Showing posts with label local G7. Show all posts
Showing posts with label local G7. Show all posts

Monday, July 10, 2023

අපේක්ෂා රෝහලින් වියළි ආහාර සොරා ගත් තිදෙනෙකු දැලේ

මහරගම අපේක්ෂා රෝහලේ නවාතැන්ගෙන සිටින රෝගීන්ගේ ආහාර සකස් කිරීමට ගබඩා කර තිබූ රුපියල් 13,000ක පමණ වටිනා වියළි ආහාර තොගයක් සොරාගත් රෝහලේ අරක්කැමියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය සඳහන් කරයි.

හෝමාගම හා බණ්ඩාරගම පදිංචිකරුවෝ පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති. සොරාගත් භාණ්ඩ අතර හාල්, පොල්, තෙල් ඇතුළු තුනපහ වර්ග වන බවද පොලීසිය සඳහන් කරයි. සැකකරුවන් ඒවා ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

රෝගීන්ට ලබාදීමට නියමිත මුළුතැන්ගෙයි ගබඩා කර තිබෙන වියළි ආහාර තොග වශයෙන් ඉකුත් කාලය පුරා අස්ථානගතවීම සම්බන්ධයෙන් රෝහලේ පරිපාලන නිලධාරීන්ට රහසිගත අයුරින් තොරතුරු වාර්තා වීමත් සමගම ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පවසා සිටියේය.

ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටි පොලිස් නිලධාරීන් තොරතුරුකරුවන් යොදවා සිදුකළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස හාල් පොල්, පොල්තෙල් තොගයක් ත්‍රිරෝද රථයකින් රැගෙන යාම සඳහා ඒ තුළට දමා ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමගම ඊයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අතර ත්‍රිරෝද රථයේ හිමිකරුද වන බවද පොලීසිය සඳහන් කරයි.

මහරගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අසංක පතිරණ ඇතුළු නිලධාරීන් පිරිසක් වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

                                            බණ්ඩාරගම බිටල් ශ්‍යාමන් ජයසිංහ /මන්නේගොඩ ශාන්න පුදීප් කුමාර කුලරත්න


පෙම්වතියට හා ඇයගේ පියාට සිදුකළ තියුණු ආයුධ ප්‍රහාරයෙන් පියා මරුට

  ජංගම දුරකථනයකට පැමිණ තිබූ කෙටි පණිවිඩයකට ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව විවාහ කරගැනීමට සිටි විවාහක පෙම්වතියට සහ ඇයගේ පියාට තියුණු ආයුධයකින් ඇනීමෙන් පියා මියගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලීසිය කියයි.

තුම්මෝදර බදුවත්ත හේවාකිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයි.ඩී.චන්ද්‍රපාල (61) නමැති හයදරු පියෙකු මෙසේ මියගොස් තිබේ. සිද්ධියට සම්බන්ධ 25 හැවිරිදි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

බරපතළ තුවාල ලද 22 හැවිරිදි කාන්තාව දික්කසාද වූ තැනැත්තියක් බවත් මීට මාස තුනකට පමණ ඉහතදී ෆේස්බුක් හරහා සැකකරු දැන හඳුනාගෙන පෙම්වතුන් බවට පත්ව තිබූ බව පොලීසිය කියයි. ළමා නිවාසයකට හැදී වැඩුණු තමන්ට දෙමවුපියන් සහෝදර සහෝදරියන් කිසිවෙක් නොමැති බවත් විවාහක පුද්ගලයකු වන තමන්ට දරුවන්ද නොමැති බවත් මේ වනවිට බිරිදගෙන් වෙන්වීමට දික්කසාද නඩුවක් ගොනු කර ඇති බවත් එයින් නිදහස් වී කාන්තාව විවාහ කර ගන්නා බවට පොරොන්දු දී තිබූ බව පොලීසිය කියයි

අවිස්සාවේල්ල තුම්මෝදර ප්‍රදේශයේ උද්භිද උද්‍යානයක ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස රැකියාව කර තිබූ සැකකරු කාන්තාවගේ හා ඇයගේ පියාගේ කැමැත්ත මත කාන්තාවගේ තුම්මෝදර බදුවත්ත නිවසේ සිට රැකියාවට යාමට ඒමට කටයුතු කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 ඉකුත් සිකුරාදා (07දා) සැකකරුගේ 25වැනි උපන්දිනය යෙදී තිබූ අතර සැකකරු රැකියාව නිමවා පැමිණ නිවස තුළ කාමරයක නිදාගෙන සිට ඇතැයි පොලිසිය කියයි

ඔහු නින්දට ගිය අවස්ථාවේදී පෙම්වතිය විසින් ඔහුගේ ජංගම දුරකථනය ගෙන පරික්ෂා කරමින් සිටියදී 'ඔයාට සුබම සුභ උපන්දිනයක්' යැයි කාන්තාවක විසින් කෙටි පණිවිඩයක් එවා තිබුණු දැක තිබූ පෙම්වතිය විසින් දුරකථනය පොළොවේ ගසා නිදා සිටි සැකකරුට පා පහරක් එල්ල කර අවදි කර ඒ පිළිබඳ විමසා ඇති අතර එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇතැයි පොලීසිය කියයි.

සැකකාර පුද්ගලයා එකවරම ඔහුගේ ගමන් බෑගය තුළ තිබූ තියුණු ආයුධය ගෙන කාන්තාවට ඇන ඇති අතර ඇයගේ කෑ ගැසීමත් සමගම නිවස ඉදිරිපිට සිටි පියා නිවස තුළට දිව ඒමත් සමගම නිවසේ සාලය තුළදී සැකකරු විසින් පියාගේද උදර ප්‍රදේශයටම තියුණු ආයුධයෙන් ඇන ඇතැයි පොලීසිය කියයි.

බරපතළ තුවාල ලද පියා සහ දියණිය අසල්වාසීන් තරුණයන් විසින් ත්‍රිරෝද රථ දෙකකින් අවිස්සාවේල්ල මූලික රෝහලට රැගෙන එන විටත් පියා මියගොස් සිට ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය

අනතුරුව අදාළ ස්ථානයට පැමිණි අවිස්සාවේල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. අවිස්සාවේල්ල මූලස්ථාන පොලීසියේ විවිධ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක පී.ඒ.එස්.එම්. මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

                                                                                          බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ 

Friday, July 7, 2023

විදුහල්පති ජංගම දුරකථනය ගත්තැයි සිසුවියක් දිවි නසා ගනියි

පාසලට රැගෙන ගිය සිය පියාගේ ජංගම දුරථකනය විදුහල්පති භාරයට ගැනීමෙන් පසුදින පියා සමග විදුහලට පැමිණෙන ලෙස දැන්වීමෙන් පසු ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ හුරුලුනිකවැව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක පෙරේදා (05දා) සිය දිවි නසාගෙන ඇතැයි ගලෙන්බිදුණුවැව පොලීසිය පවසයි.

ගලෙන්බිඳුණුවැව ජනසිරිගම, පදිංචි එස්.ජී. නිපුනි සෞභාග්‍යයා (15) නමැති සිසුවියක මෙසේ සිය දිවි නසාගෙන තිබේ.

ඉකුත් 4දා ඉගෙනුම ලබන අනුර මහා විද්‍යාලයට තම පියාගේ දුරකථනය රැගෙන යාමෙන් අනතුරුව එය විදුහල්පතිවරයාට හසුවීමෙන් අනතුරුව පසුවදා පියා පාසලට කැඳවාගෙන එන ලෙස දන්වා ඇතැයි පොලීසිය කියයි. ඉන් සිත් තැවුලට පත් පාසල් සිසුවිය සිය දිවි නසාගෙන ඇතැයි පොලීසිය සදහන් කරයි.

මෙම මරණය සම්බන්ධයෙන් මෙම සිසුවියගේ පියා වන හුරුලු නිකවැව ජනසිරිගම ප්‍රදේශයේ පදිංචි එස්.පී.සිරිසේන මහතා ප්‍රකාශයක් ලබාදී පොලීසියට පවසා ඇත්තේ මෙම සිද්ධිය හේතුවෙන් සිත් තැවුලට පත්ව දැරිය සියදිවි හානිකරගෙන ඇති බව ය.ගලෙන්බිදුණුවැව පොලීසියේ නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරති.

                                                                                                                • අනුරාධපුර - බී. 5 චතූරංග

Thursday, July 6, 2023

රක්වාන හෝටලයකදී මියගිය තරුණියගේ මරණය ගැන විවෘත තීන්දුවක්


 

රක්වාන මාදම්පේ හෝටලයක කාමරයක් වෙන්කරවා ගෙන එහි නවාතැන් ගත් විසි දෙහැවිරිදි තරුණියක් හෝටලය තුළදී මරුමුවට පත්වීම සම්බන්ධව පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයගේ මරණය ගැන විවෘත තීන්දුවක් ඊයේ (05දා) පස්වරුවේ ලබා දී තිබේ.

තරුණ යුවළක් පෙරේදා (04දා) මෙහි නවාතැන් ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. ඇය ගෙල වැලලා ගෙන මියගිය බවට පෙම්වතා පැවසුවද එය සැකසහිත බව තරුණියගේ නෑදෑයෝ පවසති. කහවත්ත අධිකරණ වෙද්‍ය නිලධාරී එම්. ඩී.එම්.එස්.කේ දිසානායක මහතා තරුණියගේ මරණය සම්බන්ධයෙන් ඊයේ (05දා) පස්වරුවේ දී විවෘත තීන්දුව ලබා දුන්නේය. තරුණියගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.

රක්වාන පුංචි බාර්වත්ත ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණන් ප්‍රදීපා නම් තරුණියගේ මරණය සම්බන්ධව මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණේ රක්වාන වැඩබලන මහෙස්ත්‍රාත් සරත් විජයගුණවර්ධන මහතාගේ නියෝගයකට අනුවය.

                                                                              රත්නපුර-ලසන්ත නිරෝෂණ පෙරේරා


'සක්සුරීන්' දෙන්නේ නෑ

 

ප්‍රතිකාර සඳහා තායිලන්තය වෙත රැගෙන ආ මුතුරාජා හෙවත් සක්සුරින් හස්තියා නැවතත් ශ්‍රී ලංකාව වෙත භාරදීමක් සිදු නොවනු ඇතැයි තායිලන්තයේ ස්වාභාවික සම්පත් සහ පරිසර අමාත්‍ය වරාවුට් සිල්පා-අර්චා ඊයේ (05දා) දිනයේ පැවසූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම හස්තියා නැවතත් ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් විමසමින් ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ස්වාමීන් වහන්සේ නමක් එරට රජයේ බලධාරීන් වෙත ලබාදුන් දුරකථන ඇමතුමක් පිළිබඳ මාධ්‍ය වෙත කරුණු සඳහන් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

"අද වෙන කොට සක්සුරින් හස්තියා ඉන්නේ තායිලන්ත රජුගේ භාරයේ. ඒ නිසා ඒ කාරණාව ගැන වදවිය යුතු නැහැ.” යනුවෙන් අමාත්‍යවරයා පවසා ඇත.

මේ අතර තායිලන්තය විසින් ප්‍රදාන ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් අනෙකුත් හස්තීන් දෙදෙනා වන නාරොන්ග් සහ ප්‍රතුපා යන හස්තීන් තවදුරටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවත් අමාත්‍යවරයා පවසා ඇත. ඔවුන් රැක බලා ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට පවතින බවත්, ඔවුන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත. එහෙත් ඉන් එක් හස්තියෙකුට සුළු තුවාල සිදුව තිබෙන බවත් ඔහු පවසා තිබේ. 

එසේම තායිලන්ත මාධ්‍ය සඳහන් කරන ආකාරයට පසුගිය දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක්ම එරට විදේශ කටයුතු අමාත්‍යාංශය අමතා මෙම තායිලන්ත හස්තීන් රැක බලා ගැනීමේ හැකියාවක් තමන්ට ඇතැයි පවසා ඇතැයිද වාර්තා සඳහන් කරයි. පසුගිය ඉරිදා දිනයේදී ගුවන් මගින් තායිලන්තයට රැගෙන ගිය සක්සුරින් හස්තියා මේ වනවිට එරට ලම්පාන්ග් හස්ති වෛද්‍ය මධ්‍යස්ථානයේ දින 30ක නිරෝධායනයකට යටත්ව ප්‍රතිකාර ලබමින් සිටියි.


                                                                                                                  භානුක අමරසිංහ


Friday, July 24, 2020

නගරසභා සේවිකාව මහපාරට කුණු බෑග් දමා ගිහින්.


දෙහිවල හිල් විදීය ගැන ධම්මාලංකාර මාවත මංසන්ධියේ අවිධිමත් ලෙස කසළ මිල ගණන් වාහනවලින් රැගෙනවිත් අතහැර දමා යන පස් දෙනකු කාර් රථයක්, ත්‍රී රෝද රථයක්, යතුරු පැදියක්ද සමග ඉකුත් (21 ) වැනිදා රාත්‍රී කාලයේ රැක සිට දෙහිවල පොලිස් පරිසර ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි දෙහිවල පොලීසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර නගර සභා හා සේවිකාවක්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු, වෙද සිසුවකු සහ වයස 36 හා 38 ක ව්‍යාපාරිකයන් දෙදෙනකුද වන බවත් පොලීසිය කියයි.
 නිතර මෙම ස්ථානයේ කසළ අතහැර දමා පරිසරය අපිරිසුදු කරනු ලබන බවට නිතර ලැබෙන පැමිණිලි මත දෙහිවල පොලීසිය පරිසර පොලිස් ඒකකය මගින් රාත්‍රී කාලයේ උපක්‍රමශීලීව රැකසිටිමින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.
සැකකරුවන් හා වාහන පොලිස් ඇප මත මුදාහැර ඇති අතර සැකකරුවන් සියලු දෙනා මෙම මස 28 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද කටයුතු කරනු ලැබ ඇත.
 දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්. එල්. දුෂ්මන්ත මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරිසර ඒකක ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක විපුල බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 36,683 ජයන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන 44684 රංජන්, 93738 නුවන්, 94517 ජයසේකර, කාන්තා පොලිස් කොස්තාපල් 11387 ඒකනායක යන මහත්ම මහත්මීහු වැඩිදුර පරික්ෂණ සිදුකරති.

(දෙහිවල එච්.එම්. ධර්මපාල)

Wednesday, July 22, 2020

මාස එකහමාරක් වන කිරිකැටි දරුවා නිවසේ තනිකර මව ගෙදරින් පැන ගිහින්



 මාස එකහමාරක් පමණ වන තම කිරිකැටි දරුවා නිවසේ ඇඳ මත තියා තනිකර ගිය බව කියන දරුවාගේ මව දින හයකට පසු පෙරේදා (20) සැකපිට අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය කියයි.
එම කාන්තාවගේ සැමියා පොලිසියට කළ පැමිණිල්ලක් මත ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

ඇය ඉකුත්දා (14) රාත්‍රී 1.30 ට පමණ මාස එකහමාරක් වන තම පිරිමි දරුවා නිවසේ ඇඳ මත දමා සැමියාට හොරෙන්  නිවෙසින් බැහැරව ඇගේ මව සමග ත්‍රිරෝද රථයකින් රත්ගම ප්‍රදේශයේ තම නිවසට ගොස් කල් ගෙවා ඇති බව පොලිසිය පවසයි. රාත්‍රී කාලයේ දරුවා නොනවත්වා ඇඩීම හේතුවෙන් අසල කාමරයක සිටි සැමියා පැමිණ බලන විට කිරිකැටි දරුවා පමණක් ඇඳ මතට අඩමින් සිට ඇති බව සැමියා පොලිසියට පවසා ඇත. පසුව තම බිරිඳ වැසිකිළියට ගොස් ඇති බව සිතා සැමියා වැසිකිළියේ සහ නිවසේ වටපිටාව පරික්ෂා කළත් බිරිඳ නිවසේ නොසිටි හෙයින් ඒ සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසියට පැමිණිලි කර ඇත.
පසුව සැමියා කළ දැනුම්දීමක් මත රත්ගම ප්‍රදේශයේ
බිරියගේ මවගේ නිවසේ සිටි ඇය පොලිසියට ගෙන්වා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.  සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන අමරත්න මහතාගේ උපදෙස් පරිදී පොලිස් පරික්ෂක විජිතානන්ද, උප පොලිස් පරික්ෂක  කරුණාරත්න යන නිලධාරිහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(දෙණියාය විශේෂ - එස්.ඩී. කොඩිකාර)

Tuesday, July 21, 2020

කෝවිඩ් 19 කාර්යසාධක බළකාය මෙතෙක් කිසිදු කටයුත්තක් කර නොමැති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.


කෝවිඩ්19 වසංගතයෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට , හා කෝවිඩ් 19 තත්ත්වය තුළ පාසල්වල කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු කිරීමට පත්කළ කාර්යසාධක බළකාය මෙතෙක් කිසිදු කටයුත්තක් කර නොමැති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
 මෙම කටයුතු සිදු කිරීමට කාර්යසාධක බළකායක් තිබියදී කෝවිඩ්19 තත්ත්වය තුළ පාසල් ආරම්භ කිරීම, විභාග පැවැත්වීම ආදිය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය තනි තීන්දු තීරණ ගනිමින් සිටින බව එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටලින් මහතා සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ වසරේ මාර්තු 31 වැනිදා අධ්‍යාපනය පිළිබඳ කාර්යසාධක බළකායක් පත්කළ බවත්, එහෙත් එම බළකාය විසින්
දරුවන් ආරක්ෂක්ෂා කර ගැනීමට හෝ පාසල් පවත්වාගෙන යෑමට අදාළව මෙතෙක් කිසිවක් ව නොමැති බවත් ඔහු පවසා සිටියේය.

මේ නිසා අද වනවිට පාසල් දරුවන්ට පවා කෝවිඩ්19 ආසාදනය වී තිබෙන බවත්, කෝවිඩි19 තත්ත්වය තුළ ජාතික විභාග පැවැත්වීම පිළිබඳ සාමූහික තීන්දු තීරණ ගත යුතුව තිබීයදී අධ්‍යාපන අමාත්‍යංශය තම හිතුමතයට තීන්දු තීරණ ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.  අධ්‍යාපන ක්ෂේත්‍රය සැලකීමේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාවට නැංවීමට බව පවසමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ වසරේ ජනවාරි 14 වැනිදා කාර්යසාධක බළකායක් පත්කළ බවත්, එම කාර්යසාධක බළකායද මෙතෙක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් තීන්දු තීරණ ගෙන නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.

එච්. අයි. තුෂාර

Wednesday, July 15, 2020

මධ්‍යම පළාතේ හමුදා නිලධාරීන් 11 දෙනෙකුටත් ආසාදනය වේ.


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ මධ්‍යම පළාතේ හමුදා නිලධාරීන් 11 දෙනෙකුට කෝවිඩි19 ආසාදනය වී තිබෙන බවට තහවුරු වී. ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසීය.
මේ වනවිට මාතලේ දිස්ත්‍රික්කයේ 04 දෙනෙකුට සහ මහනුවර 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වී ඇති බවත්, මින් මහනුවර අවදානම් තත්වයක් ඇති අතර ඔවුන් ඇසුරු කළ ආශ්‍රිතයන් 300ක් පමණ මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
 සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මේ බව කියා සිටියේ ඊයේ (14දා) මහනුවරදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.
මෙම නිලධාරීන් පාතදුම්බර, මැණික්හින්න, කුණ්ඩසාලේ, තලාතුඔය, ගම්පොළ, බඹරදෙණිය හා හසලක ප්‍රදේශවලින් වාර්තා වන අතර, ඉන් සමහරෙකු දින 02 සිට දින 10 දක්වා තම ගම් ප්‍රදේශවල රැදී සිට ඇති බවත්, ඉන් පළමු වටයේ දෙවැනි වටයේ සියලු දෙනාම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.
මින් පළමු පෙළ අයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග සියලුම දේ රැගෙන ඇති බවත්, ඔවුන් හඳුනාගෙන නිරෝධායනය කිරීම තුළින් මෙම වෛරසය සමාජයට පැතිරීම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ, පොලීසිය හා හමුදාව මේ වනවිට ක්‍රියා කරමින් සිටින බවත් අධ්‍යක්‍ෂවරයා පැවසීය. පළමු පෙළ පී.සී.ආර්. පරීක්ෂණ සෘණාත්මක වුවහොත් පවතින අවදානම අඩුවන බවත්, කෙසේ වෙතත් සියලු තත්ත්වයන්ට මුහුණදීම සඳහා සියලුම ආරක්ෂිත ක්‍රියාමාර්ග මේ වනවිට රැගෙන ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා පැවසීය.
මෙම ආසාදිතයන් ඇසුරු කළ කෙනෙකු සිටී නම් වහාම ඒ පිළිබඳ අදාළ සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් දන්වා සිටියේය.
මේ අතර, කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ කුණ්ඩසාලේ ප්‍රදේශයේ ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් අතරින් ඔහුගේ බිරිදට හා පියාට කෝවිඩි19 ආසාදනය වී ඇති බව. තහවුරු වී ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා ඊයේ (14දා) පැවසීය.
එම නිලධාරියා නිවාඩු ලබා තම නිවසට පැමිණ සිට ඇති අතර, ඔහුට කෝවිඩ්19 ආසාදනය වී ඇතැයි දැනගත් පසු පවුලේ දියණියන් තිදෙනා, බිරිඳ සහ පියා පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කර ඇත.

චමිල් රූපසිංහ


Wednesday, June 24, 2020

නයා ගැසූ තිදරු මව මියගියේ ආඳපාන රෝහලේ නොසැලකිල්ලෙන්

මාවරල කැටපලකන්ද ප්‍රදේශයේදී තේ  දළු කැඩීමට ගොස් නයකු දෂ්ඨ කිරීම නිසා මිය ගිය තිදරු මවට කඹුරුපිටිය ආඳපාන රජයේ රෝහලේ දී ප්‍රතිවිෂ එන්නත් කිරීම ප්‍රමාද වී සිදු කර ඇති බවත් එම නිසා එම රෝහලේ ‍වෛද්‍යකාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලෙන් මරණය සිදු වී ඇති බවත් ඒ පිළිඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත්. අඹේපිටිය මහතා ප්‍රකාශකර ඇත. 

 නිසි වේලාවට ප්‍රමාදයකින් තොරව ප්‍රතිවිෂ එන්නත් ලබා දුන්නේ නම්  එම කාන්තාවගේ ජීවීතය බේරා ගැනීමට හැකියාව තිබූ බව ද ඒ මහතා පශ්චාත් මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කළේය. ඒ අනුව ඉකුත් 20 වැනිදා කඹුරුපිටිය ආඳපාන රජයේ රෝහලේ දී මිය ගොස් තිබුණේ මාවරල, කැටපලකන්ද, නුගේගාව , ගෙපල නිවසේ පදිංචිව සිටි පත්මාරාජපක්ෂ (52) නමැති කාන්තාවකි. 

ඇයගේ හදීසි මරණ පරීක්ෂණය  කඹුරුපිටිය හදීසි මරණ පරීක්ෂක  ජගත් පාඩිප්පෙරුම මහතා ඉදිරියේ දී පැවැත්විණි.

 හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය මත පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීම සඳහා සිරුර මාතර මහ රෝහල් මෘත ශරිරාගාරය වෙත රැගෙන ආවේය.  විෂකුරු සර්පයෙකු දෂ්ඨකිරිම නිසා දකුණු කකුලේ මස් පිඩු නරක් වී විෂබීජ ආසාධනයවී එම විෂබීජ ශරීරය පුරා . පැතිරීමෙන් ඇති,කම්පනයෙන් මෙම මරණය සිදු වී ඇති බවද පශ්චාත් මරණ  පරිණය පවත්වමින් අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත් අඹේපිටිය මහතා ප්‍රකාශ කළේය. 

තවද “අදාළ කාන්තාව රෝහල් ගත කර ඇත්තේ ඉකුත් 15වැනි දින සවස 5.15ට බවද නයෙකු දෂ්ඨකර ඇති බවට දින පැහැදිලිව හඳුනා ගෙන තිබියදී ඇයට ප්‍රතිවිෂ එන්නත් කර ඇත්තේ ඊට පසු දින (16) හා 18 යන දිනවලදී බවද එම නිසා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලෙන් මරණය සිදු වී ඇති බවට වැඩි දුරටත් සඳහන් කරමි". ලෙස ඒ මහතා පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ විශේෂ සටහනක් ද යොදා තිබේ. ඒ අනුව හදීසි මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ සාක්කි හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගත් කඹුරුපිටිය හදිසි මරණ පරික්ෂක ජගත් පාඩිපෙරුම මහතා නයෙකු දෂ්ඨකිරීම නිසා දකුණු කකුලේ මස්පිඩු නරක් වී විෂබීජ ආසාධනය වී එම විෂබීජ ශරීරය පුරා පැතිරීමෙන් ඇතිවූ කම්පනයෙන් එම මරණය සිදු වී ඇති බව නිගමනය කළේය. 

තවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ අනෙකුත් නිර්දේශ පිළිබඳව එම ඥාතීන් දැනුවත් කිරීමට ද කටයුතු කළේය. හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් මිය ගිය කාත්තාවගේ  සැමියා වන ජයවර්ධනගේ ප්‍රේමසිරි 157 මහතා මෙසේ කීය.

“අපි විවාහ වෙලා වසර 33ක් වෙනවා. දරුවන් තිදෙනෙකු සිටිනවා. බිරිඳ ඉකුත් 15වැනි දින සවස 3.00ට පමණ ගෙදර ඉඩමේ තේ දළු කැඩීමට ගියා. පසුව පුතා ඇවිත් කීවා. “අම්මාව නයෙක් කාලා" කියලා. එතැනට ඉක්මණින් ගිහින් බලද්දී බිරිඳ වේදනාවෙන් කෑ ගසමින් සිටියා. නයා ද ඇදී යනවා දැක්කා. කකුල සෝදා ඉක්මණින් ඇය රෝහල් ගත කළා. එහිදී පැරසිටමෝල් පෙති දෙකක් විතරක් බොන්න දුන්නා. ඊට පසු දින කකුල කාපු තැන කළු වී තිබුණා. එවිට බෙහෙතක් විද්දා. 18වැනිදා බිරිදට අමාරු වුණා. ඒ නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. 20 වැනිදා ඇය මිය ගියා. ආඳපාන රෝහලේ වෛද්‍යකාර්ය මණ්ඩලය ඉක්මණින් බෙහෙත විද්ද නම් බිරිඳ ජීවත් කර ගන්න තිබුණා. තවත් කෙනෙකුට මෙවැනි දෙයක් නොවෙන්න අවශ්‍ය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිනවා."

මේ පිළිබඳව කඹුරුපිටිය ආඳපාන රජයේ රෝහල් වෛද්‍ය අධිකාරී රංජිත් ධර්මකීර්ති මහතාගෙන් විමසූ විට මෙසේ කීය.  “සර්පයෙකු දෂ්ඨකළා කියා රෝහල් ගත වූ විගසම ප්‍රතිවිෂ එන්නත් කරන්න කියලා සිරිතක් නැහැ. ඊට අදාළ ලක්ෂණ පෙන්නුම් කල පසුවයි එය සිදු කරන්නේ. විශේෂඥයන්ද් වෛද්‍යවරයා තෙවරක්ම ඇය පරික්ෂා කර තිබෙනවා. කෙසේ වෙතත් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා අවසන් වන තෙක් මේ ගැන ප්‍රකාශයක් සිදු කරන්න බැහැ. මෙම සිදුවීම පිළිබඳව පරීක්ණයක් පවත්වන්න බලාපොරොත්තුවෙනවා."
කඹුරුපිටිය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(ක්‍රිෂාන්ජීවක ජයරුක්) 

Friday, June 19, 2020

වසර විස්සක් අතුරුදහන් ව්‍යාපාරිකයාගේ සිරුර මහ පාරේ


වසර විස්සක් පමණ ආගිය අතක් නැතිව සිටි බව කියන මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ සිරුරක් කොට්ටාව පොලිසිය ආසන්නයේ මහමගදී සොයා ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ 71 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි. කොට්ටාව පොලිස් ස්ථානයට යාබද හයිලෙවල් මාර්ගයේ පිහිටි ඇස් කණ්ණාඩි ආයතනයක් ඉදිරිපිට සිරුරක් ඇති බවට කොට්ටාව පොලීසියට ලඳ තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් තිබී සොයාගත් බව පොලීසිය පවසයි. 

මේ බව හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතාට දැන්වීමෙන් පසුව ඔහු එම
ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.

ඒ අනුව කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගිය දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සී.ඊ. රණසිංහ මහතා විසින් සිදුකර මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගත්තේය.

මියගිය පුද්ගලයා මීට වසර හතළිහක පමණ සිට සුළු ස්නායු රෝගයකින් පෙළී ඇති බවත් මහරගම ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ඇගලුම් ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කර ඇති බවත් දැනට වසර විස්සක පමණ සිට ආගිය අතක් නැතිව සිටි පුද්ගලයෙකු බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇතැයි පැවසේ. මේ පිළිබඳව කොට්ටාව පොලිසියේ පො.සැ. (44064) පියසේන ඇතුළු නිලධාරිහු පරීක්ෂණ පවත්වති.

(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

Wednesday, June 17, 2020

ඡන්ද දායකයන්ගේ අත්වල ගෑමට කෝටි 15 ක විෂබීජනාශක.


 ඡන්ද පොළේදී ජන්දායකයන්ගේ දෑත් පිරිසුදු කිරීම සඳහා යොදා ගැනීමට නියමිත විෂබීජ නාශක දියර (HAND SANITIZER) මිලදී ගැනීමට රුපියල් කෝටි 15ක පමණ මුදලක් වැය වනු ඇතැයි  ගණන් බලා තිබෙන බව මැතිවරණ කොමිසම පවසයි.
 මේ විෂබීජනාශක දියර සාදාගත යුතු ප්‍රමිතිය (පිරිවිතර) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට ඊයේ බාරදෙනු ලැබීය.
 ඒ ප්‍රමිතිය අනුව විෂබීජ නාශක දියර සාදා ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් ''ලංකාදීපයට'' පැවැසීය. 
ඉදිරි මහ මැතිවරණය සඳහා අත් සේදුම් කාරක දියර මිලිලීටර් එක් ලක්ෂ  හැටතුන් දහසක් පමණ අවශයි වෙතැයි ගණන් බලා ඇත.
 එක් ඡන්දදායකයකු වෙනුවෙන් අවශ්‍ය කෙරෙන  විෂබීජ නාශක දියර ප්‍රමාණය මිලි ලීටර් පහකි.
 මේ අතර ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද දායකයගේ ඇගිලි පාට කිරීමට යොදා ගන්නා තීන්ත සිංගප්පූරුවෙන් මිලදී ගැනීමටද මේ දිනවල කටයුතු කරගෙන යන බව මැතිවරණ කොමිසම පවසයි.

(සුජිත් හේවාජුලිගේ)

Tuesday, June 16, 2020

හොර අස්සන් ගසා කොරෝනා මුදල් වංචා කළැයි ග්‍රාම නිළධාරිනියට මාරුවක්

කොරෝනාව හේතුවෙන් පීඩාවට පත් වැඩිහිටියන්ට, වකුගඩු රෝගින්ට හා ආබාධිත පුද්ගලයන්ට රජය මගින් බෙදා දීමට දුන් රුපියල් පන්දහසේ දීමනාව ඔවුනට ලබා නොදී හොර අත්සන් යොදා රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වංචා කළේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිතලගම නැගෙනහිර 3 කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි එම වසමෙන් ඉවත් කර ඇයට විරුද්ධව විමර්ශනයක් ආරමිභ කළ බව තිහගොඩ ප්‍රාදේශීය  ලේකම් උමේෂා මාතරගේ මහත්මිය පැවසුවාය.

ඒ අනුව අදාළ ග්‍රාම නිලධාරීවරිය විමර්ශන අවසන් වන තෙක් තාවකාලිකව තිහගොඩ ප්‍රාදේශීය ලේකම්කාර්යාලයට අනුයුක්ත කර තිබේ. මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශන කණ්ඩායමක් එම විමර්ශනය ආරම්භ කර තිබෙන අතර එය අවසානයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත. මෙම සිද්ධියට මුහුණ දුන් කිතලගම නැගෙනහිර මැද කොරටුවේ පදිංචිහේවා නඳුන්ගොඩගේ ගුණදාස (75) මහතා පැවසුවේ තමාට ලැබීමට තිබූ මුදලින් කොටසක් මුලින්ම තමන්ට නොලැබුන බවත් පසු ග්‍රාම නිලධාරිනියගෙන් ඒ ගැන විමසූ විට නියමිත මුදල ලබාදුන් බවත්ය. ඔහු මෙසේ ද කීය. "මගේ බිරිය මානසික රෝගී තත්වයක පසු වෙනවා. ඒ වගේම අපි සමෘද්ධිලාභී පවුලක්. මැයි මස 14 වැනිදා මට ආබාධිත දීමනාව රුපියල්න් පන්දහස ග්‍රාම නිලධාරිතුමිය දුන්නා. ඒ අවස්ථාව
කොළ හතර පහකට ඇය මගෙන් අත්සන් ගත්තා. ඒත් මට වැඩිහීටි දීමනාව ලැබුණේ නෑ. මම ඒ ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් සොයා බැලුවා. එහිදී දැනගත්තා මාස දෙකක වැඩිහිටි දීමනාව දසඳහසක් හා ආබාධිත දීමනාව මාසයකට පන්දාහක් රජය මට ගෙවා තිබුණත් ග්‍රාම නිලධාරිතුමිය එම මුදල් මට නොදුන් බව. පසුව ඒ බව දැන ගෙන ග්‍රාමනිලධාරීතුමිය රුපියල් පහළොස් දහසම මගේ අතට දුත්තා. පසුව ග්‍රාම නිලධාරිතුමිය අපේ ගෙදරට ඇවිත් තර්ජනය කරලත් තිබුණා. ඒ ගැන මා තිහගොඩ පොලිසියට පැමිණිලි කළා. වාර දෙකක් පොලිසියට ගියත් ඇය ආවේ නෑ. පසුව දැනගත්තා අපේ ගමේ තවත් බොහෝ පිරිසකගේ මුදල් මේ ආකාරයට වංචනික ලෙස ලබා ගෙන තිබෙන බව.

කිතලගම නැගෙනහිර කුරුඳුවත්තේ පදිංචී එස්. වී. හර්ෂා (35) මහත්මිය,
"මගේ අම්මාට අවුරුදු 71 ක් වෙනවා. කුලී වැඩ කරලයි ඇය ජීවත් වුණේ. තාත්තත් නෑ. අම්මාට මාස දෙකටම වැඩිහිටි දීමනාව ලෙස පන්දහසක් ලැබුණා. තවත් නෑ කියා ග්‍රාමනිලධාරීවරිය කියා තිබෙනවා. පසුව සොයා බලද්දී අම්මාගේ අත්සන හොරට ගසා එම මුදල් ලබාගෙන තිබෙනවා. ඒ ගැන අපි දැනගත්තම පසුගිය 08 වැනිදා එම මුදල ඇය අපේ අම්මා අතට දී තිබෙනවා.

පහල විටියල ඉලංගමකොරටුවේ පදිංචි ජයනි චාමලී (24) මහත්මිය -
“මගේ අම්මාට අවුරුදු 71 ක් වෙනවා. වැඩිහිටි දීමනාව ගන්න පොරොත්තු ලේඛනයෙයි තම තිබුණී. රජයේ මුදල් ගත්ත බැලුවත් ග්‍රාම නිලධාරිතුමිය කීවා පොරොත්තු ලේඛනයේ ඉන්න නිසා ලැබෙන්නේ නෑ කියලා. ඒත් අම්මාගේ වයසේ සමහර අයට ඒවා දී තිබෙනවා. ඒ ගැන තවදුරටත් සොයාබලද්දී අම්මාගේ අත්සන හොරට ගසා ඒ මුදල් අරගෙන තිබෙනවා. මම ඒ ගැන ෆෙස්බුක් එකෙත් පල කළා. ඒක දැකල ග්‍රාම නිලධාරීතුමිය ඇවිත් මට තර්ජනය කරලත් ගියා. කොහොම හරි අන්තිමේදී වංචනික ලෙස ලබා ගත් අම්මාගේ මාස දෙකේ මුදල් පසුගියදා අම්මාට දී තිබෙනවා." චෝදනාවට ලක්ව ඇති ග්‍රාමනිලධාරිනියගෙන් ඒ පිළිබඳව විමසු විට ඇය කියා සිටියේ මේ සම්බන්ධ කිසිවක් පළ නොකරන ලෙසයි. අදාල මුදල් තමා අතින් නැති වූ බවත් පසුව එම මුදල් ලබාදීමට ක්‍රියාකළ බවත් ඇය කීවාය.

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

බෝහෝ රාජ්‍ය ආයතනවල කෝවිඩ් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නෑ.


බොහෝ රාජ්‍ය ආයතනවල කෝවිඩි-19 සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව රාජ්‍ය පළාත්  රජයේ වෘත්තීය සමිතිය සදහන් කරයි. අත් සේදීමේදී විෂබීජ නාශක දියර වර්ග භාවිත කිරීම පිළිබඳ සාකච්ඡා කළද, බොහෝ රාජ්‍ය ආයතනවල ඒ සදහා සබන් වර්ග භාවීත කරන බව
එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා පැවසීය.
එසේම පාදයෙන් ක්‍රියාත්මක කරන ජල කරාම තැබිය යුතු වුවත්, ඒ වෙනුවෙන් අතින් ක්‍රියා කරන ජල කරාම භාවිත කරන බවත්, මීට අමතරව රාජය ආයතනවලට පැමිණෙන සාමාන්‍ය
තාවගේ දෑත් පිණීසුදු කර ගැනීම පිළිබඳවත් බොහෝ ආයතනවල නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.
උණ බැලීමේ  කටයුතු ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් සිදුකරන බවත්, මෙය කොතරම් සාර්ථක ක්‍රියාවක්ද යන්න ගැටලු පවතින බවත් පවසා සිටී අජිත් . කේ  තිලකරත්න  මහතා, රෝහල්වල පවා ආරක්‍ෂක අංශ සාමාජිකයන් සිටින බවත්,
එහෙත් රෝහල් ආරක්ෂක අංශ උණ බැලීම් කටයුතු සිදු නොකරන බවත් සඳහන් කර සිටියේය.
මේ නිසා කෝවිඩි-19 අදාළ සෞඛ්‍ය වැඩපිළිවද රජය ආයතනවල ක්‍රියාත්මක  කිරීම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් සොයාබලා සුදුසු ක්‍රියාමාර්ග ගතයුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 ඉන්දික හේවාවිතාරණ 

Monday, June 15, 2020

දෙවෙනි කළු ජාතිකයා ඝාතනයෙන් ඇමරිකාව යළි ඇවිලේ.

ඇමරිකා  එක්සත් ජනපදයේ ඇට්ලන්ටා නුවරදී පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුවුණු  පොලිස් වෙඩි තැබීමකින් රොෂීඩ්  බෘක්  නැමැති 27 හැවිරිදි කළු ජාතික තරුණයා මරණයට පත්වීම සම්බන්ධයෙන් එම නගරය තුළ දැවැන්න උද්ඝෝෂණ ආරම්භ  වී ඇතැයි  වාර්තා වෙයි. එහිදී මෙම ඝාතනය සිදු වු සුප්‍රසිද්ධ කෙටි ආහාර සහිත ආපනශාලාව පසුගිය සෙනසුරාදා දිනයේදී ගිනිබත් කිරීමටත් මෙම උද්ඝෝෂකයන් කටයුතු යොදා තිබුණි.
පසුගිය මාසයේ අවසන් සතියේදී මිනසොටා ප්‍රාන්තයේදී කළු ජාතිකයෙකු පොලිස් අඩංගුවේ සිටියදී ගෙල
සිරවී හුස්ම ගැනීමට නොහැකිව මරණයට පත්වීමේ සිදුවීම නිසා රට පුරා උද්ඝෝෂණ ව්‍යාප්තව තිබූ පසුබිමක ඇට්ලන්ටා නුවරදීත් එවැනිම සිදුවීමක් වාර්තා වීම අර්බුදය තවත් දරුණු කිරීමට හේතුවී තිබේ.
සිකුරාදා රාත්‍රී 11.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇත. එම අවස්ථාවේදී රොෂාඩ්  බෘක් සිය මෝටර් රථයේ සිට ඇති අතර, ඒ අසලට පැමිණි පොලිස් නිලධාරීන්  ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන් පෙරළා, එක් නිලධාරීයෙකුගේ අතෙහි තිබුණු විදුලිය වද්දවා සැකකරුවන් අඩපණ කරන උපාංගයද ගලවාගෙන දිවගොස් ඇත. එම අවස්ථාවේදී ක්‍රියාත්මක වු අනෙක් පොලිස් නිලධාරියා රෙෂාඩි වෙත වෙඩි තබන ආකාරය පොලිස් කැමරාවල සටහන්ව ඇත.
මෙහිදී ඇට්ලන්ටා නුවර විරෝධතාකරුවන් අදාළ ආපනශලාව ගිනි තැබීමත් සමග යළිත් වටයකට  එරට තුළ වාර්ගිකත්වයට එරෙහි උද්ඝෝෂණ අලුත් වෙමින් ව්‍යාප්ත  වීමේ අවස්ථාවක්ද උදා වී ඇත. මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන බළඇණිය කටයුතු යෙදුවත් උද්ඝෝෂකයන් ඊට බාධා කළ නිසා අදාළ ගොඩනැගිල්ල බේරා ගැනීමේ අවස්ථාව අහිමි ව ගිය බවද ඇට්ලන්ටා  පොලීසිය පවසයි.
මේ අතර රෙෂාඩ්ගේ  ඝාතනයත් සමගම ඇලන්ටාහි පොලිස් ප්‍රධානී එරීකා ෂිල්ඩිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළාය. ඇට්ලන්ටා නගරාධිපතිනී කොයිෂා ලාන්ස් බොටමිස් ද එම ඉල්ලා අස්වීම නිල විශයෙන් පිළිගෙන ඇත, මෙම ඝාතනය  පොලිස් නිලධාරීන් අතින් සිදුවීමත්, ජනතාව
අතර බිඳ වැටී ඇති විශ්වාසය යළිත් වරක්  ඇති කිරීමත් අවශ්‍ය බව ඇය එහිදී පවසා තිබේ.
මෙම වෙඩිතැබීමේ සිදුවීමට අදාළ  වීඩියෝ දර්ශනද මාධ්‍ය වෙත නිකුත්ව ඇති අතර, එහිදී පැහැදිලිවම පොලිස් නිලධාරීන් දිවයන රෙෂාඩි වෙත වෙඩි තබන ආකාරය සටහන්ව තිබේ. ජනතාව පොලීසියට එරෙහිව අදාළ ආපනශාලාව  ඉදිරිපිටදී උද්ඝෝෂණ ආරමිභ කර ඇත් ඉන්පසුවයි. ඒ සම්බන්ධයෙන් උද්ඝෝෂකයන් කිහිප දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
 මේ අතර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැත්වෙන වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණද තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා පවසයි. ඒ අතරින් පසුගියදා එරට වෝටර්ලූ හි ට්‍රෆාල්ගාර් චතුරස්‍රයේදී ඇති වූ අතදක්ෂිණාංශික යොබ්ස් ක්‍රියාකාරිකයන් සහ බ්ලැක් ලයිවිස් මැටර් ආධාරකරුවන් සහ කැරලි මර්දන පොලීසිය අතර ගැටුම 'වර්ගවාදී මැරවර' අවස්ථාවක් ලෙස හෙළා දකින බව එරට අගමැති බොරිස්  ජොන්සන්ද ප්‍රකාශයක් නිකුත් කර තිබේ.  මෙහිදී කළු ජාතික උද්ඝෝෂකයන්'Eng- er-land'
ලෙස පවසමින් විරෝධතාවේ  නිරතව ඇති අතර, ඔවුන් එහිදී නාසි ආචාරයද දක්වා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ඒ අතරම කළු ජාතිකයන්ගේ උද්ඝෝෂණයට එරෙහි වු අන්ත දක්ෂිණාංශිකයන් පිරිසක් ඔවුන්ට එරෙහිව පහරදී තිබේ.
මෙහිදී බීලැක් ලයිවිස් මැටර් ක්‍රියාකාරිකයන්ගේ පහරදීමට ලක් වු අන්තවාදී විරෝධතාකරුවන් ලේ ගලන තුවාල සහිතව සිටින ආකාරයද දැකගත හැකිවිය. මේ තත්ත්වයත් සමගම පොලීසිය එම ප්‍රදේශය වෙත පස්වරු 5 සිට ඇදිදී නීතිය පැනවීමටද පියවර ගෙන තිබේ.
 මේ අතර යුරෝපය තුළ ක්‍රමයෙන් ව්‍යාප්ත වන බිලැක් ලයිවිස් මැටර් උද්ඝෝෂණ මැඩපැවැත්වීමේ අරමුණින් ප්‍රංශය එම උද්ඝෝෂණ සංවිධානය කිරීම තහනම් කිර්මට පියවර ගෙන ඇත. එසේම පසුගියදා පැවැත්වූ එවැනි උද්ඝෝෂණයකට ප්‍රංශ පොලීසිය එළව එළවා පහර දුන් බවත් පැවසෙයි.




Friday, June 12, 2020

අයි.සී.සී පරීක්ෂණයට මුහුණ දෙනතුරු වර්ණවීර්ට ක්‍රිකට් පරිපාලනය තහනම් වන ලකුණු.


ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය (අයි.සී.සී) විසින් සිදුකරන පරීක්ෂණයට මුහණ දී ඉන් නිදොස් වන  තුරු හිටපු ටෙස්ට් ක්‍රිකට්ක්‍රීඩකයෙකු වන ජයනන්ද ව රට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන තිබේ.
ඒ පසුගිය සඳුදා (08දා) පැවැති විධායක කමිටු රැස්වීමේදීය. එම විධායක කමිටු රැස්වීමේදී ඔවුන් තීරණය කර ඇත්තේ ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී මාර්ගයෙන් ඒ සම්බන්ධව ලිඛිතව දැනුම් දීමටයි.
මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීරට එල්ල වූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා අවස්ථා කිහිපයකදී කැඳවීම් කර තිබුණද ඔහු ඒ සඳහා සහභාගි නොවුණි. ඒ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුට සියලුම ක්‍රිකට් කටයුතු තහනම් කළේය.
 කෙසේ වෙතත් එම තහනම නිමාවීමෙන් පසු වර්ණවීර පසුගිය සති කිහිපයේ මාධ්‍යයට පවසා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් ධුරයට තරග කිරීමට තමාගේ සුදානමක් පවතින බවයි.
මේ සම්බන්ධයෙන් තමන් ක්‍රිකට් ආයතනයද දැනුවත් කර  ඇති අතර, ක්‍රිකට් ආයතනය මාධ්‍යයේ පළ වූ පුවත් වාර්තතා
ගෙනහැර දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයෙන් මේ පිළිබඳව විමසීමක් කර තිබේ.  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල්ගේ අනුදැනුම මත ඔවුන් ක්‍රිකට් ආයතනයට ලිඛිතව දක්වා ඇත්තේ වර්ණවීරසම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විවෘත මනසකින් කටයුතු කරන බවත්, ඔහුට ඕනෑම අවස්ථාවක අදාළ පරීක්ෂණයට මුහුණදිය හැකි බවත්ය.

පැතුම් විජේරත්න

Thursday, June 11, 2020

ඉස්කොලේ යන්න ලෑස්ති වෙමු


කොරෝනා වෛරස් ආසාදිතයන් මෙරටින් පළමුව හමුවූ අවස්ථාවෙන් පසුව මාර්තු 13වනදා සිට සියලු පාසල් වසා දැමීමට රජය පියවර ගත් අතර ඒ අනුව මාස තුනකට වැඩි කාලයකට පසුව යළිත් පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මේ වන විට පාසල් පද්ධතියේ ලක්ෂ 50ක් පමණ දරුවන් පිරිසක් නිවසට වී සිටිති. ඒඅනුව අදියර හතරක් යටතේ නැවත පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබෙන අතර රට තුළ පවත්නා සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය පිළිබද සොඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ පදනම් කරගනිමින් පාසල් විවෘත කිරීම සිදුකරන අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

දෙවැනි අදිරය
සිසු දරු වෙනුවෙන්  පළමුවෙන්ම පාසල් ආරම්භ කිරීමේ කටයුතු සිදුවන්නේ දෙවැනි අදියරයේදී ය.ඒ යටතේ ජුලි මස 6 වන සඳුදා සිට 13, 11 සහ 05 ශ්‍රේණි දරුවන් සඳහා පාසල් ආරම්භ කෙරේ.  තුන්වන අදියරදී 12 සහ 10 ශ්‍රේණිවල සිසුන් සඳහා ජුලි මස 20 වන සිට ආරම්භ කෙරේ. සිව්වන අදියර  යටතේ පාසල් ආරම්භ කෙරුනුයේ, ජුලි මස 27 වන වන අතර 3,4,6,7,8,9 ශ්‍රේණි සිසුන් මෙම අදියරේදී පාසල් වෙත කැදවේ.

පෙරපාසල් සහ දිවා සුරැකුම මධ්‍යාස්ථාන
01 හෝ 02 ශ්‍රේණිවල සිසු දරුවන් සඳහා පාසල් පැමිණිය යුතු දිනය දැනුම්දීම තවදුරන්ටප්‍රමාද කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළ අතර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන දින පිළිබදවද මෙතෙක් සඳහන් කර නොමැත.

ප්‍රවාහන පහසුකම්
පාසල් ආරම්භ කිරිමේන් පසුව ඊළඟට මුහුණදීමට සිදුවන අභියෝගය ප්‍රවාහන මාධ්‍ය භාවිතය බැවින්, ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, පෞද්ගලික බස්රථ සංගමය, පාසල් වෑන් රථ හිමිකරුවන්ගේ සන්ධාන ඇතුළු ප්‍රචාහන අංශයේ බලධාරීන් සමග සාකච්ඡා කර ඒ පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සකසීමට පියවර ගන්නා බවද මේ සම්බන්ධයෙන්  වීමසීමේදී  අධ්‍යපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

විභාග සදහා ප්‍රශ්න පත්‍ර සැකසීම
ඉදිරියේදි පවැත්වෙන විභාග සදහා ප්‍රශ්න පත්‍ර සකසීම සම්බන්ධයෙන් විභාග කොමසාරි ජනරාල් සනත් පුජිත මමතා පැවසුවේ මෙවැන්නකි.

විභාග සියල්ල සදහා ප්‍රශ්න පත්‍ර සැකසිමට සම්පූර්ණ විෂය නිර්දේශයම යොදාගන්නවා. ඒ නිසා තමයි මාස දෙකක වැඩි කාලයක් ලබාදී තිබෙන්නේ. උසස්පෙළ විභාගය ගත් විට ඒ සදහා පළමුවරට ඉදිරිපත් වෙන පිරිස වගේම දෙවන තුන්වන වරට ඉදිරිපත්වන පිරිසක් ඉන්නවා. පළමු වරට විභාගයට ඉදිරිපත්වන අයට විෂය නිර්දේශ සම්පූර්ණ වී නොතිබුණත් අනිත් දෙපිරිසම සම්පුර්ණ විෂය නිර්දේශය යටතේ විභාගයට සුදානම් වී සිටිනවා. මේ නිසා ප්‍රශ්න පත්‍ර සැකසීම සම්පූර්ණ විෂය නිර්ෂදේශයම ආවරණය වන පරිදි සිදුකළ යුතු වනවා. පළමු වර විභාගයට ඉදිරිපත්වන අයට අසාධාරණයක් නොවීම සදහා තවත් මාස දෙකක අමතර කාලයක් ලබාදී තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගයේ තත්ත්වයත් ඒ ආකාරයෙන්මයි. ප්‍රශ්න පත්‍ර සකස් වෙන්නේ සාමාන්‍ය විදිහටයි. කිසිම විශේෂත්වයක් නැහැ.

පාසල් දරුවන් කාණ්ඩ කිරිම
පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාතශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා සදහන් කළේ මෙවැනි අදහසකි. කොරෝනා වසංගතයෙන් පසුව යළිත් පාසල් ආරම්භ කිරිමේදි අපි එය කාණ්ඩ කර තිබෙනවා. ඒ වගේම එහිදී පාසල් පැවැත්විය යුතු කාල සීමා වෙන්කර තිබෙනවා. මේ ලබා දී තිබෙන කාලය තුළ යළිත් කොරෝනා වසංගතය උත්සන්න වුණේ නම් සෞඛ්‍ය අංශ මගින් විශේෂ යමක් දැනුම්දුන්නේ නම් ක්‍රමානුකූලව පාසල් පැවැත්වීම සාමාන්‍යකරණය කරන්න පුළුවන්.

ඉන්පසුව සුපුරුදු පරිදි පාසැල් පැවැත්වෙනවා.
මේ නිසා තමයි 01 සහ 02 වසරවල දරවන් පාසලට ගෙන්වීමට තවමත් දිනයක් තීරණය නොකළේ. ඔවුන් ගෙන්වීම අවසානයට කරන්නේ. පාසල් ආරම්භ කළ පසු එහි තත්වය පිළිබද නිගමනයකට එන්න විදුහල්පතිවරුන්ට සහ අධ්‍යාපන බලධාරීන්ට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව ක්‍රමානුකූලව තත්වය ඉදිරියට ගෙනියන්න පුළුවන්වෙනවා.

පාසල් ආරම්භ කල පසුව සෑම දරුවෙක් ගැනම අපි අවධානය යොමු කරනවා. මෙම  නිරීක්ෂණ කාලය අවසන් වන විට සෞඛ්‍ය තත්ත්වයත් සාර්ථක වී තිබෙනවා නම් , ළමුන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරනවා නම් ඉන්පසුව සාමාන්‍ය තත්ත්වයට එන්න අපිට පුළුවන්කවම ලැබෙනවා.

සමාජදුරස්ථභාවය
පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණත් අපි පාසලට ළමුන්ගෙන් වන්නේ පත්ති කොටස් කරලා. මොකද සමාජ දුරස්ථභාවය තවදුරත් තබාගැනීම අවශ්‍යයි කියල සෞඛ්‍ය අංශ අපිට දනුලා .තිබෙනවා. ඒ අනුව උදය වරුවේ කොටසක් හවස් වරුවේ  කොටසක් ලෙස ළමුන් කොටස් කර පාසලට ගෙන්වනවා. මොකද ඇතැම් පාසල්වල දුරස්ථභාවය තියාගෙන පන්ති පවත්වාන්න ඉඩ නැහැ.
මේ නිසා පංතියේ ළමුන් කොටස්කර ගෙන්වනවා.

පතියක ළමුන් 40ක් ඉන්නවානම් අපිට 20 බැගින් තමයි පත්තියට ඇතුළත් කරන්න වෙන්නේ. එතකොට තැන් දෙකක උගත්වන්න වෙනවා. ගුරුවරුන් ඉන්න ප්‍රමාණයට සියල්ල තුලනය කරගෙන පාසල් පවත්වාගෙන යන්න වෙනවා.

පාසල් පවත්වන වේලාව
දරුවන්ට අධ්‍යාපන කාලය විශාල වශයෙන් අහිමිවෙලා  නිසා ඊළග වාරය පාසල් පත්වන කාලසීමාව 03.30 දක්වා පවත්වන්න සිදුවේවි. විභාගයට ඉදිරිපත්වීමට ඉන්නා දරුවන්ට පැය 400කට ආසන්න ඉගෙනුම් කාලයක් අහිමිවෙලා තියනවා. එම ප්‍රමාණය අපි ආවරණය කළ යුතුයි. විභාග පැවැත්වීමෙන් පසුව එය තවදුරටත් දීර්ඝ කරන්න අවශ්‍ය නොවේවී. ඉන්පසුව සාමාන්‍ය පරිදි පාසල් පවත්වාගෙන යන්න හැකියාව ලැබෙයි කියලා අපි හිතනවා.

මුහුණු ආවරණ පැලඳීම
සියලුදෙනා මුහුණු ආවරණ පැලදිය යුතුයි කියල සොඛ්‍ය උපදෙස් ලබාදී තිබෙන නිසා සියලුදෙනා මුහුණු ආවරණ පැලදිය යුතුයි. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දරවන් සියලුදෙනාට මුහුණු ආවණ ලබාදීමට හැකියාවක් නැහැ. මේ සදහා විශාල මුදලක් වැයවෙනවා. ඒවගේම මුහුණු ආවරණ ලබාදීම සෞඛ්‍යාරක්ෂිතව කළ යුතුයි. එය ප්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීම අපහසුයි. මේ අවදානම සැලකිල්ලට ගනිමින් තමන්ගේ දරුවන්ට මුහුණු ආවරණ ලබාදීමට කටයුතු කරන ලෙස අපි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ සඳහා උපකාර කරන්න කැමති අය ඉන්නවා නම් ඒ සඳහා අපිට උදව්කරන්න අවස්ථාව තිබෙනවා. ඒවගේම අත්සෝදන ද්‍රව්‍ය , ආදී සියල්ල අපි පාසල් වෙත දෙනවා. මුහුණු ආවරණ පමණයි අපි ලබා නොදෙන්නේ.

දෙමාපියන්ට වචනයක්
ළමුන් පාසලට එවන විට ප්‍රවාහන පහසුකම් ලබාදීමේදීත්දෙමාපියන් සැලකිලිමත්වන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද ප්‍රවාහන පහසුකම් ලබාදීමත් සෞඛ්‍යාරක්ෂිතව සිදුවිය යුතුයි. නිවසින් පිටතට පැමිණෙන දරුවා යළි නිවසට පැමිණෙන තුරු සෞඛ්‍යාරක්ෂිත කිරීමට ඔවුන්ට උපදෙස් ලබාදෙන්න. දරුවන් රැකගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයේ පමණක් කාර්යයක් නොවෙයි. එය අධ්‍යාපන බලධාරින් වන අපගෙත්, දෙමාපියන්ගේ වගේම මුළුමහත් සමාජයේම වගකීමක්. ඒවගකීම අපි සැමදෙනාම ඉටුකරමු.

-චාමර සම්පත් -

පාසල් පරිශ්‍ර තුළදි නව කොරෝනාවෙන් වැලැකීමේ අධ්‍යනයක්.

ඒ බ්‍රිතාන්‍යයේ පාසල් තුළ COVID-  19  වෛරසයෙන් වැළැකීම සම්බන්ධයෙන් සිදුකරන කටයුතු නිරීක්ෂණය සදහා නව අධ්‍යයනයක් සිදුකිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි. රජයේ මුලිකත්වයෙන් සංවිධානය කෙරෙන මෙම අධ්‍යයනය ස්වේච්ඡා මට්ටමෙන් සිදුකිරීම සැලසුම වී ඇත. එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊට දායකත්වය සපයයි.
  මෙහිදී පෙර පාසල්, ප්‍රාථමික සහ ද්විතීයික පාසල් සිසුන් සහ ගුරුවරුන් සම්බන්ධයෙන් අධ්‍යයනය සිදු කෙරෙයි. ඉදිරි ග්‍රීෂ්ම ඍතු පාසල් වාරය අවසන් වනවිට එංගලන්තය පුරා පාසල් 100ක පමණ සංඛ්‍යාවක් තුළ මෙම අධ්‍යයනය සිදුකිරීම සැලසුම වී තිබේ. මේ අධ්‍යයනය හරහා ලැබෙන දත්ත මගින් පාසල් තුළ මෙම  COVID-19 ව්‍යාප්ත වීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබාගැනීම බලාපොරොත්තුව වී  ඇත.
 මෙහිදී අධ්‍යයනයට ලක්කෙරෙන එංගලන්තය පුරා
පිහිටි පාසල් 100න් 15ක්ම ලන්ඩන් නුවර පිහිටි පාසල්ය.  මෙම සෑම පාසලකින්ම ගුරුවරුන් සහ දරුවන් 200  දෙනෙකු බැගින් අධ්‍යයනය කිරීම ඉලස්සය වී තිබේ. එහි දත්ත ප්‍රතිඵල ග්‍රීෂ්ම ඍතුව අවසානයේදී ලැබෙනු ඇතැයි විශ්වාසය වී ඇත.
 දැනටමත් ජාතික සුපරීක්ෂණ වැඩසටහන හරහා එකතු කරගෙන ඇති ප්‍රතිදේහ සහ වෛරසයෙන් වැළැකීම පිළිබඳ දත්ත සමග මෙම දත්ත එකතු කිර්ම එංගලන්ත මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අදහස  වී ඇත. රට පුරාම ආවරණය වන පරිදි සිදුකළ එම වැඩසටහන මගින් රැස්කරගත් දත්ත පසුගිය සතියේදී එළිදැක්වුණි.

දොස්තරගේ නෝනයි තව දෙන්නෙකුයි නිදන් හොයද්දී අත්අඩංගුවට .


වවුනියාව, නන්දමිත්‍රගම  කිඹුලාගල කන්දේ නිධන් හාරමින් සිටි ප්‍රාදේශීය
රෝහල් වෛද්‍යවරයෙකුගේ  බිරිඳ ඇතුළු තවත් දෙදෙනකු පෙරේදා (09) සවස අත්අඩංගුවටගත් බව වවුනියාව බෝගස්වැව පොලිසිය පවසයි.
 නිධානයක් ගොඩගැනීම සඳහා කැණීම්කරන පිරිසක් සම්බන්ධයෙන් බෝගස්වැව පොලිසියේ බුද්ධි නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් පිරිස අන්දඅඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
 නිදන් හෑරීම සඳහා යොදාගත් පූජාවට්ටි, මන්ත්‍රපොත්, පිත්තල වළලු, ඇසිඩ් ද්‍රාවන හා උදැල්ලක් ඇතුළු කැණීම් උපකරණද සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගත්බව පොලිසිය පැවසීය.
 පොලිසිය පැවසූවේ සැකකරුවන් අඩි  දෙකක් පමණ ගැඹුරට කිඹුලාගල කන්දේ කැණීම් කර ඇති බවත් කළුගල මෙලෙක්කිරීම සඳහා ඇසිඩ් ද්‍රාවණ යොදාගැනීමට සූදානම් කොට තිබූ බවත්ය.
නන්දිමිත්‍රගම, කිඹුලාගල කන්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉපැරණි නටබුන් රැසක් සහිත ස්ථානයක් වන අතර කටාරම් සහිත පුරාවිද්‍යා නටබුන් සහිත ස්ථානයක සැකකරුවන්  කැණීම් කරමින් සිටි බවද පොලිසිය පැවසීය.
අත්අඩංගුවටගත් සැකකරුවෝ වවුනියාව, නන්දිමිත්‍රගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී තිස්සලාල් ද සිල්වා මහතාගේ උපදෙස් මත බෝගස්වැව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පී.එස්. අබේසේකර මහතාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ, පොලිස් පරීක්ෂක බණ්ඩාර, උප
පොලිස් පරීක්ෂක  වයි.එම්. තිලකරත්න, පොලිස් සැරයන්වරුන් වන (577330) තුෂාර, (61661) වීරසිංහ, (25967) තිලකරත්න, පොලිස් කොස්තාපල්වරුන්වන (22416) කරුණාරත්න, (55024) බණ්ඩාර, (67337) අජිත්, (67555) සුජිත්, (68583)හේරත්, (68532) බාලසූරිය, (79099) අධිකාරි, කාන්තා පොලිස් කොස්තාපල් (11012) ශර්මිලා, පොලිස් කොස්තාපල් රියදුරු (80401) සංජීව ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 (මඩුකන්ද සිතුම් චතුරංග)

පාසල් කැන්ටින් අරින්න අවසර නෑ.



 පාසල් විවෘත කිරීමට අවසර ලැබුණත් එහි ආපන ශාලා විවෘත කිරීමට අවසර ලබා නොදෙන බව කොවිච් වැළැක්වීමේ පොසල් චක්‍රලේඛයේ සඳහන් වේ.
රජය විසින් ක්‍රියාත්මක කරන පාසල් සිසුන් සඳහා ආහාර ලබාදීමේ වැඩසටහන පාසල් ආරම්භ වූ සැණින් ක්‍රියාත්මක
නොකිරීමටද එම චක්‍රලේඛය මගින් පාසල්වලට උපදෙස් දී තිබේ.
ආහාර විකිණිමත් සිදු නොකළත් සමහර පාසල්වල ආපන ශාලා ආහාර ගැනීමට යොදා ගන්නා බැවින් එසේ යොදා ගන්නා ආපන ශාලා දිනකට දෙවරක් පිරිසිදු කිරීම හා විෂබීජහරණය කළ යුතු බවද එහි සඳහන්ව ඇත. 

එහිදී පාසල් දරුවන් වැඩි වශයෙන් ස්පර්ශ කරන ස්ථාන සහ
සෝදන බේසම් ආදිය හොඳින් පිරිසිදු කළ යුතු අතර ජලය බැසයන ස්ථාන සහ වතුර සින්ක් විෂබීජහරණය කළ යුතු බවට එහි උපදෙස් දී තිබේ. මෙම 
 ආපන ශාලා වසා ඇති බැවින් හා පාසලෙන් ආහාර දීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොවන බැවින් දරුවන් පාසල් එවද්දී නිවසේ සකස් කළ සමබල ආහාර වේලක් එවන මෙන් ද දෙමාපියන්ට එහිදී උපදෙස් දී ඇත. 
එමෙන්ම ප්‍රමාණවත් තරම් පිරිසුදු ජලය පානය කළ යුතු බැවින් ජලය ලබා ගැනීමට සුදුසු වන පරිදි බෝතලයක් හා කෝප්පයක් ගෙනා යුතු බවත් ඒවා දිනපතා පිරිසුදු කර එවිය යුතු බවත් එම උපදෙස් සංග්‍රහයේ සඳහන්ව ඇත. 
 මේ වනවිට මෙම උපදෙස් සහිත චක්‍රලේඛය සියලු පාසල්
වෙත ලබාදීමට කටයුතු කර ඇති අතර ගුරුවරුන් හා කාර්ය මණ්ඩල පැමිණෙන ලබන 29 වැනිදා පාසල් ආරම්භ වනවිට ඒවා ක්‍රියාත්මක කිරීමට කටයුතු යෙදිය යුතු බවද අධයාපත අමාත්‍යාංශය කියයි.

විනීතා එම් ගමගේ