ශ්රීනාත් ප්රසන්න ජයසූරිය
කොළඹ මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ අණ පනත් අනුව රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන සිටින ප්රධාන පෙළේ මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව පැවසෙන ශිරාන් බාසික් නමැත්තාට ඇමතුමක් ගැනීමට දුරකථනය ලබාදී රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත්තේ යැයි කියන එම කොට්ඨාසයේ රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙක් පෙරේදා (28) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අල්ලස් වශයෙන් ලබාගත්තේ ඇයි කියන ලක්ෂ දෙකක මුදලද සැකකාර කොස්තාපල්වරයාගෙන් ප්රශ්න කර හෙළිකර ගත් තොරතුරු මත සොයා ගන්නා ලදැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. සැකකාර කොස්තාපල්වරයා පරිහරණය කළ නවීන පන්නයේ ජංගම දුරකථන තුනක් ද පොලිස් භාරයට ගෙන ඇත.
විමර්ශන පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේද කොළඹ මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසිනි. ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙ රටට රැගෙනවිත් ත්රස්තවාදය වැළැක්වීමේ පනත ප්රකාරව රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන සිටින ප්රධාන පෙළේ මත්ද්රව්ය ජාවාරම්කරුවකු බවට පැවසෙන ශිරාන් බාසික් නමැත්තා සම්බන්ධයෙන් කොළඹ මධ්යම අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි. මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ සිර මැදිරියක රඳවා තබාගෙන සිටින මෙම ගිරාන් බාසික් නමැත්තාගේ ආරක්ෂාවට පසුගිය 25 දා සවස හයේ සිට පසුදින උදෑසන හය දක්වා පොලිස් කොස්තාපල්වරයකු ආරක්ෂක රාජකාරියේ යොදවා ඇත.
මෙම පොලිස් කොස්තාපල්වරයා විසින් හිරාන් බාසික් නමැත්තාට දුරකථන ඇමතුමක් ලබා ගැනීම සඳහා සිය ජංගම දුරකථනය ලබා දීමෙන් පසු ඔහු සිර මැදිරියේ වැසිකිළිය තුළට ගොස් ඔහුට අවශ්ය පුද්ගලයාට ඇමතුම් ලබාගෙන තිබෙන බව එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.ශිරාන් බාසික් නමැත්තාට මෙම ඇමතුම ලබා ගැනීමට ජංගම දුරකථන පහසුකම් ලබාදීම වෙනුවෙන් ලක්ෂ දෙකක මුදලක් සැකකාර පොලිස් කොස්තාපල්වරයාට ලබාදෙන බවට පොරොන්දු වී තිබෙන බවද පොලිස් ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළේය.
ඇමතුම ලබා ගැනීමෙන් පසු ශිරාන් බාසික් නමැත්තා බොරැල්ල ප්රදේශයට යන ලෙසත් එහිදී හමුවන පුද්ගලයකු ලක්ෂ දෙකක මුදල ලබාදෙන බවත් පොලිස් කොස්තාපල්වරයාට දැනුම් දී ඇතැයි කියයි. ශිරාන් බාසික්ගේ එම දැනුම්දීම අනුව පොලිස් කොස්තාපල්වරයා බොරැල්ල ප්රදේශයට ගොස් සිටියදී පැමිණි අයකු ලක්ෂ දෙකක මුදල ලබා දී තිබෙන බව පරීක්ෂණ වලින් තොරතුරු අනාවරණය විනැයි ද එම පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ තිබී අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන මුදලින් පන්දහක මුදලක් පොලිසිය විසින් සොයාගනු ලැබීය. අල්ලස් වශයෙන් ලබාගත් එම මුදලින් ඉතිරි මුදල වූ එක් ලක්ෂ අනූ පන්දහසක මුදල සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ නිවෙසේ සඟවා තිබියදී කොළඹ මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සොයාගනු ලැබීය.
මෙම මුදල සොයා ගනු ලැබුවේ සැකකාර පොලිස් කොස්තාපල්වරයාගෙන් පොලිසිය ප්රශ්න කර හෙළි කර ගත් තොරතුරු අනුවය.සැකකාර පොලිස් කොස්තාපල්වරයා ළඟ තිබියදී සොයාගත් ඔහු පරිහරණය කළ ජංගම දුරකථන ඇමතුමට ලැබුණු සහ ඔහු විසින් ලබා ගෙන ඇති ඇමතුම් සම්බන්ධයෙන්ද කොළඹ මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ සිදු කරගෙන යයි.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.