Friday, October 30, 2026

සොයිසාපුර ආපනශාල මෝටර් රිය පැදවූ අපරාධ ඝාතනය: කල්ලි නායකයා අත්අඩංගුවට

 


බිමල් ශ්‍යාමන් ජයසිංහ 


මොරටුව සොයිසා පුර ආපනශාලා හිමිකරු ඝාතනයේ මෝටර් රථය පැදවූ අපරාධ කල්ලි සාමාජිකයා පෙරේදා (28) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.අත්අඩංගුවට ගත් එම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන සලිඳු මල්සිත ගුණරත්න නොහොත් පානදුර කුඩු සලිඳු නමැත්තාගේ සමීපතමයකු වන රුවන් නමැත්තාගේ ඥාතියකු බව පොලිසිය කියයි.


එම අපරාධකරුට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා දී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාට ලද තොරතුරකට අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 ක් සමග සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.


කැලණිය ප්‍රදේශයේ පදිංචි සැකකරු හට විදේශ ගතව සිටින රුවන් නමැත්තා විසින් වම්සැප් ඇමතුමක් හරහා ලබා දුන් උපදෙස්මත ඉකුත් 19 වැනි දින කැලණියේ සිට හෝමාගම මාගම්මන මවුන්ට් ක්ලිපට් නිවාස සංකීර්ණය වෙත කුලී මෝටර් රථයකින් පැමිණ ඇති අතර, ඝාතනය සඳහා යාමට නියමිත මෝටර් රථය එදින පණ ගැන්වීමට නොහැකි වීම හේතුවෙන් ඝාතන සැලැස්ම සිදුකිරීමට නොහැකි වී ඔහු ආපසු කැලණිය කරා පිටව ගොස් තිබූ බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයා පසු දින (20) කොණ්ඩය කපා හිසකෙස් කළු කර සූදානම්ව සිටියදී රුවන් ඇමතුමක් ලබා දී, එදින හෝමාගම මාගම්මනට යන ලෙස ලබා දුන් උපදෙස් මත එහි ගොස් මෝටර් රථය ලබා ගෙන හෝමාගම නගරයට පැමිණ පිළියන්දට යන මාර්ගය පුද්ගලයකුගෙන් විමසා පිළියන්දල නගරයට පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කරයි.


අනතුරුව රුවන් නමැත්තාට නැවතත් ඇමතුමක් ලබා ගැනීමෙන් කටුබැද්ද විශ්වවිද්‍යාලය ආසන්නයේ මෝටර් රථය නවතාගෙන සිටින දැනුම් දී ඇති අතර, හෝරා 2 ක පමණ කාලයක් රැඳී සිටියදී ඇමතුමක් ලබා දී ඇති රුවන් නමැත්තා, කටුබැද්ද ඇවිදින මං තීරුව අසලට යන ලෙසත්, එහිදී පුද්ගලයන් දෙදෙනකු මෝටර් රථයට ගොඩ වනු ඇති බවත් සැකකරුට පවසා තිබූ බව පොලිසිය කියයි. ස්ථානයට ගොස් මෝටර් රථය නැවතීමත් සමගම නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ මෝටර් රථයට ගොඩවී ඉදිරිපස සිටි පුද්ගලයාගේ මග පෙන්වීම අනුව කටුබැද්ද සොයිසා පුර හෝටලය අසලට පැමිණීමේදී හෝටල් හිමිකරු හෝටලේ ඉදිරිපිට රැඳී සිටි බවත්, ඔහු හෝටලය තුළට යාමත් සමගම වෙඩික්කරු මෝටර් රථයෙන් බැස වෙඩි තබා නැවතත් පැමිණ මෝටර් රථයට ගොඩ වීමත් සමගම තමන් මෝටර් රථය වේගයෙන් පැදවූ බවත්, එම අවස්ථාවේදී කටුබැද්ද ප්‍රදේශයේදී මෝටර් රථය යතුරු පැදියක ගැටී අනතුරට ලක් වූවත් නොනවත්වා ධාවනය කළ බවත් සැකකරුගෙන් අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.


මද දුරක් පැමිණීමේදී මෝටර් රථයේ රෝදයක හුළං බැසයාම හේතුවෙන් ලොරියකට වෙඩි තබා නතර කිරීමට උත්සාහ කළ ද, එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් යතුරුපැදියක් කොල්ලකා තිදෙනාම එහි නැග පිළියන්දල නගරය තෙක් පැමිණ, තමන් වට මාවත ප්‍රදේශයේදී එයින් බැස ත්‍රිරෝද රථයක නැග රුවන් නමැත්තාට ඇමතුමක් ලබාගත් බවත්, ඔහු තමන්ට නිවසට යන ලෙස උපදෙස් ලබා දුන් බවත් සැකකරුගෙන් වැඩිදුරටත් අනාවරණය වී යැයි පොලිසිය කියයි.


එම අපරාධය සඳහා මෝටර් රථය පැදවීම වෙනුවෙන් 19 වැනි දින රුපියල් ලක්ෂයක මුදලක් හා 20 වැනි දින රුපියල් ලක්ෂ දෙකක මුදලක් තමන් වෙත ලැබුණු බව සැකකරුගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිසිය කීය.


0 comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.