Friday, February 28, 2025

බිරියගේ යාළුවා මරන්න කොරියාවේ සැමියාගෙන් රුපියල් ලක්ෂ 10 1/2

 විදේශගතව සිට මෙරට අපරාධ මෙහෙයවන ප්‍රවණතාවක් මේ වන විට ඇතිව තිබේ. පසුගිය කාල පරිච්ඡේදය පුරාම මෙරට සිදුවූ මිනිස් ඝාතන රැසක්ම මෙහෙයවා තිබුණේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පුද්ගලයන් විසිනි. ඊට අමතරව ඉතාලිය සහ ප්‍රංශය වැනි රටවල වෙසෙන අපරාධකරුවෝද එම රටවල සිට මෙරට අපරාධ මෙහෙයවති.

ඉකුත් දිනක විදේශගතව සිට මෙහෙයවූ මෙවන් අපරාධයක් අනාවරණය කර ගැනීමට මාතලේ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ටද හැකි විය. විමර්ශනයේදී හෙළිවන්නේ ඔවුන් එම අපරාධය මෙහෙයවා ඇත්තේ  කොරියාවේ සිට බවය. කොරියාවේ සිට මෙහෙයවූ අපරාධයක් සම්බන්ධයෙන් තොරතුරු මෙරට පොලිසියකට වාර්තා වන්නේ මුල්ම වතාවට බවද කියයි. 


පියල් මාතලේ, ඕවිලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙදරු පියකු වූ ඔහුගේ බිරිය සිටින්නේ විදේශගතවය. මොහු තවත් මිතුරකුද සමඟ එක්ව මාතලේ නගරය ආසන්නයේ කොණ්ඩා කපන සැලුන් එකක් පවත්වාගෙන ගොස් තිබේ. උදෑසන විවෘත වන මෙම බාබර් සැලුන් එක හතර වටින් ඇඳිරි වැටෙද්දී වසා දැමෙන අතර පසුව ඔවුන් ඕවිලිකන්ද බලා පිටත්ව යති.මීට දින කිහිපයකට පෙර ඕවිලිකන්ද නිවෙසට යෑම සඳහා මාතලේ ගොංගාල පාරේ ගමන් කරමින් සිටියදී ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි අයකු මොවුන් දෙදෙනා මුණගැසී ඕවිලිකන්ද පන්සලට යන පාර අසා ඇත.


"අපිත් යන්නේ ඕවිලිකන්ද පැත්තට තමයි"

"එහෙනම් මගේ බයික් එකේම යමු" ''බැහැනේ. අපි දෙන්නෙක්ම ඉන්නවනේ"


"කමක් නැහැ. පුළුවන් විදිහට යමු" මෙලෙස ඇතිවුණු කතාබහෙන් පසු පියල් සහ මිතුරා එම යතුරුපැදියෙන් ඕවිලිකන්දට ගොස් තිබිණි. ඒ ආගිය ගමන්ද කතාබස් කරමිනි. යතුරුපැදිකරු පියල් සහ මිතුරා ඕවිලිකන්දෙන් බස්සවා නැවැත හැරී ගොස් තිබේ.කාලය මෙසේ ගෙවී ගොස් ඇත. ඒ ඉකුත් 13 වැනිදාය. සුපුරුදු පරිදි විදුලිය මුළු පළාතේම විසන්ධි වී තිබිණි.


"තව පැයක්වත් යයි ලයිට් එන්න. අපි මේ සැලුන් එක වහලා ගෙදර යමු"

පියල් සිය මිතුරාට පවසා බාබර් සාප්පුව වසාදමා සිය නිවෙස බලා යන්නට සූදානම් වූ අතර ඒ සමඟ හිස්වැසුමක් සහ මුහුණු ආවරණයක් දමා ගත් පුද්ගලයකු සැලුන් එකට ඇතුළු විය.


"ලයිට් නැහැනේ. අපි මේ වහන්න හදන්නේ"


ඒ සමඟම එම පුද්ගලයා පිටව ගොස් ඇති අතර පියල් සහ මිතුරා බාබර් සාප්පුවද වසා දමා නගරය දෙසට ඇවිදගෙන ගොස් ඇත්තේ ඕවිලිකන්දට යෑමේ අදහසිනි.


මඳ දුරක් යද්දී වැගන් ආර් රථයක් මාර්ගයේ නතර කර තිබෙනු පියල් දුටු අතර ඒ අසල පුද්ගලයකුද සිටින බව ඔහුට පෙනිණි.

"කොහොමද..."

"ආ... ඔයා නේද අපිව එදා බයික් එකේ දාගෙන ගියේ"

පෙර දිනක තමා සහ සිය මිතුරා යතුරුපැදියේ ඕවිලිකන්දට රැගෙන ගියේ ඔහු බව පියල්ට වැටහිණි. ඒ සමඟම එතැනට පැමිණි තවත් අයෙකි. ඔහු හිස්වැසුමක් සහ මුහුණු ආවරණයක් දමාගෙන සිටියේය. ඊට විනාඩි කිහිපයකට පෙර බාබර් සාප්පුවට පැමිණියේ ඔහු බව පියල්ට අවබෝධ විය.


"අපි යන්නේ ඕවිලිකන්දට... එන්න මේකේ යමු...


එතැනින් එහාට වචනයක්වත් කතා කරන්නට පියල්ටත් මිතුරාටත් හැකියාවක් නොලැබිණි. පියලුත්, ඔහුගේ මිතුරාත් දමාගත් වැගන් ආර් රථය පවනට බඳු වේගයෙන් ඕවිලිකන්ද, අංකුඹුර මාර්ගයේ සිට කිලෝමීටර් 11ක් පමණ ඇති ලදු කැලෑවක ගල්තලාවක් අසල රථය නතර කෙරිණි. ඒ සමඟ පියල්ට සහ මිතුරාට ලැබුණේ ගුටි පූජාවකි.

එකකු පියල්ට පිහියකින් පහර දුන් අතර අනෙකාටද පොල්ලකින් පහර දෙන්නට විය. පියල්ගේ මිතුරා ඔවුන්ගෙන් බේරී පලාගිය අතර පියල් ඔවුන් තිදෙනාටම මැදිව එල්ල වූ පිහි පහරවල්ද කා එතැනම ඇදගෙන වැටිණි.


"මූ ඉවරයි වගේ... වරෙන් යමු වැඩි වෙලා මෙතැන ඉන්න හොඳ නැහැ"


තිදෙනාම ඉන් අනතුරුව පැමිණි වැගන් ආර් රථයෙන්ම නැඟ පලාගිය අතර බරපතළ තුවාල ලැබූ පියල් මඳ වේලාවක් සිහිසුන්ව සිට පසුව ඉතා අමාරුවෙන් නැගිට තිබේ. දැඩි වේදනාවෙන් සහ අසීරුවෙන් ඔහු මාර්ගයට පිවිස එතැන සිට කිහිපදෙනකුට සිදු වූ දේ පවසා ඔවුන්ගේ මාර්ගයෙන් ඕවිලිකන්ද රෝහලට ඇතුළු වී තිබේ.


කෙසේ වෙතත් පියල්ගේ තත්ත්වය බරපතළ වූ බැවින් ඔහු මාතලේ රෝහලටත් එතැනින් මහනුවර රෝහලටත් මාරු කර යැවිණි. මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරීමෙන් පසු ඔහුට වහා ප්‍රතිකාර ලබාදුන් අතර සිද්ධිය වහා මාතලේ පොලිසිය වෙත දැනුම්දීමටත් රෝහල් පොලිසිය පියවර ගෙන තිබිණි.


එම දැනුම්දීම මාතලේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක සුසිල් රත්නායක වෙත ලැබීමත් සමඟ සිදුවීම විමර්ශනය කිරීමට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඒකනායක ඇතුළු කණ්ඩායම වෙත පැවරිණි. උප පොලිස් පරීක්ෂක ඒකනායක වහා මහනුවර රෝහලට ගොස් තුවාලකරු පියල්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ ගත්තද ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීම නිසා එම උත්සාහය අසාර්ථක විණි. පසුව සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයෙන් පසු පියල් සමඟ පහර කෑමට ලක් වූ ඔහුගේ මිතුරා සොයා ගැනීමට හැකි වූ අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සිදුවීම අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකිවිණි. ඒ අනුව එම තරුණයා සමඟ පහරදීම සිදු වූ ඕවිලිකන්දට ගිය අපරාධ විමර්ශන අංශයේ නිලධාර්න් සිද්ධිය වූ ස්ථානය පක්ෂා කරන ලදී.

"අපි එතැන පරීක්ෂා කළා. ඒ ගල්තලාව මත රුධිරය ගලා ගිහින් තිබුණා. පහර දීපු ආකාරය බැලුවම පහර කෑමට ලක්වූ පුද්ගලයා ජීවත් වෙලා ඉන්න එකත් පුදුමයක් වුණා. එතැන පිස්තෝලයක කොටස් වගයකුත් තිබුණා. ඒක පරීක්ෂා කරද්දී ඒක සෙල්ලම් පිස්තෝලයක් බවට හඳුනා ගත්තා. කෝකටත් අපි මිනීමැරුමක් විදිහට තමයි විමර්ශන සිදුකළේ." විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය. තුවාල ලත් පියල්ගේ මිතුරාගෙන් දීර්ඝ ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහු සහ පියල් පැහැරගෙන ගිය මාතලේ නගරයට ආසන්න මත්පැන් හලක් ඇති ස්ථානයට ගිය නිලධාර්න් ඒ අවට ස්ථාපිත සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කරන්නට විය.


"ඒත් ඒක වැඩක් වුණේ නැහැ. මේ කට්ටිය මේ දෙන්නා පැහැරගෙන ගිහින් තිබුණේ ලයිට් කපපු වෙලාවේ. ඒ නිසා සී.සී.ටී.වී. කැමරාවල පැහැදිලි දර්ශන තිබුණේ නැහැ.


තවදුරටත් ප්‍රශ්න කරද්දී කිව්වේ ඒ දෙන්නව දාගෙන ගියේ නිල් පාට වැගන් ආර් කාර් එකකින් කියලා. පස්සේ අපි නගරය අවට තියෙන සී.සී.ටී.වී. කැමරා චෙක් කළා, ලයිට් කපන්න කලින් ඒවයේ සටහන් වුණු රූප රාමු බලන්න. ඒවා නිරීක්ෂණය කරමින් යද්දී නිල් පැහැති වැගන් ආර් රථයක් අපිට නිරීක්ෂණය වුණා එතැනදී. රථය නගරයට ඇතුළු වන දර්ශන කිහිපයක් සොයාගන්න හැකිවුණා. අපි ඒ ඔස්සේ පරීක්ෂණ කරලා එම රථයේ අංකය හඳුනා ගත්තා. "


විමර්ශන නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. පසුව නිලධාරීන් එම රථයේ අංකය ඔස්සේ දීර්ඝ විමර්ශනයක් කිරීමෙන් පසුව එම රථය රාගම ප්‍රදේශයේ රෙන්ට් කාර් සර්විස් එකකින් කුලී පදනම මත ලබාගෙන ඇති බව අනාවරණය කරගත හැකි විය. පස්සේ අපි ඒ කාර් සර්විස් එකට ගිහින් තොරතුරු සෙව්වා. ඒ කාර් එක ඒ වෙනකොට නැවත ඒ ආයතනයට භාරදීලා තිබුණා. අපි ඒ ආයතනයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරද්දී දැනගත්තා ඒ කාර් එක රුපියල් 21,000ක රෙන්ට් එකකට් අරගෙන ගිහින් කියලා. ඒක අරගෙන ගිහින් තිබුණ පුද්ගලයාගේ අයිඩ්ස්ටන්ටියේ කොපියක් ඒ ආයතනයේ තිබුණා. අපි ඒ විස්තර අරගෙන ඒ පුද්ගලයා හොයන්න පටන් ගත්තා. මිනිහා ලොරි ඩ්‍රයිවර් කෙනෙක්. විමර්ශනය දිගින් දිගටම පැවැතිණි. ලොරි රියැදුරාගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත ඔස්සේ ඔහුගේ ලිපිනය සොයාගත් නිලධාරීන් ඔහුගේ නිවෙස සොයා ගියද ඔහු නොසිටි අතර කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු ලග්ගල ප්‍රදේශයේ මැණික් පතලක රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. පසුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු මෙම සිද්ධියේ සැලසුම්කරු එම ලොර් ඊයැදුරා බවට තහවුරු විය. ඒ අනුව හෙළිවන්නේ මෙවන් කතාවකි.


ලොරි රියැදුරා ඇතුළු සගයන් දෙදෙනා පියල්ට අමානුෂික ලෙස පහරදී මරා දමන්නට තැත් කරන්නේ ඔහුගේ මිතුරකුගේ කොන්ත්‍රාත්තුවකටය. එම මිතුරා සිටින්නේ කොරියාවේය. ඔහු එරට සිට තවත් මිතුරකු සමඟ ඉකුත් ජනවාරි මස 25 වැනිදා මෙරටට පැමිණි මෙම ලොර් රියැදුරා මුණගැසී පියල් මරාදැමීමේ කොන්ත්‍රාත්තුව භාරදී ඇත. කොන්ත්‍රාත්තු මුදල රුපියල් ලක්ෂ දහයහමාරකි.

පසුව ඔවුන් පියල් පැහැරගෙන යෑම සඳහා රාගම රෙන්ට කාර් ආයතනයෙන් ලොරි රියැදුරා ලවා වැගන් ආර් රථයද මිලදී ගැනීමට අවශ්‍ය සහායද ලබාදී ඇත. පියල් ඝාතන සැලැස්ම මෙහෙය වූ කොරියා රටේ සිටි පුද්ගලයා පසුව ඉකුත් පෙබරවාරි මස පළමු වැනිදා යළි කොරියාව බලා පිටත්ව ගොස් තිබිණි. 


මේ කොර්යාවේ  ඉන්න පුද්ගලයාගේ බිරිය සමඟ පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ අනියම් සම්බන්ධයක් තිබිලා තියෙනවා. මේක නතර කරගන්නම බැරි වෙලා. මේ පහර කෑමට ලක්වුණ පුද්ගලයා ඒ කාන්තාවගෙන් මුදල් ඉල්ලා කරදර කරලත් තියෙනවා. අන්තිමට කොරියාවේ ඉන්න පුද්ගලයා එයාගේ බිරියයි, දරුවනුයි අරගෙන ඕවිලිකන්දෙන් වෙනත් පළාතකට පදිංචියට යනවා. "පස්සේ බේරෙන්න බැරිම තැන තමයි ඔය ලොරි රියැදුරාට ඒ පුද්ගලයා මරන්න කියලා රුපියල් ලක්ෂ දහය හමාරක කොන්ත්‍රාත්තුව භාර දෙන්නේ. සිද්ධිය වෙන්න කලින් රුපියල් ලක්ෂය, දෙක වරින් වර දෙනවා. අන්තිමේදී අනිත් ඉතුරු සල්ලි දෙනවා. ඒත් පහරකෑමට ලක්වුණු පුද්ගලයා මැරෙන්නේ නැහැ. ඒත් තවමත් එයා අයි.සී.යූ. එකේ ඉන්නේ..."

විමර්ශන නිලධාරියා සඳහන් කළේය. "හරි ඒවා වැඩක් නැහැ. උඹත් එක්ක ගිය අනිත් දෙන්නා කවුද?


"සර් ඒ ගොල්ලෝ ඉන්නේ බියගම කලාපයේ"

සැකකාර ලොරි රියැදුරාගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් පසු සෙසු දෙදෙනා හඳුනාගත් නිලධාර්න් බියගම වෙළෙඳ කලාපයේ අත්මේස් නිෂ්පාදනය කරන කම්හලක සේවය කරමින් සිටියදී සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

"උඹලට කීයක් දුන්නද වැඩේ කළාට..." "සර්... අපිට දුන්නේ රුපියල් තිස්දාහයි." ඔවුන්ගේ ප්‍රකාශ මත හෙළිවන්නේ ලොරි රියැදුරා විසින් රුපියල් ලක්ෂ දහය හමාරේ මුදලින් මොවුන් දෙදෙනාට රුපියල් තිස්දහස බැගින් රුපියල් හැටදහසක් පමණ ලබා ඇති බවය.

"කෝ දැන් ඒ මනුස්සයට ගහපු පිහිය. විමර්ශන නිලධාහු ඔවුන්ගෙන් විමසූහ." "සර් පිහියයි අපේ ලේ ගැවුණු ඇඳුම් සේරමයි කාර් එකේ යන ගමන් කටුගස්තොට පාලමෙන් ගඟට විසිකළා." තවදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් පැවැසුවේ පියල් සහ සගයාව බිය කිරීම සඳහා මාතලේ රෝස වීදියේ වෙළෙඳසලකින් රුපියල් 200ක් ගෙවා සෙල්ලම් පිස්තෝලයක් මිලදී ගත් බවත් ඔවුනට පහරදීම සඳහා රුපියල් 600ක් ගෙවා පිහියක් මිලයට ගත් බවත්ය. 


සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු රුපියල් ලක්ෂ දහය හමාරක මුදල් කොන්ත්‍රාත්තුවකට පුද්ගලයකු පහරදී මරා දමන්නට කොරියාවේ සිට කරන ලද සැලැස්මක සුලමුල මෙසේ අනාවරණය කර ගැනීමට මාතලේ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට හැකි විය. විමර්ශන නිලධාර්න් පවසන්නේ කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා මේ වන විට කොරියාවේ රැඳී සිටින නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන ලබා ගන්නා බවය. එතෙක් ඔහු මෙරටට ඇතුළුවීම වළක්වාලමින් ගුවන්ගමන් තහනමක්ද ලබාගෙන තිබේ. සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. කොන්ත්‍රාත්තුව සඳහා ලබාදුන් මුදලෙන් රුපියල් ලක්ෂ 5ක් නිලධාර්න් සොයාගෙන ඇත.


ප්‍රභූ නම් යොදාගෙන මාස 6ට කෝටි 15ක් අවභාවිත කරලා

 


ටපු ජනපතිවරයකුගේ හා ඔහුගේ ලේකම්වරයකුගේ නම් භාවිත කරමින් පසුගිය වසරේ මාස හයක් ඇතුළත රුපියල් කෝටි 15ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන පුද්ගලයකුට එරෙහිව පාමංකඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.


නීතිඥ සංජීව කොඩිතුවක්කු මහතා මගින් සී.එම්.යූ. වීරවර්ධන නමැති අයට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.වීරවර්ධන නමැති අය අයථා අන්දමින් උපයාගත් මුදල් පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ ජාත්‍යන්තර බැංකු ගිණුමට මෙසේ බැර කර ඇති අතර ව්‍යාපාරිකයාගෙන් වරින් වර කප්පම් ලබාගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් කර ඇත. පසුගිය වසර ඇතුළත රහස් පොලිසියට ලබාදීම සඳහා යැයි පවසමින් ලක්ෂ 106ක කප්පමක් ලබාගෙන ඇති බවද එම පැමිණිල්ලේ හා ව්‍යාපාරිකයා අතර ඇති සම්බන්ධතාව සඳහන් කර ඇත.


පැමිණිලිකාර ව්‍යාපාරිකයා විසින් පසුගිය නොවැම්බර් 26 හා 29 වැනි දිනවල රහස් පොලිසියේ නිලධාරීන්ට ලබාදීමට යැයි පවසමින් ඉල්ලා සිටි කප්පම් මුදල් ලබාදී ඇත.සැකකාර පුද්ගලයා විදේශ ශ්‍රමිකයන්ට නිකුත් කරන ලද වාහන හතරක් සහ තවත් වාහන දෙකක් පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ ආයතන පර්ශුයේ සඟවා ඇති බවද වැඩිදුරටත් සඳහන් කරයි.


නීත්‍යනුකූල ව්‍යාපාර ගනුදෙනු සිදු කරන පැමිණිලිකරුගේ ගිණුමට මාස හයක් ඇතුළත එකම පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 1360 කට අධික මුදලක් බැර වූයේ කෙසේද යන්න පිළිබඳව ජාත්‍යන්තර බැංකුව විසින් කරුණු විමසා ඇති අතර එසේ මුදල් තැන්පත් කරන පුද්ගලයාගේ අනන්‍යතාව සහ පැමිණිලිකරු හෙළි කර මුදල් ගනුදෙනු වන්නේ කුමන හේතුවකින්ද යන්න පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට මාසයක කාලයක් ලබා දී ඇත. ඉන්පසුව අදාළ ජාතන්තරබැංකුව විසින් පැමිණිලිකරුගේ ගිණුම වසා දැමීමට පසුගිය දෙසැම්බර් මාසයේ කටයුතු කොට ඇත.

මෙලෙස හිටපු ජනපතිවරුන්ගේ හා ලේකම්වරුන්ගේ නම් පවසමින් බිය ගන්වා කප්පම් ලබා ගැනීම, අයථා අන්දමින් ලබාගත් මුදල් කෝටි ගණනින් මාස හයක් තුළ ගිණුමක තැන්පත් කිරීම. පැමිණිලිකරු යොදවා ගෙන කළු සල්ලි සුදු කිරීමට කටයුතු කිර්ම යන කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ ව්‍යාපාරිකයා වෙනුවෙන් නීතිඥ සංජීව කොඩිතුවක්කු මහතා රහස් පොලිසියෙන් ඉල්ලා ඇත. 


කුමුදු උපුල් ශාන්ත


වලානේ කියා බය කර මග දිගට කොල්ලකාලා

 


එච්.එම් ධර්මපාල


වලාන පොලිස් නිලධාර්න් යැයි කියාගත් දෙදෙනකු මහමග ගමන්කරමින් සිටි යතුරු පැදිකරුවකු නවතා පරීක්ෂා කරන මුවාවෙන් පැහැරගත් එම යතුරු පැදියත් කොල්ලයට යොදාගත් යතුරු පැදියත් තම සන්තකයේ සඟවාගන සිටි හෙරොයින් මිලි ග්‍රෑම් 6180 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 10200 ක්ද සමග රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස අපරාධ අංශය කියයි. සැකකරුවන් වාද්දුව ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 28 හා 32 ක් වන අතර හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටින අයවලුන් බවත් ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෙලෙස දේපළ කොල්ල කෑමට පුරුදුව සිටින අය වන බවත් පොලිසිය පැවසීය.


පැමිණිලිකරු තෙලවල විහාරස්ථානය අසලින් ගමන් කරන අතරේ හදිසියේ පැමිණි පැදිකරු මාර්ගය හරස්කර බයකර යතුරු පැදිය නවතා තමන් වලාන පොලීසියෙන් යැයි කියා සිටින විටත් පැමිණිලිකරු යතුරු පැදියද අතහැර දුවන්නට පටන් ගෙන ඇති අතර කොල්ලකරුවන් එම. යතුරු පැදියට නැග දුවමින් සිටි පුද්ගලයා නවතා යතුරුපැදියේ නංවාගෙන ගොස් බෙලෙක්කඩේ ප්‍රදේශයේ පාලු තැනකට රැගෙන ගොස් ඔහු සන්තකයේ තිබූ රුපියල් 3000 ක මුදලද යතුරු පැදියද රැගෙන පලාගොස් සැගව සිට ඇත.


සංජීව ඝාතනයේ රිමාන්ඩ් 8කගේ ගිණුම් පිරික්සයි

 


රෝෂන් තුෂාර


පාතාල කල්ලි සාමාජික ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයන් අට දෙනකුගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ (27) අවසර දුන්නාය.

 

කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවක් ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කර ඇත. කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් සංසරණය වී ඇති බවට, සැකකරුවන්ගේ දුරකථන පණිවිඩ හරහා සනාථ වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමට බැංකු වාර්තා කැඳවීමට අවසර දෙන ලෙසය.


මේ අතර බන්ධනාගාරගත පොලිස් කොස්තාපල් ලහිරු ප්‍රසන්න ඇතුගල ඇතුළු සැකකරුවන් අටදෙනකුගේ ප්‍රකාශ සටහන් කිරීම තවදුරටත් කළ යුතු බැවින්, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් දෙදෙනකුට බන්ධනාගාරයට ගොස් ප්‍රකාශ සටහන් කිරිමට අවසර දෙන ලෙසද ඉල්ලා ඇත.

 

ප්‍රධාන සැකකාර වෙඩික්කරු ඇතුළු සැකකරුවන්ගේ ක්‍රියා කලාප සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරන හෙයින් අධිකරණයේ සී.සී.ටී.වී. දර්ශන අදාළ පොලිස් කණ්ඩායම්වලට ලබාදෙන ලෙසට රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා තිබේ.එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පොලිසිය ඉල්ලා සිටින පරිදි කාල පරාසයකට අදාළ සියලු සී.සී.ටී.වී. දර්ශන පොලිසියට ලබාදෙන ලෙසට ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියට නියෝග කර ඇත.


ගණේමුල්ල සංජීව ඝාතනයට පෙර වෙඩික්කාර සැකකරු වන කොමන්ඩෝ සමිඳු හා ගණේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකාරිය වන ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවේ පසුවන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා, සෙව්වන්දිගේ මව, සහෝදරයා, ප්‍රවාහන පහසුකම් සැපයූ සැකකාර රියැදුරන් හා ගිනි අවිය ප්‍රවාහනය කළ තැනැත්තා සමග දුරකථන පණිවිඩ හුවමාරු කරගෙන ඇති බවත්, ඔවුන් සමග මුදල් සංසරණය කළ බවට සාක්ෂි ඇති බැවින් මෙම නියෝග ඉල්ලා සිටින බවත් සඳහන් කර තිබේ.ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ප්‍රකාශ සටහන් කිරීමට හා බැංකු වාර්තා කැඳවීමට පොලිසියට අවසර දෙමින් නියෝග නිකුත් කර ඇත.


සංජීව ඝාතනයේ සෙව්වන්දි අල්ලන්න පොලිස් කණ්ඩායම් 11 ක්

 

 


 දමිත් වික්‍රමසේකර


සංවිධානාත්මක පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව නැමැත්තා ඝාතනයේ මහ මොළකරු යැයි කියන 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 11ක් යොදවා රටපුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවැසීය.


තවත් පොලිස් කණ්ඩායමක් අවශ්‍ය කටයුතු සඳහා ඩුබායි රාජ්‍යයට පිටත්කර යවා ඇතැයිද වටගල මහතා කීය.කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායම් දෙකක්ද එම මෙහෙයුමට සම්බන්ධ බවත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා කීය.මෙම සිද්ධියට සම්බන්ධ සහ එම ඝාතනය මෙහෙය වූ විදෙස්ගත පාතාල කල්ලි නායකයන් හැකි ඉක්මනින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු කීවේය.


මෙම සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට විදේශ රටකට පැන යාමට නොහැකි වී ඇතැයි ද ඇය මෙරට තුළ සිටින්නේ යැයි තොරතුරු වාර්තා වන බව ද වටගල මහතා සඳහන් කළේය.සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දස දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගනිමින් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවත් ඩුබායි සිට මෙම ඝාතනය මෙහෙය වූ ආකාරය සහ කාන්තාව පසුගිය වසරේ නොවැම්බර් සිට වෙඩික්කරු සමග මිතුරු වී ඝාතනය සැලසුම් කළ ආකාරය ගැන තොරතුරු රැසක් පොලිස් විමර්ශන හරහා අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. වෙඩික්කරු ලෙස අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම නිසා ඉතාමත් පහසුවෙන් වෙඩික්කරුවකු වශයෙන් එම ඝාතනයට පුහුණු කර ගැනීම පහසු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද වටගල මහතා කීය.


මෙම ඝාතනය සම්බන්ධයෙන් සහය දැක් වූ පොලිස් නිලධාරීන් සම්බන්ධව ද බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වටගල මහතා සඳහන් කළේය.ඩුබායි සිට ඝාතනය මෙහෙය වූ අපරාධ මිනීමැරුම් සම්බන්ධව පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධය සහ ඔවුන් එම පාතාල කණ්ඩායම් සාමාජිකයන් අතර තොරතුරු හුවමාරු කරගත්තේ ද යන්න පරීක්ෂණ කරන බවද නියෝජ්‍ය අමාත්‍ය වටගල මහතා පැවසීය.


ළමා නිවාස දැරිය මෙහෙකාරකමට ගත්තැයි රාජාංගණය ප්‍රා. ලේකම්ට ඇප

 


උපාලි ආනන්ද සහ 


අධිකරණ නියෝගයක් මත අනුරාධපුර 'යෙහෙළිය' ළමා නිවාසයේ රඳවා සිටි වයස අවුරුදු 18ට අඩු දැරියක එම ළමා නිවාසයේ සිට අනුරාධපුර ‘අවන්තිදේවී‘ ළමා නිවාසයට, නීති විරෝධී ලෙස රැගෙන විත් අරක්කැම් සේවයේ යොදවා කෲරත්වයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ උතුරු මැද පළාත් හිටපු පරිවාස සහ ළමා ආරක්ෂක සේවා කොමසාරිස්වරයා මෙන්ම,වත්මන් රාජාංගනය ප්‍රාදේශීය ලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනි වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.


සැකකාර ප්‍රාදේශීය ලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (27) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී මෙම නියෝගය කෙරිණි.

මෙසේ ඇප මත මුදා හැරුණේ, උතුරු මැද පළාත් පරිවාස සහ ළමාරක්ෂක සේවා හිටපු කොමසාරිස් මෙන්ම වත්මන් රාජාංගණය ප්‍රාදේශීය ලේකම් උපාලි රාජපක්ෂ සහ උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනී අමරා ශ්‍රියාති යන දෙදෙනාය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද මහතා සඳහන් කළේ, පළමු සැකකාර උපාලි රාජපක්ෂ යන අය උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්වරයා ලෙස රාජකාරි කරමින් සිටියදී 2020 වසරේ සිට 2021 වසර දක්වා අතර කාලය තුළ සාලියපුර “යෙහෙළිය” ළමා නිවාසයේ රඳවා සිටි, වයස අවුරුදු 18 ට අඩු දැරියක වරින් වර නීති විරෝධී ලෙස අනුරාධපුර අවන්ති දේවී ළමා නිවාසයට රැගෙන විත් ඇති බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වූ බවයි.


එලෙස අදාළ දැරිය යෙහෙළිය ළමා නිවාසයේ සිට අවන්තිදේවී ළමා නිවාසයට රැගෙන විත් අවංතිදේවී ළමා නිවාසයේ රඳවා සිටි දරුවන් 53 දෙනකුට, මෙම දැරිය ලවා ආහාර පිසීමට සලස්වා මෙම සැකකරුවන් දැරිය කෲරත්වයට පත් කර ඇති බවද අධිකරණයට දැනුම් දුන් උප පොලිස් පරික්ෂකවරයා මෙලෙස දැරිය අරක්කැමි සේවයේ යොදවා ඇත්තේ අවන්තිදේවී ළමා නිවාසයේ අරක්කැම් සේවය සඳහා පුද්ගලයන් සිටියදී බවද කීවේය.


මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර ඒ සඳහා පොලිසිය නීතිපතිවරයාගෙන් උපදෙස් පැතූ බවද අධිකරණයට සැලකල උප පොලිස් පරික්ෂක දයානන්ද මහතා, මේ අනුව මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් දුන් බවද පවසා සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද අධිකරණයට දැනුම් දුන් උප පොලිස් පරික්ෂකවරයා සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද ඉල්ලා සිටියේය.


සැකකරුවන් වෙනුවෙන් දීර්ඝ ලෙස අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා පැවසුවේ තම සේවාදායකයන්ට එරෙහිව පොලිසිය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.පොලිසිය පවසන පරිදි එම සිද්ධිය වී ඇත්තේ 2020 වසර සහ 2021 වසර කාලය තුළ බවද ප්‍රකාශ කළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, සිද්ධියෙන් වසර හතරකට පසුව තම සේවා දායකයන් අත්අඩංගුවට ගෙන. අධිකරණයට ඉදිරිපත් කරන්නේ කුමන පදනමක් මතද යන්න ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ප්‍රශ්න කළේය.ඒ අනුව තම සේවාදායකයන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසට, පොලිසිය කළ ඉල්ලීම ඉවත දමමින් සැකකරුවන් ශරීර ඇප මත මුදා හැරිමට නියෝග කළේය.මෙම සැකකාර ප්‍රාදේශීය ලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනිය අධිකරණය ඉදිරිපත් කර ඇත්තේ වයස අවුරුදු 18 ට අඩු දැරියක අරක්කැමි සේවයේ යෙදවීම, කෲරත්වයට පත් කිරීම සහ තැනැත්තන් වෙළඳාමේ යෙදවීම යන චෝදනා යටතේය.


පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිශානි සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද මහතා පෙනී සිටි අතර, සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් සහ නීතිඥ සංජය රත්නායක මහත්වරුන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියේය.


කතානායක පැටිකිරිය මැතිසබේදී එළියට

 

 


අංජුල මහික වීරරත්න


හිටපු කතානායකවරයා වාහන නවයක් පාවිච්චි කර ඇති බවත් එම වාහන නවයේ ඉන්ධන වෙනුවෙන් පසුගිය වසරේ මාස නවයේදී තුන්කෝටි තිස් ලක්ෂයක් වැයකර ඇති බවත් සභානායක අමාත්‍ය බිමල් රත්නායක  මහතා පාරිලිමේන්තුවේදී ඊයේ (27) පැවසීය.


හිටපු නියෝජ්‍ය කතානායකවරයාද වාහන හයක් පාටිච්චි කළ බවත් ඒවායේ තෙල් බිල ලක්ෂ එකසිය තිස් පහක් බවත් ඔහු ප්‍රකාශ කළේය.හිටපු කතානායකවරුන්, නියෝජ්‍ය කතානායකවරුන් කෑම ටික සහ කෑම අමුද්‍රව්‍ය ටික පවා හොරට බිල් දමා ගෙදර අරන් ගිය බව පැවසූ රත්නායක මහතා ඔබලා ළඟ සිටින්නේ එවැනි “තර්ඩ් ක්ලාස්” පුද්ගලයන් බවද ප්‍රකාශ කළේය.වර්තමාන කතානායකවරයාගේ පසුගිය මාසයේ වියදම රුපියල් තිස්දහසක් බවද ඔහු කීවේය.සභානායකවරයා මෙසේ පැවැසුවේ ජනාධිපති අගමැති උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.


බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති වාහන හතරක් පාවිච්චි කරලා තියෙනවා. තෙල් බිල ලක්ෂ හැත්තෑ දෙකයි.වර්තමාන කතානායකතුමාගේ තෙල් වියදම ජනවාරි මාසය 218000යි. කලින් කතානායක ලක්ෂ හතළිහයි. වර්තමාන නියෝජ්‍ය කතානායකතුමාගෙ තෙල් වියදම රුපියල් 23000යි. වර්තමාන නියෝජ්‍ය කාරක සභා සභාපතිනියගේ තෙල් බිල රුපියල් 81000යි. හිටපු කට්ටිය ෂෙඩ් එකක් කළාද කියලා තමයි හොයන්න වෙන්නේ. මේවා කියනකොට අමාරුයි. ලංකාවේ මිනිසුන් තමන්ගේ මුදලින් ඕනෑ වාහනයක් ගත්තට අපට මොකද. අපේ රටේ ජනතාවගෙන් සියයට පනස් හයක් ඉන්නේ දුප්පත් මිනිස්සු. එහෙම රටකනේ මෙහෙම තෙල් ගහගෙන දිව්වේ. සමහරු සුදු ගහගෙන ඉන්නේ. ඒ වුණත් කන්න බොන්න ගෙදරට ඔක්කොම ගෙනියන්නේ මේ මිනිසුන්ගේ සල්ලිවලින්


හිටපු කතානායකගේ බංගලාවේ 2023 කෑම බිල ලක්ෂ 26යි. 2024දි ඒක ලක්ෂ 32යි. පාර්ලිමේන්තුවේ කෑම, කෑම අමුද්‍රව්‍ය ටික පවා නින්දිත ආකාරයට බිල් දාලා ගෙවල්වලට ගෙනියනවා. මේ හිටපු ලොක්කෝ. හිටපු කතානායකවරුන් නියෝජ්‍ය කතානායකවරුන්. ඒ තරම් ‘තර්ඩ් ක්ලාස්’. වර්තමාන කතානායකතුමාගේ ජනවාරි මාසයේ සම්පූර්ණ වියදම රුපියල් 33000යි.


අපි දේශපාලන හිගන්නන් නොවෙයි. අපටනම් ලජ්ජයි මේ වගේ මහජන මුදල් වැය කරන්න. ලංකාව දුප්පත්වෙලා තියෙද්දී කතානායකල, නියෝජ්‍ය කතානායකල, අර ගොල්ලො, මේ ගොල්ලෝ ජනාධිපතිලා, හිටපු ජනාධිපතිලා, මෙහෙම සල්ලි නාස්ති කරන එක වැරදියි. මහජන මුදල් ඉතිරි කිරීමට අපි කටයුතු කරනවා.හිටපු තැපැල් ඇමති කෙනකුට කිරුළපොනේ ගෙදර තිබුණා. එයා නිල නිවාසයක් ගත්තා. තමාට නිල නිවාසය ලැබුණේ මාස තුනක් පරක්කු වෙලා කියලා අර හිටපු නිවසට ලක්ෂය බැගින් ගත්තා. අන්න ඒ වගේ පොරවල් තමයි ඔයාලා එක්ක ඉන්නේ.අපි කරන කැපවීම සමහරුන් කෝචොක් කරනවා.


හිටපු ජනපතීන්ගේ ගුවන් සවාරි හරිනි මැතිසබයේ දිගහරි

 


අංජුල මහික වීරරත්න 


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010- 2014 දක්වා වසර හතරක කාලයේ දී විදේශ ගමන් සදහා රුපියල් කෝටි තුන්සිය පනස් හතකට අධික මුදලක් වැය කර ඇතැයි අගමැතිනී ආචාරිය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (27) පැවැසුවාය. 


රාජ්‍ය නායකයකු විදේශ සංචාර සඳහා වැයකළ වැඩිම මුදල එය බව පැවැසූ අගමැතිවරිය ඔහු විදේශ සංචාර සඳහා 2013 වර්ෂයේ දී පමණක් රුපියල් කෝටි 114 කට අධික මුදලක් වැයකර ඇති බව ද ප්‍රකාශ කළාය. අමරසූරිය මෙනවිය මෙසේ පැවැසුවේ ජනාධිපති,අගමැති, පාර්ලිමේන්තුව උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන් ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ ශීර්ෂ පිළිබඳ වැය විවාදයේදීය.හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015- 2019 අතර කාලයේදී විදේශ සංචාර වෙනුවෙන් රුපියල් තිස් අට කෝටියකට අධික මුදලක් වැය කර ඇති බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2020- 2022 කාලයේ දී විදේශ සංචාර සඳහා රුපියල් කෝටි දොළහකට අධික මුදලක් වැය කර ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023- 2024 කාලයේ දී විදේශ සංචාර සඳහා රුපියල් කෝටි පනස් තුනකට අධික මුදලක් වැයකර ඇති බව පැවසු අගමැතිවරිය ඔහුගිය සංචාර තිස් තුනක් වෙනුවෙන් 154 දෙනකු සහභාගි කරවාගෙන ඇතැයි ද සඳහන් කළාය.

 

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2024 සැප්තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා ගිය විදේශ සංචාර වෙනුවෙන් වැයකර ඇත්තේ රුපියල් ලක්ෂ 18ක මුදලක් පමණක් බව ද ඇය කීවාය.එක් ජනාධිපතිවරයකුට වැඩි මුදලක් වැයවීමටත් තවත් අයකුට අඩු මුදලක් වැයවීමටත් හේතුව සෙවිය යුතු බව ද හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සංචාර තුනකට සහභාගිවිය ඇති බව පැවැසූ අගමැතිවරිය ඒ සංචාර සඳහා සහභාගි වුණු පිරිස එකොළහක් බව ද සඳහන් කළාය.


ජනාධිපතිවරයා විදේශ සංචාර වලට යනවිට අදාළ පුද්ගලයන් යා යුතු බවත් ඒ ගැන සැකයක් නැති බවත් අමරසූරිය මෙනවිය පැවැසුවාය.එහෙත් පසුගිය කාලයේ දී එසේ ගොස් ඇත්තේ අදාළම අයදැයි සෙවිය යුතු බව ද අගමැතිවරිය සඳහන් කළාය. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විදේශ සංචාර යනවිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද කැඳවාගෙන ගිය බවත් ඒවා අල්ලස් බවත් ඇය කීවාය.මේ සභාවේ සිටින අය මෙන්ම නැති අය ද ගොස් ඇති බව අගමැතිවරිය පැවැසුවාය.


විදේශ සංචාර අවභාවිත වී ඇතැයි මින් හොඳින්ම පැහැදිලි වන බව පැවැසූ හරිනි අමරසූරිය මෙනවිය රනිල් වික්‍රමසිංහ මහතා එළිසබත් මහ රැජිනගේ අවමංගල උත්සවයට සහභාගි වූ අවස්ථාවේදී දස දෙනකු ඔහු සමග එහි ගොස් ඇති බව ප්‍රකාශ කළාය. ජපානයේ හිටපු අගමැතිවරයාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වීමට වික්‍රමසිංහ මහතා සමග 18 දෙනකු ගොස් ඇතැයි ද ඇය කීවාය.


 

තුන්වැනි චාල්ස් රජුගේ 2023 පැවැති රාජාභිෂේක උත්සවයට සහභාගි වීමට වික්‍රමසිංහ මහතා  සමග දොළොස් දෙනකු ගොස් ඇති බව පැවැසූ අගමැතිවරිය ඉන්දියාවේ සංචාරය සඳහා 23 දෙනකු සහභාගිවී ඇති බව ද ප්‍රකාශ කළාය. අනුර කුමාර ජනාධිපතිවරයාගේ ඉන්දියා සංචාරයේදී ඔහු සමග ගියේ පස් දෙනකු පමණක් බව ද ඇය කීවාය.තනතුර සමග ඇති වරප්‍රසාද අවභාවිතවී ඇති විදිය මින් පැහැදිලි වන බව ද අගමැතිවරිය පැවැසුවාය.


Thursday, February 27, 2025

කෝටි 18ක් අවභාවිත කරලා

 


ජාතික  තරුණ සේවා සභාව ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් · බැහැරව ඉකුත් ජනාධිපතිවරණයට පෙර දින රුපියල් මිලියන 188ක් වියදම් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව) පසුගියදා අනාවරණය කළේය. 2025.02.18 දින පැවැති දසවැනි පාර්ලිමේන්තුවේ පළමු කෝප් කමිටු රැස්වීමේදී එහි සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර, කමිටු සාමාජිකයන් හා විගණකාධිපතිවරයා නැඟූ පුශ්න කිරීම් හමුවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරන නිලධාරීන් හා නිලධාරිනියන් මෙම මුදල් වියදම් කිර්ති වෙනුවෙන් චෙක්පත්වලට අස්සන් කළ ආකාරය පැහැදිලි කළහ.


ස්ථාන මාරුවීම් ලැබෙ නු ඇතයි බියෙන් එම චෙක්වලට අස්සන් කළ බවද ඔවුහු පැවැසුහ.දේශපාලනඥයන් ලබාදෙන වැරැදි නියෝග ක්‍රියාත්මක කිරීමට යෑමෙන් රාජ්‍ය නිලධාරීන් අපහසුතාවට පත්වන ආකාරය මෙම රැස්වීමේදී සිනාව දිස්විය. කෝප් කට්ටුව ජාතික තරුණ සේවා සභාවේ නිධාපන්ට යොමුකළ ප්‍රශ්න සහ ඊට ලැබුණු පිළිතුරු මෙසේය.කෝප් සභාපති - ජාතික තරුණ  සේවා සභාව 2024 වසරේ ඉදිර්පත් කළ වාර්ෂික වැඩ සටහනට අදාළ නොවන ක්‍රියාවයක් ගැන කරුණු වාර්තා වෙනවා. 2024 ජනවාරී සිට අගෝස්තු දක්වා සිදු කළ වැඩ සටහන් 09ක තොරතුරු තිබෙනවා. ස්මාර්ට් යුත් අවුරුදු උත්සවය, ජාතික තරණ වෙසක් උළෙල, ජාතික තුරුණු පොසොන්

කලාපය, මහරගම  හා අම්පාර පොසොන් වැඩසටහන්, යාපනය තරුණ හමුව, අම්පාර තරුණ හමුව, 31 නයිට් යුත් සෙලිබ්‍රෙෂන් වැඩසටහන, ස්මාර්ට් යුත් නයිට් යූත් සෙලිග්‍රේෂන් වැඩසටහන, ස්මාර්ට් යූත් සංගීත ප්‍රසංග, සිහිනය වැඩසටහන ඊට ඇතුළත්. මෙම සියලු වැඩසටහන්වලට මාස අටකදී රුපියල් මිලියන 535ක් හෙවත් කෝටි 53ක් වැය කරලා. ස්මාර්ට් යූත් සංගීත ප්‍රසංගයට රුපියල් මිලියන 323.39ක් වැය වෙලා. මේවා වාර්ෂික වැඩසටහනේ තිබිලා නැහැ. 2023 අග සැකසූ ප්‍රෝගෑම් එකේ නැති දෙයකටයි මෙම මුදල් වැයකර තිබෙන්නේ. මේකෙ අරමුණ මොකද්ද වුණේ කියලා ජාතික තරුණ සේවා සභාව පැත්තෙන් කියන්න. මේක තනි තැනකින් තීරණය වෙන්න ඕන වැඩ සටහනක්. මේවා එක වටයකින් සැලසුම් වෙලා එන්න ඕන. මොකද්ද මේ වැඩසටහන් පැවැත්වීමේ අරමුණ විදිහට සඳහන් වෙන්නේ?


ජා.ත.සේ.ස. සභාපති - මෙම වැඩසටහන් සියල්ලටම පදනම වෙලා තියෙන්නේ ඒ වෙලාවේ සිටි අමාත්‍යවරයා සහ තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා ගත්ත තීරණයන්.


කමිටු සාමාජිකයෙක්- කවුද ඇමැතිවරයා කවුද සභාපතිවරයා 


ජා.ත.සේ.ස. සභාපති - හර්න් ප්‍රනාන්දු ඇමැතිවරයා, සභාපති 

වූයේ පසිඳු ගුණරත්න. මේ වැඩසටහන් සියල්ල එක සමාන ස්වරූපයක් තියෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලය, ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය වැනි ආයතන සමඟ තරුණ සේවා සභාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය එකතුවෙලා අනුමැතිය ලබා ගැනීම් සිදුකර තිබෙනවා. මේවා ක්‍රියාත්මක කරගෙන යනකොට ඊට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පරිබාහිරව කටයුතු කරලා. එම ක්‍රියාවලිය යන විට සභාපතිවරයාගේ කාර්යාලයේදී තමයි ප්‍රසම්පාදන වැඩ ඔක්කොම වෙලා

තිබෙන්නේ. වසර මුල සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේදී ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන් කිහිපදෙනකුගේ නම් සභාපතිවරයාගේ අස්සනින් යුතුව ඇණවුම් ලබා ගැනීමට ඉදිරිපත් කර තිබෙනවා.


කෝප් සභාපති- අරමුණ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?


ජා.ත.සේ.ස. සභාපති- මට පේන විදිහට දේශපාලන අරමුණකින් තමයි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන්නේ. 


කෝප් සභාපති- සටහන් වූ අරමුණක් නැද්ද?


ජා.න.සේ.ස. සභාපති- සටහන් වූ අරමුණක් තිබෙනවා. මෙම ව්‍යාපෘතිවල සමහර අවස්ථාවලදී පසුගිය කාලයේ සිදුවීම් නිසා තරුණයන් අසහනයෙන් සිටින බවත් ඒ පීඩනකාර් තත්ත්වය මුදාහැරීමට මෙවැනි සංගීත ප්‍රසංග, මානසික සුවතා වැඩසටහන් පවත්වන බවත් අරමුණු විදිහට දක්වා තිබෙනවා.


කමිටු සාමාජිකයෙක්- ස්මාර්ට් යූත් සංගීත ප්‍රසංගයක් තියලා බෝ නොවන රෝග අඩු වන බවට සමීක්ෂණයක් මොන ආයතනයෙන්ද කරලා තියෙන්නේ? කොහෙන්ද ඒ වාර්තාව කැඳවලා තියෙන්නේ?


ජා.ත.සේ.ස. සභාපති- මේ වැඩසටහන කළොත් ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන් කියලා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවෙන් ඒ අරමුණ දාලා තියෙන්නේ.


කමිටු සාමාජිකයෙක් - ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව මොන

අමාත්‍යාංශයට අයත් වෙන්නේ?



නිලධාරියෙක්- මුදල්. එවකට මුදල් අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා,


ජාතික අය - වැය දෙපාර්තමේල් ගුවේ නිලධාරියෙක්- ජාතික අය-වැය දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් මෙම ආයතනයට මිලියන 3,000ක් දෙනවා. ඒකෙන් මිලියන 1450ක් ප්‍රාග්ධන වියදම්වලට අය-වැය ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. මෙම ව්‍යාපෘතියට කැබිනට්

පේපර් එකක් ඇවිත් තිබුණ්‍යා. එම පත්‍රිකාවට මුදල් ඇමැතිවරයා ලබාදුන් නිරීක්ෂණවල තිබෙනවා මේ යන මුදලට දැනටමත් අය-වැය ප්‍රතිපාදනවලින් මිලියන 90ක් වෙන් කර තිබෙන බව. තරුණ සංවර්ධනය නමැති ව්‍යාපෘතිය යටතේ ජනාධිපති කාර්යාලය වෙන්කර තිබෙන මුදල් මේකට යොදවා ගන්න කියා තිබුණා. මුදල් ඇමැතිවරයා

මේ මිලියන 90 කොහොමද වියදම් කළ යුත්තේ කියලා

අවුරුද්ද මුල කැපිටල් කොන්ටරන්ට් එකක් දෙනවා. මුදල්

වෙන් කිරීම බලයක් ලැබීමක් නොවන බැවින් මේකට අදාළ ප්‍රාග්ධන වියදම් දරද්දී සියලුම අවශ්‍යතාවන් සපුරන්න ඕන කියලා එතකොට අපි

කියනවා. ඉන් පසුව මේක වියදම් කරන්න මාසිකව අපෙන් කෑෂ් රිලීස් යනවා. එසේ යද්දී මේ මිලියන 90ට අපි ප්‍රතිපාදන දුන්නෑ. අය-වැය දෙපාර්තමේන්තුව හැටියට අපි මුදල් ලබාදෙන්න නිර්දේශ දුන්නෑ. නමුත්

ආයතනයට වෙන ප්‍රෝගයේ 7ක් යටතේ අපි ප්‍රාග්ධන ප්‍රතිපාදන ලබාදී

තිබුණා. මේ ලබාදී තිබූ ප්‍රාග්ධන ප්‍රතිපාදන යොදාගෙන ව්‍යාපෘතියට වියදම් කළාද කියන එක අය-වැය දෙපාර්තමේන්තුව හැටියට අපි දන්න. මොකද අපි දෙන්නේ වෙන වැඩකට. ඒ ගොල්ලෝ වෙන ව්‍යාපෘතියකට එම මුදල් යොදවනවද කියන එක අය වැය දෙපාර්තමේන්තුව දන්නව.


කමිටු සාමාජිකයෙක්- පස්සේ චෙක් වෙනවනේ.


අ.දෙ නිලධාරියා පිළිතුර" පස්සේ චෙක් වෙනවද බලන්නේ විගණනය කරන අවස්ථාවේදී


විගණකාධිපති- ස්මාර්ට් යුත් 31 නයිටි වැඩසටහන සම්බන්ධයෙන් මේ

කැබිනට් පත්‍රිකාවේ මෙහෙම දක්වා තිබෙනවා. '2024 වැඩසටහන දිවයින පුරා වැඩසටහන් 15ක් වශයෙන් සාධනීය අයුරින් සංවිධානය කිරීමටත්, අවශ්‍ය යටිතල පහසුකම් සලසා දීමත්, වැඩි සටහන් මෙහෙයවීම්, අධික්ෂණය හා පසු විපරම් කිරීමත් අරබියා රුපියල් මිලියන 398,25ක ප්‍රතිපාදන ජනාධිපති කාර්යාලය යටතේ තරුණ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් 2024 අය- හය මගින් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් ජාතික තරුණ සේවා සභාවට ලබාදීමට යෝජනා කරන අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂා කරමි. මුළුල් ඇමැතිවරයාගේ නිරීක්ෂණ සමඟ අමාත්‍ය මණ්ඩලය මේ යෝජනාව අනුමත කරනවා, මේ කැබිනට් ජේපර් එක දාන්නේ 2024-7-9 දිනයේදී ඊට 15 වැනිදා අනුමැතිය ලැබී තිබෙනවා. මේකේ පැහැදිලිව කියනවා 2024 අය-වැය ප්‍රතිපාදනය යටතේ ජනාධිපති කාර්යාලයට දෙන ප්‍රතිපාදන වලින් තමයි මේ මිලියන 398 දෙන්නේ කියලා, අපිට තියෙන තොරතුරු අනුව ජනාධිපති කාර්යාලයෙන් ලියන 398ක ප්‍රතිපාදන මෙම ආයතනයට දීලා නැහැ. ඒක ඇවිල්ලා තියෙන්නේ ඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශමි. අමාත්‍යාංශයේ කැපිටල් වෝට්

එකට වෙන වෙන කාරණා සඳහා දුන්න මිලියන 446ක මුදලක් අමාත්‍යාංශයෙන් ඇවිත් තිබෙනවා.


කැබිනට් අනුමැතිය දුන්න ජනාධිපති කාර්යාලයෙන් නෙමෙයි ඇවිත්

තිබෙන්නේ, අක්ෂාත්‍යාංශයෙන් ඒක අගන්න වෙනවා. වත්මන් ලෝකතුණ ඒ ගැන දැනුවත්ද? අමාත්‍යාංශයේ ප්‍රාග්ධන විය යටතේ වෙන වෙන කටයුතු වලට වෙන්කළ මුදල් කැබ්ගට් අනුමැතියට පිටින් ගිහින් අමාත්‍යාංශය කොහොමද මේ ආයතනයට ලබාදී

තිබෙන්නේ?


අමාත්‍යාංශයේ නිලධානිය -ජනාධිපති ලේකම් කාර්යාලය 2024 අගෝස්තු 30 අපිට ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.


විගණකාධිපති- ජනාධිපති කාර්යාලයෙන් කොහොමද ඔබතුමියට ප්‍රතිපාදන වෙන් කරන්නේ?


අ. නිලධානිය - මුදල් රෙගුලාසි යටතේ ජනාධිපති ලේකම්

කාර්යාලයෙන් අමාත්‍යාංශයට ලිපියක් ලබාදී තිබෙනවා තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිවලට (දන්න කියලා, ඒ ලිපිය මා ගාව තිබෙන්වා.


විගණකාධිපති- කීයක්ද?


අ. නිලධාර්නිය - අන්තිමට මිලියන 308.25ක් තමයි දුන්නේ.


කමිටු සාමාජිකයෙක්- ස්මාර්ට් යුත් එකටත් එක්කමක්ද?


අ. නිලධාර්නිය- තරුණ සේවා සභාවට වෙන් කළ මුදලින් මිලියන 90ක් ගියා. ඉතුරු මිලියන 308යි. අ. නිලධාර්නිය- අවුරුදු උළෙලට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මිලියන 34ක් ලැබුණා. ඒකට ගෙවලා තිබෙනවා. මානසික සුවතා වැඩ සටහනට මිලියන 61ක් ආවා.ඒකෙන් මිලියන 41ක් ගෙව්වා.


කමිටු සාමාජිකයක්- මානසික සුවතා කියන්නේ සිහිනය

වැඩ සටහනද? 


අ. නිලධාර්නිය - මානසික සුවතා වැඩසටහන කියලා තයි අපිට ඒක ඇව්ත් තිබෙන්නේ, 


විගණකාධිපති- මේ වැඩසටහන් කිහිපයක් තිබෙනවා.


අ. නිලධාරිනිය- වැඩසටහන් තුනකට අපිට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණා.


විගණකාධිපති- ස්මාර්ට් යුත් වැඩ සටහනට ඔබතුමියගෙන් කීයක් ගිහින් තියෙනවද?


අ. නිලධාර්නිය- ස්මාර්ට් යුත් වැඩසටහනට අපිට මිලියන 308ක්

ආවා.


විගණකාධිපති - අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය තියෙනවාද? 

බලය දුන්නද? නිර්දේශ කළාදඉ ගෙවීම සහතික කළාද ගෙව්වද

ත.සේ.ස. සභාපති- ගෙවීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් නැහැ. නමුත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය තියෙනවා.ඒ යටතේ තමයි සභාපතිවරයා ගෙවීම කර තිබෙන්නේ.


විගණකාධිපති - හර් බලය දීලා තිබෙනවා. ගෙවීම සහතික කළේ කවුද?


 ත.සේ.ස. සභාපති - තරුණ සේවා සභාවේ මුල්‍ය නිලධාර්න් සහතික කර තිබෙනවා සභාපතිවරයාගේ නියෝග මත.


විගණකාධිපති- සභාපතිතුමා කොච්චර නියෝග දුන්නත් ගෙවීම්

සහතික කරනකොට ප්‍රොසෙස් එක හරියට කරලා තියෙනවද

කියලා බලන්න ඕන කියලා එල්ආර් එකේ තියෙනවා නේද? ඒක

අමාත්‍යාංශයට ගියාම ඇයි ගෙව්වේ නැත්තේ? 


අ. නිලධාර්නිය-

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එවලා තිබෙන විට අපි දෙනවා. නමුත් ඒක පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලියට රජයේ නීතිරීති වලට අනුව කරන්න කියලා අපි උපදෙස් දී තිබෙනවා. 


විගණකාධිපති- එතුමිය ඒක හරියට දැනගෙන සිටි නිසා එතුමිය ඒක ගෙව්වේ නෑ. ප්‍රසම්පාදනයට ගිහින් නැති නිසා ගෙවන්න බෑනේ. නමුත් ආයතනයේ (තරුණ සේවා සභාවේ) එකවුන්ටන්ට ඒක ගෙවන්න පුළුවන් වුණේ කොහොම්ද ඔය කියන කාරණා ටික එතුමිය බැලුවේ නැද්ද?


ත.සේ.ස. නිලධාර්නිය- සභාපතිතුමා ගන් දීමේ නිලධාරියා වශයෙන් සභාපති කාර්යාලයෙන් තමයි ගිණුම් අංශයට වවුචර් ලබාදෙන්නේ. එවිට ගණන් දීමේ නිලධාරියා නියෝග කළාම අදාළ ගෙවීම් කරන්න කියලා වියදම සහතික කරන්න සිදුවෙනවා අපිට.


විගණකාධිපති- නෑ එහෙම එකක් නෑ. එල්ආර්. එකේ එහෙම්ද කියන්නේ, ගෙවීම් සහතික කරද්දී ඔබ බැලීය යුතු කාරණා ටිකක් එෆ්.ආර්. එකේ තියෙනවා. ඒක ටික සහතික වෙන්න ප්‍රමාණවත් සාක්ෂියක් තිබෙනවා නම් විතරනේ ගෙවන්නේ. නැතිව කවුරුවත්

කිව්වා කියලා ගෙවන්නෑනේ. ඒ කාරණා ටික ඔක්කොම සැටිස්ෆයි වූ නිසාද ඕයා ගෙව්වේ.


ත.සේ.ස. නිලධාරිනිය - ඔව්.


විගණකාධිපති- එහෙමනම් ඔබතුමියත් ඒකට වගකියන්න ඕන. 


ත.සේ.ස. නිලධාරියෙක්- ජනාධිපතිවරණයට කලින් දවසේ තමයි මිලියන 100ක් ඇවිත් තිබෙන්නේ. සභාපතිතුමා වවුචර් පනස් ගාණක් එකපාරටම අපේ නිලධාර්න් තුන්දෙනාට දීලා බලපෑමක් කරලා තමයි සහතික කරවාගෙන ගෙවීම් කරලා තියෙන්නේ. 


කෝප් සභාපති- වියදම සහති ක කිරීමේදී ඔබතුමියට නිශ්චිත වශයෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන සෑහීමකට පත්විය හැකි, නිරීක්ෂණයකට ලක් කළ හැකි තැන් ටිකක් තිබෙනවානේ. ඒ ටික නිරීක්ෂණය කරලාද අත්සන් කළේ? එහෙම නම් මේ මුදල සම්බන්ධයෙන් ඔබතුමියට වගකියන්න වෙනවා. එහෙම නැත්නම් බලපෑම සම්බන්ධයෙන් අඩුම වශයෙන් සටහනක් යොදා තිබිය යුතුයි. එක දවසට චෙක් පනස් ගාණක් අස්සන් කරන්න කියලා බල පෑම් කළාම ඔබතුමිය ලැබුණු වෙලාව ආදිය සටහන් කළ යුතුයි. ඔබතුමිය සතුව එවැනි සටහනක් තිබෙනවාද? ත.සේ.ස. නිලධානිය- මේ සිද්ධිය වුණේ 2024 -9-20 දිනයේදී, අපිට ද්වෙෂරියෙන් දවස් දෙකකට මිලියන 100ක සැල්ලි ආවා. භාණ්ඩාගාර සංවර්ධන ප්‍රතිපාදන යටතේ තමයි ඒ මුදල් ලැබුණේ, වවුචර් 50ක් එතැන තිබුණා. අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයෙන් අපේ එඹේ.ලා තුන්දෙනාට නියෝග කළා වියදම සහතික කරන්න කියලා, සභාපතිතුමා අපේ ගණන් දීමේ නිලධාරියා වශයෙන් නියෝග ලබාදීමෙන් පසුව අපිට ඒක පිළිපදින්න වෙනවා. ඒ අනුව අපි වියදම සහතික කළා. ඒ චෙක්පත් අස්සන් කළා.


කෝප් සභාපති- ඒ වෙක්පත්වලට අදාළව සම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ කළාද නැද්ද කියලා චෙක් කරන්න කාලයක් තිබුණේ නැති බවද ඔබතුමිය කියන්නේ ?


ත.සේ.ස. නිලධාරිනිය - තිබුණේ නැහැ.

කෝප් සභාපති- එහෙනම් ඇයි ඔබතුමිය කිව්වේ සෑහීමකට පත්වෙලයි අස්සන් කළේ කියලා.


ත.සේ.ස. නිලධානිය- එදා දවසේ හවස එක්කෙනකුට වවුචර් 15ක් විතර ආවා. ඒකයි.


කමිටු සාමාජිකයෙක්- මේක අස්සන් කරලා අමාරුවේ වැටෙයිද කියලා එෆ්ඝ නිලධාරීන් තුන්දෙනා අතරේ සංවාදයක් ඇති වුණේ නැද්ද? 


ත.සේ.ස. නිලධාරිනිය අස්සන් නොකර හිටියොත් අපිට අනිවාර්යයෙන්ම ට්‍රාන්සර් හම්බවෙනවා. කලින් එහෙම සිද්ධ වෙලා තියෙනවා. 


කෝප් සභාපති- අපි උත්සාහ කරන්නේ ඔබතුමිය හෝ කවුරුවත් අපහසුතාවට පත්කරන්න නෙවෙයි.මේ සිදුවීම මේ මොහොතේ ඉමෝෂනල් බව ඇත්ත. සුළුපටු ගාණකුත් නෙමෙයි. මේවා මහජන මුදල්, ඔය කියන විදිහට ඡන්දෙට කලින් දවසේ ජනතාවගේ මිලියන 188ක විවිධ දේවල් කරලා මුදලක් අවභාවිත කරලා ඉවරවෙලා ඒක නිලධාරීන්ගේ පිට තියලා කැපුවාම නිලධාරීන්ටත් කොන්දක් තියෙන්න ඕන නොකර ඉන්න, කවුරුවත් නිලධාරියෙක් අපහසුතාවට පත්කරන්න නෙමෙයි. මම මේ කතාකරන්නේ. ඒ නිසා මින් ඉදිරියට සියලුම නිලධාරීන් කොන්ද පණ ඇතිව වැඩ කළ යුතුයි. මේක මෙහෙම කරන්න බෑ. කොහොමිද මෙවැනි වංචාවල් වෙන්නේ. සුළුපටු දෙයක් නෙමෙයි. යුත් එක්සිබිෂන් එකට කැබිනට් අවසරය ඉල්ලන්නේ ජූලි මාසයේ 07 වැනිදා.15 තමයි අනුමත වෙන්නේ. හැබැයි අප්‍රේල් මාසයේදී ගාල්ලේ යූත් සෙලට්‍රෙෂන් එක කරනවා. විගණකාධිපති- ඊට කලින් 11ක් කෝල් කරලා තිබෙනවා. කැබිනට් අනුමැතියක් නැති කරපු වැඩකට තමයි මේ මුදල් අරන් තියෙන්නේ.


කෝප් සභාපති- ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැතිව අනුමැතියක් නැති වැඩ කරලා ඒවායේ මුදල් වියදම් කරන්න බලය ලැබුණේ කියන ප්‍රශ්නය නිලධාරීන් විමසිය යුතුව තිබෙනවා. තමන්ගේ රැකියාව. තමන්ගේ වගකීම. ඒක නිශ්චිතව කරන්න ඕන. ස්මාර්ට් යුත් එක්සිබිෂන් 2024 වැඩසටහනට තරුණ සේවා  සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් විදිහට පසිඳු ගුණරත්න අස්සන් කරපු ලියුම ගහලා තියෙන්නේ 2024-6-10 වැනිදා. එම ලිපියේ මෙසේ සඳහන් වෙනවා. 'ගෞරවනීය ආරාධනයයි. ස්මාර්ට් යුත් එක්සිබිෂන් 2024. ජීවිතය දිනන්නට වෙර දරන ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සිහිනයක් නොවී යථාර්ථයක් බවට පත් කරගනිමින් අභිමානයෙන් යුතුව හෙට දිනයට පියනඟන තරුණ පරපුරක් නිර්මාණය කිරීමට පෙරමං තැනීමේ අභිලාෂයෙන් යුතුව ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන තාරුණයේ දැවැන්තම පර්වර්තනය ස්මාර්ට් යුත් එක්සිඩිෂන් 2024 වැඩසටහන 2024 ජුනි 14, 15 දිනයන්හිදී පෙරවරු 9.00 සිට ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. බලන්න ඒක තියෙන්නේ ජුනි 14,15 දිනවල, ලියුම් ගහන්නේ ජුනි 10. කැබිනට් අනුමැතිය එන්නේ ජූලි 15. මේවාට මුදල් ගෙවන්න කියලා සැප්තැම්බර් මාසයේ ඡන්දෙට කලින් දවසේ දැම්මාම නිලධාර්න් මේවා හොයන්න ඕන. රටේ ඉන්න රජයේ සියලුම නිලධාර්න් තමන්ට පැවැරුණු වගකීම් නිසි ලෙස ඉටුකරන්න.


අමිත් මධුරංග ගමගේ


පොලිස් නිලධාරියාට රු. 50,000ක් ගෙවන්න නියෝග

 


එන්.පී. කහවල

 


රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකුගේ අණ නොතකා ඔහු අනතුරට ලක්කර යතුරුපැදියකින් පලාගිය පාසල් සිසුවකුට සහ පාසලක කැඩෙට් සැරයන්වරයකුට එරෙහිව හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවැති නඩු විභාගයකින් අනතුරුව සතුරුපැදිකරුට රුපියල් 70,000ක දඩයක් සහ එක් අයකුගෙන් රුපියල් 25,000 බැගින් වන ලෙස රුපියල් 50,000 වන්දි මුදලක් අගතියට පත් පොලිස් නිලධාරියාට ගෙවන ලෙස හොරණ මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය නියෝග කළේය.


මීට අමතරව අගතියට පත් පොලිස් නිලධාරියාගෙන් ප්‍රසිද්ධ අධිකරණයේදී සිංහල ක්‍රමයට වැඳ සමාව ගන්නා ලෙසද නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, යතුරුපැදිකරු හා පසුපැදිකරු යන දෙදෙනාටම තරයේ අවවාද කළේය.මෙලෙස දඩ මුදල් නියම වූයේ හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුවකුට සහ පාසලක කැඩෙට් සැරයන්වරයකු ලෙස කටයුතු කරන හොරණ පදිංචිකරුවකුටය. මොවුන් දෙදෙනා අතරින් යතුරුපැදිකරු ලෙස කටයුතු කළ කැඩට් සැරයන්වරයාට යතුරු පැදියේ ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය මෙන්ම එහි ඉදිර්පස අංක තහඩුව සහ පැති කණ්ණාඩ් නොමැතිව ධාවනයට එරෙහිව වූ චෝදනාද ඇතුළුව චෝදනා එකොළහක් එල්ලව තිබිණි. පසුපැදිකරු වූ පාසල් සිසුවාට ආරක්ෂක හිස් වැස්මක් නොමැතිව ගමන්කිරීම ඇතුළුව චෝදනා හයක් එල්ලව තිබිණි.මෙම චෝදනා සියල්ලටම තමන් වැරැදිකරු බවට ඔවුන් දෙදෙනා පිළිගනු ලැබූ අතර, ඒ අනුව අගතියට පත් පොලිස් නිලධාරියාගෙන් ඔවුන් සිංහල ක්‍රමයට ප්‍රසිද්ධ අධිකරණයේදී වැඳ ආචාරකොට සමාව ගැනීම සිදුවිය.


දැරියකට අතවර කර පැන්න ලාංකිකයා ඉතාලියේදි අල්ලයි

 



ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


දාසය හැවිරිදි බාල වයස්කාර දැරියක දූෂණය කර ඉතාලියට පලාවිත් සැඟව සිටි පනස් හැවිරිදි ශ්‍රී ලාංකිකයකු නාපෝලි ප්‍රාන්ත පොලිසිය විසින් පෙරේදා (25) අත්අඩංගුවට ගනුලැබ ඇතැයි එරට මාධ්‍ය වාජිතා කළේය.ඔහු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනද නිකුත් කර තිබූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.කෙසේ වෙතත් එරට මාධ්‍ය මෙම ශ්‍රී ලාංකික සැකකරුවාගේ අනන්‍යතාව හෙළිකර නොමැත.


අත්අඩංගුවට ගැනුණ මෙම ලාංකිකයා මෙරට සිටියදී පහළොස් හැවිරිදි දැරියක දූෂණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වී පසුව ඇප මත මුදාහැර සිටි අයකු යැයිද කියති.අධිකරණය මගහැරීම නිසා ඔහු නොමැතිව අධිකරණය මගින් නඩු විමසා සිර දඬුවම් ලබා දී තිබෙන බවද පැවැසේ.


නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන අතරතුර ඉතාලියට හොර රහසේ පලා ගොස් සිටි මෙම ලාංකිකයා නාපෝලි නගරයේ රැඳී සිටීම සඳහා අවශ්‍ය නීත්‍යනුකූල බලපත්‍රයද ලබාගෙන තිබූ බව ඉතාලි මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙන බව කියති.නාපෝලි ප්‍රදේශයේ නිවෙසක රැඳී සිටිමින් මොහු රැකියාවක ද නිරතව සිට ඇත.මෙම ලාංකිකයා රැඳී සිටි නිවෙස වටලා ඔහු අත්අඩංගුවට ගෙන ඇත.පනස් හැවිරිදි මෙම ශ්‍රී ලාංකිකයා එරට බන්ධනාගාරයක රඳවනු ලැබ සිටින අතර නුදුරු දිනකදී මෙරටට පිටුවහල් කිරීමට නියමිතව ඇතැයි ඉතාලි ආරංචි මාර්ග සඳහන් කළේය.


පුත්තලමේ තරුණියක් අබිරහස් ලෙස මියගිහින්

 

 



 හිරාන් ප්‍රියංකර ජයසිංහ


පුත්තලම, කල්අඩියේ 19 හැවිරිදි තරුණියක සිය නිවෙසේ සිහිසුන්ව සිට රෝහලට රැගෙන විත් සිටියදී මරණයට පත්ව ඇතැයි පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.මියගොස් ඇත්තේ පුත්තලම, කල්අඩිය පදිංචි ඩී.එච්. චමුදි විදර්ශන නමැති තරුණියක බව කියයි.පුත්තලම ආනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලැබූ මෙම තරුණිය අ.පො.ස. උසස් පෙළ හැදෑරිමෙන් පසු කුරුණෑගල උසස් අධ්‍යාපන ආයතනයක ඩිප්ලෝමාවක් හදාරමින් සිටි බව කියයි.


ඉකුත් 25 වැනිදා ඇය නිවෙසට පැමිණීමෙන් පසු පියා විසින් රැගෙන විත් තිබූ එළවළු රොටියක් පමණක් ආහාරයට ගෙන රාත්‍රී ආහාර ගැනීමට නොහැකි බව පවසමින් නින්දට ගොස් ඇති බව කියයි.කෙසේ වෙතත් මෙම තරුණිය ඇගේ කාමරය තුළදී මධ්‍යම රාත්‍රී 12,44 වනතුරු ජංගම දුරකතනය හරහා කෙටි පණිවිඩ හුවමාරු කරගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.


අලුයම අවදි වූ මව්පියන් දියණිය නිදා සිටි කාමරයට ගොස් බලද්දී ඇය සිහිසුන්ව සිටීම නිසා මහත් කලබලයට පත්ව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් ඇය මරණයට පත්ව සිටි බව කියයි.තරුණියගේ මරණය සම්බන්ධව පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ගෙවිදු කස්තුරිආරච්චි මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීමෙන් පසු සිරුරේ

කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු කළ අතර, මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරිණි.පුත්තලම හදිසි මරණ පරික්ෂක බි.එම්. නිසාම් මහතා පැවැත්වීමෙන් පසු එය වැඩිදුර පරික්ෂණ සඳහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර තිබිණි.මරණය සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවීම පුත්තලම මූලික රෝහලේ රෝහල් පොලිසියේ පොලිස් කොස්තාපල් (87165) වනසිංහ මහතා සිදු කරනු ලැබීය.


ආයුධ පෙන්නන්න මාත් එක්ක යයිද දන්නෙ නෑ

 


ගයාන් සූරියආරච්චි


නාමල් කියයි ‘ආයුධ පෙන්වීමට තමා රැගෙන යයිදැයි නොදන්නා’ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (26) පැවැසුවේය.ඔහු ඒ බව පැවැසුවේ 2013 වර්ෂයේ සිදු වූ බව කියන එයාර් බස් ගනුදෙනුවක් සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.


නිවාඩු දිනයක් වූ ඊයේ (26) තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමට වඩා උසාවි දිනවලදී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිමට මහන්සි වීම අගය කරන බවද නාමල් රාජපක්ෂ මහතා කීය. මීට පෙර වතාවක් එක්තරා මහත්මයකු තමාගේ මේසය උඩ රුපියල් කෝටි 20 ක මුදලක් තබා ගොස් තිබූ බවත් මෙවර කොපමණ මුදලක් මේසය මත තබා ගොස් තිබේද යන්න නොදන්නා බවත් රාජපක්ෂ මහතා පැවැසුවේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට පැය 5 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් දීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එළියට පැමිණි නාමල් රාජපක්ෂ මහතා එසේ කීවේය.


යහ පාලන ආණ්ඩුව කාලේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය ආරම්භ කර වර්තමානයේ සිටින පොලිස් ඇමැතිවරයා එහි ලේකම් බවට පත්ව සිටි අතර රාජපක්ෂවරුන්ගේ නිවෙස්වලට පැන වැසිකිළි වළවල් හැරූ බවද ඔහු පැවසීය. එය අසාමාන්‍ය ලෙස දේශපාලනය කිරිමට දරන උත්සාහයක් බව කී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ඕනෑ අයකු අපරාධයක් කර ඇත්නම් පරීක්ෂණ සිදු කරන ලෙසත් සාධාරණ පැමිණිලි කිරිම මගින් ජනතාවට සාධාරණයක් ඉටුවන බවත්ය.


සංජීව ඝාතන සැලසුම සෙව්වන්දිගේ මීගමු නිවසේ කොස්තාපලුත් දැනගෙන ඉඳලා


 රෝෂන් තුෂාර


පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය මීගමුව නිවසේදී සකස් කර ඇති බවත්, එම සැලසුම මේ වන විට ඊමාන්ඩ් බාරයේ සිටින මීගමුව පොලිසියේ කොස්තාපල් දැන සිට ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ (26) සඳහන් කළේය.

ඝාතනයට උපයෝගී කර ගන්නා පිස්තෝලය සැකකාරිය මීගමුවේ පිහිටි සිය මවගේ නිවසට ගෙත ගොස්, එම ගිනි අවියේ ඡායාරූප අත්අඩංගුවේ සිටින මීගමුවේ පොලිස් කොස්තාපල්ට ඝාතනයට පෙර යොමු කර ඇති බව කරුණු ඉදිරිපත් කර ඇත.


පැය 24ක කාලයක් රඳවා ප්‍රශ්න කෙරුණු ප්‍රධාන සැකකාරියගේ සහෝදරයා වන කටුවැල්ලපුර මීගමුව පදිංචි දේවගේ චමිඳු තිවංක වීරසිංහ (23) හා මව වන සේසත්පුර දේවගේ සමන්ති (44) යන අය අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම කරුණු සඳහන් කළේය.කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සැකකාරිය අදාළ ගිනිඅවිය මවගේ නිදන කාමරයේ ඇඳ මත රතු පැහැති ඇතිරිල්ලක් මත තබා ඡායාරූප ලබාගෙන ලහිරු ප්‍රසන්න ඇතුගල නමැති තුන්වැනි සැකකාර පොලිස් කොස්තාපල් වෙත යොමු කර ඇති බවය.


සැකකාර පොලිස් කොස්තාපල්ගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී එම ඡායාරූප මකා දමා තිබූ බවත්, ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල් පූර්ව දැනුවත්භාවයකින් සිට ඇති බවටත්, කරුණු ඉදිරිපත් කර ඇත.මෙම පූර්ව සැලසුම දින දෙකකින් හෝ තුනකින් කළ එකක් නොවන බවත්, පෙබරවාරි මස 14 වැනි දිනද ප්‍රයත්නයක් දරා එය අසාර්ථක වූ බවට සිය සහෝදරයාගේ දුරකථනයට මැසෙන්ජර් පණිවිඩයක් යොමු කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

'එදින බැරි වූ දේ අද කරනවා' යනුවෙන් 19 දින තවත් මැසෙන්ජර් පණිවිඩ දුරකථනයේ ගැබ්ව තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.


රඳවා ප්‍රශ්න කෙරුණු මව සහ සහෝදරයා මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පූර්ව දැනුවත්භාවයක් තිබී ඇති හෙයින්, ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකර කරුණු අනාවරණය කර ගැනීමට ඇති හෙයින් සැකකරුවන්ට ඇප දීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වන බවත්, ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වු කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර, වැඩිදුර විමර්ශන වාර්තා එදින ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට යොමු කරන ලෙසට නියෝග කළේය.


තනිව සිටි සිසුවිය ගිනි ඇවිලී රෝහලේ

 


 පද්මසිරි ගාරිදියවසම්


සූරියවැව, මහපැලැස්ස ප්‍රදේශයේ නිවසක තනිවම සිටි 14 හැවිරිදි දැරියකගේ සිරුරට පෙරේදා (25) උදේ 11 ට පමණ ගිනි ඇව්ලී ඛරපතළ පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි. සිද්ධිය වන විට දැරියගේ මවුපියන් සිය වගාවන් සිදුකරන හේනට ගොස් ඇතැයි පොලිසිය කියයි. පිලිස්සුම් තුවාල ලැබූ දැරිය රෝගි තත්වයෙන් පසුවන අයකු බවට තොරතුරු අනාවරණයවූ බව පොලිසිය පවසයි.


මවුපියන් හේනට ගොස් ඇත්තේ සිය 16 හැවිරිදි සහ 14 හැවිරිදි දියණියන් දෙදෙනා නිවසේ සිටියදී බවත්, වැඩිමහල් දැරිය නැගණිය තනිවම නිවසේ සිටියදී එහි දොරගුළු දමා අසල වෙළෙඳ සලකට ගොස් ඇතැයි පොලිසිය කියයි.නිවස තුළින් ඇවිළෙන ගිනි ජාලාවක් දුටු අසල්වාසීන් එහි දොරකඩා බලන විට 14 හැවිරිදි දැරියගේ සිරුරට ගිනි ඇවිලී තිබෙනු දැක වහා ඇය සූරියවැව ප්‍රාදේශීය රෝහලට රැගෙන විත් තිබේ.


ඇය සූරියවැව රෝහලේ සිට හම්බන්තොට මහ රෝහලට වැඩි දුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා ඇති අතර, දැරිය හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.මෙලෙස පිලිස්සුම් තුවාල ලබා ඇත්තේ සූරියවැව මහපැලැස්ස පදිංචි ඉලන්දාරිගේ අමන්දි තත්සරණී නමැති දැරියයි.


මෙම දැරිය ගිනි පෙට්ටියක් දුටුවිට ගිනිකුරු ගසා බුදු පහන දැල්වීමට කැමැත්තක් දක්වන බවත්, නිවසේ තනිවම සිටියදී ගිනි පෙට්ටියක් දැක පහන දැල්වීමට ගොස් ඇයගේ සිරුරට ගිනි ඇවිළෙන්නට ඇතැයි සැකකරන බවත් පොලිසිය කියයි. දැරියගේ පියා සිද්ධිය පිළිබඳව සූරියවැව පොලිසියට පැමිණිලි කර ඇත. සූරියවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.එම්.එස්. රාජරත්න මහතාගේ උපදෙස් පරිදි එහි නිලධාරීහු සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකරති.


කෙහෙල්බද්දර පමේගේ පවුලම ඝාතනය කරන්න සැලසුම් හදලා

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


පාතාල නායකයකුව සිටි ගණේමුල්ලේ සංජීව නමැත්තා ඝාතනය කිරීමට ඩුබාහි සිට නියෝග දුන් බව කියන පාතාල නායකයකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පත්මේ නමැත්තාගේ බිරිද ඇයගේ මව, පියා සහ සහෝදරයකු කුලියාපිටිය, පන්නල ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඝාතනය කිරීමට යොදාගැනීමට තිබූ බවට පැවසෙන බෝර දොළහ වර්ගයේ විදේශීය නිෂ්පාදිත ගිනිඅවියක් නාත්තන්ඩිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන ඇත.


මෙම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් දෙදෙනාගෙන් හෙළි කර ගත් තොරතුරු මත පන්නල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එය පෙරේදා (25) සොයාගෙන තිබේ.මෙම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් එක් සැකකාර තරුණයකුගේ නාත්තන්ඩිය ප්‍රදේශයේ පිහිටි නිවසේ මෙම ගිනි අවිය සඟවා තිබූ බව පොලිසිය කියයි.


කෙහෙල්බද්දර පත්මේ නමැත්තාගේ බිරිඳ ඇතුළු පවුලේ උදවිය පදිංචිව සිටින පන්නල ප්‍රදේශයේ පිහිටි නිවස සහ ඒ අවට වීඩියෝ කරමින් සිටියදී නාත්තන්ඩිය සහ මාරවිල ප්‍රදේශවල පදිංචි තරුණයන් දෙදෙනකු පන්නල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා දින හයක කාලයකට රැඳවුම් නියෝග ලබාගෙන තිබිණි.


ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන කුඩු සමීර නමැත්තකු දුන් උපදෙස් අනුව පන්නල පිහිටි මෙම නිවස සහ ඒ අවට ප්‍රදේශය වීඩියෝ කිරීමට පැමිණි බව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවිණි යැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසිණි.අත්අඩංගුවට ගත් මෙම සැකකාර තරුණයන් දෙදෙනා කාලයක් වෙන්නප්පුව ප්‍රදේශය ආශ්‍රිතව පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවූ බව කියන ‘ඕලු මරා' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයාගේ ගෝලයත්ව සිට පසුව ඉවත්ව ගොස් ඩුබායිහි සැඟවී සිටින කුඩු සමීර නමැත්තා සමඟ එකතු වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කළේය.


පන්නල ප්‍රදේශයේ පිහිටි මෙම නිවස සහ ඒ අවට ප්‍රදේශය වීඩියෝ ගත කර ඩුබායිහි සිටින කුඩු සමීර නමැත්තාට ඒවායේ දර්ශන යැවීමෙන් පසු ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබී ඇතැයි පොලිසිය කීය. කල් තියා මෙම තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවීම නිසා සිදුවීමට ගිය සමූහ ඝාතනයක් වළක්වා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.



සංජීව ඝාතනයට කලින් ත් වෙඩික්කරුත් සෙව්වන්දිත් සාප්පු ගිහින්

 

බිමල් ශ්‍යාමන් ජයසිංහ


ගණේමුල්ල සංජීවගේ ඝාතනයේ නීතිඥ වෙස්ගත් වෙඩික්කරු සහ මේ වනවිටත් පොලිසියට වසන් වී සිටින ගිනි අවිය අධිකරණය වෙත රැගෙන ආ සැකකාරිය ඝාතන සිද්ධියට පෙර දිවුලපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසලක සවාරියේ ගොස් විනෝදයෙන් ගත කරන අයුරු සීසීටීවී කැමරාවක සටහන් වී තිබිණි.ගණේමුල්ල සංජීව ඝාතනයට දින දෙකකට ඉහතදී එනම් 17 වැනිදා දහවල් 2.17ට පමණ එම වෙළඳසලට පැමිණෙන ඔවුන් දෙදෙනා කුඩා භාණ්ඩ කීපයක් මිලදී ගැනීමෙන් අනතුරුව කිරි බෝතල් දෙකක්ද පානය කරන අයුරු එහි සටහන් වේ.


ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග මත කොළඹ වරාය පොලිසියේ රඳවා සිටින හිටපු හමුදා සාමාජික සමුදු දිල්ෂාන් පියුමංග කඳන ආරච්චි නමැත්තා මේ වනවිටත් අතුරුදන්ව සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තියට වෙළෙඳසලෙන් ලබාගත් භාණ්ඩ සඳහා මුදල් ලබාදෙන අතර ඇය මුදල් ගෙවීමෙන් අනතුරුව විනාඩි 5ත් 8ත් අතර පමණ කාලයක දී ඔවුන් දෙදෙනාම ඉතා විනෝදයෙන් එයින් පිටවන අයුරු ද සටහන්ව ඇත.


ඉකුත් 19 වැනිදා ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියෙන් අනතුරුව සැකකාර කාන්තාව පදිංචි ප්‍රදේශයෙන් වසන් වී ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මතුගම ශාන් නමැත්තාගේ අනුදැනුම මත මතුගම ප්‍රදේශයට පැමිණ සිටින බවට බුද්ධි අංශ මඟින් ලද තොරතුරක් අනුව මීට දින දෙකකට ඉහතදී විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කෙරිණි.

පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට අතුරුදන්ව සිටින සැකකාරියගේ මව, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු 11 · දෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. සංජීවගේ ඝාතනයට  අදට හරියට දින නවයකි. මීගමුව- කටුවැල්ලේගම පාර අංක 243 හි පදිංචි පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැති 25 හැවිරිදි කාන්තාව ආරක්ෂක අංශවලට මෙන්ම බුද්ධි අංශවලට මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.


උසාවියට එස්.ටී.එෆ් රැකවල්

 

දමිත් වික්‍රමසේකර


අධිකරණවල ආරක්ෂාවට ඉදිරියේදී එස්.ටී.එෆ්. නිලධාරීන් හෝ පුහුණු කළ පොලිස් නිලධාරීන් එහි ආරක්ෂක ස්ථානවල රාජකාරියේ යෙදවීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. කොළඹ අලුත්කඩේ උසාවි සංකීරිණය තුළ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමෙන් පසු ඇතිවූ අවදානම් තත්වය හේතුවෙන් මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වී ඇතැයි ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.


 මෙම අධිකරණවල ආරක්‍ෂාව තර කිරිමේ වැඩපිළිවෙළට අමතරව මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධ චූදිතයන් උසාවිවලට රැගෙන නොගොස් සුම් තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු පවත්වාගෙන යාමට ද තීරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියයි. එමෙන්ම අධිකරණ සංකීර්ණ පරිශ්‍ර තුළ හා ඉන් පිටත බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමටද නියමිතය.

 

ප්‍රබල පාතාල කල්ලි නායකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඉකුත්දා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයක් තුළ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු මෙම නව ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.




අර්ජුන් මහේන්ද්‍රන් දෙන්න බෑ

 



 


බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්දුන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව යළිත් වරක් උත්සාහ ගෙන ඇති නමුත්, සිංගප්පූරු බලධාරින් දැනුම් දී ඇත්තේ සිය රටේ නීතියට අනුව, සිංගප්පූරු පුරවැසිභාවය හිමි හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ලබා දිය (උදර්පණය කළ) නොහැකි බවය.


උපතින් ශ්‍රී ලාංකිකයකුව පසුව සිංගප්පූරු පුරවැසියකු වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා සිංගප්පූරුවෙන් තද තීන්දුවක් මහ බැංකු අධිපති ධුරය හෙබවූයේ යහපාලන ආණ්ඩුව යටතේය. 2015 වසරේ, බැඳුම්කර සිද්ධියෙන් රුපියල් කෝටි 1000 ක පාඩුවක් සිදු කළේ යැයි මහේන්දුන් මහතාට චෝදනා එල්ල වී ඇත.


 මීට පෙරද මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව උත්සාහ ගත් නමුත් සිංගප්පූරු බලධාරින්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි.අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට අදාළව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, මහේන්ද්‍රන් මහතාට පසුගිය 25 වැනිදා වනවිට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි. බැඳුම්කර සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.


මීට අමතරව, මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ 'නිත්‍ය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල' ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කිරීමක් ද කර ඇත.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයට පෙර පවසා තිබුණේ මහේන්දුන් මහතා මෙරටට යළි ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවය. එය තම ප්‍රමුඛ කාර්යයක් බව ද ජනපතිවරයා අවධාරණය කර තිබුණි.


ජනාධිපතිවරණයෙන් පසු එවකට කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ ජනාධිපති විමර්ශන කොමිසමේ සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කරුණු සැලකිල්ලට ගනිමින් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය ද නීතිමය පරීක්ෂණ ආරම්භ කළ බවය.

මහේන්දුන් මහතා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරද්දී 2015 පෙබරවාරි 27 වැනිදා රජයේ බැඳුම්කර නිකුත් කිරීම මගින් එම වංචාව සිදුවුණු අතර, මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවල් ට්‍රෂෙරිස් ලිමිටඩ් ආයතනය බැඳුම්කර සිද්ධියේ ප්‍රධාන ප්‍රතිලාභියා ලෙස චෝදනා ලැබ සිටී.  මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ නීතියට අනුව උදර්පණය කළ නොහැකි බව සිංගප්පූරුවේ නීති බලධාරීන් ශ්‍රී ලංකා නීති බලධාරින්ට දිගින් දිගටම අවධාරණය කර ඇතැයි ද ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.


Wednesday, February 26, 2025

පශු වෛද්‍ය කාර්යාලයේ හිටපු සේවකයෙක් දැලේ

 


 


 නිශාන්ත අබේගුණවර්ධන


ප්‍රාදේශීය ලේකම්වරයකුගේ සහ පශු වෛද්‍යවරියකගේ ව්‍යාජ අස්සන සහ නිල මුද්‍රා යොදා ගවයන් ප්‍රවාහනයට අවසරපත් ලබාදුන් බවට සැකපිට හාලිඇළ පශු වෛද්‍ය කාර්යාලයේ හිටපු සේවකයෙක් බදුල්ල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් 24 දිග අත්අඩංගුවට ගෙන තිබේ.


එලෙස බලපත් ලබාදීමට අදාළ පෝරම් සහිත පොත් තුනක් පසුගිය කාලයේ අස්ථාන ගතවූ බවට හාලිඇළ ප්‍රාදේශීය ලේකම්වරයා සහ හාලි ඇළ පශු වෛද්‍යවරිය විසින් පොලිසියට පැමිණිලි කර තිබූ අතර මෙම කූට ජාවාරම සඳහා උපයෝගි කරගෙන ඇත්තේ එම අස්ථානගතවූ පොත් බවට සැකකරන බව විමර්ශන සිදුකරන පොලිසිය පැවැසීය. කූට ලේඛනවල ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහ පශු වෛද්‍යවරියගේ නිල මුද්‍රාවලට සමාන නිල මුද්‍රාද තබා ඇති අතර ඒ පිළිබඳ සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කරගෙන යන බවද පොලිසිය සඳහන් කළේය.


මෙම කූට ලේඛන ගවයන් ප්‍රවාහනය කිරීම් සඳහා පුද්ගලයන් කොපමණ දෙනකුට ලබාදී ඇත්දැයි මෙතෙක් අනාවරණය වී නැති බවත් ඒ පිළිබඳවද විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල සහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාස විශේෂ අපරාධ ව්මර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.පී. ජයවර්ධන සහ පො.සැ. නන්දසේන (34153) යන නිලධාහු වැඩිදුර විමර්ශන සිදුකරති. අත්අඩංගුවට ගත් සැකකරු 24දා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරීපත් කිරීමට නියමිතව තිබිණි.


කොළඹ ළමා රෝහලේදි මියගි දරුවාගේ මරණ පරීක්ෂණයේ නියෝගය මාර්තු 11 දා

 


කුමුදු උපුල් ශාන්ත


වකුගඩු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ රිජීවේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි බාල වයස්කාර අම්දි ෆස්ලිම් නමැති පිරිමි දරුවාගේ මිය යෑමට අදාළ මරණ පරීක්ෂණයේ නියෝගය ලබන මස 11 වැනි දින ලබාදෙන බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා දැනුම් දුන්නේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාහු අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.

අදාළ සැත්කම සිදු කළ බව කියන නවීන් විජේකෝන් මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ලබා දුන් ප්‍රකාශයට අදාළ වර්තා අධිකරණයට ලැබී තිබූ අතර එම සාක්ෂි සටහන්වලට පෙර නඩු දිනයේදී විවෘත අධිකරණයේදී මහෙස්ත්‍රාත්වරයා විසින් අස්සන් කරනු ලැබීය.


මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින විශේෂඥ වෛද්‍ය නවීන් ජේකෝන් මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ලබාදුන් ප්‍රකාශයට අදාළ වර්තා අධිකරණයට ලැබී තිබෙන බව සඳහන් කිරීමෙන් අනතුරුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විර්ශන කොට්ඨාසය කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.


ඔල්ගා මියගියේ සෙල්ෆි ගහන්න ගිහින් නොවේ

 


උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ හාලිඇළ දුම්රිය ස්ථාන දෙක අතරදී ඉකුත් 19 වැනි දින පොඩි මැණිකේ දුම්රියෙන් ඇදවැටී මියගිය 53 හැවිරිදි ප්‍රිමින්වා ඔල්ගා නමැති රුසියන් ජාතික කාන්තාව සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට යෑමෙන් සිදුවූ මරණයක් නොවන බව හෙළිදරවු වී තිබේ.


ඇයගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ මරණ පරීක්ෂණයේදී මේ බව තහවුරුවී තිබේ.මියගිය කාන්තාවත් සමඟ ලංකාවට පැමිණ සිටි කණ්ඩායමේ රුසියන් ජාතික කාන්තාවක් වන 55 හැවිරිදි එර්නා ලලිසා මහත්මියගෙන් මෙන්ම මෙම සංචාරක කණ්ඩායමට ශ්‍රී ලාංකික මඟ පෙන්වන්නෙක් ලෙස කටයුතු කළ 55 හැවිරිදි සංජය ජානක අමරදේව මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. ඒ අනුව මියගිය ඔල්ගා නමැත්තිය දුම්රිය දොරටුවේ කණු දෙක අල්ලාගෙන පාපුවරුවේ එල්ලී සිටියදී එර්නා ලලිසා නමැති කාන්තාව ඔල්ගා නමැත්තියගේ ඡායාරූප ගෙන තිබේ. එම අවස්ථාවේදී ඔල්ගාගේ කොණ්ඩය මුහුණට වැටීමෙන් ඇතිවූ අපහසුතාව මඟහරවා ගැනීමට ඔලුව හරවද්දී දුම්රිය මාර්ගයේ තිබුණු ගලක හැපී දුම්රියෙන් බිමට ඇදවැටී ඇති බවට හෙළිදරවු වී ඇත. 


ඒ අනුව ඇය සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට යෑමේදී දුම්රියෙන් ඇද වැටී සිදුවූ මරණයක් බවට කලින් ප්‍රකාශ වුවද එය එසේ නොවූ බවට තහවුරුව තිබේ. මෙම මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය සිදුකර තිබුණේ බදුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ සුජීවන සිල්වා මහතා වීසිනි.


" බදුල්ල ජයලත් දිසානායක


ගාල්ල දඩල්ල ඝාතන සිද්ධිය සැකකරුවන් තිදෙනකු හඳුනාගන්න පොලිසිය මහජන සහාය පතයි

 

 



 ගයාන් සූරියආරච්චි


ගාල්ල දඩල්ල කනත්ත හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට ගිනී අවියකින් වෙඩි තබා ඝාතනය කර, ඔහුගේ බිරියට බරපතළ තුවාල කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනකු හදුනා ගැනීම සදහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරයි. එම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කළ විමර්ශනවලට අනුව එක් සැකකරුවකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.


ඒ අනුව, වීරවිල නව නගරය ප්‍රදේශයේ පදිංචි එදිරිවීර විජේසුන්දර පටබැඳිගේ නීල් සුරංග (40), රත්ගම නයාගොඩ ප්‍රදේශයේ පදිංචි කොත්ති උපෙන්දු පුෂ්ප කුමාර (46) සහ රත්ගම රණපනාදෙණිය ප්‍රදේශයේ පදිංචි මැටවල හසුන් ප්‍රභාත් පද්ම කුමාර (32) නමැති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය අවශ්‍ය බව පොලිසිය පවසයි.එම සැකකරුවන් පිළිබඳව තොරතුරක් ඇත්නම්, 0718591452 අංකය ඔස්සේ ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා 0912233217 අංකය ඔස්සේ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ද අමතන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


කොටහේන ඝාතනයට අනුබල දුන්නැයි රඳවා ප්‍රශ්න කළ සැකකරු රිමාන්ඩ්

 

 


" රෝෂන් තුෂාර


කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි රදවා ප්‍රශ්න කෙරුණු සැකකරු ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මියඊයේ(25)කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.


කොළඹ 15, මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි පසිඳු විරාජ් නමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.කොටහේන පොලිසියේ උප පොලිස් පරීක්ෂක අරවින්ද මහතා අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ, සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කළ බවය.

පසුගිය 21 වැනිදා කොටහේන ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු තවත් අයකුට වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, සැකකරු විසින් වෙඩික්කරු කොළඹ කොටුව ප්‍රදේශයේ සිට ඔහුගේ ත්‍රිරෝද රථයෙන් කොස්ගස් හන්දිය ප්‍රදේශයේ පිහිටි සිය බිරියගේ නිචෙසට කැඳවාගෙනවිත් අපරාධය සඳහා ගිනි අවිය සහ පතොරම් දී ඇති බවට කරුණු ඉදිරිපත් කෙරිණි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඇන්ටන් සේනානායක මහතා සඳහන් කර සිටියේ, දුන්නේ යැයි කියන තුවක්කුවක් හෝ කිසිදු නඩු භාණ්ඩයක් මේ වන විට අනාවරණය කරගෙන නොමැති බවය.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය, පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස විමර්ශන නිලධාරින්ට නියෝග කරමින් සැකකරු ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.


නි. ඇමැතිගේ වළේ කතාව නාමල්ගේ ජීවිතයට තර්ජනයක්

 



යොහාන් භාසුර


“නාමල් රාජපක්ෂ මහතාට ගමට නොව ළඟදීම වළට යන්න වෙන්නේ' යැයි ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු කළ ප්‍රකාශය සුළුවට ගෙන බැහැර කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා ඊයේ (25) පැවැසීය.බත්තරමුල්ල, නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේදී මනෝජ් ගමගේ මහතා එසේ සඳහන් කළේය.


ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ජනමාධ්‍යයට ඉතාමත් බරපතළ අන්දමේ ප්‍රකාශයක් පෙරේදා කළ බවත්, එම ප්‍රකාශය මරණීය තර්ජනයක් මෙන්ම එයින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බරපතළ ප්‍රශ්න ගණනාවකට යොමු කළ බවත් ඔහු පැවැසීය.


සිය ජීවිතය ළඟදීම නැති වීමේ ඉඩකඩක් තිබේ යැයි යන අනතුරු ඇඟවීම ඉන් ඉතාමත් පැහැදිලිව ගම්‍ය වන බව කී ගමගේ මහතා, එම පක්‍ෂයේ ජාතික සංවිධායක නාමල් රාප්පක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් හෝ ආණ්ඩුව දැනුවත්ව හෝ ක්‍රියාත්මක වනවා ද යන ගැටලුව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රශ්නයත් සමඟ මතු වූ බව ද සඳහන් කළේය.


බළලා මල්ලෙන් එළියට පනිනවා වගේ කට පරෙස්සම් කරගෙන ඉන්න බැරිව එය කටින් එළියට පැන්න බවත්, එසේම යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට පෙර ද ඒ පිළිබඳව පෙර දින සාකච්ඡා කළ බව නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා පැවැසූ බවත්, ගමගේ මහතා කීය.

ආණ්ඩුව අභ්‍යන්තරයේ වූ සාකච්ඡාවක කොටසක් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ එළියට දැම්මේ යැයි සැකයක් මතු වන බව කී ගමගේ මහතා පැවැසුවේ, පොලිස්පතිතුමාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාටත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳව පැමිණිලි කරන බවත්ය. රාජපක්ෂවරුන්ට නැති සුපිරි බලයක් මේ ආණ්ඩුවට තිබේ යැයි සිතා ජනතාව තුනෙන් දෙකක බලයක් දුන් බවත්, ජනතාව තුනෙන් දෙකක බලයක් දුන්නත් රාප්පක්ෂලාගේ නාම ගාවමින් ඇඟ බේරා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවත්, මනෝජ් ගමගේ මහතා වැඩිදුරටත් කීය.


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පක්‍ෂ මූලස්ථානයේදීම ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවේ, යහපාලන ආණ්ඩුව සමයේ චෝදනා ඉදිරිපත් කර ඔප්පු කිරීමට නොහැකිව ඉවත දමා තිබූ අසත්‍ය චෝදනා නැවත ප්‍රෝඩාකාරි ලෙස ගෙන එමින් එම පක්ෂයේ පාක්ෂිකයා සතුටු කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවයි.


බොරු පවසා ආණ්ඩු බලය ගෙන රැවටීම කුමක් ද කියන එක ජනතාවට පැහැදිලි කිරීමට වැඩපිළිවෙළක් “ගමින් ගමට” යැයි වැඩසටහනක් ආරම්භ කළ බවත්, එම වැඩසටහන ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී තමන් රැවටුණේ යැයි ජනතාව තේරුම් ගෙන ජනතා විමුක්ති පෙරමුණට පාඩමක් ඉගැන්වීමට සූදානමින් සිටින බවත් කාරියවසම් මහතා කීය.එම වැඩසහනට බිය වූ ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගන්නවා සේම විවිධ වංචනික ක්‍රියාමාර්ග සහ අනීතික ක්‍රියාමාර්ග පවා ගනිමින් සිටින තත්වයක් නිර්මාණය වී ඇති බව කී ඒ මහතා, පසුගිය දා බොරු සමීක්ෂණ වාර්තාවක් ජනගත කිරීමට උත්සාහ කළ බව ද සඳහන් කළේය.


නාමල්ගේ ක්‍රිෂ් නඩුවේ විනිසුරුට මූණු පොතෙන් මඩගහලා සටහන්කරුවන්ගේ වාර්තා කැඳවයි

 


මනෝප්‍රිය ගුණසේකර


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහි මූල්‍ය අපරාධ නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට එරෙහිව මුහුණුපොතේ යම් යම් සටහන් තැබූ පුද්ගලයන් පිළිබඳ වාර්තාවක් නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ ප්‍රධාන රෙජිස්ට්‍රාරිවරයාට ඊයේ (25) නියම කළේය.කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට එරෙහිව මුහුණුපොතේ යම් යම් සටහන් තැබූ පුද්ගලයන් අධිකරණයට අපහාසයක් කර ඇති බවට පැමිණිලි කරමින් කොළඹ මහාධිකරණ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා කළ පැමිණිල්ලකට අනුව එලෙස නියෝග කළේය.


 ‛පෝද්දල ජයන්ත'සහ ‛සනත් බාලසූරිය නමැත්තන්ගේ මුහුණුපොත් මගින් පසුගිය 21 වැනිදා මුහුණුපොතේ සිට සංසරණය වන සටහනක් උපුටා දක්වමින් කොළඹ ප්‍රධාන මහාධිකරණ රෙජිස්ට්‍රාර් එස්.ඒ.අයි. රංජිත් මහතා මෙම පැමිණිල්ල කර ඇත. ‛පෝද්දල ජයන්ත’ සහ 'සතත් බාලසූරිය නමැත්තන්ගේ මුහුණුපොතේ තබා ඇති සටහන් අනුව අධිකරණයට අපහාසයක් වී ඇති බවට තමාට හැඟී යන බව සඳහන් කරමින් ප්‍රධාන මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා මෙම පැමිණිල්ල කර ඇත.මහාධිකරණ රෙජිස්ට්‍රාර් එස්.ඒ.අයි. රංජිත් මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කළ විනිසුරුවරුන්, මුහුණුපොතේ තබා ඇති සටහන් පිළිබඳ වාර්තාවක් නොපමාව ඉදිරිපත් කිරිමට මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.


රගර් තරගාවලියක් සඳහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 7ක මුදලක් ලබාගෙන, අවභාවිත කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහි නඩුව විභාග කරනු ලබන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාය.මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහි අධි චෝදනාපත්‍ර භාර දුන් පසු ඔහුට ඇප නියම කළ අතර, විත්තිකරුගේ ඇඟිලි සලකුණු වාර්තා කැඳවීමට ද නියම කෙරිණි.


උසාවියට අපහාස කරලා: කබාය ගැලවූ නීතිඥ වසර 2ක් හිරේ

 


 රන්ජන් කටුගම්පොළ


ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වන කරුණු අඩංගු දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම හේතුවෙන් නීතිඥභාවය අත්හිටුවා සිටින ධර්මසිරි කරුණාරත්න මහතා අදාළ චෝදනාවලට වරදකරු කරමින් වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහුට රුපියල් ලක්ෂයක දඩයක් ද ඊයේ (25) නියම කළේය. වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් කාලය වසර 10කට අත්හිටුවීමට ද නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, නියම කළ දඩ මුදල දින 90ක කාලයක් තුළ නොගෙවුවහොත් වසර 2ක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් ද නියම කළේය.


ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වන කරුණු අඩංගු දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නීතිඥභාවය අත්හිටුවා සිටින ධර්මසිරි කරුණාරත්න මහතාට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ චෝදනාවලට ඔහු වරදකරු බවට තීරණය කළ විනිසුරු මඬුල්ල

ඔහුට මෙම දඬුවම් නියම් කළේය.


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ සම්පත් විජේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කළේය. රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින  ධර්මසිරි කරුණාරත්න මහතා නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණය ඉදිරිපත් කරන ලදී.


අභියාචනාධිකරණ ලේඛනාගාරයට ඇතුළු වී එහි ආරක්ෂිතව තැන්පත් කර තිබූ නඩු ගොනුවක අන්තර්ගතව තිබූ ලිපියක් නීති විරෝධි ආකාරයෙන් ලබාගෙන විනාශ කරන ලදැයි නීතිඥභාවය අත්හිටුවා සිටින ධර්මසිරි කරුණාරත්න මහතාට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබිණි. ධර්මසිරි කරුණාරත්න මහතා වෙනුවෙන් නීතිඥ සලිත් විජේසුන්දර මහතා පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ නිල් කුලරත්න මහතා පෙනී සිටියේය.


පාතාලයට ගෑවිලා නම් දේශපාලකයොත් එළියට දානවා

 


නිමල කොඩිතුවක්කු


පසුගිය දිනවල සිදු වූ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දේශපාලනඥයන් සම්බන්ධ නම්, ඉදිරි විමර්ශනවලදී ඔවුන්ගේ නම් හෙළිදරව් වනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී ඊයේ (25) පැවැසීය.

පාතාල සිදුවීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදු කරන ලෙසට රජය ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බවත්, එම විමර්ශනවලින් පසු මෙයට සම්බන්ධ පිරිස් ගැන නම් ගම් සහිතව රටට හෙළිදරව් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


රට තුළ සිදුවන අපරාධ සහ ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් මෙසේ ද කීය.


“මේ සිදුව තිබෙන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සිදුවීම් කියලා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු රජය දිගින් දිගටම පැවැසුවා. මෙය දඩමීමා කරගෙන රටේ ජාතික ආරක්ෂාව අනතුරේ කියලා විපක්ෂය පැත්තෙන් ලොකු කැම්පේන් එකක් ගෙනියනවා. සංචාරකයන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ පැත්තත් ඔවුන් මතු කරමින් ඉන්නවා. ජාතික ආරක්ෂාව ගැන කිසිදු ගැටලුවක් නැහැ කියලා අපි පැහැදිලිව කියලා තියෙනවා. අපි සිද්ධි ගැන විමර්ශන කරමින් තීරණ ගනිමින් සිටිනවා.


මේ ජාලයේ මුල් කොතරම් විහිදී තියෙනවා ද කියලා ඔබට පේන්න තිබෙනවා. දැනටමත් පොලිසියේ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් අය ගැන විමර්ශන කරමින් යනවා. වස්ඇප් දුරකතන ඇමතුම් පණිවිඩ පරීක්ෂා කරමින් යනවා. එතැනදී දේශපාලනඥයන් සම්බන්ධ වුණොත් විමර්ශනවල විදිහට හෙළිදරව් වේවි. ඒ හෙළිදරව් වූ අයගේ නම් ඔබට ඉදිරියේදී දැනගන්න ලැබේවි. මෙයට සම්බන්ධ සියලු දෙනාම නීතිය හමුවට පමුණුවන්න කටයුතු කරනවා. ඒ නිසා කිසිසේත්ම කලින් ආණ්ඩු වගේ මේ පාතාල කල්ලිවලට දේශපාලන රැකවරණ ලබා දීලා රටේ නීතිය හා සාමය බිඳවට්ටන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ජනතාව ප්‍රතික්ෂේප කරපු පිරිස් ජාතික ආරක්ෂාවට මුවා වෙලා දැන් එළි බැහැලා තියෙනවා." ප්‍රශ්නය: පොලිස් අත්අඩංගුවේ පසු වූ සැකකරුවන් දෙදෙනකු ආයුධ පෙන්වීමට යාමේදී ඝාතනයට ලක්වුණා. මේ පරණ පුරුදු සෙල්ලමනේ?


පිළිතුර: ආණ්ඩුවක් විදිහට අපේ අවශ්‍යතාව තිබෙන්නේ මේ සියලු දෙනා අධිකරණය හමුවට පමුණුවා නීතිය ක්‍රියාත්මක කිරීමයි. යම් තැනකදී ඒ ක්‍රියාවලියට බාධාවක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවා. පසුගිය දිනවල සියලු සිදුවීම් සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව විසින් විමර්ශන කරගෙන යනවා. කවර පාර්ශ්වයෙන් අඩුපාඩු වුවත් ඒ සම්බන්ධයෙන් රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.


ප්‍රශ්නය: ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පසුගිය කාලයේ මෙවැනි ඝාතන දිගින් දිගටම විවේචනය කළා. අද ඔබ ආණ්ඩුව යටතේ සිදුවන්නේත් ඒ දේමයි?


පිළිතුර: අපි තවමත් ඒ ස්ථාවරයේ සිටිනවා. මෙතැන කොතැන හෝ අඩුපාඩුවක් වී ඇත්නම් එය නිවැරැදි කිරීමට කටයුතු කරනවා. මට අවසන් නිගමනයට එන්න බැහැ. සියල්ල සිදුවන්නේ විමර්ශනයට යටත්වයි. පුරවැසියාගේ ආරක්ෂාව පිළිබඳ අපි සහතික

වනවා.


ප්‍රශ්නය: ඔබතුමා පසුගිය දිනවල සිදු වූ ප්‍රකාශ හෙළාදැක්කා, කනගාටුව පළ කළා. මේක එහෙම හෙළාදකින්නේ නැද්ද?


පිළිතුර සිදුවීම පිළිබඳ පූර්ණ විමර්ශනයක් නොකර ආණ්ඩුවක් විදිහට එහෙම ප්‍රකාශ කරන්න බැහැ. සියලු විමර්ශන අවසානයේදී ඔබට ඒ පිළිබඳ පැහැදිලි තොරතුරු ලබා දෙන්නම්.


ප්‍රශ්නය: ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට පාතාල තර්ජන එල්ල වී ඇති බවට මාධ්‍ය වාර්තා කරනවා?


පිළිතුර: ජනාධිපතිගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කැබිනට්  මණ්ඩලයේදී සාකච්ඡා වුණේ නැහැ.


වැලිකඩ හිරගෙදර දොස්තර නිල නිවෙසේ ලක්ෂ 8ක බඩු උස්සලා

 


•බිමල්  ජයසිංහ


වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිලධාරිවරයාගේ බන්ධනාගාර නිල නිවෙසින් රුපියල් ලක්ෂ අටකට ආසන්න මුදල් සහ රන් ආභරණ සොරාගෙන ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.සොරාගෙන ගිය දේපළ අතර රුපියල් 15,000ක මුදලක්, පවුම් දෙක හමාරක් බර රන් අත් පලඳනාවක්, පවුමක් බර සුදු රත්රන් මාලයක් සහ පෙන්ඩනයක් වන බව පොලිසිය සඳහන් කරයි. පැමිණිලිකාර වෛද්‍යවරයාගේ මවගේ ගමන් බෑගයේ බහා තිබූ රුපියල් 15,000ක මුදල සොයා බලන විට එම මුදල් නොතිබූ බැවින් ඔහුට සැකයක් ඇති වී නිවෙසේ කාමරයේ අල්මාරිය පරීක්ෂා කිරීමේදී අල්මාරියේ ලාච්චුවේ බහා තිබූ රන් භාණ්ඩ ද නොමැති බවට අනාවරණය වී ඇත.


මෙම සොරකම සම්බන්ධයෙන් මීට දින කිහිපයකට ඉහතදී සේවයෙන් ඉවත්ව ගිය නිවෙසේ සේවිකාවක වශයෙන් සිටි කාන්තාවක සැක කරන බව පැමිණිල්ලේ සඳහන්ය.මේ සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 2 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය. බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.


ජාත්‍යන්තර පාසලක අතවර සිද්ධියට සිසුන් 6ක් අල්ලන්න සොයයි

 


 ගයාන් සූරියආරච්චි


කොළඹ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි දරුවකුට වරින් වර බරපතළ අපයෝජනයක් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන සිසුන් හය දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.


මෙම ජාත්‍යන්තර පාසලේදී මෙම සිසුවාව 2023 වසරේ සිට මෙම වසරේ පෙබරවාරි මාසය දක්වා වරින් වර අපයෝජනයට ලක් කර තිබෙන බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත ජාතික ළමාරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර ඇති අතර, බරපතළ අපයෝජනයට ලක්වී යැයි කියන පහළොස් හැවිරිදි සිසුවා වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කළ බව අධිකාරිය සඳහන් කරයි.


පැදුරටත් නොකියා ගිය පේරාදෙණි ආචාර්යවරුන් 59කට මාස තුනක පඬිත් පුදලා

 

 ජේ.කේ.එල්. චාමින්ද


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 59 දෙනකු මාස තුනකට පමණ පෙර දැනුමිදීමකින් තොරව ඉල්ලා අස්වී ඇති අතර, එම ආචාර්යවරුන්ගෙන් අය කළ යුතුව තිබූ රුපියල් එක්කෝට් විසිදෙලක්ෂ තිස්දෙදහස් එකසිය හැටඵකක් වූ (12,232,161) මාස තුනක වැටුප අය කරගැනීමකින් තොරව ඉල්ලා අස්වීම සදහා අවස්ථාව දී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.


ඉල්ලා අස්වන දිනට මාස 3කට පෙර දැනුම් දිය යුතු වුව ද, කිසිදු දැනුම්දීමකින් තොරව 2020 ජනවාරි මස 1 දින සිට 2023 දෙසැම්බර් මස 31 දින දක්වා වූ කාලසීමාව තුළ මෙම ආචාර්යවරුන් ඉල්ලා අස්වී ඇතැයි විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.අය කළ යුතු වැටුප් හා දීමනා කඩිනමින් අය කරගැනීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.


මේ පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් විගණනයට සඳහන් කර ඇත්තේ, ඉදිරියේදී නිවැරැදි සාක්ෂි ඇමුණුම් සහිත පිළිතුරක් ලබා දීමට කටයුතු කරන බවය.පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහා 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවෙන් මෙම තොරතුරු අනාවරණය කර ඇත.


හොර ලෝයර් නෝනාගෙන් මල්ලිට මැසෙන්ජර් පණිවිඩයක්

 

රෝෂන් තුෂාර


අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේදී පාතාල කල්ලි සාමාජික ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් සකස් කළ මහ මොළකාර්ය යැයි කියන ඉසාරා සෙව්වන්දි නමැති සැකකාරියගේ මව සහ සහෝදරයා පැය 24ක කාලයක් රඳවා ප්‍රශ්න කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (25) සදහන් කළේය.සැකකරුවන් දෙදෙනා අදාළ ඝාතනයට ආධාර අනුබල දී ඇති බව මෙතෙක් සිදු කළ පරිවේෂණීය සාක්ෂි මගින් අනාවරණය වී ඇති බවත්, තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් රඳවා ප්‍රශ්න කිරිමට අවසර ලබා දෙන ලෙසත් අපරාධ කොට්ඨාසය ඉල්ලා සිටියේය. සැකකාරිය හා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ කොට්ඨාසය දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන් තවදුරටත් රඳවා ප්‍රශ්න කිරීමට අවසර දුන්නාය.


කටුවැල්ලපුර මීගමුව පදිංචි දේවගේ චමිඳු තිවංක වීරසිංහ (23) හා සේසත්පුර දේවගේ සමන්ති (44) යන අය මෙසේ රඳවා ප්‍රශ්න කිරිමට නියෝග කළාය. සැකකරුවන්ගේ දුරකතනවල වසරක විස්තර වාර්තා කැඳවීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට ද නියෝග කළාය.වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සතුව තිබී අත්අඩංගුවට ගත් ජීව අත්බෝම්බය යුද හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය වෙත ඉදිරිපත් කර නිෂ්ක්‍රීය කිරීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රසපරීක්ෂකවරයාට යොමු කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.


කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් බණ්ඩාර මහතා වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන් සංජීව ඝාතනය කරන බවට පූර්ව දැනුවත්භාවයකින් සිටියේ යැයි ඔවුන්ගේ දුරකතන දත්ත පරික්ෂා කිරීමෙන් හෙළි වී ඇති බවය.


එම දුරකතන පණිවිඩ මගින් මෙම සිද්ධියට කෙසෙල්බද්දර පද්ම නමැති අයගේ අනුදැනුමක් තිබූ බවට හෙළි වී ඇති බව ද පෙන්වා දුන්නේය. සංජීව ඝාතනය කරන බවට හා ඒ සම්බන්ධයෙන් මුදල් සංසරණය වන බවට සැකකරුවන්ගේ පූර්ණ දැනුමක් තිබූ බවට සාක්ෂි මගින් අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළේය.කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට ප්‍රහාරය සිදු කරන දිනයේදී නීතිඥ වෙසින් පැමිණි ප්‍රධාන සැකකාරිය ප්‍රහාරය සම්බන්ධයෙන් සිය සහෝදරයාට මැසෙන්ජර් හරහා පණිවිඩයක් යවමින් සඳහන් කර ඇත්තේ “උසාවිය ළඟදී සංජීවට ගහනවා” යනුවෙන් බව පෙන්වා දුන් පොලිසිය, සැකකාරිය විසින් රුපියල් ලක්ෂයක මුදලක් සිය සහෝදරයාගේ ගිණුමට යොමු කර ඇති බව ද පැවැසීය.


ඝාතනය සිදු වූ ඉකුත් 19 වැනිදා උදෑසන ද මැසෙන්ජර් පණිවිඩයක් යවා ඇති සැකකාරිය “වැඩේ ඉවරයි” යනුවෙන් සනාථ කර ඇති බව ද පෙන්වා දුන්නේය. වෙඩික්කරුගේ ජංගම දුරකතනයෙන් මෙම පණිවිඩ යවා ඇති අතර, මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති කරුණු අනුව, සහෝදරයා විසින් වෙඩික්කරු සම්බන්ධයෙන් පූර්ණ දැනුමක් ලබා සිටි බව ද, වෙඩික්කරු සිය සහෝදරියගේ පෙම්වතා බවට සැකකරු හඳුනාගෙන සිටි බව ද පැවැසීය.සැකකාරියගේ පෙම්වතා වෙඩික්කරු බවට සැකකාර මල්ලි සිතාගෙන සිටිය ද, සැබෑ පෙම්වතා රිමාන්ඩ් භාරයේ පසුවන බව පොලිසිය පැවැසීය.


සැකකාරියගේ මවගේ ගිණුම හරහා මුදල් සංසරණය වී ඇති බව ද, ඝාතනය සිදු වූ දිනයේදී මීගමුව රෙදිපිළි අලෙවිසලකින් ඇඳුම් ලබාගෙන ඇත්තේ මවගේ ගිණුමෙන් බවට තොරතුරු හෙළි වී ඇති බව ද වැඩිදුරටත් සඳහන් කළේය.සැකකාර මව හා සහෝදරයා ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් කිසිදු නීතිඥ නියෝජනයක් නොතිබිණි.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී නොසිටි බැවින්, සැකකරුවන් ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට පැවැසීමට යමක් ඇත්දැයි විමසුවාය.එම අවස්ථාවේදී සහෝදරයා සහ මව සඳහන් කර සිටියේ, “අපේ කිසිදු සම්බන්ධයක් නැහැ” යනුවෙන්ය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන් අද (26) දින දක්වා රඳවා ප්‍රශ්න කිරිමට අවසර දෙමින් අදාළ නියෝග ද නිකුත් කළාය.


ශ්‍රී ලන්කන් ගනුදෙනුවකට නාමල් අද සී.අයි.ඩියට

 


ගයාන් සූර්යආරච්චි


ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපනය කිරීමේදී සිදු වූ බව කියන මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාරිතමේන්තුව හමුවේ අද (26) උදේ 9.00ට පෙනී සිටින ලෙස දන්වා ඇත. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අද පෙරවරු 9.00ට පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නාමල් රාජපක්ෂ මහතාට දන්වා ඇති බව සදහන් වේ.


රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මේ පිළිබඳව විමර්ශන පවත්වයි.ඒ අනුව සිදු කරනු ලබන පරීක්ෂණවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මෙලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කරයි.


Tuesday, February 25, 2025

කොටහේන, ඝාතන දෙකේම වෙඩික්කරුන්ට ගිනි අවි දුන්නේ ඒකම පුද්ගලයාද?

 


කොටහේන, ගල්පොත්ත හන්දිය අසල පිහිටි ජංගම දුරකථන අලෙවිසලක හිමිකරු ඝාතනයද සෙල්වි සහ පුකුඩුකන්නා පාර්ශ්වය අතර ඇතිව තිබෙන ඝාතන රැල්ලේ තවත් එක් ප්‍රතිඵලයක් බවට සැක කරන බව ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය කියයි.පොලීසිය ඒ බව සැක කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය. ඉකුත් 21 වැනිදා කොටහේන පොලිස් වසමේ ගල්පොත්ත හන්දියේ ජංගම දුරකථන අලෙවිසලකට ඇතුළු වූ තුවක්කුකරුවකු එහි සිටි පුද්ගලයකු ඉලක්කකොට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඒ, ටී. 56 වර්ගයේ ගිනි අවියකිනි.


වෙඩි ප්‍රහාරයෙන් ඉලක්කගත පුද්ගලයා වෙළෙඳසල තුළම මැරි වැටුණේය. විමර්ශනයේදී හෙළි වූයේ එලෙස වෙඩි කා මැරුම් කෑ පුද්ගලයා කොටහේන ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි සිවලිංගම් ශෂී කුමාර් නමැත්තකු බවය. ශර්ෂ කුමාර්ට වෙඩි තැබූ තුවක්කුකරුවෝ පැමිණි යතුරු පැදියේම නැඟී පලාගියහ. එම වෙඩික්කරුවන් රැගත් යතුරුපැදිය මාර්ගයේ ගමන් කරමින් තිබියදී ඒ ගැන සැක සිතූ මාර්ගයේ රාජකාර්යේ යෙදී සිටි කොටහේන පොලිසියේ නිලධාර්න් දෙදෙනකු ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් ඔවුන් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්හ. ඒ ශෂි කුමාර් වෙඩි තබා මරා දැමූ ටී.56 ගිනි අවියද සමඟිනි.


යතුරුපැදිය හා ටී. 56 ගිනි අවියද සමඟ මොවුන් කොටහේන පොලිසියට රැගෙන ගිය නිලධාර්න් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔවුන් සතුව තවත් ආයුධ ඇති බවත් එම ආයුධ මට්ටක්කුලිය කාක දූපතේ සඟවා ඇති බවත් අනාවරණය කරගෙන තිබිණි. පසුව ඊට පසුදා (22දා) කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනාද රැගෙන සැඟවූ අවි ආයුධ සොයා ගැනීමේ අරමුණෙන් ඔවුන් මට්ටක්කුලිය කාක දූපතටරැගෙන ගොස් තිබේ. 


එහිදී අවි ආයුධ සැඟවූ තැන පෙන්වන මුවාවෙන් එක් සැකකරුවකු කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයා සතු ගිනි අවිය උදුරාගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී ආත්මාරක්ෂාව පතා පොලිස් නිලධාර්න් ඔවුනට වෙඩි තබා තිබේ. එහිදී සැකකරුවන් දෙදෙනාටම වෙඩි වැදී ඇති අතර පසුව ඔවුන් රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විණි.සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹූ පොලිසිය පැවැසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෝදර නිපුන නමැති අයකුගේ කොන්ත්‍රාත්තුවක් මත ශෂි කුමාර්ට වෙඩි තැබූ බවය.


එහෙත් සිද්ධියසම්බන්ධයෙන් මෝදර පොලිසියට අමතරව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයද දිගින් දිගටම කරන ලද පරීක්ෂණයේදී අනාවරණය වන්නේ ශෂිකුමාර් ඝාතනයද කොටහේන, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල කලක් තිස්සේ මිනිස් ඝාතන සිදු කරන පුකුඩුකන්නා සහ සෙල්විල්ගේ පුතුන් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදු කළ තවත් වෙඩිතැබීමක් බවට සැක කරන බවය. ඒ බවට සැක කෙරෙන්නේ මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමකදී බව පොලිසිය කියයි. මෙම පුද්ගලයා ඉකුත් 23 වැනිදා දහවල් මෝදර පොලිස් වසමේ මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ සැකකරු විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග සමීප සබඳතා පවත්වා ඇති බවය. එම පුද්ගලයා එරට සිට මෙරට අපරාධ මෙහෙය වන බවත් ඔහුගේ උපදෙස් මත කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු කොළඹ කොටුව දුම්රියපොළේසිට කොස්ගස්හන්දියේ පිහිටි සිය  බිරියගේ නිවෙසට රැගෙන විත් පැමිණ ඇත්තේ මෙම සැකකරු බවයි. ඒ ත්‍රිරෝද රියකිනි. එමෙන්ම බිරියගේ නිවෙසට කැඳවා ගෙනැවිත් තුවක්කුකරුට අපරාධය සඳහා ගිනි අවිය සහ පතරොම් ලබාදී ඇත්තේත් මෙම සැකකරු බවද විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය කියයි. විමර්ශන නිලධාර්න් වැඩිදුරටත් පවසන්නේ වෙඩික්කරු ගාල්ලේ සිට දුම්රියෙන් කොළඹ කොටුවට පැමිණ ඇති බවට සැක කරන බවය. ඉන් අනතුරුව ඔහු සැකකරුගේ ග්‍රෑන්ඩ්පාස් නිවෙසේ රැඳී සිටියදී කිසියම් පුද්ගලයකු යතුරුපැදියකින් පැමිණ සැකකරුට ගිනි අවි ලබාදී ඇති බවත් කියයි.


එම අවිය වෙඩික්කරුට සපයා ඇත්තේ සැකකරු බවත් හෙළිව තිබේ. පසුව අපරාධය සිදු කිරීම සඳහා පැදිකරුද තවත් යතුරු පැදියකින් පැමිණ ඇති බවත් අනතුරුව තුවක්කුකරු සහ එම පුද්ගලයා එම යතුරුපැදියෙන්ම ගොස් වෙඩි තැබීම සිදුකර ඇති බවත් විමර්ශන නිලධාහු හෙළිකරගෙන ඇත.එමෙන්ම විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් පවසන්නේ ඉකුත් 10 වැනිදා කොටහේන පොලිස් වසමේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිර්ම සඳහා ටී. 56 ගිනි අවි ලබාදී ඇත්තේද අත්අඩංගුවට ගත් මෙම සැකකරුම බවය.


කොටහේන, බෙනඩික් මාවතේදී තුවක්කුකරුවකු ටී. 56 ගිනි අව්යකින් වෙඩි තබා කොළඹ ජම්පටා වීදියේ පදිංචි අයකු මෙලෙස ඝාතනය කර තිබිණි. කොටහේන පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර එහිදී අනාවරණය වන්නේ මියගිය පුද්ගලයා විදේශගතව සැඟව සිට මෙරට අපරාධ මෙහෙය වන පුකුඩුකන්නා නමැත්තාගේ සමීපතමයකු බවය. ඒ අනුව හෙළිවන්නේ එම ඝාතනය පුකුඩුකන්නාට එරෙහිව සෙල්විව්ගේ පුතුන්ගේ පාර්ශ්වය විසින් මෙහෙයවා ඇති බවය.

කොටහේන බෙනඩික් මාවතේ එම ඝාතනය සහ කොටහේන, ගල්පොත්ත හන්දිය ඝාතනය සිදු කළ වෙඩික්කරුවන්ට ටී. 56 ගිනි අව්යය සපයා ඇත්තේ එකම පුද්ගලයා බවට තහවුරු වීම මත මෙම වෙඩි තැබීම් දෙකම පුකුඩු කන්නා සහ සෙල්විගේ පාර්ශ්ව දෙක අතර ඇති ගැටුමක ප්‍රතිඵලයක් මත සිදු වූවක් බවට පොලිසිය සැක කරයි.


ලග්ගල රෝහලේ නොසැලකිල්ලෙන් දරුවා මිය ගිය බව කියා මවුපිය යුවළක් ජවපතිට ලියයි

 





උණ සෑදී රජයේ රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය වස්ස අවුරුදු එකයි මාස නවයක් වූ පුංචි දියණිය රෝහලේ නොසැලකිලිමත්කම නිසා ජීවිතය අහිමි වී තිබෙන බවත් තවත් දරුවකුට මෙවැනි ඉරණමක් අත් නොවීමට පරීක්ෂණයක් පවත්වන ලෙස මියගිය දියණියගේ පියා සහ මව ජනාධිපතිවරයාට, පාර්ලිමේන්තුවට, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට, විෂය භාර අමාතවරයාට, මාතලේ සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට මෙන්ම පොලිසියටද පැමිණිලි කොට තිබේ.


මාතලේ,ලග්ගල හත්තොටඅමුණ, කන්දෙපිටවල ගම්මානයේ පදිංචිව සිටින යුද හමුදා සෙබළකු වූ සුරංග පුෂ්ප කුමාර මහතා සහ ඔහුගේ බිරිය ඩබ්ලිව් ජී. කුමුදුනි රේණුකා රත්නායක දෙපළ මෙම චෝදනාව මාතලේ ලග්ගල ප්‍රාදේශීය රෝහලේ පරිපාලනයට විරුද්ධව චෝදනා කරමින් මෙසේ පැමිණිලි කොට තිබේ.


වයස අවුරුදු එකයි මාස නවයක් වූ මාතලේ, ලග්ගල, කන්දේපිටවල පදිංචි අමීෂා ගිම්හානි දියණිය පසුගිය පහළොස් වැනි දින උදෑසනක උණ සහ වමනය යෑම හේතුවෙන් ලග්ගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවත් එදින සිට දින දෙක හමාරකට අධික කාලයක් මිශ්‍ර වාට්ටුවක තබාගෙන නිසි ලෙස අවධානයක් යොමු නොකර රඳවා ගෙන සිටි බව මව රේණුකා රත්නායක මහත්මිය චෝදනා කරන්නීය.


තම දියණිය ආහාර නොගැනීම පිළිබඳව මලානිකව හඬා වැටීම පිළිබඳව සහ අසනීප උග්‍ර බවට රෝහලේ වෛද්‍ය නිලධාරිනියට දැනුම් දුන්නද නිසි අවධානයක් යොමු නොකොට උණ සෑදුණු වැඩිමල් අයටද ආහාර අරුචිය ඇතිවන බව ප්‍රකාශ කරමින් සිටි බවද ඇය චෝදනා කළාය.

රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තද නැවත තම දියණිය සමඟ දිනකට පසු වාට්ටු රෝගීන් බැලීමට වෛද්‍ය නිලධාර්නිය නොපැමිණි නිසා බාහිර රෝගී අංශයට පැමිණ වෛද්‍යවරයකුට පෙන්නු බවත්ඇය චෝදනා කරන්නීය.


දින දෙකහමාරකට පසුව ලග්ගල රෝහලේ වෛද්‍ය උපරියකට තමන් කළ ඉල්ලීමකට අනුව නැවත පරීක්ෂා කිරීමේදී දියණියට අසාධ්‍ය බව පවසා දඹුල්ල  මූලික රෝහලේ දිනක් ප්‍රතිකාරකොට දියණිය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පවසා අනුරාධපුර රෝහලට මාරු කර යැවුණු අතර එහිදී තම දියණිය මියගිය බවත් මරණයට හේතුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ලබා නොදී එම සිරුරේ කොටස් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙන බවත් පියා කියයි. පසුව අමීෂා ගිම්හානි දියණියගේ සිරුර ලග්ගල තම නිවෙසට ගෙනවිත් භූමදානය කළ බව මෙම දෙපළ කියති.මෙම මව පියා ලග්ගල පොලිසියට පැමිණිල්ලක් කරමින් තම දරුවාට සහ තමන්ට සිදුවූ - මෙම අසාධාරණය පිළිබඳව පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.


ලග්ගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ. ධර්ම රාජ් මහතාගෙන් විමසීමේදී කියාසිටියේ පැමිණිල්ලක්ලැබී තිබෙන බවත් ඒ සඳහා නීති උපදෙස් ලබාගෙන ඉදිර්යේදී පක්ෂණ කටයුතු ආරම්භ කරන බවය. කෙසේ වෙතත් මෙම දියණිය මිය යෑමේ සිද්ධිය මව සහ පියා නඟන චෝදනා සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා විසිහත් වැනි බ්‍රහස්පතින්දා උදෑසන ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස තමන් වෙත දන්වා ඇතැයි හෙතෙම සඳහන් කළේය.  




 


කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක ගුරුවරු පිරිසකට වසර පහක නිවාඩුව දුන්නේ කොහෙමෙද?

 


අමිත් මධුරංග ගමගේ


කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක ගුරුවරු පිරිසකට වසර පහක දේශීය නිවාඩු ලබාදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි විරෝධයක් එල්ලවී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවැසීය.


රටේ ගුරු හිඟයක් පවතින පසුබිමෙක සියලුම පළාත් සභා ගුරුවරුන්ගේ වසර පහක දේශීය හා විදේශීය නිවාඩු අවලංගු කර තිබියදී මෙම ගුරුවරුන් පිරිසට විශේෂ වරප්‍රසාදයක් ලැබී ඇතැයිද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය. කොළඹ ජනප්‍රිය පාසල් ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන පාසල්වල අවුරුදු 12, 13 ආදී වශයෙන් දීර්ඝ කාලයක් රැඳී සිටිමින් මෙම ගුරු පිරිස රාජකාරී කර ඇතැයි ඔහු කීය.


ගුරු මාරු මණ්ඩල පසුගිය මාස කිහිපය තුළ ඔවුන්ට ස්ථාන මාරුවීම් ලබාදී තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය දීර්ඝ නිවාඩු අනුමත කර තිබීම ගැටලුවක් බවද ප්‍රධාන ලේකම්වරයා පැවැසීය.මෙම ගුරුවරු පිරිස ස්ථාන මාරුවීම් ලැබූ පාසලේ රාජකාරියට වාර්තා නොකර නිවාඩු ලබාගෙන වෙනත් රැකියාවල නියැළෙන බවත්, ඔවුන්ගේ නිවාඩු කාල සීමාව අවසන් වන තෙක් නැවත පාසලකට සේවය ලබාගත නොහැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.


පසුගිය රජය ගෙන ආ යෝජනාවක් අනුව රාජ්‍ය සේවකයකුට දේශීයව හෝ විදේශීයව අවුරුදු පහක නිවාඩුවක් ලබා ගැනීමට අවස්ථාව ලැබී ඇතැයි කී ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ගුරුවරුන්ගේ නිවාඩු අනුමත කරන බලයලත් නිලධාරියා බවද පැවැසීය. ස්ථාන මාරුවීම් ලබාදුන් නිලධාරියාම ගුරුවරුන්ගේ වසර පහේ දේශීය නිවාඩු අනුමත කිරීම වැරැදි බව කී හෙතෙම මේ පිළිබඳව ගුරුවරුන්ගෙන් එල්ල වී ඇති විරෝධය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බවද සඳහන් කළේය.


මඩකළපුව රෝහලේ බිහිකල දරුවා වැසිකිළියක ජනේලයෙන් ඒළියට විසිකරලා

 



ටී.එල්. ජව්ෆර්කාන්


මඩකළපුව ශික්ෂණ රෝහලේ පෙරේදා (23දා) අලුයම 18 හැවිරිදි සිසුවියක් වැසිකිළියක් තුළ බිලිඳකු ප්‍රසූත කර ව ජනේලයෙන් ඉවතට විසිකර ඇතැයි මඩකළපුව මූලස්ථාන පොලිසිය පවසයි. බිලිඳාට ප්‍රතිකාර ලබාදී බේරාගෙන තිබේ. සිද්ධියවූ දා අලුයම 3.30ට පමණ දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක  උසස් පෙළ හදාරන 18 හැවිරිදි ශිෂ්‍යාවක් ප්‍රතිකාර සඳහා මඩකළපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව දැනගන්නට ලැබේ. ඇය ගැබ්ගෙන සිටි අතර බඩේ කැක්කුමක් ‍ ඇති බව පවසමින් තම ගැබ් ගැනීම සඟවාගෙන ඇත.


මින් පසු, අලුයම 5ට, ශිෂ්‍යාව වැසිකිළියට ගොස් බිලිඳා ලැබීමෙන් පසු ඔසවා ජනේලයෙන් ඉවතට විසි කර ඇතැයිද බිලිඳා ජනේලයට පහළින් බිම වැටී කෑගැසීමක් ඇසුණු විට, ව හෙදියන් එහි ගොස් බිලිඳා බේරාගෙන ඇතැයි වාර්තා වේ. පසුව සිද්ධිය හෙළිවීමෙන් පසු, විසි කරන ලද දරුවා බේරාගෙන ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවත්, මවද ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.මේ අතර, මඩකළපුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා කලාරංජිනී ගනේසලිංගම් මහත්මිය ප්‍රකාශ කළේ දරුවා සහ මව ආරක්ෂිතව සිටින බවයි.මේ සම්බන්ධයෙන් රෝහල් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව මඩකළපුව පොලිස් මූලස්ථාන අපරාධ අංශ ස්ථානාධිපති පී. ගජනායක මහතා පැවැසීය.



දැඩි නියඟයෙන් රත්නපුර-කළුතර පවුල් 2278 කට ‌බොන්න වතුර නැ

 


 නිමල කොඩිතුවක්කු


රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකක පවුල් 2278 කට අයත් පුද්ගලයන් 7194 දෙනකු පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1885 කට අයත් පුද්ගලයන් 5776 දෙනකු සහ කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 393 කට අයත් පුද්ගලයන් 1418දෙනකු පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවද එම මධ්‍යස්ථානය කියයි.


කළුතර දිස්ත්‍රික්කයේ මතුගමත් රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපෙල සහ ඇහැළියගොඩ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලත් ජනතාව මෙම තත්වයට මුහුණ පා ඇතැයි ද එහි ප්‍රකාශකයෙක් පැවසීය. මෙම ජනතාව සඳහා බවුසර් මගින් පානීය ජලය බෙදා හැරීම සිදුකරන බවත් ඔහු සඳහන් කළේය. මේ අතර දිවයිනේ විවිධ ස්ථානවලින් ජලය නොලැබී යාම් සහ අඩු පීඩන තත්වයන් යටතේ ජලය ලැබෙන බවට ජනතාවගෙන් පැමිණිලි ලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.


එම ජනතාව සඳහා ගැටලුවකින් තොරව ජල සැපයුම ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ජල බවුසර යොදාගෙන ජලය බෙදා හැරීමට කටයුතු කරන බවත් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි(පාරිසරික හා සමාජීය) වජිරා තිරාණගම මහත්මිය පැවසුවාය.රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්වයත් සමග ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ඇය ප්‍රකාශ කළාය. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය පාවිච්චි කිරීමෙන් වැළකී අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි ද තිරාණගම මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමත් කළාය.

වාහන සේදීම, ගෙවතු වගාව වැනි කටයුතු සඳහා ජලය පාවිච්චි කිරීම අවම කර අවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් යොදාගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇය සඳහන් කළාය.


ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යාම හේතුවෙන් කැලණිගග සහ කල්පිටිය ආශ්‍රිතව මේ වනවිට ලවණ බාධක ඉදිකරමින් පවතින බවත් තිරාණගම මහත්මිය කීවාය.මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, පැල්මඩුල්ල සහ ඇහැළියගොඩ ප්‍රදේශවල ජල මූලාශ්‍ර ඉතා පහළ මට්ටමක පවතින බවද ඇය පැවසුවාය.මෙවැනි තත්වයන් යටතේ උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්වයක් හෝ ජලය නොලැබී යාමේ තත්වයන් ඇති විය හැකි බව ද තිරාණගම මහත්මිය කීවාය.


උපරිම ධාරිතාවකින් ජලය බෙදාහැරීමට පියවරගෙන බවත් ඇති නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරිය පැවසුවාය. ජල පරිභෝජනය ඉහළ යාම හා මූලාශ්‍ර සිඳීයාම හේතුවෙන් ජල සැපයුම අඩාළ වීම හෝ නොලැබී යාම සිදුවුවහොත් ජල බවුසර යොදාගෙන ජලය බෙදාහැරීමට කටයුතු කරන බවත් ඇය ප්‍රකාශ කළාය.ජලය සැපයීමේ දී යම් ගැටලුවක් මතුවුවහොත් 1939 ට දැනුම් දෙන ලෙසද වජිරා තිරාණගම මහත්මිය ඉල්ලා සිටියාය.


කොටහේන ඝාතන සිද්ධිය: වෙඩික්කරුවන්ට ගිනි අවිය දුන් සැකකරු මෝදරදී අල්ලයි

 


 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


ඩුබායි රාජ්‍යයේ සැඟවී සිට මෙරට අපරාධ මෙහෙයවන බව කියන පලනි රෙනෝෂන් නමැත්තාගේ මෙහෙයවීම මත කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකතන අලෙවිසලක පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් ප්‍රවාහනය කරමින් ගිනි අවිය දුන් බව කියන සැකකරුවෙක් මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (23) අත්අඩංගුවට ගනු ලැබීය. 


මෝදර මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන සිටි අතර ඔහු මෝදර ප්‍රදේශයේ 28 හැවිරිදි පදිංචිකරුවෙකි. දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ඩුබායි නිපුණ නමැත්තාගේ මෙහෙයවීම මත සංවිධානාත්මක අපරාධකරුවකු වන පලනි රෙනෝෂන් නමැත්තා මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී තිබූ අතර අත්අඩංගුවට ගැනුණු සැකකරු ඔහු සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම සැකකරු කොටහේත වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු කොළඹ කොටුව ප්‍රදේශයේ සිට ඔහුගේ ත්‍රිරෝද රථයෙන් කොස්ගස්හන්දිය ප්‍රදේශයේ සිය බිරිඳගේ තිවෙසට කැඳවාගෙන විත් අපරාධය සඳහා ගිනි අවිය හා පතුරොම් ලබා දී ඇති බවට පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු ඉකුත් 10 වැනිදු කොටහේන පොලිස් වසමේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සඳහා ද ගිනි අවිය ලබා දුන් පුද්ගලයා බවට විමර්ශනවලදී හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි.


කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකතන අලෙවිසලකදී ශිවලින්ගම් ශෂි කුමාර් නමැත්තාට ඉකුත් 21 වැනිදා වෙඩි තබා ඝාතනය කර යතුරුපැදියකින් පලායමින් සිටියදී වෙරළබඩ පොලිසියේ රථ වාහන අංශයේ රාත්‍රි යතුරුපැදි සංචාර රාජකාරියේ යෙදී සිටි ආධුනික කොස්තාපල්වරුන් දෙදෙනකු විසින් සැකකරුවන් ලුහු බැඳගොස් ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී සැකකරුවන් මෝදර කාක දූපත ප්‍රදේශයේ සඟවා තිබූ ආයුධ තොගයක් සොයාගැනීම සඳහා එම ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේදී සැකකරුවන් පොලිස් ගිනි අවි උදුරා පොලිසියට වෙඩි තැබීමට යාමේදී පොලිසිය සිදු කළ ප්‍රති ප්‍රහාරවලින් සැකකරුවෝ දෙදෙනා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගියහ.


කොළඹ උතුර සහකාර පොලිස් අධිකාරි නාලක සේනානායක මහතාගේ උපදෙස් පරිදි මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන කරයි.


හොර කුකුළු කෑම කම්හලට තහනම් නියෝග

 

 


කේ. බුද්ධික කුමාරසිරි


පාදුක්ක, උඩුමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ කුකුළු ආහාර නිෂ්පාදන ආයතනයක් බලපත්‍රයක් ලබා නොගෙන මහජන පීඩාකාරී ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් ආයතනයේ ක්‍රියාකාරීත්වය නැවැත්වීමට නියෝග කළ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.අදාළ කර්මාන්ත ශාලාවෙන් පාදුක්ක උඩුමුල්ල එම්. ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේ දරුවන්ට ඉගෙනීමට බාධා වන බවට සහ එම කර්මාන්ත ශාලාවෙන් නිකුත් වන දුර්ගන්ධය නිසාවෙන් පාසල් දරුවන් සහ මවුපියන්ට මුහුණ පෑමට සිදුව තිබූ ගැටලු සහගත තත්ත්වය පිළිබඳව පාදුක්ක සම්බන්ධීකරණ කමිටුවට යොමු කර තිබූ පැමිණිල්ලක් අනුව සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂාවකින් පසු මෙම තීරණය ගත් බවද එම අධිකාරිය පවසයි. සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂාවේදී දුර්ගන්ධය නිසා මහජන පීඩාවක් සිදුවන බවටත් ජනනය වන දුර්ගන්ධය පාලනය කිරිමට අදාළ උපකරණ සවිකර නොතිබීමත් අදාළ කර්මාන්ත ශාලාවේ ස්ථාපිත කර ඇති ඩීසල් ටැංකියට සමාන දෙවන රැඳවුම ටැංකියක් ඉදිකර නොතිබීමත් කර්මාන්ත පරිශ්‍රය සඳහා ලබාගත් ගිනි ආරක්ෂණ බලපත්‍රය ඉදිරිපත් කිරීමට ආයතනය අපොහොසත් වීමත්, එසේම මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිකුත් කරනු ලබන පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන නොතිබීමත් යන කරුණු මත කර්මාන්තශාලාවක් පවත්වාගෙන යාම දඬුවම් ලැබිය හැකි වරදක් වන බැවින් ඊට අදාළ අනුමැතීන් ලබා ගැනීමට දින 14 ක් තුළ කටයුතු කරන ලෙස දන්වමින් මධ්‍යම පරිසර අධිකාරිය එම ආයතනය වෙත ලිඛිතව දැනුම් දී ඇත.


මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව අදහස් දක්වමින් මෙසේ පැවසීය


පාදුක්ක, උඩුමුල්ල එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේ පාසල් සංවර්ධන කමිටුව වෙනුවෙන් පී.ඩී.යූ. සකුන්තලා මහත්මිය :- අපේ පාසල අසල තිබෙන සත්ව ආහාර නිෂ්පාදන ආයතනයෙන් දැඩි දුර්ගන්ධයක් හමනවා. මේ වන විට පාසලේ කටයුතු සාමාන්‍ය පරිදි කර ගැනීමට නොහැකි වන පරිදි මෙය කරදරයක් බවට පත්ව තිබෙනවා. පාසලේ දරුවන් නිතරම වමනය කරනවා. ඔළුව කැක්කුමයි කියනවා. ශ්වසන රෝග වැඩිවෙලා තිබෙනවා. අඩුම තරමේ දරුවකු පාසල තුළදී ආහාර ගැනීමටත් අප්‍රිය කරනවා මේ දුර්ගන්ධය නිසා මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පති තුමිය අදාළ ආයතනයට කතා කළාම ටික වේලාවකට පමණක් අදාළ යන්ත්‍ර සූත්‍ර අක්‍රීය කරනවා. එම අවස්ථාවේදී දුම නැතිව ගියත් යළි යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කර වූ සැණින් දුර්ගන්ධය මතුවෙනවා. දැනට වසර දෙකක පමණ කාලයක සිට මෙම කර්මාන්තශාලාව ක්‍රියාත්මකවෙනවා.


ආර්.එම්.පී.කේ. රත්නායක මහතා (පාදුක්ක මහජන සෞඛ්‍ය පක්ෂක) :- මෙම කර්මාන්ත ශාලාව මෙයට වසරකට පෙරත් මම නිරික්ෂණය කළා කිසිදු බලපත්‍රයක් අරගෙන තිබුණේ නෑ අදාළ බලපත්‍ර ලබාගන්න කියලා එම අවස්ථාවේදීත් උපදෙස් ලබා දීමක් සිදුකළා. කලිනුත් මෙම ආයතනය සම්බන්ධයෙන් අප ජලය නිවරැදිව බැහැර නොකිරීම සහ නිවැරැදිව නිසි ක්‍රමවේදයන්ට අනුව කසළ පිලිස්සීමට කටයුතු නොකිරීම නිසා ප්‍රදේශවාසීන්ට සිදුවන අපහසුතා පිළිබඳව පැමිණිලි දෙකක්ම ආවා. ඒ වගේම ආසන්න කාලයකදී එම්.ඩී.එච්. විදුහලේ විදුහල්පතිතුමිය කතා කරලා කිව්වා දැඩි දුර්ගන්ධයක් තියෙන නිසා දරුවන්ට අපහසුතාවන්ට ලක්වීමට සිදුව ඇති බව. එම අවස්ථාවේදී විදුහල්පතිතුමියව දැනුවත් කළා ඒ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ලබා දෙන ලෙස. නමුත් මා වෙත ලිඛිත පැමිණිල්ලක් ලබා නොදී මෙය සම්බන්ධීකරණ කමිටුවට යොමු කර තිබෙනවා. සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේකම් චන්දන පද්මසිරි මහතා :- අපේ පළාත් පාලන ආයතනයෙන් කිසිදු බලපත්‍රයක් නිකුත් කර නෑ.


අඳාළ කුකුළු සත්ව ආහාර නිෂ්පාදන ආයතනයේ පරිපාලන කළමනාකරු රසික නිශාන්ත සිරිවර්ධන මහතා:- අප කර්මාන්ත ශාලාව 2021 වර්ෂයේ අවසානයේ තමයි ආරම්භ කළේ. රුපියල් මිලියන 500ක පමණ මේ කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට යොදවා තිබෙනවා. සතුන් ලක්ෂ පහමාරකට මෙම ආයතනය මගින් සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබනවා. 2021 වර්ෂයේ දී අපි පරිසර බලපත්‍රය ලබා ගැනීමට අයදුම් කළත් මෙම ශාලාව අසල පාසලක් සහ නේවාසික ප්‍රදේශයක් තිබෙන බැවින් පරිසර බලපත්‍රය ලබාදීම මධ්‍යම පරිසර අධිකාරිය මගින් ප්‍රතික්ෂේප කළා


මෙම ආයතනය මගින් සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන්නේ අපේ ගොවිපළවල්වල සිටින සතුන්ට ලබාදීම සඳහාම පමණයි. මෙමගින් ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා ලබා දී තිබෙනවා. අපිට එකම එක පැමිණිල්ලක් පමණයි ලැබී තිබෙන්නේ මේ සම්බන්ධයෙන්,

ඒ අනුව චීනයේ නිෂ්පාදිත විශාල යන්ත්‍රයක් මිලදීගෙන රැගෙන විත් සවිකිරිමට කටයුතු කළා. බොයිලේරු ක්‍රියාත්මක කිරිමේදී සමහර වෙලාවට පොඩි දුර්ගන්ධයක් එත්ත හැකියාව තිබෙනවා. අපි ප්‍රදේශයේ ජනතාවට අහිතක් වෙන්න කටයුතු කරන්නේ නෑ. සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාමට


මේ පිළිබඳව පාදුක්ක සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතාගෙන් කළ විමසීම්කදී මෙසේ කීය:- මේ ගැටලුව පිළිබඳ ඇහුවහම ඇඟ කිලි පොළා ගියා. කිසිදු ආයතනයක බලපත්‍රයක් නොමැතිව මෙවැනි පරිමාණ ආයෝජන සිදුකරමින් ජනතාවට පීඩා සිදුකිරීම අනුමත කරන්න බෑ. දේශීය ව්‍යාපාර නගාසිටුවීමට අප රජය මූලිකත්වය ලබා දෙන මුත් මහජන පීඩාවන් සිදුවීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් වන්න සිදුවෙනවා. මේ තමයි පහුගිය ආණ්ඩුවල තිබුණු අඩුපාඩු වසර දෙකකට ආසන්න කාලයක් මේ කර්මාන්තශාලාව ක්‍රියාත්මක වෙත්ත ඉඩ දීලා තිබෙනවා.

හැබැයි කිසිදු ආයතනයකින් බලපත්‍රයක් ලබාගෙන නෑ. මහජන පීඩාවක් සිදුවෙනවා. ඒ පිළිබඳව පැමිණිලි ලැබී තිබෙනවා. විශේෂයෙන්ම පාසල් දරුවන්ට පීඩාවන් සිදුවෙලා. එවැනි තත්ත්වයන් මත අදාළ කර්මාන්තශාලාව පවත්වාගෙන යන්න අපගෙන් අවසර ඉල්ලීම සාධාරණ වෙන්නේ නෑ. ඒ නිසා මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා දී ඇති නිර්දේශ අනුකූලව කටයුතු කර අදාළ බලපත්‍ර ලබා ගැනීමෙන් පසු මහජන පීඩාවන් නොවන පරිදි කටයුතු කිරිම එම කර්මාන්ත ශාලාව සිදු කළ යුතුයි.


සංජීව ඝාතන රංගනය එළියට

 


රෝෂන් තුෂාර



රහස් පොලිස් නිලධාරියකු ලෙස ෆයිල් එකකින් මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයා සංජීවට විත්ති කූඩුවේදී වෙඩි තබා සීරුවට පහත් වී පිස්තෝලය බිම තබා අධිකරණයේ දොරත් ඇරගෙන පිටව ගිය බව නීතිඥ ප්‍රියංක පුෂ්පකුමාර සමරනායක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි දෙමින් ඊයේ (24) පැවසීය. 


පාතාල කල්ලි සාමාජික සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව නමැත්තා පසුගිය 19 වැනිදා කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළ විත්තුකූඩුවේදී වෙඩිතබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පැවති මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය කැඳවූ අවස්ථාවේදී නීතිඥවරයා එසේ කීය.අධිකරණ නියෝගයකින් තොරව සැකකාර ගනේමුල්ල සංජීව නමැත්තා අධිකරණයට කැඳවාගෙන ආවේ කුමන හේතුවක් නිසාද? කියා මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරින්ගෙන් ප්‍රශ්න කරනවාත් සමගම මෙම වෙඩි තැබීම කළ බවත්, 'ලෝයර් කෙනෙක් වෙඩි තියනවා. අල්ලගන්න.... අල්ලගන්න.. කියා අධිකරණයේ සිටි පොලිස් නිලධාරින් කෑමොර දෙනවාත් සමගම සැකකරු අධිකරණ දොර විවෘත කරගෙන එළියට පැන ගිය බවද නීතිඥ ප්‍රියංක පුෂ්පකුමාර සමරනායක මහතා ප්‍රකාශ කළේය. කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් එම්.ඒ.එන්.ඩී. බණ්ඩාර (51237) මහතා මරණ පරීක්ෂණ සාක්ෂි විභාගයේ සාක්ෂි මෙහෙයවූයේය.


සැරයන් බණ්ඩාර මහතා ඇසු පුශ්නවලට පිළිතුරු දුන් නීතිඥ ප්‍රියංක පුෂ්ප කුමාර මහතා මෙසේද පැවසීය.


මම උදේ 8.30ට පමණ උසාවියට ආවා 9.30ට පමණ තමයි නඩු කටයුතු පටන් ගත්තේ නීතිඥවරුන් පස් හයදෙනෙක් ඒ වන විට උසාවියේ හිටියා.ඒ අවස්ථාවේදී උස පුද්ගලයකු ෆයිල් කවරයකින් මුහුණ වසාගෙන අධිකරණ ශාලාව තුළට පැමිණියා. ඔහුගේ ඇස් විතරයි මම දැක්කේ, මම මේ පුද්ගලයා සී.අයි.ඩී. එකේ හෝ නාකොටික් එකේ ඔෆිසර් කෙනෙක් කියලා හිතුවා.


ගණේමුල්ලේ සංජීවගේ නඩුව 72080 කියලායි මට මතක, නඩු නම්බරේ කිව්වට පස්සේ, බන්ධනාගාර නිලධාරින් සැකකරු විත්ති කූඩුවට ඉදිරිපත් කළා, මහේස්ත්‍රාත්තුමිය ගනේමුල්ලේ සංජීවගෙන් ඇහුවා ‘මහාධිකරණයෙන් නියම කර ඇති ඇපය තියලද?' කියලා. සංජීව කිව්වා 'ඇප තියන්නේ නැහැ' කියලා. ඔහුට එරෙහි දෙවැනි නඩුවක් ගත්තා, පසුව මහේස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරින්ගෙන් විමසුවා 'අධිකරණ නියෝග නැතුව සැකකරු අධිකරණ ශාලාවට අරන් ආවේ ඇයි?” කියලා. ඊට බන්ධනාගාර නිලධාරින් යමක් ප්‍රකාශ කළා. එය මට ඇහුණේ නැහැ.


ඒ සමගම අර උස පුද්ගලයා කලිසම පිටිපස්සෙන් යමක් අරගෙන (කලිසම පිටුපසට අත දමා පෙන්වයි) සංජීව දෙසට එල්ල කළා. ඒ සමඟම වෙඩි සද්ද ආවා. වෙඩි සද්ද පහක් පමණ ඇසුණා. පසුව ඒ පුද්ගලයා පිස්තෝලය සීරුවට බිම තබා දොර ඇරගෙන පිටව ගියා. පසුව රුක්ෂාත් කියන පෑලියගොඩ පොලිසියේ නිලධාරියා ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා අල්ලන්න... අල්ලන්න...' කියලා කෑ ගැහුවා. කට්ටිය කෑගහන්න පටන් ගත්තා. සංජීව කුඩුවේ වැටිලා හිටියා මම දැක්කා” යනුවෙන් සඳහන් කර සිටියේය.



කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් අරුණ විජේසිරි මහතා සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.


එදා පෙරවරු 9.30 ට පමණ අධිකරණ කටයුතු ආරම්භ වුණා. එදින "ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු විමසීමට යෙදී තිබූ නිසා බන්ධනාගාර රැඳවියන්, නීතිඥවරුන් හැර අධිකරණ ශාලාව තුළ සිටි සිවිල් පුද්ගලයන් ඉන් ඉවත් කළා.අධිකරණ කාර්ය මණ්ඩලය, බන්ධනාගාර නිලධාරින්, පොලිස් නිලධාරින් හා නීතිඥවරුන් අධිකරණය තුළ රැඳී සිටියා. පෙරවරු 9.45 ට පමණ බන්ධනාගාර නිලධාරින් විශේෂ සැකකරුවකු අධිකරණය තුළට අරත් ආවා. පසුව ඔහු බන්ධනාගාර සිර මැදිරිය අසල බංකුවක වාඩි කළා. පසුව පැලියගොඩ පොලිසියෙන් සංජීවට පවරා තිබූ නඩුව කැඳව්වා.


ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාරයෙන් කරුණු විමසමින් සැකකරු අධිකරණයට ගෙනාවේ කුමන නියෝගයක් නිසාදැයි විමසා සිටියා. ඒ අවස්ථාවේදී විත්තිකූඩුව අසල රැඳී සිටි බන්ධනාගාර නිලධාරියා ඊට පිළිතුරු දීමට ඉදිරියට පැමිණියා. පසුව නීතිඥ මහත්තයෙක් වගේ හිටපු කෙනෙක් සැකකරුට පෙනී ඉන්නවා වගේ විත්ති කූඩුවට ළඟාවී වෙඩි ප්‍රහාර එල්ල කළා.


වෙඩි තැබීම් පහක් පමණ කළා. ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා කියලා උසාවිය ඇතුළේ හිටපු කට්ටිය කෑ ගහන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේ පෑලියගොඩ පොලිසියේ රුක්ෂාන් නිලධාරියා “ලෝයර් කෙනෙක් වෙඩිතියලා දුවනවා, අල්ලත්ත අල්ලන්ත කියලා කෑ ගැහුවා.පසුව වෙඩි තැබූ පුද්ගලයා දොර ඇරගෙන පලා ගියා. ඒ වෙලාවේ එස්.ටී.එෆ්. නිලධාරීන් ආවා. සිවිල් පුද්ගලයන් පඬිපෙළේ වැටී සිටියා. එස්.ටී.එෆ්. නිලධාරීන් පඩිපෙළේ ඉන්නවා දැක්කා. පසුව විත්ති කූඩුව අසල රිවෝල්වරයක් වැනි ගිනි අවියක් තිබෙනවා මා දැක්කා. "අධිකරණ දොර ළඟ එස්.ටී.එෆ්. නිලධාරීන් දෙදෙනෙක් ඉන්නවා කියලා මට මතකයි. සංජීවට ගම්පහ උසාවියේ නඩු තියනවා කියලත් මම දන්නවා. යනුවෙන් සාක්ෂිකරු සාක්ෂි දෙමින් කියා සිටියේය.


කෙසෙල්වත්ත පොලිසියේ අංක පහ උසාවි රාජකාරි භාර පොලිස් කොස්තාපල් හේවාපතිරණගේ තරංග මහතා සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.උදේ 6.30ත් 7.30ත් අතර මම උසාවියට පැමිණියා. උදේ 9.30ට පමණ අධිකරණ ශාලාවේ වැඩ පටන් ගත්තා. එදින යෙදිලා තිබුණේ ‘ස්කයිප්’ තාක්ෂණය ඔස්සේ සැකකරුවන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කිරීමයි. එම නිසා අධිකරණයේ රැඳී සිටි සිවිල් පුද්ගලයන් සියලු දෙනාම අධිකරණ ශාලාවෙන් ඉවත් කිරීමට කටයුතු කළා. පෙරවරු 9.40 ට පමණ අධිකරණ ශාලාවට විශේෂ සැකකරුවකු රැගෙන පැමිණියා. අධිකරණ ශාලාවේ වසා දමා තිබූ දොර විවෘත කරමින් බන්ධනාගාර නිලධාරින් දෙදෙනකු සැකකරු විවෘත අධිකරණය තුළට රැගෙන ආවා. එක් බන්ධනාගාර නිලධාරියකු මා අසලට පැමිණ කිව්වා ගනේමුල්ල සංජීව අරත් ආවා කියලා. සැකකරු සිරමැදිරියට දාන්න කියා මා කිව්වා.


ඒ වෙලාවේ බන්ධනාගාර නිලධාරියා කිව්වා මේ සැකකරුට හතුරෝ ඉන්න නිසා කූඩුවේ දාන්න බෑ කියලා. පස්සේ බංකුවේ වාඩි කරන්න කිව්වා. බංකුවේ වාඩිකරලා ඉන්නේ ඇයි කියලා මහේස්ත්‍රාත්වරිය විමසුවොත් ඔබතුමාලම හේතු පැහැදිලි කරන්න කියලත් මම බන්ධනාගාර නිලධාරියාට පැවසුවා,නඩු 30 ක් පමණ ස්කයිප් තාක්ෂණය ඔස්සේ ගත්තාට පසු අන්තර්ජාල සම්බන්ධතාව බිඳ වැටුණා. විනිසුරු අසුනට පහළින් මම හිටියා. රිමාන්ඩ් දීර්ඝ කරන නඩු මම අධිකරණ නිලධාරින්ට භාරදෙමින් සිටියේ. ‘ස්කයිප්’ බිඳ වැටීමෙන් පසු මහේස්ත්‍රාත්තුමියගේ අණ පරිදි ගනේමුල්ල සංජීවගේ නඩුව කැඳෙව්වා. විත්තිකරු විත්ති කූඩුවට ඉදිරිපත් කළා.


ඒ වෙලාවේ මහේස්ත්‍රාත්තුමිය සැකකාර ගනේමුල්ල සංජීවගෙන් විමසුවා 'නඩුවට ඇප තිබ්බද?” කියලා. ඒ වෙලාවේ ගනේමුල්ල සංජීව සඳහන් කළා ‛ඇප තියන්නේ නැහැ කියලා. ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරියාගෙන් ප්‍රශ්න කළා ‘අධිකරණ නියෝග නැතුව ඇයි මේ සැකකරු රැගෙන ආවේ කියලා. ඊට පිළිතුරු දීම සඳහා බන්ධනාගාර නිලධාරියා ඉදිරියට පැමිණියා. ඔහුට 'නවය' කියන වචනය පමණයි කියන්න ලැබුණේ. එකපාරටම වෙඩි ශබ්ද තුන හතරක් ඇසුණා. ඇතුළේ සිටි පිරිස කෑ ගහන්න පටන් ගත්තා. නීතිඥ ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙක් විත්ති කූඩුව පැත්තට හැරිලා යමක් කරනව දැක්කා. ඔහු හිටියේ විනිසුරු අසුනට පිටුපාලා. ඒ සමග තමයි වෙඩි ශබ්ද ආවේ.


මම ඒ පුද්ගලයාගේ මුහුණ දැක්කේ නෑ. නිල් පාට ටයිපටියක් ඇඳ සිටියා. පසුව ඒ පුද්ගලයා වහලා තිබුණ දොර ඇරගෙන පිටට පැන ගියා. අතේ මොකුත් තිබ්බේ නෑ. පසුව මම විනිසුරු ආසනය දෙස බැලුවා. එහි විනිසුරුතුමිය හිටියේ නෑ. පසුව අපි පරීක්ෂා කළා, පසුව විනිසුරුතුමිය බෙන්ච් එක යට තමයි සිටියේ. පසුව අපි ඇය ආරක්ෂිතව නිල මැදිරියට රැගෙන ගියා. මහේස්ත්‍රාත්තුමිය බියට හා කම්පනයකට පත්වී සිටියා.

වෙඩි ප්‍රහාරයට ලක් වූ සැකකාර ගනේමුල්ල සංජීව විත්ති කූඩුව තුළ උඩුබැලි අතට වැටී සිටියා. ඔහුගේ ලේ පැල්ලම් හෝ වෙනත් තුවාලයක් මම දැක්කේ නෑ පපුවේ උඩ කොටසේ පිලිස්සී ගිය සිදුරක් තිබුණා. කට්ටිය කිව්වා ‘පණ තියෙනවා.... පණ තියෙනවා... ඉක්මනින් හොස්පිටල් යවන්න' කියලා, ඒ වන විට සියලු පොලිස් නිලධාරීන් විමර්ශන කටයුතු ආරම්භ කරලා මාව උසාවියෙන් උසාවියට ගෙනිහිල්ලා සැකකාරයා ඉන්නවද කියලා බලන්න කිව්වා. එහෙත් ඒ කිසි තැනක සැකකාරයා හිටියේ නෑ යනුවෙන් සඳහන් කළේය.


මහේස්ත්‍රාත් අධිකරණයේ භාෂණ පරිවර්තන කටයුතු සිදුකළ ඉසුරු ප්‍රාර්ථනා සේනානායක ලිපිකාර්තිය සාක්ෂි දෙමින් මෙසේ පැවසුවාය.විත්ති කූඩුවට නැග්ග සැකකරු එක් නඩුවකට රිමාන්ඩ් ගත කළා. මම හිටියේ විනිසුරුතුමිය දිහා බලාගෙන සැකකරුට පිටුපාලා. 'අධිකරණ නියෝගයක් නැතුව ගෙනාවේ ඇයි?' කියලා, මහේස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඇහුවා. ඒ එක්කම රතිඤ්ඤා පුපුරනවා වගේ විශාල සද්දයක් ආවා යනුවෙන් ඇය සාක්ෂි දෙමින් සඳහන් කළාය.සාක්ෂි විභාගය ලබන 27 වැනිදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.