නිෂෙල් ප්රනාන්දු (ඬේලි ම්රර්)
රාජ්ය ව්යවසාය පනත් කෙටුම්පත ද ඇතුළු පනත් කෙටුම්පත් රාශියක් කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන්, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව තුළ සිරවී ඇති බැවින්, එම සිරවීම නිසා මෙම වසර අවසන්වීමට එම පනත් කෙටුම්පත් සම්මත කරගැනීමට රජය තබා තිබූ බලාපොරොත්තු අවිනිශ්චිත යැයි කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පවසයි.
අමාත්යවරයා මේ බව අනාවරණය කළේ ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළඳපොළ එක්ව සංවිධානය කළ ආයෝජක හමුවේදී අදහස් දක්වමිනි.එම ආයෝජක සමුළුවේ දී, රාජ්ය ව්යවසාය පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට කොතරම් කාලයක් ගත වේදැයි නැගුණු ප්රශ්නයකට පිළිතුරු දෙමින්, අමාත්යවරයා පැහැදිලි කළේ,රාජ්ය ව්යවසාය පනත් කෙටුම්පත ද ඇතුළුව තවත් පනත් කෙටුම්පත් විශාල ප්රමාණයක් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව තුළ ගොඩගැසී සිරවී ඇති බවය.
එළැඹෙන නොවැම්බර් මස මුල් සතියේ පාර්ලිමේන්තු වාරය ආරම්භ වීමට නියමිත අතර, වසර අවසානයට පෙර රාජ්ය ව්යවසාය පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට රජය අපේක්ෂා කළ ද එය සාර්ථක වේදැයි යන්න තමන්ට ස්ථිරවම කිව නොහැකි බව ද අමාත්යවරයා එම අවස්ථාවේදී පිළිගත්තේය.
“ පළමුවෙන්ම අපට මෙය නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවෙන් නිදහස් කර ගැනීමට සිදුවෙනවා. එසේ වුවහොත් වශයෙන් අවම අපට මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවන්නේ" යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පැවසීය.
පනත් කෙටුම්පත මගින් තෝරාගත් රාජ්ය ව්යවසායන් එක් ව්යුහයක් යටතට ගෙනවිත් සීමිත වගකීම් සහිත සමාගම් ලෙස ලියාපදිංචි කිරීමට හැකි වන අතර, ඒ හරහා වෙළෙඳපොළ තත්වයට අනුව ස්වාධීනව තීරණ ගැනීමට එම ආයතනවලට බලය හිමිවෙයි. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ සති දෙකක් ඇතුළත රාජ්ය ව්යවසාය පනත අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් සංශෝධන පනත් කෙටුම්පත් ලබන පෙබරවාරි වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බවත්ය.
එසේම රජයේ ආදායම් පාලන සංශෝධන වල කොටසක් වන රේගු ආඥාපනතේ සංශෝධන ද දැනට මෙම දෙපාර්තමේන්තුව සතුව පවතී. විශ්රාමික අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් සමාලෝචන කමිටුවේ නිර්දේශ පදනම්ව මෙම පනත් කෙටුම්පත සකස් කරන ලෙස අමාත්ය මණ්ඩලය නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දුන්නේ ඉකුත් ජුනි මාසයේදීය.
ඉන් මාස හතරකට පසු ජනාධිපතිවරයා පැවැසුවේ,යෝජිත සංශෝධන දෙපාර්තමේන්තුව වෙත යවා ඇති අතර එම පනත් කෙටුම්පත ඉක්මනින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවය. මේ අතර, රාජ්ය දේපළ කළමනාකරණ පනත් කෙටුම්පත නැවතත් මුල සිට සකස් කිරීමේ අදියරට පැමිණ ඇත. මෙම පනත් කෙටුම්පත 2024 අගෝස්තු මාසයේදී ගැසට් පත්රයේ පළ කළද, මාස දෙකකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග එය අහෝසි විය.
ඒ අනුව, 2024 සංස්කරණය අත්හිටු වීමට අමාත්ය මණ්ඩලය පසුගියදා තීරණය කළ අතර, විද්වත් කමිටුවක් විසින් සකස් කරන ලද සංශෝධිත රාමුවක් මත පදනම්ව නව කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දෙන ලදී.
කම්කරු අමාත්යවරයා ලෙස ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් මෙම වසර අවසාන වන විට අවසන් කිරීමට ඉලක්ක කළ ඒකාබද්ධ කම්කරු පනත තවමත් විද්වත් කමිටුවක් මගින් සකස් කරමින් පවතින අතර, එය අවසන් කිරීමට පෙර ජාතික කම්කරු උපදේශක සභාව හමුවට ඉදිරිපත් කළ යුතුව ඇත.
මීට අමතරව, රාජ්ය - පෞද්ගලික හවුල් ව්යාපාර පනත් කෙටුම්පතේ කටයුතු වේගවත්ව සිදු වී තිබේ. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර, නීතිපතිවරයාගේ අනුමැතිය ද ලැබූ එම පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ගැසට් පත්රයේ පළ කිරීම සඳහාබපසුගිය සතියේ අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි විය.
2025 වසරේ, අධිකරණ අමාත්යාංශයේ, කාර්යසාධන වාර්තාවට අනුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් 2025 වසරේදී භාෂා ත්රිත්වයෙන්ම අවසන් කර ආපසු යවා ඇත්තේ පනත් කෙටුම්පත් 35ක් පමණි. එය 2024 වසරේ අවසන් කළ කෙටුම්පත් 60 හා සැසඳීමේදී සියයට 42ක අඩුවීමකි. එසේම අනුබද්ධ නීති සංශෝධනය කිරීම ද 124 සිට 104 දක්වා පහත වැටී ඇත. දෙපාර්තමේන්තුව තුළ පවතින දැඩි කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් නීතිමය සංශෝධනවල ප්රගතියට බාධා එල්ල වී ඇති බව අධිකරණ අමාත්යාංශය පිළිගෙන තිබේ.
දෙපාර්තමේන්තුවේ නවතම කාර්යසාධන වාර්තාවට අනුව, 2024 වසර අවසාන වන විට අනුමත තනතුරු 154 න් 62 ක් ම පුරප්පාඩුව පැවැති අතර එය සියයට 40 ක පුරප්පාඩු ප්රතිශතයකි. ජ්යෙෂ්ඨ මට්ටමේ අනුමත තනතුරු 47 න් 24 කම පුරවා නොතිබූ අතර, ඊට නියෝජ්ය නීති කෙටුම්පත් සම්පාදක තනතුරු 3 ක්ද ඇතුළත් විය. ජ්යෙෂ්ඨතම කෙටුම්පත් සම්පාදකයන් බොහොමයක් විශ්රාම ගොස් ඇති බවත්, පවතින අධික වැඩ බරට සාපේක්ෂව වැටුප් මට්ටම් අඩුවීම නිසා නව බඳවා ගැනීම් සිදු කළ ද ඔවුන් රැකියාවෙන් ඉවත් වන බවත් එම වාර්තාවේ දැක්වෙයි.
කෙසේ වෙතත්, අධිකරණ අමාත්යාංශයේ දත්ත වලට අනුව මෙම ප්රමාදයන්ගෙන් වැඩි ප්රමාණයක් සිදු වන්නේ දෙපාර්තමේන්තුවට බාහිරවය. 2025 වසර අවසාන වන විට, මූලික හෝ අවසන් කළ කෙටුම්පත් ලෙස යවන ලද පනත් කෙටුම්පත් 74 ක් සම්බන්ධයෙන් අදාළ නිරීක්ෂණ හෝ උපදෙස් ලැබෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටි අතර, ඉන් 13 ක් නීතිපතිවරයාගෙන් ද, 61 ක් වෙනත් අමාත්යාංශ සහ දෙපාර්තමේන්තුවලින්ද ලැබීමට තිබිණි. එය දෙපාර්තමේන්තුව විසින් වසර තුළ අවසන් කරන ලද සමස්ත කෙටුම්පත් සංඛ්යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි.
අවසන් කරන ලද කෙටුම්පත් නැවත නැවතත් දෙපාර්තමේන්තුව වෙත එවීම සඳහා ප්රධාන වශයෙන් හේතු වී ඇත්තේ, උපදෙස් ලබාදෙන ආයතන විසින් තමන්ගේ ප්රතිපත්ති නිතර වෙනස් කිරීමය. 2024 වාර්තාවට අනුව, ජාතික ගොඩනැගිලි පරේක්ෂණ සංවිධාන පනත් කෙටුම්පත සංශෝධන සඳහා 24 වතාවක්ද, සත්ව සුබසාධන පනත් කෙටුම්පත 21 වතාවක් ද ආපසු එවා ඇති අතර, ඒ සෑම අවස්ථාවකදීම අලුත් ඉල්ලීමකට වැය වන කාලය සහ අවධානයම ඊට ද ලබාදීමට සිදු වී ඇත.
අමාත්ය මණ්ඩලය ප්රතිපත්ති අනුමත කළ පසු ලැබෙන අමාත්යංශ ඉල්ලීම් මත වැඩකටයුතු සිදුවන බැවින්, දෙපාර්තමේන්තුවටම වෙන් වූ සැකසුම් ගත වැඩසටහනක් නොමැති බවද එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි. මීට අමතරව, සෑම පනතක්ම අදාළ අමාත්යාංශයට හෝ දෙපාර්තමේන්තුවට නිදහස් කිරීමට පෙර සිංහල, දෙමළ සහ ඉංග්රීසි යන භාෂා ත්රිත්වයෙන්ම අවසන් කළ යුතු වීම නිසාද කාලය වැඩිපුර ගත වන බව පැවැසෙයි.ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව සියලුම පනත් සහ අනුබද්ධ නීති, ඉංග්රීසි පරිවර්තනයක් සමගින් සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම ප්රකාශයට කිරීම අනිවාර්ය වෙයි.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.