Thursday, October 29, 2026

ගජමුතුවක් ලක්ෂ අටකට විකුණන්න හදලා

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


දළ ඇතකු මරා ලබාගත් ගජ මුතුවක් රුපියල් ලක්ෂ අටක මුදලකට අලෙවි කිරීමට උත්සාහ කළ බව කියන ඉබ්බාගමුව ප්‍රදේශයේ සත්ව ගොවිපළක පාලකයින් ලෙස රැකියාව කරන පුද්ගලයෝ දෙදෙනෙක් කුරුණෑගල බඩගමුව වන රක්ෂිතය ආසන්නයේදී වනජීවී දෙපාර්තමේන්තුවේ බස්නාහිර කලාප කාර්යාලයේ සහ වයඹ කලාප කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඒකාබද්ධව සිදු කරනලද වැටලීමකදී පෙරේදා (27) සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.


මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් එක් අයකු තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, අනෙකා රඹුක්කන ප්‍රදේශයේ පදිංචි අයෙකි.ඉබ්බාගමුව ප්‍රදේශයේ සත්ව ගොවිපළක පාලකයින් ලෙස කටයුතු කරන මෙම දෙදෙනාට මෙම ගජ මුතුව ලබා දී ඇත්තේ එම සත්ත්ව ගොවිපළේම පාලකවරයකු ලෙස කටයුතු කළ අයකු බවත්, ඔහු මීට දින හතරකට ඉහතදී ඩෙන්මාර්කයේ සත්ව ගොවිපළක රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළිවිණි යැයි වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.


විදෙස් ගත වූ මෙම පුද්ගලයා මෙම ගජමුතු එක් සැකකරුවෙකු අඅතට පත්කර, එය ලක්ෂ අටක මුදලකට අලෙවි කර, එයින් ලක්ෂ හතරක් තම මස්සිනාට බාර දෙන ලෙස පැවසූ බවත් බඩගමුව වන රක්ෂිතයේ දී සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිකර ඇතැයි කියති.ගජමුතුවද සමග මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේ එයින් එක් අයකුගේ අතේ තිබූ ජංගම දුරකථනයට ඩෙන්මාර්ක රටේ සිට දුරකථන ඇමතුම් ලබා දෙමින් ගජ මුතුව විකුණුවේදැයි විමසීම් කළ බවද එම වනජීවි නිලධාරියා වැඩිදුරටත් කීය.


දළ ඇතෙකු මරා ගජ මුතුව ලබා ගෙන ඇත්තේ කුමන ප්‍රදේශයකදී ද, කුමන වකවානුවකදී යන්න ගැන තවම තොරතුරු හෙළි වී නොමැති අතර, ඒ හා සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පුළුල් පරීක්ෂණ පවත්වති.


ලද තොරතුරක් අනුව උපාය දූතයකු ධනවත් ව්‍යාපාරිකයකු ලෙස යොදවා මෙම සැකකාර පුද්ගලයින් දෙදෙනාට කතාකර ලක්ෂ අටක මුදලකට මෙම ගජමුතු ලබා ගැනීමට එකඟ වීමෙන් පසු ඔවුන් දෙදෙනා එයද රැගෙන බඩගමුව රක්ෂිත ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබ තිබිණි.

වනජීවී දෙපාර්තමේන්තුවේ වයඹ කලාප කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රසාද් විමලදාස මහතාගේ අධීක්ෂණය යටතේ, වනජීවී දෙපාර්තමේන්තුවේ බස්නාහිර කලාප කාර්යාලයේ අඩවි ආරක්ෂක ලසන්ත ගුණවර්ධන, වන ජීවී අඩවි ආරක්ෂක මනෝජ් විද්‍යාරත්න, කුරුණෑගල අඩවි සහකාර M.B. කුලරත්න සහ වනජීවී නියාමක කැලුම් දිසානායක යන මහත්වරු මෙම වැටලීම සිදුකළහ.



0 comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.