කාංචන කුමාර ආරියදාස
ලෝක ප්රකට ක්රීඩකයකුගේ බිරිදක ඓතිහාසික සීගිරි පව්ව ආසන්නයේ රජයේ ඉඩමක් වංචනික ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසර පහක කාලයක් තිස්සේ පරීක්ෂණ පවත්වා ඇතත් තවමත් අවසන් වාර්තාවක් දී නැතැයි දඹුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලය කියයි.
සීගිරිය පව්ව ආසන්නයේ අඩු ආදායම්ලාභීන් සඳහා බෙදා දීමට ඇති රජයේ ඉඩමක්, 2021 වසරේ ව්යාජ ලෙස සැකසූ හැඳුනුම්පත් මෙන්ම පදිංචි සහතික සකසා අඩු ආදායම්ලාභියකු ලෙස පෙනී සිටිමින් ලෝක ප්රකට ක්රීඩකයකුගේ බිරිඳක ලබාගෙන ඇති බව තොරතුරු දැන ගැනීමේ පනත මගින් කළ ඉල්ලීමක දී මුලින් තොරතුරු හෙළි විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා කූට ලේඛන සැකසීමේ සහ වැරැදි තොරතුරු දුන් බව කියන දඹුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්රාම නිලධාරිවරයකුගේ සේවය ද තහනම් කරනු ලැබීය.එහෙත් කූට ලේඛන සකසා රජයේ ඉඩම් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කුමන තත්වයකින් පවතින්නේ ද යන්න තොරතුරු දැන ගැනීමේ පනත යටතේ 2021.03.22 වැනිදා ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසීමේ දී 2021.03.29 වැනිදා ලිඛිතව දැනුම් දී සිටියේ අදාළ තොරතුරු ඇතුළත් ගොනු විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවයි.
මෙම රජයේ ඉඩම් පැවැරීමේ සිද්ධිය පිළිබඳව නවතම තොරතුරු මෙන්ම එහි පරීක්ෂණ කටයුතු පිළිබඳව තොරතුරු කෙසේදැයි අවස්ථා ගණනාවකදීම වාචිකව ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසීම් කළ ද කිසිදු තොරතුරක් නොලැබිණි. සිද්ධියට වසර පහක් ගත වී ඇති වකවානුවක පසුගිය නොවැම්බර් 20 වැනිදා නැවත වරක් තොරතුරු දැන ගැනීමේ පනත අනුව දඹුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් නැවත තොරතුරු විමසීය.
දඹුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරී වන එච්.පී.ඩී. කේ. විජේසිංහ මහතාගේ අත්සනින් යුතුව 2026.10.07 වැනිදා ලිඛිතව දැනුම් දී ඇත්තේ ඉඩම් පැවැරීමට අදාළ දීමනා පත්ර තුනෙහි මුල් පිටපත් 2025.11.13 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශ ඒකක ස්ථානාධිපති වෙත බාරදී ඇති බවයි.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.