවා ඇති බවද පවසා සිටියේය.

එම ෆැක්ස් පණිවුඩය නිර්නාමිකව එවා ඇති හෙයින් ඒ පිළිබඳ කිසියම් පියවරක් ගැනීමට හැකියාවක් නොමැති නමුත්, එම ෆැක්ස් පණිවුඩය නඩු පොතට ගොනු කරන බවද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසීය.  මෙයට අදාළ පුරා විද්‍යා වාර්තාව හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාව අධිකරණයට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙසටද මහේස්ත්‍රාත්වරයා වේයන්ගොඩ පොලීසියට නියෝග කර, සැකකරුවන් දෙදෙනා තවදුරටත්  ඊමාන්ඩ් භාරයේ රඳවා තැබීමට  නියෝග කළේය. එසේම අදාළ නඩු විභාගය පෙබරවාරි මස 07වැනිදා නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ගල ඉවත්කිරිමේ 93 ලක්ෂයේ කොත්තරාත්තුවට හය කෝටියක් ගෙවලා


කුරුණෑගල මහ නගර සභාව මාතෘ හා ළමා සායනය සහ පෙර පාසල වෙනුවෙන් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ දී ඉදිකිරීම් භූමියේ තිබූ ගලක් ඉවත් කිරීමට රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.ගල ඉවත් කිරීමේ අනුමත ගාස්තුව රුපියල් ලක්ෂ 93ක් බව ද එම වාර්තාවේ සදහන් වේ.

එම වාර්තාවට අනුව ව්‍යාපෘතියේ සමස්ත වියදම ඇස්තමේන්තුව රුපියල් කෝටි 23කි. මෙම ව්‍යාපෘතිය අනුව සැලසුම් කළ ගොඩනැගිල්ල ඉදිකිරීමේ භූමියේ තිබූ ගලක් ඉවත් කිරීමට සිදුවී ඇති අතර, ඒ සඳහා  වන අනුමත මිල ගණන් වන්නේ ලක්ෂ 93කි. එසේ තිබිය දී සාවද්‍ය මිල විශ්ලේෂණයක් කර එය කෝටි පනහකින් සිදු කිරීමට තාක්ෂණ නිලධාරී, සහකාර ප්‍රමාණ සමීක්ෂණ නිලධාරී, නාගරික ඉංජිනේරු හා නාගරික කොමසාරිස් අනුමත කිරීමෙන් පසුව ඊට පන්කෝටි අනුඅට ලක්ෂයක මුදලක් ගෙවා ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

මුදිතා දයානන්ද

වී.එයිට් රියකට සෞඛ්‍ය අමාත්‍යාංශය උණුසුම් වෙයි

 


සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක භාවිත කරන වී 8 වර්ගයේ සුඛෝපභෝගී ජිප් රථයක් එහි ප්‍රවාහන අංශයේ නිලධාරීන් පිරිසක් අමාත්‍යාංශ භූමියේදී ඇගේ අවසරයකින් තොරව බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියේ ඊයේ (24) සවස උණුසුම් තත්ත්වයක් හටගත්තේය. ප්‍රවාහන අංශ නිලධාරීන් පිරිසක් මෙම ජීප් රථයට පිටවීමට නොහැකි වන අයුරින් අමාත්‍යාංශයේ ගේට්ටු වසා දැමීමත් සමග එම උණුසුම් තත්ත්වය හටගත් බව එහි ආරංචි මාර්ග පවසයි.

අතිරේක ලේකම්වරිය භාවිත කරන මෙම “වී 8” වර්ගයේ ජීප් රථය සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයට අයත් එකක් බවත්, එම රථය නැවත බාර දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇයට ලිඛිතව දැනුම් දී තිබුණ ද එම රථය නැවත බාර දීම ප්‍රතික්ෂේප කර ඇති බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. මෙම රථය බාර දී ඒ වෙනුවට “පෝෂේ” වර්ගයේ රථයක් ලබා දීමට යෝජනා කර තිබුණ ද ඇය එම යෝජනාව ද ප්‍රතික්ෂේප කර ඇති බව අමාත්‍යාංශය ආරංචි මාර්ග කියයි.

තත්ත්වය මෙසේ තිබියදී අමාත්‍යාංශ බලධාරීන් එහි ප්‍රවාහන අංශ නිලධරීන් වෙත කළ දැනුම් දීමකට අනුව ප්‍රවාහන අංශ සාමාජිකයන් මෙම රථයට පිටතට යාමට නොහැකි වන අයුරින් අමාත්‍යාංශයේ ගෙට්ටු ඊයේ සවස වසා දමා තිබීම හේතුවෙන් අතිරේක ලේකම්වරිය හා ප්‍රවාහන අංශ නිලධාරින් අතර බහින් බස් වීමක් සිදු වූ බවද එම ආරංචි මාර්ග පවසයි.අතිරේක ලේකම්වරිය එහිදී ප්‍රවාහන අංශ නිලධාරීන් ට දැනුම් දී ඇත්තේ තමන් ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක' බවත්, ඒ අනුව තමන් වෙත මෙම ජීප් රථය අමාත්‍යාංශයෙන්ම නිකුත් කළ එකක් බවත්ය. පසුව ඇය එම මෝටර් රථයෙන්ම අමාත්‍යාශයෙන් පිටව ගිය බවද එම ආරංචි මාර්ග පවසයි.


ඉන්දිකා රාමනායක

විදුහල්පති - නි.විදුහල්පති කාමරේක දාගෙන සිසුට පහරදීලා

 


ගාල්ල ප්‍රදේශයේ අරාබි පාසලක අරාබි නීතිය හදාරනු ලබන 15 හැවිරිදි බාල වයස්කාර සිසුවකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන එහි විදුහල්පතිවරයා සහ නියෝජ්‍ය විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට ගාල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.  මෙම විදුහලේ විදුහල්පතිවරයා සිසුවාට ලිංගික අපයෝජනයක් කර ඇති බව එම සිසුවා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පහර කෑම්වලට සහ ලිංගික අපයෝජනයකට ලක්වූයේ යැයි කියන සිසුවා ඒ පිළිබඳව පොලිසියට පෙරේදා (23) පැමිණිලි කර ඇත. පැමිණිල්ල කළ සිසුවා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි අයෙකි.  මෙම සිසුවාට එහි ඉගෙනුම ලබන වෙනත් සිසුවකු ද ඉකුත් වසරේ දෙසැම්බර් 27 වැනිදා රාත්‍රියේ අතින් පයින් පහරදී බෙල්ල මිරිකා ඇතැයි පොලිසිය පවසයි. සිසුවා මෙම පහරදීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට විදුහල් භූමියේම පිහිටි විදුහල්පතිවරයාගේ නිවසට ගොස් ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

එම අවස්ථාවේ විදුහල්පතිවරයා එම සිසුවා උඩුමහලේ පිහිටි කාමරයකට රැගෙන ගොස් හිසට සහ ගෙල ප්‍රදේශයට වේවැලකින් දිගට හරහට පහරදීමක් සිදුකර ඇතැයි සිසුවා කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති.විදුහල්පතිවරයාගෙන් ගැලවී එළියට පැමිණි අවස්ථාවේ නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙම සිසුවාට කාමරයකට රැගෙන ගොස් පහරදීමක් සිදුකර ඇතැයි පොලිසිය සඳහන්  කරයි.සිසුවා දින පහක පමණ කාලයක් පාසලේ කාමරයක රඳවා තබාගෙන සිට පසුව රුපියල් 3000ක මුදලක් ලබාදී නිවෙසට පිටත් කර හැර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම සිසුවා ගාල්ලේ සිට කොළඹට දුම්රියකින් පැමිණ පසුව බස් රථයකින් ත්‍රිකුණාමලයට ගොස් තමාට සිදු වූ කරදර හිරිහැර ගැන මවුපියන්ට පවසා ඇත.  මවුපියන් සිසුවා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය රෝහල් පොලිසියටත් ත්‍රිකුණාමල පොලිස් අධිකාරී කාර්යාලයට සහ ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයටත් පැමිණිලි කර ඇත. සිසුවා කළ මෙම පැමිණිල්ල අනුව විදුහල්පතිවරයා සහ නියෝජ්‍ය විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.



ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


පාතාල පුංචි යුද්ධයකින් යාපනය උණුසුම් වෙයි



යාපනය හා තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක පාතාල කල්ලියකට සම්බන්ධ බව කියන පුද්ගලයන් සිවු දෙනකු ගමන් ගත් මෝටර් රථයකට ප්‍රතිවාදී පාතාල කල්ලියකට සම්බන්ධ බව කියන කණ්ඩායමක් කැබ් රථයකින් පැමිණ ඊයේ (24) දහවල් 12ට පමණ යකඩ පොලුවලින් සහ කඩුවලින් පහරදීම නිසා සිවු දෙනක තුවාල ලබා යාපනය ශික්ෂිණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. කැබ් රථයකින් පැමිණි පාතාල කල්ලිය ප්‍රතිවාදී පාතාල කල්ලිය ගමන් ගත් මෝටර් රථයට මුහුණට මුහුණ ලා කන්කසන්තුරේ මාර්ගයේ පුස්තකාල හන්දියේදී හප්පා ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි යාපනය  ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය.

මෝටර් රථයෙන් ආ පාතාල කල්ලියට යකඩ පොලු වලින් දිගට හරහට පහරදී ඇති පිරිස රථය ද එම ස්ථානයේම අතහැර දමා පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. අතහැර දමා ගිය එම රථය ද පොලිස් බාරයට ගෙන ඇත. මෙම පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ කැණි නමින් හැඳින්වෙන පාතාල කල්ලියක  ගෝලයන් සිවු දෙනකු බවටද තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය කියයි. 

 පහර දීමට පැමිණ ඇතැයි කියන්නේ  “ආවා’” කල්ලිය නමින් හැඳින්වෙන පාතාල කල්ලියේ සාමාජිකයන් කණ්ඩායමක් බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.  මෙම සිදුවීම නිසා එම ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක්ද හටගත් බව පැවසේ.  මෙම පාතාල කල්ලි දෙක අතර කාලයක සිට පවතින විරසකයක් මත මෙම ගැටුම ඇතිව තිබෙන බව දැන ගන්නට ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.  යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පළාගිය පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර ඇත.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ලංගම රියැදුරුගේ බෝතල් පහරින් කොන්දොස්තර මරුට



මොනරාගල සිට කටුනායක දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථයක රියදුරු එල්ල කළ වීදුරු බෝතල් ප්‍රහාරයකින් තුවාල ලබා එහි කොන්දොස්තරවරයා මියගොස් ඇතැයි කටුනායක පොලීසිය පවසයි.  මෙම පහරදීම පෙරේදා (23) සිදුව ඇති අතර, බරපතළ තුවාල ලැබූ කොන්දොස්තරවරයා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඊයේ (24) උදෑසන මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ විජේසිංහ මුදියන්සේලාගේ අනුර පවන් කුමාර නමැති 38 හැවිරිදි අයෙකි.

මොනරාගලින් පෙරේදා (23) අලුයම 5.00 ට පිටවන මෙම බස් රථය පස්වරු 2.30 පමණ වනවිට කටුනායකට ළඟා වන අතර, ඉන්පසු පසු දා අලුයම 5.00 ට යළි මොනරාගල බලා පිටත්ව යන තෙක් එය කටුනායක විහාරස්ථානයක නවතා තැබෙන බව පොලිසිය කියයි.  රියැදුරු සහ කොන්දොස්තර යන දෙදෙනා පෙරේදා (23) ද රාත්‍රී 7.30 ට පමණ බස් රථය එහි නවතා ආහාර ගැනීමට සූදානම් වී, මත්පැන් පානය කරමින් සිට ඇති අතර, ඒ අතරතුර දෙදෙනා අතර දේශපාලන සංවාදයක් ආරම්භ වී ඇතැයි පැවසේ.

එම සංවාදය උත්සන්න වී බස් රථයේ රියැදුරු තම අත තිබූ බෝතලයක් කඩා කොන්දොස්තරවරයාගේ ගෙල ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත. ඉන් බරපතළ තුවාල ලැබූ කොන්දොස්තරවරයා කටුනායක පොලීසියට පැමිණ පැමිණිල්ලක් ද කර මීගමුව මහ රෝහලට ඇතුළත් වී ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ඊයේ (24) උදෑසන මිය ගොස් ඇත.  මෙම ප්‍රහාරය සිදු කළ 36 හැවිරිදි රියදුරුද කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

 නයනජීව බණ්ඩාර

Tuesday, January 24, 2023

විභාගයට ගිය සිසුවියට පෙම්වතා ඇසිඩ් පොවන්න හදලා



කෑගල්ල නගරයේ උසස්පෙළ  විභාග මධ්‍යස්ථානයක විභාගයට පෙනී සිටීමට පියා සමඟ ත්‍රීරෝද රථයකින් ගිය පාසල් ශිෂ්‍යාවකට යතුරු පැදියකින් පැමිණි පෙම්වතා යැයි කියන තරුණයකු පරගම්මන ප්‍රදේශයේ දී මඟ හරස් කර ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් පාසල් ශිෂ්‍යාව ඇගේ පියා සහ සැකකාර තරුණයා යන තිදෙනාම පිලිස්සුම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඊයේ (23) දහවල් ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය කියයි. මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක, ඇගේ 45 හැවිරිදි පියා හා කෑගල්ල නගරයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි.එම පාසල් ශිෂ්‍යාව මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගයට දෙවැනි වරට පෙනී සිටීමට කෑගල්ල නගරයේ පාසලක පැවැත්වෙන විභාග  මධ්‍යස්ථානයකට පියාට අයත් ත්‍රීරෝද රථයකින් ඊයේ සවස 1.00ට පමණ යමින් සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.

පරගම්මන පසු කර බට වංගුව ප්‍රදේශයේ දී ශිෂ්‍යාවගේ පෙම්වතා යැයි කියන තරුණයා මිතුරකු සමඟ යතුරු පැදියකින් පැමිණ කෑගල්ල දෙසට ධාවනය වෙමින් තිබුණු ත්‍රීරෝද රථය නවතා ත්‍රීරෝද රථයේ පිටුපස සිටි පාසල් පෙම්වතියගේ බෙල්ල මිරිකා ඇසිඩ් පෙවීමට උත්සාහ කර ඇති ඇගේ පියා එය වළක්වා ඇසිඩ් බෝතලය ගෙන තරුණයාට පහරක් එල්ල කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.එම අවස්ථාවේ පාසල් ශිෂ්‍යාවත් ඇගේ පියාත් හා සැකකාර තරුණයාත් ඇසිඩ් වැදීමෙන් පිළිස්සුම් තුවාල ලබා ඇත. පසුව ශිෂ්‍යාවගේ පියා ඇය ත්‍රීරෝද රථයෙන් කෑගල්ල මහ රෝහලට රැගෙන විත් ඇති අතර තරුණයා ද කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

එහිදී පාසල් ශිෂ්‍යාවගේ මව පොලිසියට කියා ඇත්තේ තම දියණිය කෑගල්ල නගරයේ පදිංචිව සිටින තම හිතවතියකගේ 21 හැවිරිදි පුත්‍රයකු සමඟ කාලයක සිට සම්බන්ධතාවක් පැවැති බවත් සම්බන්ධතාවට දෙපාර්ශවයේම කැමැත්ත දී තිබුණු බවත්ය.  දියණියට කෑගල්ල නගරයේ පාසලක ඉගෙනුම ලැබූ බවත් පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට බී සාමාර්ථ තුනක් ලබා ගත් ඇය මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගයට දෙවැනි වරටත් පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටි බවත් ශිෂ්‍යාවගේ මව පොලිසියට පවසා ඇත.

දියණිය වැඩිදුරටත් ඉගෙනුම ලැබීම සම්බන්ධයෙන් පෙම්වතා කිහිප අවස්ථාවක දීම අකමැත්ත ප්‍රකාශ කර තිබුණු බවත් ඔහු සිය දියණියට සිම් කාඩ් පතක් අරන් දී එම දුරකථනයට තරුණයා පමණක් කතා කරන බවත් මව ප්‍රකශ කර ඇත. මවුපියන් ඇතුළු වෙන කිසිවකුත් එම දුරකථන අංකයට කතා කරනවාට තරුණයා අකැමැති බව ඔහු ඇයට දන්වා ඇති බවත් පොලිසිය කියයි. පසුව පෙම්වතා නීති රීති තද කිරීම හේතුවෙන් සම්බන්ධතාවය නතර කරමු යැයි ශිෂ්‍යාව මසකට පමණ ඉහතදී තරුණයාට පවසා ඇති බවත්, පසුව පෙම්වතා ශිෂ්‍යාවට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරන බව දන්වා දුරකථනයට කෙටි පණිවිඩ යවා ඇති පොලිසිය කියයි. 

පසුව ශිෂ්‍යයාව තරුණයා විසින් දී දෙන ලද සිම් කාඩ් පත ද තරුණයාට ඇය දී ඇති බව පොලිසිය සඳහන් කරයි. ශිෂ්‍යාවට කතා බහ කර ගැනීමට නොහැකිව සිට ඇති තරුණයා ඊයේ (23) දහවල් 1ට ආරම්භ කිරීමට නියමිතව තිබුණු විභාගයට ශිෂ්‍යාව සිය පියා සමඟ පැමිණෙමින් සිටියදී පරගම්මන බට වංගුව ප්‍රදේශයේදී හිතවතකු සමඟ යතුරු පැදියකින් පැමිණ ත්‍රීරෝද රථය හරස් කර ශිෂ්‍යාවට ඇසිඩ් පෙවීමට උත්සාහ කළ අවස්ථාවේ දී පියා ඇසිඩ් බෝතලය ගෙන තරුණයාට පහරක් එල්ල කර ඇති බව පොලිසිය පවසයි. සැකකාර තරුණයා හා ශිෂ්‍යාවගේ පියා යන දෙදෙනාම කෑගල්ල මහ රෝහලේ එකම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. තිදෙනාගේ තත්ත්වය බරපතළ නොමැති බවද පොලිසිය පවසයි.


 චමින්ද වැවතැන්න

නිධානයකින් ගත් බව කියන පුරාවස්තු රැසක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

 

නිධානයකින් ලබාගත් බවට සැක කෙරෙන පුරාවස්තු රැසක් විකිණීම සඳහා ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු පානදුර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් පෙරේදා (22දා)අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. පානදුර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළුතර ප්‍රදේශයේ පිහිටි හෝටලයක රථගාලක් අසල සිදුකළ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි. මෙම ජාවාරම මෙහෙයවන ලද ප්‍රධාන සැකකරු සෞඛ්‍ය හේතු මත යුද හමුදාවෙන් විශ්‍රාම ගැන්වූ සෙබළෙකු බවට හඳුනාගෙන තිබෙන බවත්, එම  සැකකරු 34 හැවිරිදි මොරගහකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් සඳහන් වෙයි.

අනෙක් සැකකරුවන් දෙදෙනා අවුරදු 36 සහ 42 හැවිරිදි ගන්දර හා කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සැකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම භාණ්ඩ රුපියල් කෝටි 03කට අලෙව් කිරීමට සූදානම් කර තිබූ බවට අනාවරණය වී තිබේ.  මෙම භාණ්ඩ අතර විවිධ පාට ගල් 12කින් යුත් කුඩා කරඬුවක්, විවිධ පාට ගල් 04කින් යුත් රන් පලඳනාවක් හා කුඩා රන් පැහැති ආභරණයක්, විවිධ ගල් 06කින් යුත් රන් පැහැති පලඳනාවක්, පාට ගල් 08කින් යුත් කුඩා ආභරණයක්, පාට ගල් 07කින් යුත් රන් පැහැති කුඩා පලඳනාවක්, ස්කෑනර් යන්ත්‍රයක්, පුරාවි වටිනාකමක් ඇති බවට සැකකරන විවිධ සංකේත හා අක්ෂර යොදා ඇති කිලෝ එකයි ග්‍රෑම් පන්සියය හා  ග්‍රෑම් දෙසිය පනහේ බර කළුගලකට සමාන ඝන වස්තු දෙකක්, අගල් 07ක් දිග හා අගල් 02ක් පළල පැරණි අක්ෂර හා සංකේත කොටා ඇති අගල් භාගයක ඝනකමින් යුත් ශෛලමය සෙල්ලිපියක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඉන්දික හේවාවිතාරණ

FBI අත්‍යවශ්‍ය ලැයිස්තුවේ සිටින ක්‍රිප්ටෝරැජින රුජා ඉග්නාටෝවා හදිසියේම ලන්ඩනයෙන් මතුවෙයි

ආයෝජකයන් සතුව තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියන 4කට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් FBI අත්‍යවශ්‍ය ලැයිස්තුවේ සිටින ජර්මානු ජාතික රුජා ඉග්නටෝවා පිළිබඳව හදිසි පණිවුඩයක් පසුගියදා ලන්ඩන් නුවරින් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගිය වසර පහක කාලයක් පුරා ඇය අතුරුදන්ව සිටින අතර, ඇය සිටින ස්ථානයක් පිළිබඳව මෙතෙක් කිසිවෙකුටත් පැහැදිලිව අනාවරණය වී නැත.කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි දේපළක් සම්බන්ධයෙන් පසුගියදා ඇගේ නම සටහන් වීමත් සමග රූජා ඉග්නටෝවා සම්බන්ධයෙන් වන කතාබහ යළිත් මතුව තිබේ. මෙය ගතවූ වසර පහ පුරාවටම ඇගේ නම සටහන්ව තිබූ පළමුවැනි අවස්ථාවද වෙයි.

මෙහිදී රුජා වෙනුවෙන් පෙනීසිටින බව සදහන් කරමින් නීතීඥයන් පිරිසක් අධිකරණයේ පෙනී සිටිමින් ඇයට හිමි කාමර හතරකින් යුත් මහල් නිවාසයක හිමිකම සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකර ඇත. එහෙත් එම දේපළ හිමිව ඇති බවට ලියාපදිංචි වී ඇත්තේ ගුඑර්න්සේහි පිහිටි අඥාත සමාගමකි. කෙසේ වෙතත් 2021දී බීබීසී මාධ්‍යවේදියෙකු විසින් එම දේපළ ඉග්නටෝවාට අයත් බව සොයාගෙන  තිබුණි. විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම මහල් නිවාසය පසුගිය  සතියේදී පවුම් මිලියන 11ක මුදලකට වෙන්දේසියක් වෙත ඉදිරිපත් කර තිබුණි. එහෙත් පෙරේදා දිනය වනවිට මෙම දේපළ එම වෙන්දේසි  සමාගමේ ලැයිස්තුවෙන් ඉවත් කර ඇති අතර, තවත් එක්සත් ජනපද දේපළ වෙළෙඳාම් සම්බන්ධ වෙබ් අඩවිවලින්ද ඉවත් කර ඇත.

දැනට වසර ගණනාවකට පෙර රුජා ඉග්නටෝවා වඩාත් ප්‍රසිද්ධව සිටියේ 'ක්‍රිප්ටෝරැජින' යන අන්වර්ත නාමයෙනි. සුප්‍රසුද්ධ ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් වූ OneCoin හි නිර්මාතෘවරිය වන්නේද ඇයයි. ඇය ආයෝජකයන් රවට්ටමින් සිය OneCoin අලෙවි කිරීමක් සිදුකළ බවට පසුව අනාවරණය කර ගැනුණි. ඇගේ මෙම වංචාවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් ලියන 4ක් ඉක්මවන බව පැවසෙයි.  2017 වසරේදී නිව්යෝක් අධිකරණය මගින් ඇය අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කෙරුණු අතර, 2018 දී ඇයට එරෙහිව මුදල් වංචා කිරීම, මුදල් විශුද්ධිකරණය, සුරැකුම්පත් වංවාව යනාදී චෝදනා ගොනු කෙරිණි. ඒ අනුව අද වනවිට FBI ලැයිස්තුවෙහි වඩාත් අත්‍යවශ්‍ය පුද්ගලයන් 10දෙනාගේ ලැයිස්තුවෙහි සිටින එකම කාන්තාවද ඇය වෙයි. ඇය පිළිබඳ තොරතුරක් ලබා දෙන්නෙකුට ඩොලර් ලක්ෂයක ත්‍යාගයක් ලබාදෙන බවටත් FBI ආයතනය ප්‍රසිද්ධ කර තිබේ.

මුද්දර ගාස්තු ඉහළ දැමිම නිසා ලිපි යැවීම් 70%කින් අඩුවෙලා

මුද්දර ගාස්තු ඉහළ දැමීම නිසා මේ වනවිට සාමාන්‍ය ලිපි හා ලියාපදිංචි ලිපි යැවීම් 70%කින් පමණ අඩු වී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.  තැපැල් දෙපාර්තමේන්තුවේ පාඩුව අවම කර ගැනීමට බව පවසමින් තැපැල් ගාස්තුව අධික ලෙස ඉහළ දැමීම නිසා සාමාන්‍ය ජනතාව තැපැල් කාර්යාලවලට පැමිණීම ක්‍රමානුකූලව අඩුවෙමින් තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය. දැනට රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතනවල රාජකාරී ලිපි හා බැංකුවලට අදාළ ලිපි ලැබෙමින් තිබෙන බවත්, ජනතාවට දරාගත නොහැකි ආකාරයට පසුගිය වසරේ අගොස්තු 15 වැනිදා සිට ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළ බවත් ඔහු පවසා සිටියේය.

සාමාන්‍ය තැපැල් ගාස්තුව රුපියල් 15.00 සිට රුපියල් 50.00 දක්වාත්, ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 45.00 සිට රුපියල් 110.00 දක්වාත් විදේශ රටකට ලියාපදිංචි තැපෑලෙන් ලිපි යැවීමේදී අය කළ ගාස්තුව රුපියල් 200.00 සිට රුපියල් 800.00 දක්වාත් ඉහළ ගිය බවද හෙතෙම පවසා සිටියේය.  ගාස්තු ඉහළ දැමීම ජනතාවට දරාගත නොහැකි බවට තම සංගමය බලධාරීන්ට එම අවස්ථාවේදීම පෙන්වා දුන් බවත්, මේ අනුව මාස තුනක් තුළදී ගාස්තු ඉහළ යෑමෙන් බලපෑම් සිදු වූවාද යන්න සොයා බලා අවශ්‍ය කටයුතු කරන බවට බලධාරීන් සඳහන් කළ බවත් ඒ මහතා කියා සිටියේය.

එහෙත් මෙතෙක් අදාළ කටයුතු සිදුකර නොමැති බවත්, ගාස්තු අධික ලෙස ඉහළ දැමීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවට යම් ආදායමක් ලැබුණද සාමාන්‍ය ජනතාව තැපැල් කාර්යාලවලට පැමිණීම අඩුවීම බරපතළ ගැටලුවක් බවත් චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.තැපැල් දෙපාර්තමේන්තුව පාඩු ලබන නිසා ගාස්තු ඉහළ දැමුණද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වසරකට නොමිලේ ලබාදෙන රුපියල් තුන්ලක්ෂ හැත්තෑපන්දහසක මුද්දර ප්‍රමාණය ලබාදීම නවතා දැමීමට හෝ අඩු කිරීමට කටයුතු නොකළ බවද ඔහු පවසා සිටියේය. බොහෝ මන්ත්‍රීවරුන් අදාළ මුද්දර උපයෝගී කරගෙන තම තමන්ගේ පෞද්ගලික කටයුතු සිදුකරන බවත්, මේ නිසා මන්ත්‍රීවරුන්ට මුද්දර ලබාදීම අත්හිටුවා මුද්දර ගාස්තුව අඩු කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය.


 ඉන්දික හේවාවිතාරණ


ඇඳුම් සාප්පු වල විලාසිතා නිරූපණ අනුරූවල ඇති මුහුණ ඉවත් කරන ලෙස තලේබාන් නියෝගයක්

 

ඇෆ්ගනිස්තානයේ  කාබුල් අගනුවර කාන්තා ඇඳුම් පැළඳුම් අලෙවි සැල් සියල්ලගේම පාහේ පිහිටුවා ඇති විලාසිතා නිරූපණ අනුරූවල මුහුණු ගලවා ඉවත් කිරීමට හෝ ඒවා කළු පැහැති මලුවලින් වැසීමට එම අලෙවිසැල් හිමිකරුවන් මේ දිනවල කටයුතු යොදමින් සිටින බව වාර්තා වෙයි.එරට පාලනය හිමි තලේබාන් සංවිධානය පසුගියදා ලබාදුන් නියෝගය මත එම අලෙවිසැල් හිමිකරුවෝ මෙම පියවර ගනිමින් සිටිති. විශේෂයෙන්ම තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානය තුළ ගෙනයන දැඩි ඉස්ලාම් ආගමික තීන්දු තීරණ යටතේ කාන්තාවන් සදහා පනවා ඇති නීති මෙම නිරූපණ අනුරූ සඳහාද පොදුවීම ඊට හේතුව වී තිබේ.

තලේබාන් සංවිධානය 2021 වසරේ අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානයේ පාලනය සියතට ගත් අතර, අද වනවිට මැතිවරණයකින් තොරව පිහිටුවා ගත් රජයක් යටතේ රට පාලනය කිරීමේ නිරත වෙයි.ඒ අනුව එරට උගත් සහ සදාචාර නියමයන් පිළිබඳ අමාත්‍යාංශයේ නියමය යටතේ මෙලෙස සියලුම නිරූපණ අනුරූ සියල්ලම කඩසාප්පුවල ඉදිරි පිටින් ඉවත් කිරීම, ඒවායේ හිස් ගලවා ඉවත් කිරීම හෝ වෙනත් ක්‍රමයක් මගින් එම හිස් ආවරණය කිරීම සිදුකළ යුතු බව දැනුම් දී තිබේ.අද වනවිට ඇෆ්ගනිස්තාන කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවලදී සිය මුහුණ වැසෙන සේ බුර්කාව පැලඳීම අනිවාර්යය කෙරී තිබේ. එසේම කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාවද තලේබාන් සංවිධානය විසින් මේ වනවිට අත්හිටුවා තිබේ.

මෙලෙස තලේබාන් සංවිධානයේ මෙම දැඩි තීරණ පිළිබිඹු කරන ඇදුම් අලෙවි සැල් බොහෝමයක්ම කාබුල් අගනුවරදී දැකගත හැකිය.ඇතැම් අලෙවිසැල් හිමිකරුවෝ පසුගිය කාලයේදී මේ නීතියට එරෙහිව සිය අදහස් දැක්වූහ. විශේෂයෙන්ම මෙලෙස එම විලාසිතා නිරූපණ අනුරූ අලෙවි සැලේ ඉදිරිපිටින් ඉවත් කිරීම හේතුවෙන් ඔවුන්ගේ ඇදුම් පාරිභෝගිකයාට නිසි ලෙස ප්‍රදර්ශනය නොවන බවත්, ඒ නිසා ආදායම් අහිමි වන බවත් ඇතැමුන් පවසා තිබුණි.  ඒ අනුව තලේබාන් සංවිධානය සිය නීති ලිහිල් කරමින් අලෙවිසැල් ඉදිරිපිට පිහිටුවන මෙවැනි අනුරූවල මුහුණ ඉවත් කරන ලෙස හෝ වසා දමන ලෙස දැනුම් දී තිබේ.

මේ අතර තලේබාන් සංවිධානයේ නීතියට ගරු කරමින්, සිය ව්‍යාපාරික කටයුතුද පවත්වාගෙන යාමට මෙම අලෙවි සැල් හිමිකරුවන් අද වනවිට වෙනත් උපායමාර්ගික ක්‍රමවේද වෙත යොමු වී ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.  එහිදී උදාහරණයක් ලෙස, මැද පන්තියේ පාරිභෝගිකයන් අතර වඩාත් ජනප්‍රිය කඩපෙළක් වන කාබුල් අගනුවර ලයිසී මාර්යාම් මාවතේ පිහිටි කඩසාප්පුවල හිමිකරුවන් මේ වනවිට සිය විලාසිතා නිරූපණ අනුරූවල මුහුණු විවිධ මුහුණු ආවරණ යොදා ගනිමින් වසා දමා තිබේ.එසේම ඇතැම් සාප්පු එම අනුරුවට අන්දවා ඇති සාම්ප්‍රදායික ඇඳුමින්ම මැසූ ආවරණයකින් එම හිස වැසීමට කටයුතු යොදා තිබෙන ආකාරයද දැකගත හැකිය.

"මට බෑ කැතම කැත කුණු අදින කළු පාට බෑග්වලින් මේ මුහුණු වසන්න. මොකද එතකොට මගේ සාප්පුවේ වීදුරුව කැතටයි පේන්නේ.” යනුවෙත් මෙම වීදියේ සාප්පුවක හිමිකරුවෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. විශේෂයෙන්ම අද වනවිට ඇෆ්ගනිස්තානය මුහුණ දී සිටින දරුණු ආර්ථික අර්බුදයත් සමගින්ම ජනතාවට ඇඳුමක් මිලදී ගැනීම සඳහා වන අවශ්‍යතාව ඇති කරවන මෙවැනි ප්‍රදර්ශනාත්මක අංග වෙත නීති පැනවීම සුදුසු නොවන බව මෙම කඩ සාප්පු හිමිකරුවන්ගේ අදහස වී තිබේ. එහෙත් තලේබාන් සංවිධානයට දක්වන බිය නිසා ඔවුහු ප්‍රසිද්ධියේ ඒ පිළිබඳව අදහස් නොදක්වති.

“අද මංගල ඇඳුමක්, සවසට අඳින ඇඳුමක් හරි සාම්ප්‍රදායික ඇඳුමක් හරි මිලදී ගන්න එක නෙමෙයි ඇෆ්ගනිස්තාන ජනතාවගේ ප්‍රමුඛතාව වෙන්නේ.

ඔවුන් දැන් ආහාර සහ සුරක්ෂිතවීම ගැන තමයි, වැඩිම අවධානය යොමු කරන්නේ, මේ නිසාම අද අලෙවිය භාගෙට භාගයක් අඩුවෙලා.” කඩසාප්පු හිමිකරුවන් පවසයි. මේ අතර, තලේබාන් සංවිධානය මගින් පනවා ඇති මෙම නීතිය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇෆ්ගනිස්තාන කාන්තාවක්, 

“මේ රෙදි සාප්පු ඉදිරිපිටට ගිහිල්ලා ඒවා දිහා බලන කොට මට දැනෙන්නේ හරියට මේ වීදුරු පිටිපස්සේ මම ඉන්නවා වගේ හැඟීමක්.” යනුවෙන්ද විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.