අලුත් වසරක් උදාවී තිබේ. ගෙවි ගිය වසරේ වැඩිම කාලයක් ගෙවා දැමිමට සිදුවූයේ කොරෝනා ව්යාප්තිය සහ බලපෑම් මතය. දේශපාලන කරළියේ සල්ලි සිද්ධිවලට ගෙන ගියදින 364 න් වැඩි ප්රමාණයක් ඉඩ දුන්නේ නැත. දේශපාලනඥයන් වැඩි වැඩියෙන් වෙහෙස මහන්සි වූයේ කොරෝනා උවදුරට මුහුණ දීමටය. වසර අවසානයේදී සාමාන්යයෙන් ආණ්ඩුවේත් විපක්ෂයේත් දේශපාලනඥයෝ අවුරුදු නිවාඩුවට විදෙස් සංචාරවලට සහභාගී වෙති. කොරෝනා හේතුවෙන් මෙවර දේශපාලනඥයන්ට විදෙස් සංචාරවලට සහභාගි විමට හැකි වූයේ නැත. ඒ තබා දේශීය සංචාර පවා අවලංගු කිරීමට බොහෝ දෙනකුට සිදුවුය.
නව වසරේ ශ්රී ලංකාවට අභියෝග කීපයකටම මුහුණ පෑමට සිදුවනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනතුරු අඟවති. එහි එක් අභියෝගයක් වන්නේ ඇමෙරිකාව විසින් සිදුකරනු ඇතැයි කියන බලපෑමය. ලංකාව එම්. සී.සී. ගිවිසුමෙන් ඉවත් වීම නිසා ඩොලර් කෝටි ගණනක ආධාරයක් අත්හැරීමට ලංකාවට සිදුවූයේ යැයිද ඇමෙරිකාවට අවශ්ය වන්නේ ලංකාව හා චීනය සමඟ පවතින කිට්ටු සබඳතාවට මැදිහත්වීමට යැයිද දේශපාලන විචාරකයෝ තර්ක මතු කරති. මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඉකුත්දා සහන පැකේජයකට අත්සන් තැබීය. එම සහන පැකෙජෙයන් ඇමෙරිකානුවන්ට පමණක් නොව තවත් රටවල් කීපයකටද සහන හිමි වීමට නියමිතය. සහන හිමි රටවල ලැයිස්තුවේ ශ්රී ලංකාවද ඇතුළත්වී තිබිම විශේෂත්වයකි.
“ශ්රී ලංකාව ඇතුළු තවත් රටවල් කීපයකට සහන දෙන්න නියමිතයි. හැබැයි කොන්දේසි රැසක් තිබෙනවා. එම කොන්දේසිවලට එකග වුණත් සහන ගන්න හැකිවේවි. ඇමෙරිකාව ශ්රී ලංකාව සමග දුරස්ථභාවයක් තබා ගැනීමටත්, කැමැත්තක් නැහැ. එසේ දුරස්ත වුවහොත් එහි වාසිය චිනයට අත්පත්වනු ඇතැයි ඇමෙරිකාව කල්පනා කරනවා යැයිද දේශපාලන විචාරකයෝ මත දක්වති. නව අවුරුදු උදාව සමරමින් සියලු රාජ්ය සේවකයන්ට ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශනයේ අඩංගු ප්රතිපත්තීන් ක්රියාත්මක කරන බවට දිවුරුම් දෙන ලෙස රජය ඉකුත්ඳා නිවේදනයක් නිකුත් කර තිබුණේය. ඒ අනුව රටපුරා සෑම රාජ්ය සේවකයකුම ආණ්ඩුවේ “සෞභාග්යයේ දැක්ම" ප්රතිපත්ති ප්රකාශනය මත අද දිවුරුම් දීමට නියමිතය. ආණ්ඩුවේ හෝ පෞද්ගලික ආයතනවල හෝ අද අවුරුදු සාද සංවිධානය කර තිබුණේ නැත. සෞඛ්ය නීති ආරක්ෂකර ගනිමින් රාජකාරි කටයුතු සිදුකිරීමට ආයතන බලධාරින් අවශ්ය පියවර ගෙන තිබුණේය.
මේ දිනවල දේශපාලන කරළියේ කතාබහ කෙරෙන තවත් ප්රධාන මාතෘකා දෙකකි. ඒ පළාත් සභා මැතිවරණය සහ කොරෝනා මෘතදේහ භූමදානය කිරිම ගැනය. ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව පළාත් සභා මෙරටට හඳුන්වා දුන්නේය. |උතුරු හා නැගෙනහිර පළාත්වලට දේශපාලන විසඳුමක් සෙවීමේ එක් පියවරක් ලෙස පළාත්| සභා ක්රමය මේ රටේ ස්ථාපිත කෙරිණ. මේ වන විට පළාත් සභා සම්බන්ධයෙන් දේශපාලන ආරාවුලවක් හටගෙන තිබේ. ආණ්ඩුවේම දෙපිරිසක් මත දෙකක සිටිති. පළාත් සභා රටට අනවශ්ය බව ආණ්ඩුවේ පිරිසක් ප්රකාශ කරද්දී තවත් පිරිසක් පළාත් සභා අවශ්ය බව ප්රකාශ කරති. ඇතැම් භික්ෂු සංවිධාන හා සිවිල් සංවිධාන පළාත් සභා අනවශ්ය බවට තරයේ මතයක් සමාජගත කරමින් සිටී. දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ ආණ්ඩුව පළාත් සභා සම්බන්ධයෙන් අවුලක් නිර්මාණය කරගෙන ඇති බවය.
භික්ෂූන් වහල්ලාගේ මතයට සවන්දීම, ඉන්දියාවෙන් සිදුකරන බලපෑමට මුහුණදීම සහ ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කළ පිරිසක් පළාත් සභා ඉල්ලා සිටීම එම තුන්කොන් අවුල බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත් ඉකුත් අඟහරුවාදා රැස්වූ පක්ෂ නායකයන් තීන්දුකර තිබුණේ පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් පසුව තීරණයකට එළැඹිමටය. ඒ අනුව ඉතා ඉක්මනින් එනම් නව වසරේ මුල් මාස කීපය තුළ පළාත් සභා ඡන්දයක් අපේක්ෂා කළ නොහැකි බවද දේශපාලන විචාරකයෝ පවසති. මේ අතර කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ට මෘතදේහ භූමදානයට අවසර ශ්රී ලබාදෙන්නැයි ඉල්ලා කෙරෙන බලපෑම්ද ඉකුත් සතියේම දැඩිවන්නට පටන් ගත්තේත්ය. විපක්ෂයේ දේශපාලනඥයෝද ඒවාට අගුල්පත් තැබූහ. ඇතැම් සිවිල් සංවිධාන පවා කොරෝනා මරණ සම්බන්ධයෙන් විවිධ මත නිර්මාණය කරමින් තිබේ. එහෙත් ආණ්ඩුව තවමත් භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ප්රකාශයට පත් කර නැත. සෞඛ්ය ඇමතිවරිය ඒ සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත්කර ඇත්තේ දෙවන වරටය. මීට ඉහතදී ද විද්වත් කමිටුවක් පත්කර තිබුණේය. කෙසේ වෙතත් පසුව පත්කළ විද්වත් කමිටුවේ වාර්තාව ඉකුත් අගහරුවාදා පස්වරුවේ සෞඛ්ය ලේකම්වරයට බාරදුන්නේය. එම විද්වත් කමිටුවේ වාර්තාව ඉතා ඉක්මනින් ප්රසිද්ධියට පත් කරන බවට ඉකුත් දිනවල ආරංචි පැතිර ගියේය.
ආණ්ඩුව ගම සංවර්ධනය කිරිම සඳහා නව වැඩ පිළිවෙළ ක්රියාත්මක කරන්නට පටන්ගෙන තිබේ “ගම සමඟ පිළිසඳරක් වැඩ සමඟ යළි ගමට" වැඩ සටහන හඳුන්වා දුන්නේ බැසිල් රාජපක්ෂය. ඒ අනුව මැති ඇමතිවරුන් ගමින් ගමට ගොස් සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීමට පටන්ගෙන තිබේ. ආණ්ඩුව එලෙස එම වැඩ පිළිවෙළ ක්රියාත්මක කිරිමේදී විපක්ෂයද ඊට සමාන වැඩ සටහනක් ආරම්භ කර තිබේ. ඒ රටවටා විපක්ෂනායක ජංගම සේවා ආරම්භ කිරිමය. විපක්ෂ නායකවරයා දුකර ප්රදේශවල පිහිටි ගම්වලට ගොස් ජනතාවගේ දුෂ්කරතා සොයා බලන අතර ඉකුත් දා එවැනි වැඩ සටහනක් කතරගම ප්රදේශයේදී පැවැත්විණි. ශ්රී ලංකා නිදහස් පක්ෂය නව වසරේ අලුත් මුහුණුවරකින් ප්රතිසංවිධානය කරන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන සඳහන් කරන්නේය. ඔහු පවසා ඇත්තේ පක්ෂයට අලුත් පණක් ලබාදෙන බවය. වෘත්තීයවේදීන් පිරිසකට ආසන සංවිධායක ධුරය පිරිනමන බවද මෙත්රීපාල සිරිසේ සඳහන් කරයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂය එවැනි අලුත් ගමනකට සැරසෙද්දී ආණ්ඩුවේ ප්රධානතම දේශපාලන පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් ඔවුන්ට කෙනෙහිලිකම් වැඩිවෙමින් තිබෙන බවට චෝදනාවක්ද යළිත් කරළියේ මතුවෙමින් තිබේ. චෝදනාව සිදුකරන්නේ ශ්රීලනිප ජ්යෙෂ්ඨයකු වන මහින්ද අමරවීරය. ඔහු ඉකුත්දා සඳහන් කර සිටියේ ආණ්ඩුවේ පසු පෙළ මන්ත්රීවරුගෙන් හා ආසන සංවිධායකවරුගෙන් ශ්රීලනිප නියෝජිතයන්ට
කෙනහිලිකම් සිදුවෙමින් තිබෙන බවය. නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන්නේ 5 වැනි අඟහරුවාදාය ඉකුත් කාලයේ පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව වාර්තා කිරිමට මාධ්යවේදීන්ට අවස්ථාව හිමිවූයේ නැත. එහෙත් ඉකුත්දා රැස්වූ පක්ෂනායකයන් තීන්දු කර ඇත්තේ දැඩි කොන්දේසි මත පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරිමට මාධ්යවේදීන්ට අවස්ථාව ලබාදීමටය. ඒ අනුව එක් මාධ්ය ආයතනයකින් එක් මාධ්යවේදියකු වශයෙන් පාර්ලිමේන්තුවට කැඳවීමටත් ඔවුන්ට මාධ්යවේදීන්ගේ කාමරය, ආහාර ගන්නා ස්ථානය හා පාර්ලිමේන්තු ගැලරිය පමණක් වෙන්කර තිබේ. පාර්ලිමේන්තු පරිශ්රයේ වෙනත් කිසිදු ස්ථානයකට ගමන් කිරීමට මාධ්යවේදීන්ට අවස්ථාව හිමිවන්නේ නැත.
පාර්ලිමේන්තුව තුළ දැඩි සෞඛ්ය කොන්දේසි ක්රියාත්මක කරන්නේ එහි සේවය කරන රියැදුරකු ඇතුළු තවත් කීපදෙනකුට කොරෝනා රෝග ලක්ෂණ මතුවීම නිසාය. කතානායක මහින්ද යාපා අබේවර්ධනද ඉකුත් දිනවල නිවසට වී හුදකලාවේ සිටියේය. ඒ ඔහුගේ රියදුරෙකුට කොරෝනා ආසාදිතවීම නිසා යැයි පැවසේ. මේ අතර නුවර එළිය දිස්ත්රික්කයේ ඇමතිවරු තිදෙනෙක්ද මේ දිනවල සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයේ නිරතව සිටිති. එස්.බී. දිසානායක, සී.බී. රත්නායක සහ ජීවාන් තොණ්ඩමාන් එලෙස නිරෝධායනයේ නිරතව සිටිති. ඒ නුවරඑළිය ප්රාදේශීය සභාවක සභාපතිවරයකු ඇමතිවරුන් සහභාගි වී සිටි දේශපාලන රැස්වීම්වලට සහභාගිවීම නිසාය.
නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සකස් කිරිම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කාලය ඊයේ දිනයෙන් අවසන් කෙරිණ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානයද නව ආණ්ඩුක්රම ව්යවස්ථාවකට අවශ්ය යෝජනා ඉදිරිපත් කර තිබේ. පැෆරල් සංවිධානයේ යෝජනාවලට අනුව ශ්රී ලංකාව නම් කළ යුත්තේ බහුවිධ සහ බහුසංස්කෘතික ප්රජාතන්ත්රවාදී ඒකීය ජනරජයක් ලෙසය. සිංහල හා දෙමළ රාජ්ය භාෂා සහ ජාතික භාෂා ලෙසත් ඉංග්රීසි භාෂාවට සම්බන්ධීකරණ භාෂාව බවටත් පත්විය යුතු බවද රාජ්ය නායකයා මහජන ඡන්දයෙන් පත් නොවන බලතල නොමැති ධුරයක් බවට පත්කළ යුතු බවද පැෆරල් යෝජනාවලියේ සඳහන් කර තිබේ. නාමික රාජ්ය නායකයා ලෙස ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ඡන්දයෙන් තේරිපත්විය යුතු බවද විධායකයේ ප්රධානියා අගමැතිවරයා විය යුතු අතර රටේ විධායකය අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලය විය යුතු බවද පැෆරල් යෝජනාවලියේ සඳහන් කර ඇත. මීට අමතරව තවත් යෝජනා කීපයක්ම එහි අඩංගුවේ.
එක්සත් ජාතික පක්ෂ නායකයා ඉකුත් සතිය ගත කළේ දකුණු හා පැසිපික් ආසියානු දේශපාලනය ගැන රචනා කරනා කෘතියෙහි වැඩ කටයුතුවල නිරත වෙමිනි. නත්තල් නිවාඩුව හා නව වසර උදාව වෙනුවෙන් හිටපු මන්ත්රීවරු හා ක්රියාකාරින් කොළඹින් පිටත සිය ගරටවලට ගොස් සිටීම නිසා නායකයාට යම් විවේකයක් හිමි විණි. එයින් ප්රයෝජනයක් ගනිමින් ඔහු පොතේ ඉතිරි කොටස් සම්පුර්ණ කරන්නට විය. කෙළඹට ආසන්නයේ සිටින පක්ෂ ක්රියාකාරින් හා හිටපු මන්ත්රීවරුන් මෙන්ම සිවිල් සංවිධාන ක්රියාකාරිහුද ඒ අතරවාරයේ දුරකතනයෙන්ම මෙන්ම කොල්ලුපිටියේ පිහිටි නායකයාගේ නිවසට පැමිණ සුපුරුදු පරිදි කතා බස් කරන්නට වූහ. අවුරුද්දේ අවසන් බ්රහස්පතින්දා ද හිටපු මන්ත්රීවරුන් මෙන්ම පක්ෂ ක්රියාකාරින් කිහිප දෙනකු ද ව්නායකයාගේ නිවසට පැමිණියේ රටේ වත්මන් තත්ත්වය මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.
“අඩක් භාවිත කළ වසරක් කියලා තමයි ගෙවුණු වසර සමාජ මාධ්යවල හඳුන්වන්නේ. ඇත්තටම රටටත්, ජනතාවටත් ගෙවුණු වසරින් ප්රයෝජනයක් අත් වුණේ නැහැ සංදිත් සමරසිංහ කතාව ආරම්භ කළේය.
“කොරෝනා නිසා ජන ජීවිතය ගොඩක් වෙනස් වුණා. ලෝකයම ආර්ථික හා සමාජීය වශයෙන් අර්බුදයක ඉන්නේ. මේ වසංගතය ඉවර වෙන පාටක් නෑ වගෙයි” නියෝජ්ය නායක රුවන් විජයවර්ධන කීවේය.
“හොයා ගත් එන්නතත් සාර්ථක නෑ කියලා වාර්තා වෙනවා. එය විදපු අයටත් නැවත කොරෝනා වැළඳිලා කියලා තමයි වාර්තා වෙන්නේ" ආශු මාරසිංහ පැවසුවේය.
“ෆයිසර් එන්නතේ වගේම ඔක්ස්ෆර්ඩ් එන්නතෙත් අඩුපාඩු තියෙනවා. සියයට සියයක් සාර්ථක එන්නතක් තාම සොයා ගෙන නැහැ කියලා තමයි ලෝක සෞඛ්ය සංවිධානයත් කියන්නේ . ලබන වසරත් මේ වසරට වඩා වෙනසක් වෙන්නේ නැති බවයි වෛද්යවරු පවසන්නේ. වසංගතයේ නොයෙක් ප්රභේද ඇති වෙමින් තිබෙනවා. ලෝක සෞඛ්ය සංවිධානයේ වෛද්ය මයිකල් ඩයන් කියන්නේ තවම කොරෝනා ලොකුම රැල්ල ඇවිල්ලා නැහැ කියලායි. ඒක කොහොම කොතනින් ආරම්භ වෙයිද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ. කොවිඩි නව ප්රභේදයෙන් එංගලන්තයේ මැරෙන ප්රමාණයත් වැඩි වෙලා" නායකයා පවතින ලෝක තත්ත්වය පැහැදිලි කළේය.
කොරෝනා නව වයිරසයක් යුරෝපයේ පැතිර යද්දී අපේ අය යුරෝපයෙන් සංචාරකයෝ ගේනවා. දකුණත් කොරෝනා රැල්ලක් හදන්න ආණ්ඩුව උත්සාහ කරන බව තමයි පැහැදිලි වෙන්නේ. යුක්රේනය කොරෝනා අවදානම් රටවල් 20 අතර ඉන්නවා. ආපු අයගෙනුත් දැනට හය හත් දෙනකුටම කොරෝනා තිබෙන බවටයි ආරංචි එන්නේ” වැඩබලන මහලේකම් ශමල් සෙනරත් කීවේය.













