Tuesday, October 27, 2026

රජයට ගෙවීම නියම කළ වන්දි මුදල් මාස 3ක් තුළ ගෙවීමට නියෝග

 


 රන්ජන් කටුගම්පොල


ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් අධිකරණයට අපහාසයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ හිටපු සෞඛ්‍ය සේවා සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය සුදර්ශන නමැත්තන් කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.


රුපියල් මිලියන 50 බැගින් වූ මුදල් සහ ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇප තැබීමෙන් පසු රටින් පිටවීම වළකාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කළේය.මෙසේ නියෝග කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම මගින් අධිකරණයට අපහාසයක් කර ඇති බව සඳහන් කරමින් විභාගයක් පවත්වා දඬුවම් නියම කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ට්‍රාස්පේරන්සි ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.


 

 අගවිනිසුරු ප්‍රීතී පද්මන් සූරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අවල වෙන්ගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා අධිකරණයට කියා සිටියේ අදාළ මුදලින් රුපියල් මිලියන 20 ක් දැනට ගෙවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් රිසිට් පතක් ඉදිරිපත් කරන බවත් සති දෙකක කාලයක් තුළ ඉතිරි මුදල ගෙවන බවත්ය. 


දෙවැනි වග උත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකයා රුපියල් මිලියන පනහක් ගෙවීමට බලාපොරොත්තු වන බවත් ඉතිරි මුදල් ඉතිරි සතිය තුළ ගෙවන බවත්ය.තුන්වැනි වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ මහතා කියා සිටියේ තම සේවාදායක සියලුම මුදල් ගෙවා ඇති බවත් මෙම නඩුකරයෙන් නිදහස් වීමට අවසර ඉල්ලා සිටින බවත්ය.


සිවුවැනි වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පාරිස් සාලි මහතා කියා සිටියේ තම සේවාදායකයා රුපියල් මිලියන 20 ක් ගෙවා ඇති බවත් ඉතිරි සති දෙක තුළ ඉතිරි මුදල ගෙවන බවත්ය.පස්වැනි වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ථි රූපසිංහ මහතා කියා සිටියේ තම සේවාදායකයා රුපියල් මිලියන දෙකක මුදලක් ගෙවා ඇති බවත් ඉතිරි මුදල ඉදිරි සති දෙක තුළ ගෙවන බවත්ය.


ඒ අනුව මාස තුනක් තුළ මේ සියලුම මුදල් ගෙවන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුනට මෙරටින් පිටවීම වළකාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කළේය.ඊට අමතරව රුපියල් මිලියන පනහක මුදල් සහ ඇපකරුවන් දෙදෙනෙකුගේ ඇප මත වග උත්තරකරුවන් මුදා හැරීමට ද නියෝග කළේය.


ඖෂධ මිලදී ගැනීමේ දී සිදු වූ අක්‍රමිකතාවක් තුළින් කළ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීම වෙනුවෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතා විසින් රුපියල් මිලියන 75 ක්ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න සහ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර හා හිටපු සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය සුදර්ශන අය විසින් රුපියල් මිලියන 50 බැගින් ද රජයට වන්දි ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය මාර්තු 27 වැනිදා තීන්දුවක් දී තිබිණි.


එම තීන්දුවට අනුව වග උත්තර කරුවන් කටයුතු නොකිරීම තුළින් ඔවුන් අධිකරණයට අපහාසයක් කර ඇති බව ද එම පෙත්සමේ සඳහන් වේ.ඒ අනුව අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර කරනු ලැබූ අදාළ වග උත්තරකරුවන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පනත යටතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා ඇත.


පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් නීතිඥ තුෂාරි ජයවර්ධන මහත්මියගේ උපදෙස් මත නීතිඥ සේනානි දයාරත්න මහතා පෙනී සිටියේය "නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සබ්‍රිනා අහමඩ් මහත්මිය පෙනී සිටියාය.


0 comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.