ප්රතිමිත තාක්ෂණය භාවිත කරමින් කාන්තා වෛද්ය සිසුවියක ලෙස පෙනී සිටිමින් විදෙස්ගතව සේවය කළ හැත්තෑ එක් හැවිරිදි පුද්ගලයෙකු රවටා මුදල් සහ ත්යාග ලබාගත් තරුණයෙකු සහ ඊට අනුබල දුන් පුද්ගලයෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වෙන්වලපුව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම වයසක පුද්ගලයා ඉතාලියේ සේවය කරන අතරතුර අන්තර්ජාලය හරහා තික්ෂාණි ප්රමෝද්යා නම් තරුණියක ලෙස පෙනී සිටි ප්රධාන සැකකරු සමඟ මිත්ර වී ඇත. තමන් වැන්දුරඹ ප්රදේශයේ කුඩා නිවසක මව සමඟ ජීවත් වන වෛද්ය සිසුවියක බව පවසමින් සැකකරු එම පුද්ගලයාගෙන් ආධාර ඉල්ලා ඇති අතර, වෛද්ය සිසුවියකගේ ඇඳුමින් සැරසුණු ඡායාරූප ද ඔහු වෙත යවා තිබේ.
මෙම වංචාවට හසු වූ විදෙස්ගත සේවකයා ඇය සමඟ ශ්රී ලංකාවේ ජීවත් වීමේ බලාපොරොත්තුවෙන් සැකකරුට මුදල් සහ විවිධ ත්යාග යවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. පසුගිය ඔක්තෝබර් විසි හවන දින දිවයිනට පැමිණි එම පුද්ගලයා ඇයව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වීම නිසා ගාල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම ප්රධාන සැකකරු තික්ෂාණි ප්රමෝද්යා නමින් පෙනී සිටි විසි එක් හැවිරිදි ජංගම දුරකථන අලෙවිසැලක සේවකයෙකු බවත්, කෘතිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් කාන්තා හඬකින් අදාළ වින්දිතයා සමඟ දුරකථනයෙන් කතා කර ඇති බවත්ය.
මෙම වංචාවට උදව් කළ ජංගම දුරකථන අලෙවිසැලේ හිමිකරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර ඇත. ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්. කේ. එස්. රූපසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක බී. වී. විජේසිරි, උප පොලිස් පරීක්ෂක ප්රේමකුමාර සහ සැරයන් අරුණ යන නිලධාරීන් විසින් මෙම වැටලීම සහ වැඩිදුර පරීක්ෂණ පවත්වන ලදී.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.