Thursday, October 29, 2026

ප්‍රධාන සංචාරක කලාප ආවරණය වන පරිදි අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් පුළුල් කිරීමට පියවර

 

 


මෙරට ප්‍රධාන සංචාරක ගමනාන්ත වෙත ගමන් කිරීමේ පහසුව තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් දියුණු කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.   ත්‍රිකුණාමලය, මඩකලපුව, සීගිරිය සහ යාපනය වැනි දිවයිනේ ප්‍රමුඛ පෙළේ සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශ කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත. සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම හමුවේදී ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ.  


 වසර 2030 වන විට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන පහ දක්වා ඉහළ නංවා ගැනීමටත්, එමඟින් ඇමරිකානු ඩොලර් බිලියන දහයක ආදායමක් උපයා ගැනීමටත් අපේක්ෂිතය. එමෙන්ම ජාත්‍යන්තර ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දැනට ක්‍රියාත්මක නව ගුවන් සේවාවලට අමතරව එම සංඛ්‍යාව පනහ දක්වා වැඩි කර ගැනීමටද යෝජනා වී ඇත.   සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක ගෝලීය ප්‍රචාරක ව්‍යාපාරවල ප්‍රගතිය මෙන්ම වනාන්තර සම්පත් සුරකිමින් ජාතික වනෝද්‍යාන සංචාරක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම පිළිබඳවද සාකච්ඡාවට ලක්ව තිබේ. විදේශිකයන් විසින් නීති විරෝධී ලෙස පවත්වාගෙන යන ව්‍යාපාර පාලනය කිරීම සහ සියලුම නවාතැන් සපයන්නන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමටද නියමිතය.   මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක යන මහත්වරුන් ඇතුළු ක්ෂේත්‍රයේ නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ. 

0 comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.