Wednesday, October 28, 2026

මීගමු සිරගෙදර ගැටුමේසදී මියගිය -පූර්ණ ආබාධිත නිලධාරීන්ට ලක්ෂ 50 බැගින් වන්දි

 


නිමල කොඩිතුවක්කු


මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ යටතේ ගෙවනු ලබන වන්දිවලට අමතරව විශේෂ වන්දි මුදලක් ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


ඒ අනුව ජීවිතක්ෂයට පත් වු සහ පූර්ණ ආබාධිත තත්වයට පත් වූ සෑම නිලධරයකුටම රුපියල් මිලියන 5ක් බැගින් වූ වන්දි මුදලක් ගෙවීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.එමෙන්ම අර්ධ - ආබාධිත උපරිම ඉපයීමේ ශක්තිය ක්ෂය වීමේ ප්‍රතිශතය සියයට100ක් වූ තත්වයට පත් වූ නිලධාරියකුට රුපියල් මිලියන 4ක් වූ වන්දි මුදලක් සහ තාවකාලික අර්ධ - ආබාධිත තත්වයට පත් වූ නිලධාරියකුට රුපියල් මිලියන 3ක් වූ වන්දි මුදලක් ගෙවීමට නියමිතය.


මෙයට අමතරව බන්ධනාගාර උපක්‍රමික බළකායට නෛතික තත්වය ලබා දීමට හැකි වන පරිදි යෝග්‍ය විධිවිධාන ඇතුළත් කරමින් බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇත. එමෙන්ම ප්‍රමාණවත් සහ සුදුසු නිලධාරීන් සංඛ්‍යාවක් බන්ධනාගාර උපක්‍රමික බළකායට බඳවා ගැනීම තුළින් එය ශක්තිමත් කිරීම, බන්ධනාගාර උපක්‍රමික බළකාය සඳහා අදාළ ක් ක්ෂේත්‍රයන්හි විධිමත් පුහුණුවක් ලබාදීම සහ අවශ්‍ය නවීන උපකරණ එම බළකාය වෙත ලබාදීම බන්ධනාගාර උපක්‍රමික බළකා මූලස්ථානයක් සුදුසු ස්ථානයක පිහිටුවීමට පියවර ගැනීම සඳහාද කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 


මේ වසරේ ජූලි - 05 සහ 06 දිනයන්හි මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් එහි රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා වන්දි සහ සහන ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම අගෝස්තු - 03 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට පියවර ගනු ලැබීය.අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් එම කමිටු නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය.

0 comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.