ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න
හබරාදූව කොග්ගල දුම්රිය හරස් මාර්ගයක් හරහා අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීම නිසා දුම්රියේ ගැටීමෙන් පාසල් සිසුන් දහතුන් දෙනකු තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ පෞද්ගලික බස් රථයේ මාර්ග බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි තාවකාලිකව අවලංගු කිරීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති විශ්රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පවසයි.
කොට්ටාව සමන්පුර උපකාරක පන්තියක සිසුන් ගුරුවරුන් හා මවුපියන් ඇතුළු 61 දෙනකු මෙම චාරිකාවට සහභාගී වී සිට ඇති අතර ඔවුන් ඉකුත් 25 වැනිදා අලුයම කොට්ටාවේ සිට ගාල්ල බලා අධිවේගී මාර්ගයෙන් ගොස් ඇතැයි හෙළිවිය.පසුව ඔවුන් කොග්ගල මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ කෞතුකාගාරය නරඹා දිවා ආහාරය සඳහා යළි පිටතට පැමිණීමේ දී තංගල්ලේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්රගාමී දුම්රිය බස් රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුව තිබුණි.
ඒ වන විටත් දුම්රිය හරස් මාර්ගයේ රතු පැහැති විදුලි සංඥා ක්රියාත්මක වී තිබූ අතර ඒ පිළිබඳව තැකීමක් නොකර අපරීක්ෂාකාරි ලෙස බස් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කර ඇතැයි මූලික විමර්ශන වලදී අනාවරණය විය.පසුව අනතුරින් තුවාල ලැබූ සිසුන් දහතුන් දෙනකු උණවටුන සහ කරාපිටිය රෝහල්වලට ඇතුළත් කළ අතර ඉන් එක් සිසුවකගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය වාර්තා වීමත් සමඟ විමර්ශනයක් ආරම්භ කළ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියට කරුණු අනාවරණය වී ඇත්තේ එම බස් රථය රුක්මල්ගම පිටකොටුව 138 මාර්ගයේ මගින් ප්රවාහනය කරන බස් රථයක් බවයි.එවන් බස් රථයක් පෞද්ගලික චාරිකාවක් සඳහා පිටව යන්නේ නම් ඒ සඳහා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියෙන් චාරිකා බලපත්රයක් ලබාගත යුතුය.
එහෙත් එම චාරිකා බල පත්රය හෝ නොගෙන මෙම චාරිකාව ගොස් ඇති බවට කරුණු අනාවරණය වීම නිසා වහාම ක්රියාත්මක වන පරිදි එම බස් රථයේ මාර්ග බල පත්රය තාවකාලිකව අවලංගු කිරීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති විශ්රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පවසයි.
සිද්ධියට සම්බන්ධ 41 හැවිරිදි රියැදුරු සහ 21 හැවිරිදි කොන්දොස්තරවරයා හබරාදූව පොලිසිය මගින් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියහ.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.