අයිස් මත්ද්රව්යවලට ඇබ්බැහි වී ඇතැයි කියමින් අධිකරණයට ඉදිරිපත් කළ බාලවයස්කාර අයියා-නගෝ බාරදිය හැකි ඥාතීන් කවුරුන් ද? යන්න සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කිරීමට මාලිගාකන්ද මහේස්ත්රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය කොළඹ පරිවාස නිලධාරිනියට ඊයේ (29) නියම කළාය.
අයිස් මත්ද්රව්ය ළඟ තබාගත් බව පවසමින් පරිවාස භාරයට පත් කර සිටි වයස අවුරුදු 14 සහ 12 වැනි වියේ පසු වූ බාලවයස්කාර අයියා - නගෝ දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත් ත්වරිය එලෙස නියම කළාය.
නඩුව කැඳවූ අවස්ථාවේ දී අයිස් මත්ද්රව්යවලට ඇබ්බැහි වී ඇතැයි කියමින් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත් කර සිටි වයස අවුරුදු 14 12 වැනි වියේ බාලවයස්කාර අයියා - නගෝ දෙදෙනා බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුහ.
මෙම දෙදෙනා පාසල් නොයන බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මාදම් පිටිය පොලිසියේ නිලධාරීන් විසින් කරන ලද විමර්ශනයක් අතරතුර වයස අවුරුදු 14 සහ 12 වැනි වියේ පසු වූ බාලවයස්කාර අයියා - නගො දෙදෙනා පරීක්ෂා කිරීමක දී ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය මිලිග්රෑම් 220 ක් සොයා ගැනීමත් සමඟ මෙම දෙදෙනා පොලිස් බාරයට ගෙන තිබිණි.
ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා අධිකරණ වෛද්ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අයියා - නගෝ දෙදෙනාම අයිස් මත්ද්රව්ය වලට ඇබ්බැහි වී ඇති බවට වාර්තා කර තිබිණී. ඒ බව අධිකරණයට වාර්තා කරමින් ළමයින් දෙදෙනා පරිවාස භාරයට පත් කරනු ලැබ සිටියහ.
නඩුව කැඳවූ අවස්ථාවේ දී දරුවන්ගේ මව සහ ළඟම ඥාතීහු කිහිප දෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
කොළඹ පරිවාස නිලධාරීනි කත්පිලා මෙත්තානන්ද මහත්මිය ළමයින් දෙදෙනා සම්බන්ධයෙන් කරන ලද පරිවාස වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මීට වසර 05කට පමණ පෙරදී ඉතා හොඳ පවුල් පරිසරයක් තුළ මෙම ළමයින් හැදී වැඩී ඇති බවත් දරුවන්ගේ
පියා පිළිගත් හොඳ රැකියාවක් කළ අයකු බවත් අධිකරණයට දැනුම් දුන්නේය.
එසේ තිබිය දී ළමයින්ගේ වැඩිමල් අක්කා වයස අවුරුදු 16දි මත්ද්රව්ය වලට ඇබ්බැහි වූ තරුණයකු සමඟ පලාගොස් ඇති බවත් පසුව දියණිය ද මත්ද්රව්ය වලට ඇබ්බැහි වී ඇති බවත් ඉන් සිත් තැවුලට පත් පියා ද මත්ද්රව්යවලට පෙළැඹී ඇති බවත් පරිවාස නිලධාරිනි කත්මිලා මෙත්තානන්ද මහත්මිය සඳහන් කළාය. ඒ අතර කාලයේ මත්ද්රව්ය වරදකට පියා බන්ධනාගර ගත වී ඇති බවත් ඒ අතර කාලයේ දී ගෙදරින් පැනගොස් සිටි වැඩිමහල් දියණිය මත්ද්රව්ය වලට ඇබ්බැහි වූ සිය සැමියා ද සමග යළි නිවසට පැමිණ එහි පදිංචි වී ඇති බවත් දැනුම් දුන්නාය.
මත්ද්රව්ය සිද්ධියෙන් බන්ධනාගර ගතවී සිටි පියා නිදහස ලබා නිවසට පැමිණි පසු ඔහු මත්ද්රව්ය වලට ඇබ්බැහි වී සිටි සිය වැඩිමල් දියණිය සහ සැමියා නිවසින් එළවා දමා ඇති බවත් අධිකරණයට වාර්තා කළ පරිවාස නිලධාරීනි කත්පිලා මෙත්තානන්ද මහත්මිය මින් කෝපයට පත්ව සිටි සැකකාර බාලවයස්කාර දරුවන්ගේ අක්කා බාලවයස්කාර දරුවන් මත්ද්රව්ය වලට හුරුකරු ඇතැයි ද දැනුම් දුන්නාය.
බාලවයස්කාර දරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ධම්මික රත්නායක මහතා කරුණු දක්වමින් දරුවන්ගේ ළගම ඥාතීන් අධිකරණයේ පෙනී සිටින හෙයින් දරුවන්ගේ බාරකාරත්වය ඔවුන්ට පවරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරිය දරු දෙදෙනාගේ බාරය සහ රැකවරණය වෙනුවෙන් බත්තරමුල්ල ළමා මහේස්ත්රාත් උසාවියේ නඩුවක් පැවැරීමට මාදම් පිටිය පොලිසියට නියම කළාය "දරු දෙදෙනා බාරදිය හැකි ඥාතීන් කවුරුන්ද? යන්න සොයා බලා බත්තරමුල්ල ළමා මහේස්ත්රාත් උසාවියට වාර්තාවක් ඉදිරිපත් කිරීමට පරිවාස නිලධාරි නියට ද නියමිත දිනයේ දී දරු දෙදෙනා ළමා මහේස්ත්රාත් උසාවියට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට ද නියම කළ මහෙස්ත්රාත් වරිය එතෙක් දරු දෙදෙනා පරිවාස බාරයට පත් කළාය.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.