Friday, October 30, 2026

හෝමාගම සිද්ධියේ තරුණයාට අපරාධ අංශයේදී කිසියම් පහරදීමක් සිදුවෙලා

 


ගයාන් සූරිය ආරච්චි


හෝමාගම මූලස්ථාන පොලිස් සිරමැදිරියේ සිටිය දී හදිසි අසනීප තත්වයක් මත රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය ඉෂාර හර්ෂණ කුමාර නමැත්තාට අපරාධ විමර්ශන අංශය තුළ දී කිසියම් පහරදීමක් සිදුවී ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින අතර පහරදීමක් සිදුවී ඇති බව බැහැර කළ නොහැකි යැයි බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පැවසීය.


ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල සුහුරුපාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.මෙම තරුණයා ඉකුත් 25 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊට පෙර දින එනම් 24 වැනි දින දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් මත ඔහු පහර කෑමට ලක්ව හෝමාගම රෝහලේ පැය කීපයක් ප්‍රතිකාර ලබා ඇති බව පැවැසූ මැදවත්ත මහතා කියා සිටියේ ඔහු වෛද්‍ය නිර්දේශ නොමැතිව රෝහලෙන් පැන ගොස් ඇති බවය.


ඔහු පහර කෑමට ලක්ව රෝහල්ගත වීමේ දී යතුරු පැදියෙන් වැටී තුවාල ලැබූ බවට රෝහලට දන්වා ඇති බවද පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇති බව මැදවත්ත මහතා කීවේය.ඉෂාර හර්ෂණ නමැත්තාට ඉකුත් 24 වැනි දින පහර දුන් බව කියූ පුද්ගලයන් සහ පොලිසිය තුළ දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බව මැදවත්ත මහතා පැවසීය. එම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවත් එමගින් අනාවරණය වන තොරතුරු අනුව ඉදිරි නීතිමය පියවර ගන්නා බවත් කීය.


දැනට ඇති තොරතුරු අනුව මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයකු වන අතර ඔහු අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටියදී කිසියම් සංකූලතා පෙන්වීම හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබූ බව පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ ඉකුත් 24 වැනි දින පහර දී ඇති සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බවය.


මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ දී නීතිමය කටයුතු නිසි පරිදි සිදු කර නොමැති අතර සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ ශාරීරික තත්වය සටහන් කළ යුතු අතර ඥාතීන්ට දැනුම් දීම සිදු කළ යුතු බව කී මැදවත්ත මහතා එම කටයුතු නිසි පරිදි සිදුවී නොමැති බවද කියා

සිටියේය.රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා මීට මාස 8 කට පමණ පෙර මෙම පොලිස් ස්ථානයට රාජකාරිය සඳහා යොමු කර තිබූ අතර මේ දක්වා මෙම පොලිසියේ කිසිදු පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා නොමැති බව කියා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ හෝමාගම වැනි ජනාකීර්ණ ප්‍රදේශයක පොලිස් ස්ථානයට එම තනතුර සඳහා ඊට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත්කළ යුතුව තිබූ බවය. 


සැකකාර අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා උප්පුවේලි පොලිසියේ රාජකාරී කරමින් සිටියදී පුද්ගලයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන බවද පැවසූ සජීව මැදවත්ත මහතා කියා සිටියේ හෝමාගම හෝ නුගේගොඩ කොට්ඨාසය තුළ රාජකාරී කරමින් සිටිය දී කිසිදු චෝදනාවක් ලබා නොමැති බවය.


සැකකාර අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයාගේ පියා පොලිස්පතිවරයකු නොවන අතර ඔහු විග්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු බවත් හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයා දැනුම් දුන් බවත් සජීව මැදවත්ත මහතා පැවසීය.


මෙම සිදුවීමේදී සැකකරුවන් හා පොලිස් නිලධාරින්ද යන්න පිළිබඳ අපට කිසිදු ගැටලුවක් නොමැති අතර පොලිස් නිලධාරීන්ටත් සාමාන්‍ය පුරවැසියන් හා සමානව නීතිය ක්‍රියාත්මක කරන බව ද බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.මෙහිදී නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා ද අදහස් දැක්වූහ.



0 comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.