Thursday, October 29, 2026

විවාහයක වලංගුභාවය තීරණය කිරීමට විශ්‍රාම වැටුප් බලධාරීන්ට බලයක් නැහැ - අභියාචනාධිකරණය

 


ලියාපදිංචි විවාහයක් අවලංගු බව ප්‍රකාශ කිරීමට, ඒ සඳහා බලයලත් උසස් අධිකරණයකට ඇති අධිකරණ බලය, විශ්‍රාම වැටුප් බලධාරීන්ට පැවරිය නොහැකි බව අභියාචනාධිකරණය මෑතකදී තීන්දු කළේය.


විශ්‍රාමික නාගරික සේවකයෙකුගේ බිරිඳ, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥාපනත යටතේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන බව පිළිගන්නා ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නියෝග කරමින් අධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.


අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ආදිත්‍ය පටබැඳිගේ සහ සසී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.


විශ්‍රාමික සේවකයා සිය දෙවන විවාහයට එළඹෙන අවස්ථාවේ පළමු විවාහය නීත්‍යානුකූලව පවතී තිබුණද, අදාළ නීති සම්පාදනය යටතේ විශ්‍රාම වැටුප් හිමිකම් තීරණය කිරීමේදී, පසුව සිදු වූ පළමු විවාහය අවලංගු කිරීම සැලකිල්ලට ගත යුතු බව විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේය.


මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අවධාරණය කළේ, සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහයක වලංගුභාවය තීරණය කිරීමේ අධිකරණ බලය විශ්‍රාම වැටුප් හිමිකම තීරණය කිරීමේ බලධාරීන්ට පැවරෙන්නේ නැති බවයි.


පෙත්සම්කරුගේ බිරිඳගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකම ප්‍රතික්ෂේප කරමින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයා ලබා දී තිබූ තීරණය, certiorari රිට් ආඥාවක් මගින් බලශූන්‍ය කිරීමට අධිකරණය කටයුතු කළේය.


එමෙන්ම, අදාළ ආඥාපනත යටතේ ඇයගේ හිමිකම පිළිගන්නා ලෙසත්, නීතියෙන් නියමිත ඊට අනුගාමී පියවර ගන්නා ලෙසත් අදාළ විශ්‍රාම වැටුප් බලධාරීන්ට බල කරමින් mandamus රිට් ආඥාවක් ද නිකුත් කෙරිණි.


කොළඹ මහා නගර සභාවේ විශ්‍රාමික යන්ත්‍ර ක්‍රියාකරුවෙකු (Machine Minder) වන පෙත්සම්කරු, සිය බිරිඳ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් බලධාරීන් ගත් තීරණය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.


පෙත්සම්කරු මීට පෙර විවාහ වී සිටි අතර, පසුව අනිෂ්ට අත්හැරයාම (malicious desertion) පදනම් කරගෙන ගම්පහ දිසා අධිකරණයේ දික්කසාද නඩුවක් පවරා තිබුණි.


2000 ජූලි 5 වන දින දිසා අධිකරණය ඔහුට පක්ෂව තීන්දුවක් ලබා දෙමින්, රුපියල් 50,000 ක ස්ථිර නඩත්තු මුදලක් ගෙවූ පසු 'decree nisi' නියෝගය 'absolute' (අවසානාත්මක) කිරීමට නියෝග කළේය.පෙත්සම්කරු එම මුදල 2001 අප්‍රේල් 2 වන දින ගෙවා අවසන් කර ඇත.


කෙසේ වෙතත්, 'decree nisi' නියෝගය 'absolute' කිරීමට පෙර, ඔහු 2001 මැයි 12 වන දින සිය දෙවන විවාහයට එළඹුණි. 'Decree nisi' නියෝගය අවසානාත්මකව 'absolute' කරනු ලැබුවේ 2001 අගෝස්තු 24 වන දිනයි.


ඔහු 2021 දෙසැම්බර් 25 දින විශ්‍රාම ගැනීමෙන් පසු, ඔහුගේ බිරිඳගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකම සම්බන්ධයෙන් ආරවුලක් ඇති විය.දෙවන විවාහයට එළඹෙන අවස්ථාවේ පළමු විවාහය නීත්‍යානුකූලව පවතී බව පවසමින් විශ්‍රාම වැටුප් බලධාරීන් ඇයව පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ.


පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නෙමින්ද ජී. කාරියවසම් මහතාගේ උපදෙස් මත නීතිඥ නිලංග පෙරේරා මහතා පෙනී සිටියේය.වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සූරි සේන් මහතා පෙනී සිටියේය.



0 comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.