Friday, October 30, 2026

අලුත් අපරාධ පනතින් මානව හිමිකම් උල්ලංඝනය වීමේ අවදානමක්

 


 ඩේලි මිරර් ඇසුරිනි


ශ්‍රී ලංකා රජය විසින් 2026 ඔක්තෝබර් 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ සූරාකෑම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවීමේ දැඩි අවදානමක් පවතින බව ‘හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය පෙන්වා දෙයි.


රජය විසින් මින් පෙර පැවැති මර්දනකාරී නීති සම්පුර්ණයෙන්ම අහොසි කරන බවට පොරොන්දු වී තිබුණ ද, ඔක්තෝබර් 06 වන දින ඉදිරිපත් කරන ලද 'ත්‍රස්ත වාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ මෙම නව සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත මඟින් සිදුකර ඇත්තේ අතීත ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතියේ තිබූ මානව හිමිකම් කඩ වන දරුණු හා අමානුෂික වගන්තිම නැවත අලුත් වටයකින් ක්‍රියාත්මක කිරීම යැයි හියුමන් රයිටීස් වොච්' සංවිධානය පැහැදිලි කර ඇත.


මෙම පනත් කෙටුම්පත් මගින්, රජයේ පොරොන්දුවලට පටහැනිව, අතීතයේ මෙන්ම ඉදිරියටත් රට තුළ අත්තනෝමතික ලෙස මානව හිමිකම් උල්ලංඝනය වීමට අවශ්‍ය නීතිමය පසුබිම දිගටම පවත්වාගෙන යෑමට ඉඩ සැලසෙන බව 'හියුමන් රයිට්ස් වොච්' මානව හිමිකර්ම නිරීක්ෂණ සංවිධානය පෙන්වා දෙයි.


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජාතික ජන බලවේගයේ 2024 මැතිවරණ ප්‍රකාශනය මගින් සියලුම " මර්දනකාරී " නීති අහෝසි කිරීමටත්, දිවයිනේ සියලුම ප්‍රදේශවල ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් " තහවුරු කිරීමටත් පොරොන්දු වී ඇත. විශේෂයෙන්ම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ද පොරොන්දු විය.


කෙසේ වෙතත්, පසුගිය දා ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත් දෙකම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අහිතකර තත්වයන් නැවත ප්‍රතිනිර්මාණය කර ඇති අතර, සාමාන්‍ය අපරාධ නීතියෙන් පිටත සහ මූලික ආරක්ෂක විධි විධාන නොමැතිව සමාන්තර නීතිමය ව්‍යූහයන් නිර්මාණය කිරීමට කටයුතු කර ඇතැයි හියුමන් රයිට්ස් වොච්' සංවිධානය පවසයි.


"ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මඟින් ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් හෝ අපරාධ වරදක් පිළිබඳ පැහැදිලි සාක්ෂියකින් තොරව දීර්ඝ කාලයක් අත්අඩංගුවේ තබා ගැනීමට ඉඩ සැලසෙන අතර, පොලිසිය ලබා ගන්නා පාපෝච්චාරණ මත පදනම්ව දඬුවම් නියම කිරීමට ඉඩ දීමෙන් වධහිංසා පැමිණවීම් උදෙසා අනුබල ලැබෙනු ඇත " යැයි හියුමන් රයිටීස් වොච්' සංවිධානයේ ආසියානු අධ්‍යක්ෂිකා ඉලේන් පියර්සන් අවධාරණය කර ඇත. "මෙම නීතිය දැනට පවතින ආකාරයෙන්ම සම්මත වුවහොත්, මීට පෙර පැවැති දරුණු නීති මෙන්ම බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය වීමේ අවදානමක් මතු වෙනවා " යැයි ඇය වැඩි දුරටත් කියා සිටී.



0 comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.