Thursday, October 29, 2026

ධීවර යාත්‍රා 2ක 7ක් මූදේදී අතුරුදන්

 

රොමේෂ් මධුෂංක


මහ මුහුද මැදදී අතුරුදන්වූ ධීවර යාත්‍රා දෙකක ධීවරයන් හත් දෙනකු අතුරුදන් වී ඇතැයි නාවික හමුදාව සහ මුලතිව් පොලිසිය පැවසීය.තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් සහ මුලතිව්, පුදුමාත්තලන් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා දෙකක් මෙලෙස අතුරුදන් වී ඇත.


තංගල්ල, කුඩවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ධීවරයන් සිව් දෙනකු සමග මහ මුහුද මැද දී අතුරුදන්ව ඇති අතර, මුලතිව්, පුදුමාත්තලන් ප්‍රදේශයෙන් යාත්‍රාවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයෝ තිදෙනෙක් මෙලෙස අතුරුදන් වී සිටිති.


තංගල්ල, කුඩවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක ධීවරයන් සිව් දෙනකු සමග මහ මුහුද මැද දී අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලක් අනුව නාවික හමුදාව හා ගුවන් හමුදාව මහ මුහුද මැද සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

 ඉකුත් 21 වැනිදා එම යාත්‍රාව මුහුදු ගොස් තිබෙන අතර, ඉන් පසුව පසුගිය 23 වැනිදා දක්වා යාත්‍රාවේ හිමිකරු සමග සන්නිවේදන කටයුතු පවත්වා ගෙන ගොස් ඇතැයි අනාවරණය වී ඇත. එදින සිට සන්නිවේදන කටයුතු අඩාළ වී තිබෙන අතර, මේ වන තෙක් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව කියති.


මේ හේතුවෙන් අතුරුදන්ව ඇති යාත්‍රාව හා එහි සිටි ධීවරයන් සොයා නාවික හමුදාව හා ගුවන් හමුදාව මුහුද මැද සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.මේ පිළිබඳව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතාගෙන් විමසූ විට කියා සිටියේ, මුහුදේ පවතින අයහපත් කාලගුණික තත්වය ස්වභාවය හා මුහුදේ රළු මෙහෙයුම් කටයුතු වලට බාධාවක්ව පවතින බවයි.කෙසේ වෙතත් වෙරළාසන්නයේ ද නාවික හමුදා භට කණ්ඩායම් යොදවා මෙහෙයුම් කටයුතු තව දුරටත් සිදු කර ගෙන යන බව වලාකුළුගේ මහතා වැඩිදුරටත් කීය.


මේ අතර අයහපත් කාලගුණික තත්වයට මුහුණ පෑ මෙරට ධීවර යාත්‍රා 25 කට පමණ ඉන්දීය සීමාවට ඇතුළු වීමට අවසර දී තිබෙන බව පෙරේදා (27) විදෙස් මාධ්‍ය වාර්තා කළේය.මේ අතර මුලතිව් මුහුදු තීරයේදී අතුරුදන් වූ ධීවරයන් තිදෙනා සෙවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් දියත් කර ඇතත්, මේ වනතුරුත් අතුරුදන් වූ ධීවරයන් පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවට මුලතිව් පොලිසිය පැවසීය.


මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශයෙන් 26දා MLT1742 දරන යාත්‍රාවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයෝ තිදෙනෙක් මෙලෙස අතුරුදන් වී සිටිති.මෙලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 27, 28 සහ 54 වයස්හි පසුවන ධීවරයන් වන පුදුමාතලන්හි පදිංචි ඒ. ජූඩ්, යාපනයේ පදිංචි ශ්‍රී පුපරාසා සහ මන්නාරමේ පදිංචි එම්. රිවාන් නමැති ධීවරයන් බව හඳුනාගෙන ඇත.

 

කෙසේ වෙතත් අතුරුදන් වූ ධීවරයන් සෙවීමට ධීවරයන් ගත් උත්සාහය අසාර්ථක වූ බැවින් මුලතිව් පොලිසිය හරහා නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට දැනුම් දීමෙන් අනතුරුව සෙවීම් සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ. එහෙත් පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් සෝදිසි මෙහෙයුම්වලට බාධා එල්ල වුවද අමතරව ගුවන් මාර්ගයෙන්ද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ගුවන් හමුදාව පියවර ගෙන ඇති අතරම, ධීවරයන් සෙවීම සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් යොදා ගැනීමටද පියවර ගෙන තිබේ.


 

මේ අතර අතුරුදන් වූ ධීවරයන්ගේ ඥාතීහු මේ වන විට පුදුමාතලන් මුහුදු වෙරළතීරයට රැස්ව ධීවරයන් පැමිණෙන තෙක් බලා සිටිමින් ඔවුන් කෙසේ හෝ ලෙස බලධාරීන්ගෙන් සොයා දෙන ඉල්ලා සිටිති.




0 comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.